Friday, December 21, 2012

පොළේ ගොසින් බඩු තේරීම


තාත්තා අප සමග පොලේ ගිය ද, එහෙමට මහා ලොකු බඩු කන්දරාවක් ගන්නේ නැත. ඒ අප සිඟිත්තන් තුන් දෙනාට සහ තාත්තාට එතරම් කළමනා අවශ්‍ය නැති බැවිනි. ඉඳහිට එන්නේ ආච්චි විතර ය. ඒ ආවිට දවස් දෙක තුනක් අප සමග නවතියි. පරිප්පු හොද්ද සමග මසක් මාලුවකට වඩා වැඩි යමක් රසට කන්නට ලැබෙන්නේ ඒ දවස් දෙක තුනේ ය.

තාත්තා සතියට ම සෑහෙන්නට පොල් ගනියි. ඒ ගෙඩි 10ක් පමණ ය. පළමුවෙන් ම පොල් ගොඩෙන් ලොකුත් නැති, පොඩිත් නැති ගෙඩියක් තෝරා අතට ගනියි. ඉන් පසු එහි මුඩ්ඩ පාමුල පාදා එය තෙතදැයි බලයි. ඉන් පසු තවත් පොලයක් ගෙන ඒ දෙක එකිනෙකට තට්ටු කරයි. ඊටත් පසු තෝරාගත් පොලය ගෙන හිස අසලින් තබා සොලවයි...අර තරම් මහා හඬක් නගමින් කෑ කොස්සන් දෙන වෙළෙඳ සමූහයක් මැද්දේ වුව ද මට ඒ "පොලේ අඬන හඬ" ඇසෙයි......!!

දැන් මේ පොල් ගෙඩි ටික අරෙහෙ මෙහෙ වීම වළක්වා ගන්නේ අප ය. හණ ගෝනිය ගෙන එහි කට ඇර, රවුම් දෙක තුනක් නවා ඝණකම් කරන්නේ තාත්තා ය. එහි කට ඇරගෙන අල්ලාගෙන සිටින්නේ අයියා ය. මේ ගෝනියට පොල් ගෙඩි දමන්නේ මා ය. ‍මුල් ම ගෙඩි දෙක තුන මල්ලේ පතුළට වැටී එහෙ මෙහ පෙරලෙන විට ගෝනියට පණ ලැබී ඇත්තාක් සේ මට පෙනෙයි. එය බලා සිටින්නට හරි ජොලි ය. ගෙඩි පහ හය වන විට දැන් මල්ල නටන්නේ නැත. එහි බඩ එහෙන් මෙහෙන් ඉදිමුණු හුඔහක් මෙන් පිම්බෙයි.

තාත්තා පොල් ගන්නේ පොතට ය. එනම් තාත්තා සතුව පොතක් තිබෙයි. පොල් ගණන සහ ගත් දිනය එහි සටහන් වෙයි. පොල් මුදලාලි තාත්තාගේ හිතවතකු නිසාත්, ඔහුගේ දරුවන් තාත්තාගේ ශිෂ්‍යයින් නිසාත් මේ ගන්නේ ණයට ය. ණය මුදල් ගෙවූ විට මුදලාලි එහි කුරුටු අකුරින් යමක් සටහන් කරයි.

පොල් ගණුදෙනුව අවසන් වූ පසු ගෝනිය මුදලාලි සිටින පැත්තෙන් ඔසවා තැබෙයි. ඒ එය ඔසවාගෙන මුලු පොළ පුරා ම කාල් ගෑටීම නිස්සාර, වෙහෙසකර ක්‍රියාවක් නිසා ය.

