Saturday, October 25, 2014

යසවතී නැන්දා.


දවස් දෙක තුනක ඇවෑමෙන් තාත්තාට ලියුමක් ආවේ ය. ඒ කළුතර මයුරා ලොකු අම්මාගෙනි. අපේ ලොකු නංගී හැදුනේ එහේ ය...එකල, මයුරා ලොකු අම්මාට ලොකු නංගීගේ ම වයසේ දුවක් සිටි බව අප අසා ඇත ද කිසි දා ක දැක තිබුනේ නැත. ඈ මංගලා ය. ඈට බාල මල්ලිලා දෙනෙකි. 

(අද මංගලා ගුරුවරියකි. ඈ ගියේ අම්මලාගේ අඩි පාරේම ය. ඈට බාල මල්ලී සේනක අද දන්ත වෛද්‍යවරයෙකි. ඔහු සේවය කරන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ ය. බාල මලයා චන්දන ලූෂන් ලොකු තාත්තා වගේ ම ය. කෙසඟ ය. නිහඬ ය...අද ඔහු ඕස්ට්‍රෙිලියාවේ ස්ථිර පදිංචිකරුවෙකි. මේ ඊයේ පෙරේදා මයුරා ලොකු අම්මා අප අතැර ගිය දා ම ඔහු විදේශ ගත ව සිටියේ ය. එනිසා තව අවුරුදු කාලයකට අපට ඔහු ව දකින්නට නොලැබෙනු ඇත.)

“මොනවද බං මයුර කියල එවල තියෙන්නෙ..?“ අකුරු නොදන්නා ආච්චී, සිය විදුහල්පති පුත්‍රයාගෙන් ලියුම ගැන වග විබාග කරන්නී ය. තාත්තා ආච්චිට ඇසෙන ලෙස ලියුම කියවයි. මට එහි අතරින් පතර පමණක් ඇසෙයි.. “ලූෂන්ගෙ කන්තෝරු පඩියෙනුයි, මට හම්බෙන සොච්චමෙනුයි මේ ඔක්කොම කරන්න බෑ බං. රේණුකා ඉස්කෝලෙ යවන්නෙ හරිම අමාරුවෙං. තිරික්කලේටත් බර ගානක් දෙන්න ඕන....“ ඔන්න ඔය ටිකනං මට කටපාඩං ය...!

තාත්තාත් ආච්චීත් බොහෝ සෙයින් නිහඬ ය...ටිකකින් ආච්චී සිය හඬ අවදි කරන්නී ය. “ඔන්න ඔහෙ උඹට කීයක්හරි යවන්න ඇහැක් ද බං...?“ තාත්තා නිහඬව ම සිටින්නේ කීයක්වත් නැති නිසා වන්නට පුලුවන. 
කීයක් හෝ ඉල්ලාගන්නට එක් එක් තැන්වල ගිය විට ඇසෙන කතා මට ඇසෙන්නට පටන් ගනියි. ලොකු නංගී වෙනුවෙන් කීයක් හෝ යවන්නට තාත්තා යළිත් කාගෙන් හෝ මුදලක් ඉල්ලා ගත යුතු ය.

මහ අමාරු දවස් කිහිපයක් ගෙවී ගිය පසු යළි සෞම්‍ය වුව ද වියළි කාලගුණයක් පැතිරෙන්නට පටන් ගත්තේ ය. නැවත සිසුන් එකා දෙන්නා “සරණ“ වෙත එන්නට පටන් ගත්තේ අලකලංචි සමය නිමා වී යළි ජන ජීවිතය සුපුරුදු වූ නිසා විය යුතු ය. ඒ ආ ගිය එවුන් අතර, අර හොටු පෙත්තී සිටියේ නැත. ඒ ගැන විශේෂයෙන් විමසන්නට මට උවමනාවක් තිබුණේ ද නැත. නමුත් ඈ නොසිටි වගනම් මට දැණුනේ ය.

සති දෙක තුනක ඇවෑමෙන් තාත්තා කොළඹ යන්නට සූදානම් උනේ ය. ඒ යන්නේ ලොකු අම්මලා සෙවණේ වැඩෙන, ලොකු නංගීත්, පොඩි නංගීත්, හිච්චි මල්ලීත් බලන්නට ය. කොළඹ කීවාට ඒ ගමන කළුතර, ගාල්ල සහ අහංගම - තිත්තගල්ල දක්වා දුර ය. තාත්තා මේ ගමන යන්නට අයියාව ද සූදානම් කර ගත්තේ ය. 

