Monday, August 18, 2014

පටන් ගැන්ම.


හීතලේත්, අන්ධකාරයේත්, භයංකර බවේත් ගිලෙමින් තිබූ ඒ දුෂ්කර, දීර්ඝ රාත්‍රිය අවසන් කරමින්, හෙමි හෙමින් හිරු පායන්නට පටන් ගත්තේ ය. ඊයේ රාත්තිරිය පුරා ම පාහේ නිදි වර්ජිත ව සිටි තාත්තා තේක්ක පුටුවට බර දී, එහි පත්ත මත දෙකකුල් තබාගෙන කෙටි නින්දක පහස විඳිමින් සිටියේ ය. තමන්ගේ රාත්‍රී විරාමකාලයේ තමන් නැති අල්ල පනල්ලේදී, වැස්ස වළාහක දෙවියන් කළ නොපනත් ක්‍රියාව ගැන කණගාටුවෙන්දෝ, ඉර දියවන ඩිස්ප්‍රින් පෙක්කත් මෙන් පෙනෙමින් තිබිණි.

හැම කණුවක් ම, පුවු මේස කකුලක් වටා ම ලොකු කහල ගොඩවල් එකතු වී තිබිණි. අපේ ඇඳ පාමුලට තරමක් එපිටින් වූ මෝඩ ගඩොලින් බැඳි කෙටි බිත්තිය සහමුලින් ම බිම ඇද වැටී පස් ගොඩක් බවට පත් ව තිබිණි. සරණ නිවසේ පන්ති පවත්වන කොටස යකුන් නැටූ පිටියක් මෙන් දිස් විය. තරමක් දැව කෝටු ද, කොළ අතු ද, කණ පරඬලා ද පමණක් නොව බිම බිම පුරා වූයේ මහ වළවල් ය. ගෙට ගොඩවන තැන මහ වැලි කන්දක් නිර්මාණය වී තිබුණු අතර, ශාලාව වටා විසල් කාණුවක් නිර්මාණය වී තිබිණි.

නිර්න්තරයෙන් “බුකුං බුකුං“ ගාමින් විරිත්තමින් අවට සැරි සැරූ වඳුරු රංචු ද, කොහෙන් හෝ උස්සාගෙන එන මස් කට්ටක්, කටුස්ටෙසක් පොල් අතු වහළයේ අස්සේ හංගා ගම දෙවනත් වන තරමට මහ හඬින් කෑ කොස්සන් දෙන ගම් කාක්කන් ද (මුං කොළඹ කපුටන්ට වඩා විශාල ය. තද කළු පැහැති ය. කටහඬ ද ගොරෝසු උච්ඡ ය.) පහළ ලියද්ද පුරා සැරි සරන සිය දහස් ගණනක් වූ ගිරා රංචුව ද අහලකවත් පෙනෙන්නට නොසිටියෝ ය. සරණේ ඉහත්තාවේ, මහ බුරුත ගහ පාමුල ඉලුක් ගාල ද පමණක් නොව දකින දකින හැම පැත්තක ම තණ පඳුරු ද, අම්පාරේ මංගල මහ විහාරය දෙසට එක ම පැත්තට හැරී නැමී,  වැඳගෙන බිම වැතිර සිටියෝ ය. කිසිදු සතා සීපාවකුගේ පමණක් නොව කිසිදු මිනිස් කටහඬකුදු නොනැගුණු ඒ අලුයම අපට ඇසුණු එක ම හඬ වූයේ, අපට කතා කරමින් ඩෝමැට්‍රිය පසු කරමින් එන ආච්චීගේ කටහඬ ම පමණකි.

මුලු බිම හැම තැන ම එක සීරුවට අඟල් දෙකක් පමණ ඝණකමැති සියුම් මඩ තට්ටුවකින් වැසී තිබුනේ ය. කණු, බිත්ති, මේස පුටු ආදියේ පාදම වටා පමණක් අමුතු රටා කැරකිල්ලක් සෑදී තිබුණේ වතුර බැස ගිය ආකාරයට අනුව ය. අපට කන්නට බොන්නට තිබූ සියලු ම සේතර සහ ජල රකුඅසා විසින් කිසිදු අනුකම්පාවකින් තොර ව ම උදුරාගෙන ගොස් තිබුණේ ය. කිසිදු උපද්‍රවයතික් තොර ව රැකී තිබුණේ තාත්තාගේ විසල් තේක්ක ලියන මේසය මත තිබූ ගුරුලේත්තුව පමණි. 

