Thursday, November 15, 2012

පොළට ගිය ගමන


ඒ කාලේ සති අන්ත නිවාඩුව ලැබුනේ අද මෙන් සෙනසුරාදා ඉරිදි ට නොව පෝයට සහ පෙර පෝයට ය. කැලැන්ඩරයේ දින සටහන ද අද මෙන් පිළිවෙලට තිබුණේ නැත. මාසේ දින 30 හෝ 31 පිළිවෙලට තිබුණ ද අතර මැද ඉලක්කම් මත අඩ හඳ හෝ පුන් සඳ ලකුණු කොට තිබුණේ ය. අටවකට තිබුණේ අඩ හඳ ය. අමාවකට තිබුණේ රවුමක් විතර ය. මේ හැම පෝය නිවාඩුවකට ම පෙර දිනය පෙර පෝය නම් විය. නමුත් තාත්තා කීවේ "බැල් පෝය" කියා ය...!!

අප  සිටි සරණේ අසබඩින් පාරක් තොටක් තිබුණේ නැති නිසාවෙන් කිසිවකු පංසල් යනවා අප දුටුවේ නැත. නමුත් විඩෙන් විඩේ පංසලේ ඝාණ්ටාරය නාද වනු අපට ඇසෙයි. ලොකු තාත්තලාගේ ගෙදර සිටියදී අප ඉඳහිට ලොකු අම්මා  සහ පිරිවර සමග පන්සල් ගිය හැටි මගේ මතකයට එයි. හැන්දෑවේ බිං කලුවර වැටෙන්නට පෙර අප පංසල දෙසට යන විට, සිල් පාවාරණය කළ සිල් ඇත්තන් පය ඉක්මන් කරමින් අප පියමං කරමින් යනු මට මතක ය. අපේ වැඩිම කැමැත්ත තිබුණේ පහන් පත්තු කිරීමට වුව ද පුංචි උන් වූ අපට ඒ වාසනාව උදා වූයේ නැත.

සරණේ පදිංචියට පැමිණ උදාවන පළමු පෝය දිනය බැවින් අපට එය එතරම් ගනිච්චියක් වූයේ නැත. නමුත් තාත්තා සරමක් සහ අත්කොට කමීසයක් ඇඳ ලක ලැහැස්ති වද්දී අපට ද එය සුබ නිමිත්තක් විය. තාත්තා ලොකු පෝර උරයක් සහ ගෝනියක් ගෙන දෙකට තුනට නවා බයිසිකළයේ ලගේජයේ වූ ස්ප්‍රින් ලොකරය උස්සා ඒ තුළ රුවයි. පළමුවෙන් ම බයිසිකලයට නැගෙන්නේ පාලිත ය. සිරිත් පරිදි  තාත්තා පාලිතගේ කිහිල්ල යටින් අත යවා ඔසවා බයිසිකලයේ පොල්ල මත ස්ථිර ව සවි කොට ඇති ලෑල්ල මතින් තබයි. ඊට පසු බයිසිකළයට නගින්නේ මා ය. මම කකුල ඔසවා සීට් එක මතින් ගෙන පොල්ලේ ලෑල්ල මතින් ඉඳ ගනිමි. තාත්තා කරන්නේ ද එසේම නිසා මාද එය අනුකරණය කරන්නට දැක්වූයේ මහත් කැමැත්තකි. ඊ ළඟට අයියා බයිසිකළයට ගොඩ වෙයි. අවසන තාත්තා එක අතකින් බයිසිකළයේ හැඬලය ද අල්ලාගෙන, අනෙක් අතින් සරම මැදින් අල්ලා, සීට් එකට උඩින් කකුල ඔසවා ගෙනැවිත් වාඩ් වෙයි. ඉන් පසු පැඩලය ආපස්සට වටයක් කරකවා කකුලෙන් සටස් ගා නවත්වයි. පැඩලය ආපසු කැරකෙන විට දම්වැල සහ බල්ලන් නංවන්නේ සුමියුරු සංගීත නාදයකි. එය අසන්නට එතරම් ම ආසා හිතෙයි. ඉන් පසු ඇඟ නවා ගැම්මක් ගන්නා තාත්තා අපද සමග සුළං කපාගෙන ඉදිරියට ඇදෙයි. 

