Monday, August 18, 2014

පටන් ගැන්ම.


හීතලේත්, අන්ධකාරයේත්, භයංකර බවේත් ගිලෙමින් තිබූ ඒ දුෂ්කර, දීර්ඝ රාත්‍රිය අවසන් කරමින්, හෙමි හෙමින් හිරු පායන්නට පටන් ගත්තේ ය. ඊයේ රාත්තිරිය පුරා ම පාහේ නිදි වර්ජිත ව සිටි තාත්තා තේක්ක පුටුවට බර දී, එහි පත්ත මත දෙකකුල් තබාගෙන කෙටි නින්දක පහස විඳිමින් සිටියේ ය. තමන්ගේ රාත්‍රී විරාමකාලයේ තමන් නැති අල්ල පනල්ලේදී, වැස්ස වළාහක දෙවියන් කළ නොපනත් ක්‍රියාව ගැන කණගාටුවෙන්දෝ, ඉර දියවන ඩිස්ප්‍රින් පෙක්කත් මෙන් පෙනෙමින් තිබිණි.

හැම කණුවක් ම, පුවු මේස කකුලක් වටා ම ලොකු කහල ගොඩවල් එකතු වී තිබිණි. අපේ ඇඳ පාමුලට තරමක් එපිටින් වූ මෝඩ ගඩොලින් බැඳි කෙටි බිත්තිය සහමුලින් ම බිම ඇද වැටී පස් ගොඩක් බවට පත් ව තිබිණි. සරණ නිවසේ පන්ති පවත්වන කොටස යකුන් නැටූ පිටියක් මෙන් දිස් විය. තරමක් දැව කෝටු ද, කොළ අතු ද, කණ පරඬලා ද පමණක් නොව බිම බිම පුරා වූයේ මහ වළවල් ය. ගෙට ගොඩවන තැන මහ වැලි කන්දක් නිර්මාණය වී තිබුණු අතර, ශාලාව වටා විසල් කාණුවක් නිර්මාණය වී තිබිණි.

නිර්න්තරයෙන් “බුකුං බුකුං“ ගාමින් විරිත්තමින් අවට සැරි සැරූ වඳුරු රංචු ද, කොහෙන් හෝ උස්සාගෙන එන මස් කට්ටක්, කටුස්ටෙසක් පොල් අතු වහළයේ අස්සේ හංගා ගම දෙවනත් වන තරමට මහ හඬින් කෑ කොස්සන් දෙන ගම් කාක්කන් ද (මුං කොළඹ කපුටන්ට වඩා විශාල ය. තද කළු පැහැති ය. කටහඬ ද ගොරෝසු උච්ඡ ය.) පහළ ලියද්ද පුරා සැරි සරන සිය දහස් ගණනක් වූ ගිරා රංචුව ද අහලකවත් පෙනෙන්නට නොසිටියෝ ය. සරණේ ඉහත්තාවේ, මහ බුරුත ගහ පාමුල ඉලුක් ගාල ද පමණක් නොව දකින දකින හැම පැත්තක ම තණ පඳුරු ද, අම්පාරේ මංගල මහ විහාරය දෙසට එක ම පැත්තට හැරී නැමී,  වැඳගෙන බිම වැතිර සිටියෝ ය. කිසිදු සතා සීපාවකුගේ පමණක් නොව කිසිදු මිනිස් කටහඬකුදු නොනැගුණු ඒ අලුයම අපට ඇසුණු එක ම හඬ වූයේ, අපට කතා කරමින් ඩෝමැට්‍රිය පසු කරමින් එන ආච්චීගේ කටහඬ ම පමණකි.

මුලු බිම හැම තැන ම එක සීරුවට අඟල් දෙකක් පමණ ඝණකමැති සියුම් මඩ තට්ටුවකින් වැසී තිබුනේ ය. කණු, බිත්ති, මේස පුටු ආදියේ පාදම වටා පමණක් අමුතු රටා කැරකිල්ලක් සෑදී තිබුණේ වතුර බැස ගිය ආකාරයට අනුව ය. අපට කන්නට බොන්නට තිබූ සියලු ම සේතර සහ ජල රකුඅසා විසින් කිසිදු අනුකම්පාවකින් තොර ව ම උදුරාගෙන ගොස් තිබුණේ ය. කිසිදු උපද්‍රවයතික් තොර ව රැකී තිබුණේ තාත්තාගේ විසල් තේක්ක ලියන මේසය මත තිබූ ගුරුලේත්තුව පමණි. 

“ඈ බං ගුණතිලක තොට පිස්සුද යකෝ මේ හිච්චි එවුං එක්ක මේ තණි පංගලමෙ මේ මහ වනාතරයක් මැද්දෙ දුක් විඳින්නෙ..?“ ආච්චී ලවක් දෙවක් නැති ව තාත්තාට බණිමින් සිටි අතර, තාත්තා උදේ අප දැකි අයුරින් ම සෙල් පිළිමයක් මෙන් නොසෙල්වී, කිසිවක් ම නෑසෙනා අයුරින් එසේ ම සිටියේ ය. තාත්තාගෙන් අප දුටු එක ම ප්‍රතිචාරය නම් වේගයෙන් ඇස් පිහාටු ගැහෙන බව පමණකි. 

