Sunday, April 18, 2010

10 අහසින් පොළොවට...


සැබැවින් ම මේ කතාංගය මා ලිවිය යුතු ව තිබුණේ සත් සමුදුර බලන්නට කලියෙන් වුව ද, මතක පොතේ පිටු මාරු වීම නිසාවෙන් පසු ව ලියන්නට සිදු විය.

1965 වසර අපට අතිශය තීරණාත්මක වසරක් විය. එවකට මගේ වයස අවුරුදු 4ක් වූ අතර, සිදුවන සෑම සිද්ධියක් ම මතකයේ තැන්පත් ව නැත ද, කිසිවක් සිදුවූ වග දැණුනු බව මතක ය. අප නාඳුනන බොහෝ දෙනෙකු අප සිටි නිවසට ආ ගිය අතර, තාත්තා ද වෙනදාට වඩා බෙහෝ කඩිමුඩියේ කිසිවක නියැලෙමින් සිටියේ ය. ඒ පැමිණෙන පිරිසෙන් තුන් හතර දෙනෙකු එක් ව විශාල බැනර් සහ ධජ පතාක අඳිනු ද, තාත්තා රැවුල් මුහුණු සහිත කාගේදෝ ලොකු චිත්‍ර ඈන්ද ආකාරය ද මට මතක ය. ඒ එවකට මහ මැතිවරණයක් උදා ව තිබූ නිසා ය. උග්‍ර කොමියුනිස්ට් වාදියකු වූ තාත්තා මැතිවරණය සඳහා සමගි පෙරමුණු ආණ්ඩුව වෙනුවෙන් දර දිය ඈද්දේ ය.. දැන් ඉන්නා පඩත්තරයන් කියන්නා සේ කඩේ ගියේ ය..!! මෙසේ බොහෝ කඩිසර ව ගෙවී ගිය දවස් කිහිපයකට පසු එකවර සියල්ල නිශ්ශබ්ද විය. නිකමටවත් කිසිවෙක් අපේ ගෙවල් පැත්තේ ආවේ ගියේ ද නැත. තාත්තා ද හේ බා ගිය මුහුණින් යුතු ව නිශ්ශබ්ද ව සිටියේ ය. අපේ ගෙදර පුරා මූසල නිහැඪියාවක් පැතිර ගොස් තිබුණේ මහ මැතිවරණයෙන් සමගි පෙරමුණු ආණ්ඩුව පරදා යූඑන්පී හෙවත් එක්සත් ජාතික පක්ෂය රජයක් පිහිටවූ නිසා ය. සිරිමාවෝ මැතිණිය වෙනුවට ඩඩ්ලි සේනානායක මහතා අගමැති විය. ඒ සැණෙන් විදුහල්පතිවරයකු වූ අපේ තාත්තා රැකියාවක් නැති නිකංම නිකං මනුස්ස​යකු විය...!!!

පත්තරයේ පළ වූ, සමාජවාදී දේශපාලනයේ යෙදීමේ වරදට වැඩ තහනම් කළ විදුහල්පතිවරුන් 18 දෙනා අතර අපේ තාත්තාගේ ෆොටෝ එක ද විය.

සිදු වූ මේ දැවැන්ත ව්‍යසනය අපට එතරම් තදින් දැණුනේ නැත්තේ අම්මා රැකියාව කළ නිසාත්, අප පුංචි නිසාත් විය යුතු ය. මෙතෙක් තාත්තාත් අම්මාත් සමග පාසැල් ගිය අප දැන් යන්නේ අම්මා ද සමග පමණ ය. තාත්තා අලුත් ම බයිසිකලයක් ගෙන ආ දිනය අපට සුවිශේෂී විය. ඒ බයිසිකලයේ මැද පො​ල්ලේ කොට්ටයක් තබා අප තුන් දෙනාව ම නංවාගෙන තාත්තා වත්ත වටා අපව පැද්දවූ නිසා ය.

