Thursday, June 20, 2013

රාජකීය භෝජනය


පසුවදා වන විට තත්ත්වය තවත් උග්‍ර විය. තේ කහට එක බොන්නට ද සීනි නැති තරම් ය. අපි සීනි බෝතලය ගෙන දිග හැන්දක් එතුළට දමා, වටේ ඇලී ඇති සීනි ඇට සියල්ල එකතු කර ගත්තෙමු. එවිට එක්කෙනකුට සීනි ඇට විස්සක් තිහක් පමණ ලැබෙන්නට ඇත. අපි සීනි ඇට දෙස බලමින් තේ කහට බිව්වෙමු. අවසන දිව සහමුලින් ම එළියට දමා, මහත් වූ පෙරේත කමකින් යුක්ත ව අල්ල ලෙව කෑවෙමු. ඒ දිවට හසු නොවූ ඉතිරි සීනි ඇට එකින් එක දිවෙන් ගත්තෙමු. අවසන අල්ල පුරා තැවරී ඇති කෙළ පහර කළිසමේ පිටි පස්සේ අතුල්ලා පිස දැමුවෙමු.

උදේ වේල අහවර ය..!!

එදින පාසැල් නිවාඩු දවසක් වීම නිසාවෙන් දවස ගෙවෙන්නේ ද ඉතා සෙමිනි. තාත්.ා කුස්සියේ වූ සියලු වළං මුට්ටි පෙරලමින් දහවල් කෑමට සදන්නට යමක් සොයමින් සිටියේ ය. හාල් මුට්ටියේ එක ඇටයක්වත් නැත. කරවල මුට්ටයේ ඇත්තේ ගොරක කෑලි දෙක තුනක් පමණි. වෙනත් ඇට ජාති දමන එල්ලන පං මල්ලේ ද කිසිවක් ම නැත. වත්ත පුරා ඇවිද පළා කොළ මිටි ගණනක් වුව සොයා ගත්තද ඒ කන්නට බතක් නැත. ඉර ද මුදුන් ව ගොස් සිය කාල වේලාව හමාර කරනුවස් අවරට හැරෙමින් සිටියි. දාහය කෙමෙන් අඩු වෙයි. නමුත් අප පෙලන ක්ෂුදා ගින්න එන්න එන්න ම වැඩි වෙයි. අපි වතුර පොලකට්ටක් ගෙන බොන්නෙමු. ටිකකින් බඩ කළගෙඩියක් සේ වෙයි. ඇවිදින විට ද අපට වතුර හඬ ඇසෙයි. අපි අපේ බඩවලට තට්ටු කරමින් විවිධ නාද මාලා මතු කරවන්නෙමු. විටෙක එසේ කරනවිට “ගොඩොස්...!!“ ගා ලොකු හුළං තලියක් කටින් පිට වෙයි. එවිට වමනය යන්නට ද එයි. නමුත් අපි අතින් කට තද කරගෙන ම මඳ වේලාවක් සිටින්නෙමු.

“බොලාට බඩගිනිදැයි තාත්තා අසන්නේ නැත. ඇසූව ද දෙන්න බත් උලක් හෝ නැති වග අපි දන්නෙමු. අපිදු අපට බඩගිනියැයි නියන්නට පෙළැඹෙන්නේ ද නැත. කිව්ව ද කිසිවක් ගේ හරියේ නැති බැවින් අපට ලැබෙන්නේ ද නැත. කාලය ඉතාම කුසීත අයුරින් ගෙවෙයි. තාත්තා බොහෝ වේලා කල්පනා කරමින් සිටියේ ය. පසුව කොට කළිසමින් සැරසුණු තාත්තා අප සැවොම සමග ම පොල් අතු මඩුවෙන් ඔබ්බෙහි ඇති වගා බිමට බැස්සෙමු. තවම හැදීගෙන එන ඒ වගාවෙහි ද කිසි ගත යුත්තක් නැත. බණ්ඩක්කා ගස් ද මල් බර ව තිබුණත්, එකදු කිරි කරලක්වත් සාදාගෙන නැත. බඩ ඉරිඟු ගස් දහ පාළොහක් ඇත ද ඒ එකක්වත් කිරි වැදී බණ්ඩි වී නැත. පුහුල් වැලේ සුදු පාට මල් හත අටක් අපට ඔමරි කරනවා හැරෙන්නට, බුබුලක් තරමවත් ගෙඩියක් පූදාගෙන නැත.

