Thursday, November 11, 2010

18. ඉතිං ඊට පස්සේ...!!!

ඊට පසු දවස් ගෙවී ගියේ කෙලෙසකදැයි මට කිසිදු ගනිච්චියක් නැත. ඔබේ ගෙවෙන්නට ඈත. මෙතෙක් ලොකු තාත්තලාගේ ගෙදර අතුරු සිදුරු නැති ව පිරී සිටි ජන ගංගාව ඉඩෝරයකට අසු උනා වැනි ව වාෂ්ප ව ගොසිනි.

දැං ඉතිං අපේ ඔලුව අතගා "අනේ අපොයි" කියන්නට ද කිසිවකුදු නැත. ලොකු අම්මලා ද, පුංචි අම්මා ද, ඔවුන් සමග සිටි සියල්ලන් ද නැවත සිය ගම් රට ගොසිනි. ආච්චී (තාත්තාගේ අම්මා) පමණක් ඉතිරි ව සිටින්නී ය. ඇ මිටි, මහත, පැහැපත් කාන්තාවකි. රෙද්ද හැට්ටය අඳින ඇ හරි කඩිසර ය. මා වැඩි හරියක් දැක ඈත්තේ ආච්චි ඉස්තෝප්පුවේ දොර කණ්ඩිය ළඟ බිම වාඩි වී සිටිනා අයුරු ය. අප ඒ අසලින් යද්දී ඇ අත දමා අප ව ඈදගෙන ඔඩොක්කුවේ වාඩි කරවා ගන්නී ය. ඉන් පසු අපේ ඔලුව අඟලක් නෑර අත ගාන්නී ය. මුල දී මේ කිරියාව අපට මහත් ආගන්තුක වුව පසුව එය මහත් ආහ්ලාද ජනක විය.

මේ අල්ල පනල්ලේ මම ලොකු නංගී සහ නිතර ම හොටු පෙරාගෙන සිටින පොඩි නංගී ගැන විපරම් කළෙමි. ඔවුන් ද නැත. එදා කාමරයේ සිටි බෝනික්කා ද නැත..කිසිවක් මට නිච්චි ද නැත. තවත් දවස් දෙ තුනක් ම යන තෙක් මට කිසිවක් වැටහුනේ නැත. තාත්තා ද සිරිත් පරිදි පත්තර අලෙවි කරන්නට පිටත් ව යයි. වෙනසකට ඈත්තේ කළින් උහනින් පිටත් වූ ඒ ගමන දැන් අම්පාරෙන් පිටත් වීම පමණ ය. දවල් දවසේ ම දකින්නට නැති තාත්තා හැන්දෑ ජාමේ අපට හමු වෙයි. එළැඔෙන රාත්‍රියේ දී ඔහු අප සමග නිහඬ ව ම කාලය ගෙවයි. කතා කරන්නට කිසිවක් ඉතිරිව නැති සේ වුව, ඒ දැඩි නිහඬතාව මැද අපි අතොරක් නැති ව තාත්තා ද සමග දොඩමලු වි සිටිනු මට දැනෙයි.

"කෝ නංගිලා..?"" තුන්වන දවසේ දී පමණ අයියා තාත්තාගෙන් අසනු මට ඈසෙයි. තවත් බොහෝ වේලාවක් නිහඬතාව රජ කරයි. සමහර විට මට දැනෙන්නේ එලෙස විය යුතු ය.

