Friday, December 21, 2012

මැලිබන් ලෙමන් පෆ්


දිනෙක හවස් වරුවේ ඇලෙන් නා අවසන් වූ පසු තාත්තා තවත් ගමනක් අප සමග ගියෝ ය. ඒ ඇල පාර දිගේම තරමක් දුර ගොස් අතුරු පාරකට හැරී එහි කෙළවර වූ නිවෙසකට ය. එ් නිවෙස අප අම්පාරේ දැක තිබෙන බොහෝ නිවෙස් මෙන් ම සිමෙන්තියෙන් බැඳ, ඇස්බැස්ටස් සෙවිළි තහඩුවෙන් වහළය සෙවිල්ලන ලද එකකි. නිවසේ බිත්ති ළා කොළ පාට ය. මිදුල තරමක් විසල් ය. එහි මැදින් ගෙයි මහ දොර දක්වා සීරුවට තණකොළ කපා සුද්ද කොට, රටාවට ඇමදූ පාරකි. 

තාත්තා අප බැස්සවූ පසු බයිසිකලය ගෙන සුපුරුදු පරිදි, ලැගේජයේ ස්ටෑන්ඩ් එක දිගු කර සිටවා නැවැත්තුවේ ය. ගෙයින් එළියට ආව් තරමක් කළු හින්දෑරි කාන්තාවකි. ඈ ලොකු මල් සහිත ලුංගියක් ඇඳ සිටි වග මට මතක ය. නැමී දොරෙන් එබී බැලූ ඇය "අනේ ලොකු මහත්තයා.. එන්න ගෙට.."යැයි ඉතා ම සුහද ව ආරාධනා කර සිටියා ය. තාත්තා පසු පසින් අප ඉස්තෝප්පුවට ගොඩ වූ විට ඇය "එන්න මහත්තයා. ඇයි මේ එළියෙං.. එන්න මෙහේට.."යැයි කියමින් අප ව ගේ ඇතුළට ම කැඳවූවා ය.

ගෙයි මැද සාලය තරමක එකකි. එහි මැද ටීපෝවක් වටා වූ ඇඳි පුටු හතරකි. පුටු හතර මැද එක් හිසු තැනෙක කුඩා කනප්පුවකි. මම තවත් වට පිට බලමි. සාලයේ කෙළවර බිත්තිය අයිනේ ලොකු කැබිනෙට්ටුවකි. එහි පිඟන් බඩු මහ ගොඩක් අසුරා තිබෙයි. එහි උඩ රේඩියෝවක් තිබෙයි. නමුත් එය ලොකු තාත්තාගේ වයර්ලස් එක තරම් විසල් නැත. ඊට මෙපිටින් තිර රෙදි දැමූ දොරවල් දෙකකි. මා වාඩි වූ පුටුවට ඉදිරියෙන් පියන් හතරක ජනේලයකි. ඊට ද තිර රෙදි දමා තිබෙන අතර, ඒවා සුළඟට වැනෙයි. එසේ ඇරෙන වාරයක් පාසා මහ එළියක් සාලයට දෝරෙ ගලයි.

"සර්, අපේ එක්කෙනා මේ ළඟ වත්තට ගියා. මං එයාට එන්න කියන්නං.."යැයි කියූ අර කාන්තාව අතුරු දහන් වෙයි. තරමක් වේලාවක් යනතෙක් කිසිවකු නැත. අප ද නිහඬ ව ඔහේ සිටිමු.  ටිකකින් කීප දෙනෙක් ම පියවර තබමින් එන හඬ අපට ඇසෙයි. තරමක උස කෙසඟ නොවන පුද්ගලයෙක් ‍ොරෙන් එබෙයි. ඔහුගේ ඇ‍ෙඟේ දැවටී අප වැනිම හිච්චං කොලු කුරුට්ටන් තුන් හතර දෙනෙකි. ඔහු දොර ළඟ සිටගෙන ම කැහැපට ගසා තිබූ සරම පහතට හෙලා, නැවී බොහෝ ගරු සරු ඇති ව "අනේ ලොකු මහත්තයා, මේ වත්තට හරක් රැලක් පනිනව හරි කරදරේනෙ.. වැට පොඩ්ඩක් ඒදන්න ගියා.." කියයි. ඉන් පසු ඔහු කනප්පුව ඇද තාත්තා ළඟ වාඩි වෙයි. ඔවුන් කතා කරන දේ අපට වැදගත් නැත.

