Tuesday, November 30, 2010

20. සෙල්ලම් කාලය.

මළ ගෙදර වැඩ කටයුතු සියල්ල අවසන් වු, කාලය ගලා ගියේ ඉතා සෙමිනි. අපගේ පාසැල් ගමන ද අතර මග ඈන හිට තිබින. කිසිදු කනස්සල්ලකින් තොර ව අපට කාලය ගත කර හරින්නට ඈවැසි හිතකර පරිසරයක් මවමින් ලොකු තාත්තලා සිටි නිවාස සංකීර්ණයේ ඉදිරිපිටින් දැවැන්ත ක්‍රීඩාංගණය අපට රිසි සේ දුව පැන ඈවිදින්නට අවස්ථාව ලබා දුන්නේ ය. ලොකු තාත්තාගේ දරු මල්ලන් ද නිරන්තරයෙන් අප සමග ම විය. ඒ මාර්තු මාසයෙන් පසු එළැඹි අවුරුදු නිවාඩු කාලය බැවින් කාටත් පාසැල් ගමණක් තිබුනේ නැත.

අපි උදෑසන අවදි වූ වෙලේ පටන් ඇති පදම් පිට්ටනියේ සෙල්ලම් කළෙමු. දහවල් වෙත් ම දැඩි හිරු රශ්මිය දරා ගත නොහෙන අවස්ථාවක, පිට්ටනිය වටා ඈති ඕනෑ ම නිවෙසක මිදු​ලකට යන්නට ද, ගසක නගින්නට ද, කිසිවකු අපට තහංචි පැනවූයේ නැත. එනිසා අපි ඇති පදම් අවුරුදු කාලයේ පළ දරන නෙක තුරු ලතාවන්ගෙන් අසීමිත පළ ප්‍රයෝජන ලැබුවෙමු. හැම වත්තක ම මිදුලේ වූ පේර ගස්, අඹ ගස්, දෙලුම් ගස්, අප අත නොහැරියෙමු. තරමක් විසල් අඹ ගස් මත අපට නගින්නට අවසර නැති වුව ද වසන්තයියා ප්‍රමුඛ අය්යලා කාණ්ඩයක් ම අපට ද සමෝසමේ අස්වැන්න බෙදා දුන්නෝ ය.

මේ ගස් අතරින් වඩාත් ම මගේ සිත් ගත්තේ නොඋස් වැටි නාරටි මත්තේ ඇදී යන "පඩ" වැල් කෙරෙහි ය. එහි සෑදෙන්නේ කුඩා ගෙඩි විශේෂයකි. ප්‍රමාණයෙන් ලොකු මිදි ගෙඩියක් තරම් ය. කොළ පැහැති ඒ ගෙඩිය මත්තේ කැකිරි ගෙඩියක මෙන් ම වූ කහ සහ කොළ පාට රටාවන් විය. මේ ගෙඩි ඉදුණු විට වඩාත් කහ පැහැ වූ අතර, එය මිරිකත් ම "පුහ්.." හඬින් පුපුරා යයි. එය පඩ නමින් හැඳින්වෙන්නේ ඒ නිසා විය යුතු ය. මේ පිපිරුණු ගෙඩිය තුළ ඇට රාශියකි. එය මාංශල ය. ඒ කියන්නේ ඇට වටා ලොඳයක් සහිත ය. .....අම්මා එහි මිහිරි රසය...දැනුත් මගේ රස නහර පිනා යයි. "පුහ්.. පුහ්.." ගා පඩ පුපුරවන්නටත්, එහි ඇට සූප්පු කරන්නටත් මම ඉමහත් කැමැත්තක් දැක්වීමි.

