Wednesday, August 12, 2015

අපේ දිව්‍ය භෝජන - අංක 01


කෑම බීම ගැන, ඒවායේ විච්චූර්ණ ගැන අපට එතරම් ගනිච්චියක් තිබුනේ නැත්තේ, ඒවා වරග කොට සොයා බලා කන්නට අවස්ථාවක් අප මතක ඇති කාලයේ නොලැබූ නිසා වන්නට පුලුවන. එකල අපට සිටි මහා ම සූප වේදියා වූයේ තාත්තා ය..අතරමැද කාලයක අප වඩාත් ම රසවත් අහරවේලක් ලැබුවේනම් ඒ අපේ ආච්චී උයා පිහා දෙන දෙයකින් ය.

ආච්චී අයන විට ද ඈට උදව්වට පොල් ගා දෙන්නේ අයියා හෝ මා ය. ආච්චි අයියාගෙ පොල් රලවලට එතරම් කැමැත්තක් නැත. ඒ ගොරෝසු නිසා ය. මට ඉතා සිහිනයට පොල් ගාන්නට පුලුවන. හිරමනයේ තට්ටුව මත කකුලක් තබාගෙන, පොල් අඩලය සීරුවට කරකවමින් මම පොල් ගාන්නෙමි. පොල් ගාන්නට පෙර, පොල් කට්ට හැකි තරම් සුද්ද පවිත්‍ර කර ගන්නට මට උවමනා වෙයි. පොල් ගාන පිඟානේ උඩ කෙළවරේ දුඹුරු කුණු පාට කොහුබත් කුඩු තිබෙනවාට මම අකමැත්තෙමි. එනිසා පොල් බෑය ගෙන එහි ඇති සියලු කෙඳි අතින් ඇද කඩා දමා, කොහුබත් ද අතින් පිස දමා පොල් ගාන්නට පටන් ගනිමි. පොල් රල හත අටක් පිඟානට වැටුණු පසු, ඉන් එක් කටක් කන්නේ ද වට පිට බලා හොරෙනි. අයියාට පොරාතුව පොල් ගාන්නට වරම් ඉල්ලා ගන්නේ ඔන්න එය රහස නිසා ය...! පොල් ගාද්දී තලය දිගේ හෙමින් හෙමින් උඩ පැන පැන, මගේ පැත්තට එන දියසීරාව වැඩි පොල් රල ද හරි රහ ය..! 

වට්ටියක් ද ගෙන උදෙන් ම වත්තේ පිටියේ ඇවිදින ආච්චි, නොයෙක් ජාති වල් කොළ නෙලාගෙන එන්නේ මැල්ලුම් සෑදීම සඳහා ය. මේ කවලං මැල්ලුමට වෙනත් නම් කියන්නට බැරි ය. සෝදා ගත් කොළ අහුරක් කිටි කිටියේ අත මිටට ගෙන, ලී කෑල්ලක් අඩයක් වශයෙන් තබා, කකුලේ මහපටැඟිල්ලටත් වෙනැඟිල්ලටත් තද කර ගත් පිහිතලයෙන් ඒ කොළ සියුම් ව ලියාගන්නට ආච්චි හරි සමත් ය. ඒවා කෙස්කොටවලටත් වඩා සියුම් ය. කොළපත මතට මෙසේ ලියාගත් මැල්ලුම ඒදන්නේ මැටි හට්ටියක ය. ඊට පොල් අහුරක් ද, හීනියට කැපූ රතුළූනු අහුරක් ද දමා, ලුණු පොල්කට්ටෙන් අතට වක්කරගත් දියරය ලතාවකට ඒ මත ඉසිනු ලබයි. ඉන්පසු සියල්ල එක වරක් කරකවා, වැඩි තදකින් නැති ව මිරිකනු ලබයි. එය ලිප තබන්නේ ලිපේ ගින්දර එළියට ඇදීමෙන් පසුව ය. ඒ හට්ටිය වහන්නේ ද තවත් හට්ටියකිනි. යාන්තමින් හීනියට සුදු දුමක් හට්ටියෙන් නැගෙද්දී ම එය ලිපෙන් බාගැනෙයි. එසේ බාගත් හට්ටිය වහන්නේ ද තෙත රෙදි කඩක් හෝ බිමට දැමූ වතුර පදාසයක් මත ය. එය එසේ තබද්දී "වොස්..." ගාමින් එය අඬා වැටෙයි. එසැණින් උඩ හට්ටිය ඉවත් කළ විට ඉන් වහනය වන්නේ අමුතු ම සුවඳකි..! ආච්චීගේ මැල්ලුම  තනිකර කොළ පාට ය. පොල් පවා කොළ පාට ය..!

