Thursday, September 11, 2014

සරණ අලුත් වීම


දවස් ගණනෙක ඇවෑමෙන් හොඳට වියලී පදම් වුනු ඉලුක් මිටි යායක් අපට ලැබිනි.

මේ ඉලුක් මිටි මෙසේ තනා ගත්තේ පොල් අතු වහළයට උඩින් ආස්තරණයක් දමන්නට හෙවත් වහළ හෙවිල්ලන්ට ය....! 

සාමාන්‍යෙයන් බොහෝ දෙනෙකු වහළය සෙවිළි කරන්නට ගන්නේ පිදුරු ය. ගොයම් කැපූ කාලයකනම් පිදුරු ඕසෙට තිබුණ ද, තාත්තාගේ කුඹුර එතරම් විසල් නොවූයෙන් අපට මුලු වහලය ම සෙවිළි කරන්නට තරම් පිදුරු ලොඩක් ඉන් ලැබිය නොහැකි ය. ඊටත් වඩා, ගලා ගිය මහ ගංවතුර කඳ අවට සියලු කමත්හි තිබූ පිදුරු කඳු බරු ගසාගෙන ගොස් තිබුණේ ය. ඒ නිසා වහළය සෙවිළි කරන්නට පිදුරු සොයා ගැනීමට නොහැකි විය.. නමුත් මේ අවට පුරා ඕනෑතරම් ඇති ඉලුක් ඒ අඩුව පුරවන්නට ඉදිරිපත් ව සිටියේ ය...

වහළය සෙවිලි කරන්නට යොදා ගත් දිනය අපට මගුල් ගෙයක් තරමට ම විශේෂ විය. ආච්චීගේ තනියට තවත් නැන්දා කෙනෙකු ද පැමිණ සිටියා ය. ඈ අප ඉතා ම පුංචි සන්දියේ, උහණ දී අම්මාට තාත්තාට උදව් කළ ගැහැණිය ම විය. අප ඈ හැඳින්වූයේ “කොළණියේ නැන්දා“ කියා ය. අම්පාරේ නගරයට තරමක් ඈතට වන්නට මෙසේ කොළණි ගොඩක් තිබුණේ ය. ඈ මොන කොළණියේදැයි අප දන්නේ නැත. නමුත් ඈ ඉතා බියගුලු, කුලෑටි ගැහැණියක වූවා ය. අප ළඟින් යන විට පවා ඈ අපට එකත්පස් වන්නේ, උහණ දී අපට තිබූ තේජස නිසා වන්නට පුලුවන. මේ නැන්දාත්, ආච්චීත් එකතු ව බර සාර ආහාර වේලක් සාදමින් සිටියෝ ය. එහි සුවඳ මේයැයි කියන්නට බැරි වුව ද, අදත් මට දාණ ගෙදරකට ගිය විට ඒ සුවඳ වහණය වෙයි.

පරණ තුවායකින් හිස වටා තලප්පාවක් බැඳ ගත් තාත්තා, සරම මැදින් නවා එහි කෙළවරක් දෙපරන්දස්සෙන් ගෙන අමුඩයක් සේ ගසා ගත්තේ ය. ඉන් පසු කොහෙන් හෝ ගෙනැවිත් වහළයට හේත්තු කර තිබූ උස ඉණිමග දිගේ වහළයට නැග්ගේ ය. ඉන්පසු දිරා ගිය පොල් අතුවලට ඉහළින් වූ, හරස් යට ලී මත ප්‍රෙව්සමෙන් පය තබමින් වඳුරතු මෙන් මුදුණට ම ගියේ ය..දැන් අපට තාත්තා ව පෙනෙන්නේ වඳුරු රැලක නායකයකු ලෙසිනි.

