Friday, December 21, 2012

මැලිබන් ලෙමන් පෆ්


දිනෙක හවස් වරුවේ ඇලෙන් නා අවසන් වූ පසු තාත්තා තවත් ගමනක් අප සමග ගියෝ ය. ඒ ඇල පාර දිගේම තරමක් දුර ගොස් අතුරු පාරකට හැරී එහි කෙළවර වූ නිවෙසකට ය. එ් නිවෙස අප අම්පාරේ දැක තිබෙන බොහෝ නිවෙස් මෙන් ම සිමෙන්තියෙන් බැඳ, ඇස්බැස්ටස් සෙවිළි තහඩුවෙන් වහළය සෙවිල්ලන ලද එකකි. නිවසේ බිත්ති ළා කොළ පාට ය. මිදුල තරමක් විසල් ය. එහි මැදින් ගෙයි මහ දොර දක්වා සීරුවට තණකොළ කපා සුද්ද කොට, රටාවට ඇමදූ පාරකි. 

තාත්තා අප බැස්සවූ පසු බයිසිකලය ගෙන සුපුරුදු පරිදි, ලැගේජයේ ස්ටෑන්ඩ් එක දිගු කර සිටවා නැවැත්තුවේ ය. ගෙයින් එළියට ආව් තරමක් කළු හින්දෑරි කාන්තාවකි. ඈ ලොකු මල් සහිත ලුංගියක් ඇඳ සිටි වග මට මතක ය. නැමී දොරෙන් එබී බැලූ ඇය "අනේ ලොකු මහත්තයා.. එන්න ගෙට.."යැයි ඉතා ම සුහද ව ආරාධනා කර සිටියා ය. තාත්තා පසු පසින් අප ඉස්තෝප්පුවට ගොඩ වූ විට ඇය "එන්න මහත්තයා. ඇයි මේ එළියෙං.. එන්න මෙහේට.."යැයි කියමින් අප ව ගේ ඇතුළට ම කැඳවූවා ය.

ගෙයි මැද සාලය තරමක එකකි. එහි මැද ටීපෝවක් වටා වූ ඇඳි පුටු හතරකි. පුටු හතර මැද එක් හිසු තැනෙක කුඩා කනප්පුවකි. මම තවත් වට පිට බලමි. සාලයේ කෙළවර බිත්තිය අයිනේ ලොකු කැබිනෙට්ටුවකි. එහි පිඟන් බඩු මහ ගොඩක් අසුරා තිබෙයි. එහි උඩ රේඩියෝවක් තිබෙයි. නමුත් එය ලොකු තාත්තාගේ වයර්ලස් එක තරම් විසල් නැත. ඊට මෙපිටින් තිර රෙදි දැමූ දොරවල් දෙකකි. මා වාඩි වූ පුටුවට ඉදිරියෙන් පියන් හතරක ජනේලයකි. ඊට ද තිර රෙදි දමා තිබෙන අතර, ඒවා සුළඟට වැනෙයි. එසේ ඇරෙන වාරයක් පාසා මහ එළියක් සාලයට දෝරෙ ගලයි.

"සර්, අපේ එක්කෙනා මේ ළඟ වත්තට ගියා. මං එයාට එන්න කියන්නං.."යැයි කියූ අර කාන්තාව අතුරු දහන් වෙයි. තරමක් වේලාවක් යනතෙක් කිසිවකු නැත. අප ද නිහඬ ව ඔහේ සිටිමු.  ටිකකින් කීප දෙනෙක් ම පියවර තබමින් එන හඬ අපට ඇසෙයි. තරමක උස කෙසඟ නොවන පුද්ගලයෙක් ‍ොරෙන් එබෙයි. ඔහුගේ ඇ‍ෙඟේ දැවටී අප වැනිම හිච්චං කොලු කුරුට්ටන් තුන් හතර දෙනෙකි. ඔහු දොර ළඟ සිටගෙන ම කැහැපට ගසා තිබූ සරම පහතට හෙලා, නැවී බොහෝ ගරු සරු ඇති ව "අනේ ලොකු මහත්තයා, මේ වත්තට හරක් රැලක් පනිනව හරි කරදරේනෙ.. වැට පොඩ්ඩක් ඒදන්න ගියා.." කියයි. ඉන් පසු ඔහු කනප්පුව ඇද තාත්තා ළඟ වාඩි වෙයි. ඔවුන් කතා කරන දේ අපට වැදගත් නැත.

ටිකකින් අර කාන්තාව ට්‍රේ එකක තැබූ පියන හැරි කාඩ් බෝඩ් පෙට්ටියක් ද සහිත ව දොර රෙද්දෙන් මෑත් වෙයි. ඈ මුලින් ම යන්නේ තාත්තා අසළට ය. ඇය නැමී තාත්තා වෙත ට්‍රේ එක පායි. තාත්තා අත දමා කිසිවක් ගනියි. ඉන් පසු ඈ අප දෙසට පැමිණෙයි. මා ද අයියා ද, පාලිත ද තාත්තා මෙන් ම ඈ අල්ලන දේ ගනිමු. ඒ බිස්කට් ය.

සුදු පැහැයට හුරු කහ පැහැති බිස්කට් එක තට්ටු දෙකකි. එහි දාර බීක්කු බීක්කු ය. මතු පිට තැනින් තැන ලොකු සීනි කැට දෙක තුනකි. මැද ඇත්තේ ද සුදු පැහැ ක්‍රීම් එකකි. ඒ අත තබාගෙන මහා අරුමයක් දුටුවා සේ සිටින අපට ඇය ඉතා ම කාරුණික ව කියයි. "කන්න පුතාලා.." අපි තාත්තාගේ මුහුණ බලන්නෙමු. ඔහු ද ගත් බිස්කට්ටුව සපයි. තාත්තා බිස්කට් එක පහන "සරස්" සද්දය ද මට ඇසෙයි. අයියා ද මාද පාලිත ද බිස්කට්ටුව රස බලන්නට පටන් ගත්තෙමු...

රස නහර පිනා යන අමුතු ම මිහිරි රසයෙකි. මීට පෙර බිස්කට් කා ඇත ද, මින් පෙර මා කිසිදු දිනෙක එවන් රසයක් අත් විඳ නැත.  එය එතරම් ම රස ය. ඒතරම් මිහිරි බිස්කට්ටුව ඒ තරම් ඉක්මණට අහවර වීම ගැන මසිත දුකක් මෝදු වෙයි. ඒ බව දැනී දෝ අර කාන්තාව යළිත් වරක් ට්‍රේ එක රැගෙන තාත්තා ළඟට යන්නී ය. තාත්තා එපා කියයි. ඊ ළඟට ඈ එන්නේ පාලිත ළඟට ය. ඔහු කිසිදු වගක් නැති ව තව බිස්කට්ටුවක් ගනියි. ඊ ළඟට ඉන්නේ අයියා ය. ඔහුද එකක් ගනියි. මා ළඟට එන්නට කළින් බිස්කට් ඉවරවේයැයි මා සිත මහත් සේ විස්සෝප වෙයි. නමුත් ඒ කරුණාබර කාන්තාව මා ඉදිරියේ නැමුණු විට කාඩ්බෝඩ් පෙට්ටිය තුළ ඇති සියල්ල මට හොඳහැටි දර්ශනය වෙයි. සුදු පැහැ කාඩ් බෝඩ් පෙට්ටියේ ඇතුළත අළු පාට ය. ඒ තුළ කෙළවරක් ඇලවූ සුදු පාට ඝණ බෑගයකි. ඒ තුළ තවත් මැදට රැළි ගැසූ කඩදාසියෙන් සැදි තීරු කිහිපයකි. ඒ අතරේ බිස්කට් ඉතා සීරුවෙන් අතුරා තිබෙයි. මම ඉන් තව එකක් ගනිමි. 

ඒ අමා රසය ඉවර වූයේ පළමු එකටත් වඩා ඉක්මණිනි. දැන් මා අසරණ ය. තව තවත් රස බලන්නට සිතුණ ද අර කාන්තාව ද පෙනෙන්නට නැත. මම වටපිට බලමි. අර කාන්තාව යළි දොර රෙද්ද දෙබෑ කරමින් මතු වෙයි. ඈ අත එවර ඇත්තේ ඔරෙන්ජ් බාර්ලි බෝතලයක් සහිත ට්‍රේ එක ය. තාත්තා අත තවම බිස්කට් කොටසක් තිබෙයි. අප දෙවන වටය ද අවසන් කොට අහවර ය. බීම බෝතලය ද, වීදුරු කිහිපය ද ටීපෝව මත තැබූ ඇය යළිත් ගෙට ගොස් නැවත බිස්කට් පැකට්ටුව ද සමග පැමිණියා ය. මගේ හිසේ මලක් පිපුණි. ඈ යළිත් මුලින් ම ගියේ තාත්තා ළඟට ය. තාත්තා "අනේ මේ ඇති බොහොම ස්තූතියි" කීවේ ය. ඊ ළඟට ඈ හැරුනේ අප දෙසට ය. "අනේ ඔය ඇති ළමයින්ට.." තාත්තා කීවේ ය. නමුත් එය අපට ඇසුනේ නැත. පිළිවෙලින් පාලිත ද, අයියා ද, මාද යළි බිස්කට් එක බැගින් ගතිමු. අප බිස්කට් කන දෙස ඈ බලා සිටියේ හිස ද ඇල කරගෙන ය. දැන් ගෙදර කිසිවකු කතා නැත. තාත්තා ද අර වැඩිහිටියා ද සිනහ මුසු මුහුණින් අප දෙස බලා සිටියි. 

"පව් දෙයියනේ.. අම්ම නැති කිරි සප්පයෝ.." කියමින් ඇය යළිත් අප වටා රවුමක් ගියා ය. අපි බිස්කට් ගතිමු. තාත්තා කිසිවක් ම කීවේ නැත. නමුත් අර කාන්තාව ගෙට ගොස් කඩදාසියක ඔතා කිසිවක් ගෙනැවිත් අයියා අත තැබුවේ ය. ඒ අර බිස්කට් පෙට්ටියේ ඉතිරි ටික ය. ඉන් පසු අපට බීම ලැබුණි. අපි ඒවා ද බිව්වෙමු. එහි අපට එතරම් අරුමයක් නොවූයේ සෑම මල ගෙදරකින් ම, නෑ ගෙදරකින් ම අපට ඒවා ලැබී ඇති නිසා ය.