තාත්තාට ඉගැන්වීමට අමතර ව බොහෝ සුකුරුත්තම් වැඩ කරන්නට ද හැකියාවක් තිබිණි. තාත්තාට හොඳින් උයන්නට ද, මසන්නට ද, මහන මැෂින් රෙපයාර් කරන්නට ද, සංගීත භාණ්ඩ වාදනය කරන්නට හැකි බව ද මම හොඳාකාරව ම දැන සිටියෙමි. ඒ හැකියාව නිසාදෝ ලෑලි කැබලි කිහිපයක් ගෙන තාත්තා අපූරු පෙට්ටියක් සෑදුවේ ය. එය හොඳින් පොලිෂ් කළ පසු එහි රතු පාටින් "ඇත්ත" යනුවෙන් ඈන්දේ ය. ඉන් පසු එය බයිසිකලයේ ලැගේජය මත සවි කලේ ය.

සුදු ජාතික ඈඳුම ඈඳ, හචා බෑගයක් කර එල්ලාගෙන, ප්‍රතාපවත් ලෙසින් පාසැල් ගිය අපේ තාත්තා, පාට සරමක් සහ කමීසයක් ඇඳගෙන, අම්පාර දිස්ත්‍රක්කය පුරා "ඇත්ත" පත්තරය බෙදා හරින පත්තර කාරයෙක් වූයේ යූඈන්පියට පින් සිද්ද වෙන්නට ය. අප පාසැල් යන්නටත් කළින් පත්තර මිටිය පෙට්ටියේ දමාගෙන ගෙදරින් පිටවන තාත්තා යළි හොඳට ම හවස් වූ පසු ගෙදර විත් බොහෝ වේලාවක් පුටුව මත දිග ඈදී සිටින්නේ සැතපුම් 30ක් බයිසිකල් පැද ලද මහන්සිය නිවා ගන්නට විය යුතු ය.

අයියාට සහ මල්ලීට අමතක වූවාට, කොළපාට දැන්වීම් සහ යූඈන්පී පාහරයන් දකින විටත් මගේ ලේ කකියන්නේ තාත්තා පුටුව මත දිග ඈදී මහන්සි අරින දර්ශනය මගේ සිත පුරා හොල්මන් කරන නිසාවෙනි.


ධන ධන්‍යයෙන් ආඩ්‍යව නොවූව ද, අපූරුවට ගෙවී ගිය අපගේ සුන්දර ජීවිතය උස්සා පෙළොවේ ගසා කණ පිට හැරවෙන්නේ එයින් ඉක්බිතිව ය.

Share/Bookmark

13 comments:

  1. ඈත්ත පත්තරේ පත්තර කොළ තාමත් අපේ මහගෙදර තියනව. මම පුංචි කාලෙ ඈහුවම ඈයි මෙච්චර පරණ පත්තර තියෙන්නෙ අලුත් පත්තර ගන්න බැරිද ඈහුවම කීවෙ ඒ පත්තරේ දැන් පරණ බවත් මුද්‍රණය තහනම් කර ඈති බවත් මේ පත්තර මේ ගෙදර තියනව කියල කාටවත් කියන්නත් එපා කීව. තව සෝවියට් දේශය කියල ලස්සන සගරා ගොඩක් තිබ්බ අපේ සීය එකතු කරළ. ඒවගෙ පිටු හරිම ලස්සනයි. මට මතකයි මම ඉස්සර මම ගමේ ගිය වෙලාවෙ( අපේ ගමට ඉස්සර කීවෙ පුංචි රුසියාව කියල) ඒ පොතක් හොරකම් ක​රගෙන ඈවිත් මගේ පොත් වලට කවර දැම්ම.

    හැබැයි අපේ සීයගේ විදුහල්ගපතිකම නම් නැති වුනේ නැහැ. මොකද අපේ සීය මහ කපටිය.

    හැබැයි අයිය දැන් සොවියටි දේශයත් නැහැ.ලෙනින් ගෙ පිළිරුවත් නැහැ.මගෙ සීයත් නැහැ.

