Saturday, October 2, 2010

17. අවසන් කටයුතු...!!


ඉතිරි සිද්ධීන් ඉතා ඉක්මණින් ගලා ගියේ ද, නැතහොත් සිද්ධීන් මා සිතෙන් ගිලිහී ගොසින්දැයි කියන්නට තරම් පැහැදිලි මතකයක් මා සතු ව නැත. නමුත් සවස් යාමයේ දී, ලොකු තාත්තලාගේ ගේ වත්ත අවටත්, ඉදිරිපස මහ පිට්ටනියේත්, පාරේත් මහා ලොකු සෙනගක් සිටි වග නම් මට මතක ය. ඒ මහා ජන කන්දරාව මැද්දේ මම තනි ව සිටියෙමි. මළ ගෙදර එන බහෝ දෙනෙක් මහත් කම්පාවෙන් යුක්ත ව මගේ හිස අතගානු මට මතක ය. මගේ ලෙස ම අයියාගේ ද අනෙක් අයගේ ද අත ගාන්නට ඈති නමුත්, මේ වෙනතෙක් මට ඔවුන් දකින්නට ලැබුනේ ද නැත.

කාලය ගෙවෙත් ම ගේ මැද්දෑවේ කලබගෑණීය උත්සන්න වනු මට දැනින. විලාපයන් ද මොහොතින් මොහොත තීව්ර වෙමින් ඈසෙන්නට විය. සාලය දෙසට තබා අහලකටවත් යන්නට අපට නොහැකි වූයේ ජන සන්නිපාතය ඒ තරම්ම වූ නිසා ය..ඉර බැසගෙන යන්නට අර අඳිනා මොහොතේ හාමුදුරැවන් වහන්සේලා පෙළක් ම වැඩම කොට, ගේ මිදුලේ වූ කූඩාරමේ පෙළට වාඩි වී සිටි අයුරු මට තවම මතක ය. එසැණින් මහා විලාපයක් ද සමග, ගෙයි සිටියවුන් සියල්ලක් ම පාහේ මිදුලට තල්ලු වෙමින් පැමිණියේ ය. ඊට ටික වේලාවකට පසු නැවතත් ලොකු තාත්තා ප්‍රමුඛ කිහිප දෙනෙක් ගෙතුලට ගියේ ය.

මුලු හාත්පස ම දැවැන්ත නිශ්ශබ්දතාවකින් වෙලී ගිය ඈසිල්ලේ බොල් හඬකින් කිසිවක් වසා දමන හඩක් මට ඈසුනේ, මා සිටියේ සාලයට යාබදව ම බිත්තියට හේත්තු ව සිටි බැවිනි. මොහොතකට පසු දොර ඇරී ලොකු තාත්තලා ඇතුළු පිරිවර අම්මා නිදා සිටි ​පෙට්ටිය ඔසවාගෙන මිදුලට පැමිණියේ ය. එසැණින් යළි මුලු මහත් විශ්වයට ම ඈසෙන තෙක් වූ මහා විලාපයක් පැතිර ගියේ ය. හිච්චා හෙවත් අපේ පුංචි අම්මා බිම ඈද වැටෙනු ද, එහා එතැනට පිණූ කිහිප දෙනෙක් ඈ වත්තම් කොට ගෙන ඈතුළට ගෙන යන අයුරුත් කිසිදු හැඟීමකින් තොර ව මම බලා සිටියෙමි.

කිසිවෙක් මහා හඬකින් යමක් කියන්නට උත්සාහ ගන්නා අතරේ ඒ හඪ වෙනත් දෙසකින් ඈයෙන්නේ කොසේදැයි විපිළිසර ව මම වට පිට බැලුවෙමි. ඒ හඬ ඇසෙන්නේ පාරේ ලයිට් කණුවේ ගැට ගසා තිබූ දිග නැට්ටක් සහිත දැවැන්ත කෝප්පයකිනි. මම ඌට්ටුව ද ගසා ගෙන ම එදෙස බලා සිටියෙමි. දැන් අර මහා විලාපය හීන් කෙඳිරියක් බවට ද, හීල්ලීමක් බවට ද පත් වී අවසාන ය. ඉන් පසු අර යකඩ කටෙන් අවට පැතිරෙන්නේ හාමුදුරුවන්ගේ ගාථා ය. සියල්ලෝ ම හැකි පමණින් බිම ඈන තියාගෙන වැඳ ගෙන සිටි අතර වාරයේ මම අවට බලමි. ඒ සුදු පැහැ ජන ගංගාව මැද්දේ සිටගෙන සිටින්නේ මා පමණ ය. මම එකිනෙකාගේ මුහුණු දෙස බලමි. කිසිවෙකුට මා දෙස බලන්නට ඉස්පාසුවක් නැත. මම අඟිල්ල උරමින් ම නිටි පියවරෙන් ම සිටියේ කරන්නට කිසිවක් ම නැති නිසාටත් වඩා සිතා ගන්නට බැරි නිසා ය.

