Wednesday, December 1, 2010

21. පිරිත් ගෙදර ලක ලැහැස්තිය.

(මේ පින්තූරය ලොකුවට බලන්නට නම් ඩබල් ක්ලික් කරන්න)

සිංහල අවුරුද්ද උදාවන ළකුණු හැම අතින් ම පහළ වුව ද එය අපට මහා අමුත්තක් වූයේ නැත. ඒ අවුරුද්ද ගැන කිසිදු හාංකවිසියක් අප සිත් තුළ නොමැති වූ බැවිනි. ඉඳ හිට මුළු පලාත ම ගිගුම් දෙමින් රතිඤ්ඤා හඩක්පැතිරෙයි.ඉන් අප සිතට කිසියම් ආලෝලනයක් ලැබුන ද, එහි බියකරු හඬට අප තැති ගන්නමෝ වෙමු. එනිසා රතිඤ්ඤා හඬ ඈසුණු සැණින් අප සැවොම දෑතින් කන් වසා ගන්නෙමු. නමුත් ඒ වන විට අපට රත්ඤ්ඤයේ හඬ ඈසී අවසන් ය.

අවුරුද්ද නිසා අපට අලුත් ඈඳුම් ලැබුණ බවක් මට යාන්තමට මතක ය. අවුරුද්ද දවසේ ලොකු තාත්තලාගේ ගෙදරට ලොකු තසිම්වල කැවිලි පෙවිලි අරගෙන එන සමහරු "අනේ මේ සප්පයන්ට මොන අවුරුදුද" යැයි කියන්නේ ඈයි දැයි මට තේරෙන්නේ නැත..ඒ ටික දොහේනම් අපට කෑමෙන් බීමෙන් කිසිදු අඩුවක් වූයේ නැත. පිට්ටනියට වැද ඔහේ ඉබාගාතේ ඈවිද ගිය ද, ඒ පිට්ටනිය සුවිසල් පිට්ටනිය වටා තිබෙන කිසියම් හෝ ගෙයකින් පැමිණ අප ව රැගෙන ගොස් කන්නට බොන්නට දෙයි. මම ලැබෙන දෙයක් කමි. බොමි. ඉන් එහාට කිසි දෙයක් මට සිහි වන්නේ නැත...

ලොකු තාත්තලාගේ ගෙයි සාලයේ ගොඩ ගසා තිබූ ලී කණු සහ පරාලවලට පණ එන්නට පටන් ගත්තේ මේ අවුරුදු කාලය අවසන් වූවාට පසු ව ය. හැමදා ම හැන්දෑවට අන්කල්ලා පිරිසක් එහි පැමිණෙයි. කඩදාසි මත නෙක නෙක ලියවැල් සහිත කටු සිත්තම් අඳින්නේ අපේ තාත්තා ය. ලොකු තාත්තා වැඩි හරියක් කරන්නේ සුරුට්ටුව හපමින් අරයාට මෙයාට උපදෙස් දීම ය. අනෙක් අය දිගු ලී දඬු හරස් කරමින් සාලය මැද්දෑවේ ලොකු අට්ටාලයක් තනති. "අනේ චූටි පුතේ..ඕංංංං එතනින් පොඩ්ඩක් අල්ලන්න..." සාලය මැදින් අලස ව ඇවිදින අපට යමෙක් කියයි. එය මට මහ මෙරකි. මම වහා පැන දැව දණ්ඩක කෙළවරින් අල්ලා ගනිමි. නමුත් කරන්නේ කුමක්දැයි මට වැටහෙන්නේ නැත..තාත්තා චිතු අඳින තැනට යන මම ඇන බාගෙන ඌට්ටුව ද ගසා ගෙන බලා සිටිමි. තාත්තා පැන්සල අතින් අල්ලන්නේ එහි බඩ මැද්දෙනි. ඉන් පසු ඉතා ම ළා පාටින් සුදු කඩදාසිය මත යමක් සටහන් කරයි. මෙසේ කුරුටු ගාන ඔහු අවසන යළි පැන්සලයෙන් ඒ කුරුටු රේඛා මත තද ඉරි අඳියි. එවිට එහි මැයවන්නේ අපූරු චිතු සටහනකි. ලොකු තාත්තා එතැනට එයි. සුරුට්ටුව කටින් එළියට ගෙන කැඩුණු දත දිවෙන් පිරිමදියි. එකළ තරමක් පෑදී ගෙන එන තට්ට රවුම අත ගායි."ආලවට්ටං දැම්ම වගේ නෙමෙයි කපන්නත් පුලුවං යවන්න ඹ්න.." කියයි. මම සීරුවට තාත්තාගේ මුහුණ දෙස බලමි. තාත්තා කිසිවක් ම කියන්නේ නැත.

