Wednesday, August 13, 2014

ගංවතුර


වියළි කලාපයට පායන කාලය මාස 8ක් පමණ අල්ලා සිටියි. පෙබරවාරි මාසය අවසන් වන්නට පෙර සියල්ලන් ම පාහේ ගොයම් කපා අස්වනු ගෙට ගන්නේ එළැඹෙන වැහි කාලයට ඉඩ දීම සඳහා ය. මාර්තු මාසය පමණ වනවිට අධික වියළි ව තිබී, දුහුවිල්ලෙන් වැසුණු පොළොව මතට වැහි බිඳු පතිත වන්නට පටන් ගනියි. එවන් ක්ෂණික වැහි රැල්ලක් වැටුණු විට පුදුමාකාර සුවඳක් අප නාස් පුඬු සිසාරා ගමන් කරයි. එය හරියට ම නැවුම් කළ ගෙඩියකට වතුර පිරවූ විට දැනෙන පුසුඹට ම සමාන ය...
නැවුම් සුවඳ....!!

අප්‍රේල් මාසය හෙවත් සිංහල අවුරුද්ද උදා වන බක් මාසයේ දී හෙණ හඬ නංවමින් අකුණු පුපුරන හඬ අපට නිරන්තරයෙන් ඇසිය හැකි ය. දැකිය හැකි ය. සමහර අකුණු අහසේ එක් පැත්තෙක සිට රටාවක් වියමින් හරස් අතට ගමන් කරයි. තවත් අකුණු අහසේ සිට පොළොවට කඩා පනියි. මේ අකුණු අතිශයින් භයංකාර ය. ඉන් දේපළ පමණක් නොව ජීවිත හානි පවා සිදුවිය හැකි ය. අම්පාර වැනි තැනිතලා බිම් සහිත පෙදෙසක සිටින විටෙක මේ අකුනු අනතුරු වඩා තදින් බලපාන්නට ඉඩ තිබේ. අකුණු පුපුරන්නට පටන් ගත් විට ආච්චි ගෙයි ඇති යකඩ උපකරණ සියල්ල ම පාහේ මිදුලට විසි කරන්නී ය. ඒ යකඩ ආයුධ සොයාගෙන අකුණු එනු ඇතැයි ඈ අසා සිටි නිසා විය යුතු ය.

මේ දෙවගයේ ම අකුනුවලට වඩා අමුතු අකුනු වර්ග ද අපට ඉඳ හිට අසන්නට ලැබෙයි. ඒවාට කියන්නේ බෝල අකුණු කියා ය. ඒවා බිම දිගේ රෝල් වෙමින් එන අතර, නිවෙස් තුළට පවා වැදෙන්නට පුලුවන. ඒවා එන්නේ මහ හඬ නගාගෙන නොවේ. එමෙන් ම තද එළියක් ද නැත. නමුත් ඇති කරන අණතුරුනම් සුලු පටු නොවේ.

මේ නිසා ම මොන අකුණක් ගැන වුව ද අප සිත් තුළ තිබුණේ අනියත බියකි.

අකුණු ගසන කාලයට මොණරුන් බිත්තර දානවා ය කියා අප අසා ඇත්තෙමු. එමෙන් ම අපට කවදාකවත් අලුත් වැස්සට තෙමෙන්න දෙන්නේ ද නැත. ඒ අලුත් වැස්සට තෙමුණොත් නියතයෙන් ම අසනීප වන නිසා ය. .මේ දෙකට ම හේතුවන කාරණාව එක ය. අකුණු ගසමින් වහින වැස්ස ආම්ලික ය. ඒ අකුණ පුපුරද්දී ඇති වන අධික තාපය නිසා වාතයේ ඇති නයිට්‍රජන් වායුව ජලයේ දිය වී නයිට්‍රික් ඇසිඩ් හෙවත් ගිණි වතුර අම්ලය සාදන නිසා ය. මේ ආම්ලිකතාවය මොණරුන්ට හොඳ වුව ද අපට හොඳ නැත. 

