Friday, April 22, 2011

23. අලුත් ඉස්කෝල ගමන...



පිරිත් ගෙදර වැඩ අවසන් වූ පසු පැමිණියේ සිංහල අවුරුද්ද ය. මළ ගෙදරක් අත ළඟ ම තිබූ නිසාවෙන් සිංහල අවුරුද්ද කිසිදු හැඟීමකින් දැනීමකින් ම තොර ව (මේ දැං වගේ) ගෙවී ගියේ ය.

අප්‍රේල් නිවාඩුවට පසු එළැඹෙන්නේ නව පාසැල් වාරයයි. උහණ සමග තිබූ සියලු අක් මුල් සිඳී බිඳී ගිය නිසාවෙන් දැන් අප අලුත් පාසැලකට යා යුතු වෙයි. ලොකු තාත්තලාගේ ගෙදර සිට ළඟ ම පාසැල වූයේ අම්පාර කණිෂ්ට විද්‍යාලයයි. විජිත පුර සිට සැතැපුමකටත් වඩා දුර වූ, මහ තැපැල් කන්තෝරුවට පිටු පසින් එය පිහිටා තිබෙයි. කණිෂ්ට විද්‍යාලයය පසු කර තව ටික දුරක් ඇවිද ගිය විට දැවැන්ත පිට්නියක් සහිත අම්පාර වැව් තාවුල් හමු වෙයි. අම්පාර ටවුමේ සිට උහණ හරහා මහියංගනය, නුවර දක්වා දිවෙන මහා මාර්ගය ඇත්තේ මේ මැදිනි. මේ වෑ කණ්ඩියට ගිය විට කඳු පන්තියක් ඇස ගැටෙයි. දීඝවාපියේ සේනානායක සමූද්‍රයට මුහුණ පා සිටින මහ කඳු ගැටය ද ඒ අතර වෙයි. එය හැඩයෙන් ඩී. එස්. සේනානායක සිරිමතාණන්ගේ ම හැඩ රුවට සමාන ව ඇත්තේ කෙලෙසදැයි කියන්නට සමත් ජගතෙකු තවමවත් මේ දිගාමඬුල්ලෙන් බිහි ව නැත්තේ ය.

මට වඩා අවුරුද්දකින් වැඩිමහල් වූ අනිල් අය්යා ද, මට වඩා මසකින් පමණ වැඩිමල් වූ නාමලී අක්කා ද කණිෂ්ටේ සිටියේ එක ම පන්තියේ ය. මහත් ව්‍යසනයකට පසු කඩා පාත් වූ මාත් වැටුණේ ද ඒ පන්තියට ම ය. තාත්තා අප තුන් දෙනාව ම බයිසිකලයේ මැද පොල්ලේ තබාගෙන පැමිණ පාසැල් වත්තට හරවා බයිසිකලය නැවැත්තුවේ ය. එක පැහැර ඉන් බැස ගත් අනිල් අයියා ද, නාමලී අක්කා ද, තවත් එවැනි ම වූ කණ්ඩායමක් අතර එක සැණින් අතුරුදහන් විය.

මම වට පිට බලමි. බයිසිකලය නැවැත්වූ තැන එක එල්ලයේ ම තරමක කාමරයකි. ඊට යාබද ව මහ දිග ගොඩනැගිල්කි. ඒ ගොඩනැගිල් ඉදිරියෙන් දුඹුරු පැහැ දූවිල්ලෙන් වැසුණු බිම් තීරයකි. ඒ බිම් තීරය කෙළවර මහ ගසකි. ගසට එහා පැත්තෙන් ගෙඩි ගැහුණු මහ ගල් කුලකි...!!

තාත්තා මාද කැටු ව අර කාමරය දෙසට පියමන් කලේ ය. කාමරයේ සිටි විදුහල්පතිතුමා සිය අසුනෙන් නැගිට තාත්තා ව පිලිගත්තේ මහත් සතුටිනි. තාත්තාට සහ විදුහලේ විදුහල්පතිතුමාට බොහෝ දේ කතා කරන්නට තිබිණි. මම ඇඟිල්ල උරමින් එදෙස බලා සිටියෙමි. මද වේලාවකට පසු එතුමා මේසය මත තිබූ සීනුවක් නාද කලේ ය. ටිකකින් අත් දෙක හීනියට සිටින සේ නමන ලද, සුදු අත්දිග කමීසයකින් සහ ක්‍රීම් පාට කළිසමකින් සැරසුණු, ඉතා පැහැපත් වර්ණයක ඇඟපතක් තිබූ භද්‍ර යෞවනයේ සිටින ගුරු මහතෙක් පැමිණ එතුමන් ඉදිරියේ සිට ගත්තේ මහත් ගෞරව සම්ප්‍රයුක්ත ව ය.