වහළයේ මුදුන් ලීය මත සීරුවෙන් හරිබරි ගැහුණු තාත්තා, කට දෙපැත්තට අත් දෙක තබා මහ හඬින් හූවක් කීවේ ය. ඉන්පසු සීරුවෙන් අනෙක් පැත්තට ද හැරී යළිත් හූවක් කීවේ ය...තත්පර දෙක තුනක නිහැඬියාවකට පසු පලු ගහට එහා පැත්තෙන් බොහෝ ඈතින් හෙමින් හූ හඬක් ඇසෙන්නට විය. එවිට තාත්තා ඒ දෙසට හැරී යළිත් හූවක් කීවේ ය. ඊට යළි පිළිතුරු හූවක් නැගුණු අතර, ටික වේලාවකින් වෙනත් දෙසකින් ද හූ හඬක් ඇසෙන්නට විය. ඊට ද තාත්තා හූ කීවේ ය. ඊට පසු අප දුටුවේ, තුන් හතර පැත්තකින් ම සරම් කැසපට ගසාගෙන, හිසේ තලප්පා බැඳ ගත් මිනිසුන් කිහිප දෙනෙක් ම අපේ “සරණ“ දෙසට පැමිණෙන ආකාරයයි. ඒ එන අතර වාරයේ දී ද ඒ සමහර මාමලා යළිත් එක් එක් දිශාවන්ට හැරී හූ කියනු ඇසුණේ ය.

පැය බාගයක් පමණ ගත වන විට මාමලා හය හත් දෙනෙක් ම පැමිණ සිටියෝ ය. බුලත් විට කමින් පැමිණි ඔවුහු, කට මත ඇඟිලි දෙකක් තබා “ප්රූෑෑෑස්“ හඬක් නගමින් රතු ම රතු පාට බුලත් කෙළ විදීම මට මහා අරුම දනවන්නක් විය. ඔවුන් විදින බුලත් කෙළ වියළි අලුත් පොළොව මත අපූරු සටහන් මතු කළේ ය. පළමුවෙන් ම ඔවුහු කළගෙඩියෙන් ලොකු වීදුරුවකට වතුර ගෙන, ඒවා කටේ පුරවාගෙන අමුතු හඬක් නංවමින් කට තුළ කොලොප්පම් කරවා, ඔලුව පැත්තකට හරවා, “පරාාාස්“ ගා විද්දේ කට උල් කරමිනි. ඉන්පසු ආච්චී ගෙනා තේ වඩිය සප්පායම් ව දෙතුන් දෙනෙක් ම තාත්තා මෙන් ම වහළයට නැගුනේ ය.

බිම සිටි මාමලා මුලින් ම ලොකු ඉලුක් මිටි කඳු බැගින් ගෙනැවිත් තුන් හතර පළකින් කඳු ගැසුවේ ය. මුදුනේ සිටි තාත්තා ද පස්ස අතුල්ලමින් වහළයේ පහළ අග්ගිස්ස දෙසට ආවේ ය. වහළයට නැගුනු අනෙක් මාමලා තුන් දෙනා ද, සම දුර සිටින සේ වහලයේ එහා සිට මෙහා කෙළවර තෙක් දිගෙලි උනේ ය. ඉන් පසු බිම සිටින මාමලා දෙතුන් දෙනා කලේ ඉලුක් මිටි ගෙන ඉහළ වහළයට වීසි කිරීම ය. ඒවා වීසි කරන්නේ එහි ගැට ගැසූ පැත්ත ඉදිරියට සිටින සේ ය. සුළං කපාගෙන ඉහළට ඇදෙන ඉලුක් මිටියේ කොළ සුළගේ ලෙල දී නංවන්නේ අමුතු ම සිහින් හඬකි. රොකට්ටුවක් මෙන් ඉහළට වීසි වන ඉලුක් මිටිය කවාකාර ව ගොස් පහත් වන්නට පටන් ගත් විට, වහළය මත සිටින මාමලා ඒවා අල්ලාගෙන තම දෙපසින් ගොඩවල් ගසා ගත්තේ ය. ඉලුක් මිටිය ගෙන වීසි කරන හැම වාරයකදී ම හැම මාමෙක් ම “ඕං..“ කීවේ ය. මිටිය අල්ලා ගන්නා මාමා “හරේඒඒ..“ කීවේ ය. ටික වේලාවක දී එය අපට ඇසුනේ අපූරු තාලයකට ය...

ඒ අතරවාරයේ මොකක් හෝ කඩප්පුලි කතාවක් කියා මහ හඬින් සිනාසෙන්නට ද ඔවුන් අමතක කළේ නැත.