මෙසේ වත්ත පීරනාතරේ, එක ම එක වට්ටක්කා වැලක කොළ පදාසයක් යට නිසොල්මනේ සැඟව සිටින කෙළ පැහැති, ළපටි වට්ටක්කා ගෙඩියක් පෑදුනේ ය. එය ළපටි ගෙඩියක් මිස තවමත් හරි හමන් ආකාරයකට මෝරා නැත. තාත්තා ඒ ගෙඩිය දෙතුන් වරක් ම අත ගා, තට්ටු කර බැලුවේ ය. නමුත් තව කොතෙක් වේලා ඒ සමග ඔට්ටු උව ද, එය අපට කන්නට තරම් සැනෙන් පැහෙන්නේ නැත.

යළි අපි ගස් කොලන් සියල්ල පීරුවෙමු. නමුත් කිසිදු ගනිච්චියක් නැත.

තාත්තා කිසිවක් නොකියා ම අර නොමේරෑ වට්ටක්කා ගෙඩිය නැට්ටෙන් වෙන් කර ගත්තේ ය. අපිදු පෙරහැරක් මෙන් තාත්තා පිටුපසින් ගෙට ආවෙමු. ලහි ලහියේ ලිප මෙලැවුණු අතර වාරයේ යාන්තමින් කහ පාට වෙමින් තිබුනු වට්ටක්කා ගෙඩිය කැබලි වලට කපා, ලොකු ඇතිළියක දැමුවේ ද තාත්තා ය. ඉන් පසු ඒය ලිප මත තබා, තවත් ඇතිළියකින් වසන ලදී.

ටික වේලාවකින් අවට පරිසරය පුරාවට ම පැතිර ගියේ ඉමිහිරි සුවඳකි. අපි එය මහත් ආහ්ලාදයකින් යුක්ත ව ආඝ්‍රාණය කළෙමු. බෙලෙක් පිඟන් ගෙන ඊට තට්ටු කරමින් වාදන පැවැත්වූයෙමු. තාත්තා ද මහත් සතුටකින් සිනාසෙමින් අප සමග කෙළි කවට කතා කියමින් සිටියේ ය. ඒ මොහොත එතරම් සුන්දර ය. ඉනික්බිති, වසා තිබුණු ඇතිලිය ඉවත් කරනු ලදු ව, අපට පෙනුනේ තැම්බී බරි වෙන්නට ඔන්න මෙන්න තිබූ ළපටි වට්ටක්කා ය. තාත්තා දුම් දමන වට්ටක්කා කැබලි අපේ පිඟන්වලට බෙදුවේ ය. අත පිච්චි පිච්චී උඩ දමමින් අපි ඒවා කන්නට සූදානම් වූයෙමු.

එසේ උඩ දම දමා සිටි වට්ටක්කා කැබැල්ලක් මම කටේ දමා ගතිමි. මුලු කට ම ද දිවම ද පුලුස්සමින් එය කටේ තිබුණ ද, ඒ එළියට දමන්නට මට සිත් දුන්නේ නැත. ඒ එයද මට අහිමි වන නිසාවෙනි. එනිසා ම කට දිව පිච්චුන ද මම එය ගිල්ලෙමි.
අවාසනාවකි කුඩා දිවේ සිට අග්න්‍යාශය දිගේ ආමාශය දක්වා ම එය ගිණි ගුලියක් මෙන් බැස්සේ ය. මගේ ඇස් උඩ ඉන්දවුණු අතර ම දෑසින් ගුලි ගුලි කඳුලු කඩා පැන්නේ ය. වතුර ජෝගුවද අතකින් ගෙන, වහා මා වෙත පැන්න තාත්තා ජෝගුව ද සමග වූ එක් අතකින් පිට තද කරගෙන අනික් අතින් මගේ පපුව අත ගෑවේ ය...“හෙමින් කාපල්ල බෙලව්..!“ තාත්තා කීවේ මොන හැඟීමකින්දැයි මම කල්පනා කරමි. මම මඳ ඉසුඹුවක් ගෙන වතුර ගුලියක් ගිල්ලෙමි. එය මහා සිසිලසක් එක් කරමින්, දිය ඇල්ලක් මෙන් ආමාශය වෙත ගලනු මට දැණිනි.

ඉන් පසු අපි නිවී සැනසිල්ලේ වට්ටක්කා කෑවෙමු. පැසී නැති නිසාවෙන් “සිරිස්“ ගා හැපෙන නිරි රසද සහිත ව අමුතු පැණි රසකින් යුක්ත ඒ රාජකීය භෝජනය අපට මහා මෙරක් විය....!!

