Saturday, June 16, 2012

දෙවෙනි දවස



දීර්ඝ නින්දකට පසු මට මහත් සුව දායක බවක් දැනෙයි. මම නිදි ඇඳේ සිට ම මට ඇසෙන නෙක නෙක ශබ්ද ගැන විමසිලිමත් වෙමි. ලොකු තාත්තලාගේ ගෙදරදී මට මුලින් ම ඇසෙන්නේ ගව පට්ටියේ දෙණුන්, පැටවුන් සහ ගවයන් නගන හඬ ය. නමුත් අද ඊට වඩා බොහෝ සෙයින් වෙනස් ය.

කුරුලු කූජනයක් ඇසෙයි. නමුත් ඒ කාගේදැයි ගනිච්චියක් මට නැත්තේ එය මීට කළියෙන් අසා නැති නිසා විය යුතු ය. බුකුම් බුකම් හඬනම් වඳුරන්ගේ ම ය. ඒ අතරේ සැර පරුෂ "හැකෝ හැක්" හඬ ද මට ඇසෙයි. එ සැණෙන් උන්ගේ ඉහළට ඔසවා ගත් ඒරියල් වල්ගය සිහි වෙයි. "චීස් චීස්" ගාමින් හීන් කෙඳිරියක් ලෙස ඇසෙන්න්නේ මවු වැඳිරියන්ගේ බඩ මැද්දෑවේ එල්ලී සිටින වඳුරු පැටවුන්ගේ අඳෝනාව ය. ඒ අතර ලව දෙවක් නැති ව ඇසෙන "ෂූ"වකි. එය කාගේ දැයි මා දන්නේ නැත.
ඉඳ හිට මුලු වන බූටෑව ම වසාගෙන, කන් අඩි පසාරු කරගෙන යන හඬක් මතු වෙයි. විටෙක එය මිනිත්තු 5ක් 10ක් පමණ වේලා එක දිගට ඇසෙයි. වෙනත් කිසියම් හෝ ශබ්දයක් මතු වූ සැණින් ඒ හඬ ක්ෂණයෙන් නිෂ්ශබ්ද වෙයි. පසු ව දැන ගත් පරිදි ඒ රැහැයියන්ගේ විලාපයයි. 

මේ සියලු ශබ්ද පූජාවන් අසා සිට ආහ්ලාදයෙන් යුක්ත ව මට ඇඳෙන් බැස යන්නට නොහැකි ය. ඒ නිදිගත් රාත්තිරියේ කිසිවකුට නොදන්වා පහ වූ මූත්තරා වැස්සෙන් ඇඳ සිටින සියලු ඇඳුම් තෙත බරිත ව ඇති නිසා ය. පොරවාගෙන සිටි කඩ මාල්ල ද, දිරා ගිය ඇඳ රෙද්ද ද පමණක් නොව හිස තබාගෙන සිටි කොට්ටය ද තෙමන්නට තරම් මූත්තරාවක් කොහෙන් පැමැණියේදැයි සිතා ගන්නට අදත් මට නොහැකි ය. අයියා හැර මා ද, පාලිත මලයා ද තෙමූ සියලු ඇඳ ඇතිරිලි සියල්ල භාර වන්නේ තාත්තාට ය. මෙය එතරම් අලුත් අත්දැකීමක් නොවන නිසා ම තාත්තා කිසිවක් නොදොඩා ම අප තෙමූ ඇඳ ඇතිරිලි කොට්ට සියල්ල ගුලි කොට ගනියි. එය අහඹුවක් වුව ද ලොකු වරදක් කළ සෙයක් මගේ ළපටි සිතට වැටහෙයි. එනිසා ම අදනම් ඇඳේ චූ කරන්නේ නැතැයි තරයේ සිතා ගනිමි. නමුත් මහ පාන්දර පෙනෙන අමුතු අමුතු සිහින අතරේ පියමං කොට අවසන ඇඳ තෙත බරියං වී ඇති වග දැනෙන්නේ උදේ පාන්දර ය.

