Monday, October 6, 2014

ගොම මැටි ගෑම


තාත්තා උදෙන් ම ගොස් කොහෙන්දෝ ලොකු බාල්දි දෙකක් රැගෙන ආවේ ය. එවා මගේ ඉනටත් වඩා උස ය....! ඉන්පසු තවත් බාල්දි දෙකක් රැගෙන ඩෝමැට්‍රියට ගොස් වරින් වර වතුර ගෙනැවිත් අර බාල්දි දෙකට පිරවූවේ ය. අයියාත් මාත් පොඩි ඇලුමිනියම් භාජන දෙකකට වතුර පුරවාගෙන විත් අර බාල්දියට ම එකතු කළෙමු. ඉන්පසු උදේ කෑමට සාදා තිබූ රොටි කෑවෙමු. ඊට පසු අප සියල්ලෝ ම එක් ව සාලයේ තිබුනු සියලු ම පුටු බංකු එළියට ඇද්දෙමු. ඉන්පසු තාත්තා සාලය පුරා තිබුනු වළවල්වලට මැටි දමමින් තලා මට්ටම කළේ ය.  තාත්තා සිරිත් පරිදි මහ වැඩකට සූදානම් වද්දී අඳින පරණ සරම් කඩ මාල්ල ඇඳ ගත්තේ ඊටත් පසුව ය.

අර ගෙනා ගොම කන්දට සහ හුඹස් මැටි කන්දට ද පැවරුණු කිසියම් රාජකාරියක් තිබේ. එය තනියම ඔවුන්ට ඉටු කළ නොහැකි ය. කළින් දා කැපූ වලට තාත්තා මුලින් ම කලේ හුඹස් මැටි මහ ගොඩක් දැමීම ය. ඊට පසු පරණ මෝල් ගසක් වැනි ලොකු ලීයකින් ඒවාට අනිමින් කුඩු කළේ ය. ඒ කුඩු කරන විට දුඹුරු පාට දුමාරයක් ද පුස් ගඳින් යුත් සිහින් සුදු දුමාරයක් ද ඉන් පැන නැංගේ ය. දුඹුරු පාට දුමාරය බර නිසාදෝ වැඩිය ඉහළට නොනැග, වළ ඇත්ලේ ම කරකැවුනේ ය. නමුත් සුදු දුම වළෙන් උඩට ද මතු ව වටපිට බලා සැනෙන් නොපෙනී ගියේ ය...

ඉන්පසු වසා තිබුණු ගොම කන්ද අරින ලදී. අද එය ඊයේ මෙන් දීප්තිමත් වර්ණයෙන් දිදුලන්නේ නැත. තරමක් අව පැහැ ගැන්ව ඇත්තා පමණක් නොව ඉන් හමන කුයිලය ද ඊයේට වඩා සැර ය.. ළඟට ගිය විට පොඩි උණුසුමක් ද දැනෙයි. තාත්තා උදැල්ල ගෙන ගොම කන්දට කොටන විට බොල් හඬක් නැගුණු අතර,  එයින් ද හුමාලයක් අහසට නැංගේ ය. තාත්තා උදැල්ලට පුරවාගත් ලොකු ගොම තලි කිහිපයක් ම අර වළට දැම්මේ ය. උදැල්ලෙන් කොටන වාරයක් පාසා ඉන් කතුරුමිණියන් ද නිල මැස්සන් ද අහසට නැගුනේ බණින්නා වැනි ලොකු සද්ද ද මතු කරමිනි..!!

