Thursday, September 19, 2013

සිත්තර වැඩ


මෙකල්හි අපට පාසැල් තිබුනේ උදේ වරුවේ ය. අපි නැඩයම උදේ පාසැල් ගියේ පයිනි. නමුත් බොහෝ දිනවල තාත්තා බයිසිකලයද රැගෙන අපව එක්ක යන්නට පැමිණෙයි. එසේ පැමිණෙන සමහර දාට අප කෙලින් ම ආවෙ ගෙදර නොවේ. තාත්තා අප සමග ම ටවුමට යන්නේ ය. කණිෂ්ටේ සිට කෙළින් ම වම් පැත්තට පල්ලම් පාර කෙළවර වන්නේ උහන, මහියංගනය හරහා කොළඹ තෙක් දිවෙන මහ පාර ය. ඉන් අනෙක් පැත්තේ ඇත්තේ විසල් අම්පාරෙ වෑ පිට්ටනියයි. ලොකු තාත්තාගේ හරක් පට්ටිය ඇතුලු හරක් දහස් ගණනක් එහි තණ උලා කමින් සිටියි. මේ පාර දෙපස ම මොනවා හෝ ගොඩනැගිලි වෙයි. ආණ්ඩුවේ කන්තෝරු ද, ලොකු පොඩි වෙළෙඳසැල් ද ඇත්තේ වම් පැත්තේ ය. මේ පාර කෙළවර වන්නේ බස් ස්ටෑන්ඩ් එකට මෙහා ලොකු ඔරලෝසු කණුව අසලිනි. ඉන් දකුණු පැත්තට පටන් ගන්නේ කල්මුණේ හරහා මඩකලපුවට යන මහ පාර ය. පාර පටන් ගන්නා තැන ම පළමු වෙළෙඳ සැල රත්තන් බඩු සාප්පුවකි. දෙවනුවට තිබුණ සාප්පුව මට මතක නැත. නමුත් තුන්වනුව තිබුනේ හෝටලයකි. එහි නම මාතර හෝටලයයි. රත්තරන් බඩු සාප්පුවේ මෙන් ම එහි සිටියේ ද තාත්තාගේ ගමේ කට්ටියකි. 

ඒ පාරෙන් එහා පැත්තේ කඩ පේළිය තට්ටු දෙකකි. එහි කෙළවර උඩ තට්ටුවේ පොත් කඩයක් තිබුණේ ය. තාත්තා අප සමග නිබඳවම ගිය එක් තැනක් වූයේ එයයි. එහි ගිය විට අපි එහි ඇති පොත් පෙරලාගෙන කියැවූයෙමු. විවිධ කතන්දර පොත් අප මුලින් ම කියැවූයේ එහි සිට ය. අප පොත් කියවන තෙක් තාත්තා ලොකු චිත්‍ර අඳින කඩදාසි ද, පැස්ටල් පාට පෙට්ටි ද මිල දී ගනියි.  ඒවා සියල්ල අප සඳහා ය.

ගෙදර ආ විගස අප කරන්නේ කෑම කෑම ය. ඉන්පසු සවස් වනතෙක් රාජකාරිය වන්නේ ලොකු මේසය මත අර කොළ අතුරාගෙන චිත්‍ර ඇඳීම ය.....!! අයියාත්, මාත් පාලිතත් අපට රිසි රිසි දේ ඇන්දෙමු. පාට කළෙමු. ඉඳ හිට තාත්තා පැමිණ ඒවායේ අඩු පාඩු පෙන්වයි. 

දවසක් තාත්තා ද ඔහුගේ කළු ලෑල්ල රඳවන ස්ටෑන්ඩ් එක මත තබාගෙන කැන්වසයක් මත චිත්‍රයක් අඳින්නට පටන් ගත්තේ ය. කැන්වස් රාමුව මත පළමුව පැන්සලෙන් කඩ ඉරි දෙක තුනක් අඳින තාත්තා ඒ දෙස මඳ වේලාවක් බලා සිටියි. ඉන්පසු නැවතත් සරස් බරස් ගා පැන්සල් ඉරි දෙක තුනක් අඳියි. මඳ වේලාවකට පසු අපට එයින් චිත්‍රයක් මතු වී පෙනෙයි. ඒ ගරා යක් වෙස් මුහුණක් සහිත නැට්ටුවෙකි. ඔහුගේ අතේ ද පයේ ද මිණි ගෙඩි බැඳ ඇත්තේ ය. චිත්‍රය ඇඳ නැතත් අපට එහි මිණි ගෙඩි සද්දය ඇසෙයි. තාත්තා මේ චිත්‍රය අඳින්නට ගත කළ දවස් කිහිපයේ ම අපේ රාජකාරිය වූයේ ඒ දෙස බලා සිටීම ය.