ටිකකින් අර කාන්තාව ට්‍රේ එකක තැබූ පියන හැරි කාඩ් බෝඩ් පෙට්ටියක් ද සහිත ව දොර රෙද්දෙන් මෑත් වෙයි. ඈ මුලින් ම යන්නේ තාත්තා අසළට ය. ඇය නැමී තාත්තා වෙත ට්‍රේ එක පායි. තාත්තා අත දමා කිසිවක් ගනියි. ඉන් පසු ඈ අප දෙසට පැමිණෙයි. මා ද අයියා ද, පාලිත ද තාත්තා මෙන් ම ඈ අල්ලන දේ ගනිමු. ඒ බිස්කට් ය.

සුදු පැහැයට හුරු කහ පැහැති බිස්කට් එක තට්ටු දෙකකි. එහි දාර බීක්කු බීක්කු ය. මතු පිට තැනින් තැන ලොකු සීනි කැට දෙක තුනකි. මැද ඇත්තේ ද සුදු පැහැ ක්‍රීම් එකකි. ඒ අත තබාගෙන මහා අරුමයක් දුටුවා සේ සිටින අපට ඇය ඉතා ම කාරුණික ව කියයි. "කන්න පුතාලා.." අපි තාත්තාගේ මුහුණ බලන්නෙමු. ඔහු ද ගත් බිස්කට්ටුව සපයි. තාත්තා බිස්කට් එක පහන "සරස්" සද්දය ද මට ඇසෙයි. අයියා ද මාද පාලිත ද බිස්කට්ටුව රස බලන්නට පටන් ගත්තෙමු...

රස නහර පිනා යන අමුතු ම මිහිරි රසයෙකි. මීට පෙර බිස්කට් කා ඇත ද, මින් පෙර මා කිසිදු දිනෙක එවන් රසයක් අත් විඳ නැත.  එය එතරම් ම රස ය. ඒතරම් මිහිරි බිස්කට්ටුව ඒ තරම් ඉක්මණට අහවර වීම ගැන මසිත දුකක් මෝදු වෙයි. ඒ බව දැනී දෝ අර කාන්තාව යළිත් වරක් ට්‍රේ එක රැගෙන තාත්තා ළඟට යන්නී ය. තාත්තා එපා කියයි. ඊ ළඟට ඈ එන්නේ පාලිත ළඟට ය. ඔහු කිසිදු වගක් නැති ව තව බිස්කට්ටුවක් ගනියි. ඊ ළඟට ඉන්නේ අයියා ය. ඔහුද එකක් ගනියි. මා ළඟට එන්නට කළින් බිස්කට් ඉවරවේයැයි මා සිත මහත් සේ විස්සෝප වෙයි. නමුත් ඒ කරුණාබර කාන්තාව මා ඉදිරියේ නැමුණු විට කාඩ්බෝඩ් පෙට්ටිය තුළ ඇති සියල්ල මට හොඳහැටි දර්ශනය වෙයි. සුදු පැහැ කාඩ් බෝඩ් පෙට්ටියේ ඇතුළත අළු පාට ය. ඒ තුළ කෙළවරක් ඇලවූ සුදු පාට ඝණ බෑගයකි. ඒ තුළ තවත් මැදට රැළි ගැසූ කඩදාසියෙන් සැදි තීරු කිහිපයකි. ඒ අතරේ බිස්කට් ඉතා සීරුවෙන් අතුරා තිබෙයි. මම ඉන් තව එකක් ගනිමි. 