ඉන්පසු තාත්තා ලොකු බාල්දියෙන් මහ වතුර කඳක් වළට හැලුවේ ය. ගොජ ගොජ ගාමින් වතුර හැළෙන විට යළිත් ඉන් දුමාරය වළල්ලක් කරකැවෙමින් මතු වී නොපෙනී ගියේ ය. ඊට පසු තාත්තා ද අර වළට බැස්සේ ය...!! උදැල්ල වළ ගැට්ටේ තබා ඊට වාරු වී තාත්තා දෙකකුළින් අර ගොම සහ හුඹස් මැටි පාගමින් කළවම් කරන ආකාරය මට ඊරිසියා දනවන කාර්යයක් විය.  කොළ පාට ගොම සහ දුඹුරු පාට හුඹස් මැටි කවලම් ව හැදුනේ අමුතු ම වර්ණයකි. එයින් තාත්තාගේ දණිස් දෙක දක්වා ම වර්ණ ගැන්වී තිබුණි.

වළෙන් ගොඩ ආ තාත්තා ලොකු කූඩයකට මේ මිශ්‍රණය දමාගෙන ගොස් සාලය මැද්දෑවේ හැලුවේ ය. එවිට ඉන් නැගුනේ ද හරකා ගොම තළියක් දමන හඬ ම තරමක් ලොකුවට ය. බිමට වැටුණු මිශ්‍රණයද හරියට ම අලි ගොම තැම්බක් පමණ විසල් ව බිමට වැටී තිබුණේ ය.  තාත්තා මෙසේ සාලය පුරා දෙතුන් පළකට ම ගොම මැටි මිශ්‍රණය දැම්මේ ය. ඊට පසු දණ බිම තබා අතින් ලොකු තලියක් ගෙන එය බිම පුරා ඇතිල්ලුවේ වක්‍රාකාර රටාවකට ය. එක පැත්තක සිට ගොමමැටි තළියක් ගෙන එය දිග හැරි අල්ලෙන් බිම අතුල්ලනු ලබයි. අවසන් තැන දී අත ඔසවා බිමට තට්ටු කරන්නේ “තහ්“ හඬක් නගමිනි. ඒ සමග යළිත් ගොම්මැටි තළියක් ගෙන ඊට මඳක් එහාට ගොස් යළි බිම මත වක්‍ර රටාවක් අඳින්නේ මුල් එක ඡේදනය වන පරිදි ය.

තාත්තා ගොම මැටි ගානා අතරේ මම අර වළට පැන්නෙමි. ඉස්සෙල්ලා ම මට “තබග්“ ගා හඬක් ඇසුනේ ය. ඉන්පසු මා මහා නාරාවළක කිඳා බසින්නා මෙන් දැනුනේ ය. ඊටත් පසු වාරු නැති ව ගොස් මා තුන් හතර වරක් අඟර දඟර දැමුනේ ය. යාන්තම් වදෙන් පොරෙන් වළ ගැට්ට අල්ලා ගත් පසු සියල්ල සමනය විය. කකුල් දෙකට දැනුනේ අමුතු ම උණුසුමකි. ගොම ගොඩෙන් නැගුණු නාස් අකුලන කුයිලය දැන් ඉන් හමන්නේ නැත.
ඉන් අමුතු ම නැවුම් සුවඳක් වහණය වෙයි. හරියට සිංහල අවුරුද්දට ගෙනා අලුත් වළඳකට වතුර දැම්ම විට ඉන් නැගෙන්නේ ද මෙවැනි ම නැවුම් සුවඳකැයි මට සිතුණි. වැඩ කරන තාත්තා ගැන මට මතක් වූයේ ඊටත් පසුව ය. වළට බැස්ස ආහ්ලාදය දැන් නැති. මම මහා අසරණ ව වට පිට බැලීමි. අයියා දේවදූතයකු මෙන් සිනා සිසී වළ අසළ ම සිටියේ ය. අත දික්කළ සැණින් ඔහු කිසිවක් නොකියා ම මාව වළෙන් ගොඩට ඇද ගත්තේ ය. ඊට පසු එළැඹෙන්නේ අමාරු ම කාරිය ය...ඒ සාලය මැද්දෙන් ඇවිද යාම ය..