ඉනික්බිති විදුහල්පතිතුමා පළමුව අපේ තාත්තා ව එතුමන්ට හඳුන්වා දුන්නේ ය. එතුමා දෑත් එක්කොට නැමී අපේ තාත්තාට ආචාර කලේ ය. ඉන් පසු විදුහල්පතිතුමා මා දෙසට අත දික් කොට “ඔන්න මෙයා ඔයාට බාරයි“ කීවේ ය. එසැණින් එතුමා මහත් වූ සෙනෙහස් බැල්මකින් මුව සරසාගෙන මගේ හිස අත ගෑවේ ය. මම වහා ම ඌට්ටුව අත හැරියෙමි. එමෙන් ම, මෙතෙක් මහා අසරණයකු ලෙසින් ලොකු අයගේ මුහුණු දෙස බලමින්, අසරණ ව සිටි මට මහා අස්වැසිල්ලක් ද, ලොකු ශක්තියක් වැනි හැඟීමක් ද දැනුනේ ය. අතේ පොත් මල්ලක් ඇති වග ද, මා පැමිණියේ අලුත් ඉස්කෝලයකට ය යන වග ද මට වැටහුනේ දැන් ය. ගුරුතුමා මා හිසින් අල්ලාගෙන ම විදුහල්පති කාමරයට යාබද ව ඇති මහ ගොඩනැගිල්ල දෙසට පිය මැන්නේ ය. මාද කිසිදු හැඟීමක් නැති ව, යාන්ත්‍රික ව ම එතුමා සමග පිය මැන්නෙමි. පන්ති කාමරයේ දිග මේස මත අපිළිවෙලකට පොත් කඳු පෙළක් තිබුණ ද, කිසිවකු පන්තියේ සිටියේ නැත. තවමත් පාසැල පටන් නොගෙන තිබූ බැවින් සියල්ලන් ම සිටියේ පිට්ටනිය පුරා දූවිලි අවුස්සමින් නටමින් ය. ගුරුතුමා මා කැටුව ගුරු මේසය ළඟට ම ගොස් වාඩි වුනේ ය. මම ඒ අසල ම සිට ගතිමි. ඉන් පසු මඳ වේලාවක් මේසය මත වැළමිට තබාගෙන, ඉහළට එසැවූ අත් බැඳගෙන, නිහඬ ව ඔහේ බලාගෙන සිටියේ ය. ඉන්පසු එතුමා මා දෙසට හැරුනේ ය. එතුමා මගෙන් ඇසුවේ කුමක්ද, මා දුන් උත්තර කුමක්දැයි අද මට පොඩ්ඩක්වත් මතක නැත. එසැනින් මහ හඬින් සීනුව නාද විය. මෙතෙක් වේලා පිට්ටනියේ දඟ කරමින් හුන් කොලු කෙලි රැස එක පිම්මේ දිවැවිත් මේස පුටු උඩින් පනිමින් පන්තිය තුළ ගාල් විය. මම වටපිට බැලීමි. මා සිටි පන්තියට අමතර ව, මුලු ශාලාව පුරා ම පන්ති ගණනාවක් මට පෙනුනේ දැන් ය. අනිල් අයියා ද, නාමලී අක්කා ද, හති හලමින් සිටගෙන සිටිනු දුටු විට මට මහත් අස්වැසිල්ලක් දැනුනේ ය. එය තනිව ම භුක්ති විඳිනු වස් මම නැවත වරක් ඇඟිල්ල කටේ රුවා ගත්තෙමි. “හා දැං ඔයත් යන්කො පන්තියට“ ගුරුතුමා කීවේ ය. මම එතුමා දෙස වරක් බලා ගාටමින්, කකුල් අද්දමින් මේස පුටු දෙසට පිය මැන්නෙමි. අනිල් අයියා සිටියේ පන්තියේ මැද පෙළ හරියට වන්නට ය. මමද එදෙසට ගෑටුවෙමි. ඒ දිගු බංකුවේ සිටි ළමෝ එහා මෙහා වෙමින් මටත් ඉඩ හසරක් ලබා දුන්නේ ය.

ඊ ළඟ සීනුව නාද වත් ම සියලු ළමෝ දෙඅත් බැඳගෙන ගාථා කීමට පටන් ගත්තේ ය. මම වටපිට බලමින් සිටියෙමි. මට වඳින්නට ද මතක් නොවුනේ ඇඟිල්ල ඒ වනවිටත් කටේ තිබූ නිසා ය.

දැං පන්තියේ වැඩ පටන් අරගෙන ය. දිගු කලක් මහා අටම්පහුරු අලකලංචිවලට මැදි ව සිටි බැවින් මට සිත එකඟ කර ගන්නට අමාරු බවක් දැනෙයි. මෙතෙක් මහා කලබගෑනියකින් පිරී තිබූ මුලු පාසැල් බිම ම, දැඩි නිහඬ බවක ගිලී ගොස් ඇති අතර, ඇසෙන්නේ ගුරුවර ගුරුවරියන්ගේ හඬවල් පමණි.

ඉනික්බිති තව කොපමණ වේලා ගත වී ගියේදැයි මට ගනිච්චියක් නැත. එහෙත් මගේ බඩ පෙරළි කරන්නාක්මෙන් මට දැනෙන්නට පටන් ගත්තේ ය. මුල දී මම එය එතරම් ගණන් නොගත්ත ද එය දැඩි ව දැනෙන්නට පටන් ගත්තේ ය. ඉන්පසු මම ඇඹරෙමින් එය උසුලා ගන්නට උත්සාහ ගත්තෙමි. මගේ දෙපසින් සිටි අනිල් අයියා ද. අනෙක් පස සිටි කෙනා ද මදෙස බලන බවක් මට දැනුන ද මගේ අපහසුව සන්සිඳුනේ නැත. ඉන්පසු ක්‍රමයෙන් බඩ පෙරළිය මහත් ව, මුලු ඇඟ ම සලිත කරමින්, අඹරවාගෙන එන සෙයක් මට දැනිනි. මම එය මැඩ පවත්වන්නට තදින් හුස්ම ගත්තෙමි. අත් දෙක ම දිගු කර මේසයේ කෙළවර තදින් අල්ලා ගත්තෙමි. කිසිදු සහනයක් නැත. බඩ පෙරැළිය ක්‍රමයෙන් පහත් වෙමින් වාඩි වී සිටින බංකුව දෙසට සංක්‍රමණය වන වගක් මට දැනුනේ ය. ඉන්පසු මම දත් ඇන්ද ම කිටි කිටියේ තද කර ගෙන වේදනාව යටපත් කර ගන්නට මහත් වූ උත්සාහයක් ගතතෙමි. නමුදු ඒ සියල්ල නිෂ්ප්‍රභ කරමින්, වේදනාව බංකුව දෙසට ම පහත් වී ගොස් මට මහත් අස්වැසිල්ලක් දැනෙන්නට පටන් ගත්තේ ය. වියැළී තිබූ උගුර කට ද, නැවතී තිබූ හුස්ම ද යළි සක්‍රිය වන්නට පටන් ගත්ත ද, මට දැන් ඊට වඩා අමුත්තක් දැනුනේ ය. ඇඳ සිටි ජංගි කොටය තෙත ගතියක් සහ මහ බර යමක් ඒ තුළ රිංගවූ බවක් මට දැන් දැනෙයි. ඒ සමග ම අමුතු කර ගඳකින් යුක්ත කුයිලයක් ද දැනෙන්නට පටන් ගනියි. මට මහා අසරණ කමක් දැනෙනන්ට පටන් ගත්තේ වුව ද එය මොහොතක්වත් පවත්වා ගන්නට යාබද ඇත්තා ඉඩ දුන්නේ නැත....මදෙසින් මඳක් පැත්තට ඇළ ව එහාට තල්ලු වෙමින්, “මෙන්න සර් මෙයාට කක්ක ගිහිල්ලා....“යි හේ මොර දුන්නේ මුලු පන්තියට ම ඇසෙන්නට ය......................!!!