ඒ අමා රසය ඉවර වූයේ පළමු එකටත් වඩා ඉක්මණිනි. දැන් මා අසරණ ය. තව තවත් රස බලන්නට සිතුණ ද අර කාන්තාව ද පෙනෙන්නට නැත. මම වටපිට බලමි. අර කාන්තාව යළි දොර රෙද්ද දෙබෑ කරමින් මතු වෙයි. ඈ අත එවර ඇත්තේ ඔරෙන්ජ් බාර්ලි බෝතලයක් සහිත ට්‍රේ එක ය. තාත්තා අත තවම බිස්කට් කොටසක් තිබෙයි. අප දෙවන වටය ද අවසන් කොට අහවර ය. බීම බෝතලය ද, වීදුරු කිහිපය ද ටීපෝව මත තැබූ ඇය යළිත් ගෙට ගොස් නැවත බිස්කට් පැකට්ටුව ද සමග පැමිණියා ය. මගේ හිසේ මලක් පිපුණි. ඈ යළිත් මුලින් ම ගියේ තාත්තා ළඟට ය. තාත්තා "අනේ මේ ඇති බොහොම ස්තූතියි" කීවේ ය. ඊ ළඟට ඈ හැරුනේ අප දෙසට ය. "අනේ ඔය ඇති ළමයින්ට.." තාත්තා කීවේ ය. නමුත් එය අපට ඇසුනේ නැත. පිළිවෙලින් පාලිත ද, අයියා ද, මාද යළි බිස්කට් එක බැගින් ගතිමු. අප බිස්කට් කන දෙස ඈ බලා සිටියේ හිස ද ඇල කරගෙන ය. දැන් ගෙදර කිසිවකු කතා නැත. තාත්තා ද අර වැඩිහිටියා ද සිනහ මුසු මුහුණින් අප දෙස බලා සිටියි. 

"පව් දෙයියනේ.. අම්ම නැති කිරි සප්පයෝ.." කියමින් ඇය යළිත් අප වටා රවුමක් ගියා ය. අපි බිස්කට් ගතිමු. තාත්තා කිසිවක් ම කීවේ නැත. නමුත් අර කාන්තාව ගෙට ගොස් කඩදාසියක ඔතා කිසිවක් ගෙනැවිත් අයියා අත තැබුවේ ය. ඒ අර බිස්කට් පෙට්ටියේ ඉතිරි ටික ය. ඉන් පසු අපට බීම ලැබුණි. අපි ඒවා ද බිව්වෙමු. එහි අපට එතරම් අරුමයක් නොවූයේ සෑම මල ගෙදරකින් ම, නෑ ගෙදරකින් ම අපට ඒවා ලැබී ඇති නිසා ය.

කතා බහ අවසන් කොට තාත්තා යන්නට නැගිට්ටේ ය. අපිදු ඔහු සමග එළියට ආවෙමු. අප බයිසිකළයට නංවා ගත් තාත්තා කිසිවක් ම නොකියා නිහඬව ම මඳ දුරක් පැදගෙන ආවේ ය. මට එය මහා කල්පයක් සේ දැනුනි. එසේ පැමිණි තාත්තා පාර අද්දර බයිසිකලය නැවැත්තුවේ ය.

"ඉල්ලුවනං මං ඕන තරං බිස්කට් අරං දෙනවනේ බොලල්ලා..." තාත්තා කීවේ තරහින් නොව මහා කඩා වැටුණු හඬකින් බව මට දැණුනි. වෙනදා මෙන් තාත්තා හුස්ම ගන්නා හඬ ද මට ඇසුනේ නැත. එතැන් පටන් ගෙදරට එන තෙක් ම අප කිසිවක් කීවේ ද නැත. කතා කරන්නට දෙයක් තිබුනේ ද නැත.




ගෙදරට ආ විගස අයියා අර උණ්ඩි කළ පාර්සලය ලිහුවේ ය. එහි වූයේ චප්ප වූ කාඩ් බෝඩ් බිස්කට් පෙට්ටියයි. එහි පියනේ උඩ කොළ පාට පසුබිමක කහ පාට අකුරින් ඉංග්‍රීසියෙන්, සිංහලෙන් සහ දෙමළෙන් වගන්තියක් ලියා තිබුණේ ය.