මේ අතරවාරයේ දී මාමලා දෙනෙකු ගොස් අවට ගස්වලින් දිග කෝටු ගණනාවක් ම කපාගෙන ආවේ ය.

දැන් අනෙක් මාමලා, මෙසේ ගොඩ ගසාගත් ඉලුක් මිටි එකින් එක ගෙන වහළයේ යට ම දාරයේ සිට පිළිවෙලට එක ගණනකට අතුරන්නට පටන් ගත්තේ ය. ඒවා යටලීවලට තබා බඳිනු ලැබුවේ කළින් සකසාගෙන තිබුනු වියළි කෙහෙල් පට්ටාවලිනි.

යට ම පේළිය ඇතිරුවාට පසු ඊ ළඟ පේලිය ද ආදී වශයෙන් පේලි දෙක තුනක් ඇතිරුවාට පසු, ඒ මත වහළයේ දිගට සිටින සේ අර කපා ගෙනා කෝටු තබා බඳිනු ලැබෙයි. මෙසේ පේලි හත අටක් එලූ පසු තාත්තා ද මාමලා ද වහළයෙන් බිමට බැස්සේ තේ විවේකය සඳහා ය. සිදුවන විලම්බෑසි දෙස කට ඇරගෙන බලා සිටි අපට ද තේ විවේකය භුක්ති විඳින්නට ලැබුනේ ය. ලොකු ඉඳිආප්පයක් රෝල් කර ඒ මැදට පැණිපොල් දමා තිබූ අතුරු කෑම එක අතිශයින් රසවත් විය. එහි එක් පැත්තකින් කාගෙන කාගෙන එනවිට, අනෙක් පස සිදුරෙන් පැණි බේරෙයි. ඒ පැණි අල්ල හරහා පැමිණ, මැණික් කටුවත් පසු කර වැලමිට දෙසට එන විට, අත ඔසවා ඒ පැණි බිඳුවක්වත් අපතේ නොහැර ලෙවකන විට, දූවිලි කාටුවද සමග මිශ්‍ර ව දැනෙන දිව්‍යෙලා්ක රස වචනයෙන් විස්තර කළ නොහැකි ය. එහෙම ඒවා අපට ලැබෙන්නේ කලාතුරකින් නිසා නමක් ගමක් නොසොයා ම අපි ඒවා ගිල දැමුවෙමු.

දහවල් අහර කිසට සූදානම් වන විට වහළයේ එක් පළයක් සහමුලින් ම ඉලුකෙන් වසාලන්නට මාමලා සමත් විය.

තරමක් ඈතට ගොස් වහළය දෙස බැලූ විට, මෙතෙක් කලක් අඳුරු, දුඹුරු හඩු පැහැ ව, දිරා ගිය පොල් අතු වසාගෙන, වියලුනු පසු රන්වන් පැහැ වූ  ඉලුක් මිටි වැතිර සිටියේ ය....
එවිට සරණ අලුත් වෙලායැයි අපට සිතුනේ ය...!!




Share/Bookmark

18 comments:

  1. ඒ කාලෙ ගම්වල මිනිස්සු අතර තිබිච්ච එකමුතුව පෙන්නන හොඳ ලිපියක් මේක.
    තේ බොනකොට කන්න ඇත්තෙ ලැවරිය වෙන්න ඇති.

    අර සද්ද ටිකනං මරු. :D

    ReplyDelete
  2. දිග කමෙන්ට් එකක් දාන්න නොවුනත්.. දිගටම කියවනවා.

    ReplyDelete
  3. මං සාමාන්යයෙන් වැඩියෙන්ම කියවන්න ආස සිංහල පොත් වෙන්නේ ලංකාවෙ ඉස්සර ( 1880 ගණන් සිට 1970 ගණන් දක්වා ) ජන ජීවිතය ගැන ලියවුනු පොත්.
    ඔබේ පොස්ට් මං කියවල තියන ඒ වර්ගයේ හොඳම පොත් සමග සංසන්දනය කරන්න පුලුවන්. ඔබ මේවගේ පොතක් ලියල තියනවද? එහෙම නැත්නම් ලියන්න කියල ඕනැකමින් ඉල්ලනව

    ReplyDelete
    Replies
    1. මම මෙතෙක් ලියල තියෙන්නෙ ඡායාරූප ශිල්පය සහ පරිගනක මෘදුකාංග ගැන තාක්ෂණික පොත් විතරයි. එව්වනං දැනට පොත් 10ක් ලියල තියෙනව. තව 3ක් ලියමින් ඉන්නව..!

