Friday, January 29, 2010

04 - සංක්‍රමණය

අප බද්දේගම හැරපියා අම්පාර බලා ආවේ 1963 ය. ඒ තාත්තාට හා අම්මාට ගල්ඹය සංවර්ධන වැඩ සටහන යටතේ මාරුවීම් ලැබුණු නිසාවෙනි. තාත්තාට කලින් අම්පාරේ ආවේ ලොකු තාත්තා ය. ඒ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ පත්වීමක් ලබමිනි. තාත්තා අම්පාරේ උහන මහ විද්‍යාලයේ විදුහල්පති ලෙසින් ද, අම්මා පුහුණු ඉංග්‍රීසි ගුරුවරියක ලෙසින් ද පැමිණියේ ය. උහන නගරයට ආසන්න ව තාත්තලාට ගුරු නිවාසයක් ද ලැබී තිබිණ. අප ඉතා කුඩා වුව ද මට ඒ නිවස වට පිටාව හොඳින් මතක ය. නමුත් තිබුණු තැන නම් මතක නැත. අප නිවසට අල්ලපු ගෙදර සිටියේ ගිගී අන්කල් නමින් අප හැඳින්වූ සිවිල් සේවකයෙකි. ඔහුගේ කම්මුල් දෙපස රැවුල් පදාස ය තනි සුදු පාට වූ අතර, හේ මිටි , මහත සුන්දර මනුස්සයකු විය. තනිකඩයකු වූ ඔහු සතු ව තුවක්කුවක් ද තිබුණි. ඒ නිසා ම අපට හැමදා ම පාහේ දඩ මස් ලැබුණේ ය. උහන යනු මහ වනයකින් සමන්විත ව තිබී, යෝධ සංවර්ධන ව්‍යාපෘති නිසා ම අර්ධ නාගරීකරණය වෙමින් පැවතුන ද, දඩ මස් සඳහා සතුන් සොයන්නට කිසිදු වෙහෙසක් දැරිය යුතු නොවී ය.

එක් දවසක් ගිගී අංකල් අප ද සමග දඩයමේ ගියේ ය. ඒ පොඩි වැව් පිටියකට ය. විවිධ කුරුලු රෑන් මුළු අහස් තලය ම වසා ගෙන සිටියේ ය. ඒ අතර දස දහස් ගණනින් වූ වී කුරුල්ලන් රෑන් ද එක පොදියට අහසේ සරමින් සිටියේ ය. ගිගී අංකල් සිය තුවක්කුවට පතොරමක් දමා එහි බටයට වී අහුරක් දමා පුරවා, නිකම් ම අහස දෙසට එල්ල කරගෙන සිටියේ ය. ඒ මොහොතේ අහසේ සරමින් සිටියේ අති විශාල වී කුරුළු රංචුවකි. මොහොතකින් කණ් අඩි පුපුරවන තරම් හඬකින් තුවක්කුව පත්තු විය. එ සැණින් වැස්සක් වැටෙන්නා සේ වී කුරුල්ලන් බුරුතු පිටින් මැරී බිම පතිත විය. ඈඹිට්ල්ලන් පොඩිවුන් වූ අයියා ද මමද වී කුරුලු අස්වැන්න තරගයට එක්කාසු කළෙමු. එදා අප රාත්‍රී ආහාරය බදින ලද වී කුරුල්ලන්ගෙන් සපිරුණේ ය.

එක් දවසක රාත්‍රයේ පාර වැරදුණු දැවැන්ත නාඹර මුවෙක් අප නිවෙසේ කඩුල්ලෙන් පැන අප වත්තට ආවේ ය. එදා ගිගී අංකල්ට හරි වැඩ ය. ඔහු දිවවිත් අප වත්තේ කඩුල්ල ද, ඔහුගේ කඩුල්ල ද වසා, අප නිවසේ දොරවල් ද වසා දැම්මේ ය. අයියාත් මමත් ජනෙල් කූරුවල එල්ලීගෙන එළියේ කෙරෙන යුද්දය නැරඹීමු. භයෙන් බිරාන්ත ව ඈස් දෙක විශාල කරගෙන මුවා මහා ධාවන තරගයක යෙදුනේ ය. ඒ පස්සෙන් තුවක්කුවත් අමෝරාගෙන ගිගී අංකල් ද මුවා හඹාගෙන දිව ගියේ ය. මෙසේ ටිකක් දුර දුවන මුවා ආපසු හැරී සිය දැවැන්ත අං තට්ටුව පහතට නමා ගෙන නහයෙන් පිඹියි. එවිට ආපසු දුවන්නේ ගිගී අංකල් ය. නිමේෂයකින් යළි මුවා දුවන්නට පටන් ගනී. දැන් යළි ගිගී අංකල් මුවා පස්සෙන් ධාවන තරගයක යෙදෙයි. තාත්තා ද සරම කැසපට ගසා ගෙන පොඩි තල්ලුවක් දුනා සේ මට මතක ය. වරෙක මුවා ගිගී අංකල්ට ද, අනෙක් පසින් තාත්තාට ද කොටු විය. මෙහොතක් වෙලා තදින් හුස්ම ගත් දැවැන්ත මුවා විදුලි සැරයක් මෙන් අඩි හයක් පමණ උස වැටෙන් පැන ඉදිරි වන පෙත තුළ නොපෙනී ගියේ ය. ඉන් පසු තාත්තා ද, ගිගී අංකල් ද හති දමමින් හොඳ හැටි සිනා සෙණු අප බලා සිටියේ ජනෙල් කූරු අස්සෙන් ම ය.
Share/Bookmark

Monday, January 25, 2010

03 - අපේ ඇත්තන්නේ විස්තර


මා අපේ ඈත්තන්ය කීවේ එක බඩවැල කඩාගෙන ආ මගේ සහෝදර සහෝදරියන්ට ය. මියගිය රෝහණ අයියා හැරුණුකොට අපේ සමූහයා සාමාජිකයන් හයකින් සමන්විත ය.

මගේ වැඩිමහල් සහෝදරයා වන අතුල චන්ද්‍රගුප්ත තේනුවර අපේ පවුලේ පමණක් නොව සනුහරේ ම සිටිනා විශිෂ්ටතම චිත්‍ර ශිල්පියා වෙයි. මා දන්නා පමණින් ඔහු ශ්‍රී ලංකාවේ චිත්‍ර විෂයයෙහි සිටින ඉහළ ම උපාධිධරයා ද වන්නේ ය. ඔහු අඳිනා එක් ඉරක් අඳින්නට මට තව අවුරුදු විසිපහක්වත් නොකඩවා සතත අභ්‍යාසයේ යෙදිය යුතුයැයි මම තරයේ විශ්වාස කරමි. අයියා ද මා මෙන් ම තර්ස්ටන් මහා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලද අතර, ඉනික්බිති කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ තිබුණු හේවුඩ් කලායතනය විශ්ව විද්‍යාලයක් බවට පරිවර්තනය වූ පසු එහි පළමු ශීෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් විය. අයියා සිය ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශණය පැවැත්වූයේ කොළඹ ගෝල්ෆේස් හි තිබුණු සමූද්‍රා හෝටල ශාලාවේ ය. ඒ 1976 වසර විය යුතු ය. ලාංකික විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කොට, උපාධිය ලැබ, ඉනික්බිති එවකට සෝවියට් රුසියාවෙන් පිරිනමන ශිෂ්‍යත්වයක් ලැබ, අයියා වැඩි දුර අධ්‍යාපනය ලබන්නට රුසියාවට ගියේ ය. ඔහු වසර දහ පහලොවක් ම වාසය කළේ රුසියාවේ ය. අදටත් ඔහු රුසියන් පුරවැසි භාවය ලද්දෙකි. රුසියාවට අමතර ව එංගලන්තය, ජපානය ඈතුළු රටවල් ගණනාවක චිත්‍ර ප්‍රදර්ශන පැවැත් වූ අයියා මෑත භාගයේ දී බැරල්වාදය Barrelism නම් ඔහුගේ ම මතවාදයක සිටිමින්, ඊට සමගාමී ව චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක් ම පැවැත්වීය. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අංශ ප්‍රධානියකුද වන ඔහු, එහි ජ්‍යේෂ්ට කථිකාචාරයවරයකු ද වෙයි. ඊටත් අමතර ව අපේ අයියා ​මොරටුව ඇතුලු විශ්ව විද්‍යාල ගණනාවක ම බාහිර කථිකාචාර්යවර​යකු ද වන අතර, විභවි ලලිත කලා ඇකඩමියේ අධ්‍යක්ෂවරයා ද වෙයි.
මට වඩා අවුරුද්දකින් පමණ වැඩිමහල් වුව ද, අපේ පවුලේ සාමුහික වගකීම්හි දී අයියාගේ තීරණය අපි තර්කයකින් තොර ව ඉස් මුදුනින් පිළිගන්නේ ඇයි දැයි කියන්නට අප නොදන්නේ වුව ද, තාත්තා පවා අයියාගේ තීරණයනට එරෙහි ව තර්ක කරන්නට යන්නේ නැත. එසේ වුව ද අපි ඉතා ම ස්වාධීන ව අපගේ අඹුවන් තෝරා ගත් අතර, අයියා ද විවාහ වූයේ අපට නොකියා ය. මගේත් ලොකු නංගීගේත් විවාහයන් හැර අනෙකුත් සියලු ම දෙනා විවාහ වූ වග අනෙකුත් සාමාජිකයන් දැන ගත්තේ බොහෝ විට පමා වෙලා ය. ඒ අප සැවොම අතිශය ස්වාධීන වූ නිසාවෙනි. කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය නම් රාජ්‍යනොවන සංවිධානයේ සම අධ්‍යක්ෂිකාවක වන කුමුදුනී සැමුවෙල් හෙවත් අපේ කුමී සමග විවාහ වී සිටින අයියාගේ එක ම පුත්‍රයා වන්නේ ක්‍රිස්ටෝපර් තයාලන් චාරුදත්ත තේනුවර ය.

දැන් අප පවුලේ දෙවැන්නා වන්නේ උපුල් ඉන්ද්‍රනාථ තේනුවර වන මම ය. තර්ස්ටන් විද්‍යාලයයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ම 1979 වසරේ ඔක්තෝබර් 04 දින මම ගුරුවරයකු ලෙස කොළඹ කොටහේනේ ශාන්ත ලුසියා මහා විද්‍යාලයට පත්වීමක් ලදිමි. ඊට පෙර මම ලේක් හවුසියේ යොවුන් ජනතා පුවත්පතේ නිදහස් චිත්‍ර සහ අක්ෂර නිර්මාණ ශිල්පියකු ලෙස සේවය කරමින් සිටියෙමි. මම මුලින් ම කැමරාවක් අයිති කොට ගෙන ඡායාරෑපකරණය ආරම්භ කළේ 1977 වසරේ දී ය. ප්‍රාථමික අධ්‍යාපනය ලබන සමයේ දී මා වඩා දක්ෂ වූයේ රචනා කරණයට ය. වරක් ජනරජ දින සාහිත්‍ය තරගයේ දී ද, තවත් වරක් සමස්ත ලංකා සාහිත්‍ය තරගයක දී ද රචනා අංශයෙන් අම්පාර දිස්ත්‍රක්කයේ දක්ෂතම රචකයා වීමි..!! ඈඩවර්ටයිසින් ආයතනයක ප්‍රධාන සැලසුම් ශිල්පියකු ලෙස ද, ජාතික තලයේ පුවත්පත් ගණනාවක රූ රටා සංස්කාරක සහ ප්‍රධාන ඡායාරූප ශිල්පී ලෙස ද, සිල්ක්ස්ක්‍රීන් මුද්‍රණ ක්ෂේත්‍රයේ විප්ලවකාරයකු ලෙස ද, පරිගණකාශ්‍රිත ප්‍රතිරූප සංස්කරණ ශිල්පයේ සිවිල් වැසියකු ලෙස ද ආදී රැකියාවන් ගණනාවක් ම පසු කොට ඇත්තෙමි. යන්තම් බලි කුරුට්ටක් ඈඳ ගන්නට හැකි වීම ද, ලියන දෙයක් තව කෙනෙකුන්ට තේරුම් ගත හැකි සරල ලෙස ලියන්නට ඇති හැකියාව ද මා ලැබූ හේතු වාසනාවක් යැයි මම සිතමි. කළකට පෙර බටුවන්දර ලක්ෂ්මී අබේරත්න නමින් ප්‍රකට කිවිඳිය මගේ ප්‍රියාම්භිකාව වන අතර, අද ඇය ජනශක්ති රක්ෂණ සමාගමේ ජ්‍යෙෂ්ට සහකාර කළමණාකාරිණියක ලෙස රැකියාව කරන්නී ය. මගේ වැඩිමල් දියණි ප්‍රනිධි නවෝදා, මෝස්තර සැලසුම් ශිල්පයට ප්‍රමුඛත්වය දෙමින් කොළඹ, නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ ඇඟලුම් තාක්ෂණ උපාධිය හදාරමින් සිටින්නීය. (අද ඈ නවසීලන්තයේ පදිංචිකාරියක වන අතර ම, මෝස්තර සම්පාදනය සඳහා M.des උපාධිය ද සම්පූර්ණ කර සිටින්නී ය.) පරිගණකයට මහත්සේ ඇලුම් කරන මගේ පුත්‍රයා කොළඹ තර්ස්ටන් විද්‍යාලයයේ උසස් පෙළ හදාරන බව මගේ අදහසයි. !! (අද ඔහු මාලබේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.)

අපේ සාමාජික නාමලේඛනයේ තුන් වැන්නා පාලිත නන්දදේව තේනුවර ය. ලංකාවේ වේදිකාව දිග් විජය කළ නාට්‍ය රැසක වේදිකා පරිපාලකයකු වූ පාලිත මල්ලී කලකට පෙර තිබුනු යුක්තිය නම් විකල්ප පුවත්පතේ රූ රටා සංස්කාරකයකු වූ අතර, අද ලේක් හවුස් ආයතනයේ පරිගණකාශ්‍රිත සංස්කරණ ශිල්පියකු ලෙස සේවය කරයි. අපේ පවුලේ නිශ්ශබද ම චරිතය වන්නේ ඔහු ය. ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ යුග පුරුෂයකු වූ සුගතපාල ද සිල්වා කලා කරුවාණන්ගේ බාල, එක ම දියණි වනමලී හා විවාපත් ඔහු මෙවිඳු පූර්ණජිත් ගලප්පත්ති තේනුවරගේ ආදරණීය පියාණන් වෙයි.

අපේ හතරවැනි සාමාජිකාව වන්නේ ලොක්කී හෙවත් මගේ ලොකු නංගී වන රේනුකා ශ්‍රියානි තේනුවර ය. ඇය රූප සොබාවෙන් අපේ අම්මාට අතිශය සමීප ය. ඔරවන්නේ ද එසේ ම ය. වෘත්තියෙන් ඇඳුම් මැසීම ද, සාරි වැඩ දැමීම ද කරන ඇය විවාහ වී සිටින්නේ ප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ මොටාගෙදර වනිගරත්නයන්ගේ බාල මළණුවන් වූ සමන් සමග ය. ඔහු වෘත්තියෙන් සුදුයකඩ අනුසාරයෙන් ගෘහ භාණ්ඩ නිෂ්පාදකවරයෙකි. මගේ එක ම ලේලිය වන නිලූකා කෞශල්‍යා වනිගරත්න ඇගේ දියණිය වන අතර ඈ මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ අංශයේ, මෝස්තර නිර්මාණ විශේෂවේදී උපාධියේ අවසන් වසර පසු කර ඇගේ ම මෝස්තර නිර්මාණ සැලසුම් ඇකඩමියක් ව්‍පවත්වාගෙන යන්නී ය. . ලොකු නංගීගේ පුත්‍රයා අකිල සබුද්ධි වනිගරත්න ද එම අංශයේ ම චලන ප්‍රතිරූප විශේෂවේදී උපාධිය ලැබ, හිරු රූපවාහිනී නාලිකාවේ සජීවිකරණ අංශ ප්‍රධානී ලෙසින් සේවය කරන්නේ ය.

අපේ නාමාවලියේ පස්වැන්නී පොඩ්ඩී ය. නමින් ඈ මෙනකා ප්‍රියානි තේනුවර ය. ගෘහණියක වන ඇගේ වැඩිමල් පුත්‍රයා ජෙරොම් හමුදා සොල්දාදුවෙකි. බාලයා ප්‍රගීෂ කොළඹ තර්ස්ටන් විද්‍යාලයයේ නවවන වසරේ ශිෂ්‍යයෙකි.

අපේ පවුලේ බඩ පිස්සා වන්නේ අමර විශ්වනාථ තේනුවර ය. සුව කළ නොහෙන රුදුරු හෘදයාබාධයකින් පෙලෙයි. කළක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නිශ්චල ඡායාරූප ශිල්පියකු ලෙස "නිශඵල" ව්‍යායාමයක යෙදුනේ ය. එවැනි අවස්ථාවක අනුරාධපුරයේ දී ඇති කර ගත් දැන හඳුනා ගැනීමකින් පසු මයුරී සමග විවාහ විය. දැන් ඔහුට දරු තුන් දෙනෙකි. සංගීත් නිපුන් සනත් නන්දසිරි ශිල්පියාණන්ගේ ශිෂ්‍යයකු වූ මල්ලී වැඩි දුර සංගීතය හැදෑරුවේ නැතිව වුව ද, විවිධ සංගීත භාණ්ඩ වාදනයේ දක්ෂයෙකි. ආලේඛ්‍ය ඡායාරූපකරණයේ දී විශේෂ දස්කම් ප්‍රකට කරන ඔහු මින්ලෝ ප්‍රචාරණ ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂවරයා ව සිටි අතර, ජනාධිපති අපේක්ෂක ජනරාල් සරත් ​​ෆොන්සේකා මහතාගේ නිල ඡායාරූප ශිල්පියා ලෙසින් අපගේ ගර්හාවට ද පාත්‍ර වූවෙකි.

Share/Bookmark

Friday, January 22, 2010

02 - අප අතහැර නොගිය නෑදෑයෝ

නෑයෝ සහ වේයෝ බොහෝ සෙයින් සමානයැයි නොයෙක් වර අප අසා ඈත්තෙමු. දැන් මෙන් එකළ අපට මහා නෑදෑ සමූහයක් සිටි බවක් මම නොදනිමි.

අප දන්නා, අපට ඉතා ම වැඩිමහල් ම, නෑදෑයා වූයේ තාත්තාගේ අම්මා වන අපේ ආච්චි ය. ඉතා ම මිටි ගැහැණියක වූ ඈයට දිව්‍යලෝක රසට සමාන ව අහර පාන උයන්නට හැකියාවක් තිබුණාය. දක්ෂ රන් කරුවකු වූ සීයා පිළිබඳ ව අපට කිසිදු මතකයක් නැත්තේ ඔහු අප අතැර ගියේ අප ඉතා ම පුංචි සන්දියේ නිසා ය.

තාත්තාගේ වැඩිමහල් සහෝදරිය අක්කා , අපේ නැන්දා ය. නමින් මිලී මාග්‍රට් නම් වූ ඈය ද ආච්චි මෙන් ම මිටි තැනැත්තියක ද වූ අතර, පුරාණ ග්‍රාම චාරිත්‍රවලට අනුව නම ගම පමණක් ලියන්නට තරම් අධ්‍යාපනයක් ලද්දියක වූවාය. ඈඳුම් මහන්නට ද, රේන්ද ගොතන්නට ද, රසට උයන්නට ද ඈයට පුලුවන් වූයේ පරපුරේ උරුමයකින් විය යුතු ය. ඇ සාදන මාලු සම්බලය ද, නෙලුම් දඬු මාලුව ද මතක් කරගෙන පමණක් අදත් මට බත් කෑ හැකි ය. එය එතරම් ම රස ය. ඇ විවා පත් ව පදිංචි ව සිටියේ කොළඹ වැල්ලවත්තේ ගාලු පාරේ අංක 325 දරණ තැන ය. මාමා ද රන් කරුවකු වූ අතර, නමින් හෙන්දිරික් සිංඥෝ වුව ද, හේ ප්‍රසිද්ධ ව සිටියේ රත්තරන් මුදලාලි නමිනි. මඩකලපු පලයකාට් සරමක් හැඳ, මේස් බැනියමට උඩින් කළු කෝට් බෑව ද ඈඳ, පොකට් දෙක තුනක් සහිත මහත හම් පටිය ද පැළැඳ, යතුරු කැරැල්ලක් ඉනේ ගසාගෙන, මෝල් ගසක් ගිල්ලා සේ ඍජු ව ඈවිදින, උස මහත, පෙනුමැති හේ නිතර ම නැන්දාට බැණ අඬ ගසනු වුව ද, දරු මල්ලන් ද නැති ඔහු - අපට, විශේෂයෙන් ම අපේ තාත්තාට ද, මට ද බෙහෙවින් සමීප ව සිටියේ ය.

යුරෝපීය ඈඳුම අඳින, හිස මැද්දෑවේ තට්ටයකින් ද හෙබි, තාත්තාගේ අයියා, ආතර් ද සිල්වා තේනුවර හෙවත් අපේ ලොකු තාත්තා ද දක්ෂ නිර්මාණ ශිල්පියෙකි. හේ රැකියාව කලේ අම්පාරේ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සැලසුම් නිර්මාණ ශිල්පියකු හැටියට ය. කාඩ්බෝඩ් සහ කෝක් ශීට් භාවිතා කර ගොඩනැගිලි අනුරූ තනන්නට ඔහු දැක් වූයේ පුදුමාකාර සමත් කමකි. අතිශය සියුම් විස්තර ද සමග ඔහු ඒවා නිර්මාණය කරනු දකින අප ද විසි කරන කෝක් ශීට්වලින් පොඩි පොඩි අත්හදා බැලීම් කළෙමු. නිවාඩුපාඩු වෙලාවට ලොකු තාත්තා පිරිත් මණ්ඩප කැටයම් කලේ ය. සුදු කඩදාසි ගොන්නක් එක මත එලා විවිධ පමණේ කැටයම් කටුවලින් හේ නෙක රටා මැව්වේ විශ්වකර්මයකු මෙන් ය. මහගම සේකර නිර්මාණ ශිල්පියාගේ තුංමංහන්දියේ අබිලිං මාමා ට ඔහු සමාන ය. නමුත් අඩි ගැහුවේ නැත. ඔහු කැටයම් කපනු බලා සිටින අප ද , කඩදාසි එක මත එක තබා කැටයම් කපන්නට අත් පොත් තැබීමු. අපට කැටයම් නියන් තිබුණේ නැත. අප කළේ විවිධ ප්‍රමාණයේ ඈණ අග තලා ඒවා ඈමරි කඩදාසි මත උරච්චි කර, අපට අවශ්‍ය කැටයම් නියන් සාදා ගෙන කැටයම් කැපීම ය.

අපට සිටි ලොකුම නෑයා ගැන කියන්නට මඳක් පමා වන්නේ අප අතැර නොගිය නෑයන් අතර ඈය නැති නිසා ය. ඇය අපේ අම්මා ය. මට අපෙ අම්මාගේ රූප සොබාව හොඳට ම මතක ය. ඈ දැන් අපේ ලොකු නංගී වාගේම ය. ඊට වඩා ටිකක් කළු ය. අපට හිමි ඉදිරියට නෙරූ දත් වහල්ලේ සැබෑ උරුමක්කාරයා ද ඈයම ය. අම්මාට බිම ගෑවෙන තරම් ඉතා දිගු කොණ්ඩයක් තිබුණේ ය. ඇ දිය නා අවසන හිස වේලෙන්නට කොණ්ඩය ගසද්දී මම එහි එල්ලී උංචිලි පැද්දා මට මතක ය. එවිට අම්මා හිස බදාගෙන ඌ..ඌ කියූ හඬ අදත් මට සිහිනෙන් ඇසෙන්නා සේ ය. අම්මා පිළිබඳ ව අපට ඈත්තේ කෙටි මතකයක් පමණි. ඒ වෘත්තියෙන් පුහුණු ඉංග්‍රීසි ගුරුවරියක වූ අපෙ අම්මා 1967 මාර්තු මස 11 දින අප අතැර ගිය නිසා ය. ඒ වන විට අපේ පවුලේ සාමාජික සංඛ්‍යාව 6 දෙනෙකි. ඇ මිය ගිය දා උපන් මල්ලී නමින් අමර විය.
Share/Bookmark

Tuesday, January 19, 2010

01 - මගේ තාත්තා.


මා උපන්නේ අම්බලන්ගොඩ නගරයේ ගාලු පාර අද්දර තිබුණු නර්සිං හෝම් එකක ය. කලෙකට පෙර එය තිබුණු බවක් වට මතක වුව ද අද එය එතැන තිබෙනවාදැයි මට නිච්චියක් නැත. තාත්තාගේ ගම වන හික්කඩුවේ බද්දෙගමටත්, අම්මාගේ ගම වන තිරාණගමටත් ළඟ ම තිබුණු පහසුකම් සහිත එක ම ස්ථානය එය විය හැකි ය.

මා උපත ලැබුවේ සිංහල සහ ගණිත ගුරුවරයකු වන තේනුවර ගුණතිලකගේත්, ඉංග්‍රීසි ගුරුවරියක වන ජයසීලි ද සිල්වාගේත් තුන්වන දරුවා හැටියට ය. ඒ පවුලේ වැඩිමහල් දරුවා වූයේ රෝහණ ගුප්තදේව ය. දෙවැන්නා වූයේ අතුල චන්ද්‍රගුප්ත ය. තුන්වැන්නා වූයේ උපුල් ඉන්ද්‍රනාථ වන මම ය. ගලපටල හෙවත් ඩිප්තීරියා රෝගයට ගොදුරු ව රෝහණ අයියා මිය පරළොව ගියෙන් මම පවුලේ දෙවැනියා වීමි. අප ඔහු ගැන දන්නේ නාම මාත්‍රික ව පමණි.

අපගේ මහගෙදර හඳුන්වන ලද්දේ මුහන්දිරම් ගෙදර නමිනි. එය පිහිටා තිබුනේ බද්දෙගම පාසැල ළඟයැයි තාත්තා කියා ඇත. වරක් අප මහ ගෙදර තිබෙන ඉසව්ව සොයා ගිය ද කිසිවෙක් ඒ ගැන විස්තර නොකිව්වේ අප අයිතිවාසිකම් සොයා පැමිණියා යැයි සිතා විය යුතු ය. තාත්තා ද සමග මහගෙදර සොයා යන්නට හැම පහසුකමක් ම තිබුණ ද, අප මෙන් ම තාත්තාගේත් අල්ප වූ කැමැත්ත නිසා එය අප'තින් මග හැරී ගියේ ය.

එකළ දැඩි කොමියුනිස්ට් වාදියකු වූ අප තාත්තා, ගමට අල්ලපු රජ්ගම ආසනය සඳහා ගම් සභාවට තරග කළ බව බොහෝ කළකට පෙර තාත්තා මහත් ආඩම්බරයෙන් පාරම් බානු අප අසා සිටියේ මහත් කැමැත්තෙනි. වාසනාවකට තාත්තා ඒ මැතිවරණය ජයග්‍රහණය කර තිබුණේ නැත. එසේ වූවා නම් මගේ කතාව මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට තිබුණි.

අතිදක්ෂ චිත්‍ර ශිල්පියකු වූ තාත්තා කොළඹ පිටකොටුවේ ටෙක්නිකල් කොලීජීයෙන් චිත්‍ර විෂයය පිළිබඳ ව වැඩි දුර අධ්‍යාපනයක් ද ලැබූවෙකි. විවාහයට පෙර තරුණ සන්දියේ දී අපේ තාත්තා සංගීතය හදාරන්නට ඉන්දියාවේ භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලයට ඈතුළත් වූ අතර, තාත්තාගේ බැචාලන් වූයේ අද අප හොඳින් ම දන්නා විශිෂ්ටත ම සංගීතඥයකු වූ අනිල් මිහිරිපැන්න සහ නර්තන ශිල්පියකු වූ බැසිල් මිහිරිපැන්න දෙබෑයන් ය. එවකට රැකියාවක නිරත වූ තාත්තාගේ අයියා හෙවත් අපේ ලොකු තාත්තා නිසි කළට මුදල් නොඑවීම ගැන උරණ ව තාත්තා ඉන්දියාව හැර පියා යලි ලංකාවට පැමිණියේ ය. මුදල් ඉල්ලා තාත්තා ලොකු තාත්තාට එවූ ලිපිය, තාත්තා ලංකාවටත් පැමිණි පසු ගෙදරට ලැබී තිබුණි. ලිපිනයේ සිලෝන් යනුවෙන් ලියන්නට අමතක වූ නිසා ඒ ලියුම ලෝකය පුරා ම විවිධ රටවලට ගොස් යළි ලංකාවට ම පැමිණ තිබුණේ සදානුස්මරණිය තැපැල් සීල් අටෝරාස්යක් සමග බව තාත්තා අපට කීවේ එවකට තැපැල් සේවයේ විශිෂ්ටත්වය ද ගැන ආඩම්බර වෙමිනි. තාත්තා භාත්කණ්ඩේ අධ්‍යාපනය හැරපියා යලි ලංකාවට පැමිණියෙන් මගේ කතාව යළි වෙනස් විය.

ඉලන්දාරි කාලයේ අපේ තාත්තා අතිශය හැඩ කාරයෙකු විය. ඈන්දේ ජාතික ඈඳුම ය. විශ්‍රාම යනතෙක් ම කළේ එක ම රැකියාවක් පමණි. ඒ ගුරු වෘත්තියයි. මා දන්නා කාලයේ සිට ම අපේ තාත්තා විදුහල්පතිවරයෙකි. මුල් කාලයේ අප හැම ඉගෙන ගත්තේ ද තාත්තාගේ යටතේ වූ විදුහල්වල ය. තාත්තාගේ තාත්තා හෙවත් අපේ සීයා උස, කෙට්ටු හාදයකු වූ අතර, රිදී රත්තරනෙන් සුකුරුත්තම් වැඩ කළ දකෂ කලා කාරයකු බව මම අසා ඈත්තෙමි. ඒ සීයාගේ උසින් බාගයක් වූ තාත්තාගේ අම්මා හෙවත් අපේ ආච්චීගේ උණුසුම අපි බොහෝ කාලයක් විඳ ඈත්තෙමු.

අල්ලපු ගමේ වුව ද, තාත්තාට අම්මා හමු වී ඈත්තේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ දී ය. තාත්තා මෙන් නොව අපේ අම්මා හරි ම කලු ය. ගැහැණු ම හය දෙනෙකු වූ පවුලේ පස්වැනියා අම්මා ය. එයිනුත් තුන් දෙනෙක් ම ගුරුවරියන් ය. තාත්තාත් අම්මාත් විවාහ වූ පුවත තාත්තාගේත්, අම්මාගේත් නෑදෑ පරපුර දැනගෙන ඈත්තේ පත්තරයක තිබූ දැන්වීමකිනි. අ​පේ තාත්තා එහෙම රැඩිකල් පොරක් වීම ගැන අපට ඈත්තේ අසීමිත සන්තුෂ්ටියකි.
Share/Bookmark