Monday, October 10, 2011

නිවාඩුව අබියස..

කාලය ගෙවී යන්නේ සෙමිනි. කිසිවක් අලුතින් සිද්ද නෙවුනේ ද, නැතිනම් ඒවා මගේ මතකයෙන් ගිලිහී ගොසින්දැයි කියන්නට තරම් නිච්චියක් මට නැත.

ජීවිතයේ කිසිදු බරක් පතලක් නොදැනී ගෙවී යයි. අපි සිරිත් පරිදි උදෑසන අවදි ව සියල්ලන් ම සමග රොත්තක් මෙන් සුපුරුදු මාවත දිගේ ම පාසැල් යන්නෙමු. කට්ට දවාලේ ගිණි කූටක අව්වේ වගේ වගක් නැති ව යළි ගෙදර එන්නෙමු. අප එතරම් දඟ කාරයන් නොවූ නිසාවෙන් අතුරු ආන්තරා ද අඩු ය.

හැන්දෑවට ලොකු තාත්තලාගේ ගේ ඉදිරිපිට පිට්ටනයට රැස් වන කොලු කුරුට්ටන් රෑණ ම සමග අපි ඇති පදම් දුව පැන සෙල්ලම් කරන්නෙමු. අවට ගෙවල් දොරවල්වල වැට මායිමේ ඇති ගඳ පාන, මා දං, බෝවිටියා, පඩවැල්, පැෂන් ෆෲට් වැනි ගඩා ගෙඩි ඇති තරම් කන්නෙමු. ඇඳිරි වැටුනාට පසු ආච්චිගේ ගෝසාවට අවනත ව අපි ගෙට ගොඩ වන්නෙමු.

තාත්තා දැන් මෙහේ එන්නේ දවස් දෙක තුනකට වරකි. එද හැන්දෑවේ ය. එසේ පැමින බොහෝ වේලා අප දෙස බලා සිටියි. ඉඳ හිට ආච්චීත් සමග කතා බහ කරමින් සිට, ලොකු තාත්තා එන්නට කලින් යළි පිටත් ව යයි. එවැනි දවසක හැන්දෑවක ආච්චි ලොකු කතාවක් කීවේ ලොකු තාත්තාට නෝක්කාඩුවක් ලෙසිනි.

"ඊයේ රාත්තිරියෙ ගුණතිලක බූරු ඇ‍ඳේ නිදං හිටිද්දි ඔඩොක්කුවට ලොකු හීතල ගුලියක් වැටුනලුනෙ බං...."
ඊට පසු දිග නිහැඬියාවකි....කිසිවෙක් කතා කරන්නේ නැත. ආච්චි ඉතිරි ටික කියනාතෙක් නිසොල්මනේ අසා සිටිති.....
"දඩස් ගාල සරම ගසා දාල බැස්ටිය ගහල බැලුවම තඩි පොළඟෙක්ලුනෙ....!!!!"

අප ද දැන් ඉහළට ගත් හුස්ම පහළට නොහෙළා අසා සිටින්නේ බය බිරාන්ත ව ය.

"ඌට පිස්සු....මේ හැතිකරේ එක්ක වැටිල ඉන්නෙ නැතුව ගියානෙ අපට පාඩං උගන්නන්න...හුහ්" ලොකු තාත්තා එසේ කියමින් තුහ් ගා කෙළ පාරක් මිදුලට දමා ගසයි...

"අයිය උනාට උ‍‍ඹේ කතා අහං ඉන්න ඇහැක ඌට..."
ආච්චී කියන්නේ ඉතා සෙමිනි.
ලොකු තාත්තා ඉන් පරල වෙයි. සරම පිටුපස්සෙන් ඔසවාගෙන හයියෙන් හයියෙන් ඉස්තෝප්පුව පුරා ඇවිදියි...සුරුට්ටුව උරන වාර සංඛ්‍යාව ද, කෙළ විදින වාර සංඛ්‍යාව ද වැඩි වෙයි...

"මේ හැතිකරෙත් අරං උඹත් තොලොංචි වෙන එකයි ඇත්තෙ ඌ ඉන්න දිහාකට ම...."

ඉන් පසු නැවත දිග නිහඬතාවයකි. කිසිවෙක් කිසිවක් ම කියන්නේ ද හ්ම් හඬක් නගන්නේ ද නැත. ආච්චී ද නිසොල්මනේ ම කුස්සිය දෙසට ඇවිද යන්නී ය. මට මහා අසරණ කමක් දැනේ. මේ කියන වචනවල ලොකු බරපතලක් නොදැනුන ද, එහි ලොකු විජ්ජුම්බරයක් ඇත යන සිතිවිල්ල සිත පුරා හොල්මන් කරයි..එසේ සිටිනා අතර වාරයේ ම නින්ද අප ළඟට පැමිණෙන්නේ කිසිදු වාද බේද නොක්කාඩුවකින් තොර ව ම ය..!

ඉනික්බිති පසුදා හිමිදිරියේ ඉර උදා වන්නේ ඊයේ කිසිවක් ම සිදු නොවූ ආකාරයට ය. අපට ද ඒවා එතරම් වැදගත් ද, මතක ද නැත. උදේ පාන්දර එක රොත්තට අවදි වන අපි, එක රොත්තට පාසල් යන්නෙමු..

මේ තුන්වන පාසල් වාර අවසානයයි...
දැන් එළැඹෙන්නේ පාසල් නිවාඩු කාලයයි...

පාසල් නිවාඩුව ඇරඹි පළමු දා ම තාත්තා පැමිණ අප සැවොම බයිසිකලයේ නංවාගෙන තාත්තාගේ නවාතැනට රැගෙන ගියේ ය. සදා කල් වෙන්වීමක් නොවූව ද වසන්තයියා ඇතුලු නඩයෙන් වෙන්ව යාම සිතට දැනුනු බරක් ම විය. නමුත් තාත්තා අප තුන් දෙනාව ම බයිසිකලයේ පොල්ලේ වාඩි කරවාගෙන, හොල්මන් ගල කන්ද තරණය කරද්දී, වෙහෙස නිසා වේගයෙන් හුස්ම ගත් ආකාරය අදත් මට ඒ ආකාරයෙන් ම මතක ය. ‍
බයිසිකල පො‍ල්ලේ මුලින් ම සිටන පාලිතටත්, කෙළවර සිටින අයියාටත් වඩා මැද සිටින මට දෙකට නැවී හති දමමින් බයිසිකලය පදින තාත්තාගේ තද හුස්ම පහර හිස මත පතිත වනු දැනෙයි. ඒ සමග තාත්තාගේ ජීවන සුවඳ ද දොරේ ගලමින් මගේ හිසේ සිට පාදාන්තය තෙක් වැගිරෙයි...මට ඉන් මහත් වූ ආහ්ලාදයක් දැනෙයි.

කිසියම් හෝ කාරියක් කොට මහත්සේ වෙහෙස ව තදින් හුස්ම හෙලන හැම වාරයක ම මට තාත්තාගේ ඒ සුවඳ දැනෙන්නට පටන් ගනී. එවිට මා සිත පුරා ඇති සියලු වෙහස මහන්සි ක්ෂණයකින් පහව යනු මට දැනෙයි..


