Wednesday, August 11, 2010

12. අවුල.......

මේ මා කියනන හදන්නේ 1967 වසරේ මාර්තු මාසයේ මුල හරියේ දවසක් ගැන ය. ඒ දවස ගැන අද මට ගලපා ගන්නට හැකි වූව ද එකල 6 හැවිරිදි බාලයකු වූ මට ඒ ගැන කිසිදු නිනව්වක්, හාංකවිසියක් තිබූ බවක් කියන්නට තරම් පිරිසිදු මතක ශක්තියක් මා සතු ව නොතිබිණි.

මොකක්දෝ අමුතු කලබලයක් අප නිවසේ හෙවත් ගුරු නිවසේ සිදු වෙමින් පැවතුණු බව මට යාන්තමට මතක ය. සවස් යාමයේ අම්මා අසනීප ව රෝහලට ගෙන යන්නට වාහනයක් නිවෙසට ආ වග මට යාන්තමට මතක ය. ඒ වාහනයේ වර්ණය, එය කුමක්ද යන්න මතකයට නගා ගන්නට මම අදත් වෙර දරමි. නමුත් එහි කිසිදු අංග ලක්ෂණයක් මසිතට යළි නොපැමිණෙන්නේම ය.

සවස් ජාමයේ නිවසේ තිබූ කලබලය මඳක් සන්සිඳුනේ හිරු බැස ගිය නිසා විය යුතු ය. අපිදු කිසිවක් නොදැන අතට අසුවන යමක් කටේ රුවාන නින්දට ලක ලැහැස්ති වූවා සේ මට මතක ය. නමුත් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව කවුදෝ පිරිසක් පැමිණ මා, අයියා, පාලිත මල්ලී, ලොකු නංගී රේණුකා සහ පොඩි නංගී මේනකා යන පස් දෙනාව ම වාහනයකට නංවා ගන්නා අයුරක් මට අව සිහියෙන් මෙන් යළි මතක කෙළවරකට ගෙන්වා ගන්නට හැකි ය. ඉනික්බිති අපි උහනින් විනිර්මුක්ත ව, සැතැපුම් 6හමාරක දුරක් එක හුස්මට ගෙවා, ප්‍රාදුර්භූත වූයේ අම්පාරේ ලොකු තාත්තලාගේ ගෙදරට ය. අප මහත් සේ ඈලුම් කළ ද අද මේ මොකක්දෝ විලම්බෑසියක් සිද්ද වෙනවායැයි අනුමාන කරන්නට හැකි තරමක පිරිපුන් මනසක් මට නොතිබිණ. වෙනදාට අප දුටු විට සතුටින් ඉලිප්පෙන වසන්ත අයියා, අනිල් අයියා, නාමලී අක්කා, සුදු නංගී, සහ පොඩ්ඩී භයින් භිරාන්ත වූවාක් මෙන් සිටින්නේ ඈයි දැයි මට ද සිතා ගන්නට නොහැක්කේ අපට තිබූ නිදිමත නිසායැයි මම උපකල්පනය කළෙමි.

අදටත් කෙසඟ ශරීරයක හිමිකාරිය වූව ද, මුඛරි වාග් චාතුර්යයකට හිමිකම් කියන ලොකු අම්මා ද, බැටරිය බැස ගිය ආකාරයකින් නිශ්ශබ්ද ව සිටින්නේ ඈයි දැයි හරි හමන් ආකාරයකින් තේරුම්, බේරුම් කර ගන්නට අපට ද නොහැකි වූයේ, අනපේක්ෂිත ව සිදු වූ මේ විලම්බෑසිය කුමක්දැයි පැටලුම් ඇර ගන්නට මට ද නොහැකි වූ නිසා ය. ඒ අතර වාරයේ අවට නිවාසල ඈත්තන් ද, ලොකු තාත්තලාගේ නිවෙස වෙත එක් රොක් වන්නේ ඈයි දැයි කියන්නට ද, කිසිදු හේතුවක් මම නොදත්තෙමි. අපි වැටුනු තැන්වල නිදා වැටුනෙමු. මහ හඬක් ඈසී සැනෙකින් ගැස්සී ඇහැ හැරෙන හැම මොහොතක ම, ලොකු තාත්තලාගේ නිවෙස තුළ වූ ගෘහ භාණ්ඩ කළින් තිබුණාට වඩා වෙනස්කින් යුක්ත ව, තිබූ පිළිවෙල වෙනස් වී තිබෙනු මට අද වගේ යාන්තමට මතක ය.......

