Saturday, November 13, 2010

19. වසන්තයියා.

වසන්ත අයියා අපේ අයියාට වඩා වසරකින් පමණ වැඩි මහල් ය. නමුත් අයියාත් වසන්තයියාත් අකුරු කළේ එක ම පන්තියේ ය. වසන්තයියා අද මෙන් ම එකල ද ජොලි පොරකි. එමෙන් ම හේ විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකි. විවිධ මිනිස් රූප හා සත්ව රූප අඳින්නට ඔහු ඉතා දක්ෂ ය. ඔහු එය වැඩි දියුණු නොකළේ අවාසනාවකට යැයි මට සිතේ. එකළ වාහන නොතිබූ යුගයේ ඔහු පුෂ් බයිසිකල් පිස්සෙකි. කටට නිවනක් ඇති හැම විටෙක ම ඔහු බයිසිකලය පස්සේ ගසා ගෙන ගම පුරා රවුම් ගසයි. හේ හැම විට ම කාට හෝ උසුළු විසුළු කර, ඹවුන් කෝප ගන්වයි. නම් පට බඳියි. ඊට වයස් තරාතිරමක් නැත. ඔහු අඳුනන කවුරු හෝ අඳුන්වන්නේ පටබැඳි නමකිනි. හන්දියේ ගල් බණ්ඩා, අංකල් ගොට්ටා මට හෙඳ හැටි මතක නම් දෙකකි. හන්දියේ ගල් බණ්ඩා කීවේ පොලීසියේ බණ්ඩා රාළහාමිට ය. අංකල් ගොට්ටා කීවේ අල්ලපු ගෙදර ගොඩගේ අංකල්ට ය.

ඊටත් අමතර ව ඔහු අප හැමට ම විවිධ නම් පට බැන්දේ ය. ඔහු අප අමතන්නට භාවිතා කළේ ද ඒ නම් ය. මට කීවේ කුකුල් කියා ය. ඒ මගේ නම උපුල් වූ නිසා ය. ඉඳ හිට මා ළඟින් යන අතරේ මේ හාදයා "කුක් කු කූ" කියමින් හඬලයි. එ ් මා කෝප ගන්වන්නට ය. ඉතිං මම ඔහු පස්සේ පන්නමි. ඔහු හැල්මේ දිව යයි. යන අතර වාරයේ ඉදිරියට හමුවන කාට හෝ තවත් නමක් කියයි. දැන් මා නැවතී එයා වසන්තයියා පස්සෙන් දුවයි.

වසන්තයියාගේ නිබඳ ප්‍රහාරයට අසු වූයේ අනිල් අයියාත්, සුදු නංගීත්, බාල මල්ලී චන්දනත් ය. ඒ ඔවුන් හැම විට ම ඊට එරෙහි ව යුද ප්‍රකාශ කරන නිසා සහ නඩුව ලොකු අම්මා ළඟට ගෙන යන නිසා ත් ය. හේ විටෙක "ටිං ටිං" ගායි.. එසේත් නැතිනම් "අන්න ලේනෙක්" කියයි. එසැණින් අනිල් අයියා පරල වෙයි. ද්‍රවිඩ බසින් ​අනිල් කියන්නේ ලේනාට ය. අනිල්අයියා අතට අසුවන යමක් ගෙන දමා ගසයි. විටෙක එය වදින්නේ අහක ඉන්නා කාට හරි ය. එවිට මහා අඳෝනාවක් නැගෙයි. එසැණින් ලොකු අම්මාගේ හඬ ගගන තලය පුරා පැතිරෙයි. "ඔය ළමයිංව කන්නෙ නැතුව නිකං ඉන්නව ලොක්කා"

