Wednesday, September 7, 2011

"සරණ"

එකළ අපට සති අන්ත නිවාඩුව ලැබුනේ පෝය අනුව ය. පෙර පෝය සහ පෝය ලෙසිනි. අමාවක., අටවක, පාලොස්සක, අව අටවක යනු මේ පෝය නිවාඩු දවස් ය. සමහර සතියකට දින අටක් යෙදුනේ මේ පෝය නිවාඩු අනුව ය. එකළ කැළැන්ඩරය සැකසී තිබුනේ ද මේ පෝය අනුව ය. නමුත් නිවාඩු දින ලකුණු කොට තිබුනේ අපිළිවෙලට ය.

එක්තරා පෝය නිවාඩු දවසක තාත්තා අප තුන් දෙනාව ම බයිසික‍ළයේ පොල්ලේ වාඩි කරවාගෙන, අප පුදුමයට පත් කරවන ගමන එක්කන් ගියේ ය. තාත්තා ද අප ද සමග බයිසිකළය බුද්ධංගල හන්දියෙන් ඉහළට පැමිණ, තරමක් කන්දක් තරණය කොට හොල්මන් ගල ළඟට පැමිණියේ ය. එතැනින් වම් පැත්තට බෑවුමක් සහිත ගුරු පාරකි. බෑවුම කෙළවර පිරිමි නේවාසිකාගාරය හෙවත් විශාල තනි ගොඩනැගිල්ලක් වන ඩෝමැට්‍රිය පසු වෙයි. ඉන් පසු කුඩා වන බූටෑවකි. එහි හරි හමන් පාරක් නැත. තාත්තා පමණක් ආ ගිය ඒ අඩි පාර දිගේ බයිසිකළය පහළට පැමිණෙයි. ලොකු ගල් දෙබොක්කාවකින් පසු තාත්තා බයිසිකලය නවත්වයි. අපි ඉන් බැස ගත්තෙමු. එතැන කම්බි වැටකි. ඉන් පසු එහි කම්බි වැටේ ඇති කම්බි පේළිඈත් මෑත් කරගෙන අපි රිංගාගෙන මෙහා පැත්තට පැන්නෙමු. තාත්තා සරම ඔසවා දෙපරන්දේ ගසා ගෙන පළමුව බයිසිකලය ඔසවා මෙහා පැත්තේ තපා, ඊට පසු කම්බි වැටට උඩින් මෙහා පැත්තට පැන්නේ ය.

දැන් අප ඉදිරියේ තරමක් ලොකු ශාලාවක් වැනි ගොඩනැගිල්ලක් දර්ශනය වෙයි. ලොකු ලී කණු පෙළකින් සුසැදි එහි මත පොල් අතු උඩින් ඉලුක් සෙවිළි කළ වහලයකි. (ඉලුක් යනු ගොයම් ගසට ම සමාන විශාල තණ පඳුරු විශේෂයකි. ඒවා වැඩෙන්නේ මුලු යායක් පුරා ම ය. ගවයන්ගේ රස බොජුනක් වන එහි දිගටි කොළ වේලුණු පසු ඉක්මණින් දිරන්නේ නැත. එනිසා වහළ සෙවිල්ලන්නට එයින් ලැබෙන්නේ අසීමිත ප්‍රයෝජනයකි.) මුලු ගොඩනැගිල්ල වටා ම කොට වරිච්චි බිත්තියකි. (වරිච්චි යනු ලී පන්දලම් - සිහින් කෝටු - එකතු කර සාදා ගත් රාමුවක් මත මැටි ගුලි එබ්බවීමයි.) අපි තාත්තා ද සමග ඒ ගොඩනැගිල්ලට ඇතුලු වෙමු. අවට දැඩි දාහයකින් යුක්ත වුව ද ඒ තුළ අපට මහා සුව දායක බවක් දැනේ. අප වටපිට බලන්නෙමු. බිමට ගොම මැටි ගා ඇත්තේ ඊයේ පෙරේදා වන්නට පුලුවන. එහි තෙත ගතිය දෙපයට ද, නැවුම් ගොම සුවඳ ද නාසයට ද දැනෙයි. ශාලාව පුරා ම බංකු පුටු පේළි කිහිපයකි. එහි එක් කෙළවරක් යළි කොට බැම්මකින් වෙන් ව ඇත්තේ ය.