ගමන යන්නට ඒ තරම් ලොකු ලක ලැහැස්තියක් නොතිබුණ ද මේ දීර්ඝ ගමන යන්නේ මඩකලපුවේ සිට කෝච්චියෙන් බවත්, එතැනින් පසු බස්වලින් බවත් දැන ගත් විට මට ද එවන් ගමනකට මහා ආසාවක් ඇති උනේ ය.  කෝච්චියක් දෑසින් දැක නොතිබුණ ද අපි තුන්දෙනා දවසක් ම කෝච්චි පැද්දෙමු. තාත්තා දිග හැරි අල්ලේ මහපටැඟිල්ලත් දබරැඟිල්ලත් අතර සම් කොටසට උල් කළ කටින් සුළං පිඹිමින් කෝච්චියේ හඬ සහ එහි නලා හඬ අනුකරණය කරයි. “හූඌඌඌ...කුෂු කුෂු කුෂු කුෂු...හූඌඌඌ.......“ ඉන්පසු අත් දෙකෙන් මාරුවෙන් මාරුවට පපුවටත් බඩටත් තට්ටු කරමින් තාලයට හඬ නංවයි.. පළමු ව වමතින් බඩට තට්වු කොට, එසැණින් දකුණතින් පපුවට තට්ටුවක් දමයි. නැවත වම් අත පපුවට තට්ටුව දමන්නා හා ම දකුණත බඩට වදියි... අතර මැද දී යළි කෝච්චිය නලාව ද හඬවයි. ඒ “උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක...“ කියන කෝච්චියේ හඬ ම ය...!! තාත්තා එසේ කරන ගමන් ම අපටත් එය තාලයට කරන හැටි කියා දෙයි....අයියා එංජිම ය.. හඬ නංවන්නේ ද, නලා හඬවන්නේ ද අයියා ය.. අපි දෙන්නා පෙට්ටි දෙක ය....!!

තාත්තා ගමන පිටත් වන්නට පෙර ආච්චී ලොකු තාත්තලාගේ ගෙදර ගියා ය. තාත්තා අප තිදෙනාව ම රැගෙන බයිසිකලයෙන් ගියේ යසවතී නැන්දලාගේ ගෙදරට ය. ආච්චී ඈ හඳුන්වන්නේ යසෝතී කියා ය. ඈ කළු සිහින්දෑරි කාන්තාවකි. ඉතා ම ළඟ ඥාතිත්වයක් හිමි ඈ විවාහ වී සිටියේ අති දක්ෂ වඩු කාර්මිකයකු හා සමග ය. මාමාගේ නම මගේ මතකයට එන්නේ නැති නමුත් හේ ඉතා හීන් හඬින් කතා කරන, අතිශය කුලුපග, ඉතා පැහැපත් මනුස්සයෙකි. ඔහුගේ ඉස කේ ඊටත් වඩා සුදු ය. කකුල් දෙකේ ම දණිස්සෙන් පහළ කොටස දැඩි දදයකින් කළු පැහැ ගැන්වී, කබොලු පිරී තිබුණේ ය. අප දන්නා කාලයේ පටන් ම ඔහු එයින් පීඩා විඳි බව අපට යාන්තම් මතක ඇත්තේ මාකට් ගිය සමහර දිනෙක තාත්තා අප ව යසවතී නැන්දලාගේ ගෙදර එක්කන් ගිය නිසා ය. මාමා රැකියාව කළේ අම්පාර සෝමිල් එකේ හෙවත් රජයේ වඩු කර්මාන්ත ශාලාවේ ය. ඔවුන්ට දරුවන් දෙනෙකු සිටි අතර, ඒ අයියලා දෙදෙනාගෙන් මට මතක සුනන්දයියා පමණ ය. හේ අතිශයින් කඩවසම් ය. කතාවට ද ඉතා දක්ෂ ය. අත් දෙකින් පමණක් නොව හේ ඇස් දෙකෙන් ද කතා කරයි. ඒ කතා අසා සිටින්නට හරි මනාප ය. මේ අයියලා දෙන්නා ම ගියේ අම්පාර සෙන්ට්‍රල් එක හෙවත්, මධ්‍ය මහා විද්‍යාලයට ය. පසු ව ඔහු හිඟුරානේ සීනි කරමාන්ත ශාලාවේ රැකියාව කළ බව මට හොඳින් ම මතක ය.  ඒ ඔහු දවසක් අප ව එය නරඹන්නට එක්කාගෙන ගිය නිසා ය.