Share/Bookmark

Wednesday, September 7, 2011

"සරණ"

එකළ අපට සති අන්ත නිවාඩුව ලැබුනේ පෝය අනුව ය. පෙර පෝය සහ පෝය ලෙසිනි. අමාවක., අටවක, පාලොස්සක, අව අටවක යනු මේ පෝය නිවාඩු දවස් ය. සමහර සතියකට දින අටක් යෙදුනේ මේ පෝය නිවාඩු අනුව ය. එකළ කැළැන්ඩරය සැකසී තිබුනේ ද මේ පෝය අනුව ය. නමුත් නිවාඩු දින ලකුණු කොට තිබුනේ අපිළිවෙලට ය.

එක්තරා පෝය නිවාඩු දවසක තාත්තා අප තුන් දෙනාව ම බයිසික‍ළයේ පොල්ලේ වාඩි කරවාගෙන, අප පුදුමයට පත් කරවන ගමන එක්කන් ගියේ ය. තාත්තා ද අප ද සමග බයිසිකළය බුද්ධංගල හන්දියෙන් ඉහළට පැමිණ, තරමක් කන්දක් තරණය කොට හොල්මන් ගල ළඟට පැමිණියේ ය. එතැනින් වම් පැත්තට බෑවුමක් සහිත ගුරු පාරකි. බෑවුම කෙළවර පිරිමි නේවාසිකාගාරය හෙවත් විශාල තනි ගොඩනැගිල්ලක් වන ඩෝමැට්‍රිය පසු වෙයි. ඉන් පසු කුඩා වන බූටෑවකි. එහි හරි හමන් පාරක් නැත. තාත්තා පමණක් ආ ගිය ඒ අඩි පාර දිගේ බයිසිකළය පහළට පැමිණෙයි. ලොකු ගල් දෙබොක්කාවකින් පසු තාත්තා බයිසිකලය නවත්වයි. අපි ඉන් බැස ගත්තෙමු. එතැන කම්බි වැටකි. ඉන් පසු එහි කම්බි වැටේ ඇති කම්බි පේළිඈත් මෑත් කරගෙන අපි රිංගාගෙන මෙහා පැත්තට පැන්නෙමු. තාත්තා සරම ඔසවා දෙපරන්දේ ගසා ගෙන පළමුව බයිසිකලය ඔසවා මෙහා පැත්තේ තපා, ඊට පසු කම්බි වැටට උඩින් මෙහා පැත්තට පැන්නේ ය.

දැන් අප ඉදිරියේ තරමක් ලොකු ශාලාවක් වැනි ගොඩනැගිල්ලක් දර්ශනය වෙයි. ලොකු ලී කණු පෙළකින් සුසැදි එහි මත පොල් අතු උඩින් ඉලුක් සෙවිළි කළ වහලයකි. (ඉලුක් යනු ගොයම් ගසට ම සමාන විශාල තණ පඳුරු විශේෂයකි. ඒවා වැඩෙන්නේ මුලු යායක් පුරා ම ය. ගවයන්ගේ රස බොජුනක් වන එහි දිගටි කොළ වේලුණු පසු ඉක්මණින් දිරන්නේ නැත. එනිසා වහළ සෙවිල්ලන්නට එයින් ලැබෙන්නේ අසීමිත ප්‍රයෝජනයකි.) මුලු ගොඩනැගිල්ල වටා ම කොට වරිච්චි බිත්තියකි. (වරිච්චි යනු ලී පන්දලම් - සිහින් කෝටු - එකතු කර සාදා ගත් රාමුවක් මත මැටි ගුලි එබ්බවීමයි.) අපි තාත්තා ද සමග ඒ ගොඩනැගිල්ලට ඇතුලු වෙමු. අවට දැඩි දාහයකින් යුක්ත වුව ද ඒ තුළ අපට මහා සුව දායක බවක් දැනේ. අප වටපිට බලන්නෙමු. බිමට ගොම මැටි ගා ඇත්තේ ඊයේ පෙරේදා වන්නට පුලුවන. එහි තෙත ගතිය දෙපයට ද, නැවුම් ගොම සුවඳ ද නාසයට ද දැනෙයි. ශාලාව පුරා ම බංකු පුටු පේළි කිහිපයකි. එහි එක් කෙළවරක් යළි කොට බැම්මකින් වෙන් ව ඇත්තේ ය.

ශාලාව මැද උහන නිවසේ තිබුණු තාත්තාගේ තේක්ක ලියන මේසය විරාජමාන වෙයි. කොට බැම්මෙන් ඇතුලේ උහන නිවසේ තිබූ පුටු සැට් එක ද, අප එක රොත්තට නිදා ගත් ඇඳන් දෙක ද එක ළඟින් ගාල් කොට තිබෙනු පෙනෙයි...!!



අපි මුලු ශාලාව පුරා ම රිසි සේ ඇවිද්දෙමු. මේ අපගේ පළමු පැමිණීම වුව ද, මිදුල ද අපට හුරු පුරුදු ආකාරයක් දැනෙයි. ශාලාවට ඇතුල් වන තැන විසල් කණුවේ තරමක බෝඩ් ලෑල්ලකි. එහි කළු පසුබිමේ සුදු අකුරින් "සරණ" යනුවෙන් ලියා තිබෙන්නේ තාත්තාට ම ආවේණික අකුරු ශෛලියෙනි...!


මිදුලේ ශාලාවට ආසන්න පෙදෙස එඵි පහළි කර තිබුණ ද, එතැනින් එහාට ඇත්තේ අපටත් වඩා උස ඉලුක් පඳුරු මානාවකි. ශාලාව ඇතුලේ සිට ඇඳන් තිබෙන පැත්ත දෙස බැලූ විට, වම් අත පැත්තෙන් තරමක් ඈතින් විශාල පළු ගසක් පෙනෙයි. උස කඳ කෙළවර අතු පතර විහිදී ඇති එය මහා පෞරුෂයක් දනවයි. ඊට බොහෝ ඈතින් මහ වදුලක් යටින් අම්පාරේ මංගල මහා විහාරයේ චෛත්‍ය රාජයා සුදට සුදේ දර්ශනය වෙයි..

අප බයිසිකලයෙන් බැසි තැනට ටිකක් එහායින් දැවැන්ත නුග ගසක් වෙයි. එහි බිමට එල්ලී ඇති විසල් මුල් සමූහය සමග මහා අඳුරක් ද, දැඩි නිහඬ බවක් ද, දැවැන්ත ගූඨ බවක් ද අපට දැනෙයි. ඒ දෙස කෙළින් බලන්නට පවා ඇත්තේ මහා බයකි. එහි මුල් අස්සෙන් පැන පහළ ඇති ගල් දෙබොක්කාවට රිංගන්නේ මුගටි රොත්තකි. දුඹුරු පාට හුරතල් පෙනුමකින් යුකක්ත මුගටි අතිශය කඩිසර ය. දුවන ගමන් මදක් නැවතී පාටුපස දෙපයට බර දී සිට ගන්නා ඔවුන් එකෙක් දෙන්නෙක් අප දෙස බලන්නේ මේ පැමිණි අලුත් ආගන්තුකයන් හඳුනා ගන්නට විය යුතු ය. මේ මහ නුගයට අරක් ගත් වඳුරු රංචුවක් ද සිටියි. උන්ගේ මුහුණ පෙනුම තරමක් බියකරු ලෙස අපට පෙනෙයි. ඒ විසල් රංචුවක් ම සිටිනා නිසා වෙන්නට පුලුවන. ගස් අතු අස්සෙන් මුහුණ දමන නාහෙට නාහන දැවැන්ත වඳුරු පොව්වෙක්, සිය කහට බැඳුණු දත් විලිස්සාගෙන "කැක්කෝ කැහ්.." ගාමින් මහ හඬක් නගයි..! ඒ අතරේ මව් වැඳිරියන්ගේ බඩේ එල්ලී සිටින කුඩා වඳුරු පැටව් "චීස්..චීස්.."ගායි..! අළු පාට සිරුරකින් හෙබි මේ වඳුරන්ගේ මුහුණ කළු පාට ය. ඉහළට එසැවුණු අමුතු කොණ්ඩ විලාසිතාවක් උන්ට හිමි ය. බිම වාඩි වන්නේ වළිගය ඉහළට ඔසවාගෙන ය. බිම දිගේ ඇවිද යන්නේ ද එසේ ම වළිගය ඔසවාගෙන ය. දිග වළිගය ඒරියලයක් මෙන් ඉහළට එසැවී අග රවුම් ව බිමට නැමෙයි. එය බලන්න ලස්සන ය.