දැන් ඉතින් තවත් වෙන්නට කිසි දෙයක් නැත.. මට මහා සැහැල්ලුවක් දැනෙයි. එය තනි ව භුක්ති විඳිය යුතු ය. වහා මම ඇඟිල්ල කටේ රුවා ගනිමි. ඉන් පසු ඇස් දෙක ලොකු කර මගේ දෙපැත්ත ද වට පිට ද බලමි. මා සිටි බංකුවේ සිටි සියල්ලන් ම දැං මා කෙරෙන් ඈත් වෙමින් සිටියි. ඒ අල්ල පනල්ලේ ගුරුතුමා මා දෙසට ‍පැමිණෙයි. මම හිස් පහත් කර ගෙන, ඇස් ලොකු කර ගෙන ම, මහා වරදක් කළ එකෙකු මෙන් ඇඟිල්ල ද කටේ රැවාගෙන ඔහේ බලා සිටිමි. ගුරුතුමා කිසිදු කළබලයකින් තොර ව පැමිණ බංකුවේ සිටි සියලු දෙනාව ම නැගිට්ට වූයේ ය. ඊට පසු සිය අත දිගු කර මගේ හිස අල්ලා ගත්තේ ය. සියලු මූසල හැඟීම් දුරී භූත වෙමින් ගොස් මට මහා ආරක්ෂාවක්, දැනෙන්නට පටන් ගත්තේ ය. එතුමා මා පන්තියට එක් කරගෙන ආ ආකාරයට ම, මා පන්තියෙන් එළියට කැඳවාගෙන ගියේ ය. මා ද වෙන කළ යුතු කිසිවක් නොවූයෙන් එතුමන් අනුව ම ගෑටුවෙමි. විදුහල්පති කාමරය පසු කරමින් පැමිණි එතුමා බිත්තිය අසළ මා සිටුවා, යළි ආපසු ගියේ ය. ඉන් පසු මට මහා වේලාවක් ගත වෙන්නාසේ දැනෙන්නට පටන් ගත්තේ ය.ටිකකින් ලොකු වතුර බාල්දියක් ද අතේ එල්ලාගෙන පැමිණි ගුරුතුමා එය බිම තබා මා ඉදිරියේ වාඩි වී මගේ ජංගි කොටය සීරුවෙන් ගැලවූයේ ය. ඉන් පසු මා බිත්තියට යාබදින් වූ කාණුව දෙපසට කකුල් දමා ගෙන සිටින්නැයි කියා මා වාඩි කරවා, වතුර වක්කරමින් මගේ පස්සා පැත්ත අතුල්ලමින් සෝදන්නට පටන් ගත්තේ ය. එක වතුර රළකින් ඇඳ සිටි කමීසය තෙමෙනු දුටු එතුමා එය ද ඔසවා අල්ලා ගන්නට මට දුන්නේ ය. මා සොදා අවසන් කළ එතුමා යළි මා සිටවූයේ ය. පහළට එල්ලෙන කමීසය තෙමෙන නිසා එහි ඉදිරිපසින් ගුලියක් කොට බඩ ඉදිරියෙන් අල්ලා ගන්නට සලස්වා යළි නොපෙනී ගියේ ය. මම සුපුරුදු පරිදි ඌට්ටුව ද ගසාගෙන එලෙස ම නොසෙල්වී සිටියෙමි. ටිකකින් විදුහල්පති කාමරයේ බිත්තිය අද්දරින් හිස් ගෙඩි දෙක තුනක් එබෙනු පෙනුන ද මට එය එතරම් වගක් වූයේ නැත.

දැන්නම් ගෙවෙන කාලය මට මහා කල්පයක් සේ දැනෙයි. නමුත් කළ යුතු කිසිවක් ම නැති බැවින් මම එලෙස ම සිටිමි.

ටිකකින් ගුරුතුමා පැමිණියේ තව කළිසමක් ද රැගෙන ය. ලොකු ළමයකු යවා අසල ගෙදරකින් ඉල්ලා ගෙනැවිත් තිබුණු, කොල පාට මල් සහිත ඒ කලිසම මට තරමක් ලොකු ය. නමුත් හෙලුවෙන් සිටිනවාට වඩා එය අඳින එක හොඳ ය.