සුනන්දයියාගේ සුන්දර කතා විලාසයත්, මාමාගේ විස්කිරිඤ්ඤා සංග්‍රහයත්, නැන්දාගේ හකුරු සමග රස තේ එකත් නිසා අප සැම යසවතී නැන්දාගේ ගෙදර යන්නට හරි කැමති ය. තාත්තලා කොළඹ යද්දී, පාලිතත් මාත් දෙදෙනා නවතින්නේ එහේ බව දැනුනු විට මගේ ඉහේ මල් පිපුණු වග නැවත් කියන්නට ඇවැසි නැත්තේම ය....!!

(1971 අප්‍රේල් මාසයෙන් පසු අප කිසිවෙක් ම සුනන්දයියා දුටුවේ නැත. 71 ජවිපෙ කැරැල්ල අසාර්ථක වී, ඊට දායක වූ බොහෝ අය මිය පරලොව ගිය අතර, තවත් විශාල පිරිසක් හිරගෙවල් ගානේ ලැග්ග බව ඇසුවත්, කැරැල්ලේ තුන් වන සැකකාරයා ? වූ සුනන්දයියා ගැන අංශු මාත්‍ර බිඳක ආරංචියක් අප කිසිවකුටත් ලැබුනේ නැත.. අදටත් මගේ “මල්ලියෙ කොහේ කොතැනක නුඹ..“ නම් වූ ඡායාරූපය දකින හැම වාරයක ම මගේ මතකයට පළමුවෙන් ම පිවිසෙන්නේ ද සුනන්දයියා ය..)


Share/Bookmark

Monday, October 6, 2014

ගොම මැටි ගෑම


තාත්තා උදෙන් ම ගොස් කොහෙන්දෝ ලොකු බාල්දි දෙකක් රැගෙන ආවේ ය. එවා මගේ ඉනටත් වඩා උස ය....! ඉන්පසු තවත් බාල්දි දෙකක් රැගෙන ඩෝමැට්‍රියට ගොස් වරින් වර වතුර ගෙනැවිත් අර බාල්දි දෙකට පිරවූවේ ය. අයියාත් මාත් පොඩි ඇලුමිනියම් භාජන දෙකකට වතුර පුරවාගෙන විත් අර බාල්දියට ම එකතු කළෙමු. ඉන්පසු උදේ කෑමට සාදා තිබූ රොටි කෑවෙමු. ඊට පසු අප සියල්ලෝ ම එක් ව සාලයේ තිබුනු සියලු ම පුටු බංකු එළියට ඇද්දෙමු. ඉන්පසු තාත්තා සාලය පුරා තිබුනු වළවල්වලට මැටි දමමින් තලා මට්ටම කළේ ය.  තාත්තා සිරිත් පරිදි මහ වැඩකට සූදානම් වද්දී අඳින පරණ සරම් කඩ මාල්ල ඇඳ ගත්තේ ඊටත් පසුව ය.

අර ගෙනා ගොම කන්දට සහ හුඹස් මැටි කන්දට ද පැවරුණු කිසියම් රාජකාරියක් තිබේ. එය තනියම ඔවුන්ට ඉටු කළ නොහැකි ය. කළින් දා කැපූ වලට තාත්තා මුලින් ම කලේ හුඹස් මැටි මහ ගොඩක් දැමීම ය. ඊට පසු පරණ මෝල් ගසක් වැනි ලොකු ලීයකින් ඒවාට අනිමින් කුඩු කළේ ය. ඒ කුඩු කරන විට දුඹුරු පාට දුමාරයක් ද පුස් ගඳින් යුත් සිහින් සුදු දුමාරයක් ද ඉන් පැන නැංගේ ය. දුඹුරු පාට දුමාරය බර නිසාදෝ වැඩිය ඉහළට නොනැග, වළ ඇත්ලේ ම කරකැවුනේ ය. නමුත් සුදු දුම වළෙන් උඩට ද මතු ව වටපිට බලා සැනෙන් නොපෙනී ගියේ ය...