ලොකු ලෑල්ලක් බිම එළා දැන් ලොකු තාත්තා ලක ලැහැස්ති වෙයි. තුන් හතර දෙනෙක් පැමිණ සුදු කඩදාසි එක පිට එක සීරුවෙන් අතුරයි. ලොකු තාත්තා ඒවා අතින් පිරිමැද එහි ඇති රැළි පිස දමයි. තාත්තා ඇඳි චිත්‍රය එලන්නේ මේ කඩදාසි තට්ටු කිහිපය මත ය. ඉන් පසු කුඩා ඈණ හතරක් ගෙන කඩදාසි තට්ටුවේ හතර කොනෙන් ගසන්නේ කවුරු හරි ය. දැන් ලොකු තාත්තා ළඟ ඈති මල්ලකින් ආයුද ගොන්නක් ගෙන පිළිවෙලට ළඟින් තියා ගනියි. ඒවා එක එක හැඩැති නියන් ය. "ඕයි මෙන්න මේක පොඩ්ඩක් මුවාත තියපං පරිස්සමිං.." ලොකු තාත්තා අපේ තාත්තාට කියයි. ලොකු තාත්තාගේ එක ම මල්ලී අපේ තාත්තා වුව ද ඔහු කවරදාකවත් තාත්තාට මල්ලී යැයි කියනු මා අසා නැත. ඔහු හැමට ම කතා කරන "ඕයි" යන්නෙන් තාත්තාට ද ආමන්ත්‍රණය කරන්නේ ය. ඉතා ම කලාතුරකින් ලොකු තාත්තා අපේ තාත්තාට "ගුණතිලක" යැයි කියයි.

දැං ලොකු තාත්තා බර වැඩ ය. අපට ඇසෙන්නේ තාලයකට ඈසෙන ටොක් ටොක් හඬක් පමණ ය. ලීයකින් සෑදූ අතකොලුවකින් ඔහු නියනේ ඉහළ කොටසට තට්ටු කරයි. මෙසේ දෙතුන් විටක් තට්ටු කරන ඔහු කඩදාසි තට්ටුවෙන් කොටසක් ඉහළට උලුල්පා නියනෙන් ම පැත්තකට තල්ලු කරයි. නියන් පහරට තැලුණු මේ කඩදාසි කැබලි ඇත්තේ එක ගුලියක් ආකාරයකට ය. අපට මේ වීසි කරන ගුලිය මහාර්ඝ වස්තුවකි. එය බෙදා ගන්නට ලොකු පොඩි වෙනසක් නැති ව, එක පොදියට වැටෙමින් අප පොර අල්ලන්නේ ඒ නිසා ය. අත කොලුව ඉහළට ඔසවමින් ලොකු තාත්තා සැර දමයි. "දුහ් මෙතනිං.." නමුත් අප යළිත් හරි බරි ගැසෙනවා මිස දුව යන්නේ ද, එතැනින් එහාට අප එළවන්නේ ද නැත.