මඳක් නිශ්ශබ්ද ව සිටි විට, අවට පරිසරය දෙවනත් කරමින් රෑහි හඬ පැතිරෙන්නට පටන් ගනී. ඒ අතරේ විවිධ කුරුළු හඬවල් ද විශාල ප්‍රමාණයක් අපට ඇසෙයි. වැඩිපුර ම ඇසෙන්නේ ද පෙනෙන්නේ ද මයිනන් සහ ගිරවුන් ය. බෙල්ලේ රතු පාට මාලයක් බැඳගෙන සිය දහස් ගනනක රෑන් ලෙසින් ගිරවු රංචු පැමිණ වන බූටෑවට පහත් වෙයි. ඉන් පසු උන්ගේ කන් කරච්චලය පැතිරෙයි.

ඉඳහිට තද කළු පාට කාක්කෙක් පැමිණෙයි. උන් ප්‍රමාණයෙන් තරමක් විශාල ය. තියුණු බැල්මක් අප දෙස හෙලන උන්, හොට ඇර මහ හඬින් කරව් කරයි. ඒ හඬ අතිශය ගොරහැඩි ය. උන් කිසි බයක් සැකක් නැති ව ශාලාව තුළට පැමිණ වහළයේ හරස් බාල්කවල වාඩි වී ඔලුව හරවමින් අප දෙස බලයි..!! උන්ගේ මාළිගාවට අප පැමිණීම ගැන තරහක් තිබෙන්නා සේ ය...

තාත්තා විවිධ වැඩවල යෙදී සිටියි. ඒ අතරේ තාත්තා කළ ගෙඩියක් ද, බාල්දියක් ද රැගෙන ඩෝමැට්‍රියට ගොස් වතුර රැගෙන ආවේ ය. පළමුවෙන් වතුර බාල්දිය ද කළ ගෙඩියද මෙහා පැත්තෙන් තබන තාත්තා යළි සරම ගුලි කොට දෙකකු‍ල් අතරේ රුවා, වැට උඩින් මෙහා පැත්තට පනියි. ක්‍රමයෙන් දවල් වෙද්දී තාත්තා උයන්නට පටන් ගනී. දර ලිපේ දුම් සුවඳ දසත පැතිරෙයි. ගින්දර අඩු වූ විට තාත්තා බිම ඇති යකඩ බටයක් ගෙන ඉන් ලිපට පිඹියි. එයින් අපට අමුතු ගීතවත් බවක් ඇසෙයි. මා ද ඒ දුම් බටය ගෙන ගිපට පිඹිමි. නමුත් "හෝස් ..හෝස් .." හඬ මිස තාත්තා පිඹින ගීතවත් බව මට නොඇසෙයි. දුම් වැදී දෑස් කඳුලු ගලන විට මහා වේදනාවක් දැනෙන්නට පටන් ගනී. නමුත් තවමත් මම ඒ දුම් සුවඳට සහ ඇස් දැවිල්ලට ආසා කරමි..!! ඒ මත තිබෙන නෑඹිලියෙන් වැසූ මුට්ටිය ගොජ දමයි. එහි බත් සුවඳ බඩ ගිණි ඇති කරයි. අපි තාත්තා උයන දෙස බලා සිටිමු. අයියා තාත්තාට යම් යම් උදව් දෙයි. ඉඳහිට තාත්තා අපට කිසියම් දෙයක් කියයි. කොරහේ ඇති බොර වතුර වීසි කිරීම, පෙරලී ඇති හට්ටියක් කෙළින් කිරීම වැනි "බර වැඩ" ඊට අයත් වෙයි.

මුල් දවසේ දිව්‍ය භෝජනය වළඳන්නට අපට පිඟන් තිබුණේ නැත. මම මැටි හට්ටියේ බෙදූ උණු බත් කෑ අතරේ අයියා බත් කෑවේ නෑඹිලියට බෙදාගෙන ය. පාලිත කුඩා නිසා තාත්තා ඔහුට කැව්වේ ය.

සවස් වරුවේ තාත්තා සමග අප සැම ළඟ පාත තිබෙන පොඩි ඇලකට ගොස් ජබු ගසමින් නා ගත්තෙමු. ඉන් පසු තුන් දෙනා ම, යළි බයිසිකළයේ පො‍ල්ලේ වාඩි වී ලොකු තාත්තාගේ නිවසට පැමිණියෙමු. අප එහි බැස්ස වූ තාත්තා යළි තම මාළිගාව බලා පිටත් විය..

දැන් අපට මහා වැඩක් ඇත්තේ ය. ඒ වසන්තයියා ඇතුළු නඩයට මේ පරිසර වර්ණනාව කිරීම ය....අතින් පයින් යන වියදමක් යැ.. මම වඳුරන්ගේ සයිස් එක කියන විට වසන්තයියාගේ ඇස් ඇරුණු ප්‍රමාණය අදත් මට ඒ වාගේ ම මතක ය...!!!

Share/Bookmark

Friday, August 5, 2011

25 ආරෝව..

කාලය ගෙවෙන්නේ සෙමින් වුව ද, කිසියම් වෙනසක් සිදුවනු මට දැනෙයි. ලොකු තාත්තා හැම විට ම නොසන්සුන් ව හැසිරෙයි. සුලු දෙයටත් කෝප වෙයි. අපට නැතත් කාට හෝ බැණ වදින්නේ ද සැර පරුෂ හඬකින් නොව, නොපැහැදිලි, පැටලිලි සහගත වාග් මාලාවකිනි. ලොකු තාත්තා ගෙදර එන්නේ අපේ තාත්තාට කලිනි. ලොකු තාත්තාගේ හැසිරීම් රටාව තාත්තා ගෙදර එන වෙලාව වන සන්ධ්‍යා කාලයෙහි දී වඩාත් උග්‍ර වෙයි. තාත්තා ගඩොල් දෙකේ පළලට තැනූ බිත්ති කණ්ඩිය මත වාඩි වී එක කුලක් පහළට එල්ලාගෙන, අනිත් කකුල නවා කණ්ඩිය මත තබාගෙන. එක් අතක් දිග හැර ඒ නැවුණු කකුලේ දණිස්ස මත තබාගෙන, අනිත් අතින් ඒ කකුල බදාගෙන, නිසොල්මනේ බොහෝ වේලාවක් දැඩි කල්පනාවක එල්බගෙන සිටීම ද මට දැනෙන්නේ විශාල අභාග්‍යයක් අත ළඟට ම පැමිණියා සේ ය.