දැන් ඇත්තේ එළවලු ගැනීමේ අවස්ථාවයි. වැටකොලු කරලක් අතට ගන්නා තාත්තා එහි බඩ මැදට නිය පිටින් තට්ටුවක් දමයි. එය බල් හඬක් නොනගයිනම්, වැටකොල්ලේ දාරයක් ඇඟිලි තුඩින් කඩා දමයි. තෙත සහිත ව එය පහසුවෙන් කැඩෙයිනම් ඒ වැටකොල්ල හරි ය..!!
මුරුංගා කරලක් අතට ගන්නා තාත්තා එය සීරුවෙන් අඹරයි. එය පුපුරන්නේ නැතිනම් ගැනීමට සුදුසු ය. එසේ කළ ද ගන්නා සියලු ම මුරුංගා කරල් අඹරා බලන්නේ නැත. පොත්ත වියළි බවක් සහිත කරලක් අසු වූයේ නම් එය ඇඹරෙයි.  බෝංචි ගොඩ ළඟට යන තාත්තා එහි කරලක් අතට ගෙන, ඇඟිලි දෙකක් මැදට තබා මහපටැඟිල්ලෙන් තෙරපයි. එය "පට්" හඬින් පහසුවෙන් දෙකට කැඩෙයිනම් ඒවා ද ගන්නට සුදුසු වෙයි.  නාකි ගැමියකු මෙන් දෙකට නැමී කුදු වක ගැසුණු වම්බොටු සහ බණ්ඩක්කා තෝරා ගන්නේ නැත. ඒවායේ නැම්මේ අනිවාර්යයෙන් ම පණු ගුහා තිබෙයි. සමහර ඒවා පිටතට පෙනෙන්නේ සියුම් කළු තිතක් ලෙස පමණ ය. නමුත් කපා බැලුවොත් එහි පණු ගුලියක් ම සිටිනු පෙනෙයි. එකල බව බෝගයන්ට විස රසායන ගැහිල්ලක් සිද්ද නොවුණු නිසා මේ පණුවන්ගෙන් වන ගැහැට තරමක් ඉහළ ය.

ඊ ළඟට තාත්තා යන්නේ කරවල කඩ වෙතට ය. කරවල කෑල්ලක් අතට ගන්නා තාත්තා ඇඟිලි තුඩු දෙකින් එහි සුඟක් කඩාගෙන කටේ දමා හපා බලයි. ඉන් කිරි මාලු රස දැනෙයිනම් ඒ කරවල හොඳ ය. කරවල වර්ග දෙක තුනකින්, එකකින් අරික්කාලක් පමණ ගැනීම තාත්තාගේ සිරිත ය. (අරික්කාලක් යනු රාත්තලකින් කාලකින් ද අඩකි. ග්‍රෑම්වලින්නම් 50ක් පමණ ය.)

තාත්තා මාලු ගන්නේ ඉඳ හිට ය. නමුත් සෑම සති අන්තයක ම සහ අතර මැද දවසක හරක් මස් ගැනීමනම් කරයි. මස් කඩ තිබෙන්නේ පොළේ ඉදිරිපිට මාකට් එකේ දකුණු කෙළවරේ ය. මස් වෙළෙන්දෝ සියල්ලෝ ම මුස්ලිම් මිනිසුන් ය. ඒ නිසා එහි ඌරු මස් විකුණන්නට නැත. වැඩියෙන් ම තිබෙන්නේ හරක් මස් ය. ඊ ළඟට ඇත්තේ එළු මස් ය. කුකුල් මස් කඩයක් ඇත්තේ ම නැත. එකල අම්පාරේ සිටි අපට කුකුල් මසක රස බලන්නට ලැබෙන්නේ මගුල් ගෙදරකදී පමණ ය. කෙනෙකුට කුකුල් මස් සමග බතක් දෙනවා ය කියන්නේ ඉහළ ම සංග්‍රහයකි..!!

මස් කඩ කාරයා මස් බාගයක් කිරා ඒ මස් කුට්ටිය පත ලී කොටය මත දමා ලොකු වක් පිහියෙන් දෙතුන් වරක් කොටයි. එහි කටු තිබුණ ද, ඒ පිහියට ඒවා කැපෙන්නේ බටර් වගේ ය..! ඉන් පසු ලොකු හබරල කොළයක් ගෙන ඒ මැදට මස් ටික දමා, ඒ  අසළ ගොඩකින් තවත් මොනවාදෝ කටු කොහොල් ටිකක් ගෙන එය ද අර මස් ගොඩට දැමෙයි. ඉන් පසු ඔහු එය වහා ඔතයි. ඉන්පසු සිමෙන්ති බෑග් කඩදාසියක් ගෙන, අර හබරල කොළ පාර්සලය එහි තබා ඔතන අයුරු බලං ඉන්න අපූරු ය. ගෙදර යන තෙක් එය ලිහෙන්නේ නැත. මස් රාත්තලක් සත 20ක් 25ක් පමණ වෙන අතර මස් බාගයක් ම වන්නේ සත 12කි. එසේ වුවත්, මස් අතරට හොරෙන් හෝ මී හරක් මස් ටිකක් දමා දීම මේ මුදලාලිලාගේ ජන්ම පුරුද්දකි. මී හරක් මස් එළ හරක් මසට වඩා රතු ය. මස් තද ය. තැමුබූ පසු කට්ටට සවි වී ඇති කොටස් කීරි සහිත ය. මානම් එළ හරක් මසට වඩා කැමති මී හරක් මසට ය. කමේ මස් කෑ පසු දත් අතර කෙඳි මෙන් කැබලි රැඳී තිබෙයි. කෑමෙන් පසු වතුර ද බී, නියපොත්තෙන් පාදමින් ඒ කීරි මස් රස බැලීම හරිම ආනන්ද ජනක ය..!!

