Friday, August 5, 2011

25 ආරෝව..

කාලය ගෙවෙන්නේ සෙමින් වුව ද, කිසියම් වෙනසක් සිදුවනු මට දැනෙයි. ලොකු තාත්තා හැම විට ම නොසන්සුන් ව හැසිරෙයි. සුලු දෙයටත් කෝප වෙයි. අපට නැතත් කාට හෝ බැණ වදින්නේ ද සැර පරුෂ හඬකින් නොව, නොපැහැදිලි, පැටලිලි සහගත වාග් මාලාවකිනි. ලොකු තාත්තා ගෙදර එන්නේ අපේ තාත්තාට කලිනි. ලොකු තාත්තාගේ හැසිරීම් රටාව තාත්තා ගෙදර එන වෙලාව වන සන්ධ්‍යා කාලයෙහි දී වඩාත් උග්‍ර වෙයි. තාත්තා ගඩොල් දෙකේ පළලට තැනූ බිත්ති කණ්ඩිය මත වාඩි වී එක කුලක් පහළට එල්ලාගෙන, අනිත් කකුල නවා කණ්ඩිය මත තබාගෙන. එක් අතක් දිග හැර ඒ නැවුණු කකුලේ දණිස්ස මත තබාගෙන, අනිත් අතින් ඒ කකුල බදාගෙන, නිසොල්මනේ බොහෝ වේලාවක් දැඩි කල්පනාවක එල්බගෙන සිටීම ද මට දැනෙන්නේ විශාල අභාග්‍යයක් අත ළඟට ම පැමිණියා සේ ය.

ලොකු තාත්තාගේ බල් බල් ගෑම වැඩි වන විට තාත්තා කණ්ඩියෙන් බැස පිට්ටනිය දෙසට පියමං කරයි. පැතිරෙන අඳර මැද අපට තාත්තා ව පෙනෙන්නේ ද අඳුනා ගත නොහැකි රූපයක් ලෙසිනි. පවතින වාතාවරණය සුව දායක නොවන නිසා ලොකු තාත්තාගේ පවුලේ අය ද, අප ද කතාවක් බහක් නැති ව නිසොල්මනේ ම කාලය ගෙවන්නෙමු. හොඳට ම රෑ බෝ වූ පසු, ආච්චි මිදුලට පැමිණ ඇයට හැකි පමණ ලොකු හඬකින් කෑ ගසන්නී ය....“ගුණතිලක.......අ...අ..අ..අ.“

නමුත් තාත්තා එන්නේ නැත...

අප නිදි කිරා වැටෙන මොහොතවන විට ලොකු තාත්තාගේ චරු චුරුව නවතියි. කලින් තාත්තා වාඩි වී සිටි තැන සුරුට්ටුව හපමින්, කෙළ විදිම්න් ලොකු තාත්තා වාඩි වී සිටියි. ආච්චී පැමිණ අප එකිනෙකා තුරුළු කර ගනිමින් හිස් අත ගාමින් සිටින්නී ය. ආච්චී ලොකු තාත්තාට කිසිවක් කියන්නේ ද නැත. ලොකු අම්මා ද නිෂ්ශබ්ද ය. නිතර කටට කමසෙයියාරුවක් නැති ව කියවන වසන්තයියා ද නිහඬ ය. ලොකු තාත්තා කණ්ඩියෙන් බැස, කිසිදු තාලයක් නැති ගී ඛණ්ඩයක් මුමුණමින් ගේ තුළට පියමං කරයි. ඊට ටික වේලාවකට පසු තාත්තා හෙමි හෙමින් ගාටමින් ගෙට එයි. කිසිවක් නොදැනුන ද ඊයම් බරුවක් ඇස් දෙක තිබෙන තැනින් ගිලා බැස, ගලනාලය ද, අමාශය ද පසු කරමින් උදරයේ පතුළට ම යන සියුම් වේදනාවක් මට දැනෙයි...! ඉන් පසු මට දැනෙන්නේ පොළොවෙන් පියවර ගනනාවක් ඉහළට විත් පා වෙමින් යන බවකි. ඒ තාත්තා අඩ නින්දේ සිටින මාව ඔසවාගෙන ගෙට යන නිසා ය...

