Thursday, August 13, 2015

අපේ දිව්‍ය භෝජන - අංක 2


සේරුව සත 13ක් 15ක් පමණ වන හාල් අතර අඩ් මිලට ගත හැක්කේ හුනුසාල් ය. අප හුනුසාල් කියන්නේ සුන් වූ සහල්වලට ය. හෙවත් ඇඹරුම් යන්තරයෙන් සුද්ද කිරීමේ දී කැඩුණු හාල් ඇට වෙනම එකතු කළ විට ය. මේවා මිල අඩු ය. හාල අනුව එ්වා සේරුවක් සත 7 - 8ක් පමණ වෙයි. අප වැන්නෝ ඒවා ද මිලදී ගන්නෙමු ය..

හුන්සාල් ගරන එක තරමක් අමාරු ය. සීරුවෙන් කළ යුතු ය. කුඩා හාල් ඇට කැබලි නිසා ඒවා වතුර සමග පහසුවෙන් අහක යන නිසා ය. ඊටත් වඩා එහි ඇති ගල් වැලි කන්දරාව නිසා ය. හුන්සාල් බත් උයන්නේ උදේ කෑමට ය. හුන්සාල් බත සමග පොල් සම්බලයක් හෝ කිරි හොද්දක් පමණක් තිබුනත් ඇති ය...! පොල් සම්බලය හදන්නේ ඇලුමිනියම් මැටි කෝප්පයේ ය. දෙහි දැමූ පසු ඒ ටික වෙනත් බාජනයකට මාරු වන්නේ ඇලුමිනියම්වලට දෙහි හොඳ නැති නිසා ය. සම්බලය ඉවත් කළ මැටි කෝප්යට හුනුසාල් බත් දමාගෙන කෑමේ වරම ඉඳහිට අපට ද උරුම වෙයි. 

උදේ කෑමට අපට වැඩියෙන් ම ලැබෙන්නේ හීල් බත් ය. ඒ කියන්නේ රෑ උයා ඉතිරි වුනු බත් ය. නැවත වතාවක් ලිප තබා ගත් විට එය ඊයේට වඩා බෙරි වෙයි. නමුත් එහි රස අපූරු ය.. රෑ ඉතිරිවන බතට වතුර කෝප්පයක් ද, ලොකු කැබලි වන්නට කැපූ අමු මිරිස් කරල් දෙක තුනක් ද, දෙකට තුනට පැලූ රතු ලූණු ගෙඩි හතර පහක් ද දමා වසා තැබූ විට උදේට ලැබෙන්නේ දියබත් ය....!! උදේට ඒ මුට්ටියට ම පොල් රලක් ද ගා එකතු කළ විට අර සේරටම වඩා දිව්‍යෙලා්ක රහ ය...!!

එලවළු මාළු අතරින් අපට විශේෂ වන ඒවා දෙක තුනක් ද තිබේ. පිපිඤ්ඤා පට්ට තිත්ත ය.. නමුත් නැට්ට පැත්තෙන් පෙත්තක් කපා, බුලත් විට හුණු ඇබින්දක් තවරා ඒ පෙත්තෙන් ම වාර දහ දොළහක් ඇතිල්ලූ විට, ඝණ පෙන කැටියක් මතු වෙයි. පුදුමය වන්නේ අර තරං තිත්ත ගෙඩියෙන් එලියට එන මේ පෙන තිත්ත නැති වීම ය. පිපිඤ්ඤාව කැපූ පසු එහි ඇට සහිත කොටස වෙනම තසිමකට දැමෙයි. ඊට ලුණු බින්දු දෙක තුනක් ඉස ගත් විට ආයෙ වෙන මුකුත් ඕන ම නැත.. කිරි ඇට සමග හැපෙන දිය සීරුව ඒ තරම් රස ය..!!

බණ්ඩක්කා ගෙන ආවිට, තෙත කොහු හුඟකින් අතුල්ලා එහි බූව ඇරිය හැකි ය. ඊට පසු උයන්නට පෙර අපි ඒවා කන්නේ අමු අමුවේ ය..ඒ කිරි රස මාර ය..ඉතිරි ටිකට මිටි කිරි අල්ලක් දා ලිප තබා යාන්තං රත් කර ගත්තාත් ඇති ය.. ඒකත් මාර රස ය..!