මේ අල්ල පනල්ලේ යළිත් වරක් ලොකු තාත්තලාගේ ගෙදරට පිරිස් එක් රොක්වනු මට දැනෙන්නට විය. සැවොම හරි කඩිසර ව ලොකු ලොකු මළුවල එල්ලාගෙන යම් යම් දේ ගෙනැවිත් දෙයි. ලොකු අම්මාගේ උදව්වට අවට නිවැසියන් ද හරි හරියට පිහිට වෙයි. ඉන් ගොඩගේ ඇන්ටිත්, මට නම අමතක ද්‍රවිඪ කාන්තාවකුත් ප්‍රධාන ය. ඒ, ඒ දෙන්නා ලොකු තාත්තලාගේ ගේ දෙපැත්තේ අය නිසා ය. මේ දෙදෙනා ම හරි කරුණාවන්ත ය. අප දකින හැම මොහොතක ම අඩු ම තරමින් අපගේ හිස හෝ අත ගාන්නී ය.

ලොකු තාත්තා කච්චේරියෙන් මිදී ආ විගස සරමක් ඈඳ ගෙන කළු සුරුට්ටුව ද ලෝඩ් කරගෙන, සාලයේ සිටින අන්කල්ලා දෙතුන් දෙනා සමග බර සාක්ච්ඡාවක නියැළෙයි. විටෙක එය ඉංගිරිසියෙනි. විටෙක දෙමළ බස ද ඇසෙයි. නමුත් සියලු සිනා හඩවල්නම් අනිවාර්යයෙන් ම සිංහලය...!!!

තාත්තා මේ සමාගමයට එකතු වන්නේ තරමක් රෑ බෝ වූ පසුව ය. ඒ තාත්තා සිය සයිකල් සවාරිය අවසන් කරන්නේ බොහෝ සවස් යාමයේ නිසා ය. "ඇත්ත" පත්තර පෙට්ටිය සහිත බයිසිකලය බිත්තියට හේත්තු කරන තාත්තා, අප දෙස බලා සිනාසෙයි. නමුත් කිසිවක් කියන්නේ නැත..සැතැපුම් 30, 40ක් බයිසිකල් පැද්ද විට කුමන තරමෙක මහන්සියක් සෑදෙන්නේ දැයි අපට තක්සේරුවක් නැත. මෙසේ මඳ වේලාවක් නිස්ශබ්ද ව සිටින තාත්තා පත්තර පෙට්ටිය ඇර, ඉන් පාර්සලයක් ගෙන අප දෙසට දිගු කරන්නේ "ආ.." කියමිනි. එය අප කවුරුන් හෝ විසින් අතට ගනු ලබයි. ඒ අප හෝ වසන්තයියලාගේ අය හෝ විය හැක. එසේ දෙන ගමන් ම ඇඳ සිටින අත් කොට කමීසයේ බොත්තම් ගලවයි. එවිට දහදිය සුවඳක් පැතිරෙයි.. එහි සුවඳ මේ යැයි කියන්නට මට නොහැකි වුව ද, එහි සුවඳ ඔබට කියන්නට මගේ වදන් කොස්ස පොහොසත් නොවූව ද, එය ලියන්නට තරම් අකුරු ලොව කිසිදු භාෂාවෙක නොමැති වූව ද, අදත්, තාත්තා දුරකතනයෙන් අප ඇමතුවත්, ඒ දහදිය සුවඳ ඒ අයුරින් ම මම ආඝ්‍රාහණය කරන්නෙමි.

