Friday, August 5, 2011

25 ආරෝව..

කාලය ගෙවෙන්නේ සෙමින් වුව ද, කිසියම් වෙනසක් සිදුවනු මට දැනෙයි. ලොකු තාත්තා හැම විට ම නොසන්සුන් ව හැසිරෙයි. සුලු දෙයටත් කෝප වෙයි. අපට නැතත් කාට හෝ බැණ වදින්නේ ද සැර පරුෂ හඬකින් නොව, නොපැහැදිලි, පැටලිලි සහගත වාග් මාලාවකිනි. ලොකු තාත්තා ගෙදර එන්නේ අපේ තාත්තාට කලිනි. ලොකු තාත්තාගේ හැසිරීම් රටාව තාත්තා ගෙදර එන වෙලාව වන සන්ධ්‍යා කාලයෙහි දී වඩාත් උග්‍ර වෙයි. තාත්තා ගඩොල් දෙකේ පළලට තැනූ බිත්ති කණ්ඩිය මත වාඩි වී එක කුලක් පහළට එල්ලාගෙන, අනිත් කකුල නවා කණ්ඩිය මත තබාගෙන. එක් අතක් දිග හැර ඒ නැවුණු කකුලේ දණිස්ස මත තබාගෙන, අනිත් අතින් ඒ කකුල බදාගෙන, නිසොල්මනේ බොහෝ වේලාවක් දැඩි කල්පනාවක එල්බගෙන සිටීම ද මට දැනෙන්නේ විශාල අභාග්‍යයක් අත ළඟට ම පැමිණියා සේ ය.

ලොකු තාත්තාගේ බල් බල් ගෑම වැඩි වන විට තාත්තා කණ්ඩියෙන් බැස පිට්ටනිය දෙසට පියමං කරයි. පැතිරෙන අඳර මැද අපට තාත්තා ව පෙනෙන්නේ ද අඳුනා ගත නොහැකි රූපයක් ලෙසිනි. පවතින වාතාවරණය සුව දායක නොවන නිසා ලොකු තාත්තාගේ පවුලේ අය ද, අප ද කතාවක් බහක් නැති ව නිසොල්මනේ ම කාලය ගෙවන්නෙමු. හොඳට ම රෑ බෝ වූ පසු, ආච්චි මිදුලට පැමිණ ඇයට හැකි පමණ ලොකු හඬකින් කෑ ගසන්නී ය....“ගුණතිලක.......අ...අ..අ..අ.“

නමුත් තාත්තා එන්නේ නැත...

අප නිදි කිරා වැටෙන මොහොතවන විට ලොකු තාත්තාගේ චරු චුරුව නවතියි. කලින් තාත්තා වාඩි වී සිටි තැන සුරුට්ටුව හපමින්, කෙළ විදිම්න් ලොකු තාත්තා වාඩි වී සිටියි. ආච්චී පැමිණ අප එකිනෙකා තුරුළු කර ගනිමින් හිස් අත ගාමින් සිටින්නී ය. ආච්චී ලොකු තාත්තාට කිසිවක් කියන්නේ ද නැත. ලොකු අම්මා ද නිෂ්ශබ්ද ය. නිතර කටට කමසෙයියාරුවක් නැති ව කියවන වසන්තයියා ද නිහඬ ය. ලොකු තාත්තා කණ්ඩියෙන් බැස, කිසිදු තාලයක් නැති ගී ඛණ්ඩයක් මුමුණමින් ගේ තුළට පියමං කරයි. ඊට ටික වේලාවකට පසු තාත්තා හෙමි හෙමින් ගාටමින් ගෙට එයි. කිසිවක් නොදැනුන ද ඊයම් බරුවක් ඇස් දෙක තිබෙන තැනින් ගිලා බැස, ගලනාලය ද, අමාශය ද පසු කරමින් උදරයේ පතුළට ම යන සියුම් වේදනාවක් මට දැනෙයි...! ඉන් පසු මට දැනෙන්නේ පොළොවෙන් පියවර ගනනාවක් ඉහළට විත් පා වෙමින් යන බවකි. ඒ තාත්තා අඩ නින්දේ සිටින මාව ඔසවාගෙන ගෙට යන නිසා ය...