ශාලාව මැද උහන නිවසේ තිබුණු තාත්තාගේ තේක්ක ලියන මේසය විරාජමාන වෙයි. කොට බැම්මෙන් ඇතුලේ උහන නිවසේ තිබූ පුටු සැට් එක ද, අප එක රොත්තට නිදා ගත් ඇඳන් දෙක ද එක ළඟින් ගාල් කොට තිබෙනු පෙනෙයි...!!



අපි මුලු ශාලාව පුරා ම රිසි සේ ඇවිද්දෙමු. මේ අපගේ පළමු පැමිණීම වුව ද, මිදුල ද අපට හුරු පුරුදු ආකාරයක් දැනෙයි. ශාලාවට ඇතුල් වන තැන විසල් කණුවේ තරමක බෝඩ් ලෑල්ලකි. එහි කළු පසුබිමේ සුදු අකුරින් "සරණ" යනුවෙන් ලියා තිබෙන්නේ තාත්තාට ම ආවේණික අකුරු ශෛලියෙනි...!


මිදුලේ ශාලාවට ආසන්න පෙදෙස එඵි පහළි කර තිබුණ ද, එතැනින් එහාට ඇත්තේ අපටත් වඩා උස ඉලුක් පඳුරු මානාවකි. ශාලාව ඇතුලේ සිට ඇඳන් තිබෙන පැත්ත දෙස බැලූ විට, වම් අත පැත්තෙන් තරමක් ඈතින් විශාල පළු ගසක් පෙනෙයි. උස කඳ කෙළවර අතු පතර විහිදී ඇති එය මහා පෞරුෂයක් දනවයි. ඊට බොහෝ ඈතින් මහ වදුලක් යටින් අම්පාරේ මංගල මහා විහාරයේ චෛත්‍ය රාජයා සුදට සුදේ දර්ශනය වෙයි..

අප බයිසිකලයෙන් බැසි තැනට ටිකක් එහායින් දැවැන්ත නුග ගසක් වෙයි. එහි බිමට එල්ලී ඇති විසල් මුල් සමූහය සමග මහා අඳුරක් ද, දැඩි නිහඬ බවක් ද, දැවැන්ත ගූඨ බවක් ද අපට දැනෙයි. ඒ දෙස කෙළින් බලන්නට පවා ඇත්තේ මහා බයකි. එහි මුල් අස්සෙන් පැන පහළ ඇති ගල් දෙබොක්කාවට රිංගන්නේ මුගටි රොත්තකි. දුඹුරු පාට හුරතල් පෙනුමකින් යුකක්ත මුගටි අතිශය කඩිසර ය. දුවන ගමන් මදක් නැවතී පාටුපස දෙපයට බර දී සිට ගන්නා ඔවුන් එකෙක් දෙන්නෙක් අප දෙස බලන්නේ මේ පැමිණි අලුත් ආගන්තුකයන් හඳුනා ගන්නට විය යුතු ය. මේ මහ නුගයට අරක් ගත් වඳුරු රංචුවක් ද සිටියි. උන්ගේ මුහුණ පෙනුම තරමක් බියකරු ලෙස අපට පෙනෙයි. ඒ විසල් රංචුවක් ම සිටිනා නිසා වෙන්නට පුලුවන. ගස් අතු අස්සෙන් මුහුණ දමන නාහෙට නාහන දැවැන්ත වඳුරු පොව්වෙක්, සිය කහට බැඳුණු දත් විලිස්සාගෙන "කැක්කෝ කැහ්.." ගාමින් මහ හඬක් නගයි..! ඒ අතරේ මව් වැඳිරියන්ගේ බඩේ එල්ලී සිටින කුඩා වඳුරු පැටව් "චීස්..චීස්.."ගායි..! අළු පාට සිරුරකින් හෙබි මේ වඳුරන්ගේ මුහුණ කළු පාට ය. ඉහළට එසැවුණු අමුතු කොණ්ඩ විලාසිතාවක් උන්ට හිමි ය. බිම වාඩි වන්නේ වළිගය ඉහළට ඔසවාගෙන ය. බිම දිගේ ඇවිද යන්නේ ද එසේ ම වළිගය ඔසවාගෙන ය. දිග වළිගය ඒරියලයක් මෙන් ඉහළට එසැවී අග රවුම් ව බිමට නැමෙයි. එය බලන්න ලස්සන ය.