ආච්චී බොහෝ වේලාවත් තාත්තාට බණිමින් සිටියා ය. ඉන්පසු අප තුන් දෙනා ම අත් දෙකින් අල්ලාගෙන, කන්ද උඩ ඩෝමැට්‍රියට කැන්දාගෙන ගොස්, එහි දැවැන්ත නාන කාමරයට දමා හොඳින් සේදුවා ය. ඒ අවස්ථාවේ දී එහි නාමින් සිටි මාමා කෙනෙක් සිය සබන් කැටය අපට දුන්නේ ය. රතු පාට ඒ සබන් කැටයේ කාබලික් සුවඳ අදත් මට සිහිනෙන් මෙන් මතක ඇති අතර, ඉන් පසු අනන්තවත් ලැබුණු “ලයිෆ් බෝයි“ සබන්වල ඒ කාබලික් සුවඳ යාන්තමින් හෝ නැත්තේ ඇයිදැයි මා දන්නේනම් නැත...!

අප නාගෙන යළි එන විට ලොකු තාත්තා ද බයිසිකලයක නැගී අනෙක් පස අතු පාරෙන් මතු උනේ ය. බයිසිකලයෙන් බැස එය අල්ලාගෙන ඔහු කළේ ද තාත්තාට බැණ අඬ ගැසීම ය...“මූට... මූට... මූට පිස්සු....මූ විතරක් නෙමෙයි මුනුත් එක්කම මූ තොලොංචි වෙන්න හදනවද මන්ද....“ ලොකු තාත්තා ගැහෙමින්, තරහෙන් පුපුරමින්, තතන තතනා කළ බැණුම මට අදත් ඒ අයුරින් ම මතක ය. ඉන් පසු බයිසිකලය ඔසවා, වේගයෙන්  වටයක් ම ආපසු කරකවා, සීට එක උඩින් කකුළ දමා වාඩි වී. වේගවත් පා පහරක් එහි පැඩලයට එල්ල කරමින් ආච්චී දෙයට හැරී “.........ඌට විතරක් නෙමෙයි මේකිටත් පිස්සු......“ කියමින් ආවාට වඩා හත් අට ගුණයක වේගයෙන් ආපසු ගියේ ය. තාත්තා අර සිටි ඉරියව්වෙන් ම කිසිදු හැල හොල්මනක් නැති ව, ඔලුව පැත්තකට හරවාගෙන ඔහේ සිටියේ ය.

ඉන්පසු යළි මරණීය නිහැඬියාවක් පැතිර ගියේ ය. බකල ගසමින් ගේ පුරා ඇවිදිමින්, හෙමි හෙමින් මුමුණමින් බණිමින් සිටි ආච්චී, බංතුවක් ඇදගෙන විත් තබා, කොළයක ඔතාගෙන ආ මොනවදෝ එහි මත තැබුවේ ය. ඉන්පසු මහා කරුණාවකින් “අනේ හිච්චි පුතේ, මේ රොටි ටික මේ පුංචි එවුං එක්ක කාපං පුතේ...!“ යි කීවේ ය. ඊයේ රාත්‍රිය පුරා වූ තෙත වාතය ආස්වාස කිරීමෙන් ද, ගංවතුරෙන් තෙත් වූ මෙට්ටය මත රාත්‍රිය පුරාම සිටි හෙයින් ද, මේ අවට පරිසරය ද වෙනදාට වඩා සිසිල් තෙත් බවකින් යුක්ත නිසා ද, නාස් අගින් වැගිරෙණ හොටු උඩට අදිමින් අපි තාත්තා දෙස බලා සිටියෙමු. මඳ වේලාවක් සිටි සෙයියාවෙන් ම සිටි තාත්තා, පුටුවෙන් බැස චිරි මඩ පා ඇඟිලි අගින් පන්නවමින් ම, සරණේ කෙලවරට ඇවිදගෙන ගොස්, වැඳගෙන සිටින ඉලුක් තලාව දෙස බොහෝ වේලාවක් බලාගෙන සිටියේ ය.

පැයකට පමණ පසු තාත්තා උදැල්ල රැගෙන විත්, බිම පුරා පැතිැ තිබුණු සියුම් මැටි තට්ටුව මිදුලේ එක තැනෙකට එකතු කරන්නට පටන් ගත්තේ ය. අපි ගේ පුරා කණු සහ මේස පාදම්වල වෙලී තිබුණු රඩා රොඩු අදගෙන ගෙයින් එළියට දැම්මෙමු. ආච්චී කුස්සියේ වූ සියලු ම වළං මුට්ටි ඩෝමැට්‍රියට ගෙන ගොස් සෝදාගෙන ආවා ය. අව් රශිමිය තද නොවූ හෙයින් ද, අලුත් වැඩ රාජකාරි බොහොමයක් තිබූ හෙයින් ද අපට දවල් බඩ ගින්නක් දැණුනේ නැත. දුනුනත් කන්නට තියා බොන්නටවත්, මෑ ඇටයක තරම්වත් දෙයක් ගෙයි ඉතිරි ව තිබුණේ ද නැත. සවස 3 - 4 පමණ වන විට ඩෝමැට්‍රියට ඉහළ පාරෙන් ලවුඩ්ස්පීකර බැඳි වාහනයකින් මොනවාදෝ කියමින් යනවා ඇසුණමුත් එය අපට පැහැදිලි වූයේ නැත. ඊට පැය බාගයකට පමණ පසු එහි හඬ අපට ඇසුනේ පන්සලට මෙපිටින් වූ බුද්ධංගල පාර දෙසිනි. ඊටත් ටිත වේලාවකට පසු සරණ ට පහළින් ඇති අඩි පාරෙන් මතු වූ අයෙක් “අන්න ඉස්කෝලෙ මහත්තයා, ආණ්ඩුවෙං ගංවතුර ආධාර බෙදනව පංසලේ ඉඳං...විජැහිං යන්න මහත්තය...!!“ යි කියමින් අප පසු කර ගියේ සිය වම් කරේ වූ පෝර ගෝනි මල්ල දකුණු කරට මාරු කරමිනි. උදැල්ල බිම තබා තාත්තා මඩ තැවරුණු දෑත දෙස බැලුවේ ය. එහි උඩ හරියේ වූ මඩ වියළී, පතුරු ගැසී තිබුණේ ය. ඉන් පසු තාත්තා දෑත එකිනෙක මත අතුල්ලාගෙන මඩ තට්ටුව සූරා දැමුවේ ය. ඊන්පසු දෙකකුල් ද බිම ගසා, උදැල්ල ද රැගෙන සරණේ පිටුපස කොටසට ගියේ ය. ඉන්පසු සාලුවක් කරේ දමාගෙන ඩෝමැට්‍රිය දෙසට වූ කන්ද තරණය කරන්නට පටන් ගත්තේ මඩ කරියන් මෙන් සිටි අප තුන්දෙනා ද පෙරටු කර ගෙන ය.

