Wednesday, July 11, 2012

සරණේ දවස



මේ පාසල් නිවාඩු කාලය නිසා තාත්තාගේ "සරණ" ඉස්කෝලයට උදේ ද ළමුන් එයි. දැන් මේ ළමුන් එකා දෙන්නා තාත්තාගේ පන්තියට පැමිණෙයි. බොහෝ ළමුන් එන්නේ තනිව ම ය. එකෙක් දෙන්නෙක් පමණක් වැඩිහිටියකුත් සමග පැමිණෙයි. සුදු අත්කොට කමීසයකින් ද, සුදු සරමකින් ද සැරසී සිටින තාත්තා, තේක්ක ලීයෙන් සැදුණු, විසල් සිය ගුරු මේසයට අයිති ඇඳි පුටුවේ වාඩි වී සිටියි. පැමිණෙන වැඩිහිටියෙක් තාත්තා අසල එකත් පස් ව සිටිමින් මොනවා හෝ කතා බහ කරනු මට පෙනෙයි.

පැමිණි ළමෝ දෙතුන් දෙනෙකු වූ විට ඔවුන් ශාලාව අසබඩ මිදුලේ සෙල්ලමට ලක ලැහැස්ති වෙයි. ඔවුහු දුව පනිති, ටික වේලාවකින් එහ මහා ගෝසාවක් වෙයි. උදා හිරු කිරණින් නැහැවෙන ඔවුන් මත පතිත වන විරුද්ධාලෝකය Against the Light මගින් සාදන දූවිලි වලාවන් මසිත මහා රූප මාලාවක් ජනිත කරයි. දූලි වලාව මැද්දේ  කැලිසේයා Silhouette ලෙසින් පෙනෙන්නේ කළු පාට දඟලන රූප පමණි.

මටත් මේ දඟ සේනාව මැද්දට පැන කෙලි සෙල්ලම් කරන්නට සිත් වෙයි. නමුත් බොහෝ කුලෑට්ටන් වූ අප, මෙතරම් දඟ ලෙස සෙල්ලම් කළ බවක් මගේ මතකයට නො එයි. එමෙන් ම මේ අප ගෙවන්නේ අපේ අලුත් රාජ්‍යයේ පළමු දිවා කාලය නිසාත්, පැමිණි ළමුන් කිසිවකුත් දැන හඳුනන්නේ නැති නිසාත්, ඒ අතරට යන්නට සිත් නොදෙයි.

කළ යුතු කිසිවක් නැති බැවින්, තාත්තා පන්ති පවත්වන කොටසත්, අප නිදා ගන්නා කොටසත් අතර ඇති කෙටි වරිච්චි බැම්ම මත දෙඅත් තබා, ඒ මත නිකට තබාගෙන ඔහේ බලා සිටිමි. වැඩි වේලා නොගොස් තාත්තා පන්ති පටන් ගනියි. පැමිණ සිටින ළමෝ හතු අට දෙනා ලෑලි බංකු මෙස මත පන්ති තුනක් වන සේ වාඩි ගනියි. එක පන්තියක සිටින්නේ ළමුන් දෙන්නෙක් පමණ ය. එක ම එකක පන්තියක පමණක් තුන් දෙනෙක් සිටියි. ඔවුන් බෙහෙවින් කුඩා උන් ය. මගේ වයසේ වන්නට පුලුවන. ඉන් එකියක් මට හොඳ හැටි මතක ය. නළල පුරා බේරෙන සේ තෙල් ගල්වා, තද කොට හිස පිටුපසින් කොණ්ඩ කුරුච්චියක් බැඳ සිටි ඈ, අඟුරු කෑල්ලක් මෙන් කළු ය. මිටි ය. බෝල පෙනුමක් පෙනෙන තරම් තර බාරු ය. ඇඳ සිටින්නේ අව කොළ පැහැ ගැන්වුණු කොට ගවුමකි. බණ්ඩි ගෙඩිය නිසාවෙන් ගවුමේ ඉදිරි කොටස තරමක් උස් ව තිබෙයි. ගමන බිමන ද ඉතා සෙමිනි. හැම විට ම එක් නාසයක් හකුලුවා ඉහළට අදින ඈ, වාර හත අටකට වරක් නාස් අගින් බැලුමක් සේ පිම්බෙන හොටු බෝලය සිය අත්ලෙන් පිස දමා, අතේ ගෑවෙන හොටු ගවුම පිටු පස්සේ අතුල්ලා ගනියි. ඈ සිනාසෙන විට ලේනෙකුගේ මෙන් පොල් දත් දෙකක් මට පෙනෙයි. මිටි බංකුවේ වාඩි වී සිටින ඈ. හිස මේසයේ ගෑවෙන තරමට ම පහත් කර ගෙන මහා රාජකාරියක යෙදෙන සේ මට පෙනෙයි. ඉඳ හිට හිස මඳක් ඉහළට ඔසවන ඈ, වට පිට බලන්නේ ද සෙමිනි. බාගෙට විවර ව ඇති මුවින් පොල් දත් දෙක පෙනෙන විට මට සිතෙන්නේ ම ඈ මාහා සිනාසෙන බවකි. නමුත් නාඳුනන්නියක වන ඈ සමග මට සිනා සෙන්නට බැරි ය. මට මහත් කෝළ බවක් දැනේ.