"ලොකු නංගි මයුර එක්කං ගියා. පොඩි නංගි පියසීලි එක්කං ගියා.. මල්ලි තිත්තගල්ලෙ එක්කං ගියා..." තාත්තා කියයි. දැන් අපි පූරවස්සවර ලෝප සන්ධි ගැට ගසන්නෙමු.
මයුරා කියන්නේ අම්මාගේ ළඟ ම අක්කා ය. ඉන්නේ කළුතර ය. ඈයට ද අපේ ලොකු නංගීගේ වයසේ ම දුවක සිටින්නී ය. ඇ මංගලා ය. අද ඇ ලොකු අම්මා සේ ම ගුරුවරියකි. ඊට බාල දෙදෙනා ම මල්ලිලා ය. ලොක්කා සේනක ය. (අද ඔහු කැළණීය විශ්ව විද්‍යාලයයේ දන්ත ​වෛද්‍යවරයා ය.) බාලයා චන්දන ය. ඔහු ලූෂන් ලොකු තාත්තා වාගේ ම ඈට මැස්සෙකි. අද ඔහු රසායන විද්‍යාඥයකු ලෙසින් විදේශ රටක සේවය කරයි. ලොකු නංගී එක්කන් ගියේ මේ මයුර ලොකු අම්මා ය.

පියසීලි ලොකු අම්මා අම්මාගේ ඊ ළඟ වැඩිමහල් අක්කා ය. බරපතල පවුලක හිමි කාරිය වන ඈයට ද අපේ සම වයසේ ම දරැ මල්ලන් 6ක් සිටියේ ය. පොඩි නංගී හදා වඩා ගන්නට ඇ බාර ගන්නේ ඒ අල්ල පනල්ලේ ය. විල්සන් ලොකු තාත්තා එවකට ගාලු නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි. ඔවුන් පදිංචි ව සිටියේ ගාල්ලේ රිචමන්ඩ් පාරේ ය.

අලුත උපන් මල්ලී ව හදා වඩා ගන්නට බාර ගත්තේ තිත්තගල්ලේ ලොකු අම්මා ය. ඈයට මල්ලීට වඩා මාස කිහිපයක් වැඩි දරැවකු සිටියේ ය. මනසින් නොවැඩුනු ඔහු ද, අපේ මල්ලී ද දෙතනේ එල්ලාගෙන කිරි දුන් අයුරු දැනුදු ඇ අප හමු වූ විට කඳුලු පෙරමින් කියන්නී ය. එවකට අහංගම තිත්තගල්ලේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ලොකු තාත්තා සහ ඈට ද දරුවන් පස් දෙනෙකු සිටියේ ය. ප්‍රමාණ තක්සේරු කරුවකු (කොන්ටිටි සර්වේයර්) කෙනෙකු වන කපිල අයියා ද, ඡායාරූප ශිල්පියකු වන කැලුම් මල්ලී ද සමග ඈ දැන් සිටින්නේ අවිස්සාවේල්ලේ ය. ලොකු තාත්තාගේ අභාවයෙන් පසු විවාපත් වූ නංගිලා දෙදෙනා ද, ගමෙන් බැහැර වූ පසු, සියල්ල විකුණා දමා ඔවුන් අවිස්සාවේල්ලේ පදිංචියට පැමිණියේ ය.

නාඳුනන මල්ලී ද, එකට ම සිටි නංගිලා ද එකවර අපෙන් ඈත් වීම අපට එතරම් තදින් නොදැනුනේ ලොකු තාත්තාගේ පවුලේ සම වයස් සාමාජිකයන්ගෙන් ඒ අඩුව පිරි මැසුණු නිසා වන්නට පුලුවන. ලොකු තාත්තා අම්පාර කච්චේරියේ ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියකු විය. ඔහු කෝක් ශීට් සහ කාඩ්බෝඩ්වලින් විවිධ ගොඩනැගිලි අනුරූ තනන්නට අති දක්ෂයකු විය. ඒ අතර ම ඔහු පිරිත් මණ්ඩප සඳහා ද කැටයම් කැපුවේ ය. සුදු කඩදාසි අට්ටියක් එකට තබා විවිධ නියන් වර්ග භාවිතයෙන් ඔහු අපූරු කැටයමින් සපිරි පිරිත් මණ්ඩප නිර්මාණය කළේ ය. අපි දු ඔහු අනුකරණය කරමින් විවිධ ඈණ තලා නියන් සකසා ගෙන කැටයම් කැපුවෙමු. පසු කාලීන ව මම මේ රාජකාරිය මිතුරන් වෙනුවෙන් ද ඉටු කර දුන්නෙමි. අපොස සාපෙළ අවසන් වූ පසු මා කප් ගැසූ පිරිත් මණ්ඩප නිර්මාණ කරුවකු මෙන් විරාජමාන වූයෙමි..!!!

