Thursday, September 11, 2014

සරණ අලුත් වීම


දවස් ගණනෙක ඇවෑමෙන් හොඳට වියලී පදම් වුනු ඉලුක් මිටි යායක් අපට ලැබිනි.

මේ ඉලුක් මිටි මෙසේ තනා ගත්තේ පොල් අතු වහළයට උඩින් ආස්තරණයක් දමන්නට හෙවත් වහළ හෙවිල්ලන්ට ය....! 

සාමාන්‍යෙයන් බොහෝ දෙනෙකු වහළය සෙවිළි කරන්නට ගන්නේ පිදුරු ය. ගොයම් කැපූ කාලයකනම් පිදුරු ඕසෙට තිබුණ ද, තාත්තාගේ කුඹුර එතරම් විසල් නොවූයෙන් අපට මුලු වහලය ම සෙවිළි කරන්නට තරම් පිදුරු ලොඩක් ඉන් ලැබිය නොහැකි ය. ඊටත් වඩා, ගලා ගිය මහ ගංවතුර කඳ අවට සියලු කමත්හි තිබූ පිදුරු කඳු බරු ගසාගෙන ගොස් තිබුණේ ය. ඒ නිසා වහළය සෙවිළි කරන්නට පිදුරු සොයා ගැනීමට නොහැකි විය.. නමුත් මේ අවට පුරා ඕනෑතරම් ඇති ඉලුක් ඒ අඩුව පුරවන්නට ඉදිරිපත් ව සිටියේ ය...

වහළය සෙවිලි කරන්නට යොදා ගත් දිනය අපට මගුල් ගෙයක් තරමට ම විශේෂ විය. ආච්චීගේ තනියට තවත් නැන්දා කෙනෙකු ද පැමිණ සිටියා ය. ඈ අප ඉතා ම පුංචි සන්දියේ, උහණ දී අම්මාට තාත්තාට උදව් කළ ගැහැණිය ම විය. අප ඈ හැඳින්වූයේ “කොළණියේ නැන්දා“ කියා ය. අම්පාරේ නගරයට තරමක් ඈතට වන්නට මෙසේ කොළණි ගොඩක් තිබුණේ ය. ඈ මොන කොළණියේදැයි අප දන්නේ නැත. නමුත් ඈ ඉතා බියගුලු, කුලෑටි ගැහැණියක වූවා ය. අප ළඟින් යන විට පවා ඈ අපට එකත්පස් වන්නේ, උහණ දී අපට තිබූ තේජස නිසා වන්නට පුලුවන. මේ නැන්දාත්, ආච්චීත් එකතු ව බර සාර ආහාර වේලක් සාදමින් සිටියෝ ය. එහි සුවඳ මේයැයි කියන්නට බැරි වුව ද, අදත් මට දාණ ගෙදරකට ගිය විට ඒ සුවඳ වහණය වෙයි.

පරණ තුවායකින් හිස වටා තලප්පාවක් බැඳ ගත් තාත්තා, සරම මැදින් නවා එහි කෙළවරක් දෙපරන්දස්සෙන් ගෙන අමුඩයක් සේ ගසා ගත්තේ ය. ඉන් පසු කොහෙන් හෝ ගෙනැවිත් වහළයට හේත්තු කර තිබූ උස ඉණිමග දිගේ වහළයට නැග්ගේ ය. ඉන්පසු දිරා ගිය පොල් අතුවලට ඉහළින් වූ, හරස් යට ලී මත ප්‍රෙව්සමෙන් පය තබමින් වඳුරතු මෙන් මුදුණට ම ගියේ ය..දැන් අපට තාත්තා ව පෙනෙන්නේ වඳුරු රැලක නායකයකු ලෙසිනි.