කතා බහ අවසන් කොට තාත්තා යන්නට නැගිට්ටේ ය. අපිදු ඔහු සමග එළියට ආවෙමු. අප බයිසිකළයට නංවා ගත් තාත්තා කිසිවක් ම නොකියා නිහඬව ම මඳ දුරක් පැදගෙන ආවේ ය. මට එය මහා කල්පයක් සේ දැනුනි. එසේ පැමිණි තාත්තා පාර අද්දර බයිසිකලය නැවැත්තුවේ ය.

"ඉල්ලුවනං මං ඕන තරං බිස්කට් අරං දෙනවනේ බොලල්ලා..." තාත්තා කීවේ තරහින් නොව මහා කඩා වැටුණු හඬකින් බව මට දැණුනි. වෙනදා මෙන් තාත්තා හුස්ම ගන්නා හඬ ද මට ඇසුනේ නැත. එතැන් පටන් ගෙදරට එන තෙක් ම අප කිසිවක් කීවේ ද නැත. කතා කරන්නට දෙයක් තිබුනේ ද නැත.




ගෙදරට ආ විගස අයියා අර උණ්ඩි කළ පාර්සලය ලිහුවේ ය. එහි වූයේ චප්ප වූ කාඩ් බෝඩ් බිස්කට් පෙට්ටියයි. එහි පියනේ උඩ කොළ පාට පසුබිමක කහ පාට අකුරින් ඉංග්‍රීසියෙන්, සිංහලෙන් සහ දෙමළෙන් වගන්තියක් ලියා තිබුණේ ය.

Maliban Lemon Puff
මැලිබන් ලෙමන් පෆ්.


අදටත් මැලිබන් ලෙමන් පෆ් බිස්කට් දුටු විට, අතීතයේ විඳි දුක් කන්දරාවක් අතිශය මිහිරි ලෙස මගේ හදවත කීරි ගසමින් මතු ව, සැණෙකින් අතුරුදහන් වෙයි. ඒ රස මගේ ආත්මය තුළට ම කිඳා බැස ඇත්තේ ය. මා මියගොස් වසර හය හත්සීයක් ගෙවී ගිය පසු ද, අහම්බයකින් හෝ ඇට කටුවක් හමු ව, මේ කාගේදැයි සොයන්නට ඩීඑන්ඒ පරීක්ෂණයක් කළොත් මේ ඇටකටුව අයිති පුද්ගලයා මැලිබන් ලෙමන් පෆ් බිස්කට්ටුවට මේ තරම් ආසා කළේදැයි එහි සටහන් ව තිබෙනු ඇති..!

Share/Bookmark

පොළේ ගොසින් බඩු තේරීම


තාත්තා අප සමග පොලේ ගිය ද, එහෙමට මහා ලොකු බඩු කන්දරාවක් ගන්නේ නැත. ඒ අප සිඟිත්තන් තුන් දෙනාට සහ තාත්තාට එතරම් කළමනා අවශ්‍ය නැති බැවිනි. ඉඳහිට එන්නේ ආච්චි විතර ය. ඒ ආවිට දවස් දෙක තුනක් අප සමග නවතියි. පරිප්පු හොද්ද සමග මසක් මාලුවකට වඩා වැඩි යමක් රසට කන්නට ලැබෙන්නේ ඒ දවස් දෙක තුනේ ය.

තාත්තා සතියට ම සෑහෙන්නට පොල් ගනියි. ඒ ගෙඩි 10ක් පමණ ය. පළමුවෙන් ම පොල් ගොඩෙන් ලොකුත් නැති, පොඩිත් නැති ගෙඩියක් තෝරා අතට ගනියි. ඉන් පසු එහි මුඩ්ඩ පාමුල පාදා එය තෙතදැයි බලයි. ඉන් පසු තවත් පොලයක් ගෙන ඒ දෙක එකිනෙකට තට්ටු කරයි. ඊටත් පසු තෝරාගත් පොලය ගෙන හිස අසලින් තබා සොලවයි...අර තරම් මහා හඬක් නගමින් කෑ කොස්සන් දෙන වෙළෙඳ සමූහයක් මැද්දේ වුව ද මට ඒ "පොලේ අඬන හඬ" ඇසෙයි......!!

දැන් මේ පොල් ගෙඩි ටික අරෙහෙ මෙහෙ වීම වළක්වා ගන්නේ අප ය. හණ ගෝනිය ගෙන එහි කට ඇර, රවුම් දෙක තුනක් නවා ඝණකම් කරන්නේ තාත්තා ය. එහි කට ඇරගෙන අල්ලාගෙන සිටින්නේ අයියා ය. මේ ගෝනියට පොල් ගෙඩි දමන්නේ මා ය. ‍මුල් ම ගෙඩි දෙක තුන මල්ලේ පතුළට වැටී එහෙ මෙහ පෙරලෙන විට ගෝනියට පණ ලැබී ඇත්තාක් සේ මට පෙනෙයි. එය බලා සිටින්නට හරි ජොලි ය. ගෙඩි පහ හය වන විට දැන් මල්ල නටන්නේ නැත. එහි බඩ එහෙන් මෙහෙන් ඉදිමුණු හුඔහක් මෙන් පිම්බෙයි.

තාත්තා පොල් ගන්නේ පොතට ය. එනම් තාත්තා සතුව පොතක් තිබෙයි. පොල් ගණන සහ ගත් දිනය එහි සටහන් වෙයි. පොල් මුදලාලි තාත්තාගේ හිතවතකු නිසාත්, ඔහුගේ දරුවන් තාත්තාගේ ශිෂ්‍යයින් නිසාත් මේ ගන්නේ ණයට ය. ණය මුදල් ගෙවූ විට මුදලාලි එහි කුරුටු අකුරින් යමක් සටහන් කරයි.

පොල් ගණුදෙනුව අවසන් වූ පසු ගෝනිය මුදලාලි සිටින පැත්තෙන් ඔසවා තැබෙයි. ඒ එය ඔසවාගෙන මුලු පොළ පුරා ම කාල් ගෑටීම නිස්සාර, වෙහෙසකර ක්‍රියාවක් නිසා ය.

දැන් ඇත්තේ එළවලු ගැනීමේ අවස්ථාවයි. වැටකොලු කරලක් අතට ගන්නා තාත්තා එහි බඩ මැදට නිය පිටින් තට්ටුවක් දමයි. එය බල් හඬක් නොනගයිනම්, වැටකොල්ලේ දාරයක් ඇඟිලි තුඩින් කඩා දමයි. තෙත සහිත ව එය පහසුවෙන් කැඩෙයිනම් ඒ වැටකොල්ල හරි ය..!!
මුරුංගා කරලක් අතට ගන්නා තාත්තා එය සීරුවෙන් අඹරයි. එය පුපුරන්නේ නැතිනම් ගැනීමට සුදුසු ය. එසේ කළ ද ගන්නා සියලු ම මුරුංගා කරල් අඹරා බලන්නේ නැත. පොත්ත වියළි බවක් සහිත කරලක් අසු වූයේ නම් එය ඇඹරෙයි.  බෝංචි ගොඩ ළඟට යන තාත්තා එහි කරලක් අතට ගෙන, ඇඟිලි දෙකක් මැදට තබා මහපටැඟිල්ලෙන් තෙරපයි. එය "පට්" හඬින් පහසුවෙන් දෙකට කැඩෙයිනම් ඒවා ද ගන්නට සුදුසු වෙයි.  නාකි ගැමියකු මෙන් දෙකට නැමී කුදු වක ගැසුණු වම්බොටු සහ බණ්ඩක්කා තෝරා ගන්නේ නැත. ඒවායේ නැම්මේ අනිවාර්යයෙන් ම පණු ගුහා තිබෙයි. සමහර ඒවා පිටතට පෙනෙන්නේ සියුම් කළු තිතක් ලෙස පමණ ය. නමුත් කපා බැලුවොත් එහි පණු ගුලියක් ම සිටිනු පෙනෙයි. එකල බව බෝගයන්ට විස රසායන ගැහිල්ලක් සිද්ද නොවුණු නිසා මේ පණුවන්ගෙන් වන ගැහැට තරමක් ඉහළ ය.

ඊ ළඟට තාත්තා යන්නේ කරවල කඩ වෙතට ය. කරවල කෑල්ලක් අතට ගන්නා තාත්තා ඇඟිලි තුඩු දෙකින් එහි සුඟක් කඩාගෙන කටේ දමා හපා බලයි. ඉන් කිරි මාලු රස දැනෙයිනම් ඒ කරවල හොඳ ය. කරවල වර්ග දෙක තුනකින්, එකකින් අරික්කාලක් පමණ ගැනීම තාත්තාගේ සිරිත ය. (අරික්කාලක් යනු රාත්තලකින් කාලකින් ද අඩකි. ග්‍රෑම්වලින්නම් 50ක් පමණ ය.)

තාත්තා මාලු ගන්නේ ඉඳ හිට ය. නමුත් සෑම සති අන්තයක ම සහ අතර මැද දවසක හරක් මස් ගැනීමනම් කරයි. මස් කඩ තිබෙන්නේ පොළේ ඉදිරිපිට මාකට් එකේ දකුණු කෙළවරේ ය. මස් වෙළෙන්දෝ සියල්ලෝ ම මුස්ලිම් මිනිසුන් ය. ඒ නිසා එහි ඌරු මස් විකුණන්නට නැත. වැඩියෙන් ම තිබෙන්නේ හරක් මස් ය. ඊ ළඟට ඇත්තේ එළු මස් ය. කුකුල් මස් කඩයක් ඇත්තේ ම නැත. එකල අම්පාරේ සිටි අපට කුකුල් මසක රස බලන්නට ලැබෙන්නේ මගුල් ගෙදරකදී පමණ ය. කෙනෙකුට කුකුල් මස් සමග බතක් දෙනවා ය කියන්නේ ඉහළ ම සංග්‍රහයකි..!!