      Delete
    2. ඔබේ පොත් පරිශීලනය කර බොහෝ දැනුමක් එකතු කරගත්ත කෙනෙක් මම. මේ මෘදුකාංග ගැන සිංහලෙන් පොත් ලියපු බොහෝ දෙනා කලේ ඉංග්‍රීසි කෘතියකින් හරි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපුටාගත්ත වෙනත් ලියමනක් අමු අමුවේ වැරදි ලෙස සිංහලට පෙරලා පාඨකයාගේ සාක්කුවට විදපු එක...මෘදුකාංග සදහා සිංහලෙන් පොත් ලියන කෙනෙකු ඉන්නවා...ඔහු නොදන්නා විෂයක් නෑ....එය ප්‍රායෝගික නොවන කරුණක් බව ඕනෑම අයෙකුට වැටහෙනවා. එතැනදී ඔහු කර තිබෙන්නේ පරිවර්ථකයෙකුගේ කාර්යය පමණයි.

      පාඨකයාගේ සාක්කුවට විදින්නේ නැතිව...ගෙවන මුදලටත් වඩා වටිනාකමක්, දැනුමක් ගෙන දෙන පරිගණක ග්‍රැෆික් පොතක් පල කලා නම් ඒ ඔබ තුමාම තමයි. ඒ වෑයම මම ඉතාම ඉහළින් අගය කරනවා.

      Delete
    3. බොහෝම ස්තූතියි ඔබේ අගැයීමට..
      මම බොහෝ දේ කරන්නෙ මට දැනෙන්නයි..

      Delete
  4. << මේ ඉලුක් මිටි මෙසේ තනා ගත්තේ පොල් අතු වහළයට උඩින් ආස්තරණයක් දමන්නට හෙවත් වහළ හෙවිල්ලන්ට ය....! >> ස්තූතියි.

    දැන් ඔහොම වහලෙට නැගලා හූ කිව්වොත් කෙලින්ම අංගොඩ තමා.... ලෝකය වෙනස් වෙලා තියන හැටි නේද ? ඉස්සර මිනිස්සු කොච්චර සරළද ! හූවකින් මිනිස්සු හත් අට දෙනෙක් ගෙන්න ගන්න සහ ඔවුන්ට කියලා දවසම ගෙවෙන වැඩක් කරව ගන්න පුළුවන් කියන්නෙ හිතාගන්නත් අමාරු දෙයක් නේද ?

    හෙවිල්ල වගේම තමා ලිවිල්ලත්.. මාර රසයක් විඳිතෑකි...

    ReplyDelete
    Replies
    1. ඉස්සර ගම් පැතිවල ලොකුම සන්නිවේදන ක්‍රමය හූවයි.
      දුකක් කරදරයක් උනත් හූවෙන් තමයි සංනිවේදනය කළේ.
      ඒ වගේම හූ කියල ගෙන්නගන්නව වගේම, අනෙක් අයගෙ දේටත් නොමිලෙ ශ්‍රමය පුදන්න ඒ කාලෙ මිනිස්සු සැදී පැහැදී සිටියා. ඒවට කියන්නෙ "අත්තම්" කියලයි.

      Delete
  5. සරලත්වය කෙතරම් සුන්දරද . එ බැදීම් හැමදාම තිබ්බනම් කියල හිතනවා

    ReplyDelete
  6. මේ අකුරු තුලින් අපූරුවට රූප මතු වුණා.

    ReplyDelete
  7. ගොයම් කයි වලට සහබාගීවෙලා තියෙන හින්දා අත්තම් ගැන හොඳින්ම දන්නවා... ඒත් මම දැකලා තියෙන ඒවායේ නම් අහවල් දවසේ අහවල් වැඩේ තියෙනවා කියලා කලින් දන්වනවා... ඊටපස්සේ කයිය "හොස්ට් කරන" මනුස්සයා එදා උදේම වැඩේ පටන් ගන්නවා... ඔන්න ටිකකින් එක්කෙනා දෙන්නා එන්න පටන් ගන්නවා...

