Friday, September 5, 2014

ඉලුක් කැපීම


ගංවතුර බැස ගොස් තුන්වන දවස වනවිට, සිදු වූ විපත්තියෙන් ඉතිරි ව තිබුනේ කඩා වැටුණු දේ පමණි. ගංවතුරත් සමග ආ රොන් මඩ තට්ටුව අපට මහාර්ඝ වස්තුවක් වූයේ එයින් රූප අඹන්නට අපට හැකියාව තිබුණු බැවිනි. අපි එයින් නෙක නෙක දේ සෑදුවෙමු. අලි, පූසන් පමණක් නොව මිනිසුන් ද ඒ අතර විය.

දැන් හිරු එළිය වෙනදාට වඩා සැර ය. වැස්සා ද, ගංවතුර ගැලුවා ද, ඒ නිසා දහසක් මිනිසුන් සුවහසක් දුක් කන්දරාවන්ට පත් උනාදැයි හිරු ට වගේ වගක් නැත. හිරු එළිය වඩාත් සැර වන්නේ අවට වායුගෝලයේ වූ දූවිලි අංශු සියල්ල ම පාහේ වැසි ජලයේ දිය වී බිමට ඇද වැටුණු නිසා ය. දැන් හිරු එළියට පොළොවට එන්නට බාධාවක් නැති නිසා, එය කෙළින් ම අප මත පතිත වෙයි.

තාත්තා අලුත් වැඩක් පටන් ගෙන තිබුණේ ය. ඒ ගේ උඩහ තිබූ ඉලුක් ගාල කැපීම ය. තාත්තා එය කළේ ද ගොයම් කපන ආකාරයට ම ය. කැපුවේ ද දෑකැත්තකිනි. කපා ගන්නා ඉලුක් මිටි ගොයම් මිටි මෙන් ම මිටි බැඳීමේ කාර්ය භාර ගත්තේ අප ය. මේ මිටිය ගැට ගැසීම සඳහා තාත්තා කළින් ම කෙසෙල් පට්ටා සිහින් ව ලියා සකස් කරගෙන තිබුණේ ය.

අපට තේ හදා සැපයුවේ ද, දිවා අහර සැකසුවේ ද ආච්චී විසිනි. අපට ඒවා ගැන සොයනවාට වඩා මහා වැඩ තිබිණි. කලෙකට පෙර මොකක්දෙසෙද්දයක් නිසා හිතේ තැන්පත් ව තිබූ අනියත බිය වුව මට නොදැණුනේ මේ අලුත් වැඩේ බොහෝ රසවත් නිසා ය. 

තාත්තා කපන ඉලුක් අයියා මිටි බඳියි. මාත් පාලිතත් ඒවා රැගෙන ගොස් හොඳින් අව්ව ඇති තැනෙක පිළිවෙලට අඩුක් කරන්නෙමු. තාත්තා පොඩි විවේකයක් ගත් විට අයියා ද ඉලුක් කපයි. නමුත් තාත්තාගේ අත මිටට අසුවන තරම් ඉලුක් මිටියක් කපන්නට අයියා ට බැරි ය. දෑකැත්ත තියුණු ය. එයින් ඉලුක් මිටිය කැපෙන විට, සර බරස් සද්දයක් මතු වෙයි. ඒ මසග අමුතු කොළ සුවඳක් ද වහනය වෙයි. ඉලුක් මිටි ඔසවාගෙන යන විට එය අතේ හෝ පයේ ගෑවුනොත් සියුම් කැපීම් පහරවල් ඇති වෙයි. ඒවා කසනසුලු වූවාට වඩා දහදිය දැමූ විට ඇතිවන දැව්ල්ල ඉවසා සිටීම හරි අමාරු ය.

දවස පුරා ඉලුක් කැපීම නිසා බිම මහ පදාසයක් වැසෙන තරමට ඉලුක් තොගයක් කපා ගන්නට අපට හැකි විය. හෙන්දිරික්කා මල් පිපීගෙන එන හැන්දෑවේ අපි සියල්ලෝ ම වැඩ අහවර කොට, තාත්තා ද සමග සුපුරුදු පරිදි ඇලට නාන්නට ගියෙමු. වෙනදාට ඉතා ම පිරිසිදුවට හෙමි හෙමින් ගලා ගිය ඇල අද මහ ජල කඳකින් සැරසී, තද දුඹුරු පාටින් ප්‍රචණ්ඩ ව ගලා බසිමින් සිටියේ දෙපැත්තේ ඇල ඉවුර ද කුහරයක් මෙන් හාරාගෙන ය. වෙනදාට අප ඇලට බසින වලුක්කම හෙවත් බෑවුම සහමුලින් ම සේදී ගොස් තිබුණේ ය. රෙදි ගසන ගල වටකොට ද රැළි නගමින් ජල පහරක් ගලා බසිමින් තිබුණේ ය. අප මෙන් ම නාන්නට පැමිණි දෙතුන් දෙනා ද ඇල දෙස හිසු බැල්මෙන් බලා සිටිනවා ඇරෙන්නට ඊට බසින පාටක් තිබුනේ නැත.