මස් කඩ කාරයා මස් බාගයක් කිරා ඒ මස් කුට්ටිය පත ලී කොටය මත දමා ලොකු වක් පිහියෙන් දෙතුන් වරක් කොටයි. එහි කටු තිබුණ ද, ඒ පිහියට ඒවා කැපෙන්නේ බටර් වගේ ය..! ඉන් පසු ලොකු හබරල කොළයක් ගෙන ඒ මැදට මස් ටික දමා, ඒ  අසළ ගොඩකින් තවත් මොනවාදෝ කටු කොහොල් ටිකක් ගෙන එය ද අර මස් ගොඩට දැමෙයි. ඉන් පසු ඔහු එය වහා ඔතයි. ඉන්පසු සිමෙන්ති බෑග් කඩදාසියක් ගෙන, අර හබරල කොළ පාර්සලය එහි තබා ඔතන අයුරු බලං ඉන්න අපූරු ය. ගෙදර යන තෙක් එය ලිහෙන්නේ නැත. මස් රාත්තලක් සත 20ක් 25ක් පමණ වෙන අතර මස් බාගයක් ම වන්නේ සත 12කි. එසේ වුවත්, මස් අතරට හොරෙන් හෝ මී හරක් මස් ටිකක් දමා දීම මේ මුදලාලිලාගේ ජන්ම පුරුද්දකි. මී හරක් මස් එළ හරක් මසට වඩා රතු ය. මස් තද ය. තැමුබූ පසු කට්ටට සවි වී ඇති කොටස් කීරි සහිත ය. මානම් එළ හරක් මසට වඩා කැමති මී හරක් මසට ය. කමේ මස් කෑ පසු දත් අතර කෙඳි මෙන් කැබලි රැඳී තිබෙයි. කෑමෙන් පසු වතුර ද බී, නියපොත්තෙන් පාදමින් ඒ කීරි මස් රස බැලීම හරිම ආනන්ද ජනක ය..!!

දැන් අප යළි ගෙදර බලා පිටත්වන වේලාව හරි ය. අව් රැල්ල ද, දාහය ද තරමක් වැඩි ය. බඩගින්නක් ද ලියලා වැඩෙයි. දැන් අප සිටින්නේ සහල් කඩ ඉදිරියේ ය. හාල් සේරුවක් සත 15කි. හොඳම තැම්බූ හාලක් සත 18කි. හාල් ඇට දෙක තුනක් කටේ දමා ගන්නා තාත්තා ඒවා කටින් සපනවිට "කටස්" ගා හඬක් නැගෙයි. අප හාල් තෝරන්නේ නැති වුව ද, තාත්තාට වඩා ඇට දෙක තුනක් වැඩියෙන් කටේ දමා ගන්නෙමු.

මේ හාල් ගෝනි කිහිපය අසබඩ ම තවත් එක් ගෝනියක් ඇත. එහි එක් පැත්තක් දිලිසෙන තද දුඹුරු පැහැති සහ වටේ අළු පැහැති අඟල් බාගේ පමණ කැබලිති මහ ගොඩකි. පොල්වලින් තෙල් හින්ද පසු ඉතිරි වන පුන්නක්කු නම් මේ ය. ඒවා තිබෙන්නේ හරකුන් ට දීමට ය. මීට කලින් කා බලා ඇති නිසාවෙන් එහි ඇති පැණි රසය මගේ කටට කෙළ උණවයි. හීන් සැරේ වට පිට බලා මේ පුන්නක්කු කැට දෙක තුනක් ගෙන ජංගි සාක්කුවේ දමා ගනිමි. අයියා ද එසේ කොට ඇති වග  දැන ගන්නේ ගෙදර ගිය පසු ය.

තාත්තා අවසානයට ම මිල දී ගන්නේ සිළුමිණ පත්තරයයි. එය සත 10කි..!!

ගෙදර ගිය පසු ගෙනා බඩු මලු ලිහා, ඒවා නියමිත තැන්වල අසුරන්නට අප ද උදව් වන්නෙමු. පොල් ටික ගොඩ ගැසෙන්නේ කුස්සියේ දර ගොඩ ළඟම ය. හාල් දමන්නට වෙනම ලොකු වට්ටි දෙකක් තිබෙයි. එළවලු සියල්ල වෙන වෙනම ලොකු ඇස්වට්ටියක අතුරා එහළයේ එල්ලයි. කරවල ටික දමන්නේ ලිප උඩ එල්ලා ඇති වේවැල් කිරි ගොට්ටක ය.

දැන් තාත්තා උයන්නට සැරසෙන අතර වාරයේ අයියා තමන් ගෙනා මහාර්ඝ වස්තුව අප තුන් දෙනා අතරේ ම සමසේ බෙදයි. මාද මගේ පංගුව ඊට එක් කරමි. එමේ මෙහේ යන අතර වාරයේ අපි පුන්නක්කු කැබලි කටේ දමා ගෙන සපන්නේ තාත්තාට හොරෙනි. "මොනාද බොලා ඔය කන්නේ..?"යි තාත්තා ඇසූව ද අප උත්තර දෙන්නේ නැත. තාත්තා උත්තර බලාපොරොත්තු වන්නේ ද නැත.

අදටත් යමෙක් මට හරක් කතාවක් කියා බැණ අඬ ගසන විට මගේ රස මනසට එන්නේ ම ඒ අති මිහිරි වූ පුන්නක්කු රසයයි.

Share/Bookmark

Thursday, November 15, 2012

පොළට ගිය ගමන


ඒ කාලේ සති අන්ත නිවාඩුව ලැබුනේ අද මෙන් සෙනසුරාදා ඉරිදි ට නොව පෝයට සහ පෙර පෝයට ය. කැලැන්ඩරයේ දින සටහන ද අද මෙන් පිළිවෙලට තිබුණේ නැත. මාසේ දින 30 හෝ 31 පිළිවෙලට තිබුණ ද අතර මැද ඉලක්කම් මත අඩ හඳ හෝ පුන් සඳ ලකුණු කොට තිබුණේ ය. අටවකට තිබුණේ අඩ හඳ ය. අමාවකට තිබුණේ රවුමක් විතර ය. මේ හැම පෝය නිවාඩුවකට ම පෙර දිනය පෙර පෝය නම් විය. නමුත් තාත්තා කීවේ "බැල් පෝය" කියා ය...!!

අප  සිටි සරණේ අසබඩින් පාරක් තොටක් තිබුණේ නැති නිසාවෙන් කිසිවකු පංසල් යනවා අප දුටුවේ නැත. නමුත් විඩෙන් විඩේ පංසලේ ඝාණ්ටාරය නාද වනු අපට ඇසෙයි. ලොකු තාත්තලාගේ ගෙදර සිටියදී අප ඉඳහිට ලොකු අම්මා  සහ පිරිවර සමග පන්සල් ගිය හැටි මගේ මතකයට එයි. හැන්දෑවේ බිං කලුවර වැටෙන්නට පෙර අප පංසල දෙසට යන විට, සිල් පාවාරණය කළ සිල් ඇත්තන් පය ඉක්මන් කරමින් අප පියමං කරමින් යනු මට මතක ය. අපේ වැඩිම කැමැත්ත තිබුණේ පහන් පත්තු කිරීමට වුව ද පුංචි උන් වූ අපට ඒ වාසනාව උදා වූයේ නැත.

සරණේ පදිංචියට පැමිණ උදාවන පළමු පෝය දිනය බැවින් අපට එය එතරම් ගනිච්චියක් වූයේ නැත. නමුත් තාත්තා සරමක් සහ අත්කොට කමීසයක් ඇඳ ලක ලැහැස්ති වද්දී අපට ද එය සුබ නිමිත්තක් විය. තාත්තා ලොකු පෝර උරයක් සහ ගෝනියක් ගෙන දෙකට තුනට නවා බයිසිකළයේ ලගේජයේ වූ ස්ප්‍රින් ලොකරය උස්සා ඒ තුළ රුවයි. පළමුවෙන් ම බයිසිකලයට නැගෙන්නේ පාලිත ය. සිරිත් පරිදි  තාත්තා පාලිතගේ කිහිල්ල යටින් අත යවා ඔසවා බයිසිකලයේ පොල්ල මත ස්ථිර ව සවි කොට ඇති ලෑල්ල මතින් තබයි. ඊට පසු බයිසිකළයට නගින්නේ මා ය. මම කකුල ඔසවා සීට් එක මතින් ගෙන පොල්ලේ ලෑල්ල මතින් ඉඳ ගනිමි. තාත්තා කරන්නේ ද එසේම නිසා මාද එය අනුකරණය කරන්නට දැක්වූයේ මහත් කැමැත්තකි. ඊ ළඟට අයියා බයිසිකළයට ගොඩ වෙයි. අවසන තාත්තා එක අතකින් බයිසිකළයේ හැඬලය ද අල්ලාගෙන, අනෙක් අතින් සරම මැදින් අල්ලා, සීට් එකට උඩින් කකුල ඔසවා ගෙනැවිත් වාඩ් වෙයි. ඉන් පසු පැඩලය ආපස්සට වටයක් කරකවා කකුලෙන් සටස් ගා නවත්වයි. පැඩලය ආපසු කැරකෙන විට දම්වැල සහ බල්ලන් නංවන්නේ සුමියුරු සංගීත නාදයකි. එය අසන්නට එතරම් ම ආසා හිතෙයි. ඉන් පසු ඇඟ නවා ගැම්මක් ගන්නා තාත්තා අපද සමග සුළං කපාගෙන ඉදිරියට ඇදෙයි. 

දෙපස ඉලුක් යාය මැද්දෙන් වූ අඩි පාර දිගේ ඉදිරියට යන බයිසිකලය ඉන් පසු පිවිසෙන්නේ පළල් මැටි පාරකට ය. එය කෙළවර තරමක කඳු ගැටයකි. තාත්තා දැඩි ව හුස්ම ගනිමින් මේ පොඩ් කඳු ගැටය තරණය කරයි. එය කෙළවර වන්නේ පළල් තාර පාරකිනි. මේ තාර පාර දිගේ ඉදිරියට යන අපට බඩු මලු කර ගසාගෙන එන ගැහැණුන් සහ මිනිසුන් හමු වෙයි. ඒ අතර අඳුනන නාඳුනන මිනිස්සු බොහෝ සිටිති.  අඳුනන්නෙක් පසු වන විට ඔහු මඳක් නැවතී කර මත ඇති බඩු මල්ල ද සමග ම හිස නවා බයාදු හිනාවක් පායි. තාත්තා ද හිස නමමින් ම ඉදිරියට යයි. 