ඒ පවුලේ වැඩිමලා වසන්ත අයියා ය. ඔහු කියන්නේ ජනාධිපතිකම ලැබුනත් තම රථය පදවන්නේ තමා ම කියා ය. ඒ නිසා ම ඔහු අද ද විශාල සමාගමක විධායකයාගේ මොන්ටෙරෝ රථය ආණ්ඩු මට්ටු කරමින් සිටියි. අයියාට වඩා සොච්චමක් බාල අනිල් අයියා අද කටුනායක ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ වරයෙකි. මට වඩා චුට්ටක් වැඩිමල් නාමලී අක්කා ගුරුවරියකි. ලොකු නංනීට සම වයස් සුදු නංගී නිර්මලී අද කළුබෝවිල රෝහලේ ​වෛද්‍යවරියකි. ඊට බාල පොඩ්ඩී ක්‍රිශාන්ති ද ගුරුවරියකි. අපේ බාල මලයාට සම වයස් චන්දන මෙට්රෝපොලිටන් ආයතනයේ කරන්නේ කුමක්දැයි ඔහුවත් නොදනී. හැබැයි ඉන්නේ එහි අයිති කාරයා වගේ ය. ඌට කරන්නට බැරි වැඩක් ද නැත. බාල ම නංගී පරිගණක ජාල උපදේශක වරියකි. ආච්චීගේ සෙනෙහස ද, මේ හැට හුටාමාරක් සහෝදර කැල ද සමග අපි දු එක ගුලියට කෙළි දෙළෙන් ජීවිතය ගෙවමින් සිටියෙමු.

නමුත් ඒ කාල සීමා ව ඉක්මණින් අහවර විය..!

Share/Bookmark

15 comments:

  1. කාලෙකට පස්සේ ඔබතුමා "මගේ කතාව" අරන් ඇවිත්.

    ඒත් ඒක දැන් ඔබතුමාගේ විතරක් නෙමෙයි අපි හැමෝම ආසාවෙන් කියවන්න බලන් ඉන්න "අපේ කතාව" වෙලා ඉවරයි................................

    ReplyDelete
  2. අපි හැමදාමත් ආසාවෙන් කියවන කතාවේ තව කොටසක් ගෙනාවාට ස්තූතියි

    ReplyDelete
  3. මරු. මට හිතෙන්නෙ මෙ පවුලේ මමත් එක්කෙනෙක් කියලයි.

    ශානි කල්යාණරත්න

    ReplyDelete
  4. ලස්සන පවුලක් ඒත් මම මේ ලිපිය අවසාන කරලා තියෙන හැටියට කැමති නැහැ..! සමහර විට මම ශෝකාන්ත ඇසීමට ඇති අකැමැත්ත නිසාවෙන්න පුලුවනි..! ඒත් එකක් කියන්න ඕනේ. ඔබතුමාගේ මේ ලියුම් රටාව ට මම හරි ආසයි..! එය මගේ සිංහල ගුරුවරයාව මතකයට නංවනවා..!

    ReplyDelete
  5. හැමෝටම පිං..!! මගේ දුක්බර අතීත කතාව මට රසවත් කරනවාට..!!

    ReplyDelete
  6. ජීවිතේ සුන්දරද අසුන්දරද කියල කියන්න තේරෙන්නෑති මතක ගොන්නක් බෙදාහදාගත්තාට බොහොමත්ම තුති!!

