Friday, September 3, 2010

14. අම්මාගේ වියෝව


සාලයෙන් ඇසෙන මහ හඬ දරාගත නුහුණු බැවින් මම "ඌට්ටුව" ද ගසාගෙන (ඇඟිල්ල ඉරීම එකළ අප බොහෝ දෙනෙකුට උරුම ව තිබූ පුරුද්දකි.) සාලය දෙසට සෙමෙන් සෙමෙන් පිය මැන්නෙමි. දොර රෙද්ද මෑත් වත් ම විලාපය කන් බිහිරි කරවන තරම් උස්ව නැගී ගියේ මා වික්ෂිප්ත කරමිනි. නමුත් මට එය එතරම් ප්‍රශ්නයක් වූයේ නැත්තේ මේ සිදුවන්නේ කිමෙක්දැයි ​පැටලිල්ල ලිහා ගනු රිසියෙන් පෙලුණු නිසාවෙනි. සාලයේ මා නන්නාඳුනනා ගැහැණුන් විසල් පිරිසක් සිටි අතර, ඔවුන් අතරින් තද දුඹුරු පැහැ කිසිවක් සාලය මැද්දෑවේ තිබෙණු මට යාන්තමට පෙනෙන්නට ගත්තේ ය. අමුතු සැර සුවඳක් සහ පොලිෂ් සුවඳක් එකට මුසු ව නැහැය විද ගෙන ගිය ඒ සුවඳ කිමෙක්දැයි මට නිනව්වක් නැත්තේ එවැනි සුවඳක් මින් පෙර විඳ නැති නිසා ය.

සාලයේ වූ දේ වටා සිටි කාන්තාවෝ එකිනෙකා එය මට පෙනෙන්නට සලස්වමින් යන්තම් එහාට මෙහාට වෙනු මට පෙනේ. එවකට මගේ උසේ තරමට උඩකින් තැබුණු මේ අමුත්ත තවමත් මට කුමක්දැයි වටහා ගත නොහැකි ය. දුඹුරු පාට මේ අමුත්ත පෙට්ටියක් මෙන දැන් මට පෙනෙයි. ඒ මතින් යාන්තමට සුදු පාට කිසිවක් තිබෙනු ද මට පෙනෙයි.

මම සාලයේ සිටින් කාන්තාවන් හඳුනා ගන්නට ඔවුන්ගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලමි. නමුත් පැහැදිලි ව හඳුනන කිසිවකු ඒ අතර නැත. කඳුළු පුරාගත් දෙනෙතින් බර ව ඔවුන් මදෙස එක සීරුවට බලා සිටිති. මට කිසිවක් වැටහෙන්නේ නැත. කිසිවක් තෝරා ගන්නට ද නොහැකි ය.. මම සාලය පියමං කොට ඉදිරි දොර දෙස ගෑටුවෙමි. පියවර කිහිපයක් ගාටමින්, පය අද්දමින් ගිය මම යළි ආපසු හැරී බලමි. කාන්තාවෝ සියල්ලෝ ම දැඩි නිශ්ශබ්දතාවයකින් යුක්ත ව මදෙස බලා සිටිනු මම දකිමි. ඒ අතරින් කෙනෙක් දැඩි ව හුස්ම ඉහළට අල්ලමින් හූල්ලනු ද, කඳුළු පිසිනු ද මට පෙනෙයි..

යළි ​දොර රෙද්ද මෑත් වෙමින් තවත් කෙනෙක් එළියට ගාටයි. ඒ ලොකු නංගී ය. ඇ ද මේ මහා විලම්බෑසියෙන් විපිලසර ව සිටින්නී දෑස් ලොකු කර ගෙන විමසුම් මුහුණින් යුතු ව දොර රෙද්ද අල්ලාගෙන නතර වූවා ය. එසැණින් එතැනට පිනූ කෙනෙක් ලොකු නංගී ද වඩා ගෙන අර මහ අමුත්ත අසළට ගියා ය..



මඳ වේලාවක් නිහඬ ව ගෙවී ගියේ ය. ලොකු නංගී ද වට පිට බලමින් සිටින්නේ මේ සිටින්නන් හඳුනා ගන්නට උත්සාහ කරමිනි. සියල්ලෝ ම දැඩි නිශ්ශබ්දතාවයක් රකින්නේ ඈයි දැයි මම කල්පනා කරමි..

මොහොතක් නිහඬ ව ගෙවි ගියේ ය. මඳක් එහාට මෙහාට ඈඹරුණු ලොකු නංගී දෑස් පුංචි කරගෙන, මුහුණ ද බෙරි කර ගෙන "නැගිටින්නකො අම්මේ" යැයි කීවා ය.

එසැණින් මුළු මහත් වූ චක්‍රාවාටය ම දෙදරවමින්, අකනිටා බ්‍රහ්ම ලෝකයට ද ඈසෙන තරම් මහා හඬකින් යළි විලාප හඬ පැතිර ගියේ මා ද භය බිරාන්ත කරමිනි. දැන් ලොකු නංගී හඬන්නේ කිසිවක් තේරුම් ගෙන නොව මේ මහා හඬට බිය පත්ව යැයි මට සිතිණ.

මම කිසිවක් ම නොදැනෙන්නෙකු ලෙසින් හෙමි හෙමින් ඉස්තෝප්පුවට පිය මැන්නෙමි.
අදත් මළ ගෙදරකදී මට කිසිවක් නොදැනෙන්නේ ද ඒ නිසා ම විය යුතු ය. මන්ද ඒ සාලයේ පෙට්ටියක් මත වැතිර නිදන්නේ මගේ අම්මා යැයි කිසි දා ක විස්වාස කරන්නට මම අකමැති බැවිනි..!!!
Share/Bookmark

10 comments:

  1. අපි අකමැති දේවල් විස්වාස කරන්න අපි කොහොමත් කැමති නෑ නෙ සර් ..... ඇත්තටම මෙවැනි අත්දැකීමක් ගැන හිතන්නවත් මම කැමත් නෑ
    ආරම්භයේ සිටිම ඔබේ බ්ලොග් සටහන බැලුවත් කමෙන් කරන්න ලැබුනෙ අදයි .... ඔබේ ලිවීමේ ශයිලිය අපූරුයි ......

    ReplyDelete
  2. ජීවිතේ අපේ ලගින් ඉන්න බොහොමයක් දෙනා අපෙන් වෙන් වෙන්නෙ නොසිතූ තරම් ඉක්මනට....

    ඒත් යථාර්තය එයයී....

    ReplyDelete
  3. සර්.............

    මගේ අම්මා නැති උනේ මට අවුරුදු 7 දී. හරියටම කියනවානම් මගේ 7 වෙනි උපන්දිනය දවසෙදි....අම්මා විතරක් නෙමේ....අම්මයි අප්පච්චියි දෙන්නම........

    මම මේ වගේම වේදනාවක් වින්දා සර්. කොටින්ම කියනවා නම් අම්මාගෙ මළගමින් පස්සෙ අවුරුදු 3ක් යනකම් මම මගෙ කටින් එක වචනයක්වත් පිට කරලා නෑ......

    මේකටද ජීවිතය කියන්නෙ සර් ?

    ReplyDelete
  4. Adatath maa danna maage aya kihipa denekma melowa nositiyath, masitha thula samada jeevamaanaya.

    ReplyDelete
  5. කිසිදු දරුවෙකුට මේ සිදුවීමට මූන දීමට සිදු නොවේවා . ..

    ReplyDelete
  6. මම චන්ද්‍රගුප්තගෙන් කවදාවත් අහලා නැහැ පවුලේ පෞද්ගලික තොරතුරු. ඒකට හේතුවක් තිබුනා. ඔහු මුලින්ම හඳුනා ගත් දිනවල මට ලැබුණු පණිවුඩය වුනේ "තේනුවර හැදිලා තියෙන්නේ පුන්චිඅම්මා ළඟ. අම්මයි තාත්තයි ඩිවෝස් වෙලාද කොහෙද " මට මේක කිව්වා කෙනා නම් මතක නැහැ. එත් ඒ හේතුව නිසා ඔහුගේ පෞද්ගලික පවුලේ තොරතුරු නොඅසා ඉන්න ප්‍රවේසම් වුනා.ඒත් ඒ ගැන කුහුලක් නොතිබුනා නොවෙයි. චන්ද්‍රගුප්තත් කවදාවත් එයාගේ පවුලේ තොරතුරු කියන්න උනන්දු වුනේ නැහැ. අපේ බොහෝ කතා කලාව සහ දේශපාලනය වගේ ඒවා වටේ තමයි කැරකුණේ. ඉන්ද්‍රනාතගේ මේ කතාන්දරය කියවන කොට මට මා ගැනම පොඩි තරහක් ඇති වෙනවා, ඇයි චන්ද්‍රගුප්තගෙන් මේවා ගැන ඇහැව්වේ නැත්තේ කියලා. එහෙම වුනා නම් අපි බොහෝ හෘදයාංගම මිතුරන් වෙන්න තිබුනා.

    ReplyDelete
  7. http://sithakakadulu.blogspot.com මේත් ඒ වගේ හෝ මීටත් එහා සත්‍ය අත්දැකීමක්... අම්මාලා වෙනුවෙන් සිතින් කදුලු හෙලපු කොල්ලෙකු‍ගෙ කතාවක්.

    ReplyDelete
  8. aththatama mata aduna sar lankathruth eke sarge pradarshanayak gena tibba mata hithuna wisthara hoyanna,chandraguptha sarge malli kiyala dengena hitiya siya wage mamath rankaruwek nam thamai

    ReplyDelete
  9. මන්ද ඒ සාලයේ පෙට්ටියක් මත වැතිර නිදන්නේ මගේ අම්මා යැයි කිසි දා ක විස්වාස කරන්නට මම අකමැති බැවිනි..!!!

    ReplyDelete
  10. මන්ද ඒ සාලයේ පෙට්ටියක් මත වැතිර නිදන්නේ මගේ අම්මා යැයි කිසි දා ක විස්වාස කරන්නට මම අකමැති බැවිනි..!!!
    හුඟක් වෙලා කල්පනා කරත් ලියන්න වචන කීපයක් හිතාගන්න බැරි උනා... නැසීගිය මෑණියන්ට නිර්වාන සම්පත්තිය ලැබේවා...

    ReplyDelete