Monday, October 10, 2011

නිවාඩුව අබියස..

කාලය ගෙවී යන්නේ සෙමිනි. කිසිවක් අලුතින් සිද්ද නෙවුනේ ද, නැතිනම් ඒවා මගේ මතකයෙන් ගිලිහී ගොසින්දැයි කියන්නට තරම් නිච්චියක් මට නැත.

ජීවිතයේ කිසිදු බරක් පතලක් නොදැනී ගෙවී යයි. අපි සිරිත් පරිදි උදෑසන අවදි ව සියල්ලන් ම සමග රොත්තක් මෙන් සුපුරුදු මාවත දිගේ ම පාසැල් යන්නෙමු. කට්ට දවාලේ ගිණි කූටක අව්වේ වගේ වගක් නැති ව යළි ගෙදර එන්නෙමු. අප එතරම් දඟ කාරයන් නොවූ නිසාවෙන් අතුරු ආන්තරා ද අඩු ය.

හැන්දෑවට ලොකු තාත්තලාගේ ගේ ඉදිරිපිට පිට්ටනයට රැස් වන කොලු කුරුට්ටන් රෑණ ම සමග අපි ඇති පදම් දුව පැන සෙල්ලම් කරන්නෙමු. අවට ගෙවල් දොරවල්වල වැට මායිමේ ඇති ගඳ පාන, මා දං, බෝවිටියා, පඩවැල්, පැෂන් ෆෲට් වැනි ගඩා ගෙඩි ඇති තරම් කන්නෙමු. ඇඳිරි වැටුනාට පසු ආච්චිගේ ගෝසාවට අවනත ව අපි ගෙට ගොඩ වන්නෙමු.

තාත්තා දැන් මෙහේ එන්නේ දවස් දෙක තුනකට වරකි. එද හැන්දෑවේ ය. එසේ පැමින බොහෝ වේලා අප දෙස බලා සිටියි. ඉඳ හිට ආච්චීත් සමග කතා බහ කරමින් සිට, ලොකු තාත්තා එන්නට කලින් යළි පිටත් ව යයි. එවැනි දවසක හැන්දෑවක ආච්චි ලොකු කතාවක් කීවේ ලොකු තාත්තාට නෝක්කාඩුවක් ලෙසිනි.

"ඊයේ රාත්තිරියෙ ගුණතිලක බූරු ඇ‍ඳේ නිදං හිටිද්දි ඔඩොක්කුවට ලොකු හීතල ගුලියක් වැටුනලුනෙ බං...."
ඊට පසු දිග නිහැඬියාවකි....කිසිවෙක් කතා කරන්නේ නැත. ආච්චි ඉතිරි ටික කියනාතෙක් නිසොල්මනේ අසා සිටිති.....
"දඩස් ගාල සරම ගසා දාල බැස්ටිය ගහල බැලුවම තඩි පොළඟෙක්ලුනෙ....!!!!"

අප ද දැන් ඉහළට ගත් හුස්ම පහළට නොහෙළා අසා සිටින්නේ බය බිරාන්ත ව ය.

"ඌට පිස්සු....මේ හැතිකරේ එක්ක වැටිල ඉන්නෙ නැතුව ගියානෙ අපට පාඩං උගන්නන්න...හුහ්" ලොකු තාත්තා එසේ කියමින් තුහ් ගා කෙළ පාරක් මිදුලට දමා ගසයි...

"අයිය උනාට උ‍‍ඹේ කතා අහං ඉන්න ඇහැක ඌට..."
ආච්චී කියන්නේ ඉතා සෙමිනි.
ලොකු තාත්තා ඉන් පරල වෙයි. සරම පිටුපස්සෙන් ඔසවාගෙන හයියෙන් හයියෙන් ඉස්තෝප්පුව පුරා ඇවිදියි...සුරුට්ටුව උරන වාර සංඛ්‍යාව ද, කෙළ විදින වාර සංඛ්‍යාව ද වැඩි වෙයි...

"මේ හැතිකරෙත් අරං උඹත් තොලොංචි වෙන එකයි ඇත්තෙ ඌ ඉන්න දිහාකට ම...."

ඉන් පසු නැවත දිග නිහඬතාවයකි. කිසිවෙක් කිසිවක් ම කියන්නේ ද හ්ම් හඬක් නගන්නේ ද නැත. ආච්චී ද නිසොල්මනේ ම කුස්සිය දෙසට ඇවිද යන්නී ය. මට මහා අසරණ කමක් දැනේ. මේ කියන වචනවල ලොකු බරපතලක් නොදැනුන ද, එහි ලොකු විජ්ජුම්බරයක් ඇත යන සිතිවිල්ල සිත පුරා හොල්මන් කරයි..එසේ සිටිනා අතර වාරයේ ම නින්ද අප ළඟට පැමිණෙන්නේ කිසිදු වාද බේද නොක්කාඩුවකින් තොර ව ම ය..!

ඉනික්බිති පසුදා හිමිදිරියේ ඉර උදා වන්නේ ඊයේ කිසිවක් ම සිදු නොවූ ආකාරයට ය. අපට ද ඒවා එතරම් වැදගත් ද, මතක ද නැත. උදේ පාන්දර එක රොත්තට අවදි වන අපි, එක රොත්තට පාසල් යන්නෙමු..

මේ තුන්වන පාසල් වාර අවසානයයි...
දැන් එළැඹෙන්නේ පාසල් නිවාඩු කාලයයි...

පාසල් නිවාඩුව ඇරඹි පළමු දා ම තාත්තා පැමිණ අප සැවොම බයිසිකලයේ නංවාගෙන තාත්තාගේ නවාතැනට රැගෙන ගියේ ය. සදා කල් වෙන්වීමක් නොවූව ද වසන්තයියා ඇතුලු නඩයෙන් වෙන්ව යාම සිතට දැනුනු බරක් ම විය. නමුත් තාත්තා අප තුන් දෙනාව ම බයිසිකලයේ පොල්ලේ වාඩි කරවාගෙන, හොල්මන් ගල කන්ද තරණය කරද්දී, වෙහෙස නිසා වේගයෙන් හුස්ම ගත් ආකාරය අදත් මට ඒ ආකාරයෙන් ම මතක ය. ‍
බයිසිකල පො‍ල්ලේ මුලින් ම සිටන පාලිතටත්, කෙළවර සිටින අයියාටත් වඩා මැද සිටින මට දෙකට නැවී හති දමමින් බයිසිකලය පදින තාත්තාගේ තද හුස්ම පහර හිස මත පතිත වනු දැනෙයි. ඒ සමග තාත්තාගේ ජීවන සුවඳ ද දොරේ ගලමින් මගේ හිසේ සිට පාදාන්තය තෙක් වැගිරෙයි...මට ඉන් මහත් වූ ආහ්ලාදයක් දැනෙයි.

කිසියම් හෝ කාරියක් කොට මහත්සේ වෙහෙස ව තදින් හුස්ම හෙලන හැම වාරයක ම මට තාත්තාගේ ඒ සුවඳ දැනෙන්නට පටන් ගනී. එවිට මා සිත පුරා ඇති සියලු වෙහස මහන්සි ක්ෂණයකින් පහව යනු මට දැනෙයි..


Share/Bookmark

11 comments:

  1. කාලෙකින් ලියල.... ස්තූතියි ඔබට....

    ReplyDelete
  2. DHARMA LATHA RANASINGHA AOctober 10, 2011 at 1:11 PM

    බොහොම කාළයකින් ලියල තියනව දෑක්කහම සතුටක් දෑනුන. මම හෑමදාම එනව මේ පෑත්තෙ ..ඒත් යනව හිස් අතින්ම .. තේරෙනව අවිවේකි බව එත් බලාගෙන ඉන්නව කියවන්න දිගටම ....බොහොම දයාබර ඉල්ලීමක් ලියන්න දිගටම ..කඩින් කඩ නවත්වන්නේ නෑතුව.....ලිව්වාට ස්තුතියි වගේම දිගට ලියන්නට අවස්ථාව ලෑබේවා ...මතක ශක්තිය වෑඩිදියුණු වේවා..දිර්ඝායුස ලෑබේවායි ප්‍රාර්ථනා කරනවා මම ...