ලොකු තාත්තාගේ බල් බල් ගෑම වැඩි වන විට තාත්තා කණ්ඩියෙන් බැස පිට්ටනිය දෙසට පියමං කරයි. පැතිරෙන අඳර මැද අපට තාත්තා ව පෙනෙන්නේ ද අඳුනා ගත නොහැකි රූපයක් ලෙසිනි. පවතින වාතාවරණය සුව දායක නොවන නිසා ලොකු තාත්තාගේ පවුලේ අය ද, අප ද කතාවක් බහක් නැති ව නිසොල්මනේ ම කාලය ගෙවන්නෙමු. හොඳට ම රෑ බෝ වූ පසු, ආච්චි මිදුලට පැමිණ ඇයට හැකි පමණ ලොකු හඬකින් කෑ ගසන්නී ය....“ගුණතිලක.......අ...අ..අ..අ.“

නමුත් තාත්තා එන්නේ නැත...

අප නිදි කිරා වැටෙන මොහොතවන විට ලොකු තාත්තාගේ චරු චුරුව නවතියි. කලින් තාත්තා වාඩි වී සිටි තැන සුරුට්ටුව හපමින්, කෙළ විදිම්න් ලොකු තාත්තා වාඩි වී සිටියි. ආච්චී පැමිණ අප එකිනෙකා තුරුළු කර ගනිමින් හිස් අත ගාමින් සිටින්නී ය. ආච්චී ලොකු තාත්තාට කිසිවක් කියන්නේ ද නැත. ලොකු අම්මා ද නිෂ්ශබ්ද ය. නිතර කටට කමසෙයියාරුවක් නැති ව කියවන වසන්තයියා ද නිහඬ ය. ලොකු තාත්තා කණ්ඩියෙන් බැස, කිසිදු තාලයක් නැති ගී ඛණ්ඩයක් මුමුණමින් ගේ තුළට පියමං කරයි. ඊට ටික වේලාවකට පසු තාත්තා හෙමි හෙමින් ගාටමින් ගෙට එයි. කිසිවක් නොදැනුන ද ඊයම් බරුවක් ඇස් දෙක තිබෙන තැනින් ගිලා බැස, ගලනාලය ද, අමාශය ද පසු කරමින් උදරයේ පතුළට ම යන සියුම් වේදනාවක් මට දැනෙයි...! ඉන් පසු මට දැනෙන්නේ පොළොවෙන් පියවර ගනනාවක් ඉහළට විත් පා වෙමින් යන බවකි. ඒ තාත්තා අඩ නින්දේ සිටින මාව ඔසවාගෙන ගෙට යන නිසා ය...

දවස් දෙක තුනක් ම යන තෙක් තාත්තා පැමිණියේ මහරෑ ය. සමහර විට අප තාත්තා ව දකින්නේ උදේ නැගිට්ට විට ය. තාත්තා අපත් සමග ම බයිසිකලය ද තල්ලු කර ගෙන ගෙදරින් පිටවෙයි. අප කච්චේරිය පාරට හැරුණු විට, තාත්තා සරම මැදින් අත තබා, පය ඔසවා, සීට් එක උඩින් කරකවා කකුල ගනිමින් හරි බරි ගැහී වාඩි වෙයි. ඉන් පසු පැඩලය පිටු පස්සට වටයක් කරකවන තාත්තා ගැම්මක් ගෙන ඉදිරියට තල්ලු වෙයි. තාත්තා ඉදිරියට ඇති පාර දිගේ හොල්මන් ගල දෙසට යයි. මේ හතරමං හන්දියේ ඇති වන බූටෑව නිසා දැං අපට තාත්තා ව පෙනෙන්නේ නැත...!!

දවස් කිහිපයක් ම මේ අකාරයට ගෙවී යන්නට ඇත. තාත්තා එන්නට මහ රෑ වීම ද, ලොකු තාත්තාගේ බල් බල් ගෑම තුනී වන්නේ ද එක ම රටාවකට ය. දැන් දැන් හැන්දෑ යාමයේ ලොකු තාත්තාට අයත් විසාල රේඩියෝව ද ගීත ප්‍රචාරය කරනු ඇසෙයි. ඉඳ හිට දවසක ආච්චී ද තාත්තා සමග ගෙදර එන්නී ය. ඒ අප පාසැල් ගිය අතර වාරයේ ඈ ද තාත්තා ගිය දෙසට යන නිසා ය.

මේ තාත්තා යන්නේ කොහේදැයි අප දැන ගන්නේ ඊටත් දවස් කිහිපයකට පසුව ය...!!

Share/Bookmark

Wednesday, August 3, 2011

24. පාසල් ජීවිතය.

ලොකු තාත්තලාගේ ගෙදර ඉදිරිපිට පිට්ටනිය හරහා පියමං කරන අප පළමුවෙන් ම පැමිනෙන්නේ බුද්ධංගල හන්දියට ය. එතැනින් වම් පැත්තට ඇත්තේ අම්පාර මහ රෝහලට යන මාවත ය. ඉදිරියට ඇත්තේ හොල්මන් ගල හරහා නගරයට යන මාවත ය. දකුණට ඇත්තේ කච්චේරිය පාර ය. මේ ස්යලු පාරවල් අඟලේ ගල් දමා තලා, ඊට උඩින් තාර තට්ටුවක් දමා සකසන ලද මාවත් ය. ඒවා රළු ය. නමුත් වළවල්වලින් තොර ය. තරමක බෑවුමක් සහිත මේ පාර දිගේ ඉහළට යන අපි, කච්චේරිය පසු කරමින් හතරමං හන්දියකට පිවිසෙන්නෙමු.

මේ පාරක වාහනයක් ගියේ ඉතා ම කලාතුරකිනි. බයිසිකල් බොහෝමයක් තිබුණු අතර, ගොන් බැඳි කරත්ත ද ඒ හා සමානව ම තිබුනේ ය. එයිනුත් වැඩි හරියක් තිබුනේ “මට්ට“ කරත්ත ය. මට්ටයින් යැයි අප හැඳින්වූයේ මුස්ලිම් මිනිසුන් ව ය. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ද, කතා විලාසය ද, බෙහෙවින් වෙනස් ය. ඔවුන් වැඩි දෙනෙකු එන්නේ සම්මන්තුරේ සිට ය. ඔවුන්ගේ කරත්ත ද අනෙක් ගොන් කරත්තවලට වඩා වෙනස් ය. කරත්තෙයේ පිටුපස තට්ටුව සාමාන්‍ය කරත්තයකට වඩා පුංචි වුව ද ඒවායේ අනිවාර්යෙන් ම ගොනුන් දෙදෙනෙකු බැඳ සිටියේ ය. උන් ද විශාල දිගු අං ඇති, ඇඟ පත හොඳින් වැඩුණු, ආඩම්බරකාර, නැඩ හරක් ය. සමහර ගොනුන්ගේ අං තට්ටුවට දිලිසෙන පිත්තල කොපු සවිකර තිබුණු අතර, බෙල්ලේ ගෙජ්ජි වැල නම් නොවැරදී ම තිබුණේ ය. උන් ළඟට යන්නට අප මහත් බියක් දැක්වූයේ උන්ගේ වස පෙනුම නිසා ය. ප්‍රමාණයෙන් විශාල වූව ද, ගොන් කරත්තවල බොහෝ විට සිටියේ එක ගොනෙකු පමණ ය. එමෙන් ම කරත්තයට වහළයක් ද තිබුනේ ය. කරත්තය යට ලන්තෑරුමක් ද, බාල්දියක් ද එල්ලා තිබුණු අතර, කරත්තයේ ගමන් තාලයට අනුව මේවා ද පැද්දුනේ ලතාවකට ය.

