Monday, December 8, 2014

සෝ මිල් එක.


තාත්තාත් අයියාත් කොළඹ ගමන පිටත්ව ගිය දවස් හතර පහේ ම අප- පාලිතත් මාත් සිටියේ යසවතී නැන්දලාගේ ගෙදර ය. මාමා පසුවදා ම අම්පාරේ සෝ මිල් එක පෙන්වන්නට එක්රගෙන ගියේ ය. ඒත් බයිසිකලයකිනි. ඔහුගේ බයිසිකළයේ ලැගේජය මත ලෑල්ලක් සවි කර තිබුණු අතර, මැද පොල්ලේ ද ලීවලින් සෑදූ පොඩි සීට් එකක් තිබුණේ ය.  ඉස්සරහ රෝදය සවි කරන අල්ලු දෙකේ හැඬලය සවි වන තැන හරහට තවත් පොලු කැබලි දෙකක් සවි කර තිබුණේ ඒ මත පය තබාගෙන යනු පිණිස ය. පාලිත මැද පොල්ලේ වාඩි වූ අතර මා වාඩි වූයේ ලැගේජය මත ය.

සෝ මිල් එක හෙවත් රජයේ වඩු කර්මාන්ත ශාලාව පිහිටා තිබුණේ ඉස්පිරිතාලයට යන පාරේ හරස් මගෙක ය. ඒ හැටි දුරක් නොවුණු ඒ දෙසට යන්නට තිබුණේ විසල් පල්ලමකි. සෝ මිල් එක අති විශාල ගොඩනැගිල්ලකි. එහි වහළය ඉතා උස් ය. ඇස්බැස්ටස් තහඩු සෙවිළි කළ එය වටා ද ටකරං තහඩුවලින් වට ව තිබුණේ ය. මෙවැනි ගොඩනැගිලි තුන හතරක්වත් එහි තිබුණු බවක් මට මතක ය. එක් ගොඩනැගිල්ලක උස දුම් කවුළුවක් වූ අතර, එයින් තරමක් ඝණ සුදු දුමාරයක් නැගෙමින් තිබුණේ ය. සෝ මිල් එක දෙසින් නිරන්තරයෙන් ම යන්ත්‍ර ක්‍රියාත්මක වන හඬ නැගුණේ ය.

මාමා අපව එක්කරගෙන ගියේ කාර්යාලයකට ය. එහි සිටි මහත්වරුන් සමග මඳ වේලාවක් සල්ලාපයේ යෙදුණු මාමා එහි ලොකරයකින් සුදු රෙදි ගෙන අපගේ මුහුණු වැසෙන්නට ද ගැට ගැසුවේ ය. ගැට ගැසූ හැටියේ ම හුස්ම ගැනීම තරමක් අපහසු වුව ද, ගැටය අස්සෙන් ඇඟිල්ල දමා බුරුල් කර ගත් විට එය තරමක් පහසු විය. කාර්යාලයේ දී යන්ත්‍ර හඬ ඇසුනේ යන්තමිනි. ඒ එය සහමුලින් ම වැසී තිබුණු නිසා විය යුතු ය. කාර්යාලයේ පිටු පස දොර ඇරිය විගස ම කන් බිහිරි කරවන හඬක් අපට ඇසුණේ ය. ඒ සමග ම නහය පුරා පැතිරුණේ අමු ලී කුඩු සුවඳකි. සෝ මිල් එක ඇතුළට ගිය විට එය කන් බිහිරි කරවන තරම් මහ හඬක් විය. මේ මහා ශාලාව මැද්දේ මිනිසුන් විශාල ගණනක් එක පෙලට සිටිමින් යම් යම් වැඩවල යෙදී සිටියේ ය. එහි සිටි බොහෝ අය රෙදිවලින් නාසයද කටද වසාගෙන සිටියේ අධික ලී කුඩු සුළඟින් වසන් වන්නට විය යුතු ය. මුකවාඩම බැඳී මාමා කියන දේ අපට ඇසුණේ ද යන්තමිනි. කියන්නේ කුමක්දැයි නොතේරුණු විට ඔහුගේ මුහුණ දෙස බැලූව ද කට වැසී තිබෙන නිසා එය ග්‍රහණය කර ගැනීම ද අසීරු ය. 

