Sunday, April 18, 2010

10 අහසින් පොළොවට...


සැබැවින් ම මේ කතාංගය මා ලිවිය යුතු ව තිබුණේ සත් සමුදුර බලන්නට කලියෙන් වුව ද, මතක පොතේ පිටු මාරු වීම නිසාවෙන් පසු ව ලියන්නට සිදු විය.

1965 වසර අපට අතිශය තීරණාත්මක වසරක් විය. එවකට මගේ වයස අවුරුදු 4ක් වූ අතර, සිදුවන සෑම සිද්ධියක් ම මතකයේ තැන්පත් ව නැත ද, කිසිවක් සිදුවූ වග දැණුනු බව මතක ය. අප නාඳුනන බොහෝ දෙනෙකු අප සිටි නිවසට ආ ගිය අතර, තාත්තා ද වෙනදාට වඩා බෙහෝ කඩිමුඩියේ කිසිවක නියැලෙමින් සිටියේ ය. ඒ පැමිණෙන පිරිසෙන් තුන් හතර දෙනෙකු එක් ව විශාල බැනර් සහ ධජ පතාක අඳිනු ද, තාත්තා රැවුල් මුහුණු සහිත කාගේදෝ ලොකු චිත්‍ර ඈන්ද ආකාරය ද මට මතක ය. ඒ එවකට මහ මැතිවරණයක් උදා ව තිබූ නිසා ය. උග්‍ර කොමියුනිස්ට් වාදියකු වූ තාත්තා මැතිවරණය සඳහා සමගි පෙරමුණු ආණ්ඩුව වෙනුවෙන් දර දිය ඈද්දේ ය.. දැන් ඉන්නා පඩත්තරයන් කියන්නා සේ කඩේ ගියේ ය..!! මෙසේ බොහෝ කඩිසර ව ගෙවී ගිය දවස් කිහිපයකට පසු එකවර සියල්ල නිශ්ශබ්ද විය. නිකමටවත් කිසිවෙක් අපේ ගෙවල් පැත්තේ ආවේ ගියේ ද නැත. තාත්තා ද හේ බා ගිය මුහුණින් යුතු ව නිශ්ශබ්ද ව සිටියේ ය. අපේ ගෙදර පුරා මූසල නිහැඪියාවක් පැතිර ගොස් තිබුණේ මහ මැතිවරණයෙන් සමගි පෙරමුණු ආණ්ඩුව පරදා යූඑන්පී හෙවත් එක්සත් ජාතික පක්ෂය රජයක් පිහිටවූ නිසා ය. සිරිමාවෝ මැතිණිය වෙනුවට ඩඩ්ලි සේනානායක මහතා අගමැති විය. ඒ සැණෙන් විදුහල්පතිවරයකු වූ අපේ තාත්තා රැකියාවක් නැති නිකංම නිකං මනුස්ස​යකු විය...!!!

පත්තරයේ පළ වූ, සමාජවාදී දේශපාලනයේ යෙදීමේ වරදට වැඩ තහනම් කළ විදුහල්පතිවරුන් 18 දෙනා අතර අපේ තාත්තාගේ ෆොටෝ එක ද විය.

සිදු වූ මේ දැවැන්ත ව්‍යසනය අපට එතරම් තදින් දැණුනේ නැත්තේ අම්මා රැකියාව කළ නිසාත්, අප පුංචි නිසාත් විය යුතු ය. මෙතෙක් තාත්තාත් අම්මාත් සමග පාසැල් ගිය අප දැන් යන්නේ අම්මා ද සමග පමණ ය. තාත්තා අලුත් ම බයිසිකලයක් ගෙන ආ දිනය අපට සුවිශේෂී විය. ඒ බයිසිකලයේ මැද පො​ල්ලේ කොට්ටයක් තබා අප තුන් දෙනාව ම නංවාගෙන තාත්තා වත්ත වටා අපව පැද්දවූ නිසා ය.