නා කියාගෙන පිරිසිදු වී පැමිණි තාත්තා, හණ මල්ලක් ගෙන නවා, බයිසිකලයේ පොල්ල මත තබා, අයියා ද එහි හිඳුවාගෙන පංසල දෙසට යන්නට පටන් ගත්තේ ය. හෙන්දිරික්කා මල් පිපෙමින් තිබෙන හැන්දෑ ජාමේ තාත්තා අයියා ද සමග ආවේ මන්දස්මිතියකින් මුව සරසාගෙන ය. අයියා විඩි වී ගිය හණ මල්ල දැන් බයිසිකලයේ හැඬලය මත තිබුනේ බඩු කන්දකින් පිරීගෙන ය. වියළි ආහාර දැමූ කඩදාසි මලු දෙක තුනක් ද, හාල් දැමූ පොඩි හණ ගෝනියක් ද ඒ අතර  තිබුණේ ය. 

ඒ අතර, එකළ අම්පාරේ වැසි අපට ලැබෙන මහේශාක්‍ය වූ ආහාරයක් වන පාන් ද තිබුණේ ය. දැං අපේ අල්ලවල් දෙකක් තරම් ලොකු පාන් පෙති දෙකක් එකට තබා, ඒ මැද මොනවාදෝ තවරා,  එය ත්‍රිෙකා්ණාකාර වන්නට කපා තිබුණේ ය. කටට එක විට ගන්නටවත් බැරි කරම් ඝණකම පාන් පෙති දෙක හපනවිට එහි දෙපැත්තෙන් පණින, කිසිදු ලෝබ කමක් නැති ව, තවරා තිබූ දම් පාට දේත්, කහ පාට තෛලාකාර දේත් මොනවාදැයි අප දැන කියා ගත්තේ ඊට වසර ගණනාවකට පසු කොළඹත් ආවාට පසුව ය.

ඒ ජෑම් සහ මාගරින් ය....!!

Share/Bookmark

Wednesday, August 13, 2014

ගංවතුර


වියළි කලාපයට පායන කාලය මාස 8ක් පමණ අල්ලා සිටියි. පෙබරවාරි මාසය අවසන් වන්නට පෙර සියල්ලන් ම පාහේ ගොයම් කපා අස්වනු ගෙට ගන්නේ එළැඹෙන වැහි කාලයට ඉඩ දීම සඳහා ය. මාර්තු මාසය පමණ වනවිට අධික වියළි ව තිබී, දුහුවිල්ලෙන් වැසුණු පොළොව මතට වැහි බිඳු පතිත වන්නට පටන් ගනියි. එවන් ක්ෂණික වැහි රැල්ලක් වැටුණු විට පුදුමාකාර සුවඳක් අප නාස් පුඬු සිසාරා ගමන් කරයි. එය හරියට ම නැවුම් කළ ගෙඩියකට වතුර පිරවූ විට දැනෙන පුසුඹට ම සමාන ය...
නැවුම් සුවඳ....!!

අප්‍රේල් මාසය හෙවත් සිංහල අවුරුද්ද උදා වන බක් මාසයේ දී හෙණ හඬ නංවමින් අකුණු පුපුරන හඬ අපට නිරන්තරයෙන් ඇසිය හැකි ය. දැකිය හැකි ය. සමහර අකුණු අහසේ එක් පැත්තෙක සිට රටාවක් වියමින් හරස් අතට ගමන් කරයි. තවත් අකුණු අහසේ සිට පොළොවට කඩා පනියි. මේ අකුණු අතිශයින් භයංකාර ය. ඉන් දේපළ පමණක් නොව ජීවිත හානි පවා සිදුවිය හැකි ය. අම්පාර වැනි තැනිතලා බිම් සහිත පෙදෙසක සිටින විටෙක මේ අකුනු අනතුරු වඩා තදින් බලපාන්නට ඉඩ තිබේ. අකුණු පුපුරන්නට පටන් ගත් විට ආච්චි ගෙයි ඇති යකඩ උපකරණ සියල්ල ම පාහේ මිදුලට විසි කරන්නී ය. ඒ යකඩ ආයුධ සොයාගෙන අකුණු එනු ඇතැයි ඈ අසා සිටි නිසා විය යුතු ය.