    ReplyDelete
  3. පළවෙනි වතාවටද කොහෙද මම මේ පැත්තට ආවේ.
    වැස්ස දවසක තාත්ත මාව තියාගෙන ඉස්කෝලෙ ඇරිලා බයිසිකලේ පදිද්දි, දෙන්නම පාර අයිනෙ වතුර කානුවකට බයිසිකලෙත් එක්ක වැටුන හැටි මතක් වෙලා, අවරුදු පණහක් විතර අතීතෙට ගියා.

    ReplyDelete
  4. මේක කියෙව්වම තාත්තා මාව දාගෙන බයිසිලක් එක පැදපු හැටි මතක් වෙනවා...

    ReplyDelete
  5. මගේ අතීතය නැවත මතක් උනි .මගේ පප්පා මව බයිසිකලයේ පොල්ලේ වාඩි කරවාගෙන 25KM විතර දවසට එහෙට මෙහෙට පදිනවා .උදේම පාසලටත් පසුව පප්පලගේ මහා ගෙදරටත් ඊටත් පස්සේ අපි ඒ කලේ හිටපු අම්මලාගේ මහා ගෙදරටත් උදේ හවස බයිසිකලයේ පදින හැටි මට මතක් උනා.දෙමාපියෝ අපව ලොකු මහත් කරන්න කරපු දේවල් කොච්චර කියල ලින්නද .තේනුවර මහතාණෙනි ඔබට ගොඩක් තුති මෙම ලිපිය පල කිරීම සම්බන්දයෙන් .

    ReplyDelete
  6. අද තමයි මුලින්ම ආවෙ...එක දිගටම ඔක්කොම ටික බැලුව.මගේ අතීතයට නැවත ගියා.

    ReplyDelete
  7. මමත් බ්ලොග් ලෝකෙට මුලින්ම එබිකං කලේ ඔබේ බ්ලොග් එකෙන්
    මේ ලියන රටාවනම් උපරිම අව්‍යාජයි, ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්න...තේනූ මාමෙ.. කාලෙකින් ආවෙ... අපේ පැත්තෙත් ඇවිත් යන්ඩ එන්ඩකො

      Delete
  8. ඔය සුවඳ දැනෙයි ජීවිතය පුරාවටම සත්තයි..අත්දැකීමෙන් කියන්නෙ...
    අදයි ගොඩවැදුනෙ මේ පැත්තෙ..ආයි එන්නම් වචන වලට පෙරලපු ජීවිතය කියවන්න ඉසුබුවක් ලද ඇසිල්ලක..හැකි ඉක්මනින්..

    ReplyDelete
  9. බුද්ධිගේ සිත්තර ප්‍රදර්ශනයෙන් තමා මෙහාට අද ඉස්සල්ලාම ආවේ. හරිම ලස්සනයි ලියලා තියන හැටි. ඒත් මේ පොස්ට් එකත් ටිකක් පරනයි නේද? අලුතෙන් ලියන්නේ නැද්ද?

    ReplyDelete
  10. වැඩ රාජකාරි ගොඩකටත් වඩා, පොත ලියන එකට මුල් තැන දෙන්න උනා..පොතක් ලියන අතර වාරෙ යළි මේ වගේ එකකට ඔලුව හරවන්න අමාරුයිනෙ..
    දැන් එක පොතක් ලියල ඉවරයි. ඉතිරි දෙකේ වැඩ පටන් ගන්න කළියෙන් ලද මේ නිවාඩුවෙදි ආයෙ මේ කතාව ලියන්න පටන් ගන්න ඕනෙ. හැමෝට ම බොහොමත් ම ස්තූතචියි මාව බලන්න ගොඩ වැදුනාට..!!!

    ReplyDelete