Saturday, April 13, 2013

කඩා වැටීම.

මී ළගට එළැඹෙන්නේ අගෝස්තු නිවාඩු කාලයයි. නිවාඩු නිසා පාසැල් ගමනක් නැති බැවින් ලොකු තාත්තලාගේ නඩය දැන් අප සමග මුහු වන්නේ නැත. ඉඳ හිට දවසක වසන්තයියා පැමිණ ගිය ද අනෙක් අය විශේෂයෙන් අප බලන්නට එන්නේ නැත.

නිවාඩුව සමග මතු වන ඊ ළඟ ගැටලුව වන්නේ තාත්තාගේ පන්ති සඳහා ශිෂ්‍යයින් ද නොපැමිණීමයි. වෙනදාට උදේ වරුවේ ද හවස් වරුවේ ද සිටි දහ පාළොස් දෙනෙකුගෙන් සමන්විත පිරිසෙන් අද එකෙක්වත් පැත්ත පලාතක නැත. මහ කන්නයට කුඹුරු අස්සද්දන කාලය බැවින් කොලු කුරුට්ටෝ ද කුඹුරු වැඩට සහය වන්නට යති. ඒ යාමේ ප්‍රධාන අරමුණ වන්නේ සිය තාත්තලාට උදව් වීම ම නොව ඇඟ පත පුරා හොඳහැටි මඩ දුහුවිලි නාගෙන සිත් සේ ක්‍රීඩා කරන්නට ලැබෙන අවස්ථාව භුක්ති විඳින්නට ය.

සාමාන්‍යෙයන් හැම නිවාඩුවකට ම පසු එලැඹෙන පන්ති වරයක දී ළමුන් බාගෙට බාගයක් හැලෙන්නේ ය. තාත්තාගේ පන්තිවලට ශිෂ්‍යයන් නොපැමිණීම තවත් අමතර ගැටලුවකට මුල පිරෙන්නේ ය. ඒ අපේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ පන්තිවලින් එන සොච්චම් ආදායම ය..! තාත්තාට ආදායම් නැති වන විට, ජීවත් වීම සඳහා ණයට බඩු බාහිරාදිය ගන්නට සිද්ද වන්නේ ය. එය ද කළ හැක්කේ සීමිත කාලයකට පමණි. ණය කාරයන්ට හිඟ මුදල් දෙන්නට සිද්ද වන විට කිගෙන් හෝ අත මාරුවක් ඉල්ලා ගන්නට සිදු වෙයි. කෙනෙකුගෙන් වරක් දෙවරක් පමණක් අත මාරු ගත හැකි අතර, ඊට වඩා ඔවුන් හමුවට යන්නටනම් කළින් ගත් ණය ගෙවා දැමිය යුතු ය. නමුත් කිසිදු ආදායමක් නැති විට එය අතිශය අසීරු කරුණක් වෙයි.

අප දැන් පත් ව සිටින්නේ එවන් අසීරු ම අවස්ථාවකට ය. කීයක් හෝ ඉල්ලා ගන්නට හැකි ගෙවල් ඇත්තේ ද අවට තුන හතරක් පමණි. මේ තුන හතරට දවස් දෙකකට වරක් ගිය විට ඒ රවුම අහවර වෙයි. මේ හැම අතමාරුවක් සඳහා ම ගියේ තාත්තා ය.. ඉතා ම කලාතුරකින් ඒ ගමනක් මා හෝ අයියා හෝ ගිය වගක් මට මතක ය. එසේ ගිය ගමනකදී මා සාලයේ සිටිද්දී, ගේ තුළට ගිය අංකල්, ඇන්ටී සමග කී දේ අදත් මගේ මතකයේ රැව් පිළිරැව් දෙයි...

“ඉස්කෝලය මහ පුදුම මිනිහෙක්නෙ.. ඌ හිතං ඉන්නෙ අපිත් සල්ලි ගස්වලින් කඩනව කියල වෙන්නැති..“
ඒ කීවිට ඇන්ටී කී දෙය මට ඇසුනේ නැත. නමුත් අංකල් ආයෙත් කියයි “අපොයි නෑ නෝනෙ.. ඉල්ලං ගිය හැම සතේ ම හම්බ වෙච්ච හැටියෙ ගෙනත් දෙනව තමයි.. ඒත් පොඩ්ඩක් හරි හිතන්න එපායැ..ඒ අස්සෙ මේ පොඩි එකෙක් එවල.. අපේ බඩ පපුවත් පත්තු වෙනව තමයි නෝනෙ...!!