ඉන්පසු වසා තිබුණු ගොම කන්ද අරින ලදී. අද එය ඊයේ මෙන් දීප්තිමත් වර්ණයෙන් දිදුලන්නේ නැත. තරමක් අව පැහැ ගැන්ව ඇත්තා පමණක් නොව ඉන් හමන කුයිලය ද ඊයේට වඩා සැර ය.. ළඟට ගිය විට පොඩි උණුසුමක් ද දැනෙයි. තාත්තා උදැල්ල ගෙන ගොම කන්දට කොටන විට බොල් හඬක් නැගුණු අතර,  එයින් ද හුමාලයක් අහසට නැංගේ ය. තාත්තා උදැල්ලට පුරවාගත් ලොකු ගොම තලි කිහිපයක් ම අර වළට දැම්මේ ය. උදැල්ලෙන් කොටන වාරයක් පාසා ඉන් කතුරුමිණියන් ද නිල මැස්සන් ද අහසට නැගුනේ බණින්නා වැනි ලොකු සද්ද ද මතු කරමිනි..!!

ඉන්පසු තාත්තා ලොකු බාල්දියෙන් මහ වතුර කඳක් වළට හැලුවේ ය. ගොජ ගොජ ගාමින් වතුර හැළෙන විට යළිත් ඉන් දුමාරය වළල්ලක් කරකැවෙමින් මතු වී නොපෙනී ගියේ ය. ඊට පසු තාත්තා ද අර වළට බැස්සේ ය...!! උදැල්ල වළ ගැට්ටේ තබා ඊට වාරු වී තාත්තා දෙකකුළින් අර ගොම සහ හුඹස් මැටි පාගමින් කළවම් කරන ආකාරය මට ඊරිසියා දනවන කාර්යයක් විය.  කොළ පාට ගොම සහ දුඹුරු පාට හුඹස් මැටි කවලම් ව හැදුනේ අමුතු ම වර්ණයකි. එයින් තාත්තාගේ දණිස් දෙක දක්වා ම වර්ණ ගැන්වී තිබුණි.

වළෙන් ගොඩ ආ තාත්තා ලොකු කූඩයකට මේ මිශ්‍රණය දමාගෙන ගොස් සාලය මැද්දෑවේ හැලුවේ ය. එවිට ඉන් නැගුනේ ද හරකා ගොම තළියක් දමන හඬ ම තරමක් ලොකුවට ය. බිමට වැටුණු මිශ්‍රණයද හරියට ම අලි ගොම තැම්බක් පමණ විසල් ව බිමට වැටී තිබුණේ ය.  තාත්තා මෙසේ සාලය පුරා දෙතුන් පළකට ම ගොම මැටි මිශ්‍රණය දැම්මේ ය. ඊට පසු දණ බිම තබා අතින් ලොකු තලියක් ගෙන එය බිම පුරා ඇතිල්ලුවේ වක්‍රාකාර රටාවකට ය. එක පැත්තක සිට ගොමමැටි තළියක් ගෙන එය දිග හැරි අල්ලෙන් බිම අතුල්ලනු ලබයි. අවසන් තැන දී අත ඔසවා බිමට තට්ටු කරන්නේ “තහ්“ හඬක් නගමිනි. ඒ සමග යළිත් ගොම්මැටි තළියක් ගෙන ඊට මඳක් එහාට ගොස් යළි බිම මත වක්‍ර රටාවක් අඳින්නේ මුල් එක ඡේදනය වන පරිදි ය.

තාත්තා ගොම මැටි ගානා අතරේ මම අර වළට පැන්නෙමි. ඉස්සෙල්ලා ම මට “තබග්“ ගා හඬක් ඇසුනේ ය. ඉන්පසු මා මහා නාරාවළක කිඳා බසින්නා මෙන් දැනුනේ ය. ඊටත් පසු වාරු නැති ව ගොස් මා තුන් හතර වරක් අඟර දඟර දැමුනේ ය. යාන්තම් වදෙන් පොරෙන් වළ ගැට්ට අල්ලා ගත් පසු සියල්ල සමනය විය. කකුල් දෙකට දැනුනේ අමුතු ම උණුසුමකි. ගොම ගොඩෙන් නැගුණු නාස් අකුලන කුයිලය දැන් ඉන් හමන්නේ නැත.
ඉන් අමුතු ම නැවුම් සුවඳක් වහණය වෙයි. හරියට සිංහල අවුරුද්දට ගෙනා අලුත් වළඳකට වතුර දැම්ම විට ඉන් නැගෙන්නේ ද මෙවැනි ම නැවුම් සුවඳකැයි මට සිතුණි. වැඩ කරන තාත්තා ගැන මට මතක් වූයේ ඊටත් පසුව ය. වළට බැස්ස ආහ්ලාදය දැන් නැති. මම මහා අසරණ ව වට පිට බැලීමි. අයියා දේවදූතයකු මෙන් සිනා සිසී වළ අසළ ම සිටියේ ය. අත දික්කළ සැණින් ඔහු කිසිවක් නොකියා ම මාව වළෙන් ගොඩට ඇද ගත්තේ ය. ඊට පසු එළැඹෙන්නේ අමාරු ම කාරිය ය...ඒ සාලය මැද්දෙන් ඇවිද යාම ය..