වැහි කාලය පටන් ගත් විට වැඩි හරියක් දරුවන් සිටින්නේ නිරන්තරයෙන් වැගිරෙන හොටු ඉහළට අදිමිනි.  අප ද එසේ ම ය. නාස් පුඩු අගින් වැගිරෙන හොටු පිස දමන්නට අපට ලේන්සු නැත. ඒ නිසා ඒවා අප පිසදමන්නේ පිටි අල්ලෙනි. පිටි අල්ලේ තැවරෙන හොට්ට කළිසමේ පස්සා පැත්තේ පිසදා ගන්නේ කාගේවත් ඉගැන්නුමකට නොවේ...පිටි අල්ලෙන් පිස දැමූ විට හොටු ඉරක් මුහුණ හරහා ඇඳෙයි. ටික වේලාවකින් එය වියළී පොතු ගැලවෙන්නට පටන් ගනියි. සමහර දරුවන්ගේ මේ හොටු ඉර දූවිලි කුණු නිසා කළු පාට ය. මා දුටු අපේ වයසේ බොහෝ දෙනෙකු මේ හොටු ඉරට උරුමකම් කීවෙමු. එසේ වුව, අපිදු අපේ අනෙක් උන්ට “හොටු පෙත්තා“ යැයි කියන්නට ද පසුබට නොවුනෙමු....!!

වැහි කාලයට කඩා පාත්වන වැස්ස සමහරවිට දවස් දෙක තුන එක සීරුවට පතිත වෙයි. වැහි බීරමේ අඳුර අස්සෙන් සමහරු ලොකු හබරල කොළ හිස මතින් අල්ලාගෙන ඡායාමාත්‍ර ලෙසින් ඈතින් යනු අපට පෙනෙයි. වැස්ස තද වන විට ජල දහරාවන් සිය ගමන් මග වෙනස් කරමින් ඊ ළඟට එන්නේ අප ගෙවල් තුළට ය. තාත්තා වැස්ස වෙලාවට හිසට දමා ගන්නේ හණ ගෝණියකි. එහි එක් මුල්ලක් අනෙක් මුල්ලට හේත්තු වන සේ ඇතුළතින් එබූ විට කුල්ළක් වැනි ව ලැබෙයි. මේ කුළුගොට්ට හිසට දමා ගත් විට එහි අනෙක් කොටසින් උරහිස ද වැසෙයි. මෙසේ ගෝනි පඩංගුව හිස මත දමාගෙන තාත්තා මුලින් ම කරන්නේ කකුලෙන් පස් එහා මෙහා කරමින් ජල පහර හැරවීම ය. නමුත් එසේ පාලනය කළ නොමැකි තරමට ජල කඳ වැඩිනම්, උදැල්ලෙන් පස් එහා මෙහා කරමින් ජල පහරවල් ගෙට එන්නට නොදී කාණු ලෙසින් කපනු ලබයි. තාත්තා එහා මෙහා වන වේලාවක් බලා අපි දු මේ ගෝණි පඩංගුව හිස මත දමාගෙන, සිදුලට බැස බුරුල් පස එහා මෙහා කරමින් ජල ධාරා තනන්නෙමු. වේළි බඳින්නෙමු. වේළි උතුරා ජලය ගලන විට තවත් ලොකු වේළි තනන්නෙමු.

වැස්ස තද වන විට තවත් අකරතැබ්බයක් විඳින්නට අපට ලැබෙයි. ඒ පොල් අතු අස්සෙන් බිමට වතුර වැටීම ය. වියළී කරකුට්ටන් වූ පොල් අතු අව් රැල්ල මුවා කරන්නට සමත් වුව ද, වැහි රැල්ල පාලනය කරන්නට සමත් නැත. ඒ අව්අස්සේ හිටි ගමන් මහ හුළං රලක් ච හමයි. එවිට ඇද මැගෙන වැහි බිඳු කිසිදු හෙයියම්මාරුවක් නැති ව ගේ තුළට කඩා පණින්නේ වෙනත් කිසිදු ආවරනයක් ගේ වටා නැති නිසා ය.. ඊටත් වඩා දිරූ පොල් අතු අනික් පස පෙරැලීම මහා කරදරයකි. දැන් විටෙක මිදුලට වඩා ගෙතුල වැස්සකි. ආච්චිත් අපත් එකතු වී ගෙයි ඇති සියලු වළං මුට්ටි ගෙනැවිත් වැහි වතුර වැටෙන තැන්වල තබන්නෙමු. ඉතා ම කෙටි වේලාවකින් ඒවා පිරී, වැාටන වඅහි බින්ද පුපුරා අවට විසිරෙයි. ගොම මැටි ගෑ බිම පුරා විසිරෙන ජල බින්දු වහා මැකී යයි. ඒ මැකෙන්නට පෙර තවත් බිඳිති රාශියක් වැටෙයි.