දවස් දෙක තුනක් ම යන තෙක් තාත්තා පැමිණියේ මහරෑ ය. සමහර විට අප තාත්තා ව දකින්නේ උදේ නැගිට්ට විට ය. තාත්තා අපත් සමග ම බයිසිකලය ද තල්ලු කර ගෙන ගෙදරින් පිටවෙයි. අප කච්චේරිය පාරට හැරුණු විට, තාත්තා සරම මැදින් අත තබා, පය ඔසවා, සීට් එක උඩින් කරකවා කකුල ගනිමින් හරි බරි ගැහී වාඩි වෙයි. ඉන් පසු පැඩලය පිටු පස්සට වටයක් කරකවන තාත්තා ගැම්මක් ගෙන ඉදිරියට තල්ලු වෙයි. තාත්තා ඉදිරියට ඇති පාර දිගේ හොල්මන් ගල දෙසට යයි. මේ හතරමං හන්දියේ ඇති වන බූටෑව නිසා දැං අපට තාත්තා ව පෙනෙන්නේ නැත...!!

දවස් කිහිපයක් ම මේ අකාරයට ගෙවී යන්නට ඇත. තාත්තා එන්නට මහ රෑ වීම ද, ලොකු තාත්තාගේ බල් බල් ගෑම තුනී වන්නේ ද එක ම රටාවකට ය. දැන් දැන් හැන්දෑ යාමයේ ලොකු තාත්තාට අයත් විසාල රේඩියෝව ද ගීත ප්‍රචාරය කරනු ඇසෙයි. ඉඳ හිට දවසක ආච්චී ද තාත්තා සමග ගෙදර එන්නී ය. ඒ අප පාසැල් ගිය අතර වාරයේ ඈ ද තාත්තා ගිය දෙසට යන නිසා ය.

මේ තාත්තා යන්නේ කොහේදැයි අප දැන ගන්නේ ඊටත් දවස් කිහිපයකට පසුව ය...!!

Share/Bookmark

5 comments:

  1. හ්ම්ම්ම්....

    ඇයි මහත්ත්යෝ පසුගිය කාලේ මූසල විදිහට ගෙවිලා ගියා කියා තිබුනේ...?
    අබග්ග දුක් කරදර අපටත් බොහෝ...
    මෙහෙමවත් බෙදා හදාගෙන දුක් තුනී කරගම්මු...

    ReplyDelete
  2. xxxකථාවට කලින් තිබුන කොමිටුව කියෙවුවම හිතට මහා බරක් වගේම කුතුහලයක් එක්ක ඈදුනු ශෝකයක් දෑනුන ...පසු ගිය දවස් මහ මූසල විදියට ගෙවිල ගිය කියල කිව්වම.. කථාව කියවනකොට අදත් නම් නෙත් තෙත් උනා. ලියන එක අරුමයක් නෙවෙයි ..ඔබ දක්ෂ යෙක් නිසා...එත් මට හිතා ගන්න බෑරිම කොහොමද මේ තරමටම ඔබේ මතකය තුල හෑම සිද්දි දාමයක්ම නිධන් වෙලා තීබුනේ කියල. අදත් හරි අපුරුවට ලියල .... ..පෑහෑදිලි මනසින්යුතුව තව තවත් ලියන්න හෙතු වාසනා වේවා ...ඔබට ජය xxR Dharmalatha Ranasingha Axx

    ReplyDelete
  3. 24, 25 එකවර කියවීමි.. යලිත් මගේ කතාව පණ ගසා සිටීම සතුටකි...

    අපූරුය...

    දුක් කරදර තුනී වෙත්වායි පතමි ...

    ReplyDelete
  4. mata sinhala fonts walin liyanna be. mama hemedama kathawe ithuru tikia kiyawanna balan innawa. It’s really excellent. Very touching. Keerthi from Dubai

    ReplyDelete