මම බිමට නැමුනු හිසින් යුක්ත ව හෙමි හෙමින් ගාටමින් සාලයට පිළිපන්නෙමි. තාත්තා කරමින් මුන් භාරදූර කාර්යය නිසා එකවර හිස ඔසවා බැලුවේ නැත. නමුත් ඇසිල්ලකින් තාත්තාගේ දෑස් මත මගේ දෑස් පටලැවුනේ ය. මුලින් ම තාත්තාගේ දෙඇස ලොකු විය. කට මොකක්ද විය...එසැණින් “හප්පුච්චි බොලේ..“ කියමින් තාත්තා නළලත අත ගසා ගත්තේ අතේ ගොම බව ද අමතක කරමිනි...!! ඉන් අප දෙදෙනාට පමණක් නොව අයියාට ද සිනා ගියේ ය..!!

තාත්තා ද සිනාසෙමින් යළි සිය කාර්යය ඇරඹුවේ ය. එසැණින් අයියා ද මාද බිම තප්පලං ගහ ගත්තේ තාත්තා මෙන් ම ගොම මැට්ටෙන් ගෙබිම පුරා රටා අඳින්නට ය...!

තාත්තා එක සීරුවට බිම ගොම ගෑවද අපට එය එතරම් සුවපහසු රාජකාරියක් වූයේ නැත. ගොම මැට්ටෙන් පෙඟී බුරුල් ව ඇති අත රළු බිම් පොළොවේ ඇතිල්ලෙන වාරයක් පාසා අතේ සුළැඟිල්ලට හිමි පැත්ත හම යන්නට පටන් ගත්තේ ය. එනිසා ම අපේ රාජකාරි ඉක්මණින් ම අවසන් විය. එහෙත් තාත්තාට අත්වැඩ දීම දිගටම කළේ ද පුපුරු ගසන අතට ද පිඹින අතරවාරයේ ය.

දහවල් බතට සූදානම් වන විට මුලු සාලයම සහ අප නිදන කොටසේ ද බිම පුරා රටා ඇඳ අවසන් කරන්නට තාත්තාට හැකි විය. ඉන්පසු අපි තුන් හතර දෙනා ම බයිසිකලයේ නැඟී ඇලට ගොස් නාකියාගෙන ආවෙමු. ඒ එන විට හත් දවසතික් තෑවේ නැති සේ මහා බඩ ගින්නක් ඇවිලෙමින් තිබුණේ ය. ගෙට ආ විගස ආච්චි විසින් උයා, බෙදා තිබූ පත් පිඟාන කටට දෙකට අවසන් කළේ ගොම මැට්ටෙන් එන අමුතු නැවුම් සුවඳ ද කළවමේ විඳිමිනි.

හුස්මක් කටක් ගත් සැණින් අපට තව මහ වැඩක් ඉතිරි ව තිබිණි. ඒ හුඹස් මැට්ටෙන් මූර්ති ඇඹීම ය..

වතුර දමා අනාගත් හුඹස් මැට්ට අතිශයින් සුමට ය. බුරුල් ය පදම් ය. ඉන් අපට ඇවැසි සේ පිළිම නෙලන්නට හැකි ය. මම මුලින් ම හැදුවේ බිම වාඩි වී සිටින සිංහයෙකි. කුඩා ලී පතුරු පිහියෙන් ගා එක එක ප්‍රමාණයේ තල සාදා ගත්තේ ද අයියා සහ මා ය. ඒවායින් අපට ඉතා සුරුවම් ලෙස හැඩ බේරා මූර්ති නෙළන්නට හැකි ය. නොකැඩී කෙළින් තිබූ බිත්ති කණ්ඩිය මත අයියාත් මාත් පාලිතත් ඇඹූ පිළිම ද, සත්තු ද, නෙක නෙක අමුර්ත රූප ද පෙළට තැබුවෙමු. ගොම්මං අඳුර ගාල් වෙද්දී යළි අපි ඩෝමැට්‍රියට ගොස් මඩ සෝදාගෙන පැමිණියෙමු. කොතරම් සේදුවද අප හැමගෙන් ම අමු ගොම ද, හුඹස් මැට්ට ද කළවම් වූ අමුතු සුවඳක් වහනය වෙමින් තිබුණේ ය.

