Wednesday, October 1, 2014

ගොම මැටි ගෙන ඒම


අච් කූටකයක් පතිත වූ විට, ඉලුක් වහළයෙන් අමුතු කොළ සුවඳක් පහළට බේරී එයි. එය ආස්වාදජනක ය. සුළං රලක් හමන විට සිහින් සිරි සිරියක් නගන්නේ ද මේ වියළි ඉලුක් තණ පත් ම ය. ඩෝමැට්‍රය දෙස සිට බලනවිට, තරමක් පහළ මට්ටමෙන් තිබෙන අපේ සරණ යේ වහළ මනා ව දර්ශනය වෙයි. එය හිරු රැසින් නැහැවී රන්වන් පාට වියනක් බැන්දාක් මෙන් දිස් වෙයි. ඊට යටින් ඇත්තේ කඩා වැටුනු මැටි බිත්තිය අතරින් නැගී සිටින කෙට්ටු කණු පෙළ ය.

වහළය සම්පූර්ණ වුව ද ගංවතුර විසින් පහුරු ගෑ ගෙබිම වළ ගොඩැලිවලින් ගහණ වී තිබේ. තාත්තාගේ ඊ ළඟ ව්‍යායාමය වූයේ මෙබිමට ගොම මැටි ගෑම ය.

දවසක උදේ වරුවේ  අපට ඇසුනේ ගෙජ්ජි හඬ කි. ඊට ටික මොහොතකට පසු “ඩකස් ඩොකොස්“ ගාමින් වලවල්වල වැටෙමින්, ඒ අතරවාරයේ හීන් කෙඳිරිලි හඬක් ද නගමින් කැරකෙන කරත්ත රෝදවල හඬ ඇසෙන්නට පටන් ගත්තේ ය. අපේ සරණ දෙසට මේ ගාටමින් පැමිණෙන්නේ ගොං කරත්තයකි. දුඹුරු පැහැ ගොන් තඩියාගේ අං තට්ටුව පිත්තල කොපුවකින් වසා තිබුණේ ය. බෙල්ලේ නයිලෝන් ලණු පොට කෙළවර ගෙජ්ජි වැලකි. මේ ගොං තඩියා ඔලුව හොල්ලන වාරයක් පාසා ඉන් කිංකිණි හඬක් නැගෙයි. ඒ ආඩම්බරය නිසාදෝ ඌ අප දෙස බැලුවේ ද මහා ගාම්භීර තාලෙනි. හේ වරෙක එක විට හිස පහත් කර යළි උස්සයි. එවිට මුලු කරත්තය ම වේගයෙන් පැද්දෙයි. එවිට කරත්තය දක්කාගෙන ආ මාමා “හේ හේ ජක්“ කියයි. අරයා එය ඇසුණු වගක් දක්වන්නේ නැති ව සුපුරුදු ලෙස ඔලුව වනයි. ඔලුව නවා, දිව දිගු කොට, බිම ඇති තණ රලක් කඩාගෙන කට දෙපසින් එළියට සිටින සේ එය හෙමින් හපන්නේ ද අපට ඔලොක්කුවට මෙනි.

කරත්තයේ තිබුනේ ලොකු පස් ගොඩකි. ඇත්තෙන් ම ඒවා පස් නොව හුඹස් මැටි ය. කරත්තේ මාමා උදැල්ලක් ද ගෙන කරත්තයට නැගී, ඒවා බිමට හූරා දැම්මේ ය. බිමට වැටෙන හුඹස් මැටි කඳන් මතින් සිහින් දුඹුරු පැහැ දුමාරයක් මතු වෙයි. සමහර මැටි කුට්ටි ඇතුලත කුහර සුදු පාට ය. අළු පාට ය. ඒ වේයන්ගේ නිවාසවල බිත්ති විය යුතු ය.ආවාට වඩා සැහැල්ලුවෙන් එක තැන කැරකී හැරවුනු කරත්තය මැටි ගොඩ පියමං කරද්දී ම අපි තුන් දෙනාගේ ලොකු ම රාජකාරිය වූයේ මේ ගොඩෙන් හුඹස් මැටි කුට්ටි දෙක තුනක් ලබා ගැනීම ය. ..!

තාත්තා සමග අයියාත් මාත් ලොකු තාත්තලාගේ ගෙදර දෙසට යන්නට සූදානම් වූයේ අමු ගොම රැගෙන ඒම සඳහා ය. තාත්තා වීල්බැරෝව තල්ලු කරගෙන ඉස්සර විය. අයියාත් මාත් උදලු දෙකක් කර මත තබාගෙන තාත්තා පිටුපසින් ගමන් ඇරමුවෙමු. ඩෝමැට්‍රිය පසු කොට, හොල්මන් ගල අසළින් මහ පාරට වැටුණු විට, අයියා වීල් බැරෝව තල්ලු කරගෙන යාමේ අයිතිය ලබා ගත්තේ ය. තම උදැල්ල ද වීලි බැරෝවට දමාගත් අයියා වීල් බැරෝව තල්ලු කරන්නට පටන් ගත් විට එහි සිටුවන කකුල් දෙක පොලොවේ වැදී රළු හඬක් නැගුවේ ය. තාත්තා සිනා සුනේ ය. “හා හා දෙන්නම නැගපල්ල...“ තාත්තා කියා අවසන් කරන්නටත් පළමු ව, මම විල්බැරෝවට නැග්ගෙමි. අය්යා වීල් බැරෝවේ රෝදය සවිකොට ඇති කවාකාර යකඩ පොල්ල දෙපසින් කකුල් තබාගෙන එහි ඉදිරිපසින් ම වාඩි උනේ ය. තාත්තා අප දෙදෙනා ම පටවාගත් වීල් බැරෝව තල්ලු කරගෙන ගියේ ඉතා ම පහසුවෙනි.

හරක් 25ක් 30ක් පමණ සිටින ලොකු තාත්තාගේ හරක් පට්ටියෙන් ගොම ගොඩක් එකතු කිරීම එතරම් අමාරු දෙයක් නොවේ. වීල් බැරෝවට ගොම පැටවූයේ අයියාත් මාත් ය. බිම පෑගෙන ඇඟිලි කරු අතරින් පණින හරක් හුජ්ජ සමග කවලම් වූ අමු ගොම අමුතුම සැරකින් නහය පසා කරගෙන යයි. සමහර ගොම තැම්බවල් හරියට බිම වැටුණු ඔටුණු වගේ ය. සමහර ඒවා ගුලි ගුලි ය. සමහරක් ඒවා දියාරු ය. අතරින් පතර, කොළ පාට නැති ගුඑු පාට ගොම්බෙටි ද තිබේ. ඒ අතරේ වැස්සියක් කිසිදු ලැජ්ජාවකින් තොර ව වළිගය ඔසවා “චොර චොර“ ගාමින් ලොකු හුජ්ජ ඇල්ලක් ම බිමට වගුරවයි. ඒවා හරි උණුසුම් ය. ඇඟට නොවැටුනත් හීන් දුමක් ද සහිත ව වැගිරෙන ඒවායේ උණුසුම අපට පෙනෙයි. ඒ හුජ්ජ පාරට සිය හොම්බ අල්ලන නාඹ වස්සෙක් ලොඹු කට දෙපැත්තට මාරු කරමින්, ඉදිරියට දිගු කොට අමුතු තාලයකට “බූඌඌ..“ කියයි. වීල් බැරෝ තට්ටුව පිරෙන්නට ගොම පැටවූ වීල් බැරෝව ආම්බාං කරන්නට අපට බැරි ය. තාත්තා එහි අත් අඬු දෙකින් අල්ලාගෙන තල්ලු කරගෙන හරක් කොටුවෙන් එළියට එන විට ම ලොකු අම්මා ප්‍රාදූර්භූත වෙයි.

“ගුණතිලකයිය එනව ඔය ළමයි එක්ක තේ ටිකක් බීල යන්න..“ ඈ කියන්නේ අනාඥා ස්වරූපයෙනි. ඒ ඇසිල්ලෙන් වසන්තයියා ද අනිල් අයියා ද එළියට පනියි. තේ වත්කරන තුරු ඉතිං අපට රජ මගුල් ය...!

දෙවෙනි විඩේට වීල් බැරෝව සමග යන්නේ අයියා සහ පාලිත ය. ගොම තැවරුනු වීල්බැරෝ තට්ටුව මතින් ගෝණි පඩංගුවක් දමන්නේ ඉස්සලේලා මෙන් ම දැන් යන අයට වාඩි වන්නට ය..!

වට දෙකකින් ගෙනා ගොම ගොඩ තරමක් විසාල ය. බිම දැමූ ඒ මතින් පරණ පැදුරු කඩ මාල්ලක් දමා වසන්නෙ චන්ඩ හිරු රැසින් එය වියළී යාම වළක්වන්නට ය. තාත්තා සරම අමුඩයක්මෙන් ගසාගෙන තරමක් වළක් කපමින් සිටියි. සවස් යාමය වන විට ගොම ගොඩ වටා තවත් අමුත්තන් රාශියක් පිරී සිටියි. ලොකු හඬක් නගමින් පියා සලන නිල මැස්සන් ද, නිල් පාට, කලු පාට කුරුමිණි වර්ග දෙක තුනක් ද ඒ අතර වෙයි.

ඊටත් වඩා අරුමය වන්නේ ගොමවලින් බෝල සාදා ඒවා පස්සෙන් පස්සට තල්ලු කරගෙන යන ගොම කුරුමිණියන් ය. රබර් ඇටයක් තරම් විශාල උන්ගේ හිසේ ලොකු අඟක් ද තිබේ. කකුල්වල කටු කටු ය. නිල් පාටට දිළිසෙන පිට උඩ කට්ට දෙපසට විහිදා ඌ ඒ තුලින් ළා පැහැ තටු යුගලක් එලියට ගනියි. ඒ ගත් සැණින් ම යළි අකුලා ගනියි. ඉන් පසු සිය අත් දෙකෙන් ගොම තලියක් ගෙන බිම තබා රෝල් කරයි. එවිට එය කුඩා බෝලයක් වෙයි. ඉන්පසු ඒ මතට නැග ටික වේලාවක් සිටියි. ඉන්පසු එතැනට පියඹා එන තවත් එවැනි ම කුරුමිණියෙක් ඒ මත මඳ වේලාවක් නැවතී සිටියි. බන්පසු දෙනො ම එකතු වී මේ ගොම බෝලය මත තව තවත් ගොම අතුරා බිම දිගේ තල්ලු කරයි. ටික වේලාවකින් එය තරමක් විශාල ගොම බෝලයකි. ඒ වටා වැලි කැට ද ඇලී තිබෙයි. ඉන් පසු මේ කුරුමිණි දෙමාල්ලෝ ම එකතු වී මේ ගොම බෝලය තල්ලු කරගෙන යන්නට පටන් ගනී. උන් ගොම බෝලය තල්ලු කරන්නේ පස්සෙන් පස්සට ය. ඔලුව බිම පැත්තට තබා අත් දෙකෙන් වෙර ගන්නා අතර, පසු පාද දෙක ගොම බෝලය මත තබා මාරුවෙන් මාරුවට තල්ලු කරයි. ඔවුන් එය ලොකු වේගයකින් තල්ලු කරගෙන යන නමුත් අපි ඒවා කෝටුවකින් එහා මෙහා කරන්නෙමු. ඒ ගැන කිසිදු වගක් නොගන්නා උන් ඒවා නිශ්චිත දිශාවකින් තොර ව තල්ලු කරගෙන ගොස් අපේ දෑස් සීමාවෙන් වසන් වෙයි.

Share/Bookmark

18 comments:

  1. ඔබේ අපූරු කතා වියමන තුලින් වෙනදා වගේම වින්දනයක් ලැබුවා. කුරුමිණි ගොම බෝල තල්ලු කරන් යනවා ඕන තරම් බලා ඉඳල තියනවා. මෙහෙම ලස්සනක් දැකලා නැහැ. 'අරයා ' ඔලුව වනන හැටි උනත් ....

    ReplyDelete
  2. ගොම ගැනත්, මැටි ගැනත් මෙච්චර රසවත් විස්තරයක් කොහේවත් කියවලා නෑ. ගොම ගැන කරලා තියෙන විස්තරේ මැවිලා පේනවා. ඒ උඩින් ඇවිදගෙන ගියා වගේ. ඒ හැඟීම්, සුවඳවල් දැනෙන හැටියට ඔබ ලියලා තියෙන හැටි හරිම අපූරුයි.

    ReplyDelete
  3. කුරුමිණි ගොම බෝල තල්ලු කරන් යනඑක ගැණ සුනිල් සාන්ත ගේ හඳපානේ සින්දුවේ තියෙනවා නේද?

    ReplyDelete
  4. රස අතීතයක් තිබීම වාසනාවකි. ඒ රස අතීතයේ රස බෙදාගැනීම පිනකි.

    ReplyDelete
  5. //ඡායාරූප ශිල්පය සහ පරිගනක මෘදුකාංග ගැන තාක්ෂණික පොත් //හැරෙන්නට ගම සහ අනිත් අත්දැකීම් ගැන පොතක් ලියන්න අදහසක් නැද්ද? මං කියවල තියන ඒවගේ ලියවීම් හොඳම කීපය අතරට එයි

    ReplyDelete
    Replies
    1. පොටෝ ගහන හැටි උගන්වන පොතක පෙරවදනේ මේ කතාව බොහොම පොඩ්ඩක් තිබුනා. ඊට අවුරුදු ගානකට පස්සේ ඒ කියන්නෙ මීට අවුරුදු තුනකට විතර කලින් සර් ව facebook එකෙන් හඳුනාගත්තට පස්සෙ මම මුලින්ම ඇහැව්වෙත් ඔය කතාවමයි. එතකොට සර් නියම කතාවක් කිව්වා. බලමු සර්ට ඒ කතාව තාමත් මතකද කියලා.

      Delete
    2. මේ වගේ කතා හරියට රස විඳීමට එකතුවක් ලෙස පල කල යුතුය. (පෞද්ගලික preference එකක් - බ්ලොග් පහත් කිරීමක් අදහස් නොකෙරේ) -

      Delete
  6. අද මාතෘකාව "ගොම මැටි ගෙන ඒම" ය
    මුල ඉඳන් අගට කලබලේ කියෙව්වොත් ඇත්තේ "ගොම මැටි ගෙන ඒම" පමණිමය!
    පරිස්සමින් කියෙව්වොත් ලේඛකයා අසුවේ!!
    බොහෝ පරිස්සමින් කියෙව්වොත් චිත්‍ර ශිල්පියා අසුවේ!!!
    දැකීමත්, ලිවීමත්, ඇඳීමත් එකට පිහිටීම එක වාසනාවකි

    ReplyDelete
    Replies
    1. තිස්සගේ මේ කමෙන්ට් එක හරිම ගැඹුරුයි! කතාව ඇත්ත. ඒ නිසාම ආපහු හෙමින් කියවලා චිත්‍රයකුත් දැක්කා.

      Delete
  7. ගොම ගොඩක් පෑගෙනවා කියන එක කිසිම කෙනෙකුට සුන්දර අත් දැකීමක් නොවේ අනික අනික ගව මුට්ඨාර වල කුඉලය එච්චර සුන්දර ටොපික් එකක් නොවේ අඩුම තරමේ මේ වැස්සේ මැද ගොඩක් උඩින් සෙරෙප්පු දෙකක් නැතුව යන එකත් එච්චර සුන්දර අත්දැකීමක් නොවේ .
    නමුත් අරුමය නම් ලේඛකයාගේ බස සහ බස හැසිරවීමේ ප්‍රාගුන්‍යය වේ ලිපිය කියවීමෙන් මා ලද අහ්ලාදය නිසා සිටින මා ගෙරි මුත්රා මුසු ගොම ගුලියක් මිරි මිරියේ මිරිකමි

    ReplyDelete
    Replies
    1. oka thamai ban karume....vidinna thiyanade ubala vage aya widavanava...ubala pauuuu.

      Delete
  8. ගෙබිමට ගොම ගෑමේ අත්දැකීම සුළුවට හරි ලබන්න අපිත් වාසනාවන්ත වුනා. හුඹස් මැටි එකතුකරන්න වේ හුඹස් හොය හොයා ගිය හැටි මතක් වුනා මේකෙන්..

    අපූරු ලිවිල්ලක් තමා...

    ReplyDelete
  9. ථේනුවර මහතානෙනී ! එක හුස්මට දින 2කදී සේරම Blog ටික කියවාගෙන ගියේ ඔබ වට්ටක්කා කෑ තරම්ම පෙරේත කමකින්. කියවන ගමන් ඇඩුවා, සිනාසුනා, අතීතයට දුවගියා ඔබ ලියනවා මවනවා ඒ චිත්‍රය ඒ කථාව දැකීම කියවීම භාග්‍යයක් ඔබට පින් (ඉතිරි කොටස් එනතුරු මගබලා ඉදිමි)

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. චිත්‍රයක් වගේ ලියවිල්ලක්...

    ReplyDelete
  12. මට මතක් වුණේ කුඩා කාලේ ක්‍රිකට් පිච් එකක් හදන්න හුඹස් මැටි ගෙනැවිත් හලපු වෙලාවේ ඇති වෙච්ච දුමාරයයි. අනික් එක අර කුරුමිණි ගොම බෝල එක්ක කරන සෙල්ලම. ඒ එක්කම එම්. එස්. ප්‍රනාන්දු මහතාගේ බෝල බෝල මැටි එක-එක ගෙනෙනවා ගීතය. හරියට රස වින්ඳා මේ සටහන. සමහරවිට අපිත් මේ වගේ අත්දැකීම් ලැබූ නිසා වන්නට පුළුවන්.

    ReplyDelete
  13. මුළු කතාව පුරාවටම තියෙන්නේ හුඹස් මැටි ගෙනාපු එකයි, ගොම ගෙනාපු එකයි විතරයි.
    ඒත් ඒ ඇතුලේ තියෙන පුංචි පුංචි කතා ගොන්න මොන තරම් ලස්සනද.
    හරිම අපුරු ලිවීමේ හැකියාවක්.
    අරයා ඔලුව වනපු එක මැවිලා පෙනුනා... ඉස්සර අපේ ගෙදරටත් ගල්, සිමෙන්ති, දර එහෙම අරගෙන එනවා මේ විදිහට
    හැබැයි ඒ එකක්වත් මේ තරම් ලස්සනට දැනුනේ නැහැ

    මේ කතා ටිකයි ජීවිතේ දුෂ්කර අවධියේ අනිත් කතා ඔක්කොමයි එකට එකතු කරලා පොතක් විදිහට ගැහුවනම් බ්ලොග් බලන අපිට විතරක් නෙමෙයි, එහෙම බැරි අයටත් මේවා කියවන්න පුළුවන් වේවි නේද....
    හැබැයි ඒ අතරේ බ්ලොග් එක ලියන එකනම් නතර කරන්න එපා....

    ReplyDelete