    - සරසි ජයසේකර -

    ReplyDelete
  7. 10 අහසින් පොළොවට...
    11 දවස් ගෙවී ගිය ඉක්මණ...!!
    12 අවුල.......
    13 ..............!!!
    14 අම්මාගේ වියෝව
    15 මළ ගෙදර ආ මල්ලී.....
    16 මළ ගෙදර දවසක්..
    17 අවසන් කටයුතු...!!
    18. ඉතිං ඊට පස්සේ...!!!

    මේ ඔක්කොම එක හුස්මට කියෙව්වා කවදාවත් ඈති වෙන්නැ කියෝලා...
    අම්මාගෙ කතාව මීට වෙනස් උනානම් මේ කතාව වෙනස්ම එකක් වෙන්න තිබුනා නේද?

    ReplyDelete
  8. Sihina EkathukarannekNovember 12, 2010 at 7:22 AM

    කතන්දර ටික එකතුකරලා පොතක් ලියනවා නම් අගෙයි ....!

    ReplyDelete
  9. අලුත උපන් මල්ලී ව හදා වඩා ගන්නට බාර ගත්තේ තිත්තගල්ලේ ලොකු අම්මා ය. ඈයට මල්ලීට වඩා මාස කිහිපයක් වැඩි දරැවකු සිටියේ ය. මනසින් නොවැඩුනු ඔහු ද, අපේ මල්ලී ද දෙතනේ එල්ලාගෙන කිරි දුන් අයුරු දැනුදු ඇ අප හමු වූ විට කඳුලු පෙරමින් කියන්නී ය.
    Me kotasa kiyawaddi maage neth kandulen theth une ayida kiyanna maawath nodanimi.

    Maada obe kathawe saamaajikawaka vii hamaraya.

    Bohomathma apuuruyi kathawa diga harena andama.
    Ada ahamben dakala goda wadunada mula indala okkoma kiyewwa. Vishishtayi obe hakiyawa. Comments damma.

    OBATA JAYA !!!

    ReplyDelete
  10. ඉන්ද්‍රනාථ.... ඉස්සර වගේ නෙවෙයි දැන් ගතවූ කාලය... අපේ ඉතිහාසය දිහා බලන විට... දැන් ඒ ජීවිතේ ඉතාම සුන්දරව දකින්න පුළුවන්...

    මගේ ජීවිතේ දුම්මැස්ස අතගාන්නට හොඳම කාලය ඈවිත් කියලයි මට හිතෙන්නේ... මටත් තාක්ෂණික උපදෙස් ඕනේ ඔබෙන්...

    විපුල

    ReplyDelete
  11. මගේ වාසනාවට අද හරි මේ ලිපි පෙළ දැක්කා මුහුණුපොතේ දමා තිබු නිසා. මේ ලිපි සියල්ල මුලක සිට කියවන්න කාලය සකසුරුවම් කරන්නටයි මේ දැන් කල්පනාව.

    මට හැම මනුස්සයෙක්ම යෝධ පොතක්!

    මෙහෙම හැමෝම ලියනවා නම් තම තමන්ගේ අතීතය, අපි කොතරම් දේ බෙදා ගත්තා වෙනව ද කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
  12. අදත් ආසාවෙන් කියෙව්වා....

    ReplyDelete
  13. ස්තුතියි මේ බෙදා හදා ගැනීම් වලට............

    ReplyDelete
  14. නම් වශයෙන් නොකීවාට හැමෝටම පිං.. මගේ ජීවිත කතාවට පංගු කාරයන් වුනාට...!!

    ReplyDelete
  15. අම්ම කෙනෙක් නැති වුනාම පවුලක් සී සී කඩ යනවා කියලා අපේ සමාජයේ කතාවක් තියෙන්නේ මේ ඒ වගේ සී සී කඩ ගිය නමුත් එකට බැඳුනු විශාල පවුලක කතාවක් . . .

    අපි හැමෝටම මේ කතාවෙන් ඉගෙන ගන්න දේවල් නම් බොහොමයක් තියෙනවා අයියේ . .

    ReplyDelete