මේ දෙවගයේ ම අකුනුවලට වඩා අමුතු අකුනු වර්ග ද අපට ඉඳ හිට අසන්නට ලැබෙයි. ඒවාට කියන්නේ බෝල අකුණු කියා ය. ඒවා බිම දිගේ රෝල් වෙමින් එන අතර, නිවෙස් තුළට පවා වැදෙන්නට පුලුවන. ඒවා එන්නේ මහ හඬ නගාගෙන නොවේ. එමෙන් ම තද එළියක් ද නැත. නමුත් ඇති කරන අණතුරුනම් සුලු පටු නොවේ.

මේ නිසා ම මොන අකුණක් ගැන වුව ද අප සිත් තුළ තිබුණේ අනියත බියකි.

අකුණු ගසන කාලයට මොණරුන් බිත්තර දානවා ය කියා අප අසා ඇත්තෙමු. එමෙන් ම අපට කවදාකවත් අලුත් වැස්සට තෙමෙන්න දෙන්නේ ද නැත. ඒ අලුත් වැස්සට තෙමුණොත් නියතයෙන් ම අසනීප වන නිසා ය. .මේ දෙකට ම හේතුවන කාරණාව එක ය. අකුණු ගසමින් වහින වැස්ස ආම්ලික ය. ඒ අකුණ පුපුරද්දී ඇති වන අධික තාපය නිසා වාතයේ ඇති නයිට්‍රජන් වායුව ජලයේ දිය වී නයිට්‍රික් ඇසිඩ් හෙවත් ගිණි වතුර අම්ලය සාදන නිසා ය. මේ ආම්ලිකතාවය මොණරුන්ට හොඳ වුව ද අපට හොඳ නැත. 

වැහි කාලය පටන් ගත් විට වැඩි හරියක් දරුවන් සිටින්නේ නිරන්තරයෙන් වැගිරෙන හොටු ඉහළට අදිමිනි.  අප ද එසේ ම ය. නාස් පුඩු අගින් වැගිරෙන හොටු පිස දමන්නට අපට ලේන්සු නැත. ඒ නිසා ඒවා අප පිසදමන්නේ පිටි අල්ලෙනි. පිටි අල්ලේ තැවරෙන හොට්ට කළිසමේ පස්සා පැත්තේ පිසදා ගන්නේ කාගේවත් ඉගැන්නුමකට නොවේ...පිටි අල්ලෙන් පිස දැමූ විට හොටු ඉරක් මුහුණ හරහා ඇඳෙයි. ටික වේලාවකින් එය වියළී පොතු ගැලවෙන්නට පටන් ගනියි. සමහර දරුවන්ගේ මේ හොටු ඉර දූවිලි කුණු නිසා කළු පාට ය. මා දුටු අපේ වයසේ බොහෝ දෙනෙකු මේ හොටු ඉරට උරුමකම් කීවෙමු. එසේ වුව, අපිදු අපේ අනෙක් උන්ට “හොටු පෙත්තා“ යැයි කියන්නට ද පසුබට නොවුනෙමු....!!

වැහි කාලයට කඩා පාත්වන වැස්ස සමහරවිට දවස් දෙක තුන එක සීරුවට පතිත වෙයි. වැහි බීරමේ අඳුර අස්සෙන් සමහරු ලොකු හබරල කොළ හිස මතින් අල්ලාගෙන ඡායාමාත්‍ර ලෙසින් ඈතින් යනු අපට පෙනෙයි. වැස්ස තද වන විට ජල දහරාවන් සිය ගමන් මග වෙනස් කරමින් ඊ ළඟට එන්නේ අප ගෙවල් තුළට ය. තාත්තා වැස්ස වෙලාවට හිසට දමා ගන්නේ හණ ගෝණියකි. එහි එක් මුල්ලක් අනෙක් මුල්ලට හේත්තු වන සේ ඇතුළතින් එබූ විට කුල්ළක් වැනි ව ලැබෙයි. මේ කුළුගොට්ට හිසට දමා ගත් විට එහි අනෙක් කොටසින් උරහිස ද වැසෙයි. මෙසේ ගෝනි පඩංගුව හිස මත දමාගෙන තාත්තා මුලින් ම කරන්නේ කකුලෙන් පස් එහා මෙහා කරමින් ජල පහර හැරවීම ය. නමුත් එසේ පාලනය කළ නොමැකි තරමට ජල කඳ වැඩිනම්, උදැල්ලෙන් පස් එහා මෙහා කරමින් ජල පහරවල් ගෙට එන්නට නොදී කාණු ලෙසින් කපනු ලබයි. තාත්තා එහා මෙහා වන වේලාවක් බලා අපි දු මේ ගෝණි පඩංගුව හිස මත දමාගෙන, සිදුලට බැස බුරුල් පස එහා මෙහා කරමින් ජල ධාරා තනන්නෙමු. වේළි බඳින්නෙමු. වේළි උතුරා ජලය ගලන විට තවත් ලොකු වේළි තනන්නෙමු.

වැස්ස තද වන විට තවත් අකරතැබ්බයක් විඳින්නට අපට ලැබෙයි. ඒ පොල් අතු අස්සෙන් බිමට වතුර වැටීම ය. වියළී කරකුට්ටන් වූ පොල් අතු අව් රැල්ල මුවා කරන්නට සමත් වුව ද, වැහි රැල්ල පාලනය කරන්නට සමත් නැත. ඒ අව්අස්සේ හිටි ගමන් මහ හුළං රලක් ච හමයි. එවිට ඇද මැගෙන වැහි බිඳු කිසිදු හෙයියම්මාරුවක් නැති ව ගේ තුළට කඩා පණින්නේ වෙනත් කිසිදු ආවරනයක් ගේ වටා නැති නිසා ය.. ඊටත් වඩා දිරූ පොල් අතු අනික් පස පෙරැලීම මහා කරදරයකි. දැන් විටෙක මිදුලට වඩා ගෙතුල වැස්සකි. ආච්චිත් අපත් එකතු වී ගෙයි ඇති සියලු වළං මුට්ටි ගෙනැවිත් වැහි වතුර වැටෙන තැන්වල තබන්නෙමු. ඉතා ම කෙටි වේලාවකින් ඒවා පිරී, වැාටන වඅහි බින්ද පුපුරා අවට විසිරෙයි. ගොම මැටි ගෑ බිම පුරා විසිරෙන ජල බින්දු වහා මැකී යයි. ඒ මැකෙන්නට පෙර තවත් බිඳිති රාශියක් වැටෙයි.