ගාථා කී හාමුදුරුවන් වහන්සේලාගෙන් කෙනෙක් රැල් බුරුල් හරිමින් ඉතා දීර්ඝ දේශනාවක් කළ ද මට ඉන් එකදු වචනයක් මතක නැත. නමුත් උන් වහන්සේලා පිටත් ව ගිය පසු, "අප අතරින් වියෝ වූ ජයසීලි ගුරු මාතාව" ගැන ද, තේනුවර ලොකු ඉස්කෝලෙ මහත්තයා ගැන ද, ආතර් මහත්තයා ගැන ද, මහා දිග කතා ඈසෙයියකඩ කටින් වෑස්සෙනු මම බලා සිටියෙමි. මට ඒවා අසා සිටින්නට උවමනාවක් නැත. සිදු වන්නේ කුමක්දැයි දැන කියා ගන්නට මහත් උවමනාවක් තිබුණ ද අසා ගන්නට වත් කිසිවකු නැත. එනිසා මම එලෙසින් ම උකටලී ව සිටියෙමි.

හොඳට ම සවස් වූ පසු යළිත් විලාපය පැතිරෙන්නට පටන් ගත්තේ ය. සියල්ලෝ ම කඩි මුඩියේ මහ පාරට අවතීර්ණ විය. ඒ සමග හිසේ සුදු පාට තුවා බැඳගත් බෙර කරුවන් කිහිප දෙනෙක් සුදු රෙදිවලින් එතූ බෙරවලට කෝටුවලින් ගසමින් මහා ශෝකී රාවයක් මතු කළෝ ය. ඒ සමග නලා හඬක් ද පතුරවමින් ඔවුන් මහ පාරට ගොඩ උනෝ ය. ඊට පසු කිහිප ​දෙනෙකුන් විසින් අම්මා සහිත පෙට්ටිය ඔසවා ගෙන ඒ පස්සේ ගමන් කරන්නට පටන් ගත්තෝ ය. මම ඈස් ලොකු කර ගෙන එදෙස බලා සිටියෙමි. මොකක්දෝ කියා ගන්නට බැරි හැඟීමක් මසිත පුරා පැතිරෙන්නට විය. ඒ කුමක්දැයි මම අදත් විමසමින් සිටිමි. නමුත් අදටත් මට ඒ හැඟීම නිර්වචනය කොට දැනෙන්නේ නැත.

ටිකකින් කවුදෝ පැමිණ මාව ද ඈද ගෙන ඒ ජන ගංගාවට එකතු වුනේ ය.. මම ඔහේ පියවර මැන්නෙමි. ඊට පසු තවත් කවුදෝ පැමිණ, පෙරහැරේ ඉදිරියට මාව තල්ලු කර ගෙන ගියේ ය. මූසල බෙර හඬ අභිබවමින් විලාප හඬ මසිත කීරි ගසමින් ඈසෙන අතරේ, හීන් හඬින් තාත්තා හැඬූ හඬ මතක් වන විටත් මගේ සියොළඟ ම දැවී ගොස් යකඩ ගුලියක් උගුරේ හිර වුනාක් මෙන් අදත් මට දැනෙන්නේ ය.

පිට්ටනියෙන් එපිට ව, බුද්ධංගල පාර දිගේ ටික දුරක් ගිය විට මහා පාලු මංඩියක අම්පාරේ පොදු සුසාන භූමිය පිහිටියේ ය. මේ සුසානයට ඈතුළුවත් ම හිච්චා මා ළඟට පැමිණ "අනේ අසරණ කොලු පටියා" යැයි කියමින් මහත් සේ සෙනේහයෙන් යුක්ත ව, මගේ හිස අත ගාමින් කියූ සැටි ඒ ස්වරයෙන් ම ම​ට අදත් මතක ය.

අම්මා සහිත දෙන සුසානයට ගෙන ගොස් ආදාහනය කළේ ද, භූමි දානය කළේදැයි මට පැහැදිලි මතකයක් නැත. ඒ වගක් අද වුව මට තාත්තාගෙන් අසා දැන ගන්නට හැකි ය. නමුත් මා ඒ නො අසන්නේ ඒ තහවුරු කර ගන්නට මම අංශු මාත්‍රයකින් හෝ අකමැති නිසා ය.
අපේ අම්මා ආදාහනය කරන්නටවත්, භූමි දානය කරන්නටවත් කාටවත් බැරි ය..ඈ තාමත් මාළඟ සිටින්නී ය. මම ඇගේ තට්ටම විකූ විට ඌ ඌ ගාමින් මගේ හිස ඇගේ තට්ටමට තද කර ගන්නී ය.
මම නොසෙල් වී එසේ ම සිටිමි...!!!

Share/Bookmark