මෙසේ කැටයම් කැපූ කඩදාසි තට්ටුව ම අවසන් කළ විට ජයග්‍රාහී සිනා රැල්ලක් ලොකු තාත්තාගේ මුහුණේ ඇඳෙයි. අවට සිටින්නන් සියලු දෙනා ම ලොකු තාත්තාට ගෞරව කරන්නාක් මෙන් හිස නවා සිනා රැල්ලකින් සංග්‍රහ කරයි. වසර 45ක් ගෙවී ගිය ද මට ඒ සිනාවන් තවමත් මතක ඇයි දැයි කියන්නට මම දන්නේ නැත.

තාත්තා ද අනෙක් අංකල්ලා ද කැටයම් කැපූ කඩදාසි සීරුවෙන් වෙන් කරයි. ඒ අතර කෙනෙක් සාදා ඇති ලී රාමු මත පාප්ප ගායි. ඒ මත කැටයම් කඩදාසිය අලවන්නේ අපේ තාත්තා ය. ලී රාමුව මත මේ කටයමි කඩදාසිය ඈලවූ පසු අපට පෙනෙන්නේ මහත් ආශ්චර්යයකි ගලස ය. සුදු කඩදාසියේ හිල් අතරින් ඇතුළත පෙනෙයි. එය අතිශය විශ්ව කර්ම වැඩකි. මෙසේ විවිධාකාර වූ ලියවැල් රටා සහිත කඩදාසි ඈලවෙන අයුරු මම ඌට්ටුව ද ගසා ගෙන බිම ඈනතියාන බලා සිටිමි. ඉඳ හිට දැඩි නිදිමත නිසා මගේ හිස කඩා වැටෙයි. මම ගැස්සී යළි අවදි වෙමි. මෙසේ දෙතුන් විඩක් සිදු වෙයි. "යනෝ ගිහිං නිදා ගන්නවා..." තාත්තා කියයි. මම වට පිට බලමි. මා වැනි ම කිරන්නෝ තුන් හතර දෙනෙක් අවට සිටියි. මම ඔලුව කසමි. තදින් ඇඟිල්ල උරමි. ඒ එතැනින් යන්නට ඈති අකමැත්ත නිසා ය.

මඳ වේලාවක් ගත වත් ම මට මගේ ඈඟ පුරා මකුළු දැලක් දැවටෙනවා සේ දැනෙන්නට පටන් ගත්තේ ය. ඒ සමග සර බර ගාමින් කඩදාසියක් පහසුවෙන් ඉරෙන හඬක් ද සිහිනෙන් මෙන් මට ඈසුනේ ය. ඊට ගත වන්නට ඈත්තේ මිලි තත්පර කිහිපයක් විය යුතු ය. "උදුලා...මෙන්න මේ කාලකණ්නි ටික කොහේට හරි ගිහින් දානවා...!!!" ලොකු තාත්තා මහා හඬින් ලොකු අම්මාට කෑ ගසනු ද මට ඇසෙයි. "අනේ මේ අසරණයන්ට එහෙම කියන්න එපා.." ලොකු අම්මා ද ටිකක් සැරෙන් කියමින් සාලයට එන්නී ය. මේ සියල්ල මට ඈසෙන්නේ සිහිනයෙන් මෙනි. සැබවින් ම සිදු ව ඇත්තේ නිදිබර මං ගුලිය කැටයම් කපා ඇලවූ පිරිත් මණ්ඩපය තුළට වැටී ඇත්තේ කැටයමක් ද ඉරාගෙන ය. තාත්තා කිසිවක් ම නොකියා මා ඔසවා ගන්නේ ද ගුලිය පිටින් ය.

දැන් මම ඇඟිලි උරන්නේ නැත. නමුත් අධික ව වෙහෙස ව ඇඳට වැටුණු විට නින්දත් නොනින්දත් අතරේ දී තාත්තා මා ඔසවා ගෙන ගිය අයුරු මට දැනෙන්නට පටන් ගනියි. එවිට මට ලැබෙන්නේ අතිශය සුවදායී නින්දකි....!!!

Share/Bookmark