මම වටපිට බලමි. අයියා ඇඳ විට්ටමට හේත්තු වී පොතක් බලමින් සිටියි. ඒ ඇඳට එහායින් ලොකු පොත් රාක්කයක් වෙයි. එය තාත්තාගේ ය. එහි ඇති පොත් මහා විසාල ය. බොහෝවක් පොත් කවරවල රතු පාට අනිවාර්යයෙන් අන්තර්ගත ව තිබෙයි. කොහොමත් නිෂ්ශබ්දයකු වන පාලිත මල්ලී බිම ලැගගෙන පොල්කට්ටක් සමග මොකක්දෝ ලොකු පටලැවිල්ලක ය.

කාලය වේයෙන් පියඹා යයි. දැන් පන්තියේ විවේක කාලයයි. එසැණින් නැවත ඇසෙන්නේ ළමුන්ගේ ගාලගෝට්ටියයි. ඒ අතර වාරයේ තාත්තා පැමිණ කමීසය ගලවා බිත්ති කණ්ඩියේ එල්ලා, ලිප ළඟ හරි බරි ගැහෙයි. පළමුවෙන් ම ලිප ගිනි දල්වා ඒ මත කේතලය තබයි. ඉන්පසු නෑඹිලියට හාල් ටිකක් ගෙන, මැටි කෝප්යද ළං කරගෙන එය ගරයි. තාත්තා රිද්මයානුකූල ව නෑඹිලිය පද්දවමින් හාල් ගරන අයුරු හරි අපූරු ය. කේතල් කෙමියෙන් දුම් දමන විට තාත්තා හාල් ගරා අවසන් ය. ඉන්පසු තාත්තා තේ සාදා අපට දෙයි. බත් මුට්ටිය ලිප මත තබන තාත්තා නෑඹිලියට වතුර ටිකක් ද දමා එය මුට්ටිය මත තබයි. බත කූරු ගා ලිප නිවීමේ රාජකාරිය අයියාට බාර දෙන තාත්තා යළි කමීසය ඇඳගෙන පන්තිය දෙසට යයි. එසැණින් එලියෙන් ඇසුණු ලොකු ගාලගෝට්ටිය සැණෙන් නිහඬ වෙයි. දැන් ඇසෙන්නේ දණි පණි ගාමින් දුවගෙන එන අය ඩෙස් බංකු අදින හඬ ය. මම හිස ඔසවා බලමි. අර පොඩි කෙළිත්ති ය නිහඬව ම බංකුව මත වාඩි වී සිටියි.

කාලය ගත වන්නේ ඉතා වේගයෙනි. දැඩි උණුසුමක් දනවමින් හිරු මුදුන් වෙයි. පොල් අතු වහළයේ කුඩා සිදුරකින් මතු වන හිරු කිරණක් ගොම මැටි ගෑ බිම මත අපූරු සිතුවමක් මවයි. හිරු ද පොළොව මත ය. නිල් අහස සිසාරා වේගයෙන් වළාකුලු චලනය වෙයි. මම ඉරට්ටක් ගෙන හිරු නවතන්නට උත්සාහ කරමි. නමුත් එය නවතින්නේ නැත. ඒ අල්ල පනල්ලේ පන්ති අහවර කොට තාත්තා යළි එයි. යළි කමීසසය ගලවා මිදුලේ වැලේ වනන තාත්තා අත් දිග බැණියම පිටින් ම යළි ලිප් බොක්ක ළඟ වාඩි වෙයි. ඒ බත් කන්නට මොකක් හෝ හොද්දක් මාලුවක් සකසන්නට ය.

