Saturday, October 25, 2014

යසවතී නැන්දා.


දවස් දෙක තුනක ඇවෑමෙන් තාත්තාට ලියුමක් ආවේ ය. ඒ කළුතර මයුරා ලොකු අම්මාගෙනි. අපේ ලොකු නංගී හැදුනේ එහේ ය...එකල, මයුරා ලොකු අම්මාට ලොකු නංගීගේ ම වයසේ දුවක් සිටි බව අප අසා ඇත ද කිසි දා ක දැක තිබුනේ නැත. ඈ මංගලා ය. ඈට බාල මල්ලිලා දෙනෙකි. 

(අද මංගලා ගුරුවරියකි. ඈ ගියේ අම්මලාගේ අඩි පාරේම ය. ඈට බාල මල්ලී සේනක අද දන්ත වෛද්‍යවරයෙකි. ඔහු සේවය කරන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ ය. බාල මලයා චන්දන ලූෂන් ලොකු තාත්තා වගේ ම ය. කෙසඟ ය. නිහඬ ය...අද ඔහු ඕස්ට්‍රෙිලියාවේ ස්ථිර පදිංචිකරුවෙකි. මේ ඊයේ පෙරේදා මයුරා ලොකු අම්මා අප අතැර ගිය දා ම ඔහු විදේශ ගත ව සිටියේ ය. එනිසා තව අවුරුදු කාලයකට අපට ඔහු ව දකින්නට නොලැබෙනු ඇත.)

“මොනවද බං මයුර කියල එවල තියෙන්නෙ..?“ අකුරු නොදන්නා ආච්චී, සිය විදුහල්පති පුත්‍රයාගෙන් ලියුම ගැන වග විබාග කරන්නී ය. තාත්තා ආච්චිට ඇසෙන ලෙස ලියුම කියවයි. මට එහි අතරින් පතර පමණක් ඇසෙයි.. “ලූෂන්ගෙ කන්තෝරු පඩියෙනුයි, මට හම්බෙන සොච්චමෙනුයි මේ ඔක්කොම කරන්න බෑ බං. රේණුකා ඉස්කෝලෙ යවන්නෙ හරිම අමාරුවෙං. තිරික්කලේටත් බර ගානක් දෙන්න ඕන....“ ඔන්න ඔය ටිකනං මට කටපාඩං ය...!

තාත්තාත් ආච්චීත් බොහෝ සෙයින් නිහඬ ය...ටිකකින් ආච්චී සිය හඬ අවදි කරන්නී ය. “ඔන්න ඔහෙ උඹට කීයක්හරි යවන්න ඇහැක් ද බං...?“ තාත්තා නිහඬව ම සිටින්නේ කීයක්වත් නැති නිසා වන්නට පුලුවන. 
කීයක් හෝ ඉල්ලාගන්නට එක් එක් තැන්වල ගිය විට ඇසෙන කතා මට ඇසෙන්නට පටන් ගනියි. ලොකු නංගී වෙනුවෙන් කීයක් හෝ යවන්නට තාත්තා යළිත් කාගෙන් හෝ මුදලක් ඉල්ලා ගත යුතු ය.

මහ අමාරු දවස් කිහිපයක් ගෙවී ගිය පසු යළි සෞම්‍ය වුව ද වියළි කාලගුණයක් පැතිරෙන්නට පටන් ගත්තේ ය. නැවත සිසුන් එකා දෙන්නා “සරණ“ වෙත එන්නට පටන් ගත්තේ අලකලංචි සමය නිමා වී යළි ජන ජීවිතය සුපුරුදු වූ නිසා විය යුතු ය. ඒ ආ ගිය එවුන් අතර, අර හොටු පෙත්තී සිටියේ නැත. ඒ ගැන විශේෂයෙන් විමසන්නට මට උවමනාවක් තිබුණේ ද නැත. නමුත් ඈ නොසිටි වගනම් මට දැණුනේ ය.

සති දෙක තුනක ඇවෑමෙන් තාත්තා කොළඹ යන්නට සූදානම් උනේ ය. ඒ යන්නේ ලොකු අම්මලා සෙවණේ වැඩෙන, ලොකු නංගීත්, පොඩි නංගීත්, හිච්චි මල්ලීත් බලන්නට ය. කොළඹ කීවාට ඒ ගමන කළුතර, ගාල්ල සහ අහංගම - තිත්තගල්ල දක්වා දුර ය. තාත්තා මේ ගමන යන්නට අයියාව ද සූදානම් කර ගත්තේ ය. 

ගමන යන්නට ඒ තරම් ලොකු ලක ලැහැස්තියක් නොතිබුණ ද මේ දීර්ඝ ගමන යන්නේ මඩකලපුවේ සිට කෝච්චියෙන් බවත්, එතැනින් පසු බස්වලින් බවත් දැන ගත් විට මට ද එවන් ගමනකට මහා ආසාවක් ඇති උනේ ය.  කෝච්චියක් දෑසින් දැක නොතිබුණ ද අපි තුන්දෙනා දවසක් ම කෝච්චි පැද්දෙමු. තාත්තා දිග හැරි අල්ලේ මහපටැඟිල්ලත් දබරැඟිල්ලත් අතර සම් කොටසට උල් කළ කටින් සුළං පිඹිමින් කෝච්චියේ හඬ සහ එහි නලා හඬ අනුකරණය කරයි. “හූඌඌඌ...කුෂු කුෂු කුෂු කුෂු...හූඌඌඌ.......“ ඉන්පසු අත් දෙකෙන් මාරුවෙන් මාරුවට පපුවටත් බඩටත් තට්ටු කරමින් තාලයට හඬ නංවයි.. පළමු ව වමතින් බඩට තට්වු කොට, එසැණින් දකුණතින් පපුවට තට්ටුවක් දමයි. නැවත වම් අත පපුවට තට්ටුව දමන්නා හා ම දකුණත බඩට වදියි... අතර මැද දී යළි කෝච්චිය නලාව ද හඬවයි. ඒ “උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක...“ කියන කෝච්චියේ හඬ ම ය...!! තාත්තා එසේ කරන ගමන් ම අපටත් එය තාලයට කරන හැටි කියා දෙයි....අයියා එංජිම ය.. හඬ නංවන්නේ ද, නලා හඬවන්නේ ද අයියා ය.. අපි දෙන්නා පෙට්ටි දෙක ය....!!

තාත්තා ගමන පිටත් වන්නට පෙර ආච්චී ලොකු තාත්තලාගේ ගෙදර ගියා ය. තාත්තා අප තිදෙනාව ම රැගෙන බයිසිකලයෙන් ගියේ යසවතී නැන්දලාගේ ගෙදරට ය. ආච්චී ඈ හඳුන්වන්නේ යසෝතී කියා ය. ඈ කළු සිහින්දෑරි කාන්තාවකි. ඉතා ම ළඟ ඥාතිත්වයක් හිමි ඈ විවාහ වී සිටියේ අති දක්ෂ වඩු කාර්මිකයකු හා සමග ය. මාමාගේ නම මගේ මතකයට එන්නේ නැති නමුත් හේ ඉතා හීන් හඬින් කතා කරන, අතිශය කුලුපග, ඉතා පැහැපත් මනුස්සයෙකි. ඔහුගේ ඉස කේ ඊටත් වඩා සුදු ය. කකුල් දෙකේ ම දණිස්සෙන් පහළ කොටස දැඩි දදයකින් කළු පැහැ ගැන්වී, කබොලු පිරී තිබුණේ ය. අප දන්නා කාලයේ පටන් ම ඔහු එයින් පීඩා විඳි බව අපට යාන්තම් මතක ඇත්තේ මාකට් ගිය සමහර දිනෙක තාත්තා අප ව යසවතී නැන්දලාගේ ගෙදර එක්කන් ගිය නිසා ය. මාමා රැකියාව කළේ අම්පාර සෝමිල් එකේ හෙවත් රජයේ වඩු කර්මාන්ත ශාලාවේ ය. ඔවුන්ට දරුවන් දෙනෙකු සිටි අතර, ඒ අයියලා දෙදෙනාගෙන් මට මතක සුනන්දයියා පමණ ය. හේ අතිශයින් කඩවසම් ය. කතාවට ද ඉතා දක්ෂ ය. අත් දෙකින් පමණක් නොව හේ ඇස් දෙකෙන් ද කතා කරයි. ඒ කතා අසා සිටින්නට හරි මනාප ය. මේ අයියලා දෙන්නා ම ගියේ අම්පාර සෙන්ට්‍රල් එක හෙවත්, මධ්‍ය මහා විද්‍යාලයට ය. පසු ව ඔහු හිඟුරානේ සීනි කරමාන්ත ශාලාවේ රැකියාව කළ බව මට හොඳින් ම මතක ය.  ඒ ඔහු දවසක් අප ව එය නරඹන්නට එක්කාගෙන ගිය නිසා ය.

සුනන්දයියාගේ සුන්දර කතා විලාසයත්, මාමාගේ විස්කිරිඤ්ඤා සංග්‍රහයත්, නැන්දාගේ හකුරු සමග රස තේ එකත් නිසා අප සැම යසවතී නැන්දාගේ ගෙදර යන්නට හරි කැමති ය. තාත්තලා කොළඹ යද්දී, පාලිතත් මාත් දෙදෙනා නවතින්නේ එහේ බව දැනුනු විට මගේ ඉහේ මල් පිපුණු වග නැවත් කියන්නට ඇවැසි නැත්තේම ය....!!

(1971 අප්‍රේල් මාසයෙන් පසු අප කිසිවෙක් ම සුනන්දයියා දුටුවේ නැත. 71 ජවිපෙ කැරැල්ල අසාර්ථක වී, ඊට දායක වූ බොහෝ අය මිය පරලොව ගිය අතර, තවත් විශාල පිරිසක් හිරගෙවල් ගානේ ලැග්ග බව ඇසුවත්, කැරැල්ලේ තුන් වන සැකකාරයා ? වූ සුනන්දයියා ගැන අංශු මාත්‍ර බිඳක ආරංචියක් අප කිසිවකුටත් ලැබුනේ නැත.. අදටත් මගේ “මල්ලියෙ කොහේ කොතැනක නුඹ..“ නම් වූ ඡායාරූපය දකින හැම වාරයක ම මගේ මතකයට පළමුවෙන් ම පිවිසෙන්නේ ද සුනන්දයියා ය..)


Share/Bookmark

6 comments:

  1. "තාත්තාට පියුමක් ආවේය" මෙතන "පියුම" වැරදිලා වැදිලද? නැත්නම් "ලියුමට" "පියුම" කියලත් කියනවද?

    මේ කතා පෙළ හරියට "පවුල් ගහක්" වගේ. පවුලේ අනික් අය මේ කතා කියවනවද? මම ඔය පවුලේ කෙනෙක් නම් මේ කතා ටික එකතු කරලා ඉස්සරහට එන අයට බලන්ට පොතක්ම හදවලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම ටයිප් කරන්නෙ කීබෝඩ් එකේ අකුරු දිහා ව බලාගෙනයි. නමුත් දැන් මගේ කණ්නාඩිය ටිකක් දුර්වල වෙලා, කීබෝඩ් එකත් පැහැදිලි ව නොපෙනෙන සයිස් එකට ඇවිල්ලයි තියෙන්නෙ. ඒ නිසා ළඟ තියෙන අකුරට කෙටෙනවා බොහෝ වෙලාවට.
      අපේ පවුල්වල බොහෝ දෙනෙක් මේ කතාව කියවනව පොඩී....

      Delete
  2. මේ පින්තූරයෙන් මට දැනෙන්නේ යසවතීගේ මනුස්සයාය
    බැනියම පිටින් වැඩකරනා නිසා අත් පලලට නැමූ බිත්තියෙ එල්ලු කමිසය..
    හතරට නැමූ ලී අඩි රූල..
    කනේ ඇති පැන්සල් කොටේ..
    යැතු කැටෙන් ලියැවී එන ලී කුරුට්ටේ සුවඳ...

    ReplyDelete
  3. පොඩ්ඩි කිවුව වගේ , මේ සේරම එකතු කරලා පොතක් කරන්න. මේ වගේ අව්‍යාජ විදියට ලියවුණ පොත් අඩුයි.

    ReplyDelete
  4. සර් ,
    අපි දවසක යමුකෝ මේ උදවිය හොයාගෙන . සර්ට එහෙම හිතිලා නැද්ද.යසවතී නැන්දගේ පුත්තු හම්බ වෙන්න , යසවතී නැන්දගේ තෙක බොන්න . දවසක යමුකෝ අපි . රට වටේ ඇල දොළවල් පාලම ගස් , පරණ මාලිගා හොයන් ගිය අපිට මේක කජ්ජක්ද සර්.

    ReplyDelete
  5. වෙනදා වගේම අදත් ලස්සනට අතීතය අකුරු කරලා තියෙනවා
    දැන් ඉස්සරට වඩා ටිකක් ඉක්මනට පෝස්ට් වැටෙනවා. ඒ ගැන පැසසුම.

    ReplyDelete