    ReplyDelete
  2. මේ කතාව කියවමින් සතු‍ටු වෙන්නදැයි දුක් වෙන්න දැයි තේරුම් ගත නොහේ.. දුකා...ඔබේ මූනු පොත හරහා මේ සුන්දර බ්ලොග් අඩවියට පාර පෙන්නුවාට දුකා ඔබට තුති...

    ගම්පෙරලිය කියවනවා වගේ, එක හුස්මටම කතා ඔක්කොම ටික කියවාගෙන යන්න තරම් නිහඬ එහෙත් ගැඹුරු ව්‍යක්ත බසින් ලියවුනු මේ ලියවිල්ල සැබෑ වටනේය.... ඔබේ ජීවිතය දෙස බලා සිනහසෙන්නට හෝ අඬන්නට අපට අයිතියක් නැති මුත්, කතාවක් වශයෙන් කලකට පසු උපරිමම රසය වින්දෙමි... ජයම වේවා!

    ReplyDelete
  3. harima rasawath. obe me hekiyawa thawath ayata rasavidinna me blog tika ekathu karala print karanna... suba pethum

    ReplyDelete
  4. Your father belongs to a very rare ( even in those days ) breed of men, certainly extinct now; at least I haven't seen a solitary example for a very long time.

    (i.e. True socialists who sacrificed every thing for what they believed in, disregarding consequences, hoping to make this world a better place.)

    Being the son of such a man alone would be an honour.

    Thanks for reminiscences of "Aththa" an icon of our time.

    ReplyDelete
  5. මම ඉතාමත් ආසාවෙන් කියවන කතාවක් තමා මේක

    ReplyDelete
  6. ඔබට අවුරුදු 4 වන විට මා ඉපදීමට අවුරුදු 4 කි... ඔබේ සටහනේ අවසාන පේළි කිහිපය සම්බන්ධයෙන් මා ස්ථාවරයද එසේමය... මගේ හේතුව නම් අසියා කලාපයේ අනෙකුත් රටවල් තමන්ට අනන්‍ය වූ රටාවකට තම රටවල් දියුණු කල කාලයකදී සියලුම දේ පසෙක ලා පළිගැනීම් දේශපාලනයකට රට අවතීර්ණ කොට අවසානයේ 88 - 89 මහා ව්‍යසනයකට රට ඇදදැමීමය... තවත් අතුරු කාරණාද බොහෝය... පොතපතම ගුරු කොට විවේචනයේ යෙදෙන අත්දැකීම් මද වූවන්ට ඔබේ සටහන් අත් පොත් වේවා... ස්තූතියි....

    ReplyDelete
  7. මේ මතකය හිත පාරවන සුලුය.මට මගේ තාත්තා සිහිපත් විය.තාත්තා අසණීප වී බෙහෙත් කරන්නට සෑහෙන්න මුදල් නොතිබූ කාලය කිසිමදා අමතක නොවේ.තමා සන්තක සියලු ධනය වියදම් කොට මට උගන්වා සුළගක් සේ ඔහු නික්ම ගියේය.මා ‍රැකියාවක් සොයා ගන්නටත් පෙරම ඔහු මිය ගියේ හර්දයාබාධයකිනි.පත්තරකාරයෙකු වෙන්න එපා කියා කියුවේ ඇයිදැයි හරියටම වැටහෙන්නේ දැන්ය.එහෙත් අදටත් මුදල් ගොඩක් ලැබුණු පසු මා හඩමි.ඒ තාත්තා මිය යාමට පෙර ඒ මුදල් නොලැබුනු නිසාවෙනි.
    ඉන්ද්‍රනාථ මහතාණෙනි,ඔබට තුති.

    ReplyDelete
  8. Deshapalanaya kawadath '' JARAAWA''

    ReplyDelete
  9. අයියා මම ත් මේ ලඟක් වෙනකම් හිටියෙත් විවෘත ආර්ථිකය ගෙනැල්ලා රට පරිහානියට පත් කරපු . . 88-89 කාලේදී කොල්ලෝ මරපු යූ එන් පී එකට මැරෙනකම් කවදාවත් චන්දේ දෙන්නේ නෑ කියන මතේ.