දවස් දෙක තුනක් ම යන තෙක් තාත්තා පැමිණියේ මහරෑ ය. සමහර විට අප තාත්තා ව දකින්නේ උදේ නැගිට්ට විට ය. තාත්තා අපත් සමග ම බයිසිකලය ද තල්ලු කර ගෙන ගෙදරින් පිටවෙයි. අප කච්චේරිය පාරට හැරුණු විට, තාත්තා සරම මැදින් අත තබා, පය ඔසවා, සීට් එක උඩින් කරකවා කකුල ගනිමින් හරි බරි ගැහී වාඩි වෙයි. ඉන් පසු පැඩලය පිටු පස්සට වටයක් කරකවන තාත්තා ගැම්මක් ගෙන ඉදිරියට තල්ලු වෙයි. තාත්තා ඉදිරියට ඇති පාර දිගේ හොල්මන් ගල දෙසට යයි. මේ හතරමං හන්දියේ ඇති වන බූටෑව නිසා දැං අපට තාත්තා ව පෙනෙන්නේ නැත...!!

දවස් කිහිපයක් ම මේ අකාරයට ගෙවී යන්නට ඇත. තාත්තා එන්නට මහ රෑ වීම ද, ලොකු තාත්තාගේ බල් බල් ගෑම තුනී වන්නේ ද එක ම රටාවකට ය. දැන් දැන් හැන්දෑ යාමයේ ලොකු තාත්තාට අයත් විසාල රේඩියෝව ද ගීත ප්‍රචාරය කරනු ඇසෙයි. ඉඳ හිට දවසක ආච්චී ද තාත්තා සමග ගෙදර එන්නී ය. ඒ අප පාසැල් ගිය අතර වාරයේ ඈ ද තාත්තා ගිය දෙසට යන නිසා ය.

මේ තාත්තා යන්නේ කොහේදැයි අප දැන ගන්නේ ඊටත් දවස් කිහිපයකට පසුව ය...!!

Share/Bookmark

Wednesday, August 3, 2011

24. පාසල් ජීවිතය.

ලොකු තාත්තලාගේ ගෙදර ඉදිරිපිට පිට්ටනිය හරහා පියමං කරන අප පළමුවෙන් ම පැමිනෙන්නේ බුද්ධංගල හන්දියට ය. එතැනින් වම් පැත්තට ඇත්තේ අම්පාර මහ රෝහලට යන මාවත ය. ඉදිරියට ඇත්තේ හොල්මන් ගල හරහා නගරයට යන මාවත ය. දකුණට ඇත්තේ කච්චේරිය පාර ය. මේ ස්යලු පාරවල් අඟලේ ගල් දමා තලා, ඊට උඩින් තාර තට්ටුවක් දමා සකසන ලද මාවත් ය. ඒවා රළු ය. නමුත් වළවල්වලින් තොර ය. තරමක බෑවුමක් සහිත මේ පාර දිගේ ඉහළට යන අපි, කච්චේරිය පසු කරමින් හතරමං හන්දියකට පිවිසෙන්නෙමු.