Maliban Lemon Puff
මැලිබන් ලෙමන් පෆ්.


අදටත් මැලිබන් ලෙමන් පෆ් බිස්කට් දුටු විට, අතීතයේ විඳි දුක් කන්දරාවක් අතිශය මිහිරි ලෙස මගේ හදවත කීරි ගසමින් මතු ව, සැණෙකින් අතුරුදහන් වෙයි. ඒ රස මගේ ආත්මය තුළට ම කිඳා බැස ඇත්තේ ය. මා මියගොස් වසර හය හත්සීයක් ගෙවී ගිය පසු ද, අහම්බයකින් හෝ ඇට කටුවක් හමු ව, මේ කාගේදැයි සොයන්නට ඩීඑන්ඒ පරීක්ෂණයක් කළොත් මේ ඇටකටුව අයිති පුද්ගලයා මැලිබන් ලෙමන් පෆ් බිස්කට්ටුවට මේ තරම් ආසා කළේදැයි එහි සටහන් ව තිබෙනු ඇති..!

Share/Bookmark

25 comments:

  1. අදනං ලෝක විනාසේ තමා..වෙනදා හය මාසෙට එකක් වැටෙන එක අද දවසටම දෙකයි...

    ReplyDelete
  2. /"ඉල්ලුවනං මං ඕන තරං බිස්කට් අරං දෙනවනේ බොලල්ලා..."/
    තාත්තට මොනවා හිතෙන්නේ ඇති ද.. :(

    ReplyDelete
  3. බොහෝම ආදරණිය මතකයක් ඉන්දරේ අයියේ... මටත් මුලින්ම ලෙමන් පෆ් හම්බ උනේ ඔය වගේම පිටස්තර ගෙදරකින්... අපේ ගෙවල් ලග අපි පොඩි කාලේ අම්මා රට හින්දා අපිව බලාගත්ත පවුලක් හිටියා... ඒ පවුලේ අයත් එක්ක ඒ අය යන ගමන් මමයි මල්ලියිත් ගියා.. එහෙම තමා එක පාරක් අපි කදුබොඩ ඒ අයගේ මහ ගෙදර ගියේ.. ඒ ගිය ගමන්ම එයාලගේ තවත් නෑ ගෙදරකට ගියා...

    එතැනදී තමයි ඔය කියන ආදරනීය විස්කෝතුව මුලින්ම අපි දැක්කේ... එදා අපේ මල්ලිනං ඇවිත් තිබුනේ නැහැ... හැතැම්ම හතරක් විතර පයින්ම යන්න තිබුන ගමන හින්දා මල්ලි ආවේ නැහැ.. ඒත් මං තනි වෙලා හිටියේ නැහැ... මාත් එක්ක අර මං කිව්ව ගෙදර බාලම ගෑණු දැරිවි හිටියා... අපි දෙන්නා පිඟානේ තිබුන විස්කෝතු පැකට් එකම එක බැගින් අරං ඉවර වෙනකල්ම කෑවා... එයින් පස්සේ තේ බොන්න ගියාම තේ එක පැණි රස මදි වගේ හින්දා ආයේ කියලා සීනිත් දම්මව ගත්තා... අර ක්‍රීම්වල රසට සිනි රස දැනෙනවා මදිනේ...

    අපරාදේ කියන්න බැහැ ඒ ගෙදර මාමයි නැන්දයි හිනා වෙවී අපිට සීනි දාලා දුන්නා...

    ආපහු එන ගමන් අපිත් එක්ක ගිය වැඩිහිටි අක්කලා සෙට් එක අපි දෙන්නට විහිළු කලා ලෙමන් පෆ් පෙරේතයෝ කියලා... ඒත් අපි ගණන් ගන්නවද ඕවා... අරකියි මායි නෙවෙයි සැලුනේ... කාලයක් යනකල්ම අපිට අනිත් කට්ටිය කිව්වේ ලෙමන් පෆ් කියලා... දැන් උනත් ඒ පැත්තේ ගිය වෙලාවට ඔය කතාවයි තවත් කතා කිහිපයකුයි ඒ අය මතක් කරනවා...