පළමුවන ශාලාවේ තිබුණේ පුටු හදන අංශයයි. රජයේ සියලු ම කාර්යාල, පාසල් ආදියට පුටු හදන්නේ මෙහි ය. ඒ අතර ම ඇඳි පුටු ද, විසිත්ත කාමර පුටු ද විය. ශාලාවේ කෙළවර උස කන්දක් මෙන් එකම ගණනකට කැපූ ලෑලි ගොඩක් තිබුණේ ය. එයින් ලෑල්ලක් ගන්නා කෙනෙක් ඒ ඉදිරියෙන් තිබෙන මේසය මත තබන විට ම එය ඉදිරියට තල්ලු වී යන්නේ එහි රෝද මගිනි. මෙසේ යන ලෑල්ල ලොකු කැරකෙන කියතකින් පරාල බවට පත් කරන්නට තව දෙතුන් දෙනෙක් සිටියේ ය. මේ දිග පරාල තවත් මේසයකදී එකම ප්‍රමාණයකට කෑලි කැපෙයි. ඒ කෑලි ද නිරන්තරයෙන් දිවෙන පටි මේසය මතින් තල්ලු වී ඉදිරියට යයි. එයින් එක කැබැල්ලක් ගන්නා කෙනෙක් තවත් යන්ත්‍රයකට ඔබයි. එවිට ඒ යන්තරය යටි ගිරියෙන් කෑ ගසන්නට පටන් ගනී. මෙතෙක් ඉද්ද ගැසුවාක් මෙන් කෙළින් තිබූ ලීය දැන් එළියට එන්නේ වක ගැසීගෙන ය. ඒ විසිත්ත කාමර පුටුවේ අත් ඇන්දයි...!

මේ වක් වූ ලීය යන්නේ ඊ ළඟ මේසයට ය. එහි සිටින කෙනෙක් එය ගෙන තවත් යන්තරයක ඉදිරියෙන් තබා වැරෙන් තල්ලු කරයි. එවිට ද ඒ යන්තරයත් මර හඬ නගයි. එයින් එළියට එන ලී පතුර මත අතගා බලන කෙනා එය අනෙක් මේසයට යවයි. ඒ මේසයේ ඇත්තේ හිල් විදින යන්තරයකි. එහි අඬුවකින් අල්ලා පහළට ඇද්ද විට එහි ඇති කටුව කැරකැවෙමින් ලීය තුළට කිඳා බසියි. මෙසේ විදුම් ලැබූ ලීය ඊළඟ මේසය මතට ගිය විට අනෙක් පැත්තෙන් එන තවත් ලීයකට සම්බන්ධ කෙරෙයි. ඒ සඳහා භාවිතා වන්නේ සිහින් ලී කූරු හෙවත් ලී ඇණ ය. මෙසේ මේස දෙක තුනකට මාරු වන විට එය අංග සම්පූර්ණ පුටුවකි. එහි වේවැල් වියන්නේ වෙනම අංශයක ය. ඒ අංශයට යන්නට කළින් මේ පුටු මැද පොලිෂ් කිරීම සිදු වෙයි. එය පොලිෂ් කරන දියරය දුම්මල සුවඳ ය. ලී කුඩු සුවඳ අතරින් දැනෙන ඒ දුම්මල සුවඳ අමුතු ආශ්වාදයක් දනවයි. 