දැන් තාත්තා තවත් රාජකාරියක් පටන් ගනියි. ඒ අඩි හත අටක් දිග පරාලයක් ගෙන වහළයට ඇනීම ය. අනිනවයැයි අප සිතා සිටිය ද තාත්තා කරන්නේ වතුර වැටෙන සිදුර වෙනත් පොල් අතු රළකින් වැසීම ය. නමුත් එය වැසුණු විට තවත් තැනෙකින් දිය බිඳු වෑස්සෙන්නට පටන් ගනියි.
“මොකක්ද බං ගුණතිලක මේ හිච්චි එවුං එක්ක උඹ මේ දුක් විඳින එකේ තේරුම..?“ ආච්චි අසයි. නමුත් තාත්තා කිසිදු උත්තරයක් දෙන්නේ නැත. කෙමෙන් අඳුර පියමං කරගෙන එන අතර වැස්ස ද ටික ටික සිය බලය අත හරින්නට පටන් ගනියි. වෙනදාට වඩා ඉක්මණින් අඳුර දසත පැතිරෙනා නිසා ම අප ද ඉක්මණින් නින්දට යන්නෙමු. වෙනසකට ඇත්තේ වෙනදාට එක් වරක් පමණක් දකින “චූ සිහින“ දෙතුන් වරක් පෙනීම පමණ ය...!! දවල් තිස්සේ හිරිකඩට තෙමුණු අපි, කඩමාලු වූ පොරෝන කෑලිවටල මුවා වී, චූ ගොඩේ ම සුව සේ නිදා ගන්නෙමු.

පසු දා උදාවන්නේ අලුත් ම, දීප්තිමත් ම දවසකි. කිසිදු අලකගංචියක්, අතුරු ආන්තරාවක්, දෝසයක් සිදු නොවූ පරිද්දෙන් හිරු මහ බුරුත ගහ අස්සෙන් දිගු කිරණ අඳිමින් සිනාසෙනු අපට පෙනෙයි. කුරුල්ලෝ ද වෙනදා නැති සතුටකින් දසත පියාඹයි. ඒ මෙතෙක් කල් බිම ගුල් තුළ සැඟ ව සිටි පණුවන් ද, කුරුමිණියන් ද, වැහි දියෙන් පිරුනු ගුල් අතහැර එළිමහනට පැමිණ සිටින බැවිනි. ඊයේ බිම දිගේ නයින් මෙන් ඇදුණු දුඹුරු පාට ජල ධාරා අච නැත. බිම පුරා නෙක නෙක රටා මැවී ඇත්තේ වැහි වතුර ගලා ගිය මං මාවත් පමණක් ඉතිරි කළ නිසා ය. වේලී කරකුට්ටන් වී බිම වැතිර සිටි තණ කොළ ද, ඉලුක් මානාව ද, යාන්තම් පණ ගසා හිස ඔසවන්නට  වෑයම් කරනු පෙනෙයි.
ආච්චී උදෙන් ම නැගිට, තාත්තාට බැණ බැණ කන්න යමක් පිළියෙල කරන්නී ය. තාත්තා හිස් බැල්මෙන් යුක්ත ව, ඉසුරුමුණියේ දිය තටාකය පාමුල රාජ කුමාරයාගේ සෙයියාවෙන්,  බංකුවක් මත වනාඩි වී, ඉලුක් මානාව දෙස බලා සිටියි. 
මඳක් දහවල් වද්දී ආච්චි ලොකු තාත්තලාගේ නෙවල් දිහාවට ගියා ය.
ඊට ටික වේලාවකට පසු සිනාසෙමින් සිටි හිරු මුවා කරමින් මහා කළු වළාවක් අහස පුරා අරක් ගනු පෙනුනේ ය. දසත දැඩි අඳුරක් පතුරවමින් හිරු සහමුලින් ම වැසී ගිය අතර, සීතල සුළඟක් ද හමන්නට පටන් ගත්තේ ය...
ඊට මොහොතකට පසු මහ හඬ නගමින් දැවැන්ත අහස් දිය දහරාවක් එක් පසෙක සිට අනෙක් පසට ගලාගෙන ගියේ ය...බන්පසු සට සට හඬ නගමින් දොඹ ගෙඩි සයිස් වැහි බින්දු බිමට පතිත වන්නට පටන් ගත්තේ ය...සවස් වන විට ඒ මහ වැස්ස අනෝරා වැස්සක් බවට පරිවර්තනය විය. ලෝක විනාසය ගැන අප කියැවූ පොත් පත්වල තිබූ දේ අපට සිහි ගන්වමින්, සුළඟ ද, වැහි බිඳු ද කිසිදු අනුකම්පාවකින් කොර ව අප සිටි සරණ නිවසට වට කර පහර දෙන්නට පටන් ගත්තේ ය. කර කියා ගත හැකි කිසිවක් නැති කැන අප සියල්ලෝ ම ඇඳ මත ගුලි උනෙමු.
ක්‍රමයෙන් කෑළි කැපිය හැකි ගණඳුරක් පැතිරුණු අතර, කිසිදු අයුරකින් පහණත් දල්වන්නට තාත්තා අපොහොසත් වූයේ සුළං ප්‍රවාහය ඒ තරම් දැඩි ව හැමූ බැවිනි. යාන්තම් කැස කවා තාත්තා පැට්‍රෝල් මැක්ස් ලාම්පුව පකත්තු කටෙ, මේසය යටින් තැබුවේ අනෙක් පසින් බිම පෙරලූ බංකුවකින් ද මුවා කරමිනි. කන්නට දෙයක් සකසන්නට ලිපක් පත්තු කරන්නට ද නොහැකි වූයේ බිම හැම අඟලක් ම පමණක් නොව දර කැබැලි ද තෙත බරියම් ව තිබුණු බැවිනි. අධික සීතල ද, ප්‍රචණ්ඩ සුළං ශබ්දය ද, එක සීරුවට ඇද හැලෙන වැස්සේ ගොර බිරම් හඬද, ඊටත් වඩා තච බඩගින්න ද නිසා අපි සියල්ලන් ම නිදිදෙව් දුව වැළඳ ගත්තෙමු.