මඳක් නිශ්ශබ්ද ව සිටි විට, අවට පරිසරය දෙවනත් කරමින් රෑහි හඬ පැතිරෙන්නට පටන් ගනී. ඒ අතරේ විවිධ කුරුළු හඬවල් ද විශාල ප්‍රමාණයක් අපට ඇසෙයි. වැඩිපුර ම ඇසෙන්නේ ද පෙනෙන්නේ ද මයිනන් සහ ගිරවුන් ය. බෙල්ලේ රතු පාට මාලයක් බැඳගෙන සිය දහස් ගනනක රෑන් ලෙසින් ගිරවු රංචු පැමිණ වන බූටෑවට පහත් වෙයි. ඉන් පසු උන්ගේ කන් කරච්චලය පැතිරෙයි.

ඉඳහිට තද කළු පාට කාක්කෙක් පැමිණෙයි. උන් ප්‍රමාණයෙන් තරමක් විශාල ය. තියුණු බැල්මක් අප දෙස හෙලන උන්, හොට ඇර මහ හඬින් කරව් කරයි. ඒ හඬ අතිශය ගොරහැඩි ය. උන් කිසි බයක් සැකක් නැති ව ශාලාව තුළට පැමිණ වහළයේ හරස් බාල්කවල වාඩි වී ඔලුව හරවමින් අප දෙස බලයි..!! උන්ගේ මාළිගාවට අප පැමිණීම ගැන තරහක් තිබෙන්නා සේ ය...

තාත්තා විවිධ වැඩවල යෙදී සිටියි. ඒ අතරේ තාත්තා කළ ගෙඩියක් ද, බාල්දියක් ද රැගෙන ඩෝමැට්‍රියට ගොස් වතුර රැගෙන ආවේ ය. පළමුවෙන් වතුර බාල්දිය ද කළ ගෙඩියද මෙහා පැත්තෙන් තබන තාත්තා යළි සරම ගුලි කොට දෙකකු‍ල් අතරේ රුවා, වැට උඩින් මෙහා පැත්තට පනියි. ක්‍රමයෙන් දවල් වෙද්දී තාත්තා උයන්නට පටන් ගනී. දර ලිපේ දුම් සුවඳ දසත පැතිරෙයි. ගින්දර අඩු වූ විට තාත්තා බිම ඇති යකඩ බටයක් ගෙන ඉන් ලිපට පිඹියි. එයින් අපට අමුතු ගීතවත් බවක් ඇසෙයි. මා ද ඒ දුම් බටය ගෙන ගිපට පිඹිමි. නමුත් "හෝස් ..හෝස් .." හඬ මිස තාත්තා පිඹින ගීතවත් බව මට නොඇසෙයි. දුම් වැදී දෑස් කඳුලු ගලන විට මහා වේදනාවක් දැනෙන්නට පටන් ගනී. නමුත් තවමත් මම ඒ දුම් සුවඳට සහ ඇස් දැවිල්ලට ආසා කරමි..!! ඒ මත තිබෙන නෑඹිලියෙන් වැසූ මුට්ටිය ගොජ දමයි. එහි බත් සුවඳ බඩ ගිණි ඇති කරයි. අපි තාත්තා උයන දෙස බලා සිටිමු. අයියා තාත්තාට යම් යම් උදව් දෙයි. ඉඳහිට තාත්තා අපට කිසියම් දෙයක් කියයි. කොරහේ ඇති බොර වතුර වීසි කිරීම, පෙරලී ඇති හට්ටියක් කෙළින් කිරීම වැනි "බර වැඩ" ඊට අයත් වෙයි.

මුල් දවසේ දිව්‍ය භෝජනය වළඳන්නට අපට පිඟන් තිබුණේ නැත. මම මැටි හට්ටියේ බෙදූ උණු බත් කෑ අතරේ අයියා බත් කෑවේ නෑඹිලියට බෙදාගෙන ය. පාලිත කුඩා නිසා තාත්තා ඔහුට කැව්වේ ය.