අනෙක් ශාලාවේ තිබුණෙ මේස හදන අංශයයි. එහි නිර්මාණය වන මේසවල එතරම් ලකයක් නැති නිසාවෙන් එහි බලන්නට අලුත් යමක් අපට තිබුණේ නැත. සෙල්ලම් ලී අශ්වයන් හදන අංශයක් ද, බූරු ඇඳන් හදන කොටසක් ද තිබුණු අතර, ඒවායේ සාදා අවසන් කළ අශ්වයන් සහ බූරු ඇඳන් දහස් ගණනක් ගොඩ ගසා තිබුණේ ය. මේ අශ්වයන් වර්ණ ගැන්වූයේ තීන්ත විදින යන්ත්‍රයකිනි. ඒ සඳහා අඩු තරමින් දහ පාළොස් දෙනෙකුවත් සිටිය ුතර, එක් එක්කෙනා ගල්වන්නේ එක් එක් වර්ණ ය. මෙසේ තනි වරණයකින් හැඩ වුණු අශ්වයා ඊ ළඟ මේසයේ දී පුලිල රටාවකින් හැඩ ගැන්වෙයි. අශ්වයාගේ ඇස් අඳින කෙනා එය කරන්නේ ද යන්ත්‍රයක් මෙන් වේගයෙනි. ඒ දෙසනම් බොහෝ වේලාවක් වුව ද බලා සිටින්නට හැකි ය. මෙසේ ඉන්නා අතර තියුණු යන්ත්‍ර හඬ පරදවමින් ලොකු නලා ශබ්දයක් පැතිර ගියේ ය. මේ ශබ්දය අප සිටි සරණ නිවසට ද ඇසෙන නිසා අප වේලාව තක්සේරු කර ගන්නේ ඒ හඬ ඇසුරෙනි. මේ දැන් එළැඹ ඇත්තේ තේ වේලාව ය. නලා හඬ ඇසුනු සැණින් මුලු ශාලාව ම ක්‍රමයෙන් නිහඬ බවට පත් වෙන්නෙ ඉතා ම සුලු කාල පරාසයකිනි. එසැණින් ඇසෙන්නේ අර වැඩ කරමින් සිටි මිනිසුන් රෙදි මුකවාඩම අස්සෙන් නගන කලවම් හඬ ය. මේ ලී අස්සෙන් ලොකු ට්‍රොලියක තබාගෙන තේ ජෝග්ගු ගෙන එන්නේ ද තව දෙදෙනෙකි. මුකවාඩම පහත් කර ගත් මාමා ඔවුන් වෙත ගොස් අපට ද තේ කෝප්ප දෙකක් අරං දුන්නේ ය. තරමක් දැඩි රස්නයකින් යුතු ටිංකිරි දැමූ තේ එක අමෘත රසයක් ගෙන දෙන්නේ මෙවන් තේ අපට ලැබී ඇත්තේ ඉතා ම කලාතුරකින් නිසා ය.

පැය කාලක් ගෙවුණු සැණින් යළිත් අර නලාව නාද වෙයි. එවර එය කලින්ට වඩා මහ හඬකින් ඇසෙන්නේ යන්තර ද විවේක ගන්නා නිසා ය...

මේ විසල් ශාලාවේ එක් පැත්තක තිබුණේ බූරු ඇඳන් මහ ගොඩකි. බූරු ඇඳ යනු අමුතු ම එකකි. එහි කකුල් දෙකක් මත වූ දිගු ලී කඳට ගෝනි පඩංගුවක් සවි කර තිබේ. කකුල් දෙක පළල් කළ විට මේ ගෝණි පඩංගුව කිටි කිටියේ ඇදී සිටියි. එහි කෙනෙකුට සුව සේ නිදා ගත හැකි ය. අම්පාර යනු ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතියේ අග නගරය වූ බැවින්, රට පුරාවෙන් ම පැමිණ සිටි තනිකඩයන්, විවාහකයන් අටෝරාසියකට නිදන්නට වූයේ මේ බූරු ඇඳන් මත ය.
මුලු සෝ මිල් එක පුරා ම සිටි මිනිසුන්ගේ හිස කෙස් ඇහි බැම දුඹුරු පාටට හුරු කහ පාට වී තිබුණේ සියුම් ලී කුඩු නිසා ය. ලී භාණ්ඩ මැද සුමට කරන අංශයේ සිටි අය මා දුටුවේ අමුතු ම මිනිස් කොට්ඨාශයක් ලෙස ය. මන්ද ඔවුන්ගේ දෑස ඇරෙන්නට මුලු සර්වාංගය ම තනිකර ලී කුඩුවලින් වැසී තිබුණු නිසා ය. ඔවුන් හරියට ම කෝලං කාරයන් මෙනි.

හරියටම දවල් දොළහට සම්බුව නාද වන විට මුලු යන්ත්‍රාගාරය ම නිහඬ බවක ගිලී යයි. ඉන් පසු රැල්ලක් මෙන් මින්ස් කටහඬ ඇසෙන්නට පටන් ගනී. දැන් ඔවුන් මේ දිව යන්නේ අත පය සෝදා ගන්නට ය. මාමා අප දෙනො ද සමග විසල් ගොඩනැගිල්ලකට ඇතුලු වෙයි. එහි හැම තැන ම දිහට ඇත්තේ බංකු සහ මේස පෙලකි. ඒ දකින්නටත් පෙර තැම්බුණු මිල්චාට් සහල් දුවඳක් නාසය හරහා ගොස් බිවූ තේ එක අමතක කරවන්නට පටන් ගනියි. මේ කෑම ශාලාව හෙවත් ශෝජනාගාරයයි. එහි එකම මිනිස් කටහඬ ගාලගෝට්ටියකි. හරියට ම ලෝකයේ අන්තිම ආහාර වේල වළඳනවා මෙන් මිනිස්සු ඊස් මීස් නැති ව එහෙ මෙහ යයි. මේසයක් ළඟට බංකුවක් ඇද ලං කර, අපට වාඩි වන්නට කී මාමා, පෝලිමේ ගොස් බත් පිඟන් දෙකක් අපට ගෙනැවිත් දුන්නේ ය...

මිල්චාට් සහල් සුවඳ සමග වූ දියාරු පරිප්පු හොද්ද ද, තවත් මොනවාදෝ එලවලු කිහිපය ද, බත් පිඟාන මැද වූ මාලු කැබැල්ල ද දිව්‍ය ලෝකයකින් ලද මහාර්ඝ වස්තුවක් ලෙසින් මට පෙණුනේ එවන් අහර වේලක් කාලෙකින් රස නොබලා තිබුණු බැවිනි....!!

Share/Bookmark

17 comments:

  1. අදත් රසවත් සටහනක්. මමත් අපේ කොල්ලව හැම තැනම අරගෙන යන්න කැමතියි. ටයර් මාරු කරද්දි, පලවෙනි පාරට හාල් මෝලක් ඇතුලට එක්කගෙන යද්දි වගේ වෙලාවල් වල මිනිහගේ මූණ වෙනස් වුනු හැටියි, තේනුවර කොලුවගේ මූණ වෙනස් වුනු හැටියි එක වගේ තියෙන්න ඇති.

    අර සැප පුටුවේ ඇන්ද නමන්නේ කපලාද, නැත්තම් පීඩනයක් දීලා ලීය නමලාද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බුද්ධි. ලීය නමන හැටිනම් මට අදත් මැජික් එකක්.
      ඒක කරන්නෙ කොහොමද කියල බලන්න දැන් සෝමිල් එක අම්පාරෙ නැහැ. වැඩ කරපු අයත් නැහැනෙ..!!

      Delete
    2. මම හිතන්නෙ රත්වුනු ජල වාශ්පත් සමග පීඩනයක් ලබා දීමෙන් ඕක කරනව ඇති කියලයි.

      Delete
  2. ගොඩක් රසයි බොහොම ස්තුතිය් සර්... මේ අවුරුද්දේ මුල සිත්තර වැඩ වෙනකම් කියවල පිස්සු වැටිලා හිටියේ.. හුග කාලෙකින් කතාවලියවිල නැති නිසා දන්නා කියන අය්යා කෙනෙක් අතේ පෙත්සමකුත් එව්වා... :) ඒත් අද වෙනකම් දන්නේ නැහැ මගේ කතාව අයෙමත් ලියන්න පටන් ගනිපු බව.. බුකියේ ඉහල පහල යද්දී මේක දැක්කම කියාගන්න බැරි සතුටක් දැනුන... අයෙමත් බොහොම ස්තුති සර්...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මං අරූ සහ රවී ට හැමදාම කියනවා ඒගොල්ලන් ලියන දේ පොත්/පොතක් ලෙස පිට කරන්න කියල. ඒ අයගේ පෝස්ට් ටිකක් වෙනස් කරල හදල තමයි පොත් කරන්න වෙන්නෙ. මෙතන පෝස්ට් කෙලින්ම පොතකට දාන්න පුලුවන්

    ReplyDelete
  5. බුකියේ ලින්ක් එක දැක්ක ගමන් බලන්නත් හදලා.. හිටියේ පට්ට බඩගින්නේ උදේටත් නොකා හින්දත්.. කෑම වේලක වරුණාවක් එතනම පේන්න තිබුන හින්දත් බඩ ගින්නේ මේක බැලිල්ල දුකට හේතුවක් වෙයි කියලා හිතලා මුලින්ම කලේ කුස්සියට ගෙහුන් බත් ඩිංගක් රත් කරගත්ත එක.. ඔන්න දැන් මාත් උණු උණු පරිප්පු හොද්දක් එක්කලා මිරිසට උයා ගත්ත සැමන් හොද්දක් එක්ක බත් ගිලින ගමන් මේක බලලා ඉවර කලා... :D

    පොඩි කාලේ සිරිපාල බාසුන්නැහේගේ වඩු මඩුවට තාත්තා එක්ක ගිය ගමන මතක් උනා.. අපිනං එදා ආවේ ලී කුඩු නාලා විතරක් නෙවෙයි කැපිච්ච ලි පටි තොගයකුත් උස්සගෙන... දවස් ගානක් යනකල් ඒවා තමා අපේ සෙල්ලං බඩු උනේ... මුලින්ම ගමේ එහා කෙලවරක තිබුන කම්මලකට ගිය වෙලාවත් මේ වගේම අපූරු මතකයක්.. මයින හම ඇදිල්ලයි.. පොල් කටු අගුරු ගිනියම් වෙන හැටියි.. ඒකේ රස්නෙන් අල්ලලා යකඩ ගිනි දළු පාට වෙනකල් රතු කරං කිණිහිරේ උඩ තියලා ටාං..ටාං... කියලා තලලා අපූරු නිර්මාණ බලං ඉද්දිම කෙරෙන හැටියි හරි අපූරු මතක.. හැබැයි එදානං ගෙදර ගෙනියන්න යකඩ කෑලි හම්බ උනේ නැහැ.. ඒ වෙනුවට අපි ගෙනිච්ච දුනු කොල කෑල්ලෙන් හදා දීපු පොල් උලත් අරං ගෙදර ආවා...

    ReplyDelete
  6. මේ තරම් ලස්සනට ලී මඩුව ගැන විස්තර කරලා ලියල තියෙන නිසාම ඒ ලී මඩුවට මමත් ගියා වගේම දැනුනා...
    මිල්චට් හාලේ බත් කන්න මමත් හරි ආසයි... ඒත් අපේ අම්ම ඒවා උයන්න කැමති නැහැ, අපිට මිල්චට් බත් කන්න ලැබෙන්නේ කොහේ හරි මළ ගෙදරක ගියාම තමයි...
    වට්ටක්ක හරි පුහුල් හරි හොද්දක් එක්ක, කට්ට කරවල හොද්දකුයි එක්ක කාපු මිල්චට් බත් එක මතක් කරද්දීත් කටට කෙළ උනනවා...

    ReplyDelete
  7. අපරාදේ ඒ වාගේ ආයතන විනාස කරල දැම්මේ , ඔය වාගේ එකකට දැන් තියෙන්නේ කොලොන්නාව පැක්ටේරිය විතරයි මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. ගාල්ලේ බුස්සේ එකක් තියනවා අලුතෙන් පටන් ගත්තේ ............