ඉඳහිට මිනිසුන් පටවාගත් ලොරි බාගේ බස් රථයක් දෙකක් අප පසු කරමින් යයි. ඒවායේ වහළය මත බඩු පොදි පිරී පවතී. කාර් දකින්නේ ඉතා ම කලාතුරකිනි. ඒවා ද ඇස් ගෙඩි පිටට නෙරූ කළු පාට ඒවා ය. එහි මුහුණත් තහඩුව විසුලු මුහුණක් සිහි ගන්වයි. යටින් ඇති රිදී පාට පට්ටම මත ද කහ පාට ලයිට් එකක් හෝ දෙකක් වෙයි. අප පසු කර යන කාරයක් ඉදිරියෙන් හරවන්නට සූදානම් වෙද්දී, එහි දොර දෙක මැද්දෙන් අතක් වැනි යමක් ඉස්සෙයි. ඒ සිග්නල් දමන හැටි ය.

දැන් දැන් අපට මහා ගාල ගෝට්ටියක හඬක් ඇසෙන්නට පටන් ගනියි. එය පැහැදිළි ව කුමක්දැයි කියන්නට නොහැක්කේ බොහෝ කටහඬවල් එක ම සැරෙන් බෝහෝ දේ කියන නිසා ය. දැන් අප මේ පැමිණ සිටින්නේ මී මැසි පොදියක් මෙන් එහෙ මෙහ යන එන මිනිස් සමුදායක් මැද්දෑවට ය.....හෙවත් අම්පාරේ පොළට ය...!!!

මේ පොළ ඉදිරියේ බයිසිකල් පෝලිමකි. ඊට එපිටින් බෝන් ලී ඉහළට ඔසවා නැවැත් වූ ගොං කරත්ත පෝලිමකි. මේ ගොං කරත්ත ඉදිරිපිට හෝ ඒවායේ පැත්තකින් හෝ සිට කට අඹරවමින් විට හපන නානා ප්‍රකාර වූ ගොන්නු පෝලිමක් ම සිටියි. එකෙක් දිග උස අං තට්ටුවක් දරාගෙන ආඩම්බරයෙන් වටපිට බලයි. තවෙකෙක් ඔලුව සොලවයි. එවිට මිහිරි කිංකිණියක් නගමින් උගේ බෙල්ලේ බැඳ ඇති ගෙජ්ජි වැල හඬ නංවයි. වරෙක එකෙක් හිස බිමට හරවා උගුර යටින් ගොරහැඩි හඬක් මතු කරයි. තවෙකෙක් කකුලෙන් පස් වීසි කරයි. එකෙක් වැරෙන් හිස ගසා පිටේ සිටින මැස්සන් එළවයි. තවෙකෙක් මේ තරම් දෙනෝ දාහක් සෙනග සිටිය ද කිසිදු ගනිච්චියක් නැති ව ‍"චොර චොර" හඬින් චූ වගුරවයි. මේ චූ පහරට ඉව අල්ලන තව ගොනෙක් සිය යටි හනුව ඉදිරියට දික් කොට චූ ටිකක් කටට ගෙන මහා විකාරයක් කරයි.

පළමුවෙන් ම තාත්තා අපව පිළිවෙලින් බස්සවාගෙන, බයිසිකළයේ පස්සා රෝදය ඔසවා, ලැගේජයේ ම යට කොටස වූ ස්ටෑන්ඩ්  එක පහත් කර තද කරන්නේ කකුලෙන් ම ය. ඉන්පසු එහි රෝදය උඩ ඇති ලොක් එක අතින් තද කොට සොලවා බලයි. ඉන් පසු ගෙනා බෑග් මලු දෙක අතට ගන්නා තාත්තා පාලිතගේ අතින් අල්ලා ගනියි. මම තාත්තාගේ සරෙමන් අල්ලා ගනිමි. අයියා ලොකු මිනිහකු මෙන් අප සමග ම එයි.

පොළ භූමිය පුරා ම මිනිස්සු ය ගැහැණු ය. බඩු විකුණන්නෝ ද ගැණුම් කරුවෝ ද එක පොදියේ ය. ඔවුන්ට උඩින් පොල් අතු කෑළිවලින් තාවකාලික ව සෑදූ අතු මඩු ය. ඊට එපිටින් වළල්ල ගොඩනැගිල්ලකි. පං පැදුරු සහ වට්ටි පෙට්ටි ගොඩ ගසා ඒ මත එලූ නොයෙක් ජාති එළවලු ද, පලා වර්ග ද, අල ජාති ද අටෝ රාසියක් වෙයි. වෙළෙඳන් කරන ගැහැණු මිනිස්සු දෙගෝල්ලෝ ම තරගෙට ලාබයි ලාබයි කියති. සමහරුන් එසේ කියන විට ඔවුන්ගේ බෙල්ලේ නහර පිප්පෙයි. කෙනෙක් "එන්ඩේ එන්ඩේ..!!" කියමින් අත ද වනමින් අඬ ගසයි. ඇට ගැසුණු ඇඟ පතින් ද වළ ගැසුණු මුහුණු හකු පාඩායෙන් ද පමණක් නොව බර සාර බඩ තඩි මිනිසුන් ද ඒ අතරේ වෙයි. ‍එළවලු පහේ විකුණන බොහෝ දෙනෙක් කෑ ගසන්නේ සිංහලෙනි. ඒ අතර වාරේ තව තුන් හතර දෙනෙක් නුහුරු සිංහලෙන් ද, අතරින් පතර දෙමළින් ද මොනවාදෝ කියමින් කෑ ගසයි. දෙමළ මිනිසුන් වැඩි පුර ම කියන්නේ "වාංගෙයි අයියා.. වාංගෙයි අම්මා.." කියා ය. "ආ අන්නේ අන්නේ වාංගේ.." කියන්නෝද ඒ අස්සේ සිටියි. උන් තරමක් තරුණ ය. ඒ අතරේ එකෙක් මගේ මූණට නැමී "ආ.. සින්න පුල්ලේ.." කියයි. මෙළෝ දෙයක් නොතේරුණ ද, ඒවා ඇසෙන විට මොකක්දෝ නෑ කමක් ඇත්තා සේ දැනෙයි. .

ඒ අතරේ තවෙකෙක් කුඩා සීනුවක් "සිලිං බිලිං" හඬින් අඬවමින් අප අතරින් ගමන් කරයි. ඔහුගේ අනෙක් අතේ එල්ලී ඇති පෙට්ටියේ හතර පැත්තේ වීදුරුවලින් රෝස පාට සහ කහ පාට මොනවාදෝ තිබෙනවා අපට පෙනෙයි. සීරුවෙන් බලන විට ඒවා රැවුල් ගස් වගේ ය. වට පිට බලන ඔහු මෙසේ කියයි "බොම්බෙයි මොටේඒඒයි...!!"

ඊට එපිටින් කෙළවරක ඇන බාගෙන සිටින තව කෙනෙක් පෙනෙයි. ඔහු ඉදිරියෙන් ද අර වාගේම පෙට්ටියකි. එහි ඇත්තේ රෝස පාට, කහ පාට සහ රතු පාට තුනී රවුම් කඩදාසි වැනි ජාතියකි. ඔහු අතේ ද සීනුවකි. මහා ගාල ගෝට්ටි සද්ය මැද්දෙන් ඔහු හීන් හඬින් යමක් කියයි. "නයිඊඊඊස්...!!"

තව තැනෙක ලොකු ලෑලි තට්ටුවක් මත අර වාගේ ම වීදුරු ඇති පෙට්ටි පේළියක් පෙනෙයි. ඒ  හැම එකක ම විවිධ වෛවාරන්න ජාත් තිබෙනවා පෙනෙයි. ඇඟිලි තරම් දිග නෙක වර්ණ කොටං කෑලි, පාට පාට ඉරි සහිත බෝල සහ කොටං, එක එක පාට බෝල බෝල ජාති සියල්ල ම රස කැවිලි වග හඳුනා ගන්නට අසීරු නැත. මේ කැවිලි වර්ග විකුණන මිනිසුන් සියලලෝ ම එක ම ආකාරයේ ඇඳුමින් සැරසී සිටියි. ඔවුන් ඇඳ සිටින සරොම් කොට ය. හඩු ගැහුණු බාච්චු කමීසයක් ඇඳ සිටිනාතර ඉනේ පළල් පොකට් සහිත පටියකි. මුහුණේ නිකට අග එලු රැවුලකි. හිසේ පොඩි තොප්පියකි. විවිධ වර්ණ වුව ද ඒවායේ සැබෑ වර්ණය දකින්නටනම් හත් අට වරක්වත් සෝදා ගත යුතු ය.

රෙදි පෙරෙදි විකුණන්නෝ ද, මාල වළලු විකුණන තොරම්බෝල් කාරයෝ ද සියල්ලෝම එකම පෙනුමේ මිනිස්සු ය. ඊට චුට්ටක් එහායින් සිටින කරෝල කාරයින් ද ඒ වගේ ම ය. තමන් සිටිනා මඩුවේ වහළයේ ද, හරස් පොල් අතු බිත්ති මත ද දැවැන්ත කරෝල කූරි එල්ලා ඇති අතර, ඉදිරි ලෑලි තට්ටුව මත ද කෑලි කැපූ කරෝල කඳු ගොඩ ගසා ඇත්තේ ය. මේ මිනිස්සු ඒ කරවල අත පත ගාන්නේ ද, ඒ අතරින් යන්නේ ද රෙදි වැලක් අස්සෙන් යන්නාසේ කිසිදු වග විබාගයකින් තොරව ය. පොදුවේ ඔවුන්ට කියන්නේ "මට්ටයෝ" කියලා යැයි මා දැන ගත්තේ පසු කලෙක ය. ඔවුන් නැගෙනහිර මුස්ලිම් ජනතා නියෝජිතයෝ ය. ඔවුන්ගේ ගම් පළාත් වන්නේ සමන්තුරේ, ඕලුවිල් සහ කල්මුණේ ආදි පළාත් ය.ඊටත් එහා මඩකලපුවේ සිට එන්නෝ ද ඒ අතර වෙයි. ඔවුන් වැඩි දෙනෙක් පැමිණෙන්නේ මට්ට කරත්තවල ය. බොහෝ දුර බැහැර අය එන්නේ බස්වල හෝ ලොරිවල ය.