අඳුර පැතිරෙත් ම ඒ අඳුර කපාගෙන පැට්‍රෝල් මැක්ස් ලාම්පුවේ එළිය අප නහවන්නට පටන් ගත්තේ ය. තාත්තා එස්රාජය ද ගෙන බිත්ති කණ්ඩිය මත වාඩි වූයේ අපේ පිළිමවලට කිසිදු කරදරයක් අලකලංචියක් නොවන සේ ය...දුම්මල කැටය මත දෙතුන් වරත් බෝ එක අතුල්ලා, ඇඟිල්ලෙන් තත් කිහිපයක් ඇද, ඉන් නැගෙන හඬට අනුව කටින් “හ්ම්ම්..“ කියමින් මඳ වේලාවක් සුසර වූ තාත්තා ‘මන්ද්‍ර ම‘ ස්වරය සහිත යමන් කල්‍යාන් රාගයෙන් භජන් ගීයක් ගායනා කළේ ය.

මොකක්දෝ කියා නිනව්වක් නැතත් ජීවිතයේ අලුත් පිටුවක් පෙරැලෙන්නේ යැයි මට සිතුනේ ය. ඒ සිතිවිල්ල ඇති වි නැති වී යන අල්ල පනල්ලේ ම රාත්‍රිය අප වැළැඳ ගනිමින් සිටියේ ය.

Share/Bookmark

Wednesday, October 1, 2014

ගොම මැටි ගෙන ඒම


අච් කූටකයක් පතිත වූ විට, ඉලුක් වහළයෙන් අමුතු කොළ සුවඳක් පහළට බේරී එයි. එය ආස්වාදජනක ය. සුළං රලක් හමන විට සිහින් සිරි සිරියක් නගන්නේ ද මේ වියළි ඉලුක් තණ පත් ම ය. ඩෝමැට්‍රය දෙස සිට බලනවිට, තරමක් පහළ මට්ටමෙන් තිබෙන අපේ සරණ යේ වහළ මනා ව දර්ශනය වෙයි. එය හිරු රැසින් නැහැවී රන්වන් පාට වියනක් බැන්දාක් මෙන් දිස් වෙයි. ඊට යටින් ඇත්තේ කඩා වැටුනු මැටි බිත්තිය අතරින් නැගී සිටින කෙට්ටු කණු පෙළ ය.

වහළය සම්පූර්ණ වුව ද ගංවතුර විසින් පහුරු ගෑ ගෙබිම වළ ගොඩැලිවලින් ගහණ වී තිබේ. තාත්තාගේ ඊ ළඟ ව්‍යායාමය වූයේ මෙබිමට ගොම මැටි ගෑම ය.

දවසක උදේ වරුවේ  අපට ඇසුනේ ගෙජ්ජි හඬ කි. ඊට ටික මොහොතකට පසු “ඩකස් ඩොකොස්“ ගාමින් වලවල්වල වැටෙමින්, ඒ අතරවාරයේ හීන් කෙඳිරිලි හඬක් ද නගමින් කැරකෙන කරත්ත රෝදවල හඬ ඇසෙන්නට පටන් ගත්තේ ය. අපේ සරණ දෙසට මේ ගාටමින් පැමිණෙන්නේ ගොං කරත්තයකි. දුඹුරු පැහැ ගොන් තඩියාගේ අං තට්ටුව පිත්තල කොපුවකින් වසා තිබුණේ ය. බෙල්ලේ නයිලෝන් ලණු පොට කෙළවර ගෙජ්ජි වැලකි. මේ ගොං තඩියා ඔලුව හොල්ලන වාරයක් පාසා ඉන් කිංකිණි හඬක් නැගෙයි. ඒ ආඩම්බරය නිසාදෝ ඌ අප දෙස බැලුවේ ද මහා ගාම්භීර තාලෙනි. හේ වරෙක එක විට හිස පහත් කර යළි උස්සයි. එවිට මුලු කරත්තය ම වේගයෙන් පැද්දෙයි. එවිට කරත්තය දක්කාගෙන ආ මාමා “හේ හේ ජක්“ කියයි. අරයා එය ඇසුණු වගක් දක්වන්නේ නැති ව සුපුරුදු ලෙස ඔලුව වනයි. ඔලුව නවා, දිව දිගු කොට, බිම ඇති තණ රලක් කඩාගෙන කට දෙපසින් එළියට සිටින සේ එය හෙමින් හපන්නේ ද අපට ඔලොක්කුවට මෙනි.