දෙපස ඉලුක් යාය මැද්දෙන් වූ අඩි පාර දිගේ ඉදිරියට යන බයිසිකලය ඉන් පසු පිවිසෙන්නේ පළල් මැටි පාරකට ය. එය කෙළවර තරමක කඳු ගැටයකි. තාත්තා දැඩි ව හුස්ම ගනිමින් මේ පොඩ් කඳු ගැටය තරණය කරයි. එය කෙළවර වන්නේ පළල් තාර පාරකිනි. මේ තාර පාර දිගේ ඉදිරියට යන අපට බඩු මලු කර ගසාගෙන එන ගැහැණුන් සහ මිනිසුන් හමු වෙයි. ඒ අතර අඳුනන නාඳුනන මිනිස්සු බොහෝ සිටිති.  අඳුනන්නෙක් පසු වන විට ඔහු මඳක් නැවතී කර මත ඇති බඩු මල්ල ද සමග ම හිස නවා බයාදු හිනාවක් පායි. තාත්තා ද හිස නමමින් ම ඉදිරියට යයි. 

ඉඳහිට මිනිසුන් පටවාගත් ලොරි බාගේ බස් රථයක් දෙකක් අප පසු කරමින් යයි. ඒවායේ වහළය මත බඩු පොදි පිරී පවතී. කාර් දකින්නේ ඉතා ම කලාතුරකිනි. ඒවා ද ඇස් ගෙඩි පිටට නෙරූ කළු පාට ඒවා ය. එහි මුහුණත් තහඩුව විසුලු මුහුණක් සිහි ගන්වයි. යටින් ඇති රිදී පාට පට්ටම මත ද කහ පාට ලයිට් එකක් හෝ දෙකක් වෙයි. අප පසු කර යන කාරයක් ඉදිරියෙන් හරවන්නට සූදානම් වෙද්දී, එහි දොර දෙක මැද්දෙන් අතක් වැනි යමක් ඉස්සෙයි. ඒ සිග්නල් දමන හැටි ය.

දැන් දැන් අපට මහා ගාල ගෝට්ටියක හඬක් ඇසෙන්නට පටන් ගනියි. එය පැහැදිළි ව කුමක්දැයි කියන්නට නොහැක්කේ බොහෝ කටහඬවල් එක ම සැරෙන් බෝහෝ දේ කියන නිසා ය. දැන් අප මේ පැමිණ සිටින්නේ මී මැසි පොදියක් මෙන් එහෙ මෙහ යන එන මිනිස් සමුදායක් මැද්දෑවට ය.....හෙවත් අම්පාරේ පොළට ය...!!!

මේ පොළ ඉදිරියේ බයිසිකල් පෝලිමකි. ඊට එපිටින් බෝන් ලී ඉහළට ඔසවා නැවැත් වූ ගොං කරත්ත පෝලිමකි. මේ ගොං කරත්ත ඉදිරිපිට හෝ ඒවායේ පැත්තකින් හෝ සිට කට අඹරවමින් විට හපන නානා ප්‍රකාර වූ ගොන්නු පෝලිමක් ම සිටියි. එකෙක් දිග උස අං තට්ටුවක් දරාගෙන ආඩම්බරයෙන් වටපිට බලයි. තවෙකෙක් ඔලුව සොලවයි. එවිට මිහිරි කිංකිණියක් නගමින් උගේ බෙල්ලේ බැඳ ඇති ගෙජ්ජි වැල හඬ නංවයි. වරෙක එකෙක් හිස බිමට හරවා උගුර යටින් ගොරහැඩි හඬක් මතු කරයි. තවෙකෙක් කකුලෙන් පස් වීසි කරයි. එකෙක් වැරෙන් හිස ගසා පිටේ සිටින මැස්සන් එළවයි. තවෙකෙක් මේ තරම් දෙනෝ දාහක් සෙනග සිටිය ද කිසිදු ගනිච්චියක් නැති ව ‍"චොර චොර" හඬින් චූ වගුරවයි. මේ චූ පහරට ඉව අල්ලන තව ගොනෙක් සිය යටි හනුව ඉදිරියට දික් කොට චූ ටිකක් කටට ගෙන මහා විකාරයක් කරයි.