බොහෝ විට දවාලට පිසිනු ලබන්නේ මැල්ලුමට අමතර ව තව එක හොද්දක් පමණි. වැඩිපුර දවස්වල එය කිරි හොද්දකි. ඉඳහිට අල හොද්දකි. ඔය අතරවාරයේ තාත්තා අත වැඩිපුර මුදලක් තිබුනොත් මසක් මාලුවක් ගෙන එයි. මාලුවලට වඩා මස් ලැබෙන වාර සංඛ්‍යාව වැඩි ය.. මස් මාලු දෙක ම නැති දවස්වල හාල්මැස්සන් බැදුමක් හෝ බොරයට ඉවූවක් ද අපේ කෑම වේලට එකතු වෙයි. තාත්තා බොම්බිලි කරවල කන්නට හරි ආසා ය..ඊටත් වඩා අපි බොම්බිලි කරවලවලට ආසා ය.. කොච්චර ආසා ද කියනවා‍නම් මුට්ටියක දමා වසා ඇති නොපිසූ බොම්බිලි ද අපි කන්නෙමු.. එහි ඇති අමුර්ත රසය වචනයෙන් විස්තර කළ නොහැක්කේම ය..!!

කරවල දමා ඇති මුට්ටිය වසන්නේ ද පොල් කට්ටකිනි. එහි කරවල තිබුනොත් ඒ හාල්මැස්සන්, බොම්බිලි හෝ බල කරවල ය..එක විඩේකට ගෙනෙන කරවල සාමාන්‍යයෙන් වේල් තුන හතරකට භාවිතයට ගැනෙයි. එනිසා නිතර ම පාහේ මොනවා හෝ කරවල ජාතියක් එහි තිබෙයි. අමු හාල්මැස්සන් මහ වහුතු රහ ය.. නමුත්, බල කරවල තිබෙන දාට කරවල කෑල්ලේ කළුපාට හරිය කඩාගෙන අමුවෙම්ම කන්නට අපි සියල්ලෝ ම පුදුම කැමති ය...ඉව්වාට වඩා ඒවා අමුවෙන් කෑම මාර රහ ය.. වැඩියෙන් ම රස වන්නේ ඒවා තාත්තාට හෝ ආච්චීට හෝ හොරෙන් කන නිසා ය...!!

තාත්තා අපට වැඩියෙන් ම ගෙනෙන්නේ පොඩි මාලු ය. ඒවා කටු බහුල වුව ද අපි ඒවාට මනාප ය.. මස් කාරල්ලන්, හුරුල්ලන්, පරා පැටවුන්, අමු හාල්මැස්සන් මෙයින් ප්‍රධාන වෙයි. ගලේ ඇඹරූ ගොරකා තළියක්, ගම්මිරිස් සහ යහමින් ලුණු ද දමා හදන හුරුල්ලන් ඇඹුල් තියල් වෑංජනය දිව්‍යලෝක රහ ය. ලුනු ගම්මිරිස් අත ගෑ කාරල්ලන් තෙලෙහි බදින සුවඳ දැනුත් මට දැනෙයි...!! යහමින් ඇඹරූ අබ, අමු කහ සහ ගම්මිරිස් දමා උයන පරා පැටව් උකු බොරය අමෘතය ද පරදා කරනු ඇත. තාත්තා හදන පරාපැටව් වෑංජනය වඩාත් රස වන්නේ තාත්තා ඊට යහමින් අබ දමන නිසා ය.. ඉන්දියාවේ දී තාත්තලා වෑංජනවලට පොල් කිරි දැම්මේ නැති ලු.. ඒ වෙනුවට දැම්මේ ඇඹරූ අබ නිසා හැමදාමත් පාහේ අපේ මිරිස් ගල උඩ අබ තලියක් වරදින්නේ ම නැත. යමින් එමින් ගමන ඒ අබ තලියෙන් චුට්ටක් ඇඟිල්ලට ගෙන එය සූප්පු කිරීම ද අපේ අනිවාර්ය චාරිත්‍රයකි...!  .. යකඩ වංගෙඩියේ කොටාගත් කෑලි මිරිස් ටිකක් දමා, හදන අමු හාල්මැස්සන් මැල්ලුම ඊටත් එහා ය..!!