අප පාසල් යද්දී ගොන් කරත්තයක් අප යන දෙසට ම හමුවුවහොත් එය අපේ මහත් ආනන්දයට හේතු වෙයි. අප මුලින් ම කරන්නේ අප සතු පොත් මිටිය කරත්ත තට්ටුව මත හෝ කරත්තයේ යට එල්ලෙන ගෝනි පඩංගුව මත තැබීම ය. ඉන්පසු කුරුට්ටන් වූ අප කරත්යේ පිටු පසින් අල්ලා ගන්නෙමු. ඉධ හිට අපි එහි එල්ලෙන්නෙමු. මෙසේ අත් දෙකෙන් එල්ලී වැඩි ම දුරක් ගිය එකා අපට මහා වීරයෙකි. නමුත් එසේ එල්ලී ගිය පසු අත් දෙකට දැනෙන වේදනාව අනෙකුන්ට දැනෙන්නට ඉඩ නොතබන්නේ වීරත්වය අප අතින් ගිලි හී යන නිසා ය. අප කණ්ඩායමේ සිටි පුංචි ම එකිය වූයේ සුදු නංගී ය (අද ඈ දොස්තරවරියකි.) දෙකේ පන්තියේ ඉගෙනගත් ඈ හැම විටෙක ම මෙවැනි කරත්තයක වාඩි වී යන්නට වාසනාව ලබන්නී ය.

මේ හතරමං හන්දියේ මුලින් ම තිබෙන්නේ අම්පාර මහ තැපැල් කන්තෝරුව ය. ඉන් දකුණු පැත්තට ඇති පාර දිගේ ගිය විට අම්පාර මධ්‍යම මහ විද්‍යාලයය හමු වෙයි. වම් පැත්තේ පාර පොලීසියට ය. ඉදිරියට යාර 100ක් පමණ ගිය විට, කණිෂ්ට විද්‍යාලයයට හැරෙන අතුරු මාවත හමු වෙයි. එතැන හන්දියේ කඩ පෙළක් ද, බාබර් සැලූන් එකක් ද තිබූ වග මට මතක ය. පාසලට යන ගුරු පාර පටන් ගන්නෙ ලඳු කැලෑවකිනි. ඒ කැලෑව කෙළවර අබලන් ගේට්ටුවෙන් පසු අප පාසල් මාතාව දර්ශනය වෙයි.

මා පළමුවෙන් ම කණිෂ්ටයට ඇතුළත් වූයේ 3වන ශ්‍රේණියේ ශිෂ්‍යයකු හැටියට ය.
එතැන් පටන් එතරම් සුවිශේෂී සිද්ධීන් කිසිවක් ම නැති ව කාලය සෙමෙන් ගලා ගියේ යැයි මට සිතේ.

Share/Bookmark

Friday, April 22, 2011

23. අලුත් ඉස්කෝල ගමන...



පිරිත් ගෙදර වැඩ අවසන් වූ පසු පැමිණියේ සිංහල අවුරුද්ද ය. මළ ගෙදරක් අත ළඟ ම තිබූ නිසාවෙන් සිංහල අවුරුද්ද කිසිදු හැඟීමකින් දැනීමකින් ම තොර ව (මේ දැං වගේ) ගෙවී ගියේ ය.

අප්‍රේල් නිවාඩුවට පසු එළැඹෙන්නේ නව පාසැල් වාරයයි. උහණ සමග තිබූ සියලු අක් මුල් සිඳී බිඳී ගිය නිසාවෙන් දැන් අප අලුත් පාසැලකට යා යුතු වෙයි. ලොකු තාත්තලාගේ ගෙදර සිට ළඟ ම පාසැල වූයේ අම්පාර කණිෂ්ට විද්‍යාලයයි. විජිත පුර සිට සැතැපුමකටත් වඩා දුර වූ, මහ තැපැල් කන්තෝරුවට පිටු පසින් එය පිහිටා තිබෙයි. කණිෂ්ට විද්‍යාලයය පසු කර තව ටික දුරක් ඇවිද ගිය විට දැවැන්ත පිට්නියක් සහිත අම්පාර වැව් තාවුල් හමු වෙයි. අම්පාර ටවුමේ සිට උහණ හරහා මහියංගනය, නුවර දක්වා දිවෙන මහා මාර්ගය ඇත්තේ මේ මැදිනි. මේ වෑ කණ්ඩියට ගිය විට කඳු පන්තියක් ඇස ගැටෙයි. දීඝවාපියේ සේනානායක සමූද්‍රයට මුහුණ පා සිටින මහ කඳු ගැටය ද ඒ අතර වෙයි. එය හැඩයෙන් ඩී. එස්. සේනානායක සිරිමතාණන්ගේ ම හැඩ රුවට සමාන ව ඇත්තේ කෙලෙසදැයි කියන්නට සමත් ජගතෙකු තවමවත් මේ දිගාමඬුල්ලෙන් බිහි ව නැත්තේ ය.

මට වඩා අවුරුද්දකින් වැඩිමහල් වූ අනිල් අය්යා ද, මට වඩා මසකින් පමණ වැඩිමල් වූ නාමලී අක්කා ද කණිෂ්ටේ සිටියේ එක ම පන්තියේ ය. මහත් ව්‍යසනයකට පසු කඩා පාත් වූ මාත් වැටුණේ ද ඒ පන්තියට ම ය. තාත්තා අප තුන් දෙනාව ම බයිසිකලයේ මැද පොල්ලේ තබාගෙන පැමිණ පාසැල් වත්තට හරවා බයිසිකලය නැවැත්තුවේ ය. එක පැහැර ඉන් බැස ගත් අනිල් අයියා ද, නාමලී අක්කා ද, තවත් එවැනි ම වූ කණ්ඩායමක් අතර එක සැණින් අතුරුදහන් විය.

මම වට පිට බලමි. බයිසිකලය නැවැත්වූ තැන එක එල්ලයේ ම තරමක කාමරයකි. ඊට යාබද ව මහ දිග ගොඩනැගිල්කි. ඒ ගොඩනැගිල් ඉදිරියෙන් දුඹුරු පැහැ දූවිල්ලෙන් වැසුණු බිම් තීරයකි. ඒ බිම් තීරය කෙළවර මහ ගසකි. ගසට එහා පැත්තෙන් ගෙඩි ගැහුණු මහ ගල් කුලකි...!!

