Wednesday, April 18, 2012

සරණේ පළමු දවස ආරම්භය

මේ උදාවන්නේ සරණ නිවසේ අප ගෙවන පළමු රාත්‍රියයි. ගෙනා කළමනා එහා මෙහා කරන සිල්ලර වැඩ ඇරෙන්නට සිදුවූ කිසිවක් ම නැති තරම් ය. අඳුර පැතිරෙත් ම තාත්තා ලොකු පැට්‍රෝල් මැක්ස් ලාම්පුවට දල්වන්නට පටන් ගත්තේ ය. අපි ඒ වටා වාඩි වී මේ අරුමය බලා සිටියෙමු.

පළමුවෙන් තාත්තා කළේ ලාම්පුවේ උඩ කොටස ගලවා සීරුවෙන් ගෙන පැත්තකින් තැබීම ය. එහි ලොකු කළු පාට දඟරයක් කෙළවර සුදු පාට දැල් දැල් වැනි යමක් තිබුණේ ය. මට එය අල්ලා බලන්නට මහත් ආසාවක් උපන්නෙන්, මම එදෙසට ඇඟිල්ල දික් කළෙමි. තාත්තා "හුහ් හුහ්" වැනි ශබ්දයක් පිට කරනවාත් සමග මම වහාම ආපසු ඇඟිල්ල ගත්තෙමි. "ඔය මැන්ටලේ ඇල්ලුවම කැඩෙනවනෙ බං.." තාත්තා සෙමින් කීවේ මගේ සිත රිදුනාවත්දැයි සැකයෙන් විය යුතු ය.

ඉන් පසු තාත්තා එහි වීදුරු තීරුවලින් සැදි කොටස පිටතට ගෙන රෙදි කැබැල්ලකින් පිස දැම්මේ ය. යට කොටසේ දිලිසෙන ගෙඩියට උඩින් වූ රවුම් කොටස පුරා මැරුණු කුඩා සතුන් විශාල ගණනකගේ මළ සිරුරු කරකුට්ටං වී තිබුණේ ය. තාත්තා ඉරටුවකින් ඒ සියල්ල සුද්ද කළේ ය. එහි උඩ හරියට වන්නට තිබූ කුඩා දීසියක් වැනි කොටසට ලාම්පුතෙල් ස්වල්පයක් වත් කළේ ය. ඉන් පසු යළි වීදුරු කොටස ද, ඊට උඩින් අර මැන්ටලය සහිත කොටස ද යළි සවි කළේ ය. ඊටත් පසු, රිදී පාට බණ්ඩිය මැද්දෙන් තිබූ කූරක් වැනි යමක් එළියට ගෙන එහි කෙළවර අතින් තද කළේ ය. ඊටත් පසු "චුකුස් චුකුස් " හඬින් අර කූර බණ්ඩිය මැද්දට එබුවේ ය.

ඉන් පසු ගිනි පෙට්ටියෙන් කූරක් ගසා , එය අර දීසිය මත තැබූ සැණින් ලොකු ගිනි දල්ලක් එයින් ඉහළට නැගිණි. ලෙලෙන ගිනි දලුවේ එළියෙන් මට තාත්තාගේ මුහුණ පෙනෙයි. එය රන්වන් පාට ය. මම වටපිට බලමු. අයියා ද පාලිත ද මට පෙනෙන්නේ රත්තං පාටට ය. එය හරි අපූරු ම දර්ශනයකි..! ඉහළට නැගි ගිනි දල්ලෙන් අර සුදු පාට මැන්ටලය කළු පාට වනු දුටු මට ඇති වුනේ සියුම් ශෝකයකි. ටික වේලාවක් එසේ සිටි තාත්තා බණ්ඩියේ වූ රවුමක් කරකැවුවේ ය. එවිට මැන්ටලය පුරා ම ලාම්පුතෙල් පාරක් ඉසී, එය "සොස්" ගා සද්දයකින් ලොකුවට ඇවිලුණේ ය. බිය පත් මම පස්සට පැන්නෙමු. නමුත් උක්කුටයෙන් වාඩි වීසිටි මා හිටි තැන ම පෙරලුනා මිස විසි උනේ නැත. තාත්තා ද අයියා ද, පාලිත ද මහ හයියෙන් සිනා සුනෙන් මට මහත් ලැජ්ජාවක් ද, සියුම් දුකක් ද, ඇති වුනේ ය. නමුත් එය එතරම් වේලා පවත්වා ගන්නට සිදු නොවුනේ තාත්තා යළි සුළං ගසන්නට පටන් ගත් විට ය.