හෙන්දිරික්කා මල් පිපීගෙන එන තරම් වූ හවස් යාමයේ තාත්තා බයිසිකලයේ නැලී කොහේදෝ ගියේ ය.

ඉර ද බැස ගොම්මන් අඳුර ගාල් වද්දී, අපි තුන් දෙනා එකට එක් ව, ළඟින් ළඟසිටිමින් පාර දෙස බලා සිටියෙමු. ගෙතුළ තුළ මහ අඳුරක් ගාල් වන නිසා අප සිටියේ කෙටි බිත්තියට යාබද පොඩි දොරටුව අසබඩ ය. තණ පඳුරු අතරින් තාත්තා එනු අපට පෙනෙයි. බයිසිකලයේ හැඬලය වම් අතින් අල්ලාගෙන එන තාත්තාගේ දකුණු අතේ තරමක් මල්ලකි. එහි මොනවා හෝ තිබෙනු අපට ඉවෙන් මෙන් දැනෙයි.

බයිසිකලය නවතා තාත්තා ඉන් බසින්නේ “ඇයි බාල්ල ලාම්පුවවත් පත්තු කරේ නැත්තෙ..?“යි සැර නැති දෝස් මුරයක් ද දමමිනි. ඇත්තටම ලාම්පුව පත්තු නොකළ වග අපට සිහි වන්නේ එවිට ය.

වහා කමිසය ලිහා දමා, ලාම්පුව ද පත්තු කර, තාත්තා උයන්නට ලැහැස්ති වෙයි. අපට කරන්නට වෙසෙස් යමක් නොමැති වුව ද අපි දු ඒ පස්සෙ සිටින්නෙමු. මල්ලේ වූ කොළ ගුලියක් ගෙන දිග හරින තාත්තා, එහි ලොකු හබරල කොළයක ඔතන ලද හරක් මස් කුට්ටියක් එළියට ගනියි. ( හරක් මස් කී සැණින් රෙද්ද කරට ගන්නා වසලයන්, එකළ අම්පාරේ කඩවල තිබුණේ හරක් මස් පමණකැයි දැන ගනිත්වා..!!) එය ලෑල්ල මත තබා සීරුවෙන් කපන තාත්තා, ඇතිළියකට ඒ ටික දමා වතුර ද ලුණු කැට ද කිහිපයක් ඊට එක් කළේ ය. ඊට පසු යකඩ වංගෙඩිය ගෙන ගම්මිරිස් ඇට ටිකක් තලා, කැබලි ඊටම එක් කළේ ය. ඊට පසු ලිප දල්වා ඒය ලිප මත තැබුණු අතර වාරයේ, ගෝවා ගෙඩියක් ද ගෙන දෙකට පලා ඉන් අඩක් ගෙන සෝදන්නට පටන් ගත්තේ ය. ලාම්පුවෙ නළියන ආලෝකයෙන් ද, ලිපේ ගින්දරින් මතු වන සැනෙළි එළියෙන් ද මට තාත්තාගේ මුහුණ පෙනෙන්නේ අතිශය සන්තෝසයෙන් සිනා පාමින් සිටින්නාක් මෙනි.

දසත විහිදෙන මස් සුවඳ පතුරමින් ගොජ දමන ඇතිළියට ම තාත්තා ගෝවා කෙළ ද දැමුවේ ය. ටික වේලාවකින් එය ලිපෙන් බා ගෙන, දරණුව මත තබනු ලැබිණි. ඉනික්බිති තාත්තා මල්ලෙන් එළියට ගත්තේ පාන් ගෙඩියකි. ඉතා ම කළාතුරකින් පාන් කෑල්ලක් කා ඇති මට දැණුනේ කිව නොහැකි සන්තෝසයකි. දැන් රාත්‍රී භෝජනය සූදානම් ය.