    ඒත් ලොකු අඩුවක් එක්ක.. ඒ තමා මාත් එක්ක විස්කෝතු කෑව ගෑණු ළමයා දැනට අවුරුදු එකොළහකට විතර කලින් දියේ ගිලිලා මරණයට පත් උනා... අර රසවත් මතකය ඒත් එක්කම පෙරලෙන්නේ කියා ගන්න බැරි තරමේ දුකකට...

    ReplyDelete
  4. මෙවන් පෙරේරාDecember 21, 2012 at 7:01 AM

    සුපුරුදු ලෙසම අනර්ඝයි - - - - -- - !!!!

    ReplyDelete
  5. 10 පස්සෙ කමෙන්ට් කරන්නෙ..... අතීතයේ ඉන්න පැයක්වත් ගන්න ඕනේ....

    ReplyDelete
  6. එදා අපිට ඔය අම්මලා තාත්තලා ඔය වගේ අවස්ථාවක පත්වෙන තත්වෙ තේරුම් ගන්න බැරි උනාට අද නම් තේරෙනවා ඒ වෙලාවට දැනෙන දුක, කළකිරීම, ආත්මානුකම්පාව මොනතරම්ද කියලා..

    කොච්චර අපිට තියෙන හැටියට පොළවේ පය ගහලා ඉන්න ඕනේ, අපි නං රැල්ලට යන්නේ නෑ, මං නං ළමයව දාන්නේ ළඟ ඉස්කෝලෙට, මං නං ඔය කියලා දීලා තියෙන්නේ තියෙන හැටියට ජීවත් වෙන්න ඕනේ කියලා කිව්වට ඔන්න ඔය වගේ වෙලාවකදි අම්මෙකුට තාත්තෙකුට දැනෙන හැඟීම ඔය කියන අයට තේරෙන්නේ නෑ.. දරුවෝ වෙනුවෙන් කොච්චර දේවල් කළත් එක පුංචි දෙයක් නැති උනාම දරුවන්ට තමන් අතින් අඩුපාඩුවක් උනා කියලා දැනෙනකොට අපේ අම්මලා ඔහොම කතා නොකර හිටියා කියලා මටත් මතකයි...

    මට මතකයි පොඩි කාලේ අපිට හරිහමන් ගෙයක් තිබ්බේ නැති නිසා මං මගේ යාලුවෙක්ට වත් අපේ ගෙදරට එන්න කියන්නේ නෑ කියලා දැනගත්ත දවසේ ඉඳලා අපේ අම්මලා උත්සාහ කළේ ගෙයි වැඩ ඉවර කරගන්න..ගොඩ කාලෙකට පස්සේ මං මනමාලියක් වෙලා යනකොට ගේ හදලා ඉවර වෙලා, ලස්සනට සරසගන්න පුළුවන් උනා.. එදා උදේ මං අම්මටයි තාත්තටයි කිව්වා මට ගෙදර වෙඩින් එක ගන්න තිබ්බා නං තමයි ගොඩක් ආස කියලා... මං හිතන්‌ෙන් එදා තමයි අපේ අම්මගෙයි තාත්තගෙයි මං මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම හිනාව දැක්කේ...

    ReplyDelete
  7. හලාල් ඉවත් කරන කන් අපි නම් මැලිබන් කන්නේ නෑ

    ReplyDelete
  8. මටත් මැලිබන් ලෙමන් පෆ් බිස්කට් එක ගැන අමුතු මටකයක් තියනවා දැනට වසර 18-19 පෙර හොර්ටෙන් තැන්නේ ගර වැටුන ටප්පෙක තිබුන කුරුටු වැකියක් "බොග්බොග් සැමන්බොග් නෝමන් සැමන් බොග් " ඕක ඒ කාලේ රුප පෙට්ටියේ ගියපු පෆ් පෆ් ලෙමන් පෆ් මැලිබන් ලෙමන් පෆ් adඑක කොපි කරලා ලියලා තිබුනේ .නමුත් මොන පෆ් ආවත්මැලිබන් ම තමා original
    දුක තියෙන්නේ දකුණෙන් ඇවිල්ල කොලොන් තොටේ රජ වෙච්ච හින්නි මහත්තයාගේ මුනුපුරාලතුට්ටු දෙකේ වාසියට හම්බයගේ halaal අඩයාලම ගහගත්තා එකට