පළමුවෙන් ම තාත්තා අපව පිළිවෙලින් බස්සවාගෙන, බයිසිකළයේ පස්සා රෝදය ඔසවා, ලැගේජයේ ම යට කොටස වූ ස්ටෑන්ඩ්  එක පහත් කර තද කරන්නේ කකුලෙන් ම ය. ඉන්පසු එහි රෝදය උඩ ඇති ලොක් එක අතින් තද කොට සොලවා බලයි. ඉන් පසු ගෙනා බෑග් මලු දෙක අතට ගන්නා තාත්තා පාලිතගේ අතින් අල්ලා ගනියි. මම තාත්තාගේ සරෙමන් අල්ලා ගනිමි. අයියා ලොකු මිනිහකු මෙන් අප සමග ම එයි.

පොළ භූමිය පුරා ම මිනිස්සු ය ගැහැණු ය. බඩු විකුණන්නෝ ද ගැණුම් කරුවෝ ද එක පොදියේ ය. ඔවුන්ට උඩින් පොල් අතු කෑළිවලින් තාවකාලික ව සෑදූ අතු මඩු ය. ඊට එපිටින් වළල්ල ගොඩනැගිල්ලකි. පං පැදුරු සහ වට්ටි පෙට්ටි ගොඩ ගසා ඒ මත එලූ නොයෙක් ජාති එළවලු ද, පලා වර්ග ද, අල ජාති ද අටෝ රාසියක් වෙයි. වෙළෙඳන් කරන ගැහැණු මිනිස්සු දෙගෝල්ලෝ ම තරගෙට ලාබයි ලාබයි කියති. සමහරුන් එසේ කියන විට ඔවුන්ගේ බෙල්ලේ නහර පිප්පෙයි. කෙනෙක් "එන්ඩේ එන්ඩේ..!!" කියමින් අත ද වනමින් අඬ ගසයි. ඇට ගැසුණු ඇඟ පතින් ද වළ ගැසුණු මුහුණු හකු පාඩායෙන් ද පමණක් නොව බර සාර බඩ තඩි මිනිසුන් ද ඒ අතරේ වෙයි. ‍එළවලු පහේ විකුණන බොහෝ දෙනෙක් කෑ ගසන්නේ සිංහලෙනි. ඒ අතර වාරේ තව තුන් හතර දෙනෙක් නුහුරු සිංහලෙන් ද, අතරින් පතර දෙමළින් ද මොනවාදෝ කියමින් කෑ ගසයි. දෙමළ මිනිසුන් වැඩි පුර ම කියන්නේ "වාංගෙයි අයියා.. වාංගෙයි අම්මා.." කියා ය. "ආ අන්නේ අන්නේ වාංගේ.." කියන්නෝද ඒ අස්සේ සිටියි. උන් තරමක් තරුණ ය. ඒ අතරේ එකෙක් මගේ මූණට නැමී "ආ.. සින්න පුල්ලේ.." කියයි. මෙළෝ දෙයක් නොතේරුණ ද, ඒවා ඇසෙන විට මොකක්දෝ නෑ කමක් ඇත්තා සේ දැනෙයි. .

ඒ අතරේ තවෙකෙක් කුඩා සීනුවක් "සිලිං බිලිං" හඬින් අඬවමින් අප අතරින් ගමන් කරයි. ඔහුගේ අනෙක් අතේ එල්ලී ඇති පෙට්ටියේ හතර පැත්තේ වීදුරුවලින් රෝස පාට සහ කහ පාට මොනවාදෝ තිබෙනවා අපට පෙනෙයි. සීරුවෙන් බලන විට ඒවා රැවුල් ගස් වගේ ය. වට පිට බලන ඔහු මෙසේ කියයි "බොම්බෙයි මොටේඒඒයි...!!"

ඊට එපිටින් කෙළවරක ඇන බාගෙන සිටින තව කෙනෙක් පෙනෙයි. ඔහු ඉදිරියෙන් ද අර වාගේම පෙට්ටියකි. එහි ඇත්තේ රෝස පාට, කහ පාට සහ රතු පාට තුනී රවුම් කඩදාසි වැනි ජාතියකි. ඔහු අතේ ද සීනුවකි. මහා ගාල ගෝට්ටි සද්ය මැද්දෙන් ඔහු හීන් හඬින් යමක් කියයි. "නයිඊඊඊස්...!!"