දැන් තාත්තා තවත් රාජකාරියක් පටන් ගනියි. ඒ අඩි හත අටක් දිග පරාලයක් ගෙන වහළයට ඇනීම ය. අනිනවයැයි අප සිතා සිටිය ද තාත්තා කරන්නේ වතුර වැටෙන සිදුර වෙනත් පොල් අතු රළකින් වැසීම ය. නමුත් එය වැසුණු විට තවත් තැනෙකින් දිය බිඳු වෑස්සෙන්නට පටන් ගනියි.
“මොකක්ද බං ගුණතිලක මේ හිච්චි එවුං එක්ක උඹ මේ දුක් විඳින එකේ තේරුම..?“ ආච්චි අසයි. නමුත් තාත්තා කිසිදු උත්තරයක් දෙන්නේ නැත. කෙමෙන් අඳුර පියමං කරගෙන එන අතර වැස්ස ද ටික ටික සිය බලය අත හරින්නට පටන් ගනියි. වෙනදාට වඩා ඉක්මණින් අඳුර දසත පැතිරෙනා නිසා ම අප ද ඉක්මණින් නින්දට යන්නෙමු. වෙනසකට ඇත්තේ වෙනදාට එක් වරක් පමණක් දකින “චූ සිහින“ දෙතුන් වරක් පෙනීම පමණ ය...!! දවල් තිස්සේ හිරිකඩට තෙමුණු අපි, කඩමාලු වූ පොරෝන කෑලිවටල මුවා වී, චූ ගොඩේ ම සුව සේ නිදා ගන්නෙමු.

පසු දා උදාවන්නේ අලුත් ම, දීප්තිමත් ම දවසකි. කිසිදු අලකගංචියක්, අතුරු ආන්තරාවක්, දෝසයක් සිදු නොවූ පරිද්දෙන් හිරු මහ බුරුත ගහ අස්සෙන් දිගු කිරණ අඳිමින් සිනාසෙනු අපට පෙනෙයි. කුරුල්ලෝ ද වෙනදා නැති සතුටකින් දසත පියාඹයි. ඒ මෙතෙක් කල් බිම ගුල් තුළ සැඟ ව සිටි පණුවන් ද, කුරුමිණියන් ද, වැහි දියෙන් පිරුනු ගුල් අතහැර එළිමහනට පැමිණ සිටින බැවිනි. ඊයේ බිම දිගේ නයින් මෙන් ඇදුණු දුඹුරු පාට ජල ධාරා අච නැත. බිම පුරා නෙක නෙක රටා මැවී ඇත්තේ වැහි වතුර ගලා ගිය මං මාවත් පමණක් ඉතිරි කළ නිසා ය. වේලී කරකුට්ටන් වී බිම වැතිර සිටි තණ කොළ ද, ඉලුක් මානාව ද, යාන්තම් පණ ගසා හිස ඔසවන්නට  වෑයම් කරනු පෙනෙයි.
ආච්චී උදෙන් ම නැගිට, තාත්තාට බැණ බැණ කන්න යමක් පිළියෙල කරන්නී ය. තාත්තා හිස් බැල්මෙන් යුක්ත ව, ඉසුරුමුණියේ දිය තටාකය පාමුල රාජ කුමාරයාගේ සෙයියාවෙන්,  බංකුවක් මත වනාඩි වී, ඉලුක් මානාව දෙස බලා සිටියි. 
මඳක් දහවල් වද්දී ආච්චි ලොකු තාත්තලාගේ නෙවල් දිහාවට ගියා ය.
ඊට ටික වේලාවකට පසු සිනාසෙමින් සිටි හිරු මුවා කරමින් මහා කළු වළාවක් අහස පුරා අරක් ගනු පෙනුනේ ය. දසත දැඩි අඳුරක් පතුරවමින් හිරු සහමුලින් ම වැසී ගිය අතර, සීතල සුළඟක් ද හමන්නට පටන් ගත්තේ ය...
ඊට මොහොතකට පසු මහ හඬ නගමින් දැවැන්ත අහස් දිය දහරාවක් එක් පසෙක සිට අනෙක් පසට ගලාගෙන ගියේ ය...බන්පසු සට සට හඬ නගමින් දොඹ ගෙඩි සයිස් වැහි බින්දු බිමට පතිත වන්නට පටන් ගත්තේ ය...සවස් වන විට ඒ මහ වැස්ස අනෝරා වැස්සක් බවට පරිවර්තනය විය. ලෝක විනාසය ගැන අප කියැවූ පොත් පත්වල තිබූ දේ අපට සිහි ගන්වමින්, සුළඟ ද, වැහි බිඳු ද කිසිදු අනුකම්පාවකින් කොර ව අප සිටි සරණ නිවසට වට කර පහර දෙන්නට පටන් ගත්තේ ය. කර කියා ගත හැකි කිසිවක් නැති කැන අප සියල්ලෝ ම ඇඳ මත ගුලි උනෙමු.
ක්‍රමයෙන් කෑළි කැපිය හැකි ගණඳුරක් පැතිරුණු අතර, කිසිදු අයුරකින් පහණත් දල්වන්නට තාත්තා අපොහොසත් වූයේ සුළං ප්‍රවාහය ඒ තරම් දැඩි ව හැමූ බැවිනි. යාන්තම් කැස කවා තාත්තා පැට්‍රෝල් මැක්ස් ලාම්පුව පකත්තු කටෙ, මේසය යටින් තැබුවේ අනෙක් පසින් බිම පෙරලූ බංකුවකින් ද මුවා කරමිනි. කන්නට දෙයක් සකසන්නට ලිපක් පත්තු කරන්නට ද නොහැකි වූයේ බිම හැම අඟලක් ම පමණක් නොව දර කැබැලි ද තෙත බරියම් ව තිබුණු බැවිනි. අධික සීතල ද, ප්‍රචණ්ඩ සුළං ශබ්දය ද, එක සීරුවට ඇද හැලෙන වැස්සේ ගොර බිරම් හඬද, ඊටත් වඩා තච බඩගින්න ද නිසා අපි සියල්ලන් ම නිදිදෙව් දුව වැළඳ ගත්තෙමු.