“ඈ බං ගුණතිලක තොට පිස්සුද යකෝ මේ හිච්චි එවුං එක්ක මේ තණි පංගලමෙ මේ මහ වනාතරයක් මැද්දෙ දුක් විඳින්නෙ..?“ ආච්චී ලවක් දෙවක් නැති ව තාත්තාට බණිමින් සිටි අතර, තාත්තා උදේ අප දැකි අයුරින් ම සෙල් පිළිමයක් මෙන් නොසෙල්වී, කිසිවක් ම නෑසෙනා අයුරින් එසේ ම සිටියේ ය. තාත්තාගෙන් අප දුටු එක ම ප්‍රතිචාරය නම් වේගයෙන් ඇස් පිහාටු ගැහෙන බව පමණකි. 

ආච්චී බොහෝ වේලාවත් තාත්තාට බණිමින් සිටියා ය. ඉන්පසු අප තුන් දෙනා ම අත් දෙකින් අල්ලාගෙන, කන්ද උඩ ඩෝමැට්‍රියට කැන්දාගෙන ගොස්, එහි දැවැන්ත නාන කාමරයට දමා හොඳින් සේදුවා ය. ඒ අවස්ථාවේ දී එහි නාමින් සිටි මාමා කෙනෙක් සිය සබන් කැටය අපට දුන්නේ ය. රතු පාට ඒ සබන් කැටයේ කාබලික් සුවඳ අදත් මට සිහිනෙන් මෙන් මතක ඇති අතර, ඉන් පසු අනන්තවත් ලැබුණු “ලයිෆ් බෝයි“ සබන්වල ඒ කාබලික් සුවඳ යාන්තමින් හෝ නැත්තේ ඇයිදැයි මා දන්නේනම් නැත...!

අප නාගෙන යළි එන විට ලොකු තාත්තා ද බයිසිකලයක නැගී අනෙක් පස අතු පාරෙන් මතු උනේ ය. බයිසිකලයෙන් බැස එය අල්ලාගෙන ඔහු කළේ ද තාත්තාට බැණ අඬ ගැසීම ය...“මූට... මූට... මූට පිස්සු....මූ විතරක් නෙමෙයි මුනුත් එක්කම මූ තොලොංචි වෙන්න හදනවද මන්ද....“ ලොකු තාත්තා ගැහෙමින්, තරහෙන් පුපුරමින්, තතන තතනා කළ බැණුම මට අදත් ඒ අයුරින් ම මතක ය. ඉන් පසු බයිසිකලය ඔසවා, වේගයෙන්  වටයක් ම ආපසු කරකවා, සීට එක උඩින් කකුළ දමා වාඩි වී. වේගවත් පා පහරක් එහි පැඩලයට එල්ල කරමින් ආච්චී දෙයට හැරී “.........ඌට විතරක් නෙමෙයි මේකිටත් පිස්සු......“ කියමින් ආවාට වඩා හත් අට ගුණයක වේගයෙන් ආපසු ගියේ ය. තාත්තා අර සිටි ඉරියව්වෙන් ම කිසිදු හැල හොල්මනක් නැති ව, ඔලුව පැත්තකට හරවාගෙන ඔහේ සිටියේ ය.

ඉන්පසු යළි මරණීය නිහැඬියාවක් පැතිර ගියේ ය. බකල ගසමින් ගේ පුරා ඇවිදිමින්, හෙමි හෙමින් මුමුණමින් බණිමින් සිටි ආච්චී, බංතුවක් ඇදගෙන විත් තබා, කොළයක ඔතාගෙන ආ මොනවදෝ එහි මත තැබුවේ ය. ඉන්පසු මහා කරුණාවකින් “අනේ හිච්චි පුතේ, මේ රොටි ටික මේ පුංචි එවුං එක්ක කාපං පුතේ...!“ යි කීවේ ය. ඊයේ රාත්‍රිය පුරා වූ තෙත වාතය ආස්වාස කිරීමෙන් ද, ගංවතුරෙන් තෙත් වූ මෙට්ටය මත රාත්‍රිය පුරාම සිටි හෙයින් ද, මේ අවට පරිසරය ද වෙනදාට වඩා සිසිල් තෙත් බවකින් යුක්ත නිසා ද, නාස් අගින් වැගිරෙණ හොටු උඩට අදිමින් අපි තාත්තා දෙස බලා සිටියෙමු. මඳ වේලාවක් සිටි සෙයියාවෙන් ම සිටි තාත්තා, පුටුවෙන් බැස චිරි මඩ පා ඇඟිලි අගින් පන්නවමින් ම, සරණේ කෙලවරට ඇවිදගෙන ගොස්, වැඳගෙන සිටින ඉලුක් තලාව දෙස බොහෝ වේලාවක් බලාගෙන සිටියේ ය.