මේ සියලු දේ බලා කියා ගන්නට ද, පැටලුම් ඇර ලිහා ගන්නට ද මට මහා කාලයක් ඕනෑ වෙයි. තාත්තාත්, අයියාත්, පාලිතත් සමග ගිය ද ඒ මහා ජන කන්දරාව කවුරු කෙසේදැයි පැටලුම් ඇර ගන්නට මට අසීරු වෙයි. අතර මැද්දේ පනස් අවුරුද්දක් ගෙවී ගියද මා තවමත් සිටින්නේ ඔවුන් අතරම ය...!! 

අද අපව ම ලෑල්ල මත තබා, කෑලි කපා අපට ම විකුණන සට කපට මුර්ග වෙළෙන්දන්ට වඩා අර මිනිසුන් කොයි තරම් සුන්දරදැයි මට දැනෙන්නේ දැන් ය...!!

Share/Bookmark

Monday, September 24, 2012

සුන්දර සැන්දෑව


හෙන්දිරික්කා මල් පිපීගෙන එන විට තාත්තාගේ පන්ති රාජකාරිය ද අවසන් වෙයි. අවට මුලු පරිසරය ම දැවූ දැඩි හිරු රශ්මිය මඳක් අඩු ව ගොස් කහ පැහැයක් ගනී.

ඉන් පසු තාත්තා සිය රාජකාරි ඇඳුම උනා තබා සරමක් සහ ‍අත් දිග මේස් බැනියමට බසියි. ඒ අතරේ හීනියට අඹරා ගත් පහන් තිරයක් වැනි රෙදි කැබැල්ලක් කනට දමා කරකවමින් "ම්ම්ම්ර්හ්ක්...ක්‍රාහ්ක්" යන මහ හඬකින් කන ද උගුරද පාදයි. ටික වේලාවක් එසේ කරන තාත්තා ශාලාව තුළ බිතක්කනයට හේත්තු කර අැති බයිසිකලය පිටතට ගෙන, සීට් එකෙන් අල්ලා පස් රෝදය ඔසවා, පැඩලයෙන් රෝදය කරකවයි. වේගයෙන් කැරකෙන රෝදයෙන් නැගෙන්නේ සුමට හඬකි. රෝදයේ වේගය අඩු වන විට ම එය බිම තබත් ම, "සරස්" හඬින් දූවිලි පදාසයක් වීසි වෙමින් නවතී.

ඉන් පසු තාත්තා ගෛයි ඇතුළතට ගොස් රෙදි මල්ලක් ද, කොට්ටයක් ද රැගෙන එයි. කොට්ටය දෙකට නවා බයිසිකල් පොල්ලේ තබයි.  "යමල්ල දරුවනේ..." යි කියන ගමන් ම තාත්තා සරම මැදින් අල්ලා දකුණු කකුල ඔසවා, සීට් එකට උඩින් ගෙන බයිසිකලයේ සීට් එක උඩ වාඩි වෙයි. ඉන් පසු පැඩලය ආපස්සට කරකවා, එය ඉදිරියට බර කොට නවත්වා ගනී. මට එය පෙනෙන්නේ මහා වීර ක්‍රියාවක් මෙනි. අපි තුන් දෙනා ම දැන් පැමිණ බයිසිකලයේ පොල්ලේ වාඩි වන්නෙමු. ඉදිරියෙන් ම සිටින්නේ පාලිත ය. ඔහු කොට්ය මත වාඩි වන්නේ කකුල් දෙපැත්තට දමා ය. ඉන් පසු කකුල් දෙක බයිසිකලයේ හැඬලයේ ඇති හබ් එක උඩින් තබාගෙන හරි බරි ගැහෙයි. ඊ ළඟට මම ය. අවසානයට අයියා ය. අප වාඩි වන්නේ කකුල් දෙක ම එක පැත්තට දමා හරහට ය.

ලඳු කැලෑ මණ්ඩිය පසු කර, ගුරු පාරට එන බයිසිකලය, මඳ දුරක් ගොස් තවත් අතු පාරකින් වමට හැරෙයි. එය ද කැලෑ මණ්ඩියකින් යුක්ත ය. නමුත් එහි ගුරු පාර තරමක් පළල් ය. ඒ පාර අවසන් වන්නේ ගලා යන ඇල පාරකිනි. එතැනට ඒ හැටි දුරක් නැත. බයිසිකලය නැවතූ සැණින් පළමු ව බසින්නේ අයියා ය. ඊ ළඟට මා ය. ඉන්පසු තාත්තා පාලිතගේ පපුව ඉදිරියෙන් අත යවා දකුණු කිහිල්ල පෙදෙසින් අල්ලාගෙන ඔහු ව ඔසවා බිම තබයි. එසේ කරන හැම විට ම කොට්ටය බිම වැටෙයි...!

දිය රෙදි ඇඳ නාන ගැහැණු දෙතුන් දෙනෙකු ද, අමුඩ ඇඳි පිරිමියෙක් දෙන්නෙක් ද, උපන් ඇඳුමින් සැරසුණු අපේ වයසේ ම කොලු කුරුට්ටන් හත් අට දෙනෙක් ද, ජංගි සායකින් සැරසුණු කෙලි පොඩිත්තියන් දෙතුන් දෙනෙක් ද ඒ ඇල පාරේ ජල සේවණය ලබන්නට පැමිණ සිටිති. තාත්තා ද කමීසය සහ මේස් බැණියම ගලවා බයිසිකලය මතින් තබයි. ඉන් පසු සරම කැහැපට ගසාගෙන අපේ ඇඳුම් උනා දමන්නට උදව් වෙයි. තාත්තා වතුරට බසින විට එහි සිටින වැඩි හිටි අය ඔලුව නමා බයාදු ලෙස සිනා සී මඳක් එහා මෙහා වෙයි. විධානයක් ලැබෙන්නටත් පළමු ව අපි දු ජල තලයට පිලිපන්නෙමු. ඉණ ගාවට පමණ ඇති වතුර කඳ බැස යන්නේ එතරම් වේගයෙන් නොවේ. අප කිසිවකුට පීනන්නට නොහැකි නිසා, අපට වතුර කඳ තුළ එක තැන සිටින්නට සිදු ව තිබේ. එසේ සිටින ටික වේලාවක දී, වතුරට යට ඇති මුළු ඇඟ පුරා ම මහත් කිතියක් ඇති වෙයි. ඒ දණ්ඩි, කොරළි, බුලත් හපයන් වැනි අසූ හාර දහසක් මාලු පැටවුන් පැමිණ අපට කොටමින් සිටින නිසා ය. නිසල ව මොහොතක් සිට ජල තලය දෙස බැලූ විට පැහැදිලි දිය කඳ රිදී පැහැයෙන් නළියන්නට පටන් ගනී. ඒ අර මාලු පැටව් නිසා ය. සුලුවෙන් හෝ හෙලඋනොත් උන් අපෙන් ඈත් වන්නේ ද රිද්මයකට ය. මේ වසවර්තියන් වැඩියෙන් ම පහර දෙන්නේ අපේ තුවාලවලට ය. එහි වේලෙමින් පවතින උඩු හම පෙඟුණු විට උන්ට එය රස අහරක් වෙයි. මඳ වේලාවකින් තුවාලය රෝස පැහැ වෙයි. තාත්තා රෙදි සෝදන තෙක් අපට මහා වෙලාවක් ජලයේ බැස සිටින්නට ඉඩ ලැබෙයි. පළමුව ගොඩ වන්නේ තාත්තා ය. ඉන්පසු වෙනත් සරමක් ගෙන අඳින ගමන් ම, කැහැපට ගැසූ තෙත සරම ගලවා දමයි. ඉන් පසු සාලුව ගෙන ඇඟ පිස දමන්නේ බාගෙට ය. එයින් පසු අප එකිනෙකා ගොඩට ගෙන අප ව ද පිස දමයි. සාලුවෙන් දැවටුණු අතින් ම කම්මුල මත තබා ඇඟට තද කොට ගෙන හිස පස දමන විට මුලු හිස ම සෙලැවෙයි. එය හරි ආන්නද ජනක ය. ඉන් පසු ඇඟ පිස දැමෙයි. අප නැවත ඇඳ ගන්නේ උදේ ඇඳි ඇඳුම් ම ය. රාත්තිරියේ දී චූ වලින් තෙමන්නේ ඒවා ම නිසා ය ඒ...!

දැන් ඒ මෙහෙවර ද අවසන් ය. අපි යළිත් සරණ දෙසට එන්නෙමු. එවිට ගොම්මන් අඳුර දසක ගලා එයි. යනවාට වඩා දැන් අප පසු කරන සුළඟ ද අතිශයින් සිසිල් ය. ඒ ඇඟ තෙමී ඇති නිසා වන්නට පුලුවන. ගෙට ආ විගස තාත්තා සේදූ ‍ඇඳුම් සියල්ල ඉදිරි වැලෙහි එල්ලයි. එසේ එල්ලන්ට පෙර ඒවායේ දෙපසින් අල්ලා වේගයෙන් ගසයි. එවිට සියුම් දියි බිඳිති හිරිකඩ වලාවක් මෙන් එයින් නික්මෙයි. මේ දිය වළාව මැද්දට අප පැන්න විට තාත්තා ඊ ළඟ රෙද්ද ගෙන අප එකිනෙකා එල්ල කොට ගසයි. අපි අතින් හිස් බදාගෙන ඒ මත නටන්නෙමු. එවිට තාත්තා හයියෙන් සිනාසෙයි..!

හෙමි හෙමින් බැස ගිය හිරු එළිය අඳුරක් බවට පත් වන්නේ ඉතා වේගයෙනි. දැන් අපට අවට කිසිවක් පෙනෙන්නේ නැත එතරම් අඳුරු ය. තාත්තා පැට්‍රෝල් මැක්ස් ලාම්පුව පත්තු කරන්නේ දැන් ය. ඒ වටා ඇණ බාගෙන සිටීම අපේ රාජකාරියකි.