සවස් වරුවේ තාත්තා සමග අප සැම ළඟ පාත තිබෙන පොඩි ඇලකට ගොස් ජබු ගසමින් නා ගත්තෙමු. ඉන් පසු තුන් දෙනා ම, යළි බයිසිකළයේ පො‍ල්ලේ වාඩි වී ලොකු තාත්තාගේ නිවසට පැමිණියෙමු. අප එහි බැස්ස වූ තාත්තා යළි තම මාළිගාව බලා පිටත් විය..

දැන් අපට මහා වැඩක් ඇත්තේ ය. ඒ වසන්තයියා ඇතුළු නඩයට මේ පරිසර වර්ණනාව කිරීම ය....අතින් පයින් යන වියදමක් යැ.. මම වඳුරන්ගේ සයිස් එක කියන විට වසන්තයියාගේ ඇස් ඇරුණු ප්‍රමාණය අදත් මට ඒ වාගේ ම මතක ය...!!!

Share/Bookmark

6 comments:

  1. අතීතයේ මතක සුවඳ....ගැමි කමේ අපූරුව... මේ දේවල් අත්විඳලා නැති උනත් හීනයකින් වගේ දැනුනා කතාව කියවද්දී...තේනුවර සර් ගේ භාෂා විලාසය හරිම අපූරුයි...

    ReplyDelete
  2. ඔබතුමා මැටි හට්ටියට බත් කද්දි මමත් කනවා වගේ හැඟේමක් තමය් මට දැනුනේ. තම්න්ගෙම තැනක ඉදෙන බත කොහොමත් හරිම රස්ය්. වෙලාවකට දුක වාවගන්න බෑ වගේ දැනුනත්, ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
  3. අනේ ඉන්ද්‍රනාත් අයියේ.... සති දෙකකට එකක් ලියන්න යැයි අයාචනය කරමි....

    මම වඳුරන්ගේ සයිස් එක කියන විට වසන්තයියාගේ ඇස් ඇරුණු ප්‍රමාණය අදත් මට ඒ වාගේ ම මතක ය...!!!

    හික් හික්... ඒ කාලෙත් නයි දෙයියා වගේ ඈ.... :D :D :D

    ReplyDelete
  4. Dharmalatha ranasingha ASeptember 11, 2011 at 2:58 PM

    xxඔබගේ බ්ලොග් අඩවියට දවස ගානේ එබිකම් කරල හිස් අතින්ම් ආපහු ආව සති ගානක්ම.ඊට පස්සෙ නවත්තලම දෑම්ම දවස ගනේ එබිකම් කරන එක. අද මේ අහම්බෙන් වගේ එබුන , කාලේකට පස්සෙ ඔබ ඇවිත් ගිහින් අතීත මතකෙන් ටිකක් තවරල , හරිම සතුටක් දෑනුන ලියල තියනව දෑක්කම .. එක හුස්මට කියෙවුවා මහ රෑ කියල බලන්නෙ නෑතුව. මේ දින වල ඔබ අවිවෙකී නිසාමද මන්ද වෙනිදට පාඨකයාගේ හදවත් තදින් ස්පර්ශ කරමින් ලියන ඔබ මෙවර අපේ කරදරෙන් බේරෙන්න වගේ නොලිය බෑරිකමට ලිවුවා වගෙ කලබලෙන් ලියල කියල මට හිතුන. මුල් කොටස් වගේම අපිට තදින් දෑනෙන්න,ඉස්සර ලිවුව වගේම අතීතය නිවි සෑනසිල්ලේ ග්‍රහණය කර ගෙන ලියන්න.ඔබට ජය සතුට සාර්ථකත්වය සමග දීර්ඝායුස ම වේවා..xx

    ReplyDelete
  5. නියමට ලියලා තිනවා සර්...
    ආයි ගම පැත්තේ යන්න මතක් උනා...

    ReplyDelete
  6. ජිවන අන්දරය තරම් සොඳුරු නවකතාවක් තව කොයින්ද . අප අතීතය ස්මරණයට කැමති එහි ඇති දුක් සේම සැපද දෙස අද මැදහත් සිතින් බලන්නට හැකිකම නිසාය .

    ReplyDelete