Saturday, October 2, 2010

17. අවසන් කටයුතු...!!


ඉතිරි සිද්ධීන් ඉතා ඉක්මණින් ගලා ගියේ ද, නැතහොත් සිද්ධීන් මා සිතෙන් ගිලිහී ගොසින්දැයි කියන්නට තරම් පැහැදිලි මතකයක් මා සතු ව නැත. නමුත් සවස් යාමයේ දී, ලොකු තාත්තලාගේ ගේ වත්ත අවටත්, ඉදිරිපස මහ පිට්ටනියේත්, පාරේත් මහා ලොකු සෙනගක් සිටි වග නම් මට මතක ය. ඒ මහා ජන කන්දරාව මැද්දේ මම තනි ව සිටියෙමි. මළ ගෙදර එන බහෝ දෙනෙක් මහත් කම්පාවෙන් යුක්ත ව මගේ හිස අතගානු මට මතක ය. මගේ ලෙස ම අයියාගේ ද අනෙක් අයගේ ද අත ගාන්නට ඈති නමුත්, මේ වෙනතෙක් මට ඔවුන් දකින්නට ලැබුනේ ද නැත.

කාලය ගෙවෙත් ම ගේ මැද්දෑවේ කලබගෑණීය උත්සන්න වනු මට දැනින. විලාපයන් ද මොහොතින් මොහොත තීව්ර වෙමින් ඈසෙන්නට විය. සාලය දෙසට තබා අහලකටවත් යන්නට අපට නොහැකි වූයේ ජන සන්නිපාතය ඒ තරම්ම වූ නිසා ය..ඉර බැසගෙන යන්නට අර අඳිනා මොහොතේ හාමුදුරැවන් වහන්සේලා පෙළක් ම වැඩම කොට, ගේ මිදුලේ වූ කූඩාරමේ පෙළට වාඩි වී සිටි අයුරු මට තවම මතක ය. එසැණින් මහා විලාපයක් ද සමග, ගෙයි සිටියවුන් සියල්ලක් ම පාහේ මිදුලට තල්ලු වෙමින් පැමිණියේ ය. ඊට ටික වේලාවකට පසු නැවතත් ලොකු තාත්තා ප්‍රමුඛ කිහිප දෙනෙක් ගෙතුලට ගියේ ය.

මුලු හාත්පස ම දැවැන්ත නිශ්ශබ්දතාවකින් වෙලී ගිය ඈසිල්ලේ බොල් හඬකින් කිසිවක් වසා දමන හඩක් මට ඈසුනේ, මා සිටියේ සාලයට යාබදව ම බිත්තියට හේත්තු ව සිටි බැවිනි. මොහොතකට පසු දොර ඇරී ලොකු තාත්තලා ඇතුළු පිරිවර අම්මා නිදා සිටි ​පෙට්ටිය ඔසවාගෙන මිදුලට පැමිණියේ ය. එසැණින් යළි මුලු මහත් විශ්වයට ම ඈසෙන තෙක් වූ මහා විලාපයක් පැතිර ගියේ ය. හිච්චා හෙවත් අපේ පුංචි අම්මා බිම ඈද වැටෙනු ද, එහා එතැනට පිණූ කිහිප දෙනෙක් ඈ වත්තම් කොට ගෙන ඈතුළට ගෙන යන අයුරුත් කිසිදු හැඟීමකින් තොර ව මම බලා සිටියෙමි.

කිසිවෙක් මහා හඬකින් යමක් කියන්නට උත්සාහ ගන්නා අතරේ ඒ හඪ වෙනත් දෙසකින් ඈයෙන්නේ කොසේදැයි විපිළිසර ව මම වට පිට බැලුවෙමි. ඒ හඬ ඇසෙන්නේ පාරේ ලයිට් කණුවේ ගැට ගසා තිබූ දිග නැට්ටක් සහිත දැවැන්ත කෝප්පයකිනි. මම ඌට්ටුව ද ගසා ගෙන ම එදෙස බලා සිටියෙමි. දැන් අර මහා විලාපය හීන් කෙඳිරියක් බවට ද, හීල්ලීමක් බවට ද පත් වී අවසාන ය. ඉන් පසු අර යකඩ කටෙන් අවට පැතිරෙන්නේ හාමුදුරුවන්ගේ ගාථා ය. සියල්ලෝ ම හැකි පමණින් බිම ඈන තියාගෙන වැඳ ගෙන සිටි අතර වාරයේ මම අවට බලමි. ඒ සුදු පැහැ ජන ගංගාව මැද්දේ සිටගෙන සිටින්නේ මා පමණ ය. මම එකිනෙකාගේ මුහුණු දෙස බලමි. කිසිවෙකුට මා දෙස බලන්නට ඉස්පාසුවක් නැත. මම අඟිල්ල උරමින් ම නිටි පියවරෙන් ම සිටියේ කරන්නට කිසිවක් ම නැති නිසාටත් වඩා සිතා ගන්නට බැරි නිසා ය.

ගාථා කී හාමුදුරුවන් වහන්සේලාගෙන් කෙනෙක් රැල් බුරුල් හරිමින් ඉතා දීර්ඝ දේශනාවක් කළ ද මට ඉන් එකදු වචනයක් මතක නැත. නමුත් උන් වහන්සේලා පිටත් ව ගිය පසු, "අප අතරින් වියෝ වූ ජයසීලි ගුරු මාතාව" ගැන ද, තේනුවර ලොකු ඉස්කෝලෙ මහත්තයා ගැන ද, ආතර් මහත්තයා ගැන ද, මහා දිග කතා ඈසෙයියකඩ කටින් වෑස්සෙනු මම බලා සිටියෙමි. මට ඒවා අසා සිටින්නට උවමනාවක් නැත. සිදු වන්නේ කුමක්දැයි දැන කියා ගන්නට මහත් උවමනාවක් තිබුණ ද අසා ගන්නට වත් කිසිවකු නැත. එනිසා මම එලෙසින් ම උකටලී ව සිටියෙමි.

හොඳට ම සවස් වූ පසු යළිත් විලාපය පැතිරෙන්නට පටන් ගත්තේ ය. සියල්ලෝ ම කඩි මුඩියේ මහ පාරට අවතීර්ණ විය. ඒ සමග හිසේ සුදු පාට තුවා බැඳගත් බෙර කරුවන් කිහිප දෙනෙක් සුදු රෙදිවලින් එතූ බෙරවලට කෝටුවලින් ගසමින් මහා ශෝකී රාවයක් මතු කළෝ ය. ඒ සමග නලා හඬක් ද පතුරවමින් ඔවුන් මහ පාරට ගොඩ උනෝ ය. ඊට පසු කිහිප ​දෙනෙකුන් විසින් අම්මා සහිත පෙට්ටිය ඔසවා ගෙන ඒ පස්සේ ගමන් කරන්නට පටන් ගත්තෝ ය. මම ඈස් ලොකු කර ගෙන එදෙස බලා සිටියෙමි. මොකක්දෝ කියා ගන්නට බැරි හැඟීමක් මසිත පුරා පැතිරෙන්නට විය. ඒ කුමක්දැයි මම අදත් විමසමින් සිටිමි. නමුත් අදටත් මට ඒ හැඟීම නිර්වචනය කොට දැනෙන්නේ නැත.

ටිකකින් කවුදෝ පැමිණ මාව ද ඈද ගෙන ඒ ජන ගංගාවට එකතු වුනේ ය.. මම ඔහේ පියවර මැන්නෙමි. ඊට පසු තවත් කවුදෝ පැමිණ, පෙරහැරේ ඉදිරියට මාව තල්ලු කර ගෙන ගියේ ය. මූසල බෙර හඬ අභිබවමින් විලාප හඬ මසිත කීරි ගසමින් ඈසෙන අතරේ, හීන් හඬින් තාත්තා හැඬූ හඬ මතක් වන විටත් මගේ සියොළඟ ම දැවී ගොස් යකඩ ගුලියක් උගුරේ හිර වුනාක් මෙන් අදත් මට දැනෙන්නේ ය.

පිට්ටනියෙන් එපිට ව, බුද්ධංගල පාර දිගේ ටික දුරක් ගිය විට මහා පාලු මංඩියක අම්පාරේ පොදු සුසාන භූමිය පිහිටියේ ය. මේ සුසානයට ඈතුළුවත් ම හිච්චා මා ළඟට පැමිණ "අනේ අසරණ කොලු පටියා" යැයි කියමින් මහත් සේ සෙනේහයෙන් යුක්ත ව, මගේ හිස අත ගාමින් කියූ සැටි ඒ ස්වරයෙන් ම ම​ට අදත් මතක ය.

අම්මා සහිත දෙන සුසානයට ගෙන ගොස් ආදාහනය කළේ ද, භූමි දානය කළේදැයි මට පැහැදිලි මතකයක් නැත. ඒ වගක් අද වුව මට තාත්තාගෙන් අසා දැන ගන්නට හැකි ය. නමුත් මා ඒ නො අසන්නේ ඒ තහවුරු කර ගන්නට මම අංශු මාත්‍රයකින් හෝ අකමැති නිසා ය.
අපේ අම්මා ආදාහනය කරන්නටවත්, භූමි දානය කරන්නටවත් කාටවත් බැරි ය..ඈ තාමත් මාළඟ සිටින්නී ය. මම ඇගේ තට්ටම විකූ විට ඌ ඌ ගාමින් මගේ හිස ඇගේ තට්ටමට තද කර ගන්නී ය.
මම නොසෙල් වී එසේ ම සිටිමි...!!!

Share/Bookmark

20 comments:

  1. මම මාමාට තේනුවර මාමා කියුවට මා ගැන අහිතක් හිතන්න එපා.. මන්ද මගේ ලොකු බාප්පා තේනුවර මාමාගේ වයසේ නිසා..

    මේ ජිවිත අන්දරය මාව ගොඩක් දුරකට අරන් ගියා.. අපි නොවිදි ජිවිත මගේ ඇස් දෙක ඉදිරිපිට දර්ශනය වුනා. අපි නොදැකපු ලෝකයක් එත් මම ඒ ලෝකේ ජිවත් වුනා කියලා දැනුනා මේ සටහන කියවාගෙන යද්දි.. මට මේ සිදුවිම් මගේ ජිවිතේට වුනා කියලයි දැනුනේ.. ඒ තරමට මට සංවේදි වුනා..

    ඔබ තුමාට බෝහෝම පින් මෙවැනි දේවල් අපේ පරම්පරාවත් එක්ක බෙදා ගන්නවට..

    ReplyDelete
  2. ජීවිතය අනියතයි..මරණය නියතයි..
    කොතෙක් මෙය මිමුණුවත් එය තවමත් මට අවබෝධ නොවන්නේ පින් මද නිසා වෙන්නැති..
    මාගේ දෙමාපියනුත් දැන් ඉතා මහළුය..ඔවුන් දිනක මා අත හැර යනු නියතය..
    නමුත් කෙසේ එයට මුහුණ දෙන්නදැයි තවමත් මම නොදනිමි...
    දෙමාපියන් ළඟ නැති ජීවිතයක් මට සිතාගතවත් නොහැකිය..
    එහෙත් ජීවිතය යනු එයමය..
    නමුත් එය යථාර්තය යැයි කියා සැමදා මෙය විඳීම මට තවත් කළ නොහැකිය..
    මේ ආත්මයේ කෙසේ හෝ දෙමාපියන් වියෝව දරාගනිමි...
    අන්‍යාගමික වූ මා, ඉන් අනතුරු, බුදු ධර්මයේ පිහිටෙන් නිවන සොයා ගොස් කෙසේ හෝ එය අවබෝධ කර ගනිමි...
    ඔබ සැමටත් මේ ජීවිතය තුළදීම නිවන් අවබෝධවෙත්වායි පතමි!!! අරහත්වයට පත්වේවායි පතමි!!!
    ඔබ තුමන්ලාගේ නිර්මාණශීලිත්වය, නුවණ, සංවේදීශීලී බව නිවන් අවබෝධ කරගැනීම සඳහා ඉවහල් වෙත්වා!!!

    ReplyDelete
  3. ජනනි හංසකිංකිණිOctober 3, 2010 at 8:03 AM

    ‍වටිනා ලියමනක්. ඔබට වඩා වයසින් වැඩිලා හිටපු කාලයක වුණත් මටත් මගේ තාත්ත හදිසියෙන්ම වියෝ වීම ඇත්තක් යැයි හිතන්න ලොකු අකමැත්තක් තිබුණ. අදට වුණත් මම තාත්ත ගැන කතා කරන විදිය ඇහෙන කෙනෙක් හිතන්නෙ නෑ මගේ තාත්ත ජීවතුන් අතර නැහැ කියල. අදටත් මම තාත්තගෙ මළගෙදර වෙලාවෙ රාමු කරපු පින්තූරෙ ගෙයි නිතර පෙනෙන තැනක තියන්න දෙන්නෙ නැහැ. මොකද එහෙම පින්තූරයකින් නිතර දකින්න ගියොත් හිතේ ජීවත් වෙන තාත්ත නැති වෙයි කියල මට බයයි. පුංචි කාලෙ තනියම කල්පනා ලෝකෙට වැටුණාම මට කල්පනා වෙනව අනේ අම්ම මැරුණොත් තාත්ත මැරුණොත් මට මොනව වෙයි ද? ඒ දුක තනිකම දරාගන්න පුල්වන් වෙයි ද? කියල. ඒ වගේ වෙලාවට තනියම කාටවත් නොකියාම අඩ අඩා හිටියත් මතකයි. ඒත් තාත්ත හදිසියෙම නැති වුණාම කදුළු බින්දුවක්වත් නොහෙළා මරණෙ වැඩකටයුතු මෙහෙයවාගෙන අම්මයි මල්ලියි එක්ක ඒ දේට මුහුණ දෙන්න ශක්තිය ලැබුණෙ කොහෙන්ද? කියල ම තාමත් කල්පනා කරනව.

    ReplyDelete
  4. අපි පිළිගන්න අකමැති ඒත් ඇත්ත දේවල් තියෙනවානේ. මේකත් එහෙම එකක්.

    ReplyDelete
  5. මාත් මගේ තාත්තාට ආදරය කළෙමි. ඒ අතරම වෛර කළෙමි. බොහෝ විට එය ආදරයත් වෛරයත් අතර සංකලනයක් විය. එයට හේතු බොහෝ විය. ඔහු වයස 52 කින් අකාලයේ මිය ගිය විට කඳුළු නොසැලුවෙමි. එහෙත් එයට හේතුව මගේ සිතේ දුකක් නොමැතිවීම නොව මිය ගිය කෙනෙකු වෙනුවෙන් කඳුළු නොසලන බවට මගේ හිත මට දී තිබූ ප්‍රතිඥ්ඥාව විය. එය අදටත් එසේමය. එකල වයස 20 ක් වූ මා කිසිම කෙනෙකුට ඇඟිලි ගැසීමට ඉඩ නොතියා මල ගෙදර වැඩ කටයුතු කරට ගෙන කෙරුවෙමි. එහෙත් ඔහුගේ ජීවිතය ගැන කල්පනා කර බලද්දී එහි වැරදුනු තැන කොතැනද කියා තවමත් කල්පනා කරමි. ඒ තැන් එකල තේරුම් ගැනීමට උත්සහ නොකළේ ඇයි දැයි සිතමි. නමුත් අද ඇත්තටම ඔහු ගැන දුක් වන‍්නෙමි......
    ඔබගේ කතාව කියවන විට මට මගේ අතීතාවර්ජනය වේ....

    ReplyDelete
  6. මට සාහිත්ය විචාරය ගැන ලොකු දැනුමක් නැහැ. හැබැයි මට තේරෙණ හැටියට මේක මට්ටමකට ලියැවිලා තියෙනව. විශේෂයෙන්ම අවසානය ඉතාම ප්‍රබලයි.

    - අනුජ මංචනායක

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. දරුවෙකුගේ ජීවිත කාලයේදී සැබෑවෙන නපුරුතම හීනය තමයි තමන්ගේ අම්මගෙයි තාත්තගෙයි වියෝවන්ට මුහුණ දීමට සිදුවීම. එයට මම කෙසේ මුහුණ දෙනවාදැයි සිතන්නටවත් මමනම් අකමැතියි.

    ඔබ තුමා ඒ සංවේදජනක සිදුවීම ඉතා අපූරුවට ඉදිරිපත් කරල තිබුනේ මරණ ගෙදරක පරිසරය හිතේ මවා ගැනීමට පුළුවන් ආකාරයට විස්තර කරමින්.

    ඉතාමත් කුඩා වියේදී අම්මාගේ සෙනෙහස අහිමි වෙනවා කියන්නෙ මුළු ලෝකයෙන් භගයක් අහිමි වෙනවා කියන එකයි.