අපි දු යළි බයිසිකලයේ නැගී යළි ආවෙමු. අඳුර පැතිරෙමින් තිබෙන අතරේ ඩෝමැට්‍රියට ගියෙමු. තවත් මාමලා දෙතුන් දෙනෙක් ම එහි නාමින් සිටි අතර, ඔවුන් හැකි තරමක් එහා මෙහා වී අපට ද ඉඩ ලබා දුන්නේ ය. එහි විසල් නාන කාමරයේ දැල්වෙන කහ පැහැති විදුලි ලාම්පු එළියෙන් ද, ඉහළින් වූ පයිප්පයෙන් විසිරෙන ජල බිඳිතියෙන් ද අපි සිත් පුරා නැහැවෙමු. 

වෙනදාට යාන්තම් ක්ලෝරීන් සුවඳක් ද සමග සුදෝසුදුවට එන ජල පහර, අද තරමක දුඹුරු පාටක් ගෙන තිබුණේ, අම්පාර වැව ද ගංවතුරෙන් බැට කා තිබුනු නිසා වෙන් ය.

මඩ සුවඳ ද, තැලුනු ඉලුක්වල කොළ සුවඳ ද පරයමින් ආච්චී උයමින් තිබූ මිල්චාට් සහල් සුවඳ අපට මහා බඩ ගින්නක් ඇති කළේ ය. මිල්චාට් යනුවෙන් හඳුන්වන්නේ තම්බා සුද්ද කළ සහල් විශේෂයකි. එහි ඇට තරමක් ලොකු ය. තම්බා පල් කරන නිසා එයින් අමුතු පල් ගඳක් වහනය වුව ද, තැම්බෙන විට ඉන් නැගෙන සුවඳ අපට හරි මිහිරි ය.

අල හොද්දක් සමග උණු උණු බත් කෑ අප, බඩු මුට්ටු අස් පස් කොට හිස් ව තිබූ ශාලාවේ මැද දැල්වෙන පැට්‍රොල් මැක්ස් එළිය වටා රවුම් ගැසුනෙමු. තාත්තා එස්රාජය රැගෙන විත් කොට බිත්තිය මත වාඩි උනේ ය. අපි බංකුවක් ඇදගෙන විත් ඒ ඉදිරිපිටින් වාඩි උනෙමු.

හාත් පස පැතිර තිබූ ඝණ අඳුරු කුට්ටිය මැදින් තාත්තා කැපී පෙණුනේ පැට්‍රොල් මැක්ස් ලාම්පුවේ එළිය එක එල්ලේ ම වැටී තිබුණු නිසා ය. තෙත පොළොවෙන් මතු වන අමුතු හඩු ගඳ ද, මඩ සුවඳ ද පරයා එස්රාජයේ තත් මත පිරිමැදෙන අල්ලුවෙන් නැගි සුමියුරු සංගීත හඬ ද, තාත්තාගේ ගායනාව ද සියල්ල අමතක කළේ ය.

ජන මන ගන අභිනායක ජය හේ
භාරත භාගය විදාතා....
.......
ජය හේ.. ජය හේ...ජය හේ ජය ජය

ජන මන ගන ගීතය මෙතැනින් අහන්න. 

තාත්තාගේ ගායනය අපට අරුමයක් නොවුන ද, අද මේ මහා ඝණ අඳුර විනිවිද ගලන එය යළි යළි නින්නාද වෙමින් ඇසුණු බවක් මට දැණුනේ ය. කොටින් ම එයින්, ගංවතුර නිසාවෙන් තෙත බරිත ව ඇති මෙට්ටයේ ඇති පරණ චූ යළි පල්වීම නිසා මතුවන අමිහිරි කුයිලය ද, එහි තෙත ද අපට අමතක විය....!!

Share/Bookmark

13 comments:

  1. ඉලුක් කැපුවෙ මොකටද ?

    මොකක්දෙසෙද්දයක් - මොකක්දෝ සිද්ධියක් වෙන්න ඇති කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. දවස් ගණනෙක ඇවෑමෙන් හොඳට වියලී පදම් වුනු ඉලුක් මිටි යායක් අපට ලැබිනි.

      මේ ඉලුක් මිටි මෙසේ තනා ගත්තේ පොල් අතු වහළයට උඩින් ආස්තරණයක් දමන්නට හෙවත් වහළ හෙවිල්ලන්ට ය....!

      Delete
  2. ස්තුති කතාව දැම්මට. මම හිතමින් හිටියේ fb එකේ ඉල්ලීමක් දාන්න ඕනේ කියලා අලුත් ( පරණ..? නැවුම් )කතාවක් ඉල්ලලා..
    ඉලුක් ගෙවල් සෙවිලි කරන්න ගන්නවා නේද? තාත්ත ඔබ වගේ...? ඔබ තාත්තා වගේ විවිධ දක්ෂතා ඇති අයෙක්.

    ReplyDelete
  3. හරි! සර්ලාගේ මේ ජීවිත කතාව එහෙම් පිටින් ම වෙනස් වෙන්න බලපාපු ප්‍රධානම සාධකය තාත්තාට නැවත වතාවක් කොළඹ ඉස්කෝලෙට පත්වීම ලැබීම ද?