පැයකට පමණ පසු තාත්තා උදැල්ල රැගෙන විත්, බිම පුරා පැතිැ තිබුණු සියුම් මැටි තට්ටුව මිදුලේ එක තැනෙකට එකතු කරන්නට පටන් ගත්තේ ය. අපි ගේ පුරා කණු සහ මේස පාදම්වල වෙලී තිබුණු රඩා රොඩු අදගෙන ගෙයින් එළියට දැම්මෙමු. ආච්චී කුස්සියේ වූ සියලු ම වළං මුට්ටි ඩෝමැට්‍රියට ගෙන ගොස් සෝදාගෙන ආවා ය. අව් රශිමිය තද නොවූ හෙයින් ද, අලුත් වැඩ රාජකාරි බොහොමයක් තිබූ හෙයින් ද අපට දවල් බඩ ගින්නක් දැණුනේ නැත. දුනුනත් කන්නට තියා බොන්නටවත්, මෑ ඇටයක තරම්වත් දෙයක් ගෙයි ඉතිරි ව තිබුණේ ද නැත. සවස 3 - 4 පමණ වන විට ඩෝමැට්‍රියට ඉහළ පාරෙන් ලවුඩ්ස්පීකර බැඳි වාහනයකින් මොනවාදෝ කියමින් යනවා ඇසුණමුත් එය අපට පැහැදිලි වූයේ නැත. ඊට පැය බාගයකට පමණ පසු එහි හඬ අපට ඇසුනේ පන්සලට මෙපිටින් වූ බුද්ධංගල පාර දෙසිනි. ඊටත් ටිත වේලාවකට පසු සරණ ට පහළින් ඇති අඩි පාරෙන් මතු වූ අයෙක් “අන්න ඉස්කෝලෙ මහත්තයා, ආණ්ඩුවෙං ගංවතුර ආධාර බෙදනව පංසලේ ඉඳං...විජැහිං යන්න මහත්තය...!!“ යි කියමින් අප පසු කර ගියේ සිය වම් කරේ වූ පෝර ගෝනි මල්ල දකුණු කරට මාරු කරමිනි. උදැල්ල බිම තබා තාත්තා මඩ තැවරුණු දෑත දෙස බැලුවේ ය. එහි උඩ හරියේ වූ මඩ වියළී, පතුරු ගැසී තිබුණේ ය. ඉන් පසු තාත්තා දෑත එකිනෙක මත අතුල්ලාගෙන මඩ තට්ටුව සූරා දැමුවේ ය. ඊන්පසු දෙකකුල් ද බිම ගසා, උදැල්ල ද රැගෙන සරණේ පිටුපස කොටසට ගියේ ය. ඉන්පසු සාලුවක් කරේ දමාගෙන ඩෝමැට්‍රිය දෙසට වූ කන්ද තරණය කරන්නට පටන් ගත්තේ මඩ කරියන් මෙන් සිටි අප තුන්දෙනා ද පෙරටු කර ගෙන ය.

නා කියාගෙන පිරිසිදු වී පැමිණි තාත්තා, හණ මල්ලක් ගෙන නවා, බයිසිකලයේ පොල්ල මත තබා, අයියා ද එහි හිඳුවාගෙන පංසල දෙසට යන්නට පටන් ගත්තේ ය. හෙන්දිරික්කා මල් පිපෙමින් තිබෙන හැන්දෑ ජාමේ තාත්තා අයියා ද සමග ආවේ මන්දස්මිතියකින් මුව සරසාගෙන ය. අයියා විඩි වී ගිය හණ මල්ල දැන් බයිසිකලයේ හැඬලය මත තිබුනේ බඩු කන්දකින් පිරීගෙන ය. වියළි ආහාර දැමූ කඩදාසි මලු දෙක තුනක් ද, හාල් දැමූ පොඩි හණ ගෝනියක් ද ඒ අතර  තිබුණේ ය. 

ඒ අතර, එකළ අම්පාරේ වැසි අපට ලැබෙන මහේශාක්‍ය වූ ආහාරයක් වන පාන් ද තිබුණේ ය. දැං අපේ අල්ලවල් දෙකක් තරම් ලොකු පාන් පෙති දෙකක් එකට තබා, ඒ මැද මොනවාදෝ තවරා,  එය ත්‍රිෙකා්ණාකාර වන්නට කපා තිබුණේ ය. කටට එක විට ගන්නටවත් බැරි කරම් ඝණකම පාන් පෙති දෙක හපනවිට එහි දෙපැත්තෙන් පණින, කිසිදු ලෝබ කමක් නැති ව, තවරා තිබූ දම් පාට දේත්, කහ පාට තෛලාකාර දේත් මොනවාදැයි අප දැන කියා ගත්තේ ඊට වසර ගණනාවකට පසු කොළඹත් ආවාට පසුව ය.

ඒ ජෑම් සහ මාගරින් ය....!!

Share/Bookmark

17 comments:

  1. මේ කතාවට පටන් ගැන්ම යයි කීවේ මන්දැයි පසුවට වැටහෙනු ඇතිද? අනෙක් කතා මෙන්ම පපු කුහරයේ දැවීමක් ඇති කළේය. තද සුසුමකින් පසු දිවි මගේදී දැක ඇති මෙවැනි සිදුවීම් දෙස මෙබඳුව.. තමාගේ දෙයක් ලෙස නොබැලුවේ මන්දැයි දොස් පවරා ගතිමි.