ලොකු ළමුන් කිහිප දෙනෙකු ලවා බංකුව එළියට ගෙනැවිත් එය සෝදන්නට රැගෙන ආවේ ද ගුරුතුමා ම ය. එතැන් පටන් යළි පන්තියට ගිය පසු සිදු වූ සිදුවීම් කිසිවක් මට මතක නැත. නමුත් ජංගිය ගැලවූ පසු මට දැනුණු කක්කා ගන්ධය අදත් මට එලෙසින් ම මතක ය. අදත් වැසිකිළි ගිය විටෙක වුව මම ඒ ගන්ධය දැනේ යැයි අපේක්ෂා කරමි. ඉඳ හිට එය දැනෙයි. එය මට අපුලක් ගෙනෙන කාරණාවක් නොවන්නේ ඒ හා සබැඳි සිද්ධි දාමය මට මහා සිහිවටනයක් වන නිසා ය.

දෑස් වසාගෙන මම ඒ දෙවියකු බඳු වූ ගුරුතුමාණන් මතකය අද්දරට ගෙනෙන්නට උත්සාහ කරමි. අවාසනාවකට මට එතුමන්ගේ නම මතකයේ ඇත්තේ ම නැත. නමුත් එදින එතුමන් ඇඳ සිටි ඇඳුම ද, එතුමන්ගේ අතේ පහස ද, මට අදත් එදා මෙන් ම මතක පමණක් නොව ආශ්වාදණීය හැඟීමක් ද ගෙන එයි. එතරම් තුරුණු වියේ සිටියකු වුව ද, කිසිදු කැතක් හිරිකිතයක් නැති ව, කවරදාවත් නොහඳුනන්නෙකු ව සිටි, කක්කා නාගෙන සිටි මා කැඳවාගෙන විත්, සියතින් ම අතුල්ලා, තමන් විසින් ම ගෙනා වතුර බාල්දියෙන් සෝදා පවිත්‍ර කළා වූ ඒ ගුරු දෙවියාණන් නමදින්නට මට වෙන ක්‍රමයක් නැත. පසු කාලීන ව ගුරු වෘත්තියට බට මම ඒ හා සමානව ම දරුවන් වෙනුවෙන් වෙහෙසෙන්නට උත්සාහ කරන්නේ ද, ඒ භක්තිය එතුමන් වෙත පුද කරන්නට ම ය...!! නමුත් එහෙම වාසනාවක් අදටත් මට උදා වී නැත්තේ ය...!!

Share/Bookmark

26 comments:

  1. හරකෙක් දවස පුරා තණ උලා කා රාත්‍රිය මුළුල්ලේම නැවත නැවතත් වමාර වමාරා සිටින සේ කුඩා කල ජීවිතය සිහිවන වාරයක් වාරයක් පාසා මමද ඔබ මෙන්ම එය වමාර වමාර තෘප්තියක් ලබමි. ජීවිතයෙ තව කවර කලෙකවත් එවැනි සුන්දර වූ මතකයන් හමු නොවන බවද මම දනිමි.ඔබගේ අද්දැකීම් මටද හෘදයාංගම වන්නේ ඇයිදැයි කීමට මම නොදන්නා නමුත් ඒ කටුක අතීතයට මම ආදරය කරමි.

    අජිත් ශාන්ත

    ReplyDelete
  2. හරකෙක් දවස පුරා තණ උලා කා රාත්‍රිය මුළුල්ලේම නැවත නැවතත් වමාර වමාරා සිටින සේ කුඩා කල ජීවිතය සිහිවන වාරයක් වාරයක් පාසා මමද ඔබ මෙන්ම එය වමාර වමාර තෘප්තියක් ලබමි.

    ReplyDelete
  3. panthiye lamayek kakki dammama e lamayage passa paththa hodanna tharam senehewantha guruwaru dan api athara innawada kiyala mata hitha gannawath beha.. e athin sir koi tharam bhagyasampannada? oyawage guruwarayekge aadaraya, karunaawa labanna tharam...?

    ReplyDelete
  4. ඉදල ඉදල ගොඩාක් කාලෙකින් ලියල. ඔබතුමා ලියන්න ගන්නෙ නම් , වැඩ බෙල්ල ලගටම ඇවිත් , නහයටත් උඩට යනකම් ඉදල කියල නම් දන්නව....

    කොහොම වුනත් හැමදාමත් වගේ ලස්සනයි...

    ReplyDelete
  5. අපූරුයි. අපි කාගෙත් ලමා කාලය ඔය වගෙයි. ඒ වගේ ගුරුවරු දැන් අඩුයි

    ReplyDelete
  6. මළ ​ගෙදර ආ මල්ලි කියන තැන ඉඳලා නැවත කියෙව්වා!

    ඔය වගේම අතීතයක් අපිටත් තිබ්බා....... මතක් වෙද්දිනම් හරි කණගාටුයි. ඒ පැහැදිලි සැනසිලිදායක කාලය ආයේ එන්නෙ නැති හින්දා.

    තව එකක්,
    වසන්තඅයියා, සෙල්ලම් කාලය කියන කොටස් දෙක මළ ගෙදරට කෙලින්ම සම්බන්ධ සිද්ධි දෙකක් නොවෙන හින්දද මන්දා සර් ඒක ලියලා තියෙන විදිහ වෙනස්. සර් හිතලා කලාද නැද්ද මම දන්නැ....

    වසන්ත අයියයි බයිසිකලෙයි හින්දා ලැබිලා තියෙන විනෝදාත්මක නිදහස් බව වචන වලින් සර් නියමෙට ලියලා තියෙනවා.......