තාත්තා පොල් ගෙඩියක් ගෙන එහි මුඩ්ඩ කඩා, මන්නා පිහිය ගෙන එය වටේ ටක් ටක් ගාමින් තට්ටුවක් දමයි. ඉන් පසු හරියට ම නිලය බලා වැරෙන් පහරක් ගසයි. ඒ වැගිරෙන පොල් වතුර පහළ ඇති නෑඹිලියට වෑස්සෙන සේ ය. ඉන්පසු අයියා ද මාද මේ නැඹිලියට කට තබා පොල් වතුර බොන්නෙමු. එය මිහිරි රස ය. අයියා ද මාද තාත්තාට උදව් වෙන්නෙමු. අයියා පොල් ගායි. හිරමණය උඩ කකුලක් නවා හරහට දමාගෙන වාඩි වී, තායකට උරිස්ස පදවමින් බරස් බරස් හඬින් පොල් ගානා අයුරු හරි අපූරු ය. ඇලුමේනියං පිඟාන සුදු පාට පොල් රළින් වැසෙයි. පොල් මිරිකන්නේ ද තාත්තා ය. මැටි කෝප්පයට දමන පොල් ටිකට එතුර ටිකක් දමා තාත්තා මිරිකයි. තාත්තාගේ ඇඟිලි අස්සෙන් මතු වන හීන් පොල් කිරි රලක් මගේ මුහුණට ද වැදෙයි. අතින් එය පිසදමන මම අත ලෙවකමි. දූවිලි සමග කිරි රස ගෙනෙන්නේ ද මාර රසකි. තාත්තා වේවැලින් සෑදූ කිරි ගොට්ටේ ගැට්ට අතින් ගසමින් කිරි ටික බේරා ගනියි. මිටි කිරි වෙනම ම ද පොඩි මැටි භාජනයකට දමන අතර, දිය කිරෙන් කෙලින් ම වැංජනය ලිප තැබෙයි. දැන් ඉතිං හොද්ද ඉදෙන තෙක් බලා සිටිය යුතු ය. අයියා කුස්සිය අස් පස් කරන අතර ලොකු මැටි කෝප්යේ ඇති අව ගැන්වුණු වතර ටික වීසි කිරීම ද මට මහා රාජකාරියකි.

මොහොතකින් මාර සුවඳක් වහනය වෙයි. මට මහා බඩගින්නක් දැනෙයි.

කඩල පරිප්පු හොද්ද සමග සුදු බත ගෙනෙන්නේ අමා රසයකි.

Share/Bookmark

20 comments:

  1. අපේ කතාවත් ඔය හරියෙදි ඔහොමම තමා ඉන්ද්‍රනාථ අයියේ...

    වෙනදා වගේම ආසාවෙන් කියෙවුවා... මල්ලි බලං ඉද්දී අර හිරමනේ උඩ කකුල නවලා හරහාට දාගෙන පොල් ගාන අයියා මම...

    ReplyDelete
  2. තාත්තා පොතක් අරන් කියවා කියවා ඉන්න කොට අම්මයි අක්කලා දෙන්නයි මායි කුස්සියෙ උයන වෙලාවට වෙන සිද්ධිය මගේ මතකයට ගලා ගෙන ආවා..

    ReplyDelete
  3. ow maraya hari ape kathawa th oya wage thamai.habi e jiwithaya dan apita thibunanam ????

    ReplyDelete
  4. එසැනින් හිතේ නැගුන සිත්තම කොලයක ලා අනුනට පෙන්වන්න නොහැකි වීම, කාලය විසින් නිමවූ නාට්‍යාංගයක අවසන්වෙමින්යන රංග ධාරාවයි. ඒත් ඉන්ද්‍ර. මගේ හිත තුළ ජනිත සිත්තම, මාහැර මෙලොව මා හා සමව දැකිය හැකි කෙනෙක් වෙත් නම්., ඒ උඹම පමනයි., මගේ සකි සඳ.

    ත්‍රිවිධ රත්නානුභාවයෙන් සමාජයට තවතවත් ‍තේනුවර පරම්පරාවේ සේවය බෙදා දෙන්නට දිරිය ශක්තිය ලැබේවා !!!

