Thursday, June 20, 2013

රාජකීය භෝජනය


පසුවදා වන විට තත්ත්වය තවත් උග්‍ර විය. තේ කහට එක බොන්නට ද සීනි නැති තරම් ය. අපි සීනි බෝතලය ගෙන දිග හැන්දක් එතුළට දමා, වටේ ඇලී ඇති සීනි ඇට සියල්ල එකතු කර ගත්තෙමු. එවිට එක්කෙනකුට සීනි ඇට විස්සක් තිහක් පමණ ලැබෙන්නට ඇත. අපි සීනි ඇට දෙස බලමින් තේ කහට බිව්වෙමු. අවසන දිව සහමුලින් ම එළියට දමා, මහත් වූ පෙරේත කමකින් යුක්ත ව අල්ල ලෙව කෑවෙමු. ඒ දිවට හසු නොවූ ඉතිරි සීනි ඇට එකින් එක දිවෙන් ගත්තෙමු. අවසන අල්ල පුරා තැවරී ඇති කෙළ පහර කළිසමේ පිටි පස්සේ අතුල්ලා පිස දැමුවෙමු.

උදේ වේල අහවර ය..!!

එදින පාසැල් නිවාඩු දවසක් වීම නිසාවෙන් දවස ගෙවෙන්නේ ද ඉතා සෙමිනි. තාත්.ා කුස්සියේ වූ සියලු වළං මුට්ටි පෙරලමින් දහවල් කෑමට සදන්නට යමක් සොයමින් සිටියේ ය. හාල් මුට්ටියේ එක ඇටයක්වත් නැත. කරවල මුට්ටයේ ඇත්තේ ගොරක කෑලි දෙක තුනක් පමණි. වෙනත් ඇට ජාති දමන එල්ලන පං මල්ලේ ද කිසිවක් ම නැත. වත්ත පුරා ඇවිද පළා කොළ මිටි ගණනක් වුව සොයා ගත්තද ඒ කන්නට බතක් නැත. ඉර ද මුදුන් ව ගොස් සිය කාල වේලාව හමාර කරනුවස් අවරට හැරෙමින් සිටියි. දාහය කෙමෙන් අඩු වෙයි. නමුත් අප පෙලන ක්ෂුදා ගින්න එන්න එන්න ම වැඩි වෙයි. අපි වතුර පොලකට්ටක් ගෙන බොන්නෙමු. ටිකකින් බඩ කළගෙඩියක් සේ වෙයි. ඇවිදින විට ද අපට වතුර හඬ ඇසෙයි. අපි අපේ බඩවලට තට්ටු කරමින් විවිධ නාද මාලා මතු කරවන්නෙමු. විටෙක එසේ කරනවිට “ගොඩොස්...!!“ ගා ලොකු හුළං තලියක් කටින් පිට වෙයි. එවිට වමනය යන්නට ද එයි. නමුත් අපි අතින් කට තද කරගෙන ම මඳ වේලාවක් සිටින්නෙමු.

“බොලාට බඩගිනිදැයි තාත්තා අසන්නේ නැත. ඇසූව ද දෙන්න බත් උලක් හෝ නැති වග අපි දන්නෙමු. අපිදු අපට බඩගිනියැයි නියන්නට පෙළැඹෙන්නේ ද නැත. කිව්ව ද කිසිවක් ගේ හරියේ නැති බැවින් අපට ලැබෙන්නේ ද නැත. කාලය ඉතාම කුසීත අයුරින් ගෙවෙයි. තාත්තා බොහෝ වේලා කල්පනා කරමින් සිටියේ ය. පසුව කොට කළිසමින් සැරසුණු තාත්තා අප සැවොම සමග ම පොල් අතු මඩුවෙන් ඔබ්බෙහි ඇති වගා බිමට බැස්සෙමු. තවම හැදීගෙන එන ඒ වගාවෙහි ද කිසි ගත යුත්තක් නැත. බණ්ඩක්කා ගස් ද මල් බර ව තිබුණත්, එකදු කිරි කරලක්වත් සාදාගෙන නැත. බඩ ඉරිඟු ගස් දහ පාළොහක් ඇත ද ඒ එකක්වත් කිරි වැදී බණ්ඩි වී නැත. පුහුල් වැලේ සුදු පාට මල් හත අටක් අපට ඔමරි කරනවා හැරෙන්නට, බුබුලක් තරමවත් ගෙඩියක් පූදාගෙන නැත.

මෙසේ වත්ත පීරනාතරේ, එක ම එක වට්ටක්කා වැලක කොළ පදාසයක් යට නිසොල්මනේ සැඟව සිටින කෙළ පැහැති, ළපටි වට්ටක්කා ගෙඩියක් පෑදුනේ ය. එය ළපටි ගෙඩියක් මිස තවමත් හරි හමන් ආකාරයකට මෝරා නැත. තාත්තා ඒ ගෙඩිය දෙතුන් වරක් ම අත ගා, තට්ටු කර බැලුවේ ය. නමුත් තව කොතෙක් වේලා ඒ සමග ඔට්ටු උව ද, එය අපට කන්නට තරම් සැනෙන් පැහෙන්නේ නැත.