    ReplyDelete
  9. තේනුවර මහත්තයා ලෙමන් වෙළද දැන්වීමක් දාලා

    ReplyDelete
  10. //....මා මියගොස් වසර හය හත්සීයක් ගෙවී ගිය පසු ද, අහම්බයකින් හෝ ඇට කටුවක් හමු ව, මේ කාගේදැයි සොයන්නට ඩීඑන්ඒ පරීක්ෂණයක් කළොත් මේ ඇටකටුව අයිති පුද්ගලයා මැලිබන් ලෙමන් පෆ් බිස්කට්ටුවට මේ තරම් ආසා කළේදැයි එහි සටහන් ව තිබෙනු ඇති..!//

    එතරම්ම.....!!!

    ReplyDelete
  11. නියම ලිපියක්.මැලිබන් ආයතනයෙන් තෑගිත් දෙන්න ඉඩ තියනවා.

    ReplyDelete
  12. ahamben awith post okkoma kiyewwa.aththama kiwoth thun hathara parakma aduna samahara than kiyawddi.e thama hithata danenna akuru karala thiyanawa.e aththama jiwitha kathawak nisa wennathi..blog loke dakapu godak sanwedi e thamma sundara blog ekak..digatama liyanna aiye..

    ReplyDelete
  13. කොහොමත් මැලිබන් බිස්කට් එක තමයි අනික් ඒවට වැඩිය රස තියෙන්නෙ.

    නියමෙට ලියල තියෙනවා.

    ReplyDelete
  14. කමෙන්ට් කරපු බොහෝ දෙනෙක් වගේ මමත් ඒ කාලේ කැමති ලෙමන් පෆ් එක්ක, නෙක්ටෝ බොන්න.....

    මුල් කාලේ ඔය පැකට් එක මුද්‍රණය කරන්න තාක්ෂණය ලංකාවේ තිබුනේ නැති නිසා ක්‍රීම් මැදිකල බිස්කට් කියන සිංහල අකුරු වෙක්ටර් කරලා ජර්මනියට අරගෙන ගිහිල්ලලු ප්‍රින්ට් කලේ කියලා මම අහලා තියෙනවා. ඒක ඇත්තද දන්නැ නේද සර්?

    ReplyDelete
    Replies
    1. අපේ ප්‍රින්ටින් සර්ත් ඔය කතාව කිව්වා..

      Delete
    2. කව්ද ප්‍රින්ටින් සර් - රවි සර්ද?

      Delete
  15. ජීවිතේ මතක සැමරුම්...මැලිබන් ලෙමන් පෆ් හා සමඟ...

    සංවේදී සටහනක්.....

    ReplyDelete
  16. ලෙමන් පෆ් කන්න කවුද ආසා නැත්තේ තේනුවර මහත්මයා

    ReplyDelete
  17. Thanks for taking us to our childhood just for a few moments.

    ReplyDelete
  18. බිම ඇන තියාගෙන, හූ මිටි තිය තිය මගේ කතාව අහං ඉන්න ඔයාල හැමෝටම බොහෝම ස්තූතියි...!!

    ReplyDelete
  19. අනුන්ගේ ගෙදරකට ගිහින් හත් දවසක් කාලා නෑ වගේ කන්න එපා කියලා අපේ අම්මයි තාත්තයි කියලා තියෙන්නෙ වරක් දෙවරක් නෙවි..ඒත් පුංචි සන්දියෙ සීමා මායිම් වැටකොටු නැති හිත්වලට ඕවා එච්චර ප්‍රශ්න නෙවි..

    ReplyDelete
  20. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. කතාවත්
    කතා වස්තුවත්
    ඉදිරිපත් කිරීමත්
    ඉතා රසවත්.

    යහගුණයෙන් ඉදිරියට...

    ReplyDelete