ටර්පන්ටයින් තෙලින් දියවුණු තෙල් සායම් සුවඳ අතිශය මිහිරි ය. තාත්තා ලොකු පැලට් එකක් අතේ රඳවාගෙන එහි පුරා ම තෙල් සායම් ටියුබ් මිරිකා තැබූ පාට ගුලි මත පින්සල අතුල්ලමින් විවිධ වර්ණ සාදා ගනී. පැලට් අක පොළොවට සමාන්තරව අල්ලාගෙන සිටින්නට පහසු සේ එහි අපූරු හැඩයක් ඇත්තේ ය. එහි එක තැනෙක ටර්පන්ටයින් භාජනය රඳවන සිදුරකි. තාත්තා මේ පැලටය අල්ලාගෙන සිටින අතේ ඇඟිලි අතරේ විවිධ ප්‍රමාණයේ පින්සල් දෙක තුනක් ද රුවාගෙන සිටියි. තාත්තා පින්සල අල්ලන්නේ ද වේවැල අල්ලන්නාක්මෙන් එහි මිට කෙළවරිනි. මහත කෙඳි සහිත පින්සලකින් පාට පදාස ගාන අතර, කුඩා පින්සලකින් සියුම් තැන් අඳියි. ඊට අමතර ව කුඩා මේසන් හැන්දක් වැනි දිග තලයක් ඇති "පැලට් නයිෆ්" එකෙන් ද පාට තවරයි. එසේ කොට පියවර දෙක තුනක් පස්සට ගොස් චිත්‍රය දෙස බලා සිටියි. මෙසේ දවස් ගණනක් පුරා තාත්තා මේ චිත්‍රය ඇන්දේ ය.

දැන් දැන් අපේ රාජකාරිය ද යළි චිත්‍ර කරුමාන්තයට මාරු වෙයි. නමුත් අප අඳින විත්‍ර ද දැන් වෙනස් ය. මොකක් ඇන්දත් එහි කෙළවරක හෝ කොතැනක හෝ අනිවාර්යයෙන් ම යකැදුරෙක් ද සිටියි...!!!

දැන් තාත්තා චිත්‍රය ඇඳ අහවර ය. එහි තීන්ත වේලෙන්නට දවස් දෙක තුනක් තැබූ පස් ඒ මත ලින්සීඩ් ඔයිල් තට්ටුවක් ආලේප කරයි. දැන් චිත්‍රය හරි පණ ය. දිලිසෙයි. අපි ඒ චිත්‍රයේ සිටින යකැදුරු නැට්ටුවා දෙස බලා සිටිමු. ඔහු සිය විසල් වෙස් මුහුණ සොලවයි. එළියට පනින සේ ඇති ලොඩි ඇස් දෙක දීප්තියෙන් බැබලෙයි. එවිට ඔහුගේ ලොකු කෙස් කළඹ ද සෙලැවෙයි. දිගට ඇදුනු රතු පාට දිව ද එල්ලෙමින් සෙලැවෙයි. ඔලුව සොලවන රිද්මයට ම හේ සිය විලක්කු පන්දමක් සහිත අත පහළ සිට ඉහළට රිද්මයානුකූල ව ඔසවනා අතරේ අනෙක් අත අඹරවමින් ගනියි.
එසැණින් දකුණු පාදය වැරෙන් පොලොවේ ගසන විට "තස්" ගා හඬක් සමග ගෙජ්ජි හඬ ලොකුවට ඇසෙයි. ඉනික්බිති හේ වම් පාදය ඔසවන්නේ ඔලුවද වනා, පස්සට කර කරකවමිනි. එවිට මිණි ගෙඩි හඬ ඇසෙයි...!!
ඇත්තටම ඒ චිත්‍රය ඒ තරම් පණ ය...!!
ඒ යකැදුරා කොතරම් අප හා බද්ධ විනිද යත් අදත් මට ඒ හා සමානවම ඒ යකා ඇඳ පෙන්විය හැකි ය. නමුත් හේ කඩදාසිය මත රඟන්නේ නැත.
මන්ද තාත්තා තරම් පණ පිහිටුවා මට අදත් ඒ චිත්‍රය අඳින්නට බැරි බැවිණි.