දැන් අප යළි ගෙදර බලා පිටත්වන වේලාව හරි ය. අව් රැල්ල ද, දාහය ද තරමක් වැඩි ය. බඩගින්නක් ද ලියලා වැඩෙයි. දැන් අප සිටින්නේ සහල් කඩ ඉදිරියේ ය. හාල් සේරුවක් සත 15කි. හොඳම තැම්බූ හාලක් සත 18කි. හාල් ඇට දෙක තුනක් කටේ දමා ගන්නා තාත්තා ඒවා කටින් සපනවිට "කටස්" ගා හඬක් නැගෙයි. අප හාල් තෝරන්නේ නැති වුව ද, තාත්තාට වඩා ඇට දෙක තුනක් වැඩියෙන් කටේ දමා ගන්නෙමු.

මේ හාල් ගෝනි කිහිපය අසබඩ ම තවත් එක් ගෝනියක් ඇත. එහි එක් පැත්තක් දිලිසෙන තද දුඹුරු පැහැති සහ වටේ අළු පැහැති අඟල් බාගේ පමණ කැබලිති මහ ගොඩකි. පොල්වලින් තෙල් හින්ද පසු ඉතිරි වන පුන්නක්කු නම් මේ ය. ඒවා තිබෙන්නේ හරකුන් ට දීමට ය. මීට කලින් කා බලා ඇති නිසාවෙන් එහි ඇති පැණි රසය මගේ කටට කෙළ උණවයි. හීන් සැරේ වට පිට බලා මේ පුන්නක්කු කැට දෙක තුනක් ගෙන ජංගි සාක්කුවේ දමා ගනිමි. අයියා ද එසේ කොට ඇති වග  දැන ගන්නේ ගෙදර ගිය පසු ය.

තාත්තා අවසානයට ම මිල දී ගන්නේ සිළුමිණ පත්තරයයි. එය සත 10කි..!!

ගෙදර ගිය පසු ගෙනා බඩු මලු ලිහා, ඒවා නියමිත තැන්වල අසුරන්නට අප ද උදව් වන්නෙමු. පොල් ටික ගොඩ ගැසෙන්නේ කුස්සියේ දර ගොඩ ළඟම ය. හාල් දමන්නට වෙනම ලොකු වට්ටි දෙකක් තිබෙයි. එළවලු සියල්ල වෙන වෙනම ලොකු ඇස්වට්ටියක අතුරා එහළයේ එල්ලයි. කරවල ටික දමන්නේ ලිප උඩ එල්ලා ඇති වේවැල් කිරි ගොට්ටක ය.

දැන් තාත්තා උයන්නට සැරසෙන අතර වාරයේ අයියා තමන් ගෙනා මහාර්ඝ වස්තුව අප තුන් දෙනා අතරේ ම සමසේ බෙදයි. මාද මගේ පංගුව ඊට එක් කරමි. එමේ මෙහේ යන අතර වාරයේ අපි පුන්නක්කු කැබලි කටේ දමා ගෙන සපන්නේ තාත්තාට හොරෙනි. "මොනාද බොලා ඔය කන්නේ..?"යි තාත්තා ඇසූව ද අප උත්තර දෙන්නේ නැත. තාත්තා උත්තර බලාපොරොත්තු වන්නේ ද නැත.

අදටත් යමෙක් මට හරක් කතාවක් කියා බැණ අඬ ගසන විට මගේ රස මනසට එන්නේ ම ඒ අති මිහිරි වූ පුන්නක්කු රසයයි.

Share/Bookmark

22 comments:

  1. අප්පේ ඇති යන්තම් ගොඩාක් කාලෙකින් ලියල.

    මම නම් පුන්නක්කු කාලා නැහැ.හැබැයි ඒකෙ සුවඳ නම් මට තාමත් දැනෙනවා....

    පුන්නක්කු ගේන්නෙ එළදෙනට නිසා අපි ඒව නිකමට වත් රස බලන්න උනන්දු වුනේ නැහැ.

    ReplyDelete
  2. මේකෙ විස්තර කලේ සර් ගිය පොල උනාට කියවන ගමන් මම හිටියෙ මම ගිහිල්ල තියන පොලේ වගේම තාත්ත එක්ක ගොඩක් ගිහිල්ල තියන තොග බඩු කඩේක.
    ජයවේවා!