    මේ හූ කියන එකනම් මම අත්විඳලා නෑ... මෙහෙම "ෂෝට් නෝටිස්" එකකින් වැඩට මිනිස්සු හොයාගන්න පුළුවන් වුනා කියන එක හරි පුදුමයි නේද...? මොකද මෙහෙම කරද්දී තමන්ගේ එදිනෙදා වැඩක් කරන්න වෙන්නේ නෑනේ... හැමදාම උදේට කොහෙන් හරි හූවක් ඇහෙනවා ඇති...

    (සිංග්‍රීසියෙන් ලියා ඇත්තේ කමත් භාෂාව නොදන්නා වචන වේ...) :)

    අනිත් වැටහුනේ නැති දෙය... ඉලුක් පේලි තුනෙන් තුනට කෝටු තියලා බඳින්නේ ඇයි... ? වහලේ රීප්ප පටි වගේ හරහට ලී තියෙනවා නේද..? ඒවායේ බඳින ගමන් එකක් උඩ එකක් වැටෙන විදියට ඉලුක් පේලි ඇතිරුවානම් කෝටු අවශ්‍යය වෙන එකක් නෑ නේද...?

    ඉන්ද්‍රනාථ සර් ලස්සනට ලිව්වට, අපි ආසාවෙන් කියෙව්වට ඒ තරම් ලස්සනක් නෑ අප්පා මේවා කරන්න ගියාම... :D අත්තම් දෙන්න මිනිස්සු ඇතිතරම් ආවේ නැතිනම් ඉන්න අයට කට්ටක් කන්න වෙනවා සංසාරේ එපාවෙන්න...

    ReplyDelete
    Replies
    1. කොහෙන් හූවක් ඇහුනත් කට්ටිය ඒ හූවට ප්‍රතිචාර දක්වනව එහේනම්. එහෙම් කළාට වැඩ පාලු වෙන්නෙ නැහැනෙ.. කට්ටියම උදව් වෙන නිසා.
      රීප්පවලට උඩිනුත් ආයෙ ලී කෝ‍ටු බඳින්නෙ ඉලුක් කොල හුළඟේ යන නිසයි.

      Delete
  8. හැමදාම කමෙන්ට් නොදැම්මට දෙතුන් පාරක් කියවන කතා පෙලක් මේක.... මට හිතාගන්න බැරි පොඩි කාලෙ වෙච්ච දේවල් මේ තරම් විචිත්‍රව මතක තියෙන්නෙ කොහොමද කියල.. මට නං පොඩි කාලෙ දේවල් එහෙන් මෙහෙන් මිසක් මෙහෙම මතක් කරන්න අමාරුයි...

    ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගෙ පොත් පෙලමයි මතක් වෙන්නෙ මේව කියෝන කොට...

    ReplyDelete
  9. හැමදාම වගෙ අපූරුයි!!

    ReplyDelete
  10. සද්ද ටික නම් හරිම අපූරුයි. මම කරලත් බැලුවා...:D

    තේ බොන ගමන් කෑවේ ලැවරියද?

    ලියවිල්ල හරිම ලස්සණයි. ඇයි මේ කතා ටික පොතක් විදියට පල කරන්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ ලැවරියා තමයි. නමුත් අපි ඒ කාලෙ ඒකට කියන නම දැනං හිටියෙ නැහැ..
      අනෙක එහේ කිව්වෙත් ලැවරියා නෙමෙයි ඒකට.

      Delete
  11. අපේ සිංහල ගැමි ගතිය ඉස්මතු කෙරෙන ගැමි සුවඳ වහනය වෙන පෝස්ට් එකක්....

    ReplyDelete
  12. අත දිගේ වැක්කෙරෙන පැණි ලෙව කන එකනම් අපිත් කලා, ඒත් ඒකෙන් ආවෙ ඔය ඔබතුමා කියන රහමද කියලනම් මත්කයක් නෑ,
    අති විශිෂ්ඨයි

    ReplyDelete