තාත්තා ඇඟ සෝදන්නට ගිය විට බයිසිකලය වසන්තයියා සතු වෙයි. ඔහු එහි පොල්ල යටින් කකුළ දමා ගෙන එක් පාදයක් බිම දිගේ අද්දවමින් මිදුල පුරා පැඩල් කරයි. අපි එහි පිටුපස අල්ලාගෙන දුවන්නෙමු. විටෙක එය අප සියලු දෙනා ම සමග බිම ඇද වැටෙයි..එවිට වසන්තයියා මුහුණ නපුරු කර ගෙන " ඕයි.."" ගායි. එවිට අපි තරමක් පසු බසින්නෙමු.. යළි වසන්තයියා බයිසිකලය පැඩල් කරයි. එය පදින්නට තරම් ඔහු ලොකු නැත. ඒ නිසා කරන්නේ එක් පැඩලයක් පමණක් බාගෙට කරකවමින් තල්ලු කර ගෙන යාම ය. නමුත් කිහිප දිනෙකට පසු ඔහු තනි පැඩලයක නැග මඳ දුරක් බයිසික​ලයෙන් යාමට තරම් හපනෙක් විය. පසු ව එය පිට්නිය වටා යාමට තරම් දියුණු විය. දැන් අපට බයිසිකලය අල්ලාගෙන පස්සෙන් දුවන්නට බැරි ය. මන්ද වසන්තයියා පවනට බඳු වේගයෙන් තනි කකුලෙන් බයිසිකලය පදින නිසා ය. මේ බයිසිකල් පැදිල්ල ඉතා ඉක්මණින් අවසන් වූයේ ඔහු දවසක පිට්නිය මැද්දෑවේ ඇද වැටුණු නිසා ය...!! එදා තාත්තා ද, ලොකු තාත්තා ද පිට්ටනිය මැදට දුව ආවේ ය. දණිස්සේ විසාල රතු පැල්ලමක් ඇඳෙමින් තිබුණ ද, වසන්තයියා ඇඬුවේ නැත. නමුත් ඔහුගේ දෙකම්මුල් පුරා ලොකු කඳුළු කැට දෙක තුනක් ම බේරෙමින් තිබිණි. බයිසිකලය අයිතිකාර තාත්තා කිසිවක් නොකීව ද කඳුළු පෙරණ වසන්තයියාගේ පිට මැද්දෑවට තඩි පහරක් එල්ල කළේ ලොකු තාත්තා ය. ඒ පහර වැදුණු සැණින් එක් අතක් යටින් ද, අනෙක් අත් උඩින් ද යවමින් පිට අතුල්ලමින් වසන්තයියා ඇඹරුණු අයුරු මට තාම මතක ය. තාත්තා බයිසිකලය තල්ලු කරගෙන ආවේ දෙකකුල් මැදට හැඬලය තබා එහි ඇද ඇරීමෙන් පසු ව ය. ලොකු තාත්තා මොනවාදෝ සැරෙන් කියමින් තාත්තා පසු පසින් ආවේ ය. ඔවුන් තරමක් දුර යන්නට ඈර, ඇඹරෙමින් සිටි වසන්තයියා මහ හඬින් "තට්ටයා...." යි කෑ ගෑවේ ය. එවිට ලොකු තාත්තා "හ'හ්" ගා හිනා වුණේ ද වෙන කිසිවක් කරන්නට බැරි නිසා විය යුතු ය.

ඈඟ පත සොදා ගත් පසු ව තාත්තා ද සාලයේ සමාගමයට එකතු වෙයි. රෑ බෝ වී ඈති බැවින් අප ද ඇඟ පත සෝදා ගන්නෙමු. නමුත් ආච්චී විසින් අප බලෙන් අල්ලාගෙන ගොස් සෝදා දමනවා ය කියා එය නිවැරදි විය යුතු ය.

දෙවන තුන්වන දවස්වන විට සාලයේ මේස පුටු ඉවත් ව, දැව දඬු ගොන්නක් ආරූඪ විය. ඒ පිරිත් මණ්ඩප්පයක් සාදන්ට යැයි අපට කීවේ වසන්තයියා ය. සුදු පාට සව් කඩදාසි වැනි විසාල කඩදාසි ගොන්නක් ගෙන ආවේ වාහනයකිනි. කඩදාසි බාන තෙක් ඒ වාහනය එළවන්නට අපට බාර විය. අපි එකිනෙකා රියැදුරු අසුනේ වාඩි වී චිසල් ස්ටියරින් වීලය දෙපැත්තට කරකවමින් "ඇංංංං..ඈැැංංංං..." ගාමින් කටින් වාහනය එළැවූයෙමු...!!




Share/Bookmark

14 comments:

  1. patta kathawak meka.

    thaththalage dahadiya kawadath suwandai.