    ඉතුරු ටිකත් එහනෙං පුලුවන් ඉක්මනින් ලියන්න සර්

    ReplyDelete
  7. එක දිගට කියවන එකම බ්ලොග් එකද මන්දා මේක... පුල පුලා බලා සිට කියවන සාරවත් කතාවක් මේ සර්...
    මට මතක් වෙන්නේ භද්‍රජී මහින්ද ජයතිලකගෙ 'දෝන ලුවිසා සාධනීගේ කතාවෙන් කොටසකි' නම් පොත... මේ 'මගේ කතාව' කවදා හෝ පොතකින් එලි දැක්වේවා කියා පතමි....

    ReplyDelete
  8. අපේ මල්ලි කක්කි කරගෙන ටීචර් මට එන්න කියල ගෙදර එක්කන් යන්න කිව්ව. මං දෙකේ. මල්ලී එකේ.
    ටීවර් ගේ බබාත් මල්ලි ගේ වයසේ. (වෙන ඉස්කෝලෙක)

    ReplyDelete
  9. මෙහි එක කතාවක් කියවීම හොඳ කෙටි කතාවක් කියෙවුවා වැනි හැඟීමක් මගේ සිත තුල ඇති කරනව. ආශ්චර්ය එය නොවෙයි, මෙවැනි කතා කිසි ලෙසකින්වත් ප්‍රබන්ධ නොවී සැබෑ මිනිසෙකුගේ ජීවිත කතාවක කොටස් වීමයි....

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ඉන්ද්‍රනාථ මහතා.... ඔබගේ "මගේ කතාව" ඊයෙ රාත්‍රියේ සම්පූර්ණයෙන්ම එක හුස්මට කියෙව්වා.... දැන් මගේ සිත කියනවා කථාවෙ ඉතුරු හරිය ඔබව සොයාගෙන ගිහින් හරි අහගන්න කියලා... දුරුරටක වෙසෙන නිසාදෝ ඒ අවස්ථාවට මට හිමිකමක් නැතිවුවද කෙදිනක හෝ මව්බිම තුරුලේ පයගසන කලක ඔබ පැමිණ බැහැදැකීමට බලාපොරොත්තුවක් ඇතිව සිත සකස් කරගතිමි....

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ ඉතාම නිවුනු දැඩි (දීර්ඝ) කලා කුසලතාවයන් වඳුලකට හිමිකම් කියන ගාම්භීරත්වයෙන් සහ දැනුම් පරිශීලනයෙන් හිමිපෙත්තක වැජබෙන නිහඩ චරිතයක් බවයි මගේ පෞද්ගලික හැගීම.... (මා වැරදි වෙන්නත් පුලුවනි, ඒත් ඒ මට දණුනු විදියයි) මුලින් මා විටක ඔබේ කටු සටහන් දැක මේ සොඳුරු මිනිසා දකින මිනිස් රෑ මේ තරම් සංයමයෙන්, අපූර්වත්වයෙන්, ජීවමාණත්වයකින් තෙලිතුඩ මත දිගහරින ආකාරය දැක විස්මිත වුවත් ඒ ගැන ඔබෙන් නොවිමසූවේ ඔබේ ඡායාරූප ශිල්පය පිලිබද ඇති හසල දැනුම පිළිබඳ දැනගත් නිසාවෙනි.... මන්ද යත් කරන්නම් වාලේ දෙයක් නොකර ඒ පිළිබඳ මනා දැනුමකින් පිරී ඇතිබවක් විටක ඔබගේ පුහුණු ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප මත ඔබ දමන කමෙන්ටු මුහුණුපොත තුලින්ම මා දැක ඇතිද බැවිනි.

    එහෙත් ඔබේ "මගේ කතාව" කියවූ මම වරෙක වික්ෂිප්ත වූයෙමි.... අයේ අටුවා ටීකා අවැසි නොවේ.... ඊයේ රාත්‍රියේ මම කියෙවුවේ කුකුල්.... ආහ් සමාවෙන්න "උපුල් ඉන්ද්‍රනාථ" නම් වූ මහා ගත්කරුවකු අතින් රචිත ජීවිත පෙළහර නම් වූ අතීතාවර්ජනීය කෙටිකථා සංග්‍රහයක් බවයි මගේ හැගීම... මෙසේ ලීවේ ඔබට සම්ච්චලයක් කිරීමට නොව එය ඒ තරම්ම මගේ සිත්ගත් නැවුම් බවකින්.... චිත්තරෑපකයන් මවමින් දිගහැරී තිබීමම මිසක අන් කවරක්ද?.... අයෙ අළුතින් මොනවාට සංස්කරණයන්ද.... කථාව සැබෑ තත්වයෙන්ම ගලායෑම් දන්නේ ඔබම පමණය.... පාඨකයන් වන අප දකින්නේ අතුරු සිඳුරු නොමැතිව ගලා යනවාද නැතිද වග පමණකි...එය බෙහෙවින්ම ගලයි... කොටින්ම කීවොතින් අපටත් රහසින්ම අපේ නෙතගින්ද කඳුලක් දෙකක් ගලාවිත් නොදැනිම පත් ඉරු මත වැටේ... (යමක් කියන්නට අමතක වීමි... මා මෙය කාර්යාලය තුලදි එකවර කියවිය හැකි නොවූයෙන් එය මුද්‍රණය කර රැගෙන ගියෙමි... සම්පූර්ණ පිටි 28 කට)