    අඛිල ජයලත්. - 2012.07.11

    ReplyDelete
  5. "ඉන් එකියක් මට හොඳ හැටි මතක ය. නළල පුරා බේරෙන සේ තෙල් ගල්වා, තද කොට හිස පිටුපසින් කොණ්ඩ කුරුච්චියක් බැඳ සිටි ඈ, අඟුරු කෑල්ලක් මෙන් කළු ය. මිටි ය. බෝල පෙනුමක් පෙනෙන තරම් තර බාරු ය. ඇඳ සිටින්නේ අව කොළ පැහැ ගැන්වුණු කොට ගවුමකි. බණ්ඩි ගෙඩිය නිසාවෙන් ගවුමේ ඉදිරි කොටස තරමක් උස් ව තිබෙයි. ගමන බිමන ද ඉතා සෙමිනි. හැම විට ම එක් නාසයක් හකුලුවා ඉහළට අදින ඈ, වාර හත අටකට වරක් නාස් අගින් බැලුමක් සේ පිම්බෙන හොටු බෝලය සිය අත්ලෙන් පිස දමා, අතේ ගෑවෙන හොටු ගවුම පිටු පස්සේ අතුල්ලා ගනියි. ඈ සිනාසෙන විට ලේනෙකුගේ මෙන් පොල් දත් දෙකක් මට පෙනෙයි. මිටි බංකුවේ වාඩි වී සිටින ඈ. හිස මේසයේ ගෑවෙන තරමට ම පහත් කර ගෙන මහා රාජකාරියක යෙදෙන සේ මට පෙනෙයි. ඉඳ හිට හිස මඳක් ඉහළට ඔසවන ඈ, වට පිට බලන්නේ ද සෙමිනි. බාගෙට විවර ව ඇති මුවින් පොල් දත් දෙක පෙනෙන විට මට සිතෙන්නේ ම ඈ මාහා සිනාසෙන බවකි"

    මේ කොටසක කියවනකොට මට මතක් උන කෙනාව සර්ටත් මතක් වෙන්නැති.. එයා දැන් මේ දරුවාගේ වැඩිහිටි කාලේ වෙන්න පුලුවන්...

    බොහොම සුන්දරව චිත්‍රපටි රාමු අපේ හිතේ මනවා සර්....

    ReplyDelete
  6. සිද්ධිය චිත්ත රූප මැවෙන විදිහට ලියලා තියෙනවා.. දක්ෂ රචකයෙක් වුනාම එහෙම වෙන්න ඕනනෙ.. :)

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. කඩල පරිප්පු, සුදුබත්, පොල් සම්බෝල වලටත් වඩා රසවත්, හිතට කාවදින අපූරු සටහනක්.
    අතීතය සිහිකර සිතට ගෙනදුන් සැහැල්ලුවට ස්තුතීයි.

    ReplyDelete
  9. හෑමදාම කියනවා වගේ ඔබතුමාගේ චිත්ත රූප මැවීමේ හැකියාව විශිෂ්ඨයි

    ReplyDelete
  10. අයියෝ හැගීම කියා ගන්න බැරි තරමට වදන් ගොලු වෙලා

    ReplyDelete
  11. සර්ගෙ පොත්පත් වල පටුනෙ තිබුනු ජීවිත කතාවේ කොටස් කියවපු මට සර්ගේ සම්පුර්ණ කතාවම කියවන්න තිබුනා නම් කියලා හිතුනු වාර අනන්තයි. ඒ ගැන කිව්වම සර් කිව්වෙ "කව්ද ඕවා කියවන්නෙ කියලා".

    කියවන්න අයද නැත්තෙ, මේකතාවත් අනිත් කතා සියල්ල වගේ ම රවසත්. අද කතාවෙන් ඉස්මතු වෙන්නෙ මට නං තාත්තාගේ ධෛර්යය.

    මං කියනවට ඔය පොටෝග්‍රැෆි පොත් ලියන අස්සේ මගේ කතාව කියලා පොතකුත් ලියන්න. අපි ඉන්නවා කියවන්යි කියවන්න පුරුදු කරන්නයි.

    ReplyDelete
  12. වචනයක් හරි ලියපු හැමෝට ම බොහෝම ස්තූතියි...!!

    ReplyDelete
  13. අද් තමයි මේ පැත්තේ ආවේ,
    කාර්යාලේ වඩ පැත්තක තියෙද්දි මුල උදන් කතා 30 ම කියෙව්වා,
    නියමයි අයියේ නියමට ලියල තියනවා, හිතට දැනෙන විදිහට.
    ඔබ තරම් අත් දැකීම් නැතත් හද්ද පිටිසරින් ජීවිතය පටන් ගත් අපිට මේ කතා හරිම සන්වේදි.
    ඔබට සදා ජය
    දිගටම ලියන්න,