තාත්තා මාද කැටු ව අර කාමරය දෙසට පියමන් කලේ ය. කාමරයේ සිටි විදුහල්පතිතුමා සිය අසුනෙන් නැගිට තාත්තා ව පිලිගත්තේ මහත් සතුටිනි. තාත්තාට සහ විදුහලේ විදුහල්පතිතුමාට බොහෝ දේ කතා කරන්නට තිබිණි. මම ඇඟිල්ල උරමින් එදෙස බලා සිටියෙමි. මද වේලාවකට පසු එතුමා මේසය මත තිබූ සීනුවක් නාද කලේ ය. ටිකකින් අත් දෙක හීනියට සිටින සේ නමන ලද, සුදු අත්දිග කමීසයකින් සහ ක්‍රීම් පාට කළිසමකින් සැරසුණු, ඉතා පැහැපත් වර්ණයක ඇඟපතක් තිබූ භද්‍ර යෞවනයේ සිටින ගුරු මහතෙක් පැමිණ එතුමන් ඉදිරියේ සිට ගත්තේ මහත් ගෞරව සම්ප්‍රයුක්ත ව ය.

ඉනික්බිති විදුහල්පතිතුමා පළමුව අපේ තාත්තා ව එතුමන්ට හඳුන්වා දුන්නේ ය. එතුමා දෑත් එක්කොට නැමී අපේ තාත්තාට ආචාර කලේ ය. ඉන් පසු විදුහල්පතිතුමා මා දෙසට අත දික් කොට “ඔන්න මෙයා ඔයාට බාරයි“ කීවේ ය. එසැණින් එතුමා මහත් වූ සෙනෙහස් බැල්මකින් මුව සරසාගෙන මගේ හිස අත ගෑවේ ය. මම වහා ම ඌට්ටුව අත හැරියෙමි. එමෙන් ම, මෙතෙක් මහා අසරණයකු ලෙසින් ලොකු අයගේ මුහුණු දෙස බලමින්, අසරණ ව සිටි මට මහා අස්වැසිල්ලක් ද, ලොකු ශක්තියක් වැනි හැඟීමක් ද දැනුනේ ය. අතේ පොත් මල්ලක් ඇති වග ද, මා පැමිණියේ අලුත් ඉස්කෝලයකට ය යන වග ද මට වැටහුනේ දැන් ය. ගුරුතුමා මා හිසින් අල්ලාගෙන ම විදුහල්පති කාමරයට යාබද ව ඇති මහ ගොඩනැගිල්ල දෙසට පිය මැන්නේ ය. මාද කිසිදු හැඟීමක් නැති ව, යාන්ත්‍රික ව ම එතුමා සමග පිය මැන්නෙමි. පන්ති කාමරයේ දිග මේස මත අපිළිවෙලකට පොත් කඳු පෙළක් තිබුණ ද, කිසිවකු පන්තියේ සිටියේ නැත. තවමත් පාසැල පටන් නොගෙන තිබූ බැවින් සියල්ලන් ම සිටියේ පිට්ටනිය පුරා දූවිලි අවුස්සමින් නටමින් ය. ගුරුතුමා මා කැටුව ගුරු මේසය ළඟට ම ගොස් වාඩි වුනේ ය. මම ඒ අසල ම සිට ගතිමි. ඉන් පසු මඳ වේලාවක් මේසය මත වැළමිට තබාගෙන, ඉහළට එසැවූ අත් බැඳගෙන, නිහඬ ව ඔහේ බලාගෙන සිටියේ ය. ඉන්පසු එතුමා මා දෙසට හැරුනේ ය. එතුමා මගෙන් ඇසුවේ කුමක්ද, මා දුන් උත්තර කුමක්දැයි අද මට පොඩ්ඩක්වත් මතක නැත. එසැනින් මහ හඬින් සීනුව නාද විය. මෙතෙක් වේලා පිට්ටනියේ දඟ කරමින් හුන් කොලු කෙලි රැස එක පිම්මේ දිවැවිත් මේස පුටු උඩින් පනිමින් පන්තිය තුළ ගාල් විය. මම වටපිට බැලීමි. මා සිටි පන්තියට අමතර ව, මුලු ශාලාව පුරා ම පන්ති ගණනාවක් මට පෙනුනේ දැන් ය. අනිල් අයියා ද, නාමලී අක්කා ද, හති හලමින් සිටගෙන සිටිනු දුටු විට මට මහත් අස්වැසිල්ලක් දැනුනේ ය. එය තනිව ම භුක්ති විඳිනු වස් මම නැවත වරක් ඇඟිල්ල කටේ රුවා ගත්තෙමි. “හා දැං ඔයත් යන්කො පන්තියට“ ගුරුතුමා කීවේ ය. මම එතුමා දෙස වරක් බලා ගාටමින්, කකුල් අද්දමින් මේස පුටු දෙසට පිය මැන්නෙමි. අනිල් අයියා සිටියේ පන්තියේ මැද පෙළ හරියට වන්නට ය. මමද එදෙසට ගෑටුවෙමි. ඒ දිගු බංකුවේ සිටි ළමෝ එහා මෙහා වෙමින් මටත් ඉඩ හසරක් ලබා දුන්නේ ය.

ඊ ළඟ සීනුව නාද වත් ම සියලු ළමෝ දෙඅත් බැඳගෙන ගාථා කීමට පටන් ගත්තේ ය. මම වටපිට බලමින් සිටියෙමි. මට වඳින්නට ද මතක් නොවුනේ ඇඟිල්ල ඒ වනවිටත් කටේ තිබූ නිසා ය.

දැං පන්තියේ වැඩ පටන් අරගෙන ය. දිගු කලක් මහා අටම්පහුරු අලකලංචිවලට මැදි ව සිටි බැවින් මට සිත එකඟ කර ගන්නට අමාරු බවක් දැනෙයි. මෙතෙක් මහා කලබගෑනියකින් පිරී තිබූ මුලු පාසැල් බිම ම, දැඩි නිහඬ බවක ගිලී ගොස් ඇති අතර, ඇසෙන්නේ ගුරුවර ගුරුවරියන්ගේ හඬවල් පමණි.

ඉනික්බිති තව කොපමණ වේලා ගත වී ගියේදැයි මට ගනිච්චියක් නැත. එහෙත් මගේ බඩ පෙරළි කරන්නාක්මෙන් මට දැනෙන්නට පටන් ගත්තේ ය. මුල දී මම එය එතරම් ගණන් නොගත්ත ද එය දැඩි ව දැනෙන්නට පටන් ගත්තේ ය. ඉන්පසු මම ඇඹරෙමින් එය උසුලා ගන්නට උත්සාහ ගත්තෙමි. මගේ දෙපසින් සිටි අනිල් අයියා ද. අනෙක් පස සිටි කෙනා ද මදෙස බලන බවක් මට දැනුන ද මගේ අපහසුව සන්සිඳුනේ නැත. ඉන්පසු ක්‍රමයෙන් බඩ පෙරළිය මහත් ව, මුලු ඇඟ ම සලිත කරමින්, අඹරවාගෙන එන සෙයක් මට දැනිනි. මම එය මැඩ පවත්වන්නට තදින් හුස්ම ගත්තෙමි. අත් දෙක ම දිගු කර මේසයේ කෙළවර තදින් අල්ලා ගත්තෙමි. කිසිදු සහනයක් නැත. බඩ පෙරැළිය ක්‍රමයෙන් පහත් වෙමින් වාඩි වී සිටින බංකුව දෙසට සංක්‍රමණය වන වගක් මට දැනුනේ ය. ඉන්පසු මම දත් ඇන්ද ම කිටි කිටියේ තද කර ගෙන වේදනාව යටපත් කර ගන්නට මහත් වූ උත්සාහයක් ගතතෙමි. නමුදු ඒ සියල්ල නිෂ්ප්‍රභ කරමින්, වේදනාව බංකුව දෙසට ම පහත් වී ගොස් මට මහත් අස්වැසිල්ලක් දැනෙන්නට පටන් ගත්තේ ය. වියැළී තිබූ උගුර කට ද, නැවතී තිබූ හුස්ම ද යළි සක්‍රිය වන්නට පටන් ගත්ත ද, මට දැන් ඊට වඩා අමුත්තක් දැනුනේ ය. ඇඳ සිටි ජංගි කොටය තෙත ගතියක් සහ මහ බර යමක් ඒ තුළ රිංගවූ බවක් මට දැන් දැනෙයි. ඒ සමග ම අමුතු කර ගඳකින් යුක්ත කුයිලයක් ද දැනෙන්නට පටන් ගනියි. මට මහා අසරණ කමක් දැනෙනන්ට පටන් ගත්තේ වුව ද එය මොහොතක්වත් පවත්වා ගන්නට යාබද ඇත්තා ඉඩ දුන්නේ නැත....මදෙසින් මඳක් පැත්තට ඇළ ව එහාට තල්ලු වෙමින්, “මෙන්න සර් මෙයාට කක්ක ගිහිල්ලා....“යි හේ මොර දුන්නේ මුලු පන්තියට ම ඇසෙන්නට ය......................!!!