“වම්බොට්ටේ රස නැට්ටේ..“ තාත්තා නිතර කියයි. කතාව ද ඇත්ත ය. වම්බටු ගෙනා විට, අමු පහේ දමා තෙලට හෝ කිරට උයන්නේ එහි නැට්ටත් එක්ක ය. කොළ පැහැති තැරිය වෙනස් ම රසකි. එනිසා ම මේ නැටි කන්නට අපි හරි කැමති ය. වම්බටු ගනිද්දී සීරුවෙන් තෝරා ගත යුතු ය. ගෙඩිය මැද කලු තිතක් සහිත ව වක ගැසී ඇත්නම් අනිවාර්යයෙන් ම එහි මැද පණුවන් සිටින්නේ ය. සමහර පණුවන් වම්බට්ටටත් වඩා ලොකු ය... මේ පණුවන් වම්බට්ට මැද සිටින්නේ උන්ගේ බෙටි ද සමග ය..

වැටකොලු කන්නට ද අපි හරි කැමති ය. අබ සහ කහ දමා මිටි කිරෙන් උකුවට ඉවූ විට ඉන් ලැබෙන්නේ ඉමිහිරි පැණිමය රසයකි. වැටකොලු උයන්නට පෙර එහි දාර සහිත ඝණ පොත්ත, දාරය පිටින් ම කපා ඉවත් කරනු ලැබෙයි. නමුත් ඒවා විසි කරන්නේ නැත. මේ ඝණ දාර පොතු ටිකට ලුණු ඇටයක් දමා තම්බාගත් විට හැන්දෑවට අතුරු ආහාරයක් වෙයි. වැටකොලු ගොඩේ මේරූ කරල් අත්නම් ඒවා තෝරා හණ කෙන්දකින් උඩකින් එල්ලනු ලැබෙයි. වැටකොල්ලේ මේරූ කරල් තිබේනම් ඒවා තෝරා බලන්නේ අර දාරය මහපටැඟිල්ලෙන් කඩා බැලීමෙනි.සුමාන දෙක තුනක් ගිය විට වැටකොලු ගෙඩියේ මදය දියවී ගොස්, වේලී දුඹුරු පාට වුණු, කොහු ගෙඩියක් ඉතිරි වෙයි. නාද්දී පිට අතුල්ලන්ට ද, වළං පිඟන් හෝදන්නට ද ගන්නේ මේ වැටකොලුවා ය...!

ඉවුම් පිහුම් රාකාරියෙන් පසු අප - අයියා ද මාද අකමැති ම රාජකාරිය වන්නේ වළං හෝදන එක ය.. ආච්චී සිටින විට අප මේ රාජකාරියෙන් ඉබේ ම නිදහස් වන්නේ උයා පිහා අවසන ඈ සියලු වළං පිඟන් සෝදා දමන හින්දා ය. තාත්තා ද පන්ති රාජකාරි නැතිනම් සියල්ල සෝදා දමයි. අපේ ඇඟිලි කැපිලා තිබෙන්නේ ද, නියපොත්ත අග තුවාල වී තිබෙන්නේ ද, වැලමිට ළඟින් අත නවන්නට බැරි අමාරුකම් ඇති වන්නේ ද, ඉතිරි දවස්වලය....!! නමුත් ඉඳහිට හෝ කිරිබතක් ඉවුණු දාට වළං හේදිල්ල මහා කඹ ඇදිල්ලක් බවට පත් වන්නේ දංකුඩේ අයිති වන්නේ වළං හෝදන එකාට නිසා ය..

කිරිබතක් පිසින්නට විශේෂ හේතුවක් නැත ද, ඉඳහිට අපට උදේට කිරිබත් කන්නට ලැබෙයි. කිරිබත් උයන දාට ලිපට දර දමන්නට ද, දර පලා දෙන්නට ද අප ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන්නෙමු. බත ඉදුනාට පසු ඊට කිරි දමා වසා තබා ටිකකට පසු මුට්ටිය “චිරි චිරි“ ගාන විට, බත කූරු ගාන්නට ද, කූරු ගෑ හැඳි මිටේ ඇති බත් ඇට කා බලා බත ඉදී ඇත්දැයි බලන්නට ද කාටවත් කිව යුතු ම නැත... ඉඳ හිට ගින්දර වැඩි වී බත රොස් වූවොත්, වහා ම බත බාන්නේ වතුර හට්ටියක් මතට ය... “සොරෝඕඕස්...“ ගාමින් නැගෙන හඬ අසන්නට ද, මුට්ටිය වැසෙන තරමට මතු වන සුදු හුමාලය දකින්නට ද හරි ආසා ය.. ඊටත් වඩා රොස් සුවඳ සමග මතු වන කිරි සුවඳ ආඝ්‍රාණය කරන්නට ද හරි ආසා ය..!!