නොකඩවා වර ගණනාවක් සුළං ගැසූ තාත්තා යළි අර රව්ම කරකැවුවේ ය. එවිට අමුතු හඬක් එයින් මතු වූ අතර, මැන්ටලය රක්ත වර්ණ විය. මේසේ වරින් වර සුළං ගසක අතරවාරයේ තාත්තා යළි යළිත් අර රවුම කරකැවුවේ ය. දැන් රතු පාට මැන්ටලය දීප්තිමත් කහ පාටින් දිදුලයි. ඒ එළියෙන් වට පිටාව ම ඒකා ලෝක වෙයි. හරියට උදෑසන හිරු එළිය පතිත වන්නා සේ ය. තවත ටිකකින් සුළං ගැසීම නැවැත් වූ තාත්තා යළි දෙතුන් වරක් චූස් චූස් ගාමින් රවුම කරකැවූ අතර, දැන් මැන්ටලය සුදු පාටින් දීප්තිමත් ව බබලන්නේ දහවල් කාලය මෙන් අප අවට ලොකු ආලෝකයක් ද පතුරමිනි.
සියල්ල අවසන තාත්තා මේ පැට්‍රෝල් ලාම්පුව ඔසවා, වහළයේ තිබූ කොක්කක එල්ලුවේ ය. එසේ එල්ලන්නට ඔසවද්දී ලාම්පුව තාත්තාගේ මුහුණට අතිශයින් සමීප වී අවට අඳුරකින් වැසී යයි. දැන් එළිය වැටී ඇත්තේ තාත්තාගේ මුහුණට පමණ ය. ගණ අඳුර මැදින් මට තාත්තාගේ මුහුණ පෙනෙන්නේ මහා වීර පුරුෂයකු පරිද්දෙනි.

අදත් පැට්‍රෝල් ලාම්පු පත්තු නොකළ ද, විදුලි පහන් එළියෙන් සිටිනා තාත්තා ව මට පෙනන්නේ ද මහා පුරුෂයකු ම පරිද්දෙනි...!!!


Share/Bookmark

17 comments:

  1. රසවත් අතීතාවර්ජනයක් සමඟම යළිත් බ්ලොග්කරණයට පුනරාගමනයක්!

    ලියන්නට බ්ලොග් හදාගත්තට ලියන්නේ නැත්නම් වැඩක් නෑනේ. අපිම තමා වැරදිකාරයෝ. උඹ මචාං පටන්ගත්තා. මාත් පටන්ගන්න ඕනේ. මේක මටත් පාඩමක්... ජයවේවා !

    විපුල

    ReplyDelete
  2. මගේ තාත්තා ගැනත් මතක්උනා මේ පුංචි කතාවෙන්.....ගණ අඳුර මැදින් මට තාත්තාගේ මුහුණ පෙනෙන්නේ මහා වීර පුරුෂයකු පරිද්දෙනි. හරිම අපුරැයි අවසන් කිරිම සර්......

    ReplyDelete
  3. ආයිමත් ලියනවාට ස්තූතියි. මේ මම බලාහිට කියවන කතාවක්.
    මම මේ හෑම මොහොතක්ම කියවමින් විඳින ගමන්.
    ආයිත් ස්තූතියි.
    දිල්ශාරා

    ReplyDelete
  4. අද කථාව ටිකක් වදෙන් පොරෙන් බේරෙන්න ලියනවා වගෙයි ඉන්ද්‍රනාත් අය්යේ....

    අමතක කරන්න එපා.. මේ කතාව මග බලමින් ඉන්න අය කොතෙකුත් ඉන්නවා

    ReplyDelete
  5. මම පළමු වතාවට මේ පැත්තෙ ආවේ..

    මටත් එක පාරම මතක් වුනේ අපේ අප්පච්චි. අනුරාධපුරේ අපේ ගෙදරත් පැට්‍රෝල් මැකස් එකක් තිබුණා. මේ කතාවෙන් කියවෙන්න ඒටිකමයි. හරියටම චිත්‍රපටයක් වගේ. මේ තමයි ජීවිතේ සුන්දරම අත්දැකීම්

    ReplyDelete
  6. ලාම්පුවක් පත්තු කරන එකක් ගැන මේ විදියට විස්තර කරන්ට පුලුවන් කියලා කවදාවත් හිතුවේ නෑ. ලස්සන ලියවිල්ලක්.