මේ පාරක වාහනයක් ගියේ ඉතා ම කලාතුරකිනි. බයිසිකල් බොහෝමයක් තිබුණු අතර, ගොන් බැඳි කරත්ත ද ඒ හා සමානව ම තිබුනේ ය. එයිනුත් වැඩි හරියක් තිබුනේ “මට්ට“ කරත්ත ය. මට්ටයින් යැයි අප හැඳින්වූයේ මුස්ලිම් මිනිසුන් ව ය. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ද, කතා විලාසය ද, බෙහෙවින් වෙනස් ය. ඔවුන් වැඩි දෙනෙකු එන්නේ සම්මන්තුරේ සිට ය. ඔවුන්ගේ කරත්ත ද අනෙක් ගොන් කරත්තවලට වඩා වෙනස් ය. කරත්තෙයේ පිටුපස තට්ටුව සාමාන්‍ය කරත්තයකට වඩා පුංචි වුව ද ඒවායේ අනිවාර්යෙන් ම ගොනුන් දෙදෙනෙකු බැඳ සිටියේ ය. උන් ද විශාල දිගු අං ඇති, ඇඟ පත හොඳින් වැඩුණු, ආඩම්බරකාර, නැඩ හරක් ය. සමහර ගොනුන්ගේ අං තට්ටුවට දිලිසෙන පිත්තල කොපු සවිකර තිබුණු අතර, බෙල්ලේ ගෙජ්ජි වැල නම් නොවැරදී ම තිබුණේ ය. උන් ළඟට යන්නට අප මහත් බියක් දැක්වූයේ උන්ගේ වස පෙනුම නිසා ය. ප්‍රමාණයෙන් විශාල වූව ද, ගොන් කරත්තවල බොහෝ විට සිටියේ එක ගොනෙකු පමණ ය. එමෙන් ම කරත්තයට වහළයක් ද තිබුනේ ය. කරත්තය යට ලන්තෑරුමක් ද, බාල්දියක් ද එල්ලා තිබුණු අතර, කරත්තයේ ගමන් තාලයට අනුව මේවා ද පැද්දුනේ ලතාවකට ය.

අප පාසල් යද්දී ගොන් කරත්තයක් අප යන දෙසට ම හමුවුවහොත් එය අපේ මහත් ආනන්දයට හේතු වෙයි. අප මුලින් ම කරන්නේ අප සතු පොත් මිටිය කරත්ත තට්ටුව මත හෝ කරත්තයේ යට එල්ලෙන ගෝනි පඩංගුව මත තැබීම ය. ඉන්පසු කුරුට්ටන් වූ අප කරත්යේ පිටු පසින් අල්ලා ගන්නෙමු. ඉධ හිට අපි එහි එල්ලෙන්නෙමු. මෙසේ අත් දෙකෙන් එල්ලී වැඩි ම දුරක් ගිය එකා අපට මහා වීරයෙකි. නමුත් එසේ එල්ලී ගිය පසු අත් දෙකට දැනෙන වේදනාව අනෙකුන්ට දැනෙන්නට ඉඩ නොතබන්නේ වීරත්වය අප අතින් ගිලි හී යන නිසා ය. අප කණ්ඩායමේ සිටි පුංචි ම එකිය වූයේ සුදු නංගී ය (අද ඈ දොස්තරවරියකි.) දෙකේ පන්තියේ ඉගෙනගත් ඈ හැම විටෙක ම මෙවැනි කරත්තයක වාඩි වී යන්නට වාසනාව ලබන්නී ය.

මේ හතරමං හන්දියේ මුලින් ම තිබෙන්නේ අම්පාර මහ තැපැල් කන්තෝරුව ය. ඉන් දකුණු පැත්තට ඇති පාර දිගේ ගිය විට අම්පාර මධ්‍යම මහ විද්‍යාලයය හමු වෙයි. වම් පැත්තේ පාර පොලීසියට ය. ඉදිරියට යාර 100ක් පමණ ගිය විට, කණිෂ්ට විද්‍යාලයයට හැරෙන අතුරු මාවත හමු වෙයි. එතැන හන්දියේ කඩ පෙළක් ද, බාබර් සැලූන් එකක් ද තිබූ වග මට මතක ය. පාසලට යන ගුරු පාර පටන් ගන්නෙ ලඳු කැලෑවකිනි. ඒ කැලෑව කෙළවර අබලන් ගේට්ටුවෙන් පසු අප පාසල් මාතාව දර්ශනය වෙයි.

මා පළමුවෙන් ම කණිෂ්ටයට ඇතුළත් වූයේ 3වන ශ්‍රේණියේ ශිෂ්‍යයකු හැටියට ය.
එතැන් පටන් එතරම් සුවිශේෂී සිද්ධීන් කිසිවක් ම නැති ව කාලය සෙමෙන් ගලා ගියේ යැයි මට සිතේ.

Share/Bookmark