කරත්තයේ තිබුනේ ලොකු පස් ගොඩකි. ඇත්තෙන් ම ඒවා පස් නොව හුඹස් මැටි ය. කරත්තේ මාමා උදැල්ලක් ද ගෙන කරත්තයට නැගී, ඒවා බිමට හූරා දැම්මේ ය. බිමට වැටෙන හුඹස් මැටි කඳන් මතින් සිහින් දුඹුරු පැහැ දුමාරයක් මතු වෙයි. සමහර මැටි කුට්ටි ඇතුලත කුහර සුදු පාට ය. අළු පාට ය. ඒ වේයන්ගේ නිවාසවල බිත්ති විය යුතු ය.ආවාට වඩා සැහැල්ලුවෙන් එක තැන කැරකී හැරවුනු කරත්තය මැටි ගොඩ පියමං කරද්දී ම අපි තුන් දෙනාගේ ලොකු ම රාජකාරිය වූයේ මේ ගොඩෙන් හුඹස් මැටි කුට්ටි දෙක තුනක් ලබා ගැනීම ය. ..!

තාත්තා සමග අයියාත් මාත් ලොකු තාත්තලාගේ ගෙදර දෙසට යන්නට සූදානම් වූයේ අමු ගොම රැගෙන ඒම සඳහා ය. තාත්තා වීල්බැරෝව තල්ලු කරගෙන ඉස්සර විය. අයියාත් මාත් උදලු දෙකක් කර මත තබාගෙන තාත්තා පිටුපසින් ගමන් ඇරමුවෙමු. ඩෝමැට්‍රිය පසු කොට, හොල්මන් ගල අසළින් මහ පාරට වැටුණු විට, අයියා වීල් බැරෝව තල්ලු කරගෙන යාමේ අයිතිය ලබා ගත්තේ ය. තම උදැල්ල ද වීලි බැරෝවට දමාගත් අයියා වීල් බැරෝව තල්ලු කරන්නට පටන් ගත් විට එහි සිටුවන කකුල් දෙක පොලොවේ වැදී රළු හඬක් නැගුවේ ය. තාත්තා සිනා සුනේ ය. “හා හා දෙන්නම නැගපල්ල...“ තාත්තා කියා අවසන් කරන්නටත් පළමු ව, මම විල්බැරෝවට නැග්ගෙමි. අය්යා වීල් බැරෝවේ රෝදය සවිකොට ඇති කවාකාර යකඩ පොල්ල දෙපසින් කකුල් තබාගෙන එහි ඉදිරිපසින් ම වාඩි උනේ ය. තාත්තා අප දෙදෙනා ම පටවාගත් වීල් බැරෝව තල්ලු කරගෙන ගියේ ඉතා ම පහසුවෙනි.

හරක් 25ක් 30ක් පමණ සිටින ලොකු තාත්තාගේ හරක් පට්ටියෙන් ගොම ගොඩක් එකතු කිරීම එතරම් අමාරු දෙයක් නොවේ. වීල් බැරෝවට ගොම පැටවූයේ අයියාත් මාත් ය. බිම පෑගෙන ඇඟිලි කරු අතරින් පණින හරක් හුජ්ජ සමග කවලම් වූ අමු ගොම අමුතුම සැරකින් නහය පසා කරගෙන යයි. සමහර ගොම තැම්බවල් හරියට බිම වැටුණු ඔටුණු වගේ ය. සමහර ඒවා ගුලි ගුලි ය. සමහරක් ඒවා දියාරු ය. අතරින් පතර, කොළ පාට නැති ගුඑු පාට ගොම්බෙටි ද තිබේ. ඒ අතරේ වැස්සියක් කිසිදු ලැජ්ජාවකින් තොර ව වළිගය ඔසවා “චොර චොර“ ගාමින් ලොකු හුජ්ජ ඇල්ලක් ම බිමට වගුරවයි. ඒවා හරි උණුසුම් ය. ඇඟට නොවැටුනත් හීන් දුමක් ද සහිත ව වැගිරෙන ඒවායේ උණුසුම අපට පෙනෙයි. ඒ හුජ්ජ පාරට සිය හොම්බ අල්ලන නාඹ වස්සෙක් ලොඹු කට දෙපැත්තට මාරු කරමින්, ඉදිරියට දිගු කොට අමුතු තාලයකට “බූඌඌ..“ කියයි. වීල් බැරෝ තට්ටුව පිරෙන්නට ගොම පැටවූ වීල් බැරෝව ආම්බාං කරන්නට අපට බැරි ය. තාත්තා එහි අත් අඬු දෙකින් අල්ලාගෙන තල්ලු කරගෙන හරක් කොටුවෙන් එළියට එන විට ම ලොකු අම්මා ප්‍රාදූර්භූත වෙයි.

“ගුණතිලකයිය එනව ඔය ළමයි එක්ක තේ ටිකක් බීල යන්න..“ ඈ කියන්නේ අනාඥා ස්වරූපයෙනි. ඒ ඇසිල්ලෙන් වසන්තයියා ද අනිල් අයියා ද එළියට පනියි. තේ වත්කරන තුරු ඉතිං අපට රජ මගුල් ය...!

දෙවෙනි විඩේට වීල් බැරෝව සමග යන්නේ අයියා සහ පාලිත ය. ගොම තැවරුනු වීල්බැරෝ තට්ටුව මතින් ගෝණි පඩංගුවක් දමන්නේ ඉස්සලේලා මෙන් ම දැන් යන අයට වාඩි වන්නට ය..!

වට දෙකකින් ගෙනා ගොම ගොඩ තරමක් විසාල ය. බිම දැමූ ඒ මතින් පරණ පැදුරු කඩ මාල්ලක් දමා වසන්නෙ චන්ඩ හිරු රැසින් එය වියළී යාම වළක්වන්නට ය. තාත්තා සරම අමුඩයක්මෙන් ගසාගෙන තරමක් වළක් කපමින් සිටියි. සවස් යාමය වන විට ගොම ගොඩ වටා තවත් අමුත්තන් රාශියක් පිරී සිටියි. ලොකු හඬක් නගමින් පියා සලන නිල මැස්සන් ද, නිල් පාට, කලු පාට කුරුමිණි වර්ග දෙක තුනක් ද ඒ අතර වෙයි.

ඊටත් වඩා අරුමය වන්නේ ගොමවලින් බෝල සාදා ඒවා පස්සෙන් පස්සට තල්ලු කරගෙන යන ගොම කුරුමිණියන් ය. රබර් ඇටයක් තරම් විශාල උන්ගේ හිසේ ලොකු අඟක් ද තිබේ. කකුල්වල කටු කටු ය. නිල් පාටට දිළිසෙන පිට උඩ කට්ට දෙපසට විහිදා ඌ ඒ තුලින් ළා පැහැ තටු යුගලක් එලියට ගනියි. ඒ ගත් සැණින් ම යළි අකුලා ගනියි. ඉන් පසු සිය අත් දෙකෙන් ගොම තලියක් ගෙන බිම තබා රෝල් කරයි. එවිට එය කුඩා බෝලයක් වෙයි. ඉන්පසු ඒ මතට නැග ටික වේලාවක් සිටියි. ඉන්පසු එතැනට පියඹා එන තවත් එවැනි ම කුරුමිණියෙක් ඒ මත මඳ වේලාවක් නැවතී සිටියි. බන්පසු දෙනො ම එකතු වී මේ ගොම බෝලය මත තව තවත් ගොම අතුරා බිම දිගේ තල්ලු කරයි. ටික වේලාවකින් එය තරමක් විශාල ගොම බෝලයකි. ඒ වටා වැලි කැට ද ඇලී තිබෙයි. ඉන් පසු මේ කුරුමිණි දෙමාල්ලෝ ම එකතු වී මේ ගොම බෝලය තල්ලු කරගෙන යන්නට පටන් ගනී. උන් ගොම බෝලය තල්ලු කරන්නේ පස්සෙන් පස්සට ය. ඔලුව බිම පැත්තට තබා අත් දෙකෙන් වෙර ගන්නා අතර, පසු පාද දෙක ගොම බෝලය මත තබා මාරුවෙන් මාරුවට තල්ලු කරයි. ඔවුන් එය ලොකු වේගයකින් තල්ලු කරගෙන යන නමුත් අපි ඒවා කෝටුවකින් එහා මෙහා කරන්නෙමු. ඒ ගැන කිසිදු වගක් නොගන්නා උන් ඒවා නිශ්චිත දිශාවකින් තොර ව තල්ලු කරගෙන ගොස් අපේ දෑස් සීමාවෙන් වසන් වෙයි.

Share/Bookmark