Share/Bookmark

12 comments:

  1. ඇත්තටම මාරම අවුලක් තමා..
    හරි පුදුම විදියට මට ඔබ තුමා හමු උනේ.කවදාවත් හිතුවෙ නැහැ මේ විදියටවත් ස්තුති කරන්න ලැබෙයි කියල.මට "ෆොටෝෂොප්"පිලිබදව හසල දැනුමක් නැතත් "අ"යන්න"ආ"යන්න කියෙව්වෙ ඔයාගෙ පොත් වලින්.විශේෂයෙන්ම "ෆොටෝෂොප් අත්වැල" පොතෙන්.ස්‍ටුඩියෝ එකක ඉන්න මගෙ යාලුවෙකුට කියල පොත අරගෙන තමයි මෙහාට ගෙන්න ගත්තෙ.ඇත්තටම ගොඩක් හොඳට පැහැදිලි කිරීම් කරල තියනව.thanks..,

    ReplyDelete
  2. මෙතනින් එහාට ගෙදර ඇතිවෙන යුද්දෙ ඔබ පැහැදිලි කරන හැටි විදින්න මම බලාගෙන ඉන්නෙ... වැරදියට තේරුම් ගන්න එපා.. දුෂ්කර කාල පරිච්ඡේද නිරවුල් මනසකින් කරන විග්‍රහ වලට මම පෞද්ගලිකව කැමති නිසයි එහෙම කිව්වෙ.... ඔබතුමාගෙ ලිවීමේ ශෛලිය මම තව එක්කෙනෙකුගෙන් අත් විදලා තියෙනවා... ඒ තමයි භද්‍ර ජී මහින්ද... සුබ පැතුම්....!

    ReplyDelete
  3. පොතේ නැති ගොඩක් දේවල් ලියන්න වගේ යන්නෙ නෙද? ඉන්ද්‍රනාත අයියන්ඩි

    ReplyDelete
  4. කාලෙකින් ඔබතුමාගේ බ්ලොග් එක පැත්තේ ගොඩ වැදුණේ. කතාව නම් සුපුරුදු පරිදි උපරිමයි......

    ReplyDelete
  5. අදමයි මේ පැත්තෙ ආවෙ . . . දිගටම රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා . . . අද ඉඳන් පස්සෙනුත් එනවා . . . !

    ReplyDelete
  6. මමත් අද ආවෙ අහම්බෙන්.මාත් ඉඩ ඇති හැම වෙලාවකම එන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  7. සෑහෙන කාලයක් අපි බලාගෙන ඉන්නවා ඉතිරි ටික කියවන්න..

    ReplyDelete
  8. නව කතාවක් ලියන්නකො තේනුවර මහත්තයෝ... කසිකබල් නවකතකරයන්ගේ බොලද අදහස් වලට වඩා ඔබතුමගේ හිතේන් උපදින නිර්මල අදහස් මාර ලස්සනයි

    ReplyDelete
  9. erandakeerthi
    මමත් ඕක කිව්ව තාම නැනේ ඒත්

    ReplyDelete
  10. Obage hakiyawa aganee. Maath dan awulaka patalii atha, kumak wuuwadayi hithamin....

    ReplyDelete
  11. අනේ . . . මේ මොකද වෙන්නේ කියලා හිතාගන්නවත් බැරුව ළතැවෙන දරුවන් කැලක් මට මැවිලා පේනවා

    ReplyDelete