    ReplyDelete
  14. කුරක්කන් ගලට දෙවෙනි වෙන්න හිත නොදුන්නත් අකමැත්තෙන් උනත් උස්සල හිරමනේ පිටිපස්සෙන් තියා ගන්නවා නැත්නම් පොල් ගාන වාරයක් පාසා
    පිටිපස්සෙන් උඩ යනවා. ඉක්මනට ලොකුවෙලා කුරක්කන් ගල නැතිව පොල්ගාන්න හරිම අසාවෙන් උන්නේ.ඒ සිතිවිල්ල ඉවෙන් මෙන් හදුනා ගත්ත අම්මා.
    මම කන්න අකමැති පලා වර්ග කවාගන්න අවස්ථාව කරගත්තා.ඒව කෑවේ නැත්නම් හැමදාම කුරක්කන් ගල තියාගෙන පොල්ගාන්න වෙනවලු.පොල් ගාන ගමන්
    අම්මට හොරෙන් වටේටම උලාකනවා.අම්මෝ එහෙම රහක්.ඒ දහසකුත් සිදුවීම් ජීවිතයට ලබාදුන් පන්නරය පහදන්නට මටනම් නොහැක.එහෙව් මතකයන්
    යලිත් ආවර්ජනය කල ඔබට පින් සර්.

    ReplyDelete
  15. R .DHARMALATHA RANASINGHA .A
    හැමදාමත් ඔබේ කථාව බලන්න මහත් ආසාවෙන් ඉන්න මට අසනීප තත්වය මත පොඩ්ඩක් අතපසු උනා. සමාවෙන්න.හැමදාමත් ඔබගේ පුදුමාකාර මතකය ගැන අප්‍රමාණ මවිත වෙන මම අද වෙනදාටත් වඩා පුදුමයක් දැණුන. පුංචි තේනුවරගේ හිතේ අර පුංචි කෙළි පොඩිත්ති ගැන තියෙන ප්‍රබළ මතකය ගැන කියවනකොට.මම ඇස් පියාගෙන ඔය ඔබ ඉන්න වයසට ගිහින් මගේ ළමා කාලය හිතෙන් අත පත ගාන්න උත්සහ කලත් කවදාවත් හුගක්ම පුංචි කාළය ගැන ඔච්චර දුරකට යන්න බැහැ.මේ කියවන හැමදාමත් වගේ මගේ නෙත විතරක් නෙවෙයි හිතත් තෙත් වෙනව.මට දැනෙනව දරු කැලතක් සමග පුදුමාකාර විදියට ජීවිතේ එක්ක හැප්පුන ඔබේ පියා මහා වීරයෙක් වගේ.ඒ වගේම ඒ වීරය බලන්න කවදාහරි මම යනවම කියන තද බල හැගීමක් හිත වෙලාගන්නව. ස්තූතියි ඔබට .ඒ වගේම ඉතා ඉක්මනින් ලියන්නට ශක්තිය හා ධෛර්‍ය් ලබේවායි පතනව.*

    ReplyDelete
  16. කතාව කියවනකොට අප්පච්චිව මතක් උනා... අපිත් පොඩි කාලේ අප්පච්චි උයන කෑම කන්ට හරිම ආසයි....
    මාරයාගේ බ්ලොගෙන් තමයි මෙහාට පාර පෙන්නුවේ....කළින් කතාත් වෙලාව ලැබුන ගමන් කියවනවා....

    ReplyDelete
  17. මාරයා අයියාගේ පාරෙන් ආවේ.. එතකොට අම්මා? ඒ කාලේම නැති වෙලාද?

    ReplyDelete
  18. මුලක ඉඳලා ආයෙම කියෙව්වා,. මට මේ කතාව දැනෙන්නේ හරියට මායා රන්ජන් ගේ කතාවක් වගේ,. ඒත් එකම වෙනස... මේ කතාව ඇත්තක් නේද?

    ReplyDelete
  19. අදයි මේ බ්ලොග් එක නෙත ගැටුනේ... පැය ගාණක් තිස්සේ "මගේ තාත්තා" ගාව ඉඳන් "සරණේ දවස" වෙනකම් අකුරක් නෑර කියෙව්වා. කවදාවත් හරියකට විඳලා නැති ඒත් හැමදාමත් විඳින්න පෙරුම් පුරපු, කාගේ හරි නවකතාවක අකුරු අස්සෙන් විතරක් දැකපු "ගම" ඒ හැම පෝස්ට් එකකදිම හිතේ හැටියට දැක්කා. ඒ ගම, "ගම" කරපු "තාත්තා" ඊටත් වඩා හොඳට දැක්කා.

    ඊලඟ ලිපිය එනකම් ආසාවෙන් බලන් ඉන්නවා.

    ReplyDelete
  20. Best of the best.

    ReplyDelete