තද නින්දේ සිටි මා අවදි උනේ එකවර මහා හඬකින් යමක් බිම ඇද වැටෙන සද්දයක් නිසා ය. මම තිගැස්සී ඇහැරුනෙමි. එසැණින් මට මා නිදා සිටින ඇඳ සෙලවෙනු දැනෙන්නට විය.. වදෙන් පොරෙන් ඇස් ඇර බැලූව ද අවට කිසිවක් එකවර දැක ගත නොහැකි වූ අතර, මට මා පාවෙනු මෙන් හැඟුනේ ය. ඊ ළඟට අයියා ද අවදි උනේ ය. එවිටනම් ඇඳ පාවෙන බව මට හොඳට ම පසක් විය. සුළඟ තරමක් සන්සුන් නිසා අවට මහ හඬ අඩු ව තිබුණ ද යාන්තම් එළියක් නිසා අවට කිසිවක් පැහැදිලි ව පෙනුනේ නැත. ඝණ අඳුරක වුව ටිකකින් ඇස් පෙනෙන්නට පටන් ගන්නා සේ කණාමැදිරි එළියෙන් ද මට යම් යම් රූප සෙලැවෙනු පෙනෙන්නට විය. මුලින් ම පෙනුනේ ඇඳ වට කොට සිටි කළු පාට මහා ජල කඳකි. ඊ ළඟට පෙණුනේ අප ඉදිරියෙන් වූ මැටි බිත්තිය කඩා වැටී ඇරුනු මහ කට ය. අයියාත් මාත් වහාම එකානෙකා බදා ගත්තෙමු. ඊ ළඟට මට යාන්තමින් පෙනුනේ ඒ මහ ජල කඳ මැද සරම අමුඩයක් කොට ගැට ගසාගෙන කෝටුවක් ද අතින් ගෙන සිටින තාත්තා ය. තාත්තාගේ කළවය මැද වසාගෙන තරමට ජල ඳ නැග තිබුණි. ඊ ළඟට සෙමින් අවට බැලූ මට පෙනුනේ ගෙයි තිබූ සියලු බඩු භාණ්ඩ ලී කණුවලට තබා දිග ලණුවලින් ගැට ගසා ඇති ආකාරයයි.

ඊට පසු මා දුටුවේ අප සිටින ඇඳ ද ඒ ආකාරයෙන් ම කණුවක ගැට ගසා ඇති ආකාරයයි.

ඊටත් පසු මා ඇස ගැටුණේ අයියාත්, මල්ලීත්, මාත් මෙතෙක් ඇඳි සියලු චිත්‍ර කඩදාසි මිටිය ද අප ඇඳ මත තබා ඇති ආකාරයයි...!!

තාත්තා ජල කඳ මැද යෝධයකු මෙන් සිටගෙන සිටිමින්, මහ ගංවතුරේ පීනා එන සර්පයන් ඇඳට නැග ගනු වළකණු පිණිස කෝටුවක් ද ගෙන සීරුවෙන් අවට බලමින් සිටියේ ය.

අද ද විවෘත ආර්ථිකය නම් වූ මේ මහ ජඩ, පල්, ඔද්දල් ගංවතුර පහර ඔස්සේ ඇඳී එන නෙක නෙක වෙස් ගත්, නෙක පාටැති සර්පයින්ට වඩා උන් මොන තරම් සුන්දරදැයි, අහිංසකදැයි චැටහෙන්නේ අද ය..!!

Share/Bookmark

Monday, August 11, 2014

වැහි කාලය පැමිණීම



අම්පාර යනු අතිශය ශුෂ්ක, වියළි, දුහුවිල්ලෙන් පිරි, වියළි සුළඟින් යුක්ත නමුත් අතිශයින් සාරවත් මෙන් ම සතා සීපාවාගෙන් ගහණ ප්‍රෙද්ශයකි.

පෑවිලි කාලයට ගහ කොළ පමණක් නොව වැටි අමුණු පවා වැලි පෑදෙන තරමට වියළී යයි. පායන කාලයේ සුළඟ හරි මැර ය... ප්‍රචණ්ඩ ය...දුහුවිල්ලෙන් සපිරි ය...වියළි ය. අම්පාර වැව පමණක් නොව සේනානායක සමූද්‍රය ද අඩිය පෙනෙන තෙක් සිඳී යයි. එවිට එහි පතුල ඉරි තැලී, පතුරු ගැලවෙයි.
වැහි කාලය පැමිණිවිට සියල්ල කණපිට හැරෙයි.....! දවස පුරාම හීල් සුළං පතකිනාතර, අහස ද තෙතබරි ව ඇඬූ කඳුලෙන් මෙන් වෙයි. වහින්නට පටන් ගත් විට වහින්නේ ද ලවක් දෙවක් නැති ව ය...එක සීරුවට දවස් දෙකක් පමණ ඇද හැලුණු විට අඩි පාරවල් පමණක් නොව තාර නොදැමූ මහපාරවල් මැද ද කාණු සෑදෙමින් බොර පාට මහ ජල කඳන් ගලා බසියි. වියළී, දුහුවිල්ලෙන් වැසී දුඹුරු පාටට තිබුණු මහ ගස් මෙන් ම පොඩි ගස් ද, ඉලුක් මානා යායවල් ද, සියල්ල සෝදා නා පිරිසිදු වී, කොළ පාටින් බබලන්නට පටන් ගනියි. අප ඇවිදින විට ඇඟිලි කරු අතරින් චිරි චිරි ගාමින් මඩ පනියි. ලොකු පුංචි හැමගේ ම පාහේ ඇඟිලි කරු අතර, තුවාල ඇති වෙයි. වැඩිහිටියන් ඊට කියන්නේ දියමිටියන් කනවා කියා ය. නමුත් පසු කාලීන ව අප සෞඛ්‍ය පාඩමේදී උගත්තේ ඒ කොකුපණුවන් අප ඇඟ තුළට ඇතුල් වෙන ආකාරය එය ය කියා ය. කොකු පණුවාගේ මුඛය කොක්කක් වැනි ය. ඌ අප බඩවැල ඇතුල් පැත්තේ එල්ලී සිටිමින් අප රුධිරය උරා බොයි. කොකු පණුවන් අධික ලෙස සිටින විට දරුවන්ගේ අත පය කේඩෑරි වී, බඩ ගෙඩි කල ගෙඩි මෙන් නෙරා එයි. එවිට කියන්නේ මාන්දම ය කියා ය. සිදුවන්නේ රක්ත හීනතාවය ය. කොකු පණුවා ඉතා කුඩා වුව ද පටි පණුවා යාර ගණන් දිගය. ඌ ද අපේ ආහාර මාර්ගයෙන් ම ඇඟ තුළට ඇතුල් වී, බඩවැල් ආශ්‍රිත ව පැල පදියම් වෙයි. කොකු පනුවා බඩවැල තුළ බිත්තර දමයි. මේ බිත්තර මළ සමග පිටතට එයි. එසේ පැමිණෙන බිත්තර අධෝ මාර්ගයේ කෙළවර තට්ටම් දෙත හා වන තැන පැල පදියම් වූ විට අධික කැසිල්ලක් හට ගනී. මේ කැසිල්ල හරි දරුණු ය. කසන්නේ ඇඹරි ඇඹරී ය...!! අධික දාංගලය සහිත ව, හැම විට ම දැඟලිල්ල සහිත හිච්චන්ට “මූට කිරි පනු ගාය හැදිලා“ ය කියන්නේ ඒ නිසා ය. ..!! මේ කිරි පණු බිත්තර පොලොවට එකතු වන්නේ තැන තැන මළ පහ කරන නිසා ය...අම්පාරේ අපට නොයින්ද අප්පා කොමෝඩ්...!! අපේ වැසිකිළි සමහර විටෙක අක්කර කාලක් පමණ විසා ල ය..!! සොබා සෞන්දර්යයෙන් සහ මනා වාතාශ්‍රෙයන් ද අනූන ය. කිරි පණු පමණක් නොව තවත් අටෝ රාසියක් පණු බිත්තරවලින් ද ගහණ ය. වැහි රැල්ලක් වැටුණු සැණින් මේ බිත්තර පුපුරා, කීටයන් එළියට එයි. උන් පිළව් අවධිය ගෙවන්නේ මඩ වතුරේ ය. සුහුඔුල් පණුවන් තණ කොළ අග්ගිස්සේ මෙන් ම මඩ රැළි අතර ද සැඟව මානාගෙන සිටින්නේ වාහකයකු එන තෙක් ය. චිරි මඩේ සිටින කොකු පණුවෝ පෙඟී බුරුල් ව ඇති ඇඟිලි කරු අතරින් සිදුරු සාදාගෙන අපේ රුධිර පද්ධතියට ඇතුල් වෙයි. රුධිර මාර්ගය හරහා පෙණහැල්ලට උන් පැමිණි විට කැස්ස ඇකිවෙයි. කහින විට මතු වන සෙම මත පණුවෝ සිටිති. උන් යළි අපේ ආහාර මාර්ගයට ඇතුලු වන්නේ මේ සෙම ගිලීම නිසා ය. ඉන් පසු උන් නවතින්නේ පෝෂණයෙන් අනූන බඩවැල් ආශ්‍රිතව ය.

හැම වැහි කාලයකට ම පසු අපට පණු බේත් බීම අනිවාර්ය වෙයි. පිරිසිදුකම ගැන නොසළකන සමහර දරුවන්ගේ ගුද මාර්ගයෙන් පණුවන් ගුලි පිටින් ඇද වැටෙනු අප ද දැක ඇත්තෙමු. සමහර පණු ගුලි මිට මෙළ වූ අතක් තරම් විශාල ය...!
වියළි කිලයේදී අප අත්දකින තවත් අරුමයක් වන්නේ මළ පහ කළ විට, අසූචි තුළින් කුරුමිණියන් මතු වීම ය. ඒ අපිරිසිදු පරිසරයෙන් අප ආහාර මාර්ගයට පිවිසෙන කුරුමිණි බිත්තර, ආහාර මාර්ගය තුල දී සිය ජීවන චක්‍ර සපුරා, අසූචි සමග පිටතට පැමිණීම ය. එසේ අසූචි මතින් කුරුමිණියන් එන ළමයින්ට “කුරුමිණි මාන්දම“ හැදිලායැයි කියති...!

කාලයක් පෑවිල්ල අල්ලා සිට වැස්සක් ඇද හැලුණු විගස ම ඊ ළඟට එන දරුණු ම වසංගතය වන්නේ මදුරුවන් ය...මදුරු බිත්තර මොන තරම් පෑවිල්ලකට අසු වුව ද නොනැසී පවතියි. වැහි රැල්ලක් වැටුණු විගස ම මේ බිත්තර පුපුරා කීටයන් ජල කඩිති මත අරක් ගනියි. ඉතා ම ඉක්මණින් පිළවුන් බවට පත් වන උන්, දින දෙක තුනකින් සුහුඹුල් මදුරුවන් ව, ගම් නියංගම් ආක්‍රමණය කරන්නට පටන් ගනියි.
මදුරු දැල් නැති, කෘමි නාශක වර්ග නැති සුවහසක් ජනයා මේ මදුරු ආක්‍රමණයන්ට ගොදු වන්නේ ඉතා පහසුවෙනි. ඉනික්බිති මැලේරියාව අති සීඝ්‍රෙයන් පැතිරෙන්නේ මේ මදුරුවන් නිසා ය. මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට හැම ගෙයක ම පාහේ ගිණි කබල් මගින් වියළණ ලද මදුරු තලා ගස් පුළුස්සා දුම් ගස්සවනු ලබයි. නමුත් හැම විටෙක ම ජය ලබන්නේ මදුරුවා ය...

මේ මොන අලකලංචි තිබුණ ද අපට වැහි කාලය අතිශයින් සුන්දර ය...
මොන බැණුමක් ඇසුන ද වැස්සේ තෙමෙන එක මාර ආහ්ලාද ජනක ය...වැඩියෙන් ම අපට බණින්නේ ආච්චී ය...තෙමුණු කුකුළන් මෙන් සිටින අප ව කැඳවා, බැණ අඬ ගසමින්, ඇඟට හිර කරගෙන, හඩු සාලුවකින් ඔලුව පිසින විට ඇති වන ආදරය වචනයෙන් විස්තර කළ නොහැකි ය...
ඊටත් වඩා මන නන්දණීය, පරම සුන්දර, වීර ක්‍රියාව වන්නේ, දෙගොඩ තලා ගලා බසින, හද්දා බොර පාට, මඩ වගුරුවල බැස, ජබු ගසමින් මී හරකුන් මෙන් මඩ නෑම ය...එසේ නාන්නේ සියලු ඇඳුම් උණා දමා හද්දා නිරිවස්තරයෙන් ය...!! ඊට කොලු කෙළි බේදයක් ද නැත.
එසේ මඩ කරියන් මෙන් මඩ නාමින් සිටින අතරවාරයේ තාත්තා පැමිණ, එකෙක් අත් බාහුවෙන් අල්ලා ඔසවා, තට්ටම පුරා පුපුරු ගසන්නට දෙන අතුල් පහර ඊටත් වඩා සුන්දර ය...
ඊටත් වඩා ජොලි ම වැඩේ වන්නේ සියලු ඇඳුම් පොදි බැඳ ගුලියක් මෙන් පපුවට තුරුලු කර ගෙන, මීක් සද්දයක් නැති ව, හිස බිමට හරවාගෙන, හිසේ සිට මඩ බේරි බේරී, හද්දා නිරිවස්තරෙන් ගෙදර යා ම ය...!!

අදත් අප මේ දැන් සිටින පැති පළාත්වලට ද ඒ වගේ ම වැහි ඇද වැටෙයි....
කාපට් කරන ලද මහ පාර දෙපසින් කලු පාට කුණු වතුර කඳන් ගලනු පෙනෙයි. නමුත් ඒවා මඩ සුවඳ නැත...
කොකු පනුවන් ද ඇඟ උස්සාගෙන අප එනතෙක් බලා සිටිනු ඇති..අනේ ඒත් වාහනයෙන් බැස කෙසේනම් උන් ළඟට යන්නද..!!
සපත්තු සෙරෙප්පු ගලවා ඇවිද්දොත් ඇඟිලි කරු අතරින් චිරි චිරි ගාමින් මඩ පණිනු ඇති. නමුත් ඒවා මඩ පාට නැත.. ඩීසල් දුමාරය සහ තාර දුහුවිල්ල නිසාවෙන් ඒවා කළු පාට වී තිබේ. ඒවායේ කොකු පණුවන්  තියා බැක්ටීරීයාවක්වත් සිටින්නට බැරි ය...!
වැස්ස වැටී අවසන් ව, ඊ ළඟ පෑවිල්ල අරඹනා විට ලැබෙන අධික පැණි රසැති, දම් පාට පණු බේත් සුඟක රස බලන්නට ආසා හිතෙයි...

අනේ ඒත් දැන් කොයින් ද අපට එහෙම වාසනාවක්...!!??

Share/Bookmark