ලොකු තාත්තා සිටිනා වෙලාවන් හි දී මේ ආරෝව වඩා උස් ව නැඟෙයි. ඒ නඩුව ලොකු තාත්තා ළඟට ගෙන යන්නට ඕනෑ නිසා ය. " නිකං ඉන්නව ලොක්කා" තරමක් සැරෙන් ලොකු තාත්තා කියයි. එවිට අනෙක් පාර්ශ්වයට හරි සන්තෝස ය. "ඈද්ද..ඈද්ද.." කෙනෙක් කියයි.."අද දවල් ම හඳ පායලානෙ". වසන්තයියා කට උල් කරමින් කියයි. ඒ ලොකු තාත්තාට ය. ලොකු තාත්තාගේ හිස මැද්දෑවේ හඳ පෑවුවාක් මෙන් තට්ටය පෑදී තිබුණි. ඒ තට්ටය තෙල් ගා පොලිෂ් කළාක් මෙන් දිලිසෙයි. අපි ඒ අත ගා බලන්නට හරි කැමැත්තෙමු. ඊට ලොකු තාත්තා කිසිවක් කියන්නේ නැත. වසන්තයියා හඳ ගැන කියූ විට ලොකු තාත්තාගේ මුහුණ පුරා ලොකු හිනා රැල්ලක් නැඟෙයි. කටේ නිරන්තරයෙන් රැඳි තිබෙන කළු සුරුට්ටුව ඉවතට ගෙන, ඉදිරි දත් පළේ කැඩුණු දතට දිව තබා ඔහු හඬ නොනඟා සිනාසෙයි..ඊට පසු යළි සුරුට්ටුව හපන ඔහු "තුහ් තුහ්" ගායි නමුත් කෙළ විසිවන්නේ නැත.

වසන්තයියා සුදු නංගීට කියන්නේ කොටු රූල් කියා ය. ඒ ඈගේ කකුලේ යටි කොටස කොරල පිපුණු සේ දිස් වීම ය. ඒ ගැන කියනවාට ඈ හරි අකමැති ය. අද දොස්තරියක නිසා ඈ එය සුවපත් කරගෙන ඇතිවාට සැකයක් නැත. වසන්තයියා කට හඬ වෙනස් කර "කොට්ස්" කියයි..එවිට ඈ හොටු පෙරමින් හඬා වැටෙයි. චන්දන මල්ලීගේ ඇස් තරමක් වපර ය. එනිසා ඔහුට කියන්නේ "කොපරේ" කියා ය. ඌ හිච්චං එකා උනාට මොහොතකටවත් ඉවසන්නේ නැත. දත් මිටි කමින් ලොක්කා සමග රණ්ඩුවට යයි. මේ හැම විසුලුවකින් ම වසන්තයියා විඳින්නේ අපමණ වූ සතුටකැයි මට සිතෙයි. මේ සියලු ආරෝවන් අස්සේ ඔවුන් හැම එක ම හුයෙකින් බැඳුණා වැනි අපූරු සෙනෙහසකින් බැඳී සිටියි.

ඒ බැඳීම, සෙනෙහස වසර තිහ හතළිහක් ගෙවී ගිය ද අදටත් එක හා සමාන ව අප අතර තිබේ.

Share/Bookmark

15 comments:

  1. මේ බ්ලොගය හා පෙමින් වෙලෙන්නට එක හේතුවක් වන්නේ මේ ගලායන විලාසයයි..! විසල් පවුලක උප්පත්තිය ලැබීමේ වාසනාව කරණ කොටගෙන ඒ අත්දැකීම් සදාකල් සිත ගල් කරන්නේ අනේ මටත් මෙහෙම පවුලක ඉන්නට තුබුණා නම් කියා සිතෙමිනි..! වාසනාවකට දෝ මටදු රාස්ස නංගියෙක් හා එලකිරි සහෝදරයෙක් සිටින නිසාවෙන් ඒ අඩුපාඩුව මඟ හැරී ඇති..!
    එහෙත් තවමත් මා ලොකු පවුලක ජීවත් වන්නට මනාපය..!

    ReplyDelete
  2. ඉන්ද්‍රනාථ තේනුවර යන්නට උපුල් කියා කොටසක් ද ඇති වග නොදැන සිටියෙමි....

    ReplyDelete
  3. Great Autobiography...!
    දිගටම ලියන්න...

    ReplyDelete
  4. Very nice story. shani

    ReplyDelete
  5. digatama liyanna sir api godak asawen oba thumage kathawa rasa windinawa........