අල හොද්ද හෝ කිරි හොද්ද මේ තරම් රසට උයන්නේ කෙසේදැයි අදටත් අප දන්නේ නැත... එමෙන් ම එයින් පැතිරෙන සුවඳ තවමත් අපට සිතින් ආඝ්‍රාණය කළ හැකි වුවත්, මොන විජ්ජුම්බරයක්වත් දමා හෝ අදටත් අපට පිස ගන්නට නොහැකි ය.. කිරි හොද්ද හෝ අල හොද්ද නටාගෙන එන විට එය හැඳිගාන වතාවත් බාර ගන්නේ අප ය...නොනවත්වා හැඳි නොගෑවොත් කිරි කැටි ගැසෙයි.. හැන්දේ ගැවුණු නටන හොද්ද අල්ලේ තවරාගෙන එහි රහ බලන එක ද මාර ය..අපි එසේ කළාට ආච්චි කවදාවත් හොදි රස බලන්නේ නැත.  

ආච්චී හොද්දේ ලුණු බලන්නේ සුවඳිනි. හැන්ද නහය ළඟට ගෙන සුවඳ බලා තව ලුනු බින්දුවක් දෙකක් දමන සාත්තරය අපට උරුම නොවූයේ මලපෙරේතකමට ඒවා රහ බලන නිසා වන්නට පුලුවන....

Share/Bookmark

34 comments:

  1. පොඩි කාලේ අපිත් කෑවේ කරවල තමයි. අපේ තාත්තා ගේ ප්‍රියතම කැම තමයි හාල්මැස්සෝ. ඒවා සුද්ධ කරලා අම්මා ගේ නියපොතු ගෙවී තිබුණා. බිත්තර නිතරමත්, මාලු ඉඳහිට දවසකත් කෑවා. මස් කියන දේවල් අපේ පැතිවල ආගන්තුක කෑම.

    මං දිනපතා මස් කන්න පටන් ගත්තේ පේරාදෙනියේ අක්බාර් එකේ දී වෙන කරන්න දෙයක් නොතිබුණු නිසයි.

    ReplyDelete
    Replies
    1. අම්පාරෙදි ලාබෙටම තිබුනෙ හරක් මස්...
      එහේදි අපි කවදාකවත් කුකුල් මස් කාල තිබුනෙ නැහැ. ඒ එහේ කුකුල්මස් හම්බවෙන්නෙ සුපිරි මගුල් ගේකදි විතරක් නිසා..!!
      කුකුල්මස් කෑල්ලක් එක්ක බත් වේලක් ලැබුනා කියන්නෙ අම්පාරෙදි හරියට හිල්ටන් එකෙන් කෑව වගේ තමා...!!