අපේ පිඟන්වලට බෙදුණු ගෝවා සමග වූ මස් හොද්ද ද සමග අපි පාන් කෑවෙමු. උදේ සිට අඩ බඩ ගින්දරේ දැවෙමින් සිටි අපට, එහි රස මේයැයි කියන්නට මට නොහැක්කේ ඒ රසට, ඒ ඉමිහිරියාවට, ඒ සන්තුෂ්ටියට කියන වචනයක් අදටත් කිසිදු භාෂාවක මා දැක නැති බැවිනි.
ඒ සුරම්‍ය වූ රාජ භෝජනය නිමාවත් සමග තාත්තා එස්රාජය වයමින් යමන් කල්‍යාන් රාගයෙන් නිර්මිත ගීයක් මධුර ස්වරයෙන් ගායනා කළේ ය.
එය මා ජීවිතයේ ඇසූ, මධුර ම ගායනය ද වූ අතර, එතෙක් මෙතෙක් මා ජීවිතයේ ලද ස්වර්ණමය ආහ්ලාදය ද විය...
අදටත් ලංකාවේ සුපතල ම සුපිරි ම හෝටලයකට වැද, ඉස්තරම් ම අහර වේලක රස බලන්නට සූදානම් වන විට, මගේ නාසු පුඬු පුරා නැග එන්නේ අර වට්ටක්කා සුවඳ ය.....හිත පුරා, බඩ පුරා ඉස්තරම් අහර වේලක් විඳ ගුඩුස් අරිනා විට, මට දැනෙන්නේ අර ගෝවා සමග මස් හොද්දේ රස ය...
ඒ රසට සම කරන්නට අහරක්, ඒ සුවඳට සම කරන්නට සුවඳක්, අදත් මා රස බලා නැත්තේම ය....!!

Share/Bookmark

28 comments:

  1. එක හුස්මට කියවල දිග හුස්මක් ගත්තා... ආදරණීය තාත්ත කෙනෙක්.. සංවේදී සටහනක්...

    ReplyDelete
  2. රසවත් කතාන්තරයකි.. නමුත් ඒ තුළ ඇති මහා ජීවන අත්දැකීම අද කාලෙ වුන්ට විදින්නට නැත....

    මුල අමතක නැති මිනිසුන්ට බඩගිනි හැදෙන්නේ නැත.......

    ReplyDelete
  3. විඳපු දුක් ආයෙ මතක් කරනකොට පැණි රසයි තමා.

    අපූර්ව ලිවිල්ලක්.

    ReplyDelete
  4. ඇස් වලට කඳුළු ආවා.. :(

    ReplyDelete
  5. මේකට මොනවා කියන්නදැයි මට තේරෙන්නේ නැත. ඔබේ තාත්තා මෙන්ම එකල දරු පැටවුන් වූ ඔබ ගැනද මගේ හැඟීම පවසන්නට මට වචන නැත. එච්චරයි!

    ReplyDelete
  6. අම්පාරේ පොල් අතු මඩුවේ ඔබ ඇතුළු සොයුරු සොයුරියන් ගත කල ජීවිතය ගැන මා නොයෙකුත් කතා අසා ඇත්තෙමි . එත් සර් අද ඇසු කතාව නම්,,, තරමක් ,,අනුවේදනීයයි ,,, නමුත් ඒ අනුවේදනීයත්වය තුල අපුරු සුන්දරත්වයක්ද මා දැකගතිමි. ඒ,,,,,,, ,,දහසකුත් අභියෝග මැද ජිවන ගමනේ තනි වූ ඔබේ පියා ,,, ගැන සිතෙන විටය ,,, ඔහු කෙතරම් නම් සුන්දර මිනිසෙක්ද ,,, සිය බිරිඳගේ වියෝවෙන් පසු දරුවන් හයදෙනෙකු උස් මහත් යනු කවර නම් අභියෝගයක්ද ?? ඒ අභියෝග ජය ගැනීමට ඔහුට ,, කෙතරම් නම් ආත්ම ශක්තියක් තිබෙන්නට ඇත්ද ??? ඒ ඔහු වාමාංශික දේශපාලනයෙන් ලද ,, මානවීය පන්නරයද ?? අභියෝග තුල,, විසදුම් සෙවීමේදී ඔහු කෙතරම් නම් සංවේදී වීද ,,, සුන්දර වීද ,,,,??? ඔහු වැනි මානව හිතවාදී, පියෙකුට සුජාත වූ,, ඔබලා ,, කෙතරම් නම් වාසනාවන්තද ,,,,,,,????

    ReplyDelete
  7. Monawa liyannada nothere... Jeevitha suwanda, daru senehasa...sathyaya..Oba sebema kalakaruweki

    ReplyDelete
  8. ඇත්තටම සංවේදීයි... අර වට්ටක්කා සුවඳ මගේ නහයටත් දැනුනා වගේ, උණුවෙන් ආමාශගත වෙන ඒ හැඟීම මටත් දැනෙනවා.. ඒ එවැනි දේවල් මා ද විඳ ඇති බැවින්..
    අපූරු සටහනක්..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  9. ඔබ ලියන සටහන සැබෑවටත් එහා ගිය කතාවක් යැයි මට සිතේ. ඒත් එය එසේ නොවෙන බවත් මම දනිමි. මේවා නිකම්ම නිකම් කතා නොවන්නේ අන්න ඒ නිසාවෙනි...