තව තැනෙක ලොකු ලෑලි තට්ටුවක් මත අර වාගේ ම වීදුරු ඇති පෙට්ටි පේළියක් පෙනෙයි. ඒ  හැම එකක ම විවිධ වෛවාරන්න ජාත් තිබෙනවා පෙනෙයි. ඇඟිලි තරම් දිග නෙක වර්ණ කොටං කෑලි, පාට පාට ඉරි සහිත බෝල සහ කොටං, එක එක පාට බෝල බෝල ජාති සියල්ල ම රස කැවිලි වග හඳුනා ගන්නට අසීරු නැත. මේ කැවිලි වර්ග විකුණන මිනිසුන් සියලලෝ ම එක ම ආකාරයේ ඇඳුමින් සැරසී සිටියි. ඔවුන් ඇඳ සිටින සරොම් කොට ය. හඩු ගැහුණු බාච්චු කමීසයක් ඇඳ සිටිනාතර ඉනේ පළල් පොකට් සහිත පටියකි. මුහුණේ නිකට අග එලු රැවුලකි. හිසේ පොඩි තොප්පියකි. විවිධ වර්ණ වුව ද ඒවායේ සැබෑ වර්ණය දකින්නටනම් හත් අට වරක්වත් සෝදා ගත යුතු ය.

රෙදි පෙරෙදි විකුණන්නෝ ද, මාල වළලු විකුණන තොරම්බෝල් කාරයෝ ද සියල්ලෝම එකම පෙනුමේ මිනිස්සු ය. ඊට චුට්ටක් එහායින් සිටින කරෝල කාරයින් ද ඒ වගේ ම ය. තමන් සිටිනා මඩුවේ වහළයේ ද, හරස් පොල් අතු බිත්ති මත ද දැවැන්ත කරෝල කූරි එල්ලා ඇති අතර, ඉදිරි ලෑලි තට්ටුව මත ද කෑලි කැපූ කරෝල කඳු ගොඩ ගසා ඇත්තේ ය. මේ මිනිස්සු ඒ කරවල අත පත ගාන්නේ ද, ඒ අතරින් යන්නේ ද රෙදි වැලක් අස්සෙන් යන්නාසේ කිසිදු වග විබාගයකින් තොරව ය. පොදුවේ ඔවුන්ට කියන්නේ "මට්ටයෝ" කියලා යැයි මා දැන ගත්තේ පසු කලෙක ය. ඔවුන් නැගෙනහිර මුස්ලිම් ජනතා නියෝජිතයෝ ය. ඔවුන්ගේ ගම් පළාත් වන්නේ සමන්තුරේ, ඕලුවිල් සහ කල්මුණේ ආදි පළාත් ය.ඊටත් එහා මඩකලපුවේ සිට එන්නෝ ද ඒ අතර වෙයි. ඔවුන් වැඩි දෙනෙක් පැමිණෙන්නේ මට්ට කරත්තවල ය. බොහෝ දුර බැහැර අය එන්නේ බස්වල හෝ ලොරිවල ය.

මේ සියලු දේ බලා කියා ගන්නට ද, පැටලුම් ඇර ලිහා ගන්නට ද මට මහා කාලයක් ඕනෑ වෙයි. තාත්තාත්, අයියාත්, පාලිතත් සමග ගිය ද ඒ මහා ජන කන්දරාව කවුරු කෙසේදැයි පැටලුම් ඇර ගන්නට මට අසීරු වෙයි. අතර මැද්දේ පනස් අවුරුද්දක් ගෙවී ගියද මා තවමත් සිටින්නේ ඔවුන් අතරම ය...!! 

අද අපව ම ලෑල්ල මත තබා, කෑලි කපා අපට ම විකුණන සට කපට මුර්ග වෙළෙන්දන්ට වඩා අර මිනිසුන් කොයි තරම් සුන්දරදැයි මට දැනෙන්නේ දැන් ය...!!

Share/Bookmark

23 comments:

  1. ලස්සන මතක.....

    "සරණේ" කියන්නෙ මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. http://magekathandara.blogspot.com/2011/09/blog-post.html

      Delete
    2. මුල ඉදං කියවන්න සෙන්නා..... කුරුන්ද මතක වගේ තමා.

      Delete
  2. පොඩි කාලේ අම්මත් එක්ක පොළේ යනකොට, පොළට ඇතුළුවෙන තැනදි අල්ලගන්න අම්මගේ සාය මම අතාරින්නේ ආයිමත් එළියට ආවම... හැතැප්ම දෙක තුනක් ගිහින් ආවා වගේ දැනෙන්නේ... පස්සේ කාලෙක තමයි මම දැනගත්තේ ඇත්තටම පොළ තියෙන පාර වටරවුම් පාරක්ය, තැන් දෙකකින් එකම පාරකට සම්බන්ධ වෙන එකක්ය කියලා...මගේ බිමට හැරවිච්ච ඇස් දෙක වටපිට කැරකෙන්නේ පාට පාට සෙල්ලම් බඩු තියෙන තැන් වල, මුරුක්කු කරත්තේ ගාවදි විතරයි.. සෙනඟ ගොඩේ තෙරපෙන්න, සද්ද බද්ද, තැන් තැන් වලින් එල්ලුන ඉටි රෙදි, මුට්ට කරේ තියාගෙන යන මිනිස්සු..... අදටත් මම පොළේ යන්න බයයි...

    නයිස් කියන්නේ අර පපඩමක් වගේ රවුම්, කටේ දියවෙන ජාතිය නේද....? බුල්ටෝයි, බොම්බයි මොටෙයි කන්න පෙරේත මම නයිස් කාලා නැති වෙන්න බෑ.. ඒත් අපි කිව්වේ පපඩම් කියලා...

    ReplyDelete
    Replies
    1. මමත් ඉස්සර ඔහොම අම්මගෙ ගවුම අල්ලන් ගිහින් තියනවා.. ඒත් පුදුම් වැඩේ කියන්නෙ මේන් ටික වෙලාවක් ගිහිල්ලා උඩ බලද්දි මම වෙන ගෑනු කෙනෙක්ගෙ ගවුමක් අල්ලන් ඉන්නෙ. හීතල වෙලා ලේ වතුර වෙලා අඩන්න ඔන්න මෙන්න කියලා වට පිට බලනකොට අම්මා ඉන්නවා වෙන තැනක එළවලු තෝර තෝර.. ඕක මට දෙතුන් පාරක්ම වෙලා තියනවා.. කොහොම වෙනවද කියලා ගනිච්චියක් නෑ...

      Delete
    2. මේක නම් ඉතින් හිතලාම කරන වැඩැක් වෙන්ට ඕනේ හී හී...

      Delete
    3. ඔව් පොඩ්ඩි.. මම අදටත් පොළේ යන්න හරි බයයි... මහරගම පොළට ගියාම මම අපේ මහත්තයගේ අත අතාරින්‌ෙන් නෑ වැරදිලාවත්.. එයා තමයි බඩු ගන්නේ එහෙම.. මම ගන්න ඕ‌ෙන් ජාති ටික කියන එකයි, බෑග් ටික උස්සන් එන එක විතරයි... පොළෙන් එළියට ආවාට පස්සේ තමයි මට හරියට හුස්ම වැටෙන්නේ.. හි හි...

      සෙන්නා.. අම්මෝ.. එහෙම උනානම් මම ඔක්කොටම කලින් කෑ ගහලා අඬයි.. හොඳ වෙලාවට එහෙම උනේ නෑ එක පාරක් වත්.. හි හි...

      Delete
  3. අයියේ උඹේ මතකය මසුරන්! ඒ වාගෙම හැම පොඩි සිද්දියක්ම විස්තර කර තියන ආකාරය, ඉතා මන්ස්කාන්තයි.

    සෑහෙන කාලෙකින් බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ,

    ReplyDelete
  4. //අතර මැද්දේ පනස් අවුරුද්දක් ගෙවී ගියද මා තවමත් සිටින්නේ ඔවුන් අතරම ය...!!//

    අතර මැද්දේ විසිපස් අවුරුද්දක් ගෙවුනද මා සිටින්නේද තාමත් ඔවුන් අතරය...
    තාමත් ඉරිදාට පොලට යන මට ඉන්ද්‍රනාථ අයියා කිව්වම තමා මතක් උනේ

    //වෙළෙඳන් කරන ගැහැණු මිනිස්සු දෙගෝල්ලෝ ම තරගෙට ලාබයි ලාබයි කියති.//

    දැන් ඒ සද්දේ නැහැ නේද කියලා...