තාත්තාට ඉගැන්වීමට අමතර ව බොහෝ සුකුරුත්තම් වැඩ කරන්නට ද හැකියාවක් තිබිණි. තාත්තාට හොඳින් උයන්නට ද, මසන්නට ද, මහන මැෂින් රෙපයාර් කරන්නට ද, සංගීත භාණ්ඩ වාදනය කරන්නට හැකි බව ද මම හොඳාකාරව ම දැන සිටියෙමි. ඒ හැකියාව නිසාදෝ ලෑලි කැබලි කිහිපයක් ගෙන තාත්තා අපූරු පෙට්ටියක් සෑදුවේ ය. එය හොඳින් පොලිෂ් කළ පසු එහි රතු පාටින් "ඇත්ත" යනුවෙන් ඈන්දේ ය. ඉන් පසු එය බයිසිකලයේ ලැගේජය මත සවි කලේ ය.

සුදු ජාතික ඈඳුම ඈඳ, හචා බෑගයක් කර එල්ලාගෙන, ප්‍රතාපවත් ලෙසින් පාසැල් ගිය අපේ තාත්තා, පාට සරමක් සහ කමීසයක් ඇඳගෙන, අම්පාර දිස්ත්‍රක්කය පුරා "ඇත්ත" පත්තරය බෙදා හරින පත්තර කාරයෙක් වූයේ යූඈන්පියට පින් සිද්ද වෙන්නට ය. අප පාසැල් යන්නටත් කළින් පත්තර මිටිය පෙට්ටියේ දමාගෙන ගෙදරින් පිටවන තාත්තා යළි හොඳට ම හවස් වූ පසු ගෙදර විත් බොහෝ වේලාවක් පුටුව මත දිග ඈදී සිටින්නේ සැතපුම් 30ක් බයිසිකල් පැද ලද මහන්සිය නිවා ගන්නට විය යුතු ය.

අයියාට සහ මල්ලීට අමතක වූවාට, කොළපාට දැන්වීම් සහ යූඈන්පී පාහරයන් දකින විටත් මගේ ලේ කකියන්නේ තාත්තා පුටුව මත දිග ඈදී මහන්සි අරින දර්ශනය මගේ සිත පුරා හොල්මන් කරන නිසාවෙනි.


ධන ධන්‍යයෙන් ආඩ්‍යව නොවූව ද, අපූරුවට ගෙවී ගිය අපගේ සුන්දර ජීවිතය උස්සා පෙළොවේ ගසා කණ පිට හැරවෙන්නේ එයින් ඉක්බිතිව ය.

Share/Bookmark

Monday, April 12, 2010

09 සත්සමුදුර..

සත් සමුදුර.. මගේ ප්‍රථම සිනමා ආවර්ජනය..!!!

චිත්‍රපටය ආරම්භ විය..මම මහත්සේ විශ්මයාර්තයෙන් යුක්ත ව ඊට ආලෝලනය වීමි. අතරින් පතර චිත්‍රපටයේ විවිධ ජවනිකා මගේ මනස පුරා විහිදී පැතිරී යයි. නමුත් ඒවා සංස්කරණය කර එකට පෙළ ගස්වන්නට අද රවීන්ද්‍ර ගුරුගේ නම් මා හිත මිත්‍ර, විශ්වකර්ම සංස්කාරකවරයාටවත් බැරි ය. පසු කාලීන ව වාර හත අටක් ම සත් සමුදුර චිත්‍රපටය නරඹා ඈති නමුදු, එදා සිතේ ඈඳුනු රූප අද මගේ සිතේ නො ඈඳෙන්නේ එය මසිත ඈඳුනු ගුහා චිත්‍රයක් සේ ම තැන්පත් ව ඈති බැවිනි. මන්ද වසර 43කටත් පෙර දුටු රූප, කාලය විසින් අකා මකා දමා ඒ මතින් තවත් දහසක් දේ රී රයිට් කර ඈති බැවිනි.. නමුත් අතරින් පතර සිද්ධි සමුදායන් මගේ සිතට පිවිසෙයි..අදත් දෑස පියාගෙන මොහොතක් වර්ථමානයෙන් මිදුණු විට මට සත් සමුදුර චිත්‍රපටයේ රූප රාමු කිහිපයක් ම යළි මසිත පුරා දැවැන්ත ව ඉතිරී පැතිරී යයි. ඉන් මා සිත වඩාත් ම බැඳී ඈත්තේ තේමා ගීතය හා බැඳුණු දෙනවක හාමිනේ සහ සිරිල් වික්‍රමගේ නම් වූ සුවිශේෂී චරිතාංග නළුවා රඟන රූප රාමු ​පෙලයි.