    ReplyDelete
  10. කාළේකින් ආයිත් අතීතේ මතක සුවඳ දිගේ අපේ නෙත් තෙත් කරල, වෙලාවකට මට හිතෙන්නෙම මම කියවන්නේ නව කථාවක් කියල ,ඒතරමටම හිත පතුලටම ඔබ්බල ලියල තියෙන්නේ. මහත් අභිරුචියකින් කියවගෙන ගියත් ආයිත් ඊළගකොටස කියවන්න තව සෑහෙන කාළයක් බලන් ඉන්න ඕන නේද කියල මතක් වෙනකොට නම් හිතට තරහකුත් ඒනව

    R.Dharmalatha Ranasingha A

    ReplyDelete
  11. මට මගේ අතීතයත් මතක් උණා...

    ReplyDelete
  12. එදා විඳි දුක් අද මිහිරි මතකයන්ය

    ReplyDelete
  13. මචං තේනුවර.... දුක දිනා දිවිය ජයගත් අප්‍රතිහත ධෛර්යයෙන් යුතු මිනිසෙකුගේ කතාවක් හුස්ම නාල්ලා කියවා දැමුවෙමු. මටද දැනේ ඒ වට්ටක්කා සුවද මේ මොහොතේත්. ඇන් බලන්න අද කාලේ මිනිස්සු... පොඩ්ඩ නැතිවුණොත් අනුන්ට බැන බැන නිකං ඉන්නවා. සහනාධාර ලැබෙන තුරු.. ඒත් එදා මිනිස්සු දුක මැදින් ජීවිතය ජයගන්න වෙහෙසුනා.
    අපි කම්මැලි ජාතියක් බවට පත් වුණා.

    ReplyDelete
  14. We don't just read here..we feel!!!

    ReplyDelete
  15. ඔය වගේ වෙලාවක අපිට පිහිට උනේ වහලෙටම ගිහින් තිබ්බ පැෂන් ෆෘට් වැල... අදත් ඒ රසය මතක් උනාට ඒ අත්දැකීම නම් ආයිත් විඳින්න බෑ කියලා හිතෙනවා... අත්දැකීම මට රසවත් උනාට අපේ අම්මටයි තාත්තටයි රස නැති වෙච්ච හින්දා...

    ReplyDelete
  16. සංවේදී සටහනක්. ඒ වට්ටක්ක මාලුවේ සුවඳ අපටද දැනෙන ආකාරයට අදහස් දක්වා ඇති ආකාරය අපූරුයි.

    ReplyDelete
  17. කවුරු හරි ලොකු ගායකයෙක් තමුන්ගේ ජීව්ත අත්දැකීම් කියද්දි මේ වගේම කතාවක් කියලා තිබ්බා. කවුද කියලා හරියටම අමතක උනත් එදා ඒ කතාව අහලා මමත් අම්මට කියලා වට්ටක්කා තම්බගෙන කෑවා. ඇත්ත.. ලූනු ගෙඩියක් මිරිස් කරලක් ලුණුමිරිසක් එක්ක ඒ එන රහට උපමා නෑ :D

    ReplyDelete
  18. හිතුවක්කාරකමට සිද්ධ වෙච්ච පළමු කසාදේ හින්දා කන්තලේ පැත්තේ වාඩියක පොල් අතු පැලකට වෙලා බේබදු මනුස්සයා එනකල් පොඩි කොල්ලෙකුත් එක්ක තනියෙම ඉන්න ගමන් කන්න දෙයක් නැති කමට පොලොස් ගැට තම්බගෙන ලුණු ඉහලා කාලා ජිවතේ රැක ගත්ත අම්මගේ කතාව මට මතක් උනේ...

    ReplyDelete
    Replies
    1. ඇයි මාරයෝ ඒ කතා ලියන්නේ නැත්තෙ

      Delete
  19. oya eka mamat etana inawa wage danuna.
    Jayawewa.

    ReplyDelete
  20. ගාමිණී මහත්මයාගේ වැකියක් එහා මෙහා කර කිව්වොත්, "අත්දැකීම්වලට නිසි වටිනාකමක් ලැබෙන්නේ, ඒවා ලියා තැබූ විටය."
    මේ වගේ තියා, ඊට කිට්ටුවෙන් යන අත්දැකීමක්වත් නැති කෙනෙක්වත් ඒ පරිසරයට, ඒ ජීවිතයට අරගෙන යන අපූරු ලිවීමේ රටාවක්.