යළි අපි ගස් කොලන් සියල්ල පීරුවෙමු. නමුත් කිසිදු ගනිච්චියක් නැත.

තාත්තා කිසිවක් නොකියා ම අර නොමේරෑ වට්ටක්කා ගෙඩිය නැට්ටෙන් වෙන් කර ගත්තේ ය. අපිදු පෙරහැරක් මෙන් තාත්තා පිටුපසින් ගෙට ආවෙමු. ලහි ලහියේ ලිප මෙලැවුණු අතර වාරයේ යාන්තමින් කහ පාට වෙමින් තිබුනු වට්ටක්කා ගෙඩිය කැබලි වලට කපා, ලොකු ඇතිළියක දැමුවේ ද තාත්තා ය. ඉන් පසු ඒය ලිප මත තබා, තවත් ඇතිළියකින් වසන ලදී.

ටික වේලාවකින් අවට පරිසරය පුරාවට ම පැතිර ගියේ ඉමිහිරි සුවඳකි. අපි එය මහත් ආහ්ලාදයකින් යුක්ත ව ආඝ්‍රාණය කළෙමු. බෙලෙක් පිඟන් ගෙන ඊට තට්ටු කරමින් වාදන පැවැත්වූයෙමු. තාත්තා ද මහත් සතුටකින් සිනාසෙමින් අප සමග කෙළි කවට කතා කියමින් සිටියේ ය. ඒ මොහොත එතරම් සුන්දර ය. ඉනික්බිති, වසා තිබුණු ඇතිලිය ඉවත් කරනු ලදු ව, අපට පෙනුනේ තැම්බී බරි වෙන්නට ඔන්න මෙන්න තිබූ ළපටි වට්ටක්කා ය. තාත්තා දුම් දමන වට්ටක්කා කැබලි අපේ පිඟන්වලට බෙදුවේ ය. අත පිච්චි පිච්චී උඩ දමමින් අපි ඒවා කන්නට සූදානම් වූයෙමු.

එසේ උඩ දම දමා සිටි වට්ටක්කා කැබැල්ලක් මම කටේ දමා ගතිමි. මුලු කට ම ද දිවම ද පුලුස්සමින් එය කටේ තිබුණ ද, ඒ එළියට දමන්නට මට සිත් දුන්නේ නැත. ඒ එයද මට අහිමි වන නිසාවෙනි. එනිසා ම කට දිව පිච්චුන ද මම එය ගිල්ලෙමි.
අවාසනාවකි කුඩා දිවේ සිට අග්න්‍යාශය දිගේ ආමාශය දක්වා ම එය ගිණි ගුලියක් මෙන් බැස්සේ ය. මගේ ඇස් උඩ ඉන්දවුණු අතර ම දෑසින් ගුලි ගුලි කඳුලු කඩා පැන්නේ ය. වතුර ජෝගුවද අතකින් ගෙන, වහා මා වෙත පැන්න තාත්තා ජෝගුව ද සමග වූ එක් අතකින් පිට තද කරගෙන අනික් අතින් මගේ පපුව අත ගෑවේ ය...“හෙමින් කාපල්ල බෙලව්..!“ තාත්තා කීවේ මොන හැඟීමකින්දැයි මම කල්පනා කරමි. මම මඳ ඉසුඹුවක් ගෙන වතුර ගුලියක් ගිල්ලෙමි. එය මහා සිසිලසක් එක් කරමින්, දිය ඇල්ලක් මෙන් ආමාශය වෙත ගලනු මට දැණිනි.

ඉන් පසු අපි නිවී සැනසිල්ලේ වට්ටක්කා කෑවෙමු. පැසී නැති නිසාවෙන් “සිරිස්“ ගා හැපෙන නිරි රසද සහිත ව අමුතු පැණි රසකින් යුක්ත ඒ රාජකීය භෝජනය අපට මහා මෙරක් විය....!!

හෙන්දිරික්කා මල් පිපීගෙන එන තරම් වූ හවස් යාමයේ තාත්තා බයිසිකලයේ නැලී කොහේදෝ ගියේ ය.

ඉර ද බැස ගොම්මන් අඳුර ගාල් වද්දී, අපි තුන් දෙනා එකට එක් ව, ළඟින් ළඟසිටිමින් පාර දෙස බලා සිටියෙමු. ගෙතුළ තුළ මහ අඳුරක් ගාල් වන නිසා අප සිටියේ කෙටි බිත්තියට යාබද පොඩි දොරටුව අසබඩ ය. තණ පඳුරු අතරින් තාත්තා එනු අපට පෙනෙයි. බයිසිකලයේ හැඬලය වම් අතින් අල්ලාගෙන එන තාත්තාගේ දකුණු අතේ තරමක් මල්ලකි. එහි මොනවා හෝ තිබෙනු අපට ඉවෙන් මෙන් දැනෙයි.