තද නින්දේ සිටි මා අවදි උනේ එකවර මහා හඬකින් යමක් බිම ඇද වැටෙන සද්දයක් නිසා ය. මම තිගැස්සී ඇහැරුනෙමි. එසැණින් මට මා නිදා සිටින ඇඳ සෙලවෙනු දැනෙන්නට විය.. වදෙන් පොරෙන් ඇස් ඇර බැලූව ද අවට කිසිවක් එකවර දැක ගත නොහැකි වූ අතර, මට මා පාවෙනු මෙන් හැඟුනේ ය. ඊ ළඟට අයියා ද අවදි උනේ ය. එවිටනම් ඇඳ පාවෙන බව මට හොඳට ම පසක් විය. සුළඟ තරමක් සන්සුන් නිසා අවට මහ හඬ අඩු ව තිබුණ ද යාන්තම් එළියක් නිසා අවට කිසිවක් පැහැදිලි ව පෙනුනේ නැත. ඝණ අඳුරක වුව ටිකකින් ඇස් පෙනෙන්නට පටන් ගන්නා සේ කණාමැදිරි එළියෙන් ද මට යම් යම් රූප සෙලැවෙනු පෙනෙන්නට විය. මුලින් ම පෙනුනේ ඇඳ වට කොට සිටි කළු පාට මහා ජල කඳකි. ඊ ළඟට පෙණුනේ අප ඉදිරියෙන් වූ මැටි බිත්තිය කඩා වැටී ඇරුනු මහ කට ය. අයියාත් මාත් වහාම එකානෙකා බදා ගත්තෙමු. ඊ ළඟට මට යාන්තමින් පෙනුනේ ඒ මහ ජල කඳ මැද සරම අමුඩයක් කොට ගැට ගසාගෙන කෝටුවක් ද අතින් ගෙන සිටින තාත්තා ය. තාත්තාගේ කළවය මැද වසාගෙන තරමට ජල ඳ නැග තිබුණි. ඊ ළඟට සෙමින් අවට බැලූ මට පෙනුනේ ගෙයි තිබූ සියලු බඩු භාණ්ඩ ලී කණුවලට තබා දිග ලණුවලින් ගැට ගසා ඇති ආකාරයයි.

ඊට පසු මා දුටුවේ අප සිටින ඇඳ ද ඒ ආකාරයෙන් ම කණුවක ගැට ගසා ඇති ආකාරයයි.