      Delete
  2. හම්මේ.. අතීතෙට දුවනවා හිත එක හැල්මේ.. මැල්ලුම කොළ පාටට ගන්නට, කහ පොල් ගලේ අඹරා වට්ටක්කා ලා කොළපාටට උයන්නට, කිරි හොද්දේ ආවේණික සුවඳ ගන්නට හා කාරල්ලන් බැදුමට උණු උණුවේ දෙහි ඇඹුල් ටිකක් මිරිකන්නට නොදන්නා නිසා පමණක් නොව ගඳයි කියා බොම්බිලි ගේ පැත්ත පළාතට නොගෙනෙන නිසා බිරිඳ සමඟ හිතින් වලි දා ගන්නා වාර ගණන මතක් උනා.. හරිම රහයි මේ ටික..

    ReplyDelete
    Replies
    1. අනිත් ඔක්කොමත් හරි කියමුකෝ.. ඒත් බොම්බිලි නං බෑම තමයි... හි හි.... ( හොඳ වෙලාවට අපෙ මනුස්සය කොහොමත් බොම්බිලි වලට කැමති නෑ..)

      Delete
    2. //බිරිඳ සමඟ හිතින් වලි දා ගන්නා වාර ගණන// අපේ උන්දැත් හිතාගෙන ඇත්තේ මං බොම්බිලි වලට කැමති නෑ කියල වෙන්ටෑ.. සක්.. අදම ගිහින් පොඩි සද්දයක් දාල බලන්නොනේ..

      Delete
  3. හිරමන් කොටෙන් පොල් ගෑම අදටත් මගේ විනෝදාංශයක්... ඔය කිව්වා වගේම මටත් පොල් බෑව හොදට සුද්ද වෙන්න ඕන.. සමහර දවසට මං යන්තං ලිපට අල්ලලා පොලේ පිට පුච්චලා.. හෝදලයි බිඳින්නේ... :D
    හිරමන් කොටෙන් පොල් ගෑමත් නිකං භාවනාවක් වගේ වැඩක්... අර කරකෝන හිරමනෙන් පොල් ගෑමනං එපාම කරපු වැඩක්...

    අපේ ගෙදරත් මැල්ලුමක් වරදින දවසක් තිබුනේ නැති තරං... තාත්තගේ මෙනු එකට මැල්ලුම් නැති වෙන්නේ එහෙමත් වෙලාවක.. එයින් එකක් තමා අලයි හාල්මැස්සනුයි එකට දාලා තෙල් දාලා.. කලටි පොලයකින් සම්බෝල හදලා බිත්තර තම්බන දවස.. එහෙම දවසක මිසක් ලේසියකට මැල්ලුම අහක් වෙන්නේ නැහැ බත් පතෙන්.. ඒකත් කලවං මැල්ලුම තමා... දැන් ඉතිං ඒ කලවං පලා මැල්ලුම මතක් කර කර කොළඹ තියෙන මුගුණුවැන්න මිටි මලවං කන්නයි වෙලා තියෙන්නේ...

    ඉස්සර තාත්තා එක්ක පොලේ ගිහින් පස්සෙන් පහු ඒ රාජකාරිය මං බාරගත්තයින් පස්සෙත් ගෙදරට කරවල ගෙනාවේ එකම විදියට... බල කරවල පන්සීයයි... හාල් මැස්සෝ පන්සීයයි.. කීරමින් තොණ්ඩයෝ/සාලයෝ හෝ හුරුල්ලන් කරවල පන්සීයයි.. ඔය ටික ඉතිං හැම ඉරිදම පොලෙන් උස්සං එනවා... මොනවද ඉතිං සතියම කරවල කරවල... මස්නං බොහෝම අඩුවෙන් ගෙදරට ගෙනාවේ.. ඒ ගෙනාවත් මල්ලි විතරයි කන්නේ... මාළු කතාවනං අයියා කියලා තියෙන හැටියම තමා අපේ අහත්... ඔයිට අමතරව අපිට කාලෙන් කාලෙට ගෙදර කිකිළියෝ හදපු හින්දා ගම් බිත්තර තිබුනා යහමින්.. හැබැයි ඒවා වැඩි හරිය විකුණලා මායි මල්ලියි මඩිය තර කරගන්න එකයි කලේ... :D

    මං මේ සතියක් කෑම අඩුවෙන් කන ප්ලෑනක ඉද්දි මේ උලව්ව දැක්කේ.. දැන් ඉතිං ඉවසාංකෝ... සික් :D :D :D

    ReplyDelete
    Replies
    1. මාත් දැක්ක මාරයගෙ ඩයට් කතාව... හි හි... පළතුරු ඩයට් එකට වඩා එළවලු ඩයට් එක හොඳයි... එළවලු දිරවන්න වෙලාව යන හින්දද දන් නෑ සාමාන්‍යයෙන් එළවලු තම්බල හරි සුප් හදල හරි බඩට දාගත්තම පැය හයක් විතර අවුලක් නැතුව ෂේප් වෙතෑකි.... ඔය අපෙ අම්ම ඔපරේෂන් එකට කිලෝ 10ක් අඩු කරගන්න ඕනෙ වෙලා තුන් වේලටම එළවලු සුප් ( ඒ කිව්වෙ එළෝලු ටිකයි, පරිප්පු, කඩල මොනා හරියි ප්‍රෙෂර් කුකර් එකට දාලා වතුර පොඩ්ඩක් දාලා හදා ගත්ත සුප් එකයි, තෝර මාළු ගෑම් 250යි) කාපු කාලෙ මාත් ඔය ඩයට් එක කරපු හින්ද දන්නෙ...

      ඒක නෙවෙයි මං මේ අහන්න ගියෙ.. කලවම් පලා මැල්ලුමේ රසේ වෙනස මොකද්ද.. මං ඒක දන්නෙ නැත්තෙ ඉස්සර අපෙ අම්ම ඔය ජපන් බටුයි, කෝප්ප කොලයි අරක මේක දාලා මැල්ලුං හැදුවට මං මැල්ලුං කන්න ආස නැති නිසා රසක් මතක නැති හින්ද...

      Delete
    2. කෑමක රස අකුරු වලින් කියන්න පුළුවන්ද බං...? :D

      කලවං පලා මැල්ලුමේ තියෙන්නේ අමුතුම රසයක්... සුවදත් එහෙමමයි.. හැබැයි මැල්ලුමක රස නියම විදියට දැනෙන්නනං ඒ බත් එකේ කරවල හොද්දක් තියෙන්නත් ඕන... කරවල හොදියි කලවං පලා මැල්ලුනුයි කියන්නේ රස සාගරයක්... කරවල කන්න අකමැතිමනං ඉතිං පරිප්පු හින්දලා (අඩිය අල්ලලා රොස් වෙන්නම.. හදන හැටි දන්නේ නැත්තං අරන්න අර පොඩි කුමාරිහාමිගෙන් අහගන්න.. :D ) ගන්න ඕන...
      ඒකෙත් හොඳම එක තමා කලින් දවසේ උයාපු පරිප්පුව පහුවදා උදේට හින්දලා ඒකට මැල්ලුමක් හදා ගන්න එක.. හනෙ හම්මේ...

      Delete
    3. හෙක් හෙක්.. කුමාරිහාමිගෙ රොස් පරිප්පු..
      පොල් කිරි එහෙම දාලා උයපු මාලු හොද්දකුත් , කලවම් මැල්ලුමට එල

      Delete
    4. ආ ඒක අමතක උනා... කිරට උයාපු හාල් මැස්සෝ හොද්දත් ජාති... මස් කාරල්ලෝ කිරි හොද්දත් එසේමයි...
      (ඒ පරිප්පුවේ පේටන්ට් එක එයාට නෙව... :D )

      Delete
    5. අම්මේ කලවම් මැල්ලුම... අපි නම් කියන්නේ හාමු මැල්ලුම කියල... දැනටත් දෙයියන්ගේ පිහිටෙන් වත්ත පහලින් හොයාගෙන සතියට දවස් දෙකක් තුනක් නම් කොටා බානවා..

      Delete
    6. කලවම් පලා මැල්ලුම එක්ක හොඳටම යන්නෙ මුරුන්ගා කොල එහෙම යහමින් දාල හදපු කකුලුවො හොද්ද.

      Delete
  4. මේ අත්දැකීම් අඩු වැඩි වශයෙන් විඳගන්න වාසනාවක් තිබුන එක ගැන සතු‍ටුයි...

    ReplyDelete
  5. Post eka kiyewwâ. Full comment eka heta...

    ReplyDelete
    Replies
    1. මමනම් අදටත් මස් මාළු කනවට වඩා අපේ අම්ම හදන හොඳට කිරි දාල හදන කරවල, හාල්මැස්සෝ හොදි වලට පුදුම අසාවක් තියෙන්නේ.
      ඒ එක හොද්දක් එක්ක උනත් බත් මරන්න පුළුවන්. මම ගමේ යන දවස් වල ගොඩ වෙලාවට ඉන්නේ ඉස්මුරුත්තාව හැදිලා. ගෙදර කුඹුරෙන් ගත්තු රෝස කැකුළු බත් එක්ක කන කෑම අමුර්තය වගේ.
      මේ පෝස්ට් එකේ අකුරක් අකුරක් නෑර පුදුම රහක් තියෙන්නේ...

      Delete
  6. තාමත් ගමක වෙසෙන මට මේ කෑම බීම හොදටම හුරුය. කලවම් මැල්ලුමට ජපන්බටු කොළ, වැල් කොහෙිල දළු, වට්ටක්කාදළු, පැෂන් දළු තිබුණොත් අබ කොළ ටිකක්ද වරදින්නේම නැත.
    මැල්ල හෝ අඟුණ කොට මේ කලවම් මැල්ලුමට අම්මා හෝ ආච්චි ගත්තේම නැත. එය මැල්ලුමට වඩා ලුණුමිරිස් ආකාරයට පිසියි. ඒ ඔක්කොටමත් වඩා මැල්ල දළු පවනේ වේලා තෙළේබැද ගත්තාම කාරල්ලන් සමග කොස් කන්නට මරුය.
    වෙල පැත්තේ ගියදාට නියරෙන් කඩා ගන්නා ගිරාපළාද, ඇළ අයිනේන් කඩාගන්නා තෙබු දළු මාලුවද කොස් ඇට සමගින් පුදුම රසකි. මේ ඔක්කොටමත් වඩා මං කැමතියි කෙසෙල්මුහ ලුණුමිරිසට. හුගක් අතීතයට ගෙන ගියා මේ සටහන.

    ReplyDelete
  7. හම්මෝ...අද නම් රසයි කීවට පුදුම රසක්. මැල්ලුම තමා රසම. කමෙන්ට් දැක්කාමත් බඩගිනී. කෑමක් රහවුනාට ඒක අනුන්ගේ හිතේ රූපයක් ඇඳෙන විදියට ලියන එක තමා අමාරු. ඒක නම් ලඟ බලා ඉන්නවා වගේ මැවිලා පේනවා. පොල් කන හැටි. ගාන පොල් රැලි රැලි වැටෙන හැටිත් පෙනුනා.

    //එය ලිප තබන්නේ ලිපේ ගින්දර එළියට ඇදීමෙන් පසුව ය. ඒ හට්ටිය වහන්නේ ද තවත් හට්ටියකිනි. යාන්තමින් හීනියට සුදු දුමක් හට්ටියෙන් නැගෙද්දී ම එය ලිපෙන් බාගැනෙයි.//

    මේ ටික හරි.

    //එසේ බාගත් හට්ටිය වහන්නේ ද තෙත රෙදි කඩක් හෝ බිමට දැමූ වතුර පදාසයක් මත ය.//

    මෙතන තේරුනේ නෑනේ. හට්ටිය තෙත රෙදි කඩකින් වහලා වතුර එකක් උඩ ඒක තියනවද?

    ReplyDelete
    Replies
    1. වතුර ටිකක් හලල හට්ටිය ඒක උඩ තියන්නෙ මං හිතන විදියට ඉක්මණට හට්ටියෙ රස්නෙ අඩු කරන්න වෙන්න ඕනෙ පොඩ්ඩි... මොකද රස්නෙ පිටිං හට්ටියෙ මැල්ලුම තිබ්බොත් ඒක කරවෙනව... එහෙම නැත්තං දැං අපි කරනව වගේ වෙන භාජ‌නේකට මාරු කරන්න ඕනෙ...

      Delete
    2. මැටි භාජන රත් වෙන්න වෙලා යනවා , ඒ වගේම නිවෙන්නත් වෙලා යනවා
      කොල මැල්ලුමක් වගේ එකක් මැටි එහෙක හැදුවම අර ක්‍රමෙ කොලේ නැත්නම්, ඒකෙ කොල පාට ගිහින් කහ පාට වෙනවා.
      බාපු ගමන් , පියනකින් ඇහුවත් වෙන්නෙ ඒක තමා

      Delete
  8. පුදුම රහයි...

    ReplyDelete
  9. පුදුම රහයි...

    ReplyDelete
    Replies
    1. මේ අර මාත් එක්ක බුකියෙ මරාගන්න මනෝරමද ?

      Delete
  10. අදනං නියම රහ කෑම පෝස්ට් එකක්.

    අද ඔය කෑම ජාති ඒ රහට හදාගන්න බැරි කඩෙන් ගන්න පැකට් කරපු දේවල් දාන නිසා. පහේ ජාති, මිරිස්, ගොරක, අබ ගලේ අඹරල අරන් දාන කොලිටිය කවදාවත් පැකට් වලින් ගන්න බෑ.

    ReplyDelete
  11. ඔය තරම්ම පරණ නැතිවුණත් පුංචි කාලේ මතක් වුණා.... මොනවා කෑවත් නොකෑවත් බඩගින්නේ හිටියත් හරි සුන්දරයි නේද????

    ReplyDelete
  12. කටිල්ලො කිරට උයල !

    ReplyDelete
  13. හාල්මැස්සන් හිඳේන්න උයලා ඉතුර වෙන වළදට බත් දාගෙන කාල තියනවද? අන්න රස.

    ReplyDelete
  14. 1980 ගණන් වල අපි පොඩි කාලෙ අපිත් කෑවෙ කරවලම තමා
    ඊට පස්සෙ බිත්තර
    නැත්නම් අර කීවා වගේ පොඩි මාලු
    චිකන් හැදුවෙ සිංහල අවුරුද්දකට, නැත්නම් විශේෂ දවසකට.
    හැබැයි ඒ කාලෙ කුකුල් මස් රසයි ( ගම් කුකුල් මස් නිසා වෙන්න ඇති )
    දැන් ඒවායෙ කිරි රසක් නෑ පුලුන් වගේ විතරයි.

    ReplyDelete
    Replies
    1. කිරි රස , කිසි රසක් ලෙස නිවැරදි විය යුතුයි

      Delete
    2. ලොක්කා.. 86 උඹ මැජික් තට්ටයගෙ පංතියෙ ඉන්නකොට ගේන අපි හොරෙන් කන බත් එකේ රහ මට තාමත් මතකයි.

      Delete
  15. සුපිරි . . පොඩි කාලේ කාපු කරෝල හොදි, දෙහි දාපු කිරි හොදි, ආච්චිගේ කාරල්ලෝ හොද්දේ රස පවා මතක් උනා

    ReplyDelete
  16. කෑමක් නොකා ඒකෙ රස දැනෙනවා කියන එක අද දැන ගත්තේ...මේ අකුරු ඒ තරම් රහයි.....

    ReplyDelete
  17. හිරමනයෙන් පොල් ගා දීම පුංචි කාලේ අම්මට කරන ලොකුම උදව්වක් හැටියටයි මම හිතන් උන්නේ.

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මමත් හොදි හදන්නේ රස බලන්නේ නැතුව. අදටත් සුවඳින් තමයි ලුණු බලන්නේ. කවදාවත් වැරදිලා නම් නැත.

    ReplyDelete