      Delete
  8. මූණ වහගන්නේ නැතුව ඇවිත් හැමතැනම ලීකුඩු ගියා වගේ දැනෙනවා. :D

    රජයේ මෝලක් වෙලත් විසිත්ත කාමර පුටු, ලී අශ්වයෝ හදන්නේ ඇයි? කාර්යාලවලට අවශ්‍ය දේවල් විතරක් නෙමෙයිද ඒ තැන්වල හැදෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ සියලු ම නිෂ්පාදන සහ වෙළෙඳ අධිකාරිය තිබුනෙ ආණ්ඩුව යටතෙයි කියලයි මට හිතෙන්නෙ.
      ඒ කාලෙ සතොස, සමූපනාරෙ, වාණිජ විවිධ සංස්ථාව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, ඉංජිනේරු සංස්ථාව, රජයේ වැඩ දෙපාර්තමේන්තුව, ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලය කියන්නෙ මොන තරස් ප්‍රතාපවත් ආයතන ද....!!
      අැයි ලංගම..!!

      Delete
  9. අර බයිසිකලේ (ස්)පෝක් අතේ උඩහ කෙලවර පුංචි කප් දෙක ගලවල හරස් පොලු දෙකක් හයිකරගන්න තිබ්බ උවමණාව ඒ කාලේ! බයිසිකල් ලෝන් එකෙන් ගත්තු RMI බයිසිකලේට ලී මෝලෙන් හදව ගත්තු කෑලි දෙකක් ගස්සව ගත්ත කොහොම හරි. රේස් පදින අය දෙකට නැමිල පදිනව ඕව අල්ලගෙන. බුද්ධිත් කීව වගේ පොඩි ඈයන්ව ඔය වාගේ තැන්වලට එක්ක යන්නම ඕන. වේරහැර මධ්‍යම වැඩපොලත් ඒ වගේ දුටුව හා කවදාවත් අමතක වෙන්නැති තැනක්.

    ReplyDelete
  10. රසවත් ලියැවිල්ලක්................ අදමයි මේ පැත්තට අාවේ.................. ඒන්නම් දිගට ම .......................

    ReplyDelete
  11. Book mark කරා .. එකින් එක හැම පොස්ට් එකක්ම කියවියයුතු බ්ලොග් එකක්.. අදයි දැක්කේ..

    ReplyDelete
  12. ///// මිල්චාට් සහල් සුවඳ සමග වූ දියාරු පරිප්පු හොද්ද ද, තවත් මොනවාදෝ එලවලු කිහිපය ද, බත් පිඟාන මැද වූ මාලු කැබැල්ල ද දිව්‍ය ලෝකයකින් ලද මහාර්ඝ වස්තුවක් ලෙසින් මට පෙණුනේ එවන් අහර වේලක් කාලෙකින් රස නොබලා තිබුණු බැවිනි....!! //// මගේ නරක පුරුද්දක් තියෙනවා.... මේ බ්ලොග් පොස්ටු කියවලා රස වින්දාට ඒ තුළ ඇති කෙනෙකුගේ අත්දැකීම් අත්වින්දාට ඒ ගැන ලිවිය යුතුමයි කියා හිතුවාට ලියන්නට කම්මැලි... කම්මැලිකම පුරුද්දක් වුණාම එය ගොඩක් නරකයි.... එහෙත් අද නම් යමක් ලිවිය යුතුම යැයි සිතුනා... මෙවැනි අත්දැකීම් අප කාටත් අඩු වැඩි වශයෙන් තිබෙනවා. අප කවුරුත් දුෂකර මගක්ඔස්සේ කෙම් බිමකට පැමිණි අය... ඒ කෙම් බිමේ සිසිල වින්දාට... පුදුමට නම් අප කිසිවෙක් කෙම්බිමේ සිසිල ගැන නොකියවීම... කෙම් බිමට පැමිණි මගේ වූ දුෂකරතාවයනුයි අප සැවොම තැනක කියන්නට පෙළඹෙන්නේ.... එවිට අපේ හරය කුමක්දැයි කෙනෙකුට වැටහෙනවා... ඔහු විඳින සැප සතුට සැනසුම නොව... ඒ සැප සතුට සැනසුම ට ළඟාවීම ට ගෙවන ලද දුෂ්කර මගය ඔහුගේ හරය යන්නය එහි ඇතුළාන්තය...

    ReplyDelete
    Replies
    1. බොහෝ ම ස්තූතියි මල්ලි මගේ තතාවත් කියවනවාට..!

      Delete