ලාම්පුව ශාලාවේ කොක්කේ එල්ලූ පසු මහත් ආලෝකයක් අප අවට පැතිරෙයි. එයින් පිටත බැලූ විට ඇත්තේ බිය කරු කළුවරකි. එනිසා අප මේ ආලෝක සීමාවෙන් එහාට යන්නට මහත් බියක් දක්වන්නෙමු. තාත්තා යන විට අපි දු ඔහු පසු පස යන්නෙමු.

දැන් අලුත් යමක් වෙයි. තාත්තා අල්මාරියක ඇති එස්රාජය පිටතට ගනියි. ශාලාවේ කොට බිත්තිය මත වාඩි වන ඔහු, එස්රාජය සිය වම් කකුල මත තබා ගනියි. එහි තත් මත අතඇඟිලි යවමින් ටිං ටිං හඬ නංවන අතර ම, එහි ඉහළ කොනේ ඇති ඇණ මුරිච්චි වැනි ඒවා කරකවයි. එවිට නැගෙන හඬ වෙනස අපට ද හඳුනා ගත හැකි ය. ඉන් පසු බෝ එක ගෙන එහි කෙඳි මත මොකක්දෝ කුට්ටියක් අතුල්ලයි. එයින් මිහිරි සුවඳක් විහිදෙයි. එය විශේෂ රෙසින් හෙවත් දුම්මල කුට්ටියකි.
දැන් තාත්තා මේ අල්ලුව ගෙන එහි කම්බි මත අතුල්ලන විට මිහිරි ඒකායන නාදයක් පැතිරෙන්නට පටන් ගනියි. අත ඉහළ පහළ යවමින් ඇඟිලි තාලයකට බඳ මත තබමින් යවන විට ඒ හඬ උස් පහත් වෙයි. මඳ වේලාවක් එසේ වයන තාත්තා මඳ වේලාවක් නිහඬ වෙයි. අපේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලයි. ඒ බැල්ම මත ඇත්තේ මහ පොළොව කිඳා බැස යන තරම් වූ මහත් ආදරයකැයි මට සිතෙයි.

මොහොතක් නිසොල්මන් ව ඇසි පියාගෙන සිටින තාත්තා යළිත් වාදනය පටන් ගනියි. ඒ සමග ගායනයක් ද ඇරඹෙයි. සංගීත ස්වරයද මුසු ව තාත්තාගේ ලයාන්විත කට හඬ අවට අඳුර බිඳගෙන පැතිරෙන්නට පටන් ගනී. මම ඇස් දල්වාගෙන: කට ද ඇරගෙන ඔහු දෙස බලා සිටිමි.... මේ විශ්වය පුරා සිටින මහා ම මහා පුරුෂයා ඔහු විය යුතු ය. මගේ සිතිවිලි අතරින් තාත්තාගේ හඬ ඇසෙන්නට පටන් ගනී. තේරුමක් හසරක් දෙනාදැන වුව ද මගේ සිත ඒ සුගායනය හා අසීමාන්තික ව බැ‍ඳෙයි...තාත්තා ගයන වචනවල අර්ථයක් ද මට නොදැනෙයි. නමුත් එය මගේ ආත්මය ම හා බැඳී ඇති සෙයක් මට දැනෙයි...

ජන ගන මන අධිනායක ජය හේ
භාරත භාග්‍ය විදාතා........
ජය හේ
ජය හේ
ජය හේ........
ඒ තාත්තා ගයා ඇත්තේ ඉන්දීය ජාතික ගීයයැයි මා දැන කියා ගත්තේ ඉන් බොහෝ කලෙකට පසු ව ය.

http://www.youtube.com/watch?v=8yMvU73Wr7Q&feature=player_detailpage

නමුත් කොයියම් හෝ අස්සකින් මුල්ලකින් ඉන්දීය සළකුණක් හෝ දුටු විට මට ධරණි තරය ම කලම්බාගෙන එන තාත්තාගේ සුගායනය ඇසෙන්නට පටන් ගනී........!!!

Share/Bookmark

Wednesday, July 11, 2012

සරණේ දවස



මේ පාසල් නිවාඩු කාලය නිසා තාත්තාගේ "සරණ" ඉස්කෝලයට උදේ ද ළමුන් එයි. දැන් මේ ළමුන් එකා දෙන්නා තාත්තාගේ පන්තියට පැමිණෙයි. බොහෝ ළමුන් එන්නේ තනිව ම ය. එකෙක් දෙන්නෙක් පමණක් වැඩිහිටියකුත් සමග පැමිණෙයි. සුදු අත්කොට කමීසයකින් ද, සුදු සරමකින් ද සැරසී සිටින තාත්තා, තේක්ක ලීයෙන් සැදුණු, විසල් සිය ගුරු මේසයට අයිති ඇඳි පුටුවේ වාඩි වී සිටියි. පැමිණෙන වැඩිහිටියෙක් තාත්තා අසල එකත් පස් ව සිටිමින් මොනවා හෝ කතා බහ කරනු මට පෙනෙයි.

පැමිණි ළමෝ දෙතුන් දෙනෙකු වූ විට ඔවුන් ශාලාව අසබඩ මිදුලේ සෙල්ලමට ලක ලැහැස්ති වෙයි. ඔවුහු දුව පනිති, ටික වේලාවකින් එහ මහා ගෝසාවක් වෙයි. උදා හිරු කිරණින් නැහැවෙන ඔවුන් මත පතිත වන විරුද්ධාලෝකය Against the Light මගින් සාදන දූවිලි වලාවන් මසිත මහා රූප මාලාවක් ජනිත කරයි. දූලි වලාව මැද්දේ  කැලිසේයා Silhouette ලෙසින් පෙනෙන්නේ කළු පාට දඟලන රූප පමණි.

මටත් මේ දඟ සේනාව මැද්දට පැන කෙලි සෙල්ලම් කරන්නට සිත් වෙයි. නමුත් බොහෝ කුලෑට්ටන් වූ අප, මෙතරම් දඟ ලෙස සෙල්ලම් කළ බවක් මගේ මතකයට නො එයි. එමෙන් ම මේ අප ගෙවන්නේ අපේ අලුත් රාජ්‍යයේ පළමු දිවා කාලය නිසාත්, පැමිණි ළමුන් කිසිවකුත් දැන හඳුනන්නේ නැති නිසාත්, ඒ අතරට යන්නට සිත් නොදෙයි.

කළ යුතු කිසිවක් නැති බැවින්, තාත්තා පන්ති පවත්වන කොටසත්, අප නිදා ගන්නා කොටසත් අතර ඇති කෙටි වරිච්චි බැම්ම මත දෙඅත් තබා, ඒ මත නිකට තබාගෙන ඔහේ බලා සිටිමි. වැඩි වේලා නොගොස් තාත්තා පන්ති පටන් ගනියි. පැමිණ සිටින ළමෝ හතු අට දෙනා ලෑලි බංකු මෙස මත පන්ති තුනක් වන සේ වාඩි ගනියි. එක පන්තියක සිටින්නේ ළමුන් දෙන්නෙක් පමණ ය. එක ම එකක පන්තියක පමණක් තුන් දෙනෙක් සිටියි. ඔවුන් බෙහෙවින් කුඩා උන් ය. මගේ වයසේ වන්නට පුලුවන. ඉන් එකියක් මට හොඳ හැටි මතක ය. නළල පුරා බේරෙන සේ තෙල් ගල්වා, තද කොට හිස පිටුපසින් කොණ්ඩ කුරුච්චියක් බැඳ සිටි ඈ, අඟුරු කෑල්ලක් මෙන් කළු ය. මිටි ය. බෝල පෙනුමක් පෙනෙන තරම් තර බාරු ය. ඇඳ සිටින්නේ අව කොළ පැහැ ගැන්වුණු කොට ගවුමකි. බණ්ඩි ගෙඩිය නිසාවෙන් ගවුමේ ඉදිරි කොටස තරමක් උස් ව තිබෙයි. ගමන බිමන ද ඉතා සෙමිනි. හැම විට ම එක් නාසයක් හකුලුවා ඉහළට අදින ඈ, වාර හත අටකට වරක් නාස් අගින් බැලුමක් සේ පිම්බෙන හොටු බෝලය සිය අත්ලෙන් පිස දමා, අතේ ගෑවෙන හොටු ගවුම පිටු පස්සේ අතුල්ලා ගනියි. ඈ සිනාසෙන විට ලේනෙකුගේ මෙන් පොල් දත් දෙකක් මට පෙනෙයි. මිටි බංකුවේ වාඩි වී සිටින ඈ. හිස මේසයේ ගෑවෙන තරමට ම පහත් කර ගෙන මහා රාජකාරියක යෙදෙන සේ මට පෙනෙයි. ඉඳ හිට හිස මඳක් ඉහළට ඔසවන ඈ, වට පිට බලන්නේ ද සෙමිනි. බාගෙට විවර ව ඇති මුවින් පොල් දත් දෙක පෙනෙන විට මට සිතෙන්නේ ම ඈ මාහා සිනාසෙන බවකි. නමුත් නාඳුනන්නියක වන ඈ සමග මට සිනා සෙන්නට බැරි ය. මට මහත් කෝළ බවක් දැනේ.

මම වටපිට බලමි. අයියා ඇඳ විට්ටමට හේත්තු වී පොතක් බලමින් සිටියි. ඒ ඇඳට එහායින් ලොකු පොත් රාක්කයක් වෙයි. එය තාත්තාගේ ය. එහි ඇති පොත් මහා විසාල ය. බොහෝවක් පොත් කවරවල රතු පාට අනිවාර්යයෙන් අන්තර්ගත ව තිබෙයි. කොහොමත් නිෂ්ශබ්දයකු වන පාලිත මල්ලී බිම ලැගගෙන පොල්කට්ටක් සමග මොකක්දෝ ලොකු පටලැවිල්ලක ය.