    ReplyDelete
  3. ලස්සන තවත් එක් කතාවක්..

    ReplyDelete
  4. mula tika kyawnakota maru katawu kyla htuna.
    Et harak mas rasa kara kara kana hati kyawnakota mulu katawama APPIRIYA una.
    Liyapu ekkent ekkma.

    Niyama harak katawak tma.

    ReplyDelete
  5. මෙවන් පෙරේරාDecember 21, 2012 at 4:33 AM

    ඉතාමත් සිත් ගන්නා සුළුයි - - - - - - - !!!! කිසිම පුරසාරමක් නොමැතිව ඇත්ත ඇති සැටියෙන්ම ලියා ඇති අව්‍යාජ ලිපිය හා මෙවැනි ලිපියක් ලිවීමට ඔබේ ඇති පෞර්ෂය පිලිබඳව මසිතේ විශාල ගෞරවයක්‌ උපදී - - - - - - - - !!!!

    ReplyDelete
  6. පුන්නක්කු කාපු මනුස්සයෙක්ට ඇර ඒකේ රස වචනයෙන් කියන්න බැරිය. මෙය හරක්ට පමණක් සුදුසු කෑමක් ලෙස සමාජගතවීම ව්‍යසනයකි.

    ඒක නෙමේ පොලේ ගිහින් එද්දි හවසට කන්න රටකජු, පොරි, මුරුක්කු, සිනිබොර වගේ ‘සූටබල් කෑම“ මුකුත් ගන්නෙ නැද්ද?

    ReplyDelete
  7. මමත් පුන්නක්කු රස බලා නැත. නමුත් අම්පාරේදී විවිධ මස් වර්ග රස බලා ඇත්තෙමි. තමන් ජීවිතයේ ලැබූ අත්දැකීම් රසවත් අයුරින් බෙදා හදා ගැනීමට ඔබතුමාට ඇති හැකියාව බෙහෙවින් අගය කරමි.

    ReplyDelete
  8. ඔයාගේ බ්ලොග් අඩවිය ගොඩක් හොඳයි.මගේ රන් අකුරින් බ්ලොග් අඩවියටත් ඇවිත් යන්න එන්නකෝ.http://imalkiudana.blogspot.com/

    ReplyDelete
  9. මටත් පුන්නක්කු කන්න ඕනි...
    ඉතාම ලස්සන ලිපියක් සර්.චිත්‍රපටයක් වගේ සිද්ධි ටික මැවිලා පෙනුනා.

    ReplyDelete
  10. මමත් ඉන්දරේ අය්යාගෙ පස්සෙන් පොළේ ගියාදෝ කියලා මට කල්පනා වුනේ තාත්තා උයන්න ලේස්ති වෙනකොට. ලෙසටම ලියලා තියනවා.

    ReplyDelete
  11. මොනවා කියන්නද ඉන්දරේ අයියේ..හැමදාමත් වගේ බොහෝම ආසාවෙන් කියෙව්වා...

    තාත්තා පස්සෙන් එල්ලිලා මාත් පොලේ ගිය හැටි මතක් උනා... පස්සේ කාලෙක තාත්තා වෙනුවට ඒ පොලේ යෑම මට බාර උන කාලේ මාත් ඔය වගේම තාත්තගේ මතක පස්සෙන් බඩු තෝර තෝර පොල අස්සේ කරක් ගහපු හැටි මතක් උනා... අන්තිමට පොලෙන් එළියට එද්දී රුපියල් 10ක් දීලා සිළුමිණ පත්තරේ බෑග් එකේ උඩින්ම තියන හැටිත් මතක් උනා... (සත දහයයි රුපියල් හදයයි අතර සිළුමිණ පත්තරේ වෙනස තමා මටනං හොඳටම හිතට වැදුනේ...

    ඔය කතාවේ නැති මගේ කතාවේ ඇති ටික තමා සිළුමිණ ගත්තටත් පස්සේ අතේ ඉතිරි තියෙන හැටි බලලා ගෙදර හැමෝටම එක ගානේ හිටින්න රට කජු ගොටු ගන්න කෑල්ල... තාත්තත් එක්ක පොලේ යන කාලෙනං තාත්තා මුලින්ම අහනවා අද රට කජුද ඕන සරුවත්ද කියලා... අපිට එකක් තෝර ගතෑකි... පාට පාට වතුරට සීනි වතුරයි අයිස් කෑලියි දාලා කස ඇට කලවං කරපු සරුවත් වීදුරුව තමා ඉස්සර අපේ තේරීම උනේ.. ඒත් මං පොලේ යන කාලේ වෙද්දී සරුවත් බීම අතෑරිලා ඒ වෙනුවට ගෙදර කට්ටියටම රජකජුම ගේන්න හුරු උනා...