    ReplyDelete
    Replies
    1. දැන් ලාබෙට ගන්න දේවල් නැහැනේ. :)

      Delete
  5. මෙවන් පෙරේරාNovember 16, 2012 at 9:25 AM

    දක්ෂ ලෙස අකුරු අමුණා විචිත්‍ර ලෙස රූප රාමු මවනවාට අමතරව නොදැනුවත්වම මිහිරි නාද ඇසීමටද සලස්වනු ලැබ ඇත පා පැදියක් යනු මේ ලොව ඇති අනර්ගතම වස්තුව යයිද එහි ඇති දැති රෝද ආදිය මේ ලොව ඇති සංකීර්ණම නිර්මාණ යයිද සිතා අතේ පයේ මජන් තවරාගෙන ඒවා " මස් කර " " බල්ලන් " , " බෝල " සහ මෙහි " දම් වැල " යනුවෙන් භාවිතා කෙරී ඇති අමු සිංහල වචනය ආදිය ගැන පරතෙරට හදාරා ඇති එකල දඟකාරයෙකුට හැර අන් අයට "පැඩලය ආපසු කැරකෙන විට දම්වැල සහ බල්ලන් නංවන්නේ සුමියුරු සංගීත නාදයකි යන්න වැටහිනිද , නොඑසේනම් දම්වැලකින් බැඳී බල්ලකුගේ රූපයක් මැවී සිත් වික්ෂිප්තව ගියේදැයි සැක සිතේ . අව්‍යාජ විචිත්‍ර රචනයකි . ලොකු රුචියකින් කියැවීමි - - - - - !!!!

    ReplyDelete
    Replies
    1. කතුවරයාට මැවීමට අවැසි චිත්ත රූපය මවා ගැනීමට, ඒ පිළිබඳ දැනුමක් ලබා ගැනීමට තරම් මා නම් වාසනාවන්තව තිබුනි.. ඔය පැඩලය ආපසු කරකැවීමේදී මැවෙන මිහිරි නාදයද මා අනන්ත විඳ ඇත්තෙමි. මටද එය මිහිරි නාදයක්ම විය.

      Delete
  6. ඉතිරි ටිකත් කියවීමට නොඉවසිල්ලෙන් :)

    ReplyDelete
  7. අව්‍යාජ රචනය හේතුවෙන් මනහර චිත්ත රූප මැවෙන්නේ නිතැතින්මය.වසර ගණනාවක් අතීතයට සිත දිවයනු වලකනු බැරිය.

    ReplyDelete
  8. හරිම සුන්දර , අව්‍යජ මතකයන්. මේ වගේ මතකයන් නැති එක ගැන හිතට දුකක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  9. DharmaLatha Ranasingha A
    බොහෝ කාළයකට පස්සෙ ඉතාම සාධාරණයක් කරල තියනව කථාවට, අර මුල් කාලයේ දැනුන රසයම අදත් අඩුවක් නැතුව ලියවිලා. අවිවේකී මනසක සහ නොසන්සුන් පරිසරයක ඉදගෙන මෙතරම් සියුම් ලෙස අතීතය තුලට කිමිදෙන්නට තරම් හැකියාවක්,අවස්ථාවක් හදා ගහ්තේ කොහොමද කියල හිතන්නත් පුදුමයි. නොනැවතීම ඉදිරියට ලියාගෙන යන්න ඔබට ශක්තිය ධෛර්‍ය් ලැබේවායි පතමි

    ReplyDelete
  10. වාලක්කන්ඩි ගැනත් කියනකල් මේ බලාගෙන ඉන්නෙ.

    ReplyDelete
  11. දුක්ඛිත අතීතයක සොඳුරුම සොඳුරු ආවර්ජනයක්...

    ReplyDelete
  12. ඉන්ද්‍රනාත භාෂාවෙන් පාන පෙලහර නම් කාටවත් දෙවෙනි නෑ.
    ලොකු දෙයක් ඉඳහිට හරි ලියන එක.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  13. අමර මල්ලී කොහෙද හිටියේ? එයාව බලා ගත්තෙ කවුද? එයාව පොලේ එක්ක ගියේ නැද්ද?

    ReplyDelete
  14. පින්තූර නැතත් ඒ ටික හරියටම හිතේ ඇඳෙන්න ලියන්න තරම් දක්ෂ වෙලා තියෙනවා ඔයා...නියමයි

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  15. හැමෝටම ගොඩක් ස්තූතියි. ඉතිරි කොටස අද ලියන්න කියල හිතුවත් කාලය හරස් උනා.

    ReplyDelete