    ReplyDelete
  2. අපේ අතීත මතකය බොහොම අපූරැවට පෙළගස්සනවා!!! සාර්ථක නිර්මාණයක්
    ඔබට ජය !!!

    ReplyDelete
  3. අනේ අයියේ ඔයා ලියන කතා හරිම ලස්සනයි.මන් තවමත් හිතනවා කවියක් ලියන්න පටන් ගන්න ඕනි කොතනින්ද කියලා.
    අනෙක ඒ දේවල් ගොඩක් මගේ ජිවිතයටත් හරිම සමීපයි.
    කොච්චර බැලුවත් ඇිවෙන්නෙ නෑ.මමයි මහත්තයයි දෙන්නම ඒ හැම එකම කියෙවවෙ හරිම ආසාවෙන්.
    ඔයාට තවත් මේ වගේ ලියන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා.

    ReplyDelete
  4. ඔය අත්දැකීම් වලින් බාගයක් විතර මටත් තියෙනව. මං හිතන්නෙ ඒ අත්දැකීම් ලබපු අන්තිම පරම්පරාව නියෝජනය කරන කෙනෙක් වෙන්න ඇති මම. පඩ වැල්, දං ගස්, බෝවිටියා එක්ක පොඩි කාලෙ ගත වුණාට ඉස්සර ඒ ගස් වැවිල තිබුණු හිස් ඉඩම්, පිට්ටනි දැන් ගමේ හොයාගන්නවත් නෑ. තට්ටු තුන හතරෙ ගෙවල් හැදිල. මල් වැලුයි, ෆයිනස් ගසුයි විතරයි පැත්තෙම. . දුකේ බෑ. :(

    ReplyDelete
  5. ෂාමික...සුන්දරයි. මනුෂ්‍යත්වයේ සියුම් තැන් මොනවට විදහා පායි.
    ඔබට දිරි.........

    ReplyDelete
  6. ඇත්තටම ඔබතුමා එක් එක් දේවල් ඔස්සේ විස්තර කරමින් යන අයුරු අපූරුයි ‍...... ඒත් ඔබේ මේ සෙල්ලම් කාලය දැක්කම මට දුක හිතෙනව ..... මොකද ඒ වගේ අත්දැකීම් අපිට ලබාගන්න බැරි උනු නිසා

    ReplyDelete
  7. මට නම් දැනටත් පඩවැල් වල රස මතක් කරලා දෙන්නේ පැෂන් පෘට්.

    දං එහෙමත් ඉඳල හිටලා තාමත් රස විඳින්න ලැබෙනවා හාවා හඳ දකින්න වගේ ගමේ ගියාම නම් . .

    මේ මතක පෙට්ටගමේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්න එක ගැන අයියට ගොඩක් පින් . .

    ReplyDelete
  8. අපූරුයි, ඒ වගේම හරිම රසවත්. දිගටම ලියාගෙන යමු. අපි අනිවර්යයෙන්ම එනවා කියවන්න.....

    ReplyDelete
  9. මේ ටික නම් බොහෝ ම රසවත් බව ඈත්ත..අතිශය කටුක වූ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණු මගේ සහ අපේ ළමා කාලයේ අත්දැකීම් බෙදා හදා ගනිමින්, මට නව ජීවනයක් ලැබ ගන්නට ශක්තිය වන ඔබ හැමට මගේ ගෞරවාදරය පුද කර සිටිමි..!!

    ReplyDelete
  10. සිබිල් වෙත්තසින්හයන්ගේ 'වැනියන් කලු වැනීයන්' කියවමින් සිටිමි. මේ සියල්ල ඔලුව පිස්සු වට්ටන රචනාවන්ය! සන්වර්දනය හොඳද නරකද..? නොදනිමි!!!!

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මේක නම් අපේම බයිසිකල් අතීතය..

    ReplyDelete
  13. සියලු සිනා හඩවල්නම් අනිවාර්යයෙන් ම සිංහලය...!!! තවත් විශ්ව භාෂාවක් පෙන්වා දී ඇති සැටි අපූරුය.

    ReplyDelete