    ReplyDelete
  2. සිත්වල රූප පැලපදියම් වන ආකාරය විස්මිතය...
    ඒ රූප - රූප ප්‍රතිනිර්මාණයට සමත් කමක් ඇත්තෙකුට ඒ මොනතරම් වටිනවා?
    දැනට නවතිමි
    ඊට පස්සෙ?

    ReplyDelete
    Replies
    1. Tissa aiya,
      අර ඉළුක් ගස් වැඳගෙන ඉන්න එක බලන්න. ඔය සිදුවීම දකින්න ලැබෙන්නෙ එහෙමත් පිරිසකටයි.

      Delete
  3. මට හිතාගන්න බෑ මොනවද ඒ දම්පාට ජෑම් ජාතිය කියලා?

    බටර් සහ ජෑම් දෙකම ගානවා කියන්නේ පුදුම ලක්‍ෂරියක් නේන්නම්!

    ReplyDelete
    Replies
    1. මිදි ජෑම් දම්පාටයි නේද කකා

      Delete
    2. ඇයි ස්ට්‍රෝබෙරි. එව්වත් දම් පාටනෙ..
      අපට හම්බඋනෙත් ස්ට්‍රෝබෙරි..!

      Delete
  4. වෙනදා වගේම රසවත්!!!

    //මෝඩ ගඩොලින් බැඳි කෙටි බිත්තිය //

    මේ ගඩොල්වලට මෝඩ ගඩොල් කියන්නේ ඇයි?

    //කන්ද උඩ ඩෝමැට්‍රියට කැන්දාගෙන ගොස්, එහි දැවැන්ත නාන කාමරයට දමා හොඳින් සේදුවා ය. //

    මේ ටික මට තේරුනේ නෑ

    ReplyDelete
    Replies
    1. මොඩ ගඩොල් කියන්නෙ මොඩයො හදනව වගේ කිසිම ප්‍රමිතියක් නැතිව අතට අහුවෙන සයිස් එකෙන් හදන හින්ද වෙන්නැති. අනික ඒව පුච්චන්නෙත් නෑනෙ.

      Delete
    2. මෝඩ ගඩොල් කියන්නෙ පොඩ්ඩි පුළුස්සපු නැති ගඩොල් වලට‍. ඒව ගං වතුරට හසුවුනොත් සුං තමයි.

      Delete
    3. මෝඩ ගඩොල් කියන්නෙ ඇයි කියල මාත් දන්නෙ නැහැ.
      ඩෝමැට්‍රිය ගැන මීට කළින් අවස්ථා කිහිපයකදි ම කියල තියෙනවනෙ පොඩි.
      අර අපේ පින්තූර ගොන්නෙත් ඒක පෙන්නල තියෙනව.

      Delete
  5. කකා කියල තියෙනව වගේ ජෑම් සහ බටර් දෙකම එකට තිබ්බනං ඒක දිව්‍ය භෝජනයක් වෙන්න ඇති.

    ReplyDelete
  6. මොකක් පටන් ගැන්මද ? ජෑම් සහ මාගරින් අපිටත් මැජික් තමා ඒ දවස්වල..

    ReplyDelete
  7. මේ වගේ පන්නරයක් ලැබීම ම වෙන්න ඕනේ ඔබ සියලු දෙයින්ම සාර්ථක නිරහංකාර මිනිහෙක් වෙන්න පටන්ගත්තු මුලත්..

    ReplyDelete
  8. පුදුම ලිවීමක්...... හිතේ ගැඹුරටම දැනෙන අව්‍යාජ ලියවිල්ලක්

    ReplyDelete
  9. කුඩා විස්තර දකින ආකාරය අපූරුයි

    ReplyDelete
  10. හරි! සර්ලාගේ මේ ජීවිත කතාව එහෙම් පිටින් ම වෙනස් වෙන්න බලපාපු ප්‍රධානම සාධකය තාත්තාට නැවත වතාවක් කොළඹ ඉස්කෝලෙට පත්වීම ලැබීම ද?

    ReplyDelete
    Replies
    1. නැහැ බුද්ධි, අයියා ශිෂ්‍යත්වයෙන් පාස් වීමත්, පාලිත මල්ලී ජනප්‍රිය පාසල්වලට තේරීමේ විභාගයෙන් ඉහළින් ම සමත් වීමත්, ඊ ළඟ අවුරුද්දේ මාත් ශිෂ්‍යත්වයෙන් සමත්වීමත් නිසා තමයි තාත්තා කොළඹට එන්න තීරණය කරන්නෙ.

      Delete