    ReplyDelete
  6. Meya kiyawaddi maa maage lamaa kalata pivisune matath nodaniiya. Eda wadihitiyaku se jeevath wannata aasa kala maa ada ee kalata gos jeevath wannata athnam yayi kisidaa saba nowana sihinayaka bandii sitinnemi.

    Apuuruyi, harima rasawath.

    Eeken meeken Mr. Thenuwarage pata bandi naamayath danagaththa.
    Eeth ada kaale '' KUKULA'' kiyana naamaya patabandinne kaatadayi oba dannawa yayi sithami.

    ReplyDelete
  7. දන්නවද වත් නංගී, ඔයා ඩැකල නැතුවට තව තව දෙවල් තියෙනව...!!!හික් හික්...!!!
    මට ලියන හැමෝටමයි.. ලියවිල්ල අගට නමත් දැම්මනම් මට ඒක හරි වටිනවා..!!

    ReplyDelete
  8. අනේ අම්මප ... මේකා නම් කුකුලෙක්ම තමයි

    ReplyDelete
  9. මට අද තමා මේ බ්ලොග් එක දකින්න ලැබුනේ. පළමු කතාව කියෙව්වට පස්සේ එක හුස්මට කතා ටික කියවලා ඉවර කළා මොකද මෙය රස විදිම කල්තබන්නට මට කිසිසේත්ම හිතුනේ නෑ.........
    අපිට නොලැබුණු ළමා කාලය හා එහි මිහිර මේ අයුරින්වත් විදීමට ලෑබීම ගැන මම සතුටු වෙමී....

    "මගේ කතාව" ඉදිරියටත් ලිවිමට ඔබට වාසනාව හා ධෛර්යය ලැබේවා!!!!!!!

    ReplyDelete
  10. අයියෝ . . . චන්දන අයියා ගැන කිව්වම මට හිතුනේ එයත් ටිකක් මම වගේ කෙනෙක් වෙන්න ඇති කියලා . .

    චූටිම කාලේ මම කටර් එකක් . . පස්සේ අම්මයි අක්කයි "අපෝ මුගේ චුරු චුරුව" හරි ඒ වගේ වෙන මොනා හරි නෝන්ඩියක් නිසා කිසි දෙයක් නොකියන කෙනෙක් වෙලා හිටියා . .

    පස්සේ ආයි පටන් ගත්තා . .

    ඒ කාලේ මට යලුවෝ කිව්වේ සිරස එෆ් එම් කියලා . ..

    ඔය තරම්ම නරක නෑ ඒත් අනිත් අයව අවුස්සන එක මට හෙන ජොලි වැඩක් . . .

    තාමත් ඉතිං ඒ ගතිය ටික ටික තියෙනවා . . නියමයි අය්යා . . .

    දිගටම ලියන්න බලාගෙන ඉන්නවා ඊලඟ කොටස එනකම් . .

    ReplyDelete
  11. හරිම සුන්දර මතකයන්.... ඇත්තටම වෙලාවකට හිතෙනවා සර් ලේඛකයෙක් නොවුනේ ඇයි කියලා......

    ReplyDelete
  12. එතකොට ඔබතුමාගේ නම "උපුල් ඉන්ද්‍රනාථ තේනුවර"

    ReplyDelete
  13. අනේ අම්මපල්ලා ඇත්තමයි සර්., මේ බ්ලොග් එක කියවද්දි සර්ව බදාගෙන ඉඹින්න හිතෙනව මට.!

    ReplyDelete
  14. කවුදෝ ඇනෝ කෙනෙක් හිටු කියල ඉංගිරිසියෙන් මේකට කොමෙන්ට් දානවා. නමුත් ඒව පේන්නෙ නොටිෆිකේෂන් එකේ විතරයි.
    බ්ලොග් විශරදයො මට කියන්නකො එහෙම වෙන්නෙ ඇයි කියල..?
    ඒ ඇනෝනියා කරන්නෙ එයාගෙ ලින්කුවක් දාන එකයි. නමුත් ඇයි ඒ මුකුත් ම මේකෙ පෙන්වන්නෙ නැත්තේ..?

    ReplyDelete
  15. I found this blog today via mama dasaya - atampahura. read all the posts. so interesting. hope your elder brother was the former FUTA president

    ReplyDelete