    ReplyDelete
  7. /* එහි උඩ හරියට වන්නට තිබූ කුඩා දීසියක් වැනි කොටසට ලාම්පුතෙල් ස්වල්පයක් වත් කළේ ය. */

    මගේ මතකයේ හැටියට ඒ දාන්නේ ලාම්පු තෙල් නොවේ. ලාම්පු තෙල් තියෙන්නේ කේතලයක හැඩය ඇති ටැංකියේ.

    ඔය මුල් දැල්වීමට දාන්නේ වෙනමම ස්ප්‍රීතුවක් (වයින් ස්පිරිට්?). මැන්ටලය ගිනිගත් පසු දිගටම දැල්වෙන්නේ නං ලාම්පුතෙල් (අපි කිව්වේ බූමිතෙල් කියායි) වලිනුයි.

    ReplyDelete
  8. පැට්‍රෝල්මැක්ස් ලාම්පුව ගැන මගේ මතකයත් ඉන්ද්‍රනාථ අයියාගේ මතකයට සමානයි... පොඩි වෙනසකට කියලා තිබුනේ අපේ ගෙදර තිබුන එකේ පුංචි තෙල් කාන්දුවක් තිබුනා..වංගියක් ඒක ඊයම් වලින් පාහලා ගෙනාවත් පැයකට දෙහෙකට බින්දු කිහිපයක් කාන්දු උනා..ඉතිං ඒ හින්දා අපිට සිද්ධ උනා ඕක එල්ලපු තැන බිමින් පොඩි තැටියක් තියන්න...

    හරියටම අර කාන්දුවට එක එල්ලේ හිටින විදියට..ඕකට එහෙ මෙහෙ යන අපේ අතින් පයින් පාරවල් වදින එක ඒ දවස්වල සුලභ සිද්ධියක් වෙලා තිබුනේ...හොඳ වෙලාවට ඒ තැටියට පාන්කඩ කෑල්ලක් දාලා තියෙන හින්දා තෙල් විසි වෙන්නේ නැහැ...ඒත් එක්කම එල්ලයෙන් අහකට ගිය තැටිය නැවතත් අනුමානයෙන් නියමිත තැන තැබීමත් මට ඒ දවස්වල හෙන ලොකු වැඩක්...

    කතන්දර කියනවා වගේ ඔය තැටිය තිබුනේ වයින් ස්ප්‍රීතු දාන්න..ඒත් අපිට එච්චර සැප දෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ ලාම්පුවට... තෙල් බෝතලේ රුපියලට දෙකට තිබුනා උනත් අදට වඩා මුදල් දුලබ කාලයක් ඒක..ඉතිං ආයේ තව මොන ස්ප්‍රීතුද..සමහරු ඒකට ලාම්පුතෙල්ම දැම්මා..හැබැයි අපේ තාත්තා එහෙමවත් කලේ නැහැ...හොඳට හුළං ගහලා ප්‍රෙෂර් නැග්ගම කරාමේ ඇරිය වෙලාවට එන හීනි තෙල් පාරට අර හෙඩ් එකේ තියෙන ගිනි දල්වන කුටීරයෙන් ගිනි තියලා කරාමේ සීරු මාරු කරමින් කොහොම හරි මැන්ටලේ ඇවිලෙන්න ඇරලා ඒක පදම් කර ගත්තා...

    බොහෝම සුන්දර මතකයක් ඉන්ද්‍රනාථ අයියේ...

    තාත්තගෙන් මට ඔය ලාම්පුව පත්තු කරන තනතුර ලැබුන දවසේ මට රජකම හම්බ උනා වගේ පුදුම ආඩම්බරේකින් කැටයං දදා ඒක කරපු හැටි මතක් වෙනකොට අදටත් හිනා යනවා... ඊට පස්සේ මං දන්න ශිල්ප දාලා මල්ලිට පේන්න ඒක පත්තු කරනවා.. ඌ කට ඇරං බලං ඉන්නවා.. මගෙ අම්මේ එහෙමත් ලොකුකොමක්...

    ReplyDelete
  9. කකා සහ මාරය කියල තියෙනව වගේ ඒ තැටිය තියෙන්නෙ ස්ප්‍රීතු දාන්න තමයි. නමුත් ඒක අවශ්‍යම දෙයක් නෙවෙයි.
    රසවත් ලිපියක්.

    ReplyDelete
  10. අපේ ගෙදරත් ඉස්සෙල්ලාම තිබ්බේ පැට්‍රල් මැක්ස් ලාම්පුවක්... ඊට පස්සේ කාර් බැටරියෙන් වැඩ කරන ටියුබ් ලයිට් දෙකක්... තාත්තා බැටරිය චාජ් කරන්න ගෙනියද්දී ඒක කකුලේ උඩට වැටිලා මහපට ඇඟිල්ල තුවාල වෙනවත් මට මතකයි... අදකාලේ අපි කොච්චර සැප විඳිනවද එහෙම බලද්දී...