ඊටත් පසු මා ඇස ගැටුණේ අයියාත්, මල්ලීත්, මාත් මෙතෙක් ඇඳි සියලු චිත්‍ර කඩදාසි මිටිය ද අප ඇඳ මත තබා ඇති ආකාරයයි...!!

තාත්තා ජල කඳ මැද යෝධයකු මෙන් සිටගෙන සිටිමින්, මහ ගංවතුරේ පීනා එන සර්පයන් ඇඳට නැග ගනු වළකණු පිණිස කෝටුවක් ද ගෙන සීරුවෙන් අවට බලමින් සිටියේ ය.

අද ද විවෘත ආර්ථිකය නම් වූ මේ මහ ජඩ, පල්, ඔද්දල් ගංවතුර පහර ඔස්සේ ඇඳී එන නෙක නෙක වෙස් ගත්, නෙක පාටැති සර්පයින්ට වඩා උන් මොන තරම් සුන්දරදැයි, අහිංසකදැයි චැටහෙන්නේ අද ය..!!

Share/Bookmark

20 comments:

  1. "තාත්තා ජල කඳ මැද යෝධයකු මෙන් සිටගෙන සිටිමින්, මහ ගංවතුරේ පීනා එන සර්පයන් ඇඳට නැග ගනු වළකණු පිණිස කෝටුවක් ද ගෙන සීරුවෙන් අවට බලමින් සිටියේ ය. "

    අපි හැමෝම හිතනවා අපි කුඩා කාලේ වින්ද දුක් තමයි දුක් කියලා . . . ඒත් තව කෙනෙක්ගේ අත්දැකීම් කියෙව්වාම හිතෙනවා අපි වින්ද දුක් මොන දුක්ද කියලා . . හරියට අර අපූගේ කතාව එහෙම නැති නම් අරණකට පෙම්බැඳ කතාව කියෙව්වාම කියෙව්වාම දැන්නේ අන්න ඒවගේ . . ඒත් ඒ දුක්බර අතීතය අද දවසේ මතක් කරලා රස විඳින්න පුලුවන් අත්දකීම් සම්බාරයක් වීම කොයි තරම් භාග්‍යක්ද . . නේ අයියේ

    ReplyDelete
  2. ඔබේ පියා නම් යෝධයෙක්ම තමයි!

    ReplyDelete
  3. /* ඒවාට කියන්නේ බෝල අකුණු කියා ය. ඒවා බිම දිගේ රෝල් වෙමින් එන අතර, නිවෙස් තුළට පවා වැදෙන්නට පුලුවන. */

    ඔය කියන ආකාරයේ බීම දිගේ එන බෝල අකුණක් ගැණ නේද මාරයා කාලකෙට කලින් ලියලා තිබුණේ?
    http://ctkumara.blogspot.com.au/2012/01/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. බෝල අකුණු කියන්නේ වැහි නැතිව එන අකුණු කියලා මේ ඊයේ පෙරේදා මම කොහේ හරි කියෙව්වා. දැන් දවස් දෙක තුනකට කලින් ඔය රජරට පැත්තේ එහෙම සද්දයක් එක්ක ගින්දර ගියා කියන කතාව එක්ක.

      මේ දෙන්නම කියන්නේ වැහි අකුණු ගැන නේද?

      Delete
  4. ආයෙමත් ගලායාමට පටන් ගත් නිසා හූමිටියක් පමණක් තබමි
    ආරුලු බූරුලු ප්‍රතිචාරයකින් ගලා යාමට බාදා කිරීමට නොකැමතිය
    ඊලඟට......?

    ReplyDelete
  5. මේ වගේ සිදුවීම් ඇත්තටම සිදුවුනාද කියාවත් සිතාගත නොහැකි ලෙසට මා අසරන වී ඇත. ඒ ඔබේ ලිවීමේ අපූරු රටාවට පින්සිදුවන්නටය.

    ReplyDelete
  6. අපුරු ලියවිල්ලක් . මේ පැත්තට එන්න පාර පෙන්නු රන්ගීට ස්තුතියි

    ReplyDelete
  7. පෙර කතා මෙන්ම මේ ගං වතුරද, එයට කොටුවූ පුංචි ළමයි තුන්දෙනා හා යෝධ තාත්තා ද දුටුවෙමි.

    ReplyDelete
  8. මටත් පාර කිව්වේ රංගි හැරිස්.. අපූරුයි..