    කඳුල නැගුන මොහොත මා මෙසේ දිගහරිමි. ඒ "මළ ගෙදර ආ මල්ලී", "අම්මාගේ වියෝව" සහ "අවසන් කටයුතු" මයි... නුඹ පුංචි සන්දියේ සිදුවූ මෙය නුඹ පමනක් නොව කියවූ අපද හඳ සසල කරන්නක් විය.... එනමුදු මාද තවමත් ඒ තුල ඔබ නගන අඩහැරයට කැමතිය.... ඒ නම් "මන්ද ඒ සාලයේ පෙට්ටියක් මත වැතිර නිදන්නේ මගේ අම්මා යැයි කිසි දාක විස්වාස කරන්නට මම අකමැති බැවිනි..." හා "අම්මා සහිත දෙන සුසානයට ගෙන ගොස් ආදාහනය කළේ ද, භූමි දානය කළේදැයි මට පැහැදිලි මතකයක් නැත. ඒ වගක් අද වුව මට තාත්තාගෙන් අසා දැන ගන්නට හැකි ය. නමුත් මා ඒ නො අසන්නේ එය තහවුරු කර ගන්නට මම අංශු මාත්රවයකින් හෝ අකමැති නිසා ය. අපේ අම්මා ආදාහනය කරන්නටවත්, භූමි දානය කරන්නටවත් කාටවත් බැරි ය.. ඈ තාමත් මාළඟ සිටින්නී ය." මෙයට නෙතින් කඳුලක් නොනැගේ නම් ඔහු හෝ ඇය මිනිස් වාසයටද සුදුසු නොවේ යැයි මම ඉතා දැඩි ලෙස තරයේ කියාසිටිමි...

    මේ සියළු දේ ඔබට යලි සිහිපත් කලේ ඔබේ නෙතගටද යළි කඳුළු ගෙනෙන්නට නොව... ඒ සදහා මගේ හදවතින් පිදෙන උසස්ම සම්මාණයෙන් පුදකරන්නටය.... මේ සටහන හමාර කරන්නට කාලය එළඹ ඇත.... එනමුත් එය ඔබේ ඉතිරි කථාවේ ආරම්භය යැයි සිතමි... ඔබට චිරාත් කාලයක් අකුරු කරන්නට දිරි.... මේ හිතවතා මූණුපොතින් ඔබ හැදිනි... ජනිත මලයා.

    ReplyDelete
  12. මම සේවය කරපු ගුරු මණ්ඩලෙත් ඔය වගේ දයාබර ගුරුතුමියක් හිටියා. ඔය වගේ කරදරේ වැටිච්චි කෙලි පොඩ්ඩියක්ව කිසිම මැසිවිල්ලක් නැතුව පිරිසිඳුකරා මම දෑහින් දැක්ක.

    ReplyDelete
  13. මම පොඩි කාලේ 6යේ පංතියේ ඉන්නකොට මටත් ඔය වගේ අකරතැබ්බයක් උනා මතකයි. ඒ වෙලාවට ඇතිවෙන අසරණ කම ගැන නම් කියලා වැඩක් නෑ. ඒ වෙලාවෙ මගෙ පිහිටට හිටියේ මගෙම පන්තියේ ඒ වෙනකොට මගෙත් එක්ක හොඳටම ෆිට් නැති සගයෙක්. ඔහු මගේ කලිසම සෝදා නැවත මට ගෙනත් දෙන්න තරම් කරුණාබර උනා. අවාසනාවකට ඒ සගයා දියවන්නාවෙදී නාන්න ගිහිල්ල ගිලිලා මැරිලා තිබුනා. මේක වෙලා තිබුනේ අගෝස්තු නිවාඩු කාලෙක. ඉස්සර දැන් වගේ මොබයිල් ෆෝන් තියා ගෙදරකට උනත් හරි හමන් දුර කථන නොතිබිච්ච ඒ කාලේ (1986 ), ඔහුගේ වියෝවීම දැන ගත්තෙ නිවාඩුව ඉවරවෙලා ආපහු ඉස්කෝලෙ ආවාට පස්සෙ තමයි.

    ReplyDelete
  14. සර්, මම සියලුම ලිපි එක හුස්මට කියෙව්ව, කියවලා ඉවර කලේ දැන් තමය්. කියන්න කිසිම දෙයක් නෑ. හිත ගල් ගැහිලා.
    මීට ගොඩාක් සමාන පොතක් මම ගිය මාසෙ කියෙව්වා. ඒ බෙන් රස්නැක් ගෙ "අපරාජිත". බොහෝ දුරට ඔබේ කතාවම තමය්, එකම විදියට හිතට කා වැදෙන හිත තවන (හරියට කෙසෙල් කොලේ වගේ) කතාවක්. "අපරාජිත" පොතේ එන "බානි" (පොඩි පිරිමි දරුවා) වෙනුවෙන් හෙලුන සුසුමත් මේ ලිපි පෙල කියව ඔබ වෙනුවෙන් හෙලන සුසුමත් වෙනසක් නෙ.

    හරිම ලස්සනට ඔබ මෙය ලියා තිබෙනවා.

    ReplyDelete
  15. කාලෙකට පස්සේ ආයි මගේ මතක කියවන්න හම්බුණා. මම එක දිගටම මගේ කතාව කියවපු කෙනෙක්. ඒත් කාලෙකට පස්සේ කියවද්දී මුල මැද අග මතක නැති නිසා ආයිත් පරණ සටහන් එහෙමත් කියවන්න ඕනේ. ඒ අපහසුතාවෙන් අපිව ඉස්සරහට මුදවාවි කියලා හිතනවා :)

