Thursday, January 3, 2013

අපේ ඓතිහාසික පින්තූර


මේ 1968 අවුරුද්ද විය යුතු ය. 

එක්තරා දවසක බයිසිකලයකින් මහත්මයෙක් අපේ සරණට පැමිණියේ ය. ඔහු සතු මල්ලේ අරුමෝසම් බඩුවක් තබෙනු අපි දුටුවෙමු. ඔහු එය ගෙන එහි පටියෙන් බෙල්ලේ එල්ලා ගත්තේ ය. එය කැමරාවකි. පැමිණ තිබුනේ පුවත් පතක් සඳහා තාත්තා ගැන විස්තරයක් පළ කිරීම ය.

ඩඩ්ලි සේනානායකගේ යූ ඇන් පී ආණ්ඩුව විසින්, වාමාංශික දේශපාලනයේ යෙදීමේ වරදට වැඩ තහනම් කළ විදුහල්පතිවරුන් 18 දෙනාගෙන් කෙනෙකු වූයේ අපේ තාත්තා ය. මේ ප්‍රාදේශීය වාර්තාකාර මහතා පැමිණ සිටියේ ඒ අපා දුක් විඳින වෘත්තිකයන් ගැන පුවත් පතකට කරුණු ලියන්නට ය.


කුඹුර කොටන තාත්තාට උදව් දෙන්නේ අයියා මම සහ පාලිත ය. කොට කළිසමක් ඇඳ තාත්තා කුඹුර කොටන අතර, විල්බැරෝවට පස් පුරවන්නට සහය වන්නේ අයියා ය. විල්බැරෝවේ අත්ඇඳි දෙක අල්ලාගෙන සිටින්නේ මා ය. පසෙකින් සිටින්නේ පාලිත ය.

 මේ ඉහළ පින්තූරයේ තාත්තා ද සමග බිම වාඩි වී සිටින්නේ අයියා ය. දකුණු පසින් අත් පිටිපසට කොටගෙන බැඳ සිටින්නේ මා ය. වම් පැත්තෙන් සිටින්නේ පාලිත ය. තාත්තාට පිටුපසින් පෙනෙන්නේ අපේ මූත්‍රාවලින් තෙත බරිත වන අපේ එකම සිහින රාජ්ජය වූ ඇඳ ය.


 මේ තාත්තා බලමින් සිටින්නේ ඇත්ත පත්තරයයි. පිටුපසින් ඈතින් පෙනෙන්නේ රජයේ සේවකයන්ගේ තනිකඩ නිල නිවාසය හෙවත් ඩෝමැට්‍රියයි.

තාත්තා මේ අඳින්නේ ඉන්දියාවේ භාත්ඛණ්ඩ විශ්ව විද්‍යාලයයේ දී තාත්තාට ඉගැන් වූ රබීන්ද්‍රනාත් තාගෝර් ගුරු පියාණන්ගේ චිත්‍රයයි.

 මේ එදා එතුමන් විසින් සිය කැමරාවේ සටහන් කර ගත් අපේ පින්තූරයි. මෑත කළෙක තාත්තා සතු ව තිබූ එහි ඍණ ඵලක රැගෙන ගොස් මම ඒවා මුද්‍රණය කර ගතිමි.

මේ තිබෙන්නේ කිසිවකුට කිසියම් ම ලෙසින් වෙනස් කළ නොහැකි වූ අපේ ඉතිහාසයයි...!!!

Share/Bookmark