    ReplyDelete
  4. මෙවැනි අවස්ථා ඇත්තේ චිත්‍රපටි වල පමණක් යැයි සිතනා අයද වෙති
    ගං වතුර, පන් කැපීම්, එස්රාජ් වාදන, තැම්බෙන මිල්චාට් හාලේ සුවඳට ඉව අල්ලන දරුවන්.........

    ගංවතුරක් සමග එන රොන් මඩ වලින් මහජනයා අදද රූප අඹති!
    එපමණකින් නොනැවතී ඒවාට පුද සත්කාරද කරති!!

    ReplyDelete
  5. මාත් ඔබේ කතාව කියවන්න ගත්තේ ඊයේ. දැනට තැනින් තැන කියෙව්වේ. අර හෙන්දිරික්ක මල් කතාව ඔබේ ප්‍රියතම කියමනක් නේද?
    මිල්චාට් මට යන්තම් මතකයි. දැන් නම් මා මේ පල් කරපු සහල් වල‍ට ආස නැහැ.
    බලමු සේරම සටහන් ටිකෙන් ටික කියවන්න.

    ReplyDelete
  6. බලපු සමහර චිත්‍රපටිවල දර්ශන මතක් වුනා. ඔය කියන සුවඳවල් හැම එකක්ම දැනුනත් එක්ක...:(

    ReplyDelete
  7. මම මේ බ්ලොග් එකේ අන්තිමට බැලුවේ සරණ කියන කතාව. ඒ 2012 දී.
    ඊයේ පෙරේද ආපහු බ්ලොග් එක බලන්න ලැබිලා, සරණ ගාව ඉඳලා ඉතුරු කතා ඔක්කොම එක හුස්මට බලල ඉවර වෙලා තමයි මේ කමෙන්ට් එක දාන්නේ.
    ඔබ තුමා පුංචි කාලයේ ලබාගෙන තියෙන අත්දැකීම් ඒ කාලේ දුකක් උනාට අද වෙද්දී ඔබතුමාට ඒ ගැන තියෙන මතකය මොන තරමක් වටිනවද.
    ඔබේ පියතුමා තරම් වගකීමක් අරගෙන ධෛර්යයෙන් මේ තරම් බැරෑරුම් ප්‍රශ්න වලට මුණ දෙන්න පුළුවන් කීයෙන් කී දෙනාටද.
    ඒ එක්කම මොන ප්‍රශ්න තිබ්බත් හවසට සංගීතයෙන් හිත නිවා ගන්න ගමන් ඔබලාට ජීවයක් දෙන්න පුළුවන් වෙච්ච ඒ මනුස්සයාව දෙවි කෙනෙක් වගේ මට පේන්නේ
    හරියට ලෝරාගේ කතාවේ තාත්ත වගේ, ලෝරා එයාගේ තාත්ත ගැන ලිව්වා වගේ අපේ තාත්තල ගැන ලියවෙන්නේ නැති කම තමයි අපේ අඩුව.
    ඔබතුමා ඒ අඩුව පුරවමින් ඉන්නවා දකින එකත් සතුටක්

    ReplyDelete
    Replies
    1. ඇයි අප එකිනෙකාට පුලුවන් තරමින් හරි ලියන්නෙ නැත්තෙ..?
      මං හිතන්නෙ අප හැමෝගෙ ම අම්මල තාත්තලා අප එකිනෙකාට විශේෂයි සහ ඔවුන් සියල්ලන් ම අපට විශේෂයි කියලයි.

      Delete
    2. ඔව්. හරිම ආසයි මටත් නම් ලියන්න මේවා කියෙව්වම. ඒ උනාට ඒකට හොඳ සුරුවම් කමක් තියෙන්න ඕන. ඔබට තියන in detail මතකයත් තියෙන්න ඕන.හැමෝටම ඒ ප්‍රතිභාව නැහැ.

      Delete
    3. මම ඒ කතාව ලියන්න පටන් අරගෙන තියෙන්නේ, බොහොම ඉක්මනට ඒවා බ්ලොග් එකේ දාන්න හිතාගෙන ඉන්නේ

      Delete
  8. ඔබේ මතකය අති විශිෂ්ටයි....

    ReplyDelete
  9. මින්චට් හාලේ බත් එක්ක අම්ම හදපු පොල් සම්බෝලෙයි මාළු හොදයි මතක් උනා ... අද කොයි තරම් රසමසවුළු කන්න තිබ්බත් ඒ අව්‍යාජ්‍ය බත් පිඟාන අපිට ඉතුරු කරපු මතකය කොයිතරම් හිත ඇතුලේ පැලපදියම් වෙලාද... ලංකාවෙන් ගුවන් පැය 20ක් ඇතින් ඉඳලත් ඒ බත් පතේ රස මතකය මාව අරන් ගිය දුරක්... ඉන්ද්‍රනාත මහත්තයට වගේ මගේ උගුරෙත් යකඩ බෝලයක් හිරවෙලා වගේ...

    ReplyDelete