    මම අද ඉන්න තැනට පැමිනීමට මගේ අම්මා කොච්චරනම් මට හයියක් උනාද කියලා හිතනකොට, එතුමියගේ ආදරය රැකවරණය නොමැති වූවේ නම් කුමක් වේවීදැයි මටනම් හිතා ගැනීමටත් අපහසුයි.

    ReplyDelete
  9. බොහෝමත් ම ස්තූතියි ඔබ හැමට..!! පහු ගිය කාල සීමාව අතිශය කාර්ය බහුල ව ගෙවී ගිය බැවින් ඔබලාට අමතන්නටවත් නොහැකි විය. කරමින් තිබූ දැවැන්ත කාර්යය අහවර වූයේ ඊයේ (නොවැම්බර් 11) දා ය. දැන් ඉතිං ඔලුව හරි නිදහස් ය..!! එනිසාවෙන් යළි ලියන කාර්යයට අවතීර්ණ වන්නට පුලුවන. මාත් එක්ක නොසැලී සිටියාට ආයෙත් ස්තූති කරමි..!!

    ReplyDelete
  10. මේ ලියවිලි මාව අතීතයට උස්සලා වීසි කරනවා.මම කැමතියි එහෙම වෙනවට.මේ දේවල් ආශ්‍රයෙන් කෙටි කතාවක් වැනි යමක් ප්‍රතිනිර්මාණය කරන්න පුලුවන් නම් වඩාත් හොදයි කියලා මට හිතෙනවා.

    ReplyDelete
  11. අම්මලාව අපෙන් ඈත් කරන්න කාටවත් කවදාවත් බැහැ....අපි ගන්න හුස්මක් හුස්මක් පාසා අම්මා අපිත් එක්ක ඉන්නවා....

    ReplyDelete
  12. Obage me kathawa kiyawaddi mata mage Amma ta thiyana aadare thawath wadi una...
    Mage Amma mage hama deyakma.

    ReplyDelete
  13. එක කථාව මුලු​ ඔක්කෝම බිලොග් එක උනා. හරිම හැගීමිබරයි.

    ReplyDelete
  14. ජීව් කිව්ව වගේ මම මගේ තාත්තාට ගොඩක් ආදරය කලා . .
    ඒ අතරේ වෛර කලා . . .
    තාත්තා අපිට ගොඩක් යුතුකම් ඉෂ්ඨ කලේ නෑ හැකියාවක් තිබිලත් . .
    ඒත් අපි තුන්දෙනාම වැඩියෙන්ම ආදරේ කලේ තාත්තට . .
    මම මුලින්ම පිට රට ගිය කාලයේ එක වතාවක් මගේ තාත්තා අසනීප වෙලා රෝහල් ගතකරලා මගේ මිතුරන්.
    ඒ බව දැන ගත්තු මොහොතේ මගේ හිසෙන් පටන් ගත්තු හිරි වැටීමක් මුලු ඇඟම වෙලා ගත්තා.
    ඒ හිරිවැටීම නතර වුනේ තාත්තගේ ව්‍යාපාර වලින් ඔහුව නිදහස් කර ඔවුන්ට නිවසක් තනාදී මාසික වියදම් යවන්න පටන් ගත් පසුවයි.

    එතකොට මට වයස 26යි . .
    අවුරුදු 10ක කාලයකදී මගේ ජීවිතයට වුනු වෙනස කියන්නේ අද දවසේ අම්මා තාත්තා විතරක් නෙමෙයි . .
    මගේ කියන ඕනෑම දෙයක් මට නැති වුනත් දවස් කීපයක් ඒ ගැන විස්සෝප වෙලා ජීවිතේ හැටි ඔහොම තමයි කියලා හිත හදා ගන්න පුලුවන් වෙන තරමට මම වෙනස් මිනිහෙක් වෙලා කියලා මට හිතෙනවා . .

    මටම පුදුමයි මම ගැන.

    ReplyDelete
  15. @දුකා හෙවත් සුභාෂ් මල්ලී..මගේ ජීවිත කතාව ලියන්න ඕනෑ කියල මට බල කළේ ඔබේ ලියැවිල්ලකුයි. ඒ ඔබ තාත්තා ගැන ලියූ සටහනයි. ඊට මම කොතරම් ආදරය කළාද සහ ඊර්ෂ්‍යා කළාද කිව්වොත් මටත් හිතුණා මගේ කතාවත් ලිවිය යුතු ම ය කියල. ඒ නිසා මේ කතාවේ සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ ඔබටයි..!!