මේ කී දෙයෙහි බරක් පතලක් මට ඒවෙලෙහි දැනුනේ නැත. මඳ වේලාවකට පසු ඒ අංකල් රුපියලක් ගෙනැවිත් මා අත තැබුවේ ය. දී මගේ හිස ද අත ගෑවේ ය. එවිට ඔහුට ස්තූතියි කියන්නට ද හෝ වෙනත් කිසිවක් කියන්නටදැයි මගේ මතකයට ආවේ නැත. මම හිස සලා ආපසු හැරී ආවමි. ඒ ඇවිත් මේ ඇසූ කතා තාත්තාට කියන්නට ද ගියේ නැත.

දැන් දැන් තාත්තා ඉස්සර වගේ පොලේ යන්නේ නැත. පොලේ ගොසින් සතියකට හමාරකට බඩු ගන්නට වත්කමක් නැති නිසා වන්නට පුලුවන. මෙසේ ඉඳ හිට ලැබෙන අතමාරුවකින් පසු තාත්තා කඩේ ගොස් අත්‍යාවශ්‍ය මදේ රැගෙන එයි. මෙවන් කාල වකවානුවල අප නිවසේ පැට්‍රොල් මැක්ස් ලාම්පුව ද දැල්වෙන්නේ නැත එවිට රෑ එළිය කරන්නට දැල්වෙන්නෙ කුප්පි ලාම්බුවක් පමණි. වේලාසනින් ම මොනවා හෝ රත් කර ගන්නා අප, වේලාසනින් ම කාබී, රෑ වන්නට පෙර නදි දෙව් දුව වැළැඳ ගන්නෙමු.

පසුවදා වේල් තුනක් වන දවස වේල් දෙකකින් පිරිමසා ගන්නට අප සැදී පැහැදී සිටියෙමු. උදෙන් ම අල්ලට සීනි ගෙන, ලොකු තේ කහට එකක් බිව්වෙමු. උදේටත් දවල්ටත් දෙකට ම හරි යන්නට අප කෑවේ දවල් එකොළහට පමණ ය. හැන්දෑවේ ඉර බැස බිම් කලුවර වැටෙන්නත් පෙර අපි රාත්‍රී අහර කිස නිම කළෙමු. බොහෝ විට ඒ රොටී ය. අප පාන් කෑවේ ඉතා ම කලාතුරකිනි. මන්ද පාන් කෑම සඳහා යන වියදම වැඩි නිසා ය. රෑ කෑම වේල අවසන් කළ පසු තාත්තා සිරිත් පරිදි එස්රාජය වයමින් ගීත ගායනා කරයි. ගොම්මන් අඳුර බිඳලමින් අවට හාත් පස පැතිරෙන විවිධ කුරුමිණි හඬවල් ද, රෑහි හඬ ද යටපත් කරමින් එස්රාජයේ හඬ ද, තාත්තාගේ සුගායනය ද අපව මිහිරෙන් මිහිරට පත් කරයි. ඉන් පසු ලොකු වතුර පොල්කට්ටක් බොන අපි ඉරුණු මදුරු දැල යට ගුලි වන්නෙමු. කුප්පි ලාම්පුව නිවූ සැණින් අවට හාත් පස පුරා පැතිරෙන්නේ කෑලි කැපිය හැකි ඝණ අඳුරකි. මිනිත්තුවක් දෙකක් ගිය විට අපට ඒ අඳුර හුරු වෙයි. 

වියළි කලාපයේ අහස පුරා පැතිර ඇති මන්දස්මිතිය යාන්තමින් අප පැල්පතට ද පැමිණෙයි. එයින් අපට අප එකිනෙකා ඡායා මාත්‍ර වශයෙන් දැක හඳුනා ගන්නට හැකි ය. ඒ නිසා අපට කිසිදු බියක් තනියක් දැනෙන්නේ නැත. ඒ නිසා ම අප බියෙන් සැකයෙන් තොර ව රාත්‍රිය පුරා සුව සේ නිදියන්නෙමු.



Share/Bookmark