ලොකු තාත්තලාගේ ගෙදර සිටිය දී පවා, තාත්තා, නිදි මරගාතයෙ සිටින අප ව වත්තං කොටගෙන ගොස් නින්දට පෙර චූ කරවූ සැටි මට මතක ය. නමුත් නිදි දෙව් දුව අප වැළැඳ ගත් සැණින් ඒ සියලු බැමි ලිහිල් වෙයි. අපි නිදහසේ පියා සරන්නෙමු. අපට කිසිදු බාධාවක්, අතුරු ආන්තරාවක් නැත. අප පසු පස්සේ එන්නේ ද අපට හිතැති සතා සිවු පාවෝ ය. අපි සිත් සේ උන් සමග කෙළි සෙල්ලම් පාන්නෙමු. සින්දු කියන්නෙමු. නැටුම් නටන්නෙමු....ඉඳ හිට අපට එරෙහි ව දත් විලිස්සාගෙන එන්නේ අප සමග දවල් කාලයේ සෙල්ලම් කරන සූටියෝ ය. සුද්දෝ ය. බූලියෝ ය. පපියෝ ය. බ්‍රවුන්ලා ය. බ්ලැකියා ය. ආදී දඩෝරියෝ ය. දවල් තිස්සේ එකට සිටි මේ වල් බල්ලෝ මහ රෑ වූ විගස අපට එරෙහි වෙයි. උන් දත් විලිස්සාගෙන අප පස්සෙන් හඹා එයි. නමුත් අප උන්ට බිය වන්නේ නැත. අපට මහා සෙනගත් සිටියි. වසන්තයියාගේ පිරිවර ද, අනිල් අයියාගේ පිරිවර ද, නාමලී අක්කාගේ පිරිවර ද ආදී එකී නොකී ජන ගංගාවක් අපව සිටියි. අපට පොලු මුගුරු නැත. යගදාවන්, කඩු කස්තාන, තෝමර ආදී ආවුද කිසිවක් නැත. නමුත්, අප සැවොම එකා මෙන් එකතු ව උන්ගේ ඇඟට චූ කරන්නෙමු. නිකං නොව නට නටා ය. විටෙක අප අසා ඇති සින්දු ද කියමිනි. විටෙක අප උන් කොටු කර ගන්නේ උන්ට මොහාතකටවත් සැඟවෙන්නට බැරි අපූරු තැන්වලට ය. උන් අපට දත් විලිස්සයි. අප බිය වන්නේ නැත. අපි කළිසම් පහත් කොට, ලොකු වතුර බටයකින් විදින්නාක් මෙන් උන්ගේ විලිස්සුණු දත් අතරට චූ ප්‍රහාර එල්ල කරන්නෙමු. එවිට උන් කුං කුං ගාමින් බය පක්ෂපාත වෙයි. එයින් උද්දාමයට පත් වන අපි යළි යළිත් උන් කෙරෙහි චූ ප්‍රහාර එල්ල කරන්නෙමු. ඒ ප්‍රහාරයන් කෙතරම් දරුණුදැයි අපට වැටහෙන්නේ උදේ පාන්දර අවදි වූ විට ය....!!!

වීර වික්‍රමාන්විත අප සේනාව ම තෙත බරියං ව අවදි වූ විට, මුවින් නොබැණ ඒ සියල් අස් පස් කරන්නේ තාත්තා ය. ඉන් පසු අප තිදෙනාව ම ගෙයි පිළිකන්නට රැගෙන ගොස්, වතුර බාල්දියෙන්  දෝතට වතුර ගෙන අපේ ඇඟේ පහළ කොටස සෝදන්නේ ය. එතෙක් වේලා කමීසය අල්ලාගෙන ගුලි කරගෙන සිටීම අපේ චාරිත්‍රයක් මෙනැයි මට සිතෙයි. 

ලිප් බොක්කෙන් අහුලා ගත්, අඟුරු කැටයක් විකා දත කට මැද ගැනීම සිදු වන්නේ ඊට පසු ය. ඉඳ හිට මේ අඟුරු කැටයට ම ලුණු කැටයක් ද එක් කොට දෙන්නේ තාත්තා ය. අඟුරු කැටයේ වහුතු රස ද සමග ලුණු රස එක් වූ විට මොකක්දෝ අමුතු රසයක් මතු වෙයි. එය මේ යැයි කියන්නට මට බැරි ය. මන්ද මතක ඇති කාලයක ඒ රසය අත් විඳ නැති නිසා ය. අදත් මම ඒ රසය විඳින්නට මහත් සේ ලොල් වෙමි. නමුත් ස්ටේන්ලස් ස්ටීල් වානේ තහඩුයෙන් සුසැදි ගෑස් කුකරය අඟුරු කැට සාදා දෙන්නේ නැත...!!




Share/Bookmark

13 comments:

  1. Dharmalatha Ranasingha .A
    කාළෙකට පස්සේ ආයිත් ලියන්න පටන් අරන් තියනව දැකීමත් සතුටක්. ඒත් අපි මහත් අභිරුචියෙන් කියවන්න බලන් ඉන්න නිසාමද මන්ද ලීවීම මන්ද ගාමී වෙලා තියෙන්නේ.මුල් කොටස් කියවද්දි හිතෙන්නේ පෑන අතට ගන්න කොටම කථාව ඉබේම ලියවිලා කියල.ඒ කොටස් ඒ තරමටම රසයෙන් පරි පූර්ණයි. ඊලග කොටස ඉතා ඉක්මනින් ලිවීමට හැකියාව ශක්තිය හා ඕනෑ කම හිත තුල පැල පැදියම් වේවායි ප්‍රාර්ථණා කරමින් .එය එනතුරු මග බලන් සිටිමි.

    ReplyDelete
  2. බොහොම සුන්දර තැනකට හිත ගෙනිහින් දානවා,ආයේ එන්න නොහිතෙන තරමට
    ඒත් ඔය සුන්දරත්වය වාණිජකරණයට,ගෝලීයකරණයට යටවෙලා අතීතයටම සීමා කරලා නිසා අකමැත්තෙන් හරි හිත ඇදගෙන එන්න වෙනවා....