    පුන්නක්කු කෑවෙනං බේබි අයියගේ කරත්තේ බදින මොල්ලි ගොනාගේ පංගුවෙන් සහ හන්දියේ කඩේට බඩු ගන්න ගියාම ඉස්සරහා තියෙන ගෝනියෙන් තමා...

    ReplyDelete
  12. @Anonymous
    උඹේ Address එක දාපන් පුන්නක්කු ගෝනියක් එවන්න. කතාවේ එක කොටසක් අල්ලන් මැරෙන්න හදනවා.

    ReplyDelete
  13. ඉස්සර අපේ තාත්තලාගෙ මහ ගෙවල් වලට එහා පැත්තෙ තිබුනා පොල්තෙල් හිඳින තැනක්. අපි එහේ ගියාම, තෙල් සුවඳ එනවාත් එක්කම දුවගෙන යන්නෙ ඒ පොල්තෙල් මෝලට. ඒ රසය නම් කියල වැඩක් නෑ. කොහොමටත් උණු උණු පුන්නක්කු නම් මාරම රහයි. අපේ ආතා බනිනවා ‘‘තොපිලා හරක් දැ?, හිටපල්ලාකො මම ඕවා ගෙදර ගෙහුං දිය කොරාලා දෙන්ට’’ කියලා...... හරිම සුන්දරයි.

    ReplyDelete
  14. රසවත්ව, කියවන කෙනාට මැවිල පේන විදියට ලියල තියෙනවා.

    ReplyDelete
  15. R.Dharmalatha Ranasingha. A
    අතීතයේ සෑබෑ සුවඳ.කාළේකින් රස වින්ද, සිතුවම් මවාගෙන...ඔබගේ පුදුමාකාර මතකයට දීර්ඝායුෂ ම වේවා!

    ReplyDelete
  16. පුන්නක්කු කියෙන හරිම රස කෑමක් තමා සර්,

    ReplyDelete
  17. මට කණගාටු ඔබතුමාට වගේ බෙදාගන්න තරම් ලස්සන වගේම මතක් කර කර මිහිර විඳින්න පුලුවන් අතීතයක් අද අපිට නැත්තේ ඇයි කියලා.අපි නිකම් කොටුවක් ඇතුලට වෙලා වගේ ජීවත්වෙන්නේ. සබඳකම් පවා දැන් නෑ ලඟ...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  18. මගේ කතාව අහන්න එකතු වෙච්ච ඔබ හැමට ම මගේ ශිර්ෂ ප්‍රණාමය..!!

    ReplyDelete
  19. මම කල්පනා කරේ අපි පොලේ ගියාට ඔය මොකවත්ම කරන්නෙ නැතුව මුදලාලි දාල දෙන එක කරගහන් එනව නේද කියල....

    ReplyDelete
  20. මමත් පුන්නක්කු කවදාවත් කාලත් නෑ, ඒ සුවඳ දන්නෙත් නෑ, ඒත් දැකලා තියෙනවා, මොකො අපේ පන්සලට එහා වත්තෙත් තිබුනා හරක් පට්ටියක්, ඒකෙත් ඔය වගේ පුන්නක්කු හදලා බාල්දි ගනන් උස්සන යනවා මම දැකලා තියෙනවා, කවුද ආප්පේ දන්නෙ ඒවා අපිටත් කන්න හොඳා කියලා, නැතිනම් ටෙස්ට් කරලා බලනවනෙ....

    අම්මපා මට හිතා ගන්න බැරි උනේ කරවල කෑල්ලක් අතට ගන්නා තාත්තා ඇඟිලි තුඩු දෙකින් එහි සුඟක් කඩාගෙන කටේ දමා හපා බලයි. ඉන් කිරි මාලු රස දැනෙයිනම් ඒ කරවල හොඳ ය.... එහෙම කරනවද කියලයි මන් තාමත් හිතන්නෙ....

    අපූරුයි, අවසානයත් ලස්සනයි, "අදටත් යමෙක් මට හරක් කතාවක් කියා බැණ අඬ ගසන විට මගේ රස මනසට එන්නේ ම ඒ අති මිහිරි වූ පුන්නක්කු රසයයි....." නියමයි...

    ReplyDelete
  21. මේ කතාවට කිසිම පින්තුරයක් දාල නැති උනත් මම නම් කතාව මැද ඔක්කොම බලාගෙන හිටිය. පුන්නක්කු සුවදත් රහත් දැනුණා.

    ReplyDelete