දැන් ඉතින් තවත් වෙන්නට කිසි දෙයක් නැත.. මට මහා සැහැල්ලුවක් දැනෙයි. එය තනි ව භුක්ති විඳිය යුතු ය. වහා මම ඇඟිල්ල කටේ රුවා ගනිමි. ඉන් පසු ඇස් දෙක ලොකු කර මගේ දෙපැත්ත ද වට පිට ද බලමි. මා සිටි බංකුවේ සිටි සියල්ලන් ම දැං මා කෙරෙන් ඈත් වෙමින් සිටියි. ඒ අල්ල පනල්ලේ ගුරුතුමා මා දෙසට ‍පැමිණෙයි. මම හිස් පහත් කර ගෙන, ඇස් ලොකු කර ගෙන ම, මහා වරදක් කළ එකෙකු මෙන් ඇඟිල්ල ද කටේ රැවාගෙන ඔහේ බලා සිටිමි. ගුරුතුමා කිසිදු කළබලයකින් තොර ව පැමිණ බංකුවේ සිටි සියලු දෙනාව ම නැගිට්ට වූයේ ය. ඊට පසු සිය අත දිගු කර මගේ හිස අල්ලා ගත්තේ ය. සියලු මූසල හැඟීම් දුරී භූත වෙමින් ගොස් මට මහා ආරක්ෂාවක්, දැනෙන්නට පටන් ගත්තේ ය. එතුමා මා පන්තියට එක් කරගෙන ආ ආකාරයට ම, මා පන්තියෙන් එළියට කැඳවාගෙන ගියේ ය. මා ද වෙන කළ යුතු කිසිවක් නොවූයෙන් එතුමන් අනුව ම ගෑටුවෙමි. විදුහල්පති කාමරය පසු කරමින් පැමිණි එතුමා බිත්තිය අසළ මා සිටුවා, යළි ආපසු ගියේ ය. ඉන් පසු මට මහා වේලාවක් ගත වෙන්නාසේ දැනෙන්නට පටන් ගත්තේ ය.ටිකකින් ලොකු වතුර බාල්දියක් ද අතේ එල්ලාගෙන පැමිණි ගුරුතුමා එය බිම තබා මා ඉදිරියේ වාඩි වී මගේ ජංගි කොටය සීරුවෙන් ගැලවූයේ ය. ඉන් පසු මා බිත්තියට යාබදින් වූ කාණුව දෙපසට කකුල් දමා ගෙන සිටින්නැයි කියා මා වාඩි කරවා, වතුර වක්කරමින් මගේ පස්සා පැත්ත අතුල්ලමින් සෝදන්නට පටන් ගත්තේ ය. එක වතුර රළකින් ඇඳ සිටි කමීසය තෙමෙනු දුටු එතුමා එය ද ඔසවා අල්ලා ගන්නට මට දුන්නේ ය. මා සොදා අවසන් කළ එතුමා යළි මා සිටවූයේ ය. පහළට එල්ලෙන කමීසය තෙමෙන නිසා එහි ඉදිරිපසින් ගුලියක් කොට බඩ ඉදිරියෙන් අල්ලා ගන්නට සලස්වා යළි නොපෙනී ගියේ ය. මම සුපුරුදු පරිදි ඌට්ටුව ද ගසාගෙන එලෙස ම නොසෙල්වී සිටියෙමි. ටිකකින් විදුහල්පති කාමරයේ බිත්තිය අද්දරින් හිස් ගෙඩි දෙක තුනක් එබෙනු පෙනුන ද මට එය එතරම් වගක් වූයේ නැත.

දැන්නම් ගෙවෙන කාලය මට මහා කල්පයක් සේ දැනෙයි. නමුත් කළ යුතු කිසිවක් ම නැති බැවින් මම එලෙස ම සිටිමි.

ටිකකින් ගුරුතුමා පැමිණියේ තව කළිසමක් ද රැගෙන ය. ලොකු ළමයකු යවා අසල ගෙදරකින් ඉල්ලා ගෙනැවිත් තිබුණු, කොල පාට මල් සහිත ඒ කලිසම මට තරමක් ලොකු ය. නමුත් හෙලුවෙන් සිටිනවාට වඩා එය අඳින එක හොඳ ය.

ලොකු ළමුන් කිහිප දෙනෙකු ලවා බංකුව එළියට ගෙනැවිත් එය සෝදන්නට රැගෙන ආවේ ද ගුරුතුමා ම ය. එතැන් පටන් යළි පන්තියට ගිය පසු සිදු වූ සිදුවීම් කිසිවක් මට මතක නැත. නමුත් ජංගිය ගැලවූ පසු මට දැනුණු කක්කා ගන්ධය අදත් මට එලෙසින් ම මතක ය. අදත් වැසිකිළි ගිය විටෙක වුව මම ඒ ගන්ධය දැනේ යැයි අපේක්ෂා කරමි. ඉඳ හිට එය දැනෙයි. එය මට අපුලක් ගෙනෙන කාරණාවක් නොවන්නේ ඒ හා සබැඳි සිද්ධි දාමය මට මහා සිහිවටනයක් වන නිසා ය.

දෑස් වසාගෙන මම ඒ දෙවියකු බඳු වූ ගුරුතුමාණන් මතකය අද්දරට ගෙනෙන්නට උත්සාහ කරමි. අවාසනාවකට මට එතුමන්ගේ නම මතකයේ ඇත්තේ ම නැත. නමුත් එදින එතුමන් ඇඳ සිටි ඇඳුම ද, එතුමන්ගේ අතේ පහස ද, මට අදත් එදා මෙන් ම මතක පමණක් නොව ආශ්වාදණීය හැඟීමක් ද ගෙන එයි. එතරම් තුරුණු වියේ සිටියකු වුව ද, කිසිදු කැතක් හිරිකිතයක් නැති ව, කවරදාවත් නොහඳුනන්නෙකු ව සිටි, කක්කා නාගෙන සිටි මා කැඳවාගෙන විත්, සියතින් ම අතුල්ලා, තමන් විසින් ම ගෙනා වතුර බාල්දියෙන් සෝදා පවිත්‍ර කළා වූ ඒ ගුරු දෙවියාණන් නමදින්නට මට වෙන ක්‍රමයක් නැත. පසු කාලීන ව ගුරු වෘත්තියට බට මම ඒ හා සමානව ම දරුවන් වෙනුවෙන් වෙහෙසෙන්නට උත්සාහ කරන්නේ ද, ඒ භක්තිය එතුමන් වෙත පුද කරන්නට ම ය...!! නමුත් එහෙම වාසනාවක් අදටත් මට උදා වී නැත්තේ ය...!!