මම බිමට නැමුනු හිසින් යුක්ත ව හෙමි හෙමින් ගාටමින් සාලයට පිළිපන්නෙමි. තාත්තා කරමින් මුන් භාරදූර කාර්යය නිසා එකවර හිස ඔසවා බැලුවේ නැත. නමුත් ඇසිල්ලකින් තාත්තාගේ දෑස් මත මගේ දෑස් පටලැවුනේ ය. මුලින් ම තාත්තාගේ දෙඇස ලොකු විය. කට මොකක්ද විය...එසැණින් “හප්පුච්චි බොලේ..“ කියමින් තාත්තා නළලත අත ගසා ගත්තේ අතේ ගොම බව ද අමතක කරමිනි...!! ඉන් අප දෙදෙනාට පමණක් නොව අයියාට ද සිනා ගියේ ය..!!

තාත්තා ද සිනාසෙමින් යළි සිය කාර්යය ඇරඹුවේ ය. එසැණින් අයියා ද මාද බිම තප්පලං ගහ ගත්තේ තාත්තා මෙන් ම ගොම මැට්ටෙන් ගෙබිම පුරා රටා අඳින්නට ය...!

තාත්තා එක සීරුවට බිම ගොම ගෑවද අපට එය එතරම් සුවපහසු රාජකාරියක් වූයේ නැත. ගොම මැට්ටෙන් පෙඟී බුරුල් ව ඇති අත රළු බිම් පොළොවේ ඇතිල්ලෙන වාරයක් පාසා අතේ සුළැඟිල්ලට හිමි පැත්ත හම යන්නට පටන් ගත්තේ ය. එනිසා ම අපේ රාජකාරි ඉක්මණින් ම අවසන් විය. එහෙත් තාත්තාට අත්වැඩ දීම දිගටම කළේ ද පුපුරු ගසන අතට ද පිඹින අතරවාරයේ ය.

දහවල් බතට සූදානම් වන විට මුලු සාලයම සහ අප නිදන කොටසේ ද බිම පුරා රටා ඇඳ අවසන් කරන්නට තාත්තාට හැකි විය. ඉන්පසු අපි තුන් හතර දෙනා ම බයිසිකලයේ නැඟී ඇලට ගොස් නාකියාගෙන ආවෙමු. ඒ එන විට හත් දවසතික් තෑවේ නැති සේ මහා බඩ ගින්නක් ඇවිලෙමින් තිබුණේ ය. ගෙට ආ විගස ආච්චි විසින් උයා, බෙදා තිබූ පත් පිඟාන කටට දෙකට අවසන් කළේ ගොම මැට්ටෙන් එන අමුතු නැවුම් සුවඳ ද කළවමේ විඳිමිනි.

හුස්මක් කටක් ගත් සැණින් අපට තව මහ වැඩක් ඉතිරි ව තිබිණි. ඒ හුඹස් මැට්ටෙන් මූර්ති ඇඹීම ය..

වතුර දමා අනාගත් හුඹස් මැට්ට අතිශයින් සුමට ය. බුරුල් ය පදම් ය. ඉන් අපට ඇවැසි සේ පිළිම නෙලන්නට හැකි ය. මම මුලින් ම හැදුවේ බිම වාඩි වී සිටින සිංහයෙකි. කුඩා ලී පතුරු පිහියෙන් ගා එක එක ප්‍රමාණයේ තල සාදා ගත්තේ ද අයියා සහ මා ය. ඒවායින් අපට ඉතා සුරුවම් ලෙස හැඩ බේරා මූර්ති නෙළන්නට හැකි ය. නොකැඩී කෙළින් තිබූ බිත්ති කණ්ඩිය මත අයියාත් මාත් පාලිතත් ඇඹූ පිළිම ද, සත්තු ද, නෙක නෙක අමුර්ත රූප ද පෙළට තැබුවෙමු. ගොම්මං අඳුර ගාල් වෙද්දී යළි අපි ඩෝමැට්‍රියට ගොස් මඩ සෝදාගෙන පැමිණියෙමු. කොතරම් සේදුවද අප හැමගෙන් ම අමු ගොම ද, හුඹස් මැට්ට ද කළවම් වූ අමුතු සුවඳක් වහනය වෙමින් තිබුණේ ය.

අඳුර පැතිරෙත් ම ඒ අඳුර කපාගෙන පැට්‍රෝල් මැක්ස් ලාම්පුවේ එළිය අප නහවන්නට පටන් ගත්තේ ය. තාත්තා එස්රාජය ද ගෙන බිත්ති කණ්ඩිය මත වාඩි වූයේ අපේ පිළිමවලට කිසිදු කරදරයක් අලකලංචියක් නොවන සේ ය...දුම්මල කැටය මත දෙතුන් වරත් බෝ එක අතුල්ලා, ඇඟිල්ලෙන් තත් කිහිපයක් ඇද, ඉන් නැගෙන හඬට අනුව කටින් “හ්ම්ම්..“ කියමින් මඳ වේලාවක් සුසර වූ තාත්තා ‘මන්ද්‍ර ම‘ ස්වරය සහිත යමන් කල්‍යාන් රාගයෙන් භජන් ගීයක් ගායනා කළේ ය.

මොකක්දෝ කියා නිනව්වක් නැතත් ජීවිතයේ අලුත් පිටුවක් පෙරැලෙන්නේ යැයි මට සිතුනේ ය. ඒ සිතිවිල්ල ඇති වි නැති වී යන අල්ල පනල්ලේ ම රාත්‍රිය අප වැළැඳ ගනිමින් සිටියේ ය.

Share/Bookmark

12 comments:

  1. ප්‍රස්න කියන්නෙ ජීවිතේ කියල, ප්‍රස්න තියෙන කාලෙට මට නොහිතෙන එක ගැන හොයා බලන්න ඕන!

    ReplyDelete
  2. මෙය කියවා දැනෙන්නේ මහත් ඉරිසියාවකි. මේ අත්දැකීම් මට නැත. යලි කෙදිනකවත් - මතු ආත්මයක වත් විඳින්නට හැකි වේද නොදනිමි. එහෙයින් අඩු තරමින් මෙසේ අත් විඳින්නට සැලසීම මහත් පිනකි. මන්ද එය අත්දැකීමක් තරමටම ප්‍රබල බැවිනි.

    ReplyDelete
  3. ගමේ ගොඩේ සිදු කෙරුනා වූ බොහෝ දේවල් මම දැන්ගෙන සිටියෙමි .අඩුම තරමින් කියවා තිබුනෙමි . නමුත් ගොම් මැටිගෑම ගැන හරියාකාර විස්තරයක් නොදැන සිටියෙමි . මෙලෙස චමත්කාර ජනක ලෙස කල විස්තරක් කියවාද නොතිබුනෙමි . මෙය නම් සැබවින්ම අපූරු ලියැවිල්ලකි .ඒ සියලු අසීරු කාර්‍යයන්හි නියැලීත් හවසට සංගීතය කෙරෙහි සිත යොමා ජීවිතය දෙස සැහැල්ලුවෙන් බලා ඇති ඔබේ පියා කෙතරම් නම් අපූර්ව පුද්ගලයෙක්ද - - - - ???? චිත්‍ර , ජායාරූප ආදියේදී ඔබ පෙන්නුම් කරන්නාවූ අපූරු නිර්මාණශීලීත්වයටත් , අද දින මුර්ති ශිල්පයේ කෙල පමිණියෙකු ලෙස ප්‍රසිද්ධවී ඇති ඔබේ වැඩිමහල් සොහොයුරාට ඒ සඳහාත් නොදැනුවත්ව හෝ ඔබේ පියා මුල් අත් පොත තබා ඇති ආකාරය කෙතරම් නම්විශ්මය ජනකද - - - - - ????

    ReplyDelete
  4. sorry for the typo!!!!

    tks buddy!

    ReplyDelete
  5. කතාවේ මුල හරිය කියවද්දී පුංචි කාලේ බිමක ගොමමැටි ගානවා දවසක්ම බලන් හිටිය හැටි මතක් උනා.. ඒත් එදාට වඩා රහට. අන්තිම හරියේදී little house කතා මාලාවේ ලෝරාගේ තාත්ත මතක් උනා. (මීට කලිනුත් කව්රුහරි මේක කියල තිබුන) ඇමෙරිකාවේ වුනු දේම වෙන රටාවකට මෙහෙ සිදුවෙලා. කතාව වෙනද වගේම අනර්ඝයි.
    අලුත් පිටුව පෙරලෙන තුරු බලා ඉන්නවා.

    ReplyDelete
  6. ගොම මැටි ගෑම ගැන අද්දැකීම් අල්පයි. මම පොඩිම කාලේ සීයලාගේ ගෙදරට ගොම මැටි ගානවා දැකලා තියෙනවා. ඒත් ඒවා මිශ්‍ර කරන හැටි වගේ ඊට කලින් රාජකාරි දැනගෙන හිටියේ නෑ.

    ඊලගට පිටුවට යන්න බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  7. ගොම මැටි ගෑම ගැන සම්පූර්ණ දැනුමක් ලැබුවා. :)

    පරණ දේවල් මෙච්චර හොඳට මතක තියෙන්නේ කොහොමද?

    ReplyDelete
  8. අපූරු අත්දැකීම්!! හංවැල්ලේ තාත්තාගේ ගම මතක් වුනා. මම ඒ ගොම මැටි සුවඳට හරිම කැමතියි. බ්ලොග්ස් වලට නෑවිත් හිටිය මාස කීපයට ඉන්ද්‍රනාථ ආපහු ලියන්න පටන් අරන්. සතුටුයි. ඒ කොටසුත් කියවන්න ඕන. චන්ද්‍රගුප්ත තේනුවර ආචාර්ය තුමා මේ රටට ඇවිත් පොඩි සාකච්ඡා මංඩපයක් පැවැත්වූ බව පත්තරෙන් දැක්කා ඊයේ පෙරේදා . ඒ වෙනකම් අපි එහෙම දෙයක් තිබෙන බව දැණගෙන හිටියේ නැහැ. ඒ ගැණ දුක්වුනා. සංවිධායකයින් ප්‍රචාරයක් දුන්නා මදිද කොහෙද...කමක් නැහැ යන්න පුළුවන් වුන අය හරි විඳින්න ඇති යමක් ඉගෙනගන්න ඇති.

    ReplyDelete
  9. දියුණුව කියන්නෙ මේ ක්‍රියාකාරකම් වඳ වෙලා යන එකට වෙන්න ඇති.. ජීවිත කාලෙටම හරි යන්න එකම එක පාරක් ගෙට ටයිල් ඇල්ලුවම ජීවිතේ කොච්චර හිස්ද කියලා හිතුනා මේක කියෙව්වම..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,
      ඇත්ත බං. අපි මොනතරම් හිස් ලෝක වලද ඉන්නේ, ජීවිත මොනතරම් හිස්ද...
      ඒ ගැන හිතුවම ඇස්දෙකට කඳුලුත් එනවා

      Delete
  10. ඔබේ අත්දැකීම් සහ මතකය අපිත් එක්ක මේ විදිහට බෙදා ගන්න එක ලොකු දෙයක්...

    අපේ ගෙදරට පහළ තිබ්බ ගොමමැටි ගාපු පුංචි ගෙදරට මගේ පුදුම පෙරේත කමක් තිබුනා
    නියර දිගේ ගිහින් පොඩි කඩුල්ලකින් පැනල යන්න තිබ්බ ඒ ගෙදර පුදුම සිසිලසක් තිබුනේ.

    ReplyDelete