වහළයේ මුදුන් ලීය මත සීරුවෙන් හරිබරි ගැහුණු තාත්තා, කට දෙපැත්තට අත් දෙක තබා මහ හඬින් හූවක් කීවේ ය. ඉන්පසු සීරුවෙන් අනෙක් පැත්තට ද හැරී යළිත් හූවක් කීවේ ය...තත්පර දෙක තුනක නිහැඬියාවකට පසු පලු ගහට එහා පැත්තෙන් බොහෝ ඈතින් හෙමින් හූ හඬක් ඇසෙන්නට විය. එවිට තාත්තා ඒ දෙසට හැරී යළිත් හූවක් කීවේ ය. ඊට යළි පිළිතුරු හූවක් නැගුණු අතර, ටික වේලාවකින් වෙනත් දෙසකින් ද හූ හඬක් ඇසෙන්නට විය. ඊට ද තාත්තා හූ කීවේ ය. ඊට පසු අප දුටුවේ, තුන් හතර පැත්තකින් ම සරම් කැසපට ගසාගෙන, හිසේ තලප්පා බැඳ ගත් මිනිසුන් කිහිප දෙනෙක් ම අපේ “සරණ“ දෙසට පැමිණෙන ආකාරයයි. ඒ එන අතර වාරයේ දී ද ඒ සමහර මාමලා යළිත් එක් එක් දිශාවන්ට හැරී හූ කියනු ඇසුණේ ය.

පැය බාගයක් පමණ ගත වන විට මාමලා හය හත් දෙනෙක් ම පැමිණ සිටියෝ ය. බුලත් විට කමින් පැමිණි ඔවුහු, කට මත ඇඟිලි දෙකක් තබා “ප්රූෑෑෑස්“ හඬක් නගමින් රතු ම රතු පාට බුලත් කෙළ විදීම මට මහා අරුම දනවන්නක් විය. ඔවුන් විදින බුලත් කෙළ වියළි අලුත් පොළොව මත අපූරු සටහන් මතු කළේ ය. පළමුවෙන් ම ඔවුහු කළගෙඩියෙන් ලොකු වීදුරුවකට වතුර ගෙන, ඒවා කටේ පුරවාගෙන අමුතු හඬක් නංවමින් කට තුළ කොලොප්පම් කරවා, ඔලුව පැත්තකට හරවා, “පරාාාස්“ ගා විද්දේ කට උල් කරමිනි. ඉන්පසු ආච්චී ගෙනා තේ වඩිය සප්පායම් ව දෙතුන් දෙනෙක් ම තාත්තා මෙන් ම වහළයට නැගුනේ ය.

බිම සිටි මාමලා මුලින් ම ලොකු ඉලුක් මිටි කඳු බැගින් ගෙනැවිත් තුන් හතර පළකින් කඳු ගැසුවේ ය. මුදුනේ සිටි තාත්තා ද පස්ස අතුල්ලමින් වහළයේ පහළ අග්ගිස්ස දෙසට ආවේ ය. වහළයට නැගුනු අනෙක් මාමලා තුන් දෙනා ද, සම දුර සිටින සේ වහලයේ එහා සිට මෙහා කෙළවර තෙක් දිගෙලි උනේ ය. ඉන් පසු බිම සිටින මාමලා දෙතුන් දෙනා කලේ ඉලුක් මිටි ගෙන ඉහළ වහළයට වීසි කිරීම ය. ඒවා වීසි කරන්නේ එහි ගැට ගැසූ පැත්ත ඉදිරියට සිටින සේ ය. සුළං කපාගෙන ඉහළට ඇදෙන ඉලුක් මිටියේ කොළ සුළගේ ලෙල දී නංවන්නේ අමුතු ම සිහින් හඬකි. රොකට්ටුවක් මෙන් ඉහළට වීසි වන ඉලුක් මිටිය කවාකාර ව ගොස් පහත් වන්නට පටන් ගත් විට, වහළය මත සිටින මාමලා ඒවා අල්ලාගෙන තම දෙපසින් ගොඩවල් ගසා ගත්තේ ය. ඉලුක් මිටිය ගෙන වීසි කරන හැම වාරයකදී ම හැම මාමෙක් ම “ඕං..“ කීවේ ය. මිටිය අල්ලා ගන්නා මාමා “හරේඒඒ..“ කීවේ ය. ටික වේලාවක දී එය අපට ඇසුනේ අපූරු තාලයකට ය...

