Friday, September 10, 2010

16. මළ ගෙදර දවසක්..

දහවල් වෙත් දී ලොකු තාත්තලාගේ ගෙදරට අසීමිත සෙනග කන්දරාවක් පැමිණෙමින් සිටියේ ය. ඉඳ හිට ඔවුන් පැමිණෙන්නේ ලොකු බස් රථ වලිනි. එසේ පැමිනෙන බස්වල වැඩියෙන් ම සිටියේ පාසල් ළමුන් ය. ඉස්කෝල කිහිපයකින් ම මෙසේ සෙනග පැමිණියේ අම්මා ද, තාත්තා ද ගුරුවරුන් නිසා විය යුතු ය.

සවස් යාමය වන තෙක් මට දැනෙන කිසිවක් සිදු වූයේ නැත. සෙනග එයි..මඳ වේලාවක් සිටියි.. එකවර හිස් වෙයි.. ඒ අතර, අතරින් පතර පමණක් හැඬුම් ඈසෙයි.. දැන් ඉස්සර අඬා වැටුණු, විලාප දුන් අයට වෙහෙස වැඩි නිසා දෝ ඔවුන් විවේක ගෙන ඈතැයි මට සිතෙයි.. ගෙදර පිටි පස්සේ ලොකු ටකරන් මඩුවක දැවැන්ත කුස්සියක් තනා තිබෙයි.. එහි මහ විසාල හට්ටිවලින් දසත සුවඳ විහිදුවමින් වෑංජන පුස්ඹක් හමා එයි. මේ කුස්සියේ රාජකාරි කරන ඈත්තන්ට ගෙදර සාලයේ මළ ගෙදරක් ඈති බවට වගේ වගක් නැත්තා සේ මහ හඬින් කෑ කොස්සන් ගසමින් කොක් හඬලමින් සිනාසෙයි. සාලයට, ඉදිරි මිදුලේ මහ මඩුවට වඩා මට මේ කුස්සි කෑල්ල සිත් ගත් තැනක් බවට පත් වෙයි. එ නිසා ​කරන්නට කිසිදු කාරියක්, වැඩ කටයුත්තක් නැති බැවින් මම මේ මුළු වපසරිය පුරා ම ඈවිදින්නෙමි. ඈවිදින අතර වාරයේ අනිවාර්යයෙන් ම කුස්සිය දෙසට පිය මැන එහි බොහෝ වේලාවක් රැඳෙමින් සිටිමි.

එසේ ඈවිදින අතර හමුවන කාන්තාවන් බොහෝමයක් මගේ හිස අත ගාමින් "අනේ අසරණ දරු පැටව්" යැයි කියන්නේ කුමකටදැයි මට නොතේරෙයි.. කෙනෙක් මගේ මුහුණට නැමී " අනේ පුතේ ඔයා කෑවද" "කාලද පුතේ ඉන්නේ.." ආදී වශයෙන් වමසුම් කරයි.. එවිට මට මහත් සෙනේහයක් දැනෙයි.. සාලය මැද්දෙන් ඈවිදගෙන යද්දී යළි මහා පාලු මූසල ගතියක් මගේ පුංචි සිත වෙලා ගනියි. පෙට්ටියක් මත වැතිර අම්මා නිදනවා මිස ඇ මිය ගොස් ඈති වගක් මට නොදැනෙයි..එ නිසා ම මම පෙට්ටිය වටා රවුමක් යමි. එහි සැර පොලිෂ් සුවඳ දැන් මගේ නැහැයට හරි පුරුදු ය. ලොකු තාත්තා විවිධ විධාන දෙමින් සෑම තැනෙක ම සිටියි. සෑම කෙනෙක් ම හැම වැඩක් ම කරන්නට කළියෙන් ලොකු තාත්තාගෙන් විමසයි. පත්තු නොකළ කළු සුරුට්ටුවක් කෙළවර හපමින් ඔහු බැරෑරුම් මුහුණක් මවා ගෙන සැමට උපදෙස් දෙයි.." අපි එහෙනං එහෙම කරමු නේද ආතර මහත්තයෝ.." හැමෝ ම කියන්නේ එලෙස ය. මේ සියලු විජ්ජුම්බර මැද්දෑවේ මට තාත්තා හමු වූයේ ම නැති ගාන ය. හමු වුනත් ඒ බවක් මට මතක නැත. කෙනෙක් "කෝ ඉස්කෝලෙ මහත්තයා.." යැයි විමසනු මට ඈසෙයි.

සවස් යාමයේ දී තරමක් අමුතු හැඩයක බස් රථයක් පැමිණ ලොකු තාත්තලාගේ ගේ ඉස්සරහ පිට්ටනියේ නැවත්වූයේ මහා සර සද්දයක් දමමිනි. බස් රථය තුළ වූවෝ නැගිට්ටේ සියලු ම දෙනා එක විට වාලග් ය.. කට්ටිය පොදි කමින් බසයෙන් බසින්නට වළි කමින් සිටි අතර, මුලින් බිමට බට පිරිමි කිහිප දෙනා ඈඟ මැළි කඩමින් හිරි ඈරියේ බොහෝ දුරක් ගෙවා එක එල්ලේ පැමිණි නිසා විය යුතු ය.

සුදු සාර්වලින් සැරසුණු කාන්තාවන් කිහිප දෙනෙක් ම බසයෙන් බිමට බට අතර ඔවුන් සියලු දෙනා ම හරියට ම අපේ අම්මා වාගේමයැයි මට සිතිණි. බසයෙන් බට ඔවුන් ගෙදර දෙසට දිව ආයේ මෙලෝ සිහියක් නැතිව ය. එසේ එමින් ම, ළඟින් සිටින්නා වැළැඳ ගනිමින් මහා හඬින් විලාප දුන්නේ ඔවුන් අපේ අම්මාගේ වඩා කිට්ටු ම නෑදෑයන් නිසා විය යුතුයැයි මට සිතෙයි...දැන් සාලය එක ම විලාපයකි.. මහා කලබලයකි.. කෙනෙක් අම්මාගේ දේහය සහිත පෙට්ටිය බදා ගෙන වැතිර මහ හඬින් විලාප දෙයි..ඒ අතරින් කෙනෙක් "අනේ මගේ කළු නංගියේ ...උඹට මේ මොකද උනේ..."යැයි කියයි. එක ම කෙනෙක් පමණක් "අනේ මගේ අක්කේ..."යැයි කියයි. මේ අපේ අම්මාගේ පවුලේ සාමාජිකයන් ය. ඔවුන් කාන්තාවන් ම හයකි. ඉන් වැඩි පිරිසක් ගුරුවරියන් ය. අම්මා පස්වැනියා ය. බාලයා "හිච්චා" ද ගුරුවරියකි.

ඒ අතරින් ප්‍රතාපවත් පෙනුමකින් යුත් ගැහැණියක් මට පෙනෙයි. ඇ ඔසරි පොටෙන් මුහුණ වසාගෙන ඉකි ගසමින් හැඬුවා විනා විලාප දුන්නේ නැත.. මේ අපේ තිත්තගල්ලේ ආච්චී යැයි අප අසා ඈති අපේ අම්මාගේ අම්මා ය.. හෙවත් ආච්චී ය.. මා ඈය මුල් වරට දැක්කේත්, අවසන් වරට දැක්කේත් එදා ය...!!!

ආච්චි අහංගම තිත්තගල්ලේ ය. ලොකු ලොකු අම්මා ගාල්ලේ එලියට් පාරේ ය. ඈගේ මහත්තයා ගිල්බට් ලොකු තාත්තා ය. ඊ ළඟට පියසීලි ලොකු අම්මා ය. ඈගේ මහත්තයා ද සමග පදිංචි ව සිටියේ ද ගාල්ලේ වක්වැල්ල පාරේ ය. චන්ද්‍රා ලොකු අම්මා ද තිත්තගල්ලේ සිටි අතර, ඈගේ මහත්තයා ව්‍යාපාරිකයෙකි. මට ඒ ලොකු තාත්තා යාන්තමට පමණක් මතක ය. ඊ ළඟට මයුරා ලොකු අම්මා ය. ගුරුවරියක වන ඇ පදිංචි ව සිටියේ කළුතර ය. ඈඟ පතින් ද පොඩි ලූෂන් ලොකු තාත්තා අප වැඩි පුර ම ඈසුරු කළ හි​තෛශියකු විය. ඔහු කළුතර රජයේ ලිපිකරුවෙකි. ඊ ළඟට අපේ අම්මා ය. බාලයා "හිච්චා" නන්දා පුංචි අම්මා ය. ඈ ද ගුරුවරියකි. පදිංචිව සිටියේ කළුතර ය. ඈගේ මහත්තයා එකළ ලංකාදීප පත්තරයේ සේවය කළ විශිෂ්ට චිතු ශිල්පියකු වන ඩැනී විමලසිරි ය. ඩැනී බාප්පා මහත් චිරප්‍රසිද්ධියට පත් ව සිටියේ ලෝ වැඩ සඟරාව චිත්‍රයට නැගූ හෙයිනි. මා කවරදාවත් ම ඔහු දැක නැත. ඒ ඔහු ද අකාලයේ මිය පරළොව ගොස් ඈති බැවිනි..!!

Share/Bookmark

13 comments:

  1. කෝ... මුකුත් ලීවෙ නැත්තේ ඇයි දෝ..

    ReplyDelete
  2. චිත්ත රූප මවා ගැනීම ඇවැසි අයුරින් ඉතාමත් කදිමට ලියවී තිබේ. දිගටම 'අපේ ජීවිත කතාව' ලියනු මැනවි.

    ReplyDelete
  3. මේ කතාන්තරය මෙතරම්ම සජීවිව දෑනෙනුයේ මේ සත්‍ය කතාවක් නිසා විය යුතුය... එතරම්ම නිරායාසයෙන් කියවන මනස තුල මේ කතාව ගලා යයි....
    මීලඟ කතාව තෙක් නොයිවසිල්ලෙන් බලා සිටිමු !

    ReplyDelete
  4. මමත් ඉන්නෙ නොඉවසිල්ලෙන්... ඊලග කතාව එනකන්...... ඉක්මනට දාන්න කියන්න බෑ ඔබතුමා කාර්යබහුල නිසා.....

    ReplyDelete
  5. @Wath, ලියන්නත් කලියෙන් කොමෙන්ට් දැම්මට ඉතිං මං මක්කරන්නද නේද..? දුමී, ජීවිතේ මල්, අභීත, ඈතුළු ඔබ සැමගේ කෙටි සටහන් මා ​ධෛර්යමත් කරයි.. අධික වැඩ කනදරාවකින් හෙම්බත් ව, සංසාරය කළ කිරෙන මොහොතක මට මේ කතාව ලියනා එක ඉතා පහසු ය. ඉන් මා ලබන අසීමිත සන්තුෂ්ටිය සියලු වාත වේදනාවන් දුරී භූත කරන නිසාවෙනි..ඊයේ මහ රාත්තිරියේ ද මේ කොටස ලීවේ මගුලක් අවසන් කොට අධික වෙහෙසින් පැමිණි මොහොතක ය.!!

    ReplyDelete
  6. සිංහල බ්ලොග් අතරේ තමන්ටම අවේණික සරල, එහෙත් විස්තරාත්මක ස්වරූපයකින් ලියවෙන ඔබේ මේ බ්ලොග් සටහනට මම බෙහෙවින් ප්‍රිය කරම්. මෙය කියවාගෙන යනවිට සිහියට නැගෙන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් ගේ අපේ ගම කෘතියයි.

    ReplyDelete
  7. වෙච්චි සංගදිය පැත්තක තියලා ඔබතුමා අපිව වටපිටාවට යොමු කරවන්නේ දරුවකුගේ ඇසින්ම අපට බලන්නත් කියමින්...
    අධික දෝමනස්සයන් ගෙනදෙන මේ වාගේ සිද්ධි වටපිටාවේ සංකේත වලින්මත් කියන්න පුලුවන්නේ..? ඔබ කලා වාගේ...
    වත් සොයුරියට මොකුත් කියලා නෑ වාගේ කියලා තේරුනෙත් ඒක වෙන්නෑති...

    "ඊයේ මහ රාත්තිරියේ ද මේ කොටස ලීවේ මගුලක් අවසන් කොට අධික වෙහෙසින් පැමිණි මොහොතක ය.!! " ඔබ මෙයිනුත් කියන්නේ ජීවිතයේ යථාර්තය නොවෙද...? මගුල් අවමගුල් අතර දෝලනය වන ජීවිත යථාර්තය...

    ReplyDelete
  8. ප්‍රතිචාර නොදැම්මත් හැම කොටසක්ම කියවනවා. කියෙව්වට පස්සේ මොනවා ලියන්නද කියලා කල්පනා කරනවා විතරයි.. කිසිම අදහසක් ඔළුවට ආවේ නැත්තං ඔහේ පැත්තකට වෙලා ඉන්නවා...

    ReplyDelete
  9. තිස්ස, දක්ෂිණ, ජීව්..ඔබ හැම මේ කතාවේ ඉතිරිය ලියවන්නට මාව පොළොඹවනවා..!! ඉස්පාසුවක් ලැබුණු හැටියේ ම ලියන්නම්..මේ කතාව එක දිගට ම ලියන්න ආසයි.. නමුත් දැවැන්ත යන්තරයක දැති රෝදයක් වෙච්ච මට ඒක හරි අමාරුයි..!!

    ReplyDelete
  10. කාලෙකට පස්සේ සර්ගේ බ්ලොග් එක කියවන්න ලැබුණේ. වෙනදා වගේම කතා රසය ඇතිවෙන්න ඒ වගේම කියවන්නාගේ හිතේ චිත්ත රූප මැවෙන විදිහට ලියලා තියෙන බව කියන්න ඕනේ..........

    ඉස්සරහටත් මේ බ්ලොග් එක කියවන අයගේ ලිස්ට් එකට මාවත් දාගන්න.....

    ReplyDelete
  11. Mala gedaraka asiriya manaawa mawa payi...

    ReplyDelete
  12. ඇත්තෙන්ම තිස්ස කිව්ව වගේ මේ වගේ සිදුවීමකදී වුනත් පුංචි එකෙකුගේ හිත වැඩ කරන හැටි අයියා අපූරුවට සටහන් කරලා තියෙනවා . . .

    ReplyDelete