    මාව ලියන්න පොළඹවලා මදිවාට ඔබ අපේ විපුල අය්යාත් ඈදල දැම්මා නේද මේ සයිබර් අවකාශයට ම..ඒකත් හර් ම හොඳ වැඩක්..
    ඈත්තට ම මල්ලී අපි හැමෝට ම පොදු වෙච්ච කතාන්දර තියෙනවා අපේ ජීවිතත් එක්ක බද්ධ වෙලා සහ හැංගිලා..අපි ඒව එළියට දාන්නෙ නැහැ අවට ලෝකයා වැරදියට බලයි කියන බයට..අනෙක මගේ ජීවිත කතාව පොතක් විදිහට පළ කළත් කවුරුවත් ඒක සල්ලි දීල අරගෙන බලන එකක් නැති බව මම දන්නවා. ඒ නිසා කිසිදු වියදමක් නැති ව, එය මේ සයිබර් අවකාශය පවතිනාතාක් කල් මේ සර්වරය තුළ තිබේවි..බලන්න පුලුවන් කෙනෙක් බලාවි.

    ඒ වගේ ම ලියන්න පුලුවන් අය ලියාවි..තමන්ගේ කතාව ගැන, තමන්ගේ අතීතය ගැන අභිමානයකින් බලන්න පුලුවන් අය එයාලගේ කතාත් ලියන්න පටන් ගනීවි..
    ඒ නිසා මල්ලී, ඇත දුර රටක හිටියත්, කවරදාවත් නොදැක්කත්, මගේ කතාවේ මූල බීජය වපුරන්නට මේ බිම් කඩ කල එළි කොට සකස් කර නොදී, මාව පුරන් කෙතට ඈද දැම්මාට මම උඹට මහත් සේ ගෞරව ද, ආදරය ද කරමි...!!!

    ReplyDelete
  16. xxතේනුවර මහතාණනී,ඉඩ ලද විරාමයේ ..නිදිවරා ඔබ පියාණන් ගෑන ලියු මේ අපුරු කථාව එකම හුස්මට කිය විමී.එපමනක් නොව මෙහි අඩංගු මවගේ අවසන් කටයුතු දක්වා කියවා හමාර කලෙමී .දෑන් වේලාව රාත්‍රි 1.00ට ලංවී
    ඇති නිසාත් නොනවත්වා ගලා හෑලෙන කදුලු නිසාබොදවී පෙනෙන අකුරු වල ඇති අපහෑදිලිතාවය නිසාත් ඉතිරි කොටස් පසුව කියවීමට ඉටා ගතිමී. සියලු කොටස් කියවා අවසානයේම කමන්ට්ස් කරන්නට සිතුවත් බෑලු කොටස් ගෑන යමක් නොලියා සිටිම අසාධාරණ යෑයි සිතු බෑවින් මෙය සටහන් කරමි. කියවන්නාගේ මනස තුල චිත්ත රූප මෑවෙන සේ අදාල සිදු වීම මේ මොහොතේ සිදුවුවක් සේ ලිවීමට තරම් ඔබ ගේ හෑකියාව ඉතාම ප්‍රශංසණියයි.ඔබට මගේ ප්‍රණාමය මෙසේ පුද කරමි. ඉතිරි කොටස් කියවා පසුව කොමන්ට්ස් කරන්නෙමී..ඔබට ජය xx

    ReplyDelete
  17. කොමෙන්ටුවක් දාල, ඒකෙ කෙළවරේ තමන්නේ නමත් එක්ක දැම්මා ම, මේ ලියල තියෙන්නේ තමන්නේ ම එකෙක් ය කියන හැඟීමට මම හරි කැමතියි..!!

    ReplyDelete
  18. ihatha coment eka dammath nama sadahan kirimata atha pasuwema gana kanagatu wemi... samawanna.....mama Fb eka thulin oba hadunagath...
    R,Dharamalatha ranasingha A

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. කුඩා දරුවන් සිටින මවකගේ මළ ගෙදරකට ගියවිටක දරුවන්ට කොහොම දැනෙනව ඇතිද කියා වික්ෂිප්ත උනා. අද කඳුළු අතරින් එය දැනුණා.

    ReplyDelete