කාලය වේයෙන් පියඹා යයි. දැන් පන්තියේ විවේක කාලයයි. එසැණින් නැවත ඇසෙන්නේ ළමුන්ගේ ගාලගෝට්ටියයි. ඒ අතර වාරයේ තාත්තා පැමිණ කමීසය ගලවා බිත්ති කණ්ඩියේ එල්ලා, ලිප ළඟ හරි බරි ගැහෙයි. පළමුවෙන් ම ලිප ගිනි දල්වා ඒ මත කේතලය තබයි. ඉන්පසු නෑඹිලියට හාල් ටිකක් ගෙන, මැටි කෝප්යද ළං කරගෙන එය ගරයි. තාත්තා රිද්මයානුකූල ව නෑඹිලිය පද්දවමින් හාල් ගරන අයුරු හරි අපූරු ය. කේතල් කෙමියෙන් දුම් දමන විට තාත්තා හාල් ගරා අවසන් ය. ඉන්පසු තාත්තා තේ සාදා අපට දෙයි. බත් මුට්ටිය ලිප මත තබන තාත්තා නෑඹිලියට වතුර ටිකක් ද දමා එය මුට්ටිය මත තබයි. බත කූරු ගා ලිප නිවීමේ රාජකාරිය අයියාට බාර දෙන තාත්තා යළි කමීසය ඇඳගෙන පන්තිය දෙසට යයි. එසැණින් එලියෙන් ඇසුණු ලොකු ගාලගෝට්ටිය සැණෙන් නිහඬ වෙයි. දැන් ඇසෙන්නේ දණි පණි ගාමින් දුවගෙන එන අය ඩෙස් බංකු අදින හඬ ය. මම හිස ඔසවා බලමි. අර පොඩි කෙළිත්ති ය නිහඬව ම බංකුව මත වාඩි වී සිටියි.

කාලය ගත වන්නේ ඉතා වේගයෙනි. දැඩි උණුසුමක් දනවමින් හිරු මුදුන් වෙයි. පොල් අතු වහළයේ කුඩා සිදුරකින් මතු වන හිරු කිරණක් ගොම මැටි ගෑ බිම මත අපූරු සිතුවමක් මවයි. හිරු ද පොළොව මත ය. නිල් අහස සිසාරා වේගයෙන් වළාකුලු චලනය වෙයි. මම ඉරට්ටක් ගෙන හිරු නවතන්නට උත්සාහ කරමි. නමුත් එය නවතින්නේ නැත. ඒ අල්ල පනල්ලේ පන්ති අහවර කොට තාත්තා යළි එයි. යළි කමීසසය ගලවා මිදුලේ වැලේ වනන තාත්තා අත් දිග බැණියම පිටින් ම යළි ලිප් බොක්ක ළඟ වාඩි වෙයි. ඒ බත් කන්නට මොකක් හෝ හොද්දක් මාලුවක් සකසන්නට ය.

තාත්තා පොල් ගෙඩියක් ගෙන එහි මුඩ්ඩ කඩා, මන්නා පිහිය ගෙන එය වටේ ටක් ටක් ගාමින් තට්ටුවක් දමයි. ඉන් පසු හරියට ම නිලය බලා වැරෙන් පහරක් ගසයි. ඒ වැගිරෙන පොල් වතුර පහළ ඇති නෑඹිලියට වෑස්සෙන සේ ය. ඉන්පසු අයියා ද මාද මේ නැඹිලියට කට තබා පොල් වතුර බොන්නෙමු. එය මිහිරි රස ය. අයියා ද මාද තාත්තාට උදව් වෙන්නෙමු. අයියා පොල් ගායි. හිරමණය උඩ කකුලක් නවා හරහට දමාගෙන වාඩි වී, තායකට උරිස්ස පදවමින් බරස් බරස් හඬින් පොල් ගානා අයුරු හරි අපූරු ය. ඇලුමේනියං පිඟාන සුදු පාට පොල් රළින් වැසෙයි. පොල් මිරිකන්නේ ද තාත්තා ය. මැටි කෝප්පයට දමන පොල් ටිකට එතුර ටිකක් දමා තාත්තා මිරිකයි. තාත්තාගේ ඇඟිලි අස්සෙන් මතු වන හීන් පොල් කිරි රලක් මගේ මුහුණට ද වැදෙයි. අතින් එය පිසදමන මම අත ලෙවකමි. දූවිලි සමග කිරි රස ගෙනෙන්නේ ද මාර රසකි. තාත්තා වේවැලින් සෑදූ කිරි ගොට්ටේ ගැට්ට අතින් ගසමින් කිරි ටික බේරා ගනියි. මිටි කිරි වෙනම ම ද පොඩි මැටි භාජනයකට දමන අතර, දිය කිරෙන් කෙලින් ම වැංජනය ලිප තැබෙයි. දැන් ඉතිං හොද්ද ඉදෙන තෙක් බලා සිටිය යුතු ය. අයියා කුස්සිය අස් පස් කරන අතර ලොකු මැටි කෝප්යේ ඇති අව ගැන්වුණු වතර ටික වීසි කිරීම ද මට මහා රාජකාරියකි.

මොහොතකින් මාර සුවඳක් වහනය වෙයි. මට මහා බඩගින්නක් දැනෙයි.

කඩල පරිප්පු හොද්ද සමග සුදු බත ගෙනෙන්නේ අමා රසයකි.

Share/Bookmark

Saturday, June 16, 2012

දෙවෙනි දවස



දීර්ඝ නින්දකට පසු මට මහත් සුව දායක බවක් දැනෙයි. මම නිදි ඇඳේ සිට ම මට ඇසෙන නෙක නෙක ශබ්ද ගැන විමසිලිමත් වෙමි. ලොකු තාත්තලාගේ ගෙදරදී මට මුලින් ම ඇසෙන්නේ ගව පට්ටියේ දෙණුන්, පැටවුන් සහ ගවයන් නගන හඬ ය. නමුත් අද ඊට වඩා බොහෝ සෙයින් වෙනස් ය.

කුරුලු කූජනයක් ඇසෙයි. නමුත් ඒ කාගේදැයි ගනිච්චියක් මට නැත්තේ එය මීට කළියෙන් අසා නැති නිසා විය යුතු ය. බුකුම් බුකම් හඬනම් වඳුරන්ගේ ම ය. ඒ අතරේ සැර පරුෂ "හැකෝ හැක්" හඬ ද මට ඇසෙයි. එ සැණෙන් උන්ගේ ඉහළට ඔසවා ගත් ඒරියල් වල්ගය සිහි වෙයි. "චීස් චීස්" ගාමින් හීන් කෙඳිරියක් ලෙස ඇසෙන්න්නේ මවු වැඳිරියන්ගේ බඩ මැද්දෑවේ එල්ලී සිටින වඳුරු පැටවුන්ගේ අඳෝනාව ය. ඒ අතර ලව දෙවක් නැති ව ඇසෙන "ෂූ"වකි. එය කාගේ දැයි මා දන්නේ නැත.
ඉඳ හිට මුලු වන බූටෑව ම වසාගෙන, කන් අඩි පසාරු කරගෙන යන හඬක් මතු වෙයි. විටෙක එය මිනිත්තු 5ක් 10ක් පමණ වේලා එක දිගට ඇසෙයි. වෙනත් කිසියම් හෝ ශබ්දයක් මතු වූ සැණින් ඒ හඬ ක්ෂණයෙන් නිෂ්ශබ්ද වෙයි. පසු ව දැන ගත් පරිදි ඒ රැහැයියන්ගේ විලාපයයි. 

මේ සියලු ශබ්ද පූජාවන් අසා සිට ආහ්ලාදයෙන් යුක්ත ව මට ඇඳෙන් බැස යන්නට නොහැකි ය. ඒ නිදිගත් රාත්තිරියේ කිසිවකුට නොදන්වා පහ වූ මූත්තරා වැස්සෙන් ඇඳ සිටින සියලු ඇඳුම් තෙත බරිත ව ඇති නිසා ය. පොරවාගෙන සිටි කඩ මාල්ල ද, දිරා ගිය ඇඳ රෙද්ද ද පමණක් නොව හිස තබාගෙන සිටි කොට්ටය ද තෙමන්නට තරම් මූත්තරාවක් කොහෙන් පැමැණියේදැයි සිතා ගන්නට අදත් මට නොහැකි ය. අයියා හැර මා ද, පාලිත මලයා ද තෙමූ සියලු ඇඳ ඇතිරිලි සියල්ල භාර වන්නේ තාත්තාට ය. මෙය එතරම් අලුත් අත්දැකීමක් නොවන නිසා ම තාත්තා කිසිවක් නොදොඩා ම අප තෙමූ ඇඳ ඇතිරිලි කොට්ට සියල්ල ගුලි කොට ගනියි. එය අහඹුවක් වුව ද ලොකු වරදක් කළ සෙයක් මගේ ළපටි සිතට වැටහෙයි. එනිසා ම අදනම් ඇඳේ චූ කරන්නේ නැතැයි තරයේ සිතා ගනිමි. නමුත් මහ පාන්දර පෙනෙන අමුතු අමුතු සිහින අතරේ පියමං කොට අවසන ඇඳ තෙත බරියං වී ඇති වග දැනෙන්නේ උදේ පාන්දර ය.