    වෙල්කම් බෑක්...!!!

    ReplyDelete
  11. කාලෙකට පස්සේ ආපහු ලියපු එක ගැන ගොඩක් සන්තෝසයි...

    බීට්ල් කොලුවා කිව්වා වගේම තමයි අපේ ගෙදරත් කාලෙන් කාලෙට වෙනස් උනේ..
    මුලින්ම චිමිණි ලාම්පුව, ඒ වගේම ඉඳල හිටලා විශේෂ දවස්වල පැට්‍රල් මැක්ස් ලාම්පුව, ඊටත් පස්සේ කාර් එකකින් අහක් කරපු පරණ බැටරි අරන් ඇවිත් ඒකෙන් පොඩි ටියුබ් ලයිට් පත්තු කලා
    එහෙමත් කාලයක් ගියාට පස්සේ තමයි අපේ පැත්තට විදුලි බලය කියන එක සේන්දු උනේ.
    මමත් පැට්‍රල් මැක්ස් ලාම්පුව පත්තු කරලා අහිංසක විනෝදයක් ලබපු එකෙක් කියල පොඩි සතුටක් දැනුනා මේ පොස්ට් එක කියවද්දී...

    ලාම්පු එළියෙන් විතරක් නෙමේ මොන එළියෙන් බැලුවත් තාත්ත කෙනෙක්ව මහා පුරුෂයෙක් විදිහට තමයි පේන්නේ...
    අදටත් මගේ ලෝකයේ වීරයා මගේ තාත්තා.
    ඒ ජිවිත වල තිබුන පන්නරයෙන් දශම එකක්වත් අපේ ජීවිතවල නැහැ.

    ReplyDelete
  12. මම නම් කවදාවත් තනියෙන් "පැට්ටෝල් ලාම්පුවක්" - අපි එහෙමයි කිව්වෙ - පත්තු කරලම නෑ..ලොකු අය පත්තු කරනවා බලන් ඉඳලා තියෙන්නෙ..ඒත් මොනව හරි විශේශ අවස්ථාවල විතරයි අල්ලපු ගෙදරකින් ඉල්ලගෙන ඇවිත් පත්තු කලේ..ලයි එන්න කලින් තිබ්බෙ කුප්පි ලාම්පු..ඊට පස්සෙ චිමිනි ලාම්පු..අයියා ලස්සන අතීතයක් හිත අද්දර පෙල ගැස්සුවා මේ අතීතාවර්ජනයෙන්..

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. කෑමට ප්‍රිය කරන රසවත්ම කෑමක් බෙදල දෙනව කියන ආරංචිය කණ වැකිල ලොකු පිගානක් අරන් පොළිමේ හිට ගත්ත කෙනෙකුට තේ හැන්දෙන් පොඩ්ඩක් බෙදුවාම ඇතිවෙනව වගේ හැගීමක් තමයි මට දැනුනේ .කථාව රසවත් උනත් ලියා ඇති ප්‍රමාණය ගැන නම් සෑහීමකට පත් වෙන්න බෑ. ඕනෑ කමින් වේගයෙන් ලියන්න.නොයිවසිල්ලෙන් අපි බලන් ඉන්නවා කියවන්න. ඔබේ පුදුමාකාර මතකය ගැන හැමදාමත් වගේම මට අදත් දැනුණේ පුදුමයක් වගේම ආඩම්බරයක්.ඔබට ජය..x
    Dharmalatha Ranasingha A

    ReplyDelete
  15. කාලෙකට පස්සේ මග ඇරුනු ඒවත් එක්ක කතාව කියවලා නිමා කළා. මම කලිනුත් කිව්වා වගේ මේ කතාව "මගේ කතාව" කියලා ලියවුණාට "අපේ කතාව" වෙලා ඉවරයි. අලුත් කතාවක් එනකම් අපි බලාගෙන ඉන්නේ.......

    ReplyDelete
  16. Sir narakada "Hara giya Diwa mihira", " Yatagiya Nidhanaya" kiyana poth wage sir ge jeewith kathawath pothaka liyala publish kaloth..man hithanne eka godak watiy..

    ReplyDelete
  17. සර්, මේ බ්ලොග් එක කියවනකොට හරියට අපිත් එතන ඉන්නවා වගේ තමයි දැනෙන්නේ.. සර්ගේ තාත්තගේ මූණ ඒවිදිහටම මටත් මැවිලා පෙනෙනවා.

    ReplyDelete