බයිසිකලය නවතා තාත්තා ඉන් බසින්නේ “ඇයි බාල්ල ලාම්පුවවත් පත්තු කරේ නැත්තෙ..?“යි සැර නැති දෝස් මුරයක් ද දමමිනි. ඇත්තටම ලාම්පුව පත්තු නොකළ වග අපට සිහි වන්නේ එවිට ය.

වහා කමිසය ලිහා දමා, ලාම්පුව ද පත්තු කර, තාත්තා උයන්නට ලැහැස්ති වෙයි. අපට කරන්නට වෙසෙස් යමක් නොමැති වුව ද අපි දු ඒ පස්සෙ සිටින්නෙමු. මල්ලේ වූ කොළ ගුලියක් ගෙන දිග හරින තාත්තා, එහි ලොකු හබරල කොළයක ඔතන ලද හරක් මස් කුට්ටියක් එළියට ගනියි. ( හරක් මස් කී සැණින් රෙද්ද කරට ගන්නා වසලයන්, එකළ අම්පාරේ කඩවල තිබුණේ හරක් මස් පමණකැයි දැන ගනිත්වා..!!) එය ලෑල්ල මත තබා සීරුවෙන් කපන තාත්තා, ඇතිළියකට ඒ ටික දමා වතුර ද ලුණු කැට ද කිහිපයක් ඊට එක් කළේ ය. ඊට පසු යකඩ වංගෙඩිය ගෙන ගම්මිරිස් ඇට ටිකක් තලා, කැබලි ඊටම එක් කළේ ය. ඊට පසු ලිප දල්වා ඒය ලිප මත තැබුණු අතර වාරයේ, ගෝවා ගෙඩියක් ද ගෙන දෙකට පලා ඉන් අඩක් ගෙන සෝදන්නට පටන් ගත්තේ ය. ලාම්පුවෙ නළියන ආලෝකයෙන් ද, ලිපේ ගින්දරින් මතු වන සැනෙළි එළියෙන් ද මට තාත්තාගේ මුහුණ පෙනෙන්නේ අතිශය සන්තෝසයෙන් සිනා පාමින් සිටින්නාක් මෙනි.

දසත විහිදෙන මස් සුවඳ පතුරමින් ගොජ දමන ඇතිළියට ම තාත්තා ගෝවා කෙළ ද දැමුවේ ය. ටික වේලාවකින් එය ලිපෙන් බා ගෙන, දරණුව මත තබනු ලැබිණි. ඉනික්බිති තාත්තා මල්ලෙන් එළියට ගත්තේ පාන් ගෙඩියකි. ඉතා ම කළාතුරකින් පාන් කෑල්ලක් කා ඇති මට දැණුනේ කිව නොහැකි සන්තෝසයකි. දැන් රාත්‍රී භෝජනය සූදානම් ය.

අපේ පිඟන්වලට බෙදුණු ගෝවා සමග වූ මස් හොද්ද ද සමග අපි පාන් කෑවෙමු. උදේ සිට අඩ බඩ ගින්දරේ දැවෙමින් සිටි අපට, එහි රස මේයැයි කියන්නට මට නොහැක්කේ ඒ රසට, ඒ ඉමිහිරියාවට, ඒ සන්තුෂ්ටියට කියන වචනයක් අදටත් කිසිදු භාෂාවක මා දැක නැති බැවිනි.
ඒ සුරම්‍ය වූ රාජ භෝජනය නිමාවත් සමග තාත්තා එස්රාජය වයමින් යමන් කල්‍යාන් රාගයෙන් නිර්මිත ගීයක් මධුර ස්වරයෙන් ගායනා කළේ ය.
එය මා ජීවිතයේ ඇසූ, මධුර ම ගායනය ද වූ අතර, එතෙක් මෙතෙක් මා ජීවිතයේ ලද ස්වර්ණමය ආහ්ලාදය ද විය...
අදටත් ලංකාවේ සුපතල ම සුපිරි ම හෝටලයකට වැද, ඉස්තරම් ම අහර වේලක රස බලන්නට සූදානම් වන විට, මගේ නාසු පුඬු පුරා නැග එන්නේ අර වට්ටක්කා සුවඳ ය.....හිත පුරා, බඩ පුරා ඉස්තරම් අහර වේලක් විඳ ගුඩුස් අරිනා විට, මට දැනෙන්නේ අර ගෝවා සමග මස් හොද්දේ රස ය...
ඒ රසට සම කරන්නට අහරක්, ඒ සුවඳට සම කරන්නට සුවඳක්, අදත් මා රස බලා නැත්තේම ය....!!

Share/Bookmark