ලොකු තාත්තලාගේ ගෙදර සිටිය දී පවා, තාත්තා, නිදි මරගාතයෙ සිටින අප ව වත්තං කොටගෙන ගොස් නින්දට පෙර චූ කරවූ සැටි මට මතක ය. නමුත් නිදි දෙව් දුව අප වැළැඳ ගත් සැණින් ඒ සියලු බැමි ලිහිල් වෙයි. අපි නිදහසේ පියා සරන්නෙමු. අපට කිසිදු බාධාවක්, අතුරු ආන්තරාවක් නැත. අප පසු පස්සේ එන්නේ ද අපට හිතැති සතා සිවු පාවෝ ය. අපි සිත් සේ උන් සමග කෙළි සෙල්ලම් පාන්නෙමු. සින්දු කියන්නෙමු. නැටුම් නටන්නෙමු....ඉඳ හිට අපට එරෙහි ව දත් විලිස්සාගෙන එන්නේ අප සමග දවල් කාලයේ සෙල්ලම් කරන සූටියෝ ය. සුද්දෝ ය. බූලියෝ ය. පපියෝ ය. බ්‍රවුන්ලා ය. බ්ලැකියා ය. ආදී දඩෝරියෝ ය. දවල් තිස්සේ එකට සිටි මේ වල් බල්ලෝ මහ රෑ වූ විගස අපට එරෙහි වෙයි. උන් දත් විලිස්සාගෙන අප පස්සෙන් හඹා එයි. නමුත් අප උන්ට බිය වන්නේ නැත. අපට මහා සෙනගත් සිටියි. වසන්තයියාගේ පිරිවර ද, අනිල් අයියාගේ පිරිවර ද, නාමලී අක්කාගේ පිරිවර ද ආදී එකී නොකී ජන ගංගාවක් අපව සිටියි. අපට පොලු මුගුරු නැත. යගදාවන්, කඩු කස්තාන, තෝමර ආදී ආවුද කිසිවක් නැත. නමුත්, අප සැවොම එකා මෙන් එකතු ව උන්ගේ ඇඟට චූ කරන්නෙමු. නිකං නොව නට නටා ය. විටෙක අප අසා ඇති සින්දු ද කියමිනි. විටෙක අප උන් කොටු කර ගන්නේ උන්ට මොහාතකටවත් සැඟවෙන්නට බැරි අපූරු තැන්වලට ය. උන් අපට දත් විලිස්සයි. අප බිය වන්නේ නැත. අපි කළිසම් පහත් කොට, ලොකු වතුර බටයකින් විදින්නාක් මෙන් උන්ගේ විලිස්සුණු දත් අතරට චූ ප්‍රහාර එල්ල කරන්නෙමු. එවිට උන් කුං කුං ගාමින් බය පක්ෂපාත වෙයි. එයින් උද්දාමයට පත් වන අපි යළි යළිත් උන් කෙරෙහි චූ ප්‍රහාර එල්ල කරන්නෙමු. ඒ ප්‍රහාරයන් කෙතරම් දරුණුදැයි අපට වැටහෙන්නේ උදේ පාන්දර අවදි වූ විට ය....!!!

වීර වික්‍රමාන්විත අප සේනාව ම තෙත බරියං ව අවදි වූ විට, මුවින් නොබැණ ඒ සියල් අස් පස් කරන්නේ තාත්තා ය. ඉන් පසු අප තිදෙනාව ම ගෙයි පිළිකන්නට රැගෙන ගොස්, වතුර බාල්දියෙන්  දෝතට වතුර ගෙන අපේ ඇඟේ පහළ කොටස සෝදන්නේ ය. එතෙක් වේලා කමීසය අල්ලාගෙන ගුලි කරගෙන සිටීම අපේ චාරිත්‍රයක් මෙනැයි මට සිතෙයි. 

ලිප් බොක්කෙන් අහුලා ගත්, අඟුරු කැටයක් විකා දත කට මැද ගැනීම සිදු වන්නේ ඊට පසු ය. ඉඳ හිට මේ අඟුරු කැටයට ම ලුණු කැටයක් ද එක් කොට දෙන්නේ තාත්තා ය. අඟුරු කැටයේ වහුතු රස ද සමග ලුණු රස එක් වූ විට මොකක්දෝ අමුතු රසයක් මතු වෙයි. එය මේ යැයි කියන්නට මට බැරි ය. මන්ද මතක ඇති කාලයක ඒ රසය අත් විඳ නැති නිසා ය. අදත් මම ඒ රසය විඳින්නට මහත් සේ ලොල් වෙමි. නමුත් ස්ටේන්ලස් ස්ටීල් වානේ තහඩුයෙන් සුසැදි ගෑස් කුකරය අඟුරු කැට සාදා දෙන්නේ නැත...!!




Share/Bookmark

Wednesday, April 18, 2012

සරණේ පළමු දවස ආරම්භය

මේ උදාවන්නේ සරණ නිවසේ අප ගෙවන පළමු රාත්‍රියයි. ගෙනා කළමනා එහා මෙහා කරන සිල්ලර වැඩ ඇරෙන්නට සිදුවූ කිසිවක් ම නැති තරම් ය. අඳුර පැතිරෙත් ම තාත්තා ලොකු පැට්‍රෝල් මැක්ස් ලාම්පුවට දල්වන්නට පටන් ගත්තේ ය. අපි ඒ වටා වාඩි වී මේ අරුමය බලා සිටියෙමු.

පළමුවෙන් තාත්තා කළේ ලාම්පුවේ උඩ කොටස ගලවා සීරුවෙන් ගෙන පැත්තකින් තැබීම ය. එහි ලොකු කළු පාට දඟරයක් කෙළවර සුදු පාට දැල් දැල් වැනි යමක් තිබුණේ ය. මට එය අල්ලා බලන්නට මහත් ආසාවක් උපන්නෙන්, මම එදෙසට ඇඟිල්ල දික් කළෙමි. තාත්තා "හුහ් හුහ්" වැනි ශබ්දයක් පිට කරනවාත් සමග මම වහාම ආපසු ඇඟිල්ල ගත්තෙමි. "ඔය මැන්ටලේ ඇල්ලුවම කැඩෙනවනෙ බං.." තාත්තා සෙමින් කීවේ මගේ සිත රිදුනාවත්දැයි සැකයෙන් විය යුතු ය.

ඉන් පසු තාත්තා එහි වීදුරු තීරුවලින් සැදි කොටස පිටතට ගෙන රෙදි කැබැල්ලකින් පිස දැම්මේ ය. යට කොටසේ දිලිසෙන ගෙඩියට උඩින් වූ රවුම් කොටස පුරා මැරුණු කුඩා සතුන් විශාල ගණනකගේ මළ සිරුරු කරකුට්ටං වී තිබුණේ ය. තාත්තා ඉරටුවකින් ඒ සියල්ල සුද්ද කළේ ය. එහි උඩ හරියට වන්නට තිබූ කුඩා දීසියක් වැනි කොටසට ලාම්පුතෙල් ස්වල්පයක් වත් කළේ ය. ඉන් පසු යළි වීදුරු කොටස ද, ඊට උඩින් අර මැන්ටලය සහිත කොටස ද යළි සවි කළේ ය. ඊටත් පසු, රිදී පාට බණ්ඩිය මැද්දෙන් තිබූ කූරක් වැනි යමක් එළියට ගෙන එහි කෙළවර අතින් තද කළේ ය. ඊටත් පසු "චුකුස් චුකුස් " හඬින් අර කූර බණ්ඩිය මැද්දට එබුවේ ය.

ඉන් පසු ගිනි පෙට්ටියෙන් කූරක් ගසා , එය අර දීසිය මත තැබූ සැණින් ලොකු ගිනි දල්ලක් එයින් ඉහළට නැගිණි. ලෙලෙන ගිනි දලුවේ එළියෙන් මට තාත්තාගේ මුහුණ පෙනෙයි. එය රන්වන් පාට ය. මම වටපිට බලමු. අයියා ද පාලිත ද මට පෙනෙන්නේ රත්තං පාටට ය. එය හරි අපූරු ම දර්ශනයකි..! ඉහළට නැගි ගිනි දල්ලෙන් අර සුදු පාට මැන්ටලය කළු පාට වනු දුටු මට ඇති වුනේ සියුම් ශෝකයකි. ටික වේලාවක් එසේ සිටි තාත්තා බණ්ඩියේ වූ රවුමක් කරකැවුවේ ය. එවිට මැන්ටලය පුරා ම ලාම්පුතෙල් පාරක් ඉසී, එය "සොස්" ගා සද්දයකින් ලොකුවට ඇවිලුණේ ය. බිය පත් මම පස්සට පැන්නෙමු. නමුත් උක්කුටයෙන් වාඩි වීසිටි මා හිටි තැන ම පෙරලුනා මිස විසි උනේ නැත. තාත්තා ද අයියා ද, පාලිත ද මහ හයියෙන් සිනා සුනෙන් මට මහත් ලැජ්ජාවක් ද, සියුම් දුකක් ද, ඇති වුනේ ය. නමුත් එය එතරම් වේලා පවත්වා ගන්නට සිදු නොවුනේ තාත්තා යළි සුළං ගසන්නට පටන් ගත් විට ය.

නොකඩවා වර ගණනාවක් සුළං ගැසූ තාත්තා යළි අර රව්ම කරකැවුවේ ය. එවිට අමුතු හඬක් එයින් මතු වූ අතර, මැන්ටලය රක්ත වර්ණ විය. මේසේ වරින් වර සුළං ගසක අතරවාරයේ තාත්තා යළි යළිත් අර රවුම කරකැවුවේ ය. දැන් රතු පාට මැන්ටලය දීප්තිමත් කහ පාටින් දිදුලයි. ඒ එළියෙන් වට පිටාව ම ඒකා ලෝක වෙයි. හරියට උදෑසන හිරු එළිය පතිත වන්නා සේ ය. තවත ටිකකින් සුළං ගැසීම නැවැත් වූ තාත්තා යළි දෙතුන් වරක් චූස් චූස් ගාමින් රවුම කරකැවූ අතර, දැන් මැන්ටලය සුදු පාටින් දීප්තිමත් ව බබලන්නේ දහවල් කාලය මෙන් අප අවට ලොකු ආලෝකයක් ද පතුරමිනි.
සියල්ල අවසන තාත්තා මේ පැට්‍රෝල් ලාම්පුව ඔසවා, වහළයේ තිබූ කොක්කක එල්ලුවේ ය. එසේ එල්ලන්නට ඔසවද්දී ලාම්පුව තාත්තාගේ මුහුණට අතිශයින් සමීප වී අවට අඳුරකින් වැසී යයි. දැන් එළිය වැටී ඇත්තේ තාත්තාගේ මුහුණට පමණ ය. ගණ අඳුර මැදින් මට තාත්තාගේ මුහුණ පෙනෙන්නේ මහා වීර පුරුෂයකු පරිද්දෙනි.

අදත් පැට්‍රෝල් ලාම්පු පත්තු නොකළ ද, විදුලි පහන් එළියෙන් සිටිනා තාත්තා ව මට පෙනන්නේ ද මහා පුරුෂයකු ම පරිද්දෙනි...!!!


Share/Bookmark