    ReplyDelete
  21. කලින් එහෙ මෙහෙ යනකොට බ්ලොග් එක දැක තිබුනත් ගොඩ වැදුනෙ අදයි.
    මේ පොස්ට් එක මගෙ පපුවෙ ගුලියක් හිර කලා. හරිම සංවේදීයි. බොරුවට කියනව නොවේ.මගෙ තාත්තත් මීට බොහෝ සමානයි. ඇදුම රෝගියෙක් නිසා නෝපේ යන බැවින් මාසෙ අවසානයට පඩියක් ඉතුරු වුනේ නෑ. මට තාත්තව සිහිවී කඳුලු ආවා. මේ ලිපිය කියවන හැමෝම සසල කරමින් ලිවූ මේ ලිපියෙන් ඔබේ කුසලතාව ගැන ඉහලම සහතිකයක් දී ඇත.
    වෙලා තිබේ නම් මගෙ බ්ලොග් එකටත් ගොඩ වෙන්න.
    මිහිරැති ඉංග්‍රීසි පරිවර්ථන ඇතුළු සිත නිවන දෑ රස විඳින්න එන්න ගිං ඔය අද්දරට

    ReplyDelete
  22. මෙහෙම හිටපු මිනිස්සු තවත් ඉන්න ඇති. නමුත් ඒ මතකය අද දවසේ නිවී සැනසිල්ලේ මතක් කරන්න පුලුවන් තත්වයට එන්න හැමෝටම බෑ.

    ReplyDelete
  23. අද තමයි මේ ඉසව්වට ආවේ.
    අති විශිෂ්ට ලියවිල්ලක්.
    මෙහෙම පන පොවලා කොහොම ලියනවද මන්දා?

    ReplyDelete
  24. ජීවිතය ඔබ විඳි සේ විඳි අයෙකුට ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලීමෙහි කිසිදු අපහසුවක් හෝ ගැටළුවක් නොමැත. එසේම ඒ අත්දැකීම් මෙලෙස පෙලගැසිය නොහැක්කෙකුට ලැබෙන ඒ අත්දැකීම් පසේබුදුවරයකු ලබන බුද්ධත්වය හා සමාන බව හඟිමි.

    ReplyDelete
  25. මටත් පීසා හට් එකේ බිල එන හැම වෙලාවෙම ඒ අතීතය සිහිපත් වෙනවා. අපිට දැනිච්ච බඩගින්න දරු පැටව්න්ට උරුම නොකරන හොදම තාත්තා වෙන්න පුළුවන්වුනේ ඒවිඳවපු දුක නිසා. තව ලියපං අයියේ උඹට ජය

    ReplyDelete
  26. මගේ දුප්පත් ඒත් සුන්දර අතීතයට යලි ගෙන ගිය ඔබට තුති.. නෙතට පොඩි කඳුලකුත් අවා .. අද ඉන්න පොෂ් පොරවල් ගොඩදෙනේක්ගේ අතිතයත් මේකම තමඊ... ඒවූණාට කතාකරෝත් ලොරී talk තමඊ .ඊළඟ කොටස එනකම් මග බල සිටිමි.

    ReplyDelete
  27. 1977 ට ඉස්සර ඉපදුනු ගොඩක් අයට තියෙන්නේ තේනුවර කියන අත්දැකීම් සමග බැදුණු ඊට අනුරූප අත්දැකීම්. මමත් ගොඩක් වෙලාවට හිතල තියෙනවා තේනුවර වගේ මගෙත් කථාවත් ලියන්න. ඒත් මගේ හැගීම් වචන වලට පෙරලන්න මම තේනුවර වගේ දක්ෂ නැහැ. මගේ යාලුවෙක් මේ බ්ලොග් එකේ ලින්ක් එක එවල තිබුන. මම එක හුස්මට මුල ඉදල කියෙව්වා . මට හිතුනේ මේ මගේ කතාව කියල. එකම වෙනස තේනුවරගේ තාත්ත ඉන්න තැන ඉන්නේ මගේ අම්මා. තේනුවර වාසනාවන්තය් මොකද අද තාත්ත එයාගේ බුමිකාවේ සාර්ථකත්වය දකින්න ඉන්නවා . එත් මගේ අම්ම අද නැහැ.

    ReplyDelete