ඒ අතරවාරයේ මොකක් හෝ කඩප්පුලි කතාවක් කියා මහ හඬින් සිනාසෙන්නට ද ඔවුන් අමතක කළේ නැත.

මේ අතරවාරයේ දී මාමලා දෙනෙකු ගොස් අවට ගස්වලින් දිග කෝටු ගණනාවක් ම කපාගෙන ආවේ ය.

දැන් අනෙක් මාමලා, මෙසේ ගොඩ ගසාගත් ඉලුක් මිටි එකින් එක ගෙන වහළයේ යට ම දාරයේ සිට පිළිවෙලට එක ගණනකට අතුරන්නට පටන් ගත්තේ ය. ඒවා යටලීවලට තබා බඳිනු ලැබුවේ කළින් සකසාගෙන තිබුනු වියළි කෙහෙල් පට්ටාවලිනි.

යට ම පේළිය ඇතිරුවාට පසු ඊ ළඟ පේලිය ද ආදී වශයෙන් පේලි දෙක තුනක් ඇතිරුවාට පසු, ඒ මත වහළයේ දිගට සිටින සේ අර කපා ගෙනා කෝටු තබා බඳිනු ලැබෙයි. මෙසේ පේලි හත අටක් එලූ පසු තාත්තා ද මාමලා ද වහළයෙන් බිමට බැස්සේ තේ විවේකය සඳහා ය. සිදුවන විලම්බෑසි දෙස කට ඇරගෙන බලා සිටි අපට ද තේ විවේකය භුක්ති විඳින්නට ලැබුනේ ය. ලොකු ඉඳිආප්පයක් රෝල් කර ඒ මැදට පැණිපොල් දමා තිබූ අතුරු කෑම එක අතිශයින් රසවත් විය. එහි එක් පැත්තකින් කාගෙන කාගෙන එනවිට, අනෙක් පස සිදුරෙන් පැණි බේරෙයි. ඒ පැණි අල්ල හරහා පැමිණ, මැණික් කටුවත් පසු කර වැලමිට දෙසට එන විට, අත ඔසවා ඒ පැණි බිඳුවක්වත් අපතේ නොහැර ලෙවකන විට, දූවිලි කාටුවද සමග මිශ්‍ර ව දැනෙන දිව්‍යෙලා්ක රස වචනයෙන් විස්තර කළ නොහැකි ය. එහෙම ඒවා අපට ලැබෙන්නේ කලාතුරකින් නිසා නමක් ගමක් නොසොයා ම අපි ඒවා ගිල දැමුවෙමු.

දහවල් අහර කිසට සූදානම් වන විට වහළයේ එක් පළයක් සහමුලින් ම ඉලුකෙන් වසාලන්නට මාමලා සමත් විය.

තරමක් ඈතට ගොස් වහළය දෙස බැලූ විට, මෙතෙක් කලක් අඳුරු, දුඹුරු හඩු පැහැ ව, දිරා ගිය පොල් අතු වසාගෙන, වියලුනු පසු රන්වන් පැහැ වූ  ඉලුක් මිටි වැතිර සිටියේ ය....
එවිට සරණ අලුත් වෙලායැයි අපට සිතුනේ ය...!!




Share/Bookmark

Friday, September 5, 2014

ඉලුක් කැපීම


ගංවතුර බැස ගොස් තුන්වන දවස වනවිට, සිදු වූ විපත්තියෙන් ඉතිරි ව තිබුනේ කඩා වැටුණු දේ පමණි. ගංවතුරත් සමග ආ රොන් මඩ තට්ටුව අපට මහාර්ඝ වස්තුවක් වූයේ එයින් රූප අඹන්නට අපට හැකියාව තිබුණු බැවිනි. අපි එයින් නෙක නෙක දේ සෑදුවෙමු. අලි, පූසන් පමණක් නොව මිනිසුන් ද ඒ අතර විය.

දැන් හිරු එළිය වෙනදාට වඩා සැර ය. වැස්සා ද, ගංවතුර ගැලුවා ද, ඒ නිසා දහසක් මිනිසුන් සුවහසක් දුක් කන්දරාවන්ට පත් උනාදැයි හිරු ට වගේ වගක් නැත. හිරු එළිය වඩාත් සැර වන්නේ අවට වායුගෝලයේ වූ දූවිලි අංශු සියල්ල ම පාහේ වැසි ජලයේ දිය වී බිමට ඇද වැටුණු නිසා ය. දැන් හිරු එළියට පොළොවට එන්නට බාධාවක් නැති නිසා, එය කෙළින් ම අප මත පතිත වෙයි.

තාත්තා අලුත් වැඩක් පටන් ගෙන තිබුණේ ය. ඒ ගේ උඩහ තිබූ ඉලුක් ගාල කැපීම ය. තාත්තා එය කළේ ද ගොයම් කපන ආකාරයට ම ය. කැපුවේ ද දෑකැත්තකිනි. කපා ගන්නා ඉලුක් මිටි ගොයම් මිටි මෙන් ම මිටි බැඳීමේ කාර්ය භාර ගත්තේ අප ය. මේ මිටිය ගැට ගැසීම සඳහා තාත්තා කළින් ම කෙසෙල් පට්ටා සිහින් ව ලියා සකස් කරගෙන තිබුණේ ය.

අපට තේ හදා සැපයුවේ ද, දිවා අහර සැකසුවේ ද ආච්චී විසිනි. අපට ඒවා ගැන සොයනවාට වඩා මහා වැඩ තිබිණි. කලෙකට පෙර මොකක්දෙසෙද්දයක් නිසා හිතේ තැන්පත් ව තිබූ අනියත බිය වුව මට නොදැණුනේ මේ අලුත් වැඩේ බොහෝ රසවත් නිසා ය. 

තාත්තා කපන ඉලුක් අයියා මිටි බඳියි. මාත් පාලිතත් ඒවා රැගෙන ගොස් හොඳින් අව්ව ඇති තැනෙක පිළිවෙලට අඩුක් කරන්නෙමු. තාත්තා පොඩි විවේකයක් ගත් විට අයියා ද ඉලුක් කපයි. නමුත් තාත්තාගේ අත මිටට අසුවන තරම් ඉලුක් මිටියක් කපන්නට අයියා ට බැරි ය. දෑකැත්ත තියුණු ය. එයින් ඉලුක් මිටිය කැපෙන විට, සර බරස් සද්දයක් මතු වෙයි. ඒ මසග අමුතු කොළ සුවඳක් ද වහනය වෙයි. ඉලුක් මිටි ඔසවාගෙන යන විට එය අතේ හෝ පයේ ගෑවුනොත් සියුම් කැපීම් පහරවල් ඇති වෙයි. ඒවා කසනසුලු වූවාට වඩා දහදිය දැමූ විට ඇතිවන දැව්ල්ල ඉවසා සිටීම හරි අමාරු ය.

දවස පුරා ඉලුක් කැපීම නිසා බිම මහ පදාසයක් වැසෙන තරමට ඉලුක් තොගයක් කපා ගන්නට අපට හැකි විය. හෙන්දිරික්කා මල් පිපීගෙන එන හැන්දෑවේ අපි සියල්ලෝ ම වැඩ අහවර කොට, තාත්තා ද සමග සුපුරුදු පරිදි ඇලට නාන්නට ගියෙමු. වෙනදාට ඉතා ම පිරිසිදුවට හෙමි හෙමින් ගලා ගිය ඇල අද මහ ජල කඳකින් සැරසී, තද දුඹුරු පාටින් ප්‍රචණ්ඩ ව ගලා බසිමින් සිටියේ දෙපැත්තේ ඇල ඉවුර ද කුහරයක් මෙන් හාරාගෙන ය. වෙනදාට අප ඇලට බසින වලුක්කම හෙවත් බෑවුම සහමුලින් ම සේදී ගොස් තිබුණේ ය. රෙදි ගසන ගල වටකොට ද රැළි නගමින් ජල පහරක් ගලා බසිමින් තිබුණේ ය. අප මෙන් ම නාන්නට පැමිණි දෙතුන් දෙනා ද ඇල දෙස හිසු බැල්මෙන් බලා සිටිනවා ඇරෙන්නට ඊට බසින පාටක් තිබුනේ නැත.

අපි දු යළි බයිසිකලයේ නැගී යළි ආවෙමු. අඳුර පැතිරෙමින් තිබෙන අතරේ ඩෝමැට්‍රියට ගියෙමු. තවත් මාමලා දෙතුන් දෙනෙක් ම එහි නාමින් සිටි අතර, ඔවුන් හැකි තරමක් එහා මෙහා වී අපට ද ඉඩ ලබා දුන්නේ ය. එහි විසල් නාන කාමරයේ දැල්වෙන කහ පැහැති විදුලි ලාම්පු එළියෙන් ද, ඉහළින් වූ පයිප්පයෙන් විසිරෙන ජල බිඳිතියෙන් ද අපි සිත් පුරා නැහැවෙමු. 

වෙනදාට යාන්තම් ක්ලෝරීන් සුවඳක් ද සමග සුදෝසුදුවට එන ජල පහර, අද තරමක දුඹුරු පාටක් ගෙන තිබුණේ, අම්පාර වැව ද ගංවතුරෙන් බැට කා තිබුනු නිසා වෙන් ය.

මඩ සුවඳ ද, තැලුනු ඉලුක්වල කොළ සුවඳ ද පරයමින් ආච්චී උයමින් තිබූ මිල්චාට් සහල් සුවඳ අපට මහා බඩ ගින්නක් ඇති කළේ ය. මිල්චාට් යනුවෙන් හඳුන්වන්නේ තම්බා සුද්ද කළ සහල් විශේෂයකි. එහි ඇට තරමක් ලොකු ය. තම්බා පල් කරන නිසා එයින් අමුතු පල් ගඳක් වහනය වුව ද, තැම්බෙන විට ඉන් නැගෙන සුවඳ අපට හරි මිහිරි ය.

අල හොද්දක් සමග උණු උණු බත් කෑ අප, බඩු මුට්ටු අස් පස් කොට හිස් ව තිබූ ශාලාවේ මැද දැල්වෙන පැට්‍රොල් මැක්ස් එළිය වටා රවුම් ගැසුනෙමු. තාත්තා එස්රාජය රැගෙන විත් කොට බිත්තිය මත වාඩි උනේ ය. අපි බංකුවක් ඇදගෙන විත් ඒ ඉදිරිපිටින් වාඩි උනෙමු.

හාත් පස පැතිර තිබූ ඝණ අඳුරු කුට්ටිය මැදින් තාත්තා කැපී පෙණුනේ පැට්‍රොල් මැක්ස් ලාම්පුවේ එළිය එක එල්ලේ ම වැටී තිබුණු නිසා ය. තෙත පොළොවෙන් මතු වන අමුතු හඩු ගඳ ද, මඩ සුවඳ ද පරයා එස්රාජයේ තත් මත පිරිමැදෙන අල්ලුවෙන් නැගි සුමියුරු සංගීත හඬ ද, තාත්තාගේ ගායනාව ද සියල්ල අමතක කළේ ය.

ජන මන ගන අභිනායක ජය හේ
භාරත භාගය විදාතා....
.......
ජය හේ.. ජය හේ...ජය හේ ජය ජය

ජන මන ගන ගීතය මෙතැනින් අහන්න. 

තාත්තාගේ ගායනය අපට අරුමයක් නොවුන ද, අද මේ මහා ඝණ අඳුර විනිවිද ගලන එය යළි යළි නින්නාද වෙමින් ඇසුණු බවක් මට දැණුනේ ය. කොටින් ම එයින්, ගංවතුර නිසාවෙන් තෙත බරිත ව ඇති මෙට්ටයේ ඇති පරණ චූ යළි පල්වීම නිසා මතුවන අමිහිරි කුයිලය ද, එහි තෙත ද අපට අමතක විය....!!

Share/Bookmark