Share/Bookmark

14 comments:

  1. "ඒ යකැදුරා කොතරම් අප හා බද්ධ විනිද යත් අදත් මට ඒ හා සමානවම ඒ යකා ඇඳ පෙන්විය හැකි ය. නමුත් හේ කඩදාසිය මත රඟන්නේ නැත.
    මන්ද තාත්තා තරම් පණ පිහිටුවා මට අදත් ඒ චිත්‍රය අඳින්නට බැරි බැවිණි."
    - අඳින්නම ඕනෙ නැහැ ඉන්ද්‍රනාථ මේ වගේ පණ පොවලා ලියන්න පුළුවන් නම්.

    ReplyDelete
    Replies
    1. මගේ හිතටත් එක පාරම ආවේ මේ අදහස...:)

      Delete
  2. තාගෝර්ව ද මේ ෆොටෝ එකේ අඳින්නේ. මේ අර දුෂ්කර සේවය කාලේ ගත්තු ෆොටෝ එකක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. දුෂකර සේවෙ නෙමයි.. වැඩ තහනම් කරපු කාලෙ.
      මේ තාත්තාගේ ගුරුවරයා වන රබීන්ද්‍රනාත් තාගෝර් තුමා තමා.

      Delete
  3. අද තමයි මම ඉස්සෙල්ලාම මේ බ්ලොගට ආවෙ..බොහොම රහට පළවෙනි පෝස්ටුව කියෙව්වා...තාත්තා චිත්‍ර අදිනවා අපිත් බලන් හිටියා වගේ දැනෙන්න ඒ සිදුවීම ඉතාම ලස්සනට විස්තර කර තිබෙනවා...ඔබතුමා නිතර නැතත් මාසෙකට පෝස්ටු දෙකක්වත් පල කරන්න උත්සාහ කරනවා නම් සෑහෙන සතුටක්...ජය !

    ReplyDelete
  4. i have no words to express my comments !

    ReplyDelete
  5. E daksha thaththage hekiyawa wenath madya walin obata pihita thiyanawa... Api sathutak labanawa obe daskam valin.

    ReplyDelete
  6. එක අතකට කියන්න මෙහෙම කථා තියෙන ඔබ.. එහෙම කථා නැති දාහක් දෙනාට වඩා කොච්චර වාසනාවන්තද ...

    ReplyDelete
  7. තාත්තගේ හැකියාව උපරිමයෙන් උරුම කර ගත් දරුවන් සිටීමත් කොයි තරම් වාසනාවක් ද?

    මෑතක මං ‍චන්ද්‍රගුප්ත ‍තේනුවර මහත්මයට කතා කළා.. පොත් කවරයක් සම්බන්ධ වැඩකට.... කොයි තරම් නිහතමානී මනුස්සයෙක්ද මට හිතුණා... පියෙකුගේ හැකියාව අකුරුවලින් සිත්තම් කළ අපුරු සටහනක්...

    ReplyDelete
  8. මීට කලිනුත් මේ වගේ සංවේදී පෝස්ට් කීපයක් මම කියවලා තියෙනවා මේ බ්ලොග් එකේ තේනුවර.. ඇඳපු චිත්‍ර ටිකකුත් එකතු කරන්න අනිත් දවසේ..

    ReplyDelete
  9. ජීවිතයේ වර්ණ ඵලකය...නොයෙකුත් වර්ණ සායම් කලතා ඇඳුනු ජීවිත සිතුවම....

    ReplyDelete
  10. ඉන්ද්‍රනාථ තේනුවර නම් ඔහුගේ පුතණුවන්ද ඔහු මෙන්ම දක්ෂ සිත්තරෙකි.හේ පණ පිහිටුවා සිතුවම් කරයි.හේ කෙතරම් දක්ෂ,වුවත් දැඩි පීතෘ ගෞරවය හේතුවෙන් එය පිළිගැනීමට නොකැමැත්තේය.ඔහු පණ පිහිටුවා සිතුවම් කරන්නා සේම ඔහු ලබා ගන්නා ඡායාරූප මතද පණ පිහිටුවයි.හේ අති දක්ෂ ඡායාරූප ශිල්පියෙකි පියාණන්ට ආශිර්වාදයකි.පියාණන් සේම පොලවේ පය ගසා ජීවත් වන්නා වූ සරළ සුන්දර මිනිසෙකි. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා ගුරුතුමනි.ඔබට දීර්ඝායුෂ !

    ReplyDelete
  11. මම ඔබගේ කතාව හෙමින් හෙමින් කියවගෙන එනවා. ඉතාම සංවේදී කතාවක්. දිගටම ලියන්න.

    ReplyDelete
  12. ආයෙත් කියෙව්වා. ආයෙත් හොඳින් රස වින්දා. ඔබටත් ඔබේ පියාටත් තුනුරුවන් සරණින් දීර්ඝායු ලැබේවා .

    ReplyDelete