ගල් කුට්ටි මතින් වැටෙමින් රූටමින්, මුහුදු දියේ තෙමෙමින්, වැහි බීරමේ කඳුළු වැස්සට තෙමෙමින්, චිමිනි ලාම්පුවක් ද ඔසවාගෙන ඈය සිය පුතා සොයන දර්ශනය ද, පුත්‍රයා ලෙසින් රඟන සිරිල් වික්‍රමගේ මුහුදු දිය හා පොර බදමින් ගොඩ බිමට එන්නට දරන උත්සාහය ද, ඒ හා සමග මහගම සේකරයන් පද රචනා කළ, සෝමදාස ඈල්විටිගල සංගීතඥයා විසින් සංගීතවත් කළ, විශාරද අමරදේවයන් ගයන...."සිනිඳු සුදු මුතු තලාවේ........පිපෙන පෙන පිඬු සිනාසේ.." යන සිංහල සිනමාවේ දිග ම තේමා ගීතය ද, මගේ ඈට මිදුළු තුළට ම කිඳා බැස ඈත්තේ යැයි මට සිතේ.


චිත්‍රපටය තිරය මත දිග හැරෙද්දී මම පුටුවේ ඉදිරි දාරය මත වාඩිවී හිස, කොන්ද කෙලින් තබාගෙන ඊට සමවැදී සිටියෙමි. අතරින් පතර මට පාලිතගේ චුරු චුරුවද ශ්‍රවනය විය.."තාත්තෙ මට චූ බරයි.." එවිට තාත්තා ඔහු ද ඔසවාගෙන ශාලාවෙන් පිටතට යයි. ටිකකින් යළි පැමිණෙයි...තව පැය කාලක් පමණ ගෙවෙන විට" තාත්තෙ මට බඩ ගිනියි.." කියනු ඈසෙයි. තාත්තා යළි මල්ලීද ඔසවාගෙන එළියට යයි. තවත් ටිකකින් "තාත්තෙ මට කක්ක බරයි" කියනු ඈසෙයි.. මුලු චිත්‍රපටය අවසන් වන තෙක් ම අඩු ම වශයෙන් දහ පාරක්වත් තාත්තා පාලිත මල්ලී ද ඔසවා ගෙන එළියට යන්නට ඈති. අපි චිත්‍රපටය බැලුවත්, තාත්තාට සත් සමුදුරු චිත්‍රපටය බලන්නට නොලැබුණු බව මට සක් සුදක් සේ සහතික ය.

මා මිය ගොස් වසර දහස් ගණනකට පසු, බිම හාරද්දී හමුවන ඈට කැබිලිත්ත කාගේදැයි සොයන්නට කිසිවෙක් ඩීඑන්ඒ පරීක්ෂණයක් කළොත්, මේ කවුදැයි සොයා ගන්නට නොහැකි උවත්, මේ ඈට කැබැල්ල හිමි පුද්ගලයා සත්සමුදුර චිත්‍රපට ගීයට කොයි තරම් ඈලුම් කළ එකෙකුදැයි යන්න පමණක් සොයා ගනු ඈති. අමරදේවයන්ට, මහගම සේකරයන්ට සහ සත් සමුදුර චිත්‍රපටයට මම එතරම් ම ආදරය කළ නිසාවෙනි.