    ඒත් අද මට හිතෙන්නේ යූ එන් පී එක විතරක් නෙමෙයි ජේ වී පී එක හරි තමන්ගේ පරන වැරදි හදාගෙන රට දියුණු කිරීමේ සැබෑ දර්ෂනයක් ද සහිතව නියම නායකත්වයක්ද සහිතව එනවා නම් අපි හැමෝම පාට පක්ශ අමතක කොට රට ගැන හිතලා එකතු වෙන්න ඕන කියන එකයි.

    අද පවතින නායකත්වයත් යූ එන් පී එකෙන් ආපු මන්ත්‍රී වරුන්ට පැරනි වමේ සහ ශ්‍රී ලනිපයේ අයට වඩා වැඩි සැලකිල්ලක් දක්වන්නේ මේ හේතුව නිසාම වෙන්න ඇති කියලා මට හිතෙනවා.

    ReplyDelete
  10. මගේ ජීවිතයේ සිදුවීම් මෙයට අතිශයින් සමානය. කල වකවානුත් සමාන්තරය. වෙනස පියාට දේශපාලනය නිසා විදුහල්පති කම නතිඋනෙ 1978. අම්මගේ ගුරු වැටුප විතරය්. අපි 6 දෙනාත් දුක් වින්ද. මටත් මෙහෙම ලස්සනට සරලව ලියන්න පුලුවන්නම්...

    ReplyDelete
  11. අපිට ටිකක් දැනුම් තේරුම් කාලෙ නිසා වෙන්න ඇති අදටත් හැමෝම U N P විරෝධී. Quarters වල හිටිය කාලෙ ගැන කියවද්දී මම හිතෙන් ගියා අපි හිටිය කෑගල්ල, හෙට්ටිමුල්ලට. හරිම සමීප සිදුවීම්.

    ReplyDelete
  12. අපි UNP / ශ්‍රී ලංකා කියල පක්ෂ හඳුන්වල ඒ ඒ පක්ෂ වලට හිත ඇතුලේ ආසන වෙන් කරන්නේ එක එක මට්ටමට. ඒ අපි එයාල දකින විදිහ නිසා වෙන්න ඕන.. මමත් UNP විරෝදියෙක්. එත් පසුකාලීනව තේරුම ගත්තු කාරණයක් තමයි මේ කියන දේශපාලන පක්ෂ ඇතුලේ ඉන්න මිනිස්සු කාලෙන් කාලෙට කරන කියන වැඩ අපි හිත ඇතුලේ නිර්මාණය කරලා තියන පක්ෂයේ ප්‍රතිරූපයට සම්පුර්ණයෙන් විරුද්දයි කියල.. 88-89 බලයේ හිටපු පක්ෂය හැසිරුණ ආකාරයටම 2014 බලයේ ඉන්න පක්ෂයත් හැසිරෙනවා. එහෙම බැලුවාම එදා UNP ක්‍රමයම අද ශ්‍රීලංකා එක කරගෙන යන්නේ. ඒ හින්ද මටනම් හිතෙන්නේ දැන් පක්ෂ වලට වඩා පක්ෂවල ක්‍රියාකලාපය ගැන නිරීක්ෂණය කරලා හිත ඇතුලේ තියන තැන වෙනස් කලයුතුයි කියලයි. මගේ අම්මටත් 80 ජුලි වර්ජනයෙන් රස්සාව අහිමි වෙලා පස්සේ ආයෙත් ලැබුන.. ඒ කාලේ ඉතින් අම්ම ගෙදර ඉන්නකොට කොයිතරම්නම් සන්තෝස උනාද... එත් අම්මගේ තාත්තගේ හිත්වල කොයිතරම්නම් බරක් තියෙන්න ඇතිද...

    ReplyDelete