    ReplyDelete
  16. අද මම අහම්බෙන් දැකපු ලින්ක් එකක් ක්ලික් කළා ඒක ලියල තිබුනේ ෆොටෝ එකකට පොඩි නවමුකරණයක් දෙන විදිහක් ගැන
    මමත් ජායාරූපකරනය ගැන අවධානය දක්වන කෙනෙක් නිසා ඒක කියෙව්වා
    එත් ඒ වෙලාවේ මගේ හිත ගියේ ඒ බ්ලොග් එකේ තිබුන වෙනත් දේකට
    ඒ තමයි ඉන්ද්‍රනාත අයියගේ ජීවිත කතාව
    මම අද උදේ පටන් අරගෙන මේ වෙද්දී ඔක්කොම බලල ඉවරයි
    මට කියවන්න හොඳ පොතක් හරි මොකක් හරි ලැබුනොත් ඒක ඉවර වෙනකම්ම කියවන ඒක මගේ පුරුද්දක්
    මම ගෙදර ඉන්න කාලේ කන ගමනුත් පොතක් බලනවා, එහෙම නැත්න්ම අඩු ගානේ පත්තරයක් හරි....
    අයියගේ කතාව කියවද්දිත් මට ඒක නතර කරන්න හිතුනේ නැහැ
    අද මගේ නිවාඩු දවසෙන් වැඩි හරියක් ගතේ කලේ අයගේ බ්ලොග් ඒක කියවන්න
    මගේ දවස අපතේ ගිය බවක් නම් මට දැනෙන්නේ නැහැ, දැන් වෙලාව පාන්දර 2:46 යි. ඔක්කොම කියවල ඉවර වෙලා මගේ අදහසත් කියලම නිදා ගන්න එක හොඳයි කියල හිතුනා
    ඔයාට පුළුවන් මනුස්සයෙක්ගේ හදවතට දැනෙන්න ලියන්න
    හැමෝටම එහෙම ලියන්න බැහැ
    කතාව කියවගෙන යද්දී ඇස් දේකට කඳුළු ආපු වාර ගැන බොහොම වැඩියි.
    මමත් අද ඉඳල අයියගේ බ්ලොග් එක කියවනවා
    ජය වේවා

    ReplyDelete
  17. ඔන්න මේ වෙනකන් කතාව එකහුස්මට කියෝගෙන ගියා . දැන් ඉතින් බලාගෙන ඉන්න එපැ ඉතුරුටික ලියනකන්. මේ වෙලාවට මගේ ලග අඩුවෙන්ම තියෙන එක තමා ඕනේ වෙන්නෙ කියලා දන්නවා . " ඉවසීම " . . . මේ වෙනකන් කතාව කියෙව්වාට වඩා අපූර්ව රූප පෙලක් බැළුවා කිව්වොත් නිවැරදි මයේ හිතේ . ඔබගේ කතා ශෛලියට මත්ව කතාවේ ඉතිරිය තෙක් පුල පුලා බලා හිදින මට මෙන්ම ඔබගේ සහෘද පිරිසට ඉතිරි කොටස් ඉක්මනින්ම වැලද ගැන්මට හැකිවෙත්වා කියා මෙන්ම , එලෙස බලා හිදිනා අපව ඔබට නිරතුරුව මතක් වී වඩ වඩා ඉක්මනින් මේ සිත් රූ පෙලහර ඔබ අතින් සිත්තම් වෙත්වා කියා ප්‍රාර්ථණා කරනවා . හැමදාමත් වගේ මුළු සිතින්ම ඔබට ජය පතනවා . . .

    ReplyDelete
  18. xxxපුරා රාත්‍රී දෙකක් නිදි වරා ඔබගේ කථාවෙහි සියලුම කොටස් කියවා හමාර කලෙමි.කොටසින් කොටස සදහා කොම්න්ට්ස් යෙදීමට ඉඩ සලසා තිබුනද කථාවේ ඊලග කොටසට යෑමේ නොයිවසිල්ල නිසා එසේ කොමන්ට්ස් කිරීම අත් හෑර ඒ කාලයද කියවීමටම යෙදිමී. කුතුහලය, ශෝකය හා හාස්‍යය රසයද මනා ලෙස පෙල ගස්වා අපුර්ව ලෙස ගෙන හෑර පා තිබූ කථාව ඉතාමත් ව්ශිෂ්ඨ නිර්මානයකෑයි කීම අතිශෝක්තියක් නොවන්නේය.
    මෙම කථාව තුල මා දකින සුවිශේෂය නම් කියවාගෙන යෑමේදි ඒ සියල්ල මනසේ මෑවෙන රූප රාමු තුලින් විචිත්‍රව පෙලගෑසී දෙනෙත ඉදිරිපිට දර්ශනය වීමය, අනෙක් පුදුමය නම් තමාගේම ජිවිත කථාව ගොඩ නංවා ඇත්තේ තමාගේ ඉතාම කුඩා අවදිය ග්‍රහනය කර ගෙන වීමය ඔබම කියන පරිදි මේ සෑම වස්තු බීජයක්ම මතකය තුලින් ගලා ඒමද ඉතාම විශ්මය ජනකය.
    කථාවේ සමහර කොටස් අන්තර්ජාලයට මුදා හෑරීමේදී පිලිවෙලට නොපමිනි තෑන් ඇති බවද කිවයුතුය, එනම් එක් මුල්කොටසක පියා විදුහල් පති වරයෙකු බව සදහන්විය. ඉන්පසු ඒ සමගම පෙට්ට්යක් බයිසියිකලයක බෑදන් පත්තර විකුනන්නටගිය බවක් කියවීමෙන් මම අතරමන් වීමි,
    විදුහල්පතිවරයකු එසේ ගියේ ඇයිදෑයි තෙරුම් ගෑනීමට නොහෑකිව කුතුහලයට පත් වුවද තවත් කොටස් කිපයක් කියවිමෙන් අනතුරුව එයට පාදක වු කරුනු මම තෙරුම් ගතිමි. ඇත්තෙන්ම තම තත්වය තරාතිරම ගෑන නොතකා ඔහු කලදේ පුදුම සහගතය. දරුවන් පොෂණය කිරීම සදහා ගුරු වෘතියෙන් පත්තර රස්සාවට සංක්‍රමණය වීමට ඔහුට තිබූ ආත්ම ශක්තිය හා ධෛර්ය වෙනුවෙන් මම එතුමාට හිස නමා ආචාර කරමී.
    කථාව කියවාගෙන යාමේදී දෙනෙතට ඉනු කඳුලුකිසි විටෙක නතර නොවී දෙනෙතින් රූරා වෑටුනා සේම ..තවත් සමහර කොටස් කියවීමෙදී එහි ඇති හාස්‍ය රසය කෙතරම් දෑයි කිව හොත් සිනහව නතර කර ගෑනීමට නොහකි තරම්ය,..මාසිනහ වු තරමක්.... කිසිදු පුරා ජේරුවකින් තොරොව පියවරින් පියවර පෙලගස්වා ලියා ඇති කථාව ඉතාමත් ඉහල ප්‍රමිතියකින් යුත් කෙටිකතා එකතුවක් වෑන්න. මෙය පොතක් මෙන් පලකරන ලෙස මම කාරුණික ඉල්ලීමක් කරමි. මන්ද යත් මතු පර පුරට ඉන් උකහා ගත හෑකි දේ බොහෝය, රෝමය දවසකින් ගොඩ නෑගූවක් නොවේ යෑයි කියමන සෑබෑ කරමින් මෙහි කථානායක...ඉන්ද්‍රනාත් තේනුවර නම් සාර්ථක මිනිසා, මහාකලා කරුවා..යුග පුරුෂයා විශ්මකර්මයා බිහි වු යේ රොස මල් යහනාවකින් නොව අනේක වු දුක්ඛ් දෝමනස්සයන් පිරි ගිරි දුර්ඝ පසුකර බව ඔවුන් වටහා ගන්නවා ඇත.එය ඔවුන්ටද ජීවිතය ජය ගෑනීමට ශක්තියක් වෙනවා ඇත
    මෙය අවසානය නොවේයෑයි මම සිතමී..ඊලග කොටස් කියවීමට පුලපුලා බලාසිටිමි. ඔබගේ පියාණ්න්ගේ ජීවිත කථාව මෙසේම අකුරු කරන්නේනම් ලොකය දිනු දරුවන්ගේ දිවි ගමන සාර්ථක කිර්‍රමෙහිලා මුලු දිවියම කෑප කලා වු නොසෑලී ජීවිතයට මුහුන දුන් ඒ ශ්‍රේෂ්ඨ පියාණ්න්ට උපහාරයක් පමනක් නොව සෑම සියලු දෙනාටම මහගු ආදර්ශයක්ම වන්නේය.,,,ඔබගේ හෑකියාවන් තවත් ඔපවත් වේවා.. දීර්ඝායුශ ලෑබේවා...මතු යම් දිනක මවු රට පෑමිනි කල ජීවමානවම ඔබ ගේ දස්කම් විස්කම් දෑක ගෑනීමට මටද හෙතු වාසනා වේවා.යි ප්‍රර්ථනා කරමී මෙය බෑලීම සදහා අවස්ථාව මාවෙත ලබා දීම ගෑන ස්තුති වන්ත වෙමී ඔබට බුදු සරණයි. xxx

    ReplyDelete
  19. Ihataha comment eka liuwath nama sadahan kirima amathaka una bawin nawatha mese sadahan karami
    R.Dharmalatha Ranasingha A

    ReplyDelete
  20. 1985 වර්ෂය වෙද්දී මේ කියනා වූ වර්ගයේ ගුරු දෙවිවරුන් ජීවමානව නොසිටි වගට මම සාක්ෂි දරමි. එය එසේ කියන්නේ මේ කියනා වූ අලකලංචිය මටද සිද්දවී ඇති නිසාවෙනි. එදා මාගේ කක්කා කලිසම සෝදා දුන්නේ මාගේ සම වයස් මිතුරෙකු බව අදත් ගලේ කෙටු අකුරක් මෙන් මතකයේ තිබේ. අම්බලන්ගොඩ නගරසභා පිට්ටනියේ දේවානන්ද විද්‍යාලය අසලින් ගලා යන වතුර කාණුවේ දමා මාගේ කලිසම සෝදා දුන් මිතුරා කල උපකාරය මැරෙනතුරාවට මා හට අමතක වන්නේ නැත. එවකට මා උන්නේ දේවානන්ද විද්‍යාලයේ 2 වසරේය.

    ReplyDelete
  21. matah 4 panthiyedi oya dee\ unaa ewele ape lokuthathage putha thmai mawa ekkan giye

    ReplyDelete
  22. දැන් ඉන්න සමහර පරට්ට වේසියෝ පොඩි එකෙක්ගේ හොටු ටිකක්වත් හුරන්නේ නෑ.. දවසක් අපේ පොඩි එකා මොන්ටිසෝරි යනකොට හොඳටම හෙම්බිරිස්සාව.. දවල් ගන්න යනකොට මුණ කට පුරා හොටු වේලිලා.. ෂර්ට් එකේ අමුණලා යවපු ලේන්සුවේ හොටු චොර වෙලා.. ඇහුවම කියන්නේ ළමය පුරුදු වෙන්න ඕනිලු තනියම කර ගන්න.. ඒකලු එහෙම කරන්නේ.. කාට කියන්නද? මං ඉතින් ඊට පස්සේ හෙම්බිරිස්සාව තියෙන වෙලාවට ලමයව ගෙදර තිය ගන්නවා..

    අර 'සර්ට' මගේ ආචාරය!

    ReplyDelete