Share/Bookmark

Sunday, April 3, 2011

22. පිරිත් ගෙදර

දැන් ලොකු තාත්තලාගේ ගෙදර මහ කලබලයකි. විවිධාකාර මිනිසුන් එති යති, ඒ අතර අහර පිසින සුවඳ දසත පැතිරෙයි. දවල් වරුව ම මහ එක ම විජ්ජුම්බරයකි. ක්‍රමයෙන් සන්ධ්‍යා භාගය පැමිණෙත් ම, දහවලේ තිබූ මහ කලබලය සීරු මාරු වෙමින් ගොස් කිසියම් තැන්පත්, ශාන්ත දාන්ත ගතියක් ඇති ව තිබෙන්නාසේ මට දැනෙයි. සාලය මැද්දෑවේ විසල් පිරිත් මණ්ඩපය විරාජ මාන ව සිටී. ඒ තුළ මොකක්දෝ ගසක් සිටුවා, වටේ ට පුටු තබා තිබෙන බවක් මට පෙනෙයි. ඊයේ රාත්‍රියේ ලොකු තාත්තා කෑ ගැසූ හඬ මගේ දෙසවන් පුරා තවමත් තැවරී ඇත්තාක් මෙන් දැනෙන නිසාවෙන් ඊට එබී බලන්නට මට නොහැකියාවක් දැනෙයි.

රාත්‍රිය එළැඹෙත් ම සියල්ල සන්සුන් වෙයි. දැන් ගෙදරට පැමිනෙන්නේ සුදු හෝ ළා පැහැති ඇඳුමින් සැරසුණු, ශාන්ත දාන්ත පිරිස් ය. ඔවුන් කණට ඇසෙන්නට කතා කරන්නේ ද නැත, ගමන බිමන ද මහ අමුතු ය. පැමිණෙන හැම කෙනෙකුන් අත ම පාහේ කිසියම් පාර්සලයක්, මල්ලක් තිබෙනු පෙනෙයි. ඒ සියල්ල ම ඔවුන් ලොකු අම්මා අතට දෙන අතර වාරයේ, ඒ වා ගෙට ගෙන යාමේ මහා භාර දූර කාර්යය බාර ගෙන සිටින්නේ වසන්තයියා ය. ඒවා සියල්ල ම කාමරයේ ඇඳ මත ගොඩ ගැසෙයි. ඒ මොනවාදැයි සොයන්නට මට එතරම් උවමනාවක් ද නැති නමුත් කිසියම් කුතුහලයකින් ද සිත පිරී තිබෙයි.

ලොකු තාත්තා ද, අපේ තාත්තා ද, අන්කල්ලා ද කිසිවෙක් පෙනෙන්නට නැත. පිට්ටනියේ කෙළවරින් දවුල් තම්මැට්ටම නාද වන හඬක් ද, නලා හඬක් ද ඇසෙන්නට පටන් ගැනෙයි. දැන් ටික ටික එම හඬවල් උච්ච වන අතර, පෙරහැරක් එන්නා සේ මට පෙනෙයි. පිට්ටනිය වට පාරෙන් මේ පෙරහැර එන ආකාරය මට පෙනෙයි. ඉදිරියෙන් ම නලා කාරයා ය. ඊට පිටු පසින් රෙ නම්මැට්ටම් කාරයන් තුන් හතර දෙනෙකි. ඊට පිටුපසින් දැවැන්ත කහ කුඩයක් යටින් මොකක්දෝ හිස මත තබා ගත්තෙකු සන්සුන් ගමණින් එනු පෙනෙයි. ඒ අපේ ලොකු තාත්තා ය. ඊට පිටුපසින් තාත්තා මොකක්දෝ පාර්සලයක් උසුලාගෙන එන අතරේ, පිටු පසින් හාමුදුරුවන් පෙළක් ද, ඊටත් පිටුපසින් තව අන්කල්ලා හත් අට දෙනෙකු ද පැමිණෙනු පෙනෙයි.

ගේ පඩිපෙළ පාමුල වියන ලද ලොකු පොල් අත්තක් ද, මැටි කොරහක් ද ඇත. දැන් පෙරහැර අත ළඟ ය. නලාව කිසියම් තාලයකට වාදනය වුව ද, එය අහවල් දෙයක්දැයි කියන්නට මට ගනිච්චියක් නැත. බෙර තම්මැට්ටම් තාලයනම් මට අදත් එදා මෙන් ම හොඳට මතක ය. නලා නාදය වෙනස් වූවා ට, අදටත් බෙර වාදන තාලය නම් වෙනස් වී නැත්තා සේ ය.

හාමුදුරුවන් වහන්සේලා සියල්ල ම ගෙට වැඩ අවසන් වන තෙක් ම එක දිගට සාදු නාදයක් ඇසෙයි. ඒ පැමිණ සිටින පිරිසගෙනි. ඒ හඬ යටපත් වත් ම යළි බෙර වාදනය ආරම්භ වෙයි. ඒ දෙස බලා සිටිනවාට වඩා දෙයක් මට තවත් නැත. බෙර තාලයට අනුව මගේ ඇඟ පත ද ප්‍රකම්පනය වන්නාක් මෙන් මට දැනෙයි. ඒ හඬ මගේ දෙසවන් පුරා පැතිර ඇත්තාට වඩා, සම් මස් නහර, ඇට මිදුළු පසා කොට ගෙන මුළු මහත් සිරුර පුරා ම කිඳා බසිමින්, නින්නාද වනු මට දැනෙයි. නලා හඬ මට මහත් කර්කෂ බවක් දැනෙන්නේ ඇයි දැයි මට නොතේරෙන නමුත් බෙර හඬ ආත්ම ගණනාවක් ම අසා ඇති බවක් මට අදටත් දැනෙයි.

මඳක් රෑ බෝ වූ පසු පිරිත ආරම්භ වෙයි. ඒ හඬ මිදුලේ අඹ ගසේ ගැට ගසා ඇති මහ යකඩ කටෙන් පෙරී ඉදිරි මිදුල පුරා ම දෝරේ ගලයි. හාමුදුරුඑන් රැස ම එක ම තාලයකට ගයන ඒ පිරිත් හඬ මගේ දෙසවන් පුරා ඇතුළු වන්නේ මගේ බියපත් ව, කලබල ව ඇති මනස මහත් වූ ආශ්වාදයකින් පුරවා ලමිනි. අදටත් පිරිතක් ඇසෙද්දී මම ඊට කන් යොමන්නේ එදා ඇසුණු සහ දැණුනු ශාන්තිය අදටත් මට දැනේදැයි සිතා ගන ය. නමුත් අද මට එය ඒ ආකරයෙන් ම දැනෙන්නේනම් නැත...!!!

Share/Bookmark