    ReplyDelete
  3. කොල්ලන්ගෙ චූ රෙදි සෝදන තාත්ත කෙනෙක්.කිසිම දෙයක් නොකියා.....ඒ කොල්ලා දැන් තාත්ත කෙනෙක්.තව ටික දොහකින් සීය කෙනෙකුත් වෙයි........

    ඔබේ අකුරු මවන සිත්තම හරි අගෙයි සර්....

    ReplyDelete
  4. ඇත්තටම සුන්දර මතකයකට අරන් යනවා.අකුරු ගැලපුම හරි අගෙයි ..

    ReplyDelete
  5. Nawatha lama wiyata oba mawa arangiya Sir.... mata duka dan inna lamainta oya lama kalaya nathi ekai....

    ReplyDelete
  6. ලස්සනයි !!!! පැරණි, සරළ, අව්‍යාජ ගැමි සුවඳින් සිත කුල්මත් කෙරෙනවා - - - - - - !!!!

    ReplyDelete
  7. අහ්... බ්ලොග් එක දැක්කෙ අදනෙ. ඇයි ලොකු විරාමයක් අරන්. දිගටම ලියන්න. අපි බලනව.

    ReplyDelete
  8. හැමදාම ඉල්ලන අහිංසක ඉල්ලීම...

    සතියකට සැරයක්වත් එනවද මේ පැත්තේ අපට දුක් නොදී.....

    අළුත් පොතේ වැඩේ සර්ව සාර්ථක වේවා අයියා...

    ReplyDelete
  9. චූ කතාවනම් මගේ කතාවමයි. පොඩි කාලෙ (පොඩි කාලේ කිව්වට ඉස්කෝලේ 8 වසරෙදිත් දෙතුන් සැරයක්ම ඔය වැඩේ උනා) හැමදාම පොරවන රෙදි (ඒ කාලේ අපි තුන් දෙනාම පෙරෙව්වේ අම්මිගේ පරන සාරි) හෝදන්න මෙට්ටේ අවුවට දාන්න අම්මිට කරදරේ නිසයි, උදේට නැගිට්ටම මන් වටෙට එන පුසුඹට නoගියි අයියයි හිනාවෙන හින්දයි කොච්චර හිතින් හිතාගෙන නිදාගත්තත් පාන්දරවෙනකොට දවල් වගේම එක්කෝ මිදුලේ තියෙන කෝපි ගහ උඩ එහෙම නැත්තම් වත්තේ අඹ ගහ මුදුනටම නැගලා වැඩිම දුරකට වැටෙන්න චූ විදින කෙනා තෝරන තරගේ තියනවා.
    එහෙමත් නැත්තම් අර පුවක්ගස්වල ඇලවිලා ඉන්න ලොකු කටුව තියෙන ගොලු බෙල්ලෙක් ගලවලා අතට අරන් ඌ ඔලුව කට්ට අස්සේ හoගාගත්තම උඩුබැලි අතට හරවලා කටුවේ ඉතිරිවෙන ඉඩටික පිරෙනකල් චු පුරවලා රස්නෙටයි ලුනුසැර නිසයි ඇතුලේ ඉන්න බැරිව හැoගුන ගොලුබෙල්ලා එලියට ඇවිත් දගලන විදිය බලලා හැoගුන එකා කොහොමහරි එලියටගත්තා කියලා ජයග්‍රාහි ලීලාවෙන් අනිත් සගයන්ට පේන්න හිනාවෙනවා. ඒ වෙලාවට අපේ එකෙක්ම මැද්දට පැනලා හරස්වෙලා "ඔය සතා අහින්සකයි, පවු නිකන් හිටහන්.. " වගේ අනන් මනන් බණ කියන්න ගත්තොත් චූ පුරොපු ගොලුබෙල්ලාගෙන්ම දමලා ගහනවා ඇග පුරාම සෙවල චූ හැලෙන්න.
    දවල්ට හැබැහිනුයි රෑට හීනෙනුයි කරන මේ ඔක්කොම සුන්දර උනාට උදේ නැගිටලා කොට්ට මෙට්ට දිහා බැලුවමනම් දැනෙන හැගිම, දුක, ලැජ්ජාව, අම්මි ගැන හිතෙන අනුකමපාව වචනවලින් කියන්න බැරිතරමයි.

    ReplyDelete
  10. අගෙයි ඔබේ තරම් වයසක් මට නැතත් අපිට තිබුණු අද ලමයින්ට නැති ළමා කාලය ගැන මතක් වෙද්දි දුකයි

    ReplyDelete
  11. කාලෙකට පස්සෙ සර් ලියලා තියෙන්නෙ අලුත් කතාවක්. වෙනදා වගේම රසවත්!

    ReplyDelete
  12. ඕන් අද කතාවත් කියෙව්වා :)

    ReplyDelete
  13. නමුත් ස්ටේන්ලස් ස්ටීල් වානේ තහඩුයෙන් සුසැදි ගෑස් කුකරය අඟුරු කැට සාදා දෙන්නේ නැත...!! කොහොම හරි අන්තිම වාක්‍ය රිදෙන්නම දෙනවා.

    ReplyDelete