    ReplyDelete
  9. අපේ පැත්තට නං ගංවතුර නැහැ..අපි මුහුනදෙන ප්‍රධානම කේස් එක තමයි නියගෙ..ඒකනම් මදි නොකියන්න තියෙනවා..

    ReplyDelete
  10. තාමත් කියන්න දෙයක් හිතනව...

    ReplyDelete
  11. 'බෝල අකුණු' ගැන කියවලා තිබ්බේ නෑ. තාත්තා නම් යෝධයෙක්ම තමා. ප්‍රතිචාරයක් දෙන්ට බැරි තරමට ලියවිල්ල අපූරුයි.

    ReplyDelete
  12. අපි තවම පොලොවෙ පය ගහල ඇවිදලා නැහැ කියල හිතෙනව ,

    ReplyDelete
  13. ඌණ පූර්ණ එකතු කරන්න හිතක් නෑ. මෙයනම් අපූරු ලියවිල්ලක්
    කුමට එයට බාදා කරමුද,

    ReplyDelete
  14. පායල තිබිල පටන්ගන්න වැස්සට තෙමෙන්න හොඳ නැති හේතුව අද තමයි දැනගත්තෙ.

    //අද ද විවෘත ආර්ථිකය නම් වූ මේ මහ ජඩ, පල්, ඔද්දල් ගංවතුර පහර ඔස්සේ ඇඳී එන නෙක නෙක වෙස් ගත්, නෙක පාටැති සර්පයින්ට වඩා උන් මොන තරම් සුන්දරදැයි, අහිංසකදැයි චැටහෙන්නේ අද ය..!!// කුමට කියම්ද ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට මා නම් එකඟ නෑ. එය ලිං මැඩි චින්තනය නොවේද?

      මහත්මා ගාන්ධි පවා කිව්වේ දසතින් එන සුළඟට දොර ජනෙල් හැර තියන්න කියලයි!

      Delete
    2. මම හිතන්නෙ ඒක වෙලා තියෙන්නෙ රටේ තියෙන තත්වෙත් එක්ක වෙන්න ඇති. තේනුවර මහත්තය උනත් ඔය කියනව ඇත්තෙ "අද" ගැන මිසක් විවෘත ආර්ථිකේ හඳුන්වල දීපු කාලෙ ගැන නෙමෙයි වෙන්න ඇති.

      Delete
  15. වැස්ස වගේම අපූරු ලියවිල්ලක්....

    << අද ද විවෘත ආර්ථිකය නම් වූ මේ මහ ජඩ, පල්, ඔද්දල් ගංවතුර පහර ඔස්සේ ඇඳී එන නෙක නෙක වෙස් ගත්, නෙක පාටැති සර්පයින්ට වඩා උන් මොන තරම් සුන්දරදැයි, අහිංසකදැයි චැටහෙන්නේ අද ය..!! >>

    හරිම ඇත්ත...

    ReplyDelete
  16. වෙනදා වගේම බොහොම රහයි. ඉස්සර අපේ නිවස වටා පිටාවත් වසරකට වරක් දෙකක් ගං වතුරට යට වෙනවා...එක සීරුවට වැටෙන මහා වැහි කෝඩ දෙක තුනකට අහු උනාට පස්සෙ ගං වතුරක් එනවා නියතයි. මහ රෑ පුරාවට වැටෙන වැස්ස දිහා ඇහැ තියාගෙන ඉදලා ගං වතුර ගලන වෙලාවට ඒ බව අපිට හැමදාමත් කිව්වෙ තාත්තා. ඒ සුන්දර අතීතයේ අසංශිප්ත මතක සටහන් අපූරුවට පෙනුනා.

    ReplyDelete
  17. //අද ද විවෘත ආර්ථිකය නම් වූ මේ මහ ජඩ, පල්, ඔද්දල් ගංවතුර පහර ඔස්සේ ඇඳී එන නෙක නෙක වෙස් ගත්, නෙක පාටැති සර්පයින්ට වඩා උන් මොන තරම් සුන්දරදැයි, අහිංසකදැයි චැටහෙන්නේ අද ය..!!//
    මේකට එකඟ නැතත් හොඳ ලිවිල්ලක්/ප්‍රකාශයක් මේක.

    ගං වතුරට එන සර්පයන්ගේ භයානකකම මාත් අත්විඳල තියනව. නමුත් අමිල කිව්ව වගේ අපිට නං ගංවතුරක අවශ්‍යතාවය තියනව. නමුත් නෑ.

    ReplyDelete