Share/Bookmark

Sunday, April 11, 2010

08 ලොරි බාගෙකින් අම්පාරට...

එක්තරා දවසක තාත්තා අයියා ද, මා ද, පාලිත ද සමග ගමනක් යාමට ලක ලැහැස්ති කර ගත්තේ ය. ඉතා කුඩා නිසා තාත්තා පාලිත ව වඩා ගෙන ගිය අතර, අයියා ද මා ද ගියේ පා ගමනිනි.. ක්වාටස්වල සිට උහන මහා විද්‍යාලය පසු කර අප මං සංධියකට පැමිණුනෙමු. තරමක් කළබලකාරී එදා පොළ දවසක් බව මට යාන්තමට මතක ය. හංදියේ මිනිසුන් ගොඩක් සිටි අතර, එය මට අමුතු දැක්මක් විය. පාරේ අයිනට වන්නට ලොරි බාගයක් නවතා තිබුනේ ය. එහි පිටුපස ඒ වන විටත් තුන් හතර දෙනෙකු සිටි අතර, තාත්තා අප ව ඔසවා එහි පිටු පසින් තැබුවේ ය. මේ ලොරි බාගයක් වුව ද එය බස් රථයක් බවට පරිවර්තනය කරන ලද්දකි. පිටුපස ලොකු පෙට්ටියට ලෑලි පටි ගසා ආවරණය කර තිබුණු අතර, මුහුණට මුහුණ සිටිනා සේ තැනූ දිග බංකු දෙකක් ද එහි විය. අපි රටක් රාජ්ජයක් උරුම වූවන් ලෙසින් මේ බංකුවක් මත විරාජමාන වූවෙමු. තරමක් වේලා ගත වන විට මේ ලොරිය සෙනගින් පිරී යන්නට විය. එවිට තාත්තා ද පාලිත ව ඔඩොක්කුවේ තබා ගෙන අප අසළින් වාඩි විය.

දැන් තත්ත්වය අතිශය භයංකාර ය. මුලු ලොරිය පුරා ම එල්ලීගත් මිනිස්සු ය. අපි තරමක් පැත්තට හැරී ලී පටි අල්ලාගෙන සිටියෙමු. ටිකකින් ලොරිය සැර දමනු ද, ඉන් පසු මහා කළු දුමාරයකින් අප ව වැසෙනු ද මට මතක ය. ඉන් පසු ගැස්සි ගැස්සී ලොරිය දුම් වලාව පසු කරමින් ඉදිරියට ඈදෙන්නට විය. මම වට පිට බැලීමි. එහි සිටින සියලු ගැහැණු මිනිසුන් සියල්ලන්ගේ ම මුහුණු දෙස විමැසිල්ලෙන් බැලීමි. කිසිවකුදු මට හඳුනා ගන්නට බැරි ය. උන්ට ද මා ගැන වගේ වගක් නැත. ඉන් පසු අප පසු කර වේගයෙන් ආ පස්සට ඈදී යන දැවැන්ත ගස් දෙස බලා සිටියෙමි.

ලොරිය ගමනේ තුන් හතර පළෙක ම නැවතුණු අතර, ඒ හැම විටෙක ම දෙතුන් දෙනෙකු බැස ගිය බවත්, ඊටත් වඩා දෙනෙක් එහි එල්ලුණු බවත් මට පෙනෙයි. ඒ එන හැම අත තිබූ වට්ටි, පෙට්ටි, මලු ආදිය ලොරියේ වහළය මතට වීසි කරන්නට කෙනෙක් සිටියේ ය. කට පුරා බුලත් විටක් ඒදාගෙන සිටි ඔහුගේ සරම ඈඳ තිබුනේ ද දනිස්සෙන් පොඩ්ඩක් පහළට වන්නට ය. මේස් බැණියමට යටින් සරමටත් වඩා ලොකු ගැටයක් ගසා තිබුණු අතර, ඔහු හැම විට ම ගියේ ලොරියෙන් එළියේ ය. ​ලොරිය පිටත් වන තෙක් බිමට බැස මිනිසුන් සමග කතා කරන ඔහු ලොරිය පිටත් වූ පසු, අඩි දෙක තුනක් දිව විත් එහි එල්ලෙයි. එසේ එල්ලී, කට මත ඈඟිලි දෙකක් තබා බුලත් කෙළ පහරක් පාරට විදියි. පටු පාරේ වළ ගොඩැලි මතින් දූවිලි අවුස්සාගෙන ලොරිය නැළවෙමින්, පැද්දෙමින්, මඳ ගමණින් ඉදිරියට ඈදෙයි. මෙසේ තරමක වේලාවකට පසු අප සිටි උහන ගම්මානයට වඩා විශාල ගොඩනැගිලි ද, සෙනග ද සිටි ස්ථානයකට ලොරිය පැමිණියේ ය. තවත් අප ලොරිය මෙන් ම වූ ලොරි බාග විශාල ප්‍රමාණයක් එහි තිබූ අතර, එකක ඉදිරියෙන් ගොනාගොල්ල යනුවෙන් ලියූ පුවරුවක් තිබුණු වග මට හොඳට මතක ය.

අම්පාර නගරයයි. මීට කළින් අප ලොකු තාත්තලාගේ ගෙදර යන්නට ද අම්පාර නගරයට පැමිණ ඈති නමුත් අද මට අම්පාර අමුතු තැනක් ලෙස පෙනෙයි..!!

නිහඬ වූලොරියෙන් අප බිමට බස්සවා ගත්තේ තාත්තා ය. ඉන් පසු ඔහු අප ද සමග පාර පැන, ලොකු ගොඩනැගිල්ලක් දෙසට ගමන් කළෙමු. එය අති විශාල ගොඩනැගිල්ලකි. එහි දැවැන්ත ගේට්ටුවෙන් ඈතුලු වූ පසු විශාල පිරිසක් පොලිමේ සිටිනු දුටුවෙමි. තාත්තා ද අප සමග ඒ පොලිමට එකතු විය. අප කුතුහලයෙන් වට පිට බලමින් සිටිනා තර, වඩාගෙන සිටින පාලිත චුරු චුරු ගාමින් සිටියේ ය. ටික වේලාවකට පසු පෝලිම ඉදිරියට ඈදෙන්නට වූ අතර, තාත්තා පුංචි කවුළුවක් තුළ සිටි අයෙකුට මොකක්දෝ කී කීවිට, ඔහු තාත්තාට මොනවාදෝ දුන්නේ ය. ඒ දුන් දේ ද රැගෙන තව අඩියක් පැමිණි තාත්තා, දුඹුරු පාට දොර රෙද්දක් දැමූ විසල් දොර ළඟ සිටි කෙනෙකුට ඒ සියල්ල දුන්නේ ය. ඉන් පසු තාත්තා ඒ රෙද්ද මෑත් කර අප සමග ඈතුළට පැමිණියේ ය. මම මහත් සේ විස්මයට පත් වීමි. කුතුහලයෙන් යුක්ත ව වට පිට බැලීමි. වහළය මත ලොකු පංකා පේලියක් කැරනකමින් තිබුණ අතර, පුටු විශාල ප්‍රමාණයක් පේළි පේළි මෙහි තබා තිබුණේ ය. මම ජීවිතයේ ප්‍රථම වරට විදුලි පංකාවක් දැක්කේ එදා ය. එය ද එකක් නොව පේළියකි..!! මේ අතරේ මොකක්දෝ ගීතයක් ද වාදනය ​වෙමින් තිබුණු අතර, තවත් ගැහැණු මිනිස්සු විශාල ප්‍රමාණයක් උස් හඬින් මොනවාදෝ කියමින් ඒ අසුන් මත වාඩි වී සිටියෝ ය. තාත්තා ද අප සමග පැමිණ හිස් ආසන පේලියක ආරම්භයෙන් ම වාඩි ගත්තේ ය. අපි දු වාඩි වීමු. එසේ වාඩි වී ඉදිරිය බැලූ විට ඉදිරියෙන් දැවැන්ත තිරයක් මට පෙණින. මහත් සේ විශ්මයෙන් ඈළලී සිටි මම වට පිට බැලුවේ ද යාන්ත්‍රික රොබෝවෙකු මෙනැයි මට දැන් සිතේ..

ස්වල්ප වේලාවකින් දැවැන්ත ශාලාවේ විදුලිය බල්බ එකින් එක නිවී ගියේ ය. දැන් කළුවර ය. ළඟ පාත ඉන්නා අයියා ද, ඊට එහායින් සිටින තාත්තා ද මට පෙනෙන්නේ නැත. මම බිය වීමි. නමුත් කරන්නේ කුමක්දැයි නිනව්වක් නැති ව තක්බීර් වී සිටියෙමි. මුලු ශාලාව ම මීයට පිම්බාක් මෙන් නිහඬ විය. එසැණින් ඉදිරියෙන් වූ තිරය දෙපැත්තට ඈරෙන්නට විය. මම පුටුවේ පිටු පසට හේත්තු වුනෙමි. තව මොහොතකින් ඈරුණු තිරය යට තිබූ සුදු පාට බිත්තිය මත ජාතික කොඩිය ළෙල දෙන්නට වූ අතර, මහ හඬින් එය වාදනය වන්නට ද විය. ශාලාවේ සිටියවුන් මෙන් ම තාත්තා ද පාලිතවත් වඩාගෙන නැගී සිටියෝ ය.මාත් අයියාත් පුටුවෙන් බිමට පැන නැගී සිටියෙමු..

ජාතික ගීය වාදනයෙන් පසු මුහුණේ පත රැවුලක් තිබූ සද්දන්ත මිනිසෙක් "හච හච" ගා මොනවාදෝ කියෙව්වේ ය. (ඒ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක සිරිමතාණන් බව මා දැන ගත්තේ බොහෝ කළෙකට පසු ව ය.) ඉන්පසු ශාලාව පුරා යළි කඩි ගුලක් ඈවිස්සුණාක් මෙන් සද්ද රැල්ලක් නැගුණු අතර, පුටු මත එකිනෙකා වාඩි වන සද්ද ද ඊට ම එකතු විය. අපි දු වාඩි වීමු.

දැවැන්ත තිරය මත මොනවාදෝ රූප විසාල් ප්‍රමාණයක් දර්ශනය විය. ඒවා හරි හමන් විදියට මට මතක නැත්තේ ඒ වන විට මගේ සිහිය විකල් වන තරමට ම මම අන්ද මන්ද ව සිටි බැවිනි. ටික වේලාවකින් තිරය මත කළු සහ සුදු පාට විසල් මිනිසුන් කතා කරනු ද, සිනාසෙනු ද මම දිටිමි. ඒ අතර මඳ වේලාවකින් තිරය මත අකුරු පේළි සටහන් විය. ඒ අකුරු පේළි අතරින් සිරි ගුණසිංහ යන නම ද, "සත්සමුදුර" යන විශාල අකුරු පදාසය ද මට ගලේ කෙටුවාක් මෙන් මතක ය.

ඒ අප ජීවිතයේ ප්‍රථම වරට චිත්‍රපටයක් බැලූ දා ය. චිත්‍රපටය සත්සමුදුර විය. අප එය නැරඹුවේ අම්පාරේ රීගල් සිනමා ශාලාවේ දී ය...!!!

Share/Bookmark