කිරිබත බෑ සැණින් ඊ ළඟට උදා වන්නේ වළං හෝදන්නේ කවුදැයි තේරීම ය...
“ඔන්න අද මං වළං හෝදන්නෙ..මං“ මං කියමි.. “උඹ ඊයෙත් හේදුව.. “ අයියා කියයි. තරමක් වේලා වාද කිරීමෙන් පසු දංකුඩ ටිකක් දෙන පොරොන්දුව පිට ආරවුල අතරමග ම නවතා ගන්නට අපට හැකි ය.. කිරිබත හට්ටියෙන් බාන්නේ තවාගත් කෙසෙල් කොළයක් මතට ය.. තවත් කෙසෙල් කොළ කෑල්ලකින් එහි උඩ ද තවනු ලැබෙයි. නිවෙන තෙක් තබා කපාගන්නේ ඊට පසුව ය. මේ අල්ල පනල්ලේ  මුට්ටිය පතුලට පොල් කිරි ටිකක් දමා වටේට කරකවනු ලැබෙයි. රස්නේ පිටින්නම් එය වඩා හොඳ ය. මේ දංකුඩේ ගලවාගනු පහසු වනු පිණිස ය. කිරිබත උයන්නට පොරාතුව ම මේ කිරි පොඩ්ඩ වෙන් කර තබා ගැනීම අපේ සිරිත ය...

සම්බෝල තියා මුකුත් ම නැති ව, බාගෙට රොස් වූ මේ කිරිබත් දංකුඩය කන්නට දෙනවානම්, අද වුව මේ විඳින සියලු වරදාන මෙන්න කියා දී දාන්නට මට පුලුවන...!!

Share/Bookmark

34 comments:

  1. හුන්සාල් ගරන එක තරමක් අමාරු ය. සීරුවෙන් කළ යුතු ය. කුඩා හාල් ඇට කැබලි නිසා ඒවා වතුර සමග පහසුවෙන් අහක යන නිසා ය. ඊටත් වඩා එහි ඇති ගල් වැලි කන්දරාව නිසා ය. හුන්සාල් බත් උයන්නේ උදේ කෑමට ය. හුන්සාල් බත සමග පොල් සම්බලයක් හෝ කිරි හොද්දක් පමණක් තිබුනත් ඇති ය...! පොල් සම්බලය හදන්නේ ඇලුමිනියම් මැටි කෝප්පයේ ය. දෙහි දැමූ පසු ඒ ටික වෙනත් බාජනයකට මාරු වන්නේ ඇලුමිනියම්වලට දෙහි හොඳ නැති නිසා ය. සම්බලය ඉවත් කළ මැටි කෝප්යට හුනුසාල් බත් දමාගෙන කෑමේ වරම ඉඳහිට අපට ද උරුම වෙයි.

    කවදාවත් මේ විදිහට කාලා නැ හැබැයි දැන් නං කටට කෙලත් ඉනුවා අම්මටත් කිව්වා අද හෝ හෙට උදේට නැතත් රෑට මම මේ විදිහටම හදලා හුනුසාල් බතුයි සම්බෝලයි කිරිහොද්දක් හෝ අල හොද්දකුයි බැද ගත්ත කරෝල කෑල්ලකුයි එක්ක කනවා සිකුරටම

    ReplyDelete
  2. //සම්බෝල තියා මුකුත් ම නැති ව, බාගෙට රොස් වූ මේ කිරිබත් දංකුඩය කන්නට දෙනවානම්, අද වුව මේ විඳින සියලු වරදාන මෙන්න කියා දී දාන්නට මට පුලුවන...!!//

    ReplyDelete
  3. වැටකොලු පොතු තෙල්දාලා මාරම රසයි....

    අඩේ මම හිතුවේ කිරිබත් දංකුඩ කන්න ආස මම විතරයි කියලා... බලද්දි එහෙම නෑ නේහ්..

    ReplyDelete
  4. කිරිබත් කාපු කාලයක් මතක නැ

    ReplyDelete
  5. හුන්සාල් බතනං ඇති පදං කෑවා යක්කල වැඩ කරන කාලේ.. මං උදේට උයන්න කම්මැලි වෙලා වැඩට ගිය දවසට බත් ගත්ත තැනින් උදේ බතට දෙන්නේ සුන්සාල් බත්... ගානත් අඩුයි.. රසයත් වැඩියි... බොහෝමයක් වෙලාවට බත් එකට එන්නෙත් පොල් සම්බලයක් එක්ක කරවල තෙල් දාලා... පරිප්පුත් තියෙන දවස් තියෙනවා... මොනවද ඉතිං දිවිය ලෝක රහ... දැන් ඉස්සර වගේ හාල් ගරන්න නැති හින්දා හුන්සාල් බත් කෑම ඒ හැටි අමාරු වැඩක් නෙවෙයි. අනික හාල් විකුණන තැන්වල හුන්සාලුත් විකුණන්න තියෙනවා. බොහෝමයක් උදේ බත් විකුණන තැන්වලින් ඒකට මාර ඉල්ලුමක් තියෙන්නේ...

    හීල් බත් කෑමනං දැන් කාලෙකින් උනේ නැති තරං.. ඔය හීල් බත් කෑම දැන් අපි මේ උයන පිහන යකඩ හැලිවලං එක්ක ඇති වැඩක් නැහැ.. ඒකට ඉතිං මැටි මුට්ටියේ උයාපු බතම තියෙන්න ඕන... ඉස්සර ඉතිං අපේ ගේ වටේට කජුගස් වකාරේ හින්දා තුන්සිය හැටපස් දවසෙන් වැඩි හරියක් ගෙදර කජු උයනවා... ලොකු මැටි හට්ටියක් පුරෝලා නාඹර කජු මද දාලා.. ඒකට සෝදපු පරිප්පු මිටක් එකතු කරලා කීරමින් කරවල වලින් ටිකකුත් එක්කාසු කරලා උයන්නේ හවස දෙකට තුනට විතර තමා... කජු උදේ වරුවේ උයනවා හරි අඩුයි අපේ තාත්තා...
    හවස ලිපේ තියලා හොද්ද නටන්න ගත්තට පස්සේ ගින්දර අඩු කරලා අගුරු රස්නෙන් තියෙන්න අරිනවා... එහෙම තියෙද්දිම රෑ කෑමට හට්ටියෙන් බාගයක් බෙදාගන්නවා.. ඉතිරි අඩ පහුවදා උදේ වෙනකල්ම ලිපේ තියනවා.. උදේ වෙද්දි අගුරු රස්නේ වැදිලා අරක තනිකරම බටර් හට්ටිය වගේ වෙලා.. දැක්කම ලස්සනේ බැහැ.. රහත් එහෙමම තමා... හීල් බත් මුට්ටිය හූරලා ඕකට දාලා හොදට අනලා කරලා මටයි මල්ලිටයි තිබුන මැට් කෝප්ප දෙකට එයින් ලොකු අහුරු කිහිපයක් දාලා සමහර වෙලාවට රතුළුණු ගෙඩි දෙක තුනකුත් සුද්ද කරලා දෙනවා... පොල් සම්බලයක් එහෙමත් හැදෙන දවස් තියෙනවා... මොනවද ඉතිං.. අදටත් නැහැ එහෙම රස කෑමක්... ආයේ එහෙම කන්න වෙන එහෙකුත් නැහැ... අමාරුම දේ නාඹර කජු ටිකක් හොයා ගැනිල්ල.... පදං වෙච්ච මැටි මුට්ටියක බතක් උයාගෙන ඒකටම අරකත් සෙට් කරගන්නවා කියන එක ලේසි කාරියක් නෙවෙයි...

    පිපිඤ්ඥනං අද දවාලෙත් ඔය කියාපු හැටියට ලුනු ඉහං කෑවා... අපිනං හුනු තැවරිල්ලක් නැහැ.. නිකංම නැට්ට පැත්තෙන් පෙත්ත ගහලා අතුල්ලලා තිත්ත අරිනවා...
    වැටකොළු දාර මමනං කන්නේ පොඩියට කපලා කරවල එක්ක තෙල් දාලා... අළු කෙහෙල් ලෙල්ලත්.. දෙල් පොත්තත් යන දෙකත් ඒ විදියම තමා... වැටකොළු ඉව්වොත් එදාට හුරුල්ලන් කරවල එක්ක දාර ටික තෙල් දාන්න ඕන... දෙල් ඉව්වොත් කරවෙන් බැදපු හාල් මැස්සන් එක්ක දෙල් ලෙල්ල තෙල් දාලා ගන්න ඕන... අළු කෙසෙල් උයාපුවාම ලෙල්ල හීනියට කපලා කූනිස්සෝ එක්ක තෙල් දාන්න ඕන.. ඔන්න ඔහොමයි අපේ තාත්තගේ මෙනු... ඔය හැම එකටම ඉතිං මැල්ලුමකුත් වරදින්නේ නැහැ... ආ වැටකොළු කියන්නේ අදටත් මං ආසම එළවළුව....

    කිරිබත්නං මං පොඩි කාලේ ඒ හැටි ආස කෑමක් නෙවෙයි.. දුන්නොත් ඉතිං කෝකත් කන හින්දා කෑවට ඕක කෑව වෙලේ ඉදලා නිදිමත හින්දා මං ඒ හැටි මනාපයක් නැහැ... හැබැයි දංකුඩේටනං මාත් කැමතියි... කිරිබත් මට අල්ලලා ගියේ LMRB එකේ වැඩ කරන කාලේ පාමංකඩ පාරේ තිබුන පොඩි කඩේකින් තමා... ලොකු කිරිබත් කෑල්ල උඩට හොද උකුවට මිරිසට උයාපු මාළු ඔළු හොද්දකුයි ඒකටම කැපෙන ලුණු මිරිසකුයි එක්ක තමා එතන කිරිබත් දුන්නේ... මොනවද ඉතිං සූ සූ ගගා දිව පිච්චි පිච්ච කාලා.. උනු උනේවේම ඉඟුරු ප්ලේන්ටියක් සීනි වැඩිය දාලා බිව්වම...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං මේව කියෙව්වම තමයි මාරයා නගින්නෙ....හුහ්....!!

      Delete
    2. Kemak dekkoth thamai marayata magal mathak wenne den

      Delete
    3. "මාරයාගේ හෝරාව" කියලා බ්ලොග් එකක් තිබුනද බන්???

      Delete
    4. තුන් දෙනාටම... තිත් දෙකයි ඩී...

      Delete
    5. මේ පොස්ට් එක කියවල මදිවට කමෙන්ට් ටිකත් කියෙව්වනේ තියන ගොන් කමට.. දැන් ඉතින් මැරෙන්න බඩගිනියි... හීල් බත් රස ආයේ කවද රසවිඳින්න ලැබෙයිද... දෙල් උයල කවද කන්න ලැබෙයිද...නැට්ට පිටින් ලා වම්බටු කවද කන්න ලැබෙයිද..

      Delete
  6. අපි එකිනෙකාගේ වර්තමාන කතා වෙනස් ය. ඒත් කෙනෙකුගේ අතීත කතාවක සමහර කතා කොටස් ඉවත් කර සමහර කතා කොටස් ඉතිරිකර ගතහොත් එය ඔහුගේ කතාවද තමන්ගේ කතාවද යනුවෙන් වෙන් කර හඳුනා ගැනීමට නොහැකි තරමට සමාන වෙයි. මේ කතාවේ සමහර කොටස්ද එසේමය.
    එමෙන්ම වර්තමාන කතාවේ නොව, අතීත කතා වල බොහෝ කොටස් බොහෝ සමාන වෙයි.
    අපට අද මේ සමහර දේ මතකයක් පමණකිය. එහෙත් අපේ අද කතා වටින්නේ සමහර විට රුපියල් සත ගණන් වලිනි. මේ අතීත කතා වටින්නේ ජීවිතයේ කොටස් වලිනි.

    ReplyDelete
  7. කිරිබත් මගෙත් ප්‍රියතම ආහාරය..
    පදමට මිරිස්, ලුනු දෙහි, උම්බලකඩ දැමූ කට්ට සම්බෝලය සමඟ
    මස් හෝ මාලු බොර ටිකක් තිබ්බා නම් පංකාදු පහයි
    කිරිබත් ගිණි උනුවේ කෑවාට රසක් නැත
    සීතල වී කෑවාටද රසක් නැත
    මම නම් මනාප මඳ රස්නයෙන් කොටා බෑමටය.

    ReplyDelete
    Replies
    1. මේ අපේ හෝටලයේ තාරකම නොවෙද? මද රස්නේ කිරිබතක් මාළු බොරයක් එක්ක ඇති රස අම්මෝ........

      Delete
    2. මටනම් කිරිබත් රසම රෑ උයපු වල් ඌරු මස් එක්ක...
      කෑලි කපන්නේ නැතුව බත් වගේ පිඟානට බෙදාගෙන පොඩ්ඩක් නිමුනට පස්සේ තමයි කන්න ඕනේ...
      ඌරු මස් හට්ටිය රත් කරන්නේ නැතුව කෑවම තමයි වැඩිය රහ දැනිල තියෙන්නේ.

      Delete
  8. පොස්ට් එකයි මාරයාගේ කොමෙන්ට් එකයි කියවනකොට අම්මපල්ල කටට කෙල ඉනුවා.. හුනුසල් බත් අපේ ගෙදර උයනකොට අම්මා කරේ ඉදීගෙන එන වෙලාවට පොල් ටිකක් කලවම් කරනෙක.. ඒකට කියන්නේ පොල් බත්. හුනුසල්වල කිරි රහයි පොල්කිරි රසයි එකතුවෙලා පොල් රැලි කඩින් කඩ හැපෙන කොට හම්මේ..කිසි ගේමක් නැතුව නිකන් කතහැකි.. හොඳම මෙනු එකක් ඕනිනම් වන්ගෙඩියේ කොටාගත්ත ලුනුමිරිසක් ඇති.. ලුණුමිරිස ගොඩක් වෙලාවට ඉතින් කන්න ඉතුරු වෙන්නේ වැඩිහිටියෝ දෙතුන් දෙනා විතරයි. පොඩිහිටි අපි ලිපෙන් බනකොටම කොටා බානවා..

    හුනුසල් මෙච්චර රහ වෙන්න හේතුව මට පස්සේ කාලෙක පැහැදිලි කලේ ප්‍රසිද්ධ ගුවන් විදුලි නිවේදකයෙක් හා ව්‍යාපාරිකයෙක් වූ ආරිය සහල් අයිතිකාරයා ආරියසිරි විතානගේ මහත්තයා.. ඒ හමුව වෙනම පොස්ට් එකක ලියන්න වටිනවා.. ආරිය සහල් වල තියෙනවා වෙනම හුනුසාල් පැකට්. ඒවා සාමාන්‍ය හාල් වලට වඩා ගණන්.. ඒ ගැන ඇහුවම තමයි කියුවේ.. හුනුසහල් වල වැඩියෙන්ම තියෙන්නේ හාල් ඇටයේ බීජ කොටස.. දැකල ඇති හාල් ඇට වල එක කොනක් කැඩිලා ගිහින් තියෙනවා.. එතනලු බීජය තියෙන්නේ.. ඒ කියන්නේ පැලවෙන කොටස.. ඒකලු එච්චර කිරි රස..
    අපි හැදුනේ හීතල පැත්තක නිසා හීල් බත එච්චර ෆේමස් නෑ.. නිතරම ඒ වෙලාවට ඇතිවෙන්න තමයි උයාගන්නේ.. ඇති වෙන්න උයනවා කියුවට ඇත්තටම වෙන්නේ පුළුවන් විදියට උයලා බෙදා ගන්න එක. පාන් කන්න හම්බුනු දවසට තමයි ඔය බෙදා ගැනිල්ලේ යුද්දේ.. අපිට හම්බ වෙන්නේ පාන් කාලයි. ඉතින් අපි කාලකන්නියෝ.. අයියලාට කාලයි අරික් කාලක් හම්බ වෙනවා.. උන් කාලයි අරික්කාලකන්නියෝ..
    තවමත් පිපිඤ්ඤා කපනකොට මදේ කනවා.. එතකොට පොළොස්තම්බලා කපන වෙලාවට මැද වහල්ල කෑල්ලත් පැන පැන කනවා.. සමහර වෙලාවට වයිෆ්ගෙන් බැණුම් අහන්නත් වෙනවා..
    ඇඟ අතුල්ලන්න වැටකොළු කොස්සට ගහන්න ප්‍රඩක්ට් එකක් තම නෑ.. ඔහොම යන් ඔහොම යන්..

    ReplyDelete
    Replies
    1. එතකොට පාං භාග්‍යවන්තයො වෙන්නෙ කවුද?

      Delete
    2. භාග්‍යවන්තයෝ වෙන්න සෑහෙන කාලයක් ගියා.. ලොකුම දෙන්න වගේ රස්සාවල් වලට ගිහින් බර හෑල්ලු වෙන කාලේ වගේ වෙනකොට ඔන්න අපි භාග්‍යවන්තයෝ වෙන ගානට 'කර දඬු උස්මහත් වෙලා' හිටියා.. හැබැයි ටික කාලෙකින්ම කාල් නැති වෙලා පෙති ආවයින් අර ගතියත් ගියා.. දැන් පාන් කන්නම බා ගැස්ට්‍රික්..

      Delete
  9. /* “වම්බොට්ටේ රස නැට්ටේ..“ තාත්තා නිතර කියයි. */

    මං නං අහලා තියෙන්නේ බට්ටේ රස නැට්ටේ කියා ය. එය හොඳින් රයිම් වෙයි!

    පොල් පුච්චපු සම්බෝල කාලා නැද්ද? පොල් බෑයෙන් තීරු කිහිපයක් කාප, ඉරට්ටක දවටා, ගින්නේ පුලුස්සා ගෙන, මිරිස් සහ සුදු ළුැණු එකතු කර හදන සම්බෝලය?

    ReplyDelete
  10. අපිත් හුනසල් බත් හදන්නෙ පොල් දාලා තමයි. හුනසල් එකතු කරගන්න නම් හොඳ කට්ටක් කන්නෙ. අපි ඉන්න රටේ හුනසල් නම් ගන්න නෑ. ලංකාවෙන් කුල්ලක් ගෙනාත් පොඩි pantry එකක හාල් පොලලා (වච්නෙ හරි නේද​?) හුනසල් වෙන්කරගෙන හුනසල් බත් හදන එක ලේසි නැති උනාට ගෙදර හැමෝම ආස නිසා කොහොමහරි හදාගන්නවා.
    කිරිබත් හදන්නෙත් භාස්මතී හාල් වලින් පැකට් වල තියන පොල්කිරි දාලා. ලංකාවෙ ඒව තරම් රස නැති උනත් කිරිබත් නේ...

    ReplyDelete
  11. කිසිම අඩු වැඩියක් නැතුව තේනුගේ මෙනුව මෙන්ම මාරයාගේ මෙනුවද මා පොඩි දවස්වල හොදින් අත් විඳ ඇත. ඔයිට අමතරව වතත් මසුරං කෑමක් තමා වල් දෙල් රෑට තම්බා උදේට හිලෙන් කෑම.
    දැන් හුණු සාල් මිලට ගැනුමට තියේ. වෙනම පැකට කොට ඇත. එහෙත් අපි හුණු සාල් හදාගත්තේ වනේ කොටා සහල් කුල්ලේ දාමා පාහින කොටමය. එනිසාමදෝ ඒ සුණු සහල අද වෙලදපළ තිබෙන ඒවාට වඩා රසවත්ය.
    මේ එක්කම මතකයට එන තවත් දෙයක් තමා සමුපකාරයේ පෝලිමේ සිටිම. ඒවා වෙනම කතාවකට ලිවිය හැකි දේවල් ය.

    ReplyDelete
  12. ඔක්කෝ ම කොමෙන්ට් කියෙව්වා ම අපේ ගීත රචක, දොස්තර යසනාත් ධම්මික බණ්ඩාර මල්ලිගේ කොමෙන්ටුව යළි ත් උපුටා දක්වන්න හිතුනා...
    //අපි එකිනෙකාගේ වර්තමාන කතා වෙනස් ය. ඒත් කෙනෙකුගේ අතීත කතාවක සමහර කතා කොටස් ඉවත් කර සමහර කතා කොටස් ඉතිරිකර ගතහොත් එය ඔහුගේ කතාවද තමන්ගේ කතාවද යනුවෙන් වෙන් කර හඳුනා ගැනීමට නොහැකි තරමට සමාන වෙයි. මේ කතාවේ සමහර කොටස්ද එසේමය.
    එමෙන්ම වර්තමාන කතාවේ නොව, අතීත කතා වල බොහෝ කොටස් බොහෝ සමාන වෙයි.
    අපට අද මේ සමහර දේ මතකයක් පමණකිය. එහෙත් අපේ අද කතා වටින්නේ සමහර විට රුපියල් සත ගණන් වලිනි. මේ අතීත කතා වටින්නේ ජීවිතයේ කොටස් වලිනි.//
    උන්දෑ ගීත රචකයෙක් උනේ එහෙම දකින නිසා නෙ....!!!!

    ReplyDelete
  13. හුණුසාල් බත්නම් අපිත් කාලා ඇතිය.
    පිපිඤ්ඤා වල තිත්ත ඇරීමට හුණු ගෑමක් නොකර නිකන්ම පෙත්ත කපා ඇතිල්ලීම තමයි අපි කරන්නෙ.
    කිරිබත් කෑමට ආසා වන්නේ සුදු හාලින් නම් හොඳින් කිරි දමා හෝ නැත්නම් රතු හාලින් වේලෙන ලෙස හදාගෙන හොඳ ලුණුමිරිසක් සමගය.

    අද කාලයේ ඇති තරඟකාරී ජීවන රටාව සමග මේවා කරන්නට බැරි වීම කණගාටුවකි.

    ReplyDelete
  14. නිවාඩුව අබියස කියවා ඉවර කෙරුවේ ඊයේ රාත්‍රී එකොළහාට පමණ.දුක නොදැනෙන්න දුක ලියලා තියෙනවා.අනිත් ටිකත් කියවගෙන එන්නම්.

    ReplyDelete
  15. //සම්බෝල තියා මුකුත් ම නැති ව, බාගෙට රොස් වූ මේ කිරිබත් දංකුඩය කන්නට දෙනවානම්, අද වුව මේ විඳින සියලු වරදාන මෙන්න කියා දී දාන්නට මට පුලුවන...// මම නම් අදටත් මෙසේ කන්නෙමි....
    මගේ ප්‍රියතම ආහාරය බැවින් නිවාඩු දවසකට ගෙදර කිරිබත් වරදින්නේම නැත.. කිරිබත් උණුවෙන්ම කෑමට වෙනත් කිසිවක් උවමනා නැත.. ඇරත් ‍සම්බෝල/හොදි මිශ්‍රකර කිරිබතේ රස නැතිකරනවාට මම විරුද්ධය.
    එවැනි දිනක උදේ 10ට පමණ ප්ලේන්ටියක්ද හදාගෙන, සතාගේ හැටි දන්නා බැවින් වලඳ සේදීමට පෙර බිරිඳ විසින් කුඩා පිඟානකට දමා වසා නිබෙන දංකුඩය කා ප්ලේන්ටිය බීම තරම් දෙයක් තවත් නැත්තේය.
    Naleen Dilruksha කීවාක් මෙන් දැන් හුණු සාල් මිලට ගැනුමට තිබේ, නමුත් එදා වගේ නොව සමහර සහල් වර්ග වලටත් වඩා මිල වැඩිය. එමෙන්ම සුපිරි වෙළඳ සැලේ පවා ඒවාට ඇත්තේ පුදුම ඉල්ලුමකි. තිබෙනවා දුටු වහාම ගතයුතුය හෙට ගන්නට හිටියොත් කවදාවත් කන්න වෙන්නේ නැත.

    ReplyDelete
  16. මේ කතාව අපේ වගේ දැනෙන්නේ අපි හැමෝගෙම ජීවිත වල මොනවහරි කොටහක් මේකේ තියෙන නිසා වෙන්න ඕනේ...
    අපේ ගෙදරත් සුනු සහල් මුට්ටියක් තිබුනා. ඒක එළියට එන්නේ හාල් ගේන්න සල්ලි නැති දවසට. ඒකෙන් හැදුවෙත් නිකම්ම නිකං බත් නිසා විශේෂ මතකයක් දැනුනේද නැත. සමහර විටෙක දැනුනේ තරමක දුප්පත් බවකි.
    ආර්ථිකේ සුණු සහල් මළු පිටින් තිබුනත් කවදාවත් මිලදී නොගන්නේ එහි වූ රසයක් කෙදිනකවත් හඳුනාගෙන නැති නිසා විය යුතුය.
    වහාම එහි ගොස් සුනු සහල් ගෙනවිත් කිරිබත් සාදා කෑ යුතු බව සිතාගතිමි...

    ReplyDelete
  17. අම්ම රට දෙල් උයනකොට කපල ඉවත දාන වහල්ලට ඉරටු කෑලි හතරක් ගහල හිටවල තියනවා. ඒවාට කියන්නේ අශ්වයෝ කියලා ..... අපේ පුංචි උන් නම් ඔය වැඩේ කරනවා දැකල නෑ...... සමහරවිට අපේ රත්නපුරේ පැත්තේ විතරක් දෙල් අශ්වයෝ හදනවා ඇති ..... පොඩි උන්ගේ අම්මලාගේ ගමේ (බෙලිඅත්තේ ඔය සෙල්ලම නැතුව ඇති.) අද ගෙදර ගියාම අහන්න ඌන

    ReplyDelete
  18. අපේ අම්ම රට දෙල් උයන දවසට කපල ඉවත දාන වහල්ලට ඉරටු හතරක් ගහල හිටවල තියනවා... ඒවාට කියන්නේ අශ්වයෝ කියලා. ඒත් අපේ පොඩි එකා ඔය වැඩේ කරනවා මම දැකල නෑ. සමහරවිට දෙල් අශ්වයෝ හදන්නේ අපේ රත්නපුරේ විතරයි වෙන්න ඇති. පොඩි එකාගේ අම්ම බෙලිඅත්තේ නොවැ. ඒ පැත්ත අය ඔය සෙල්ලම දන්නේ නැතුව ඇති. අද ගෙදර ගියාම අහන්න ඕන.

    ReplyDelete
  19. කතරගම වැඩකරපු කාලේ ගෝල තැන කළුවර වැටුනායින් පස්සේ අල්ලපු වැටේ තිබ්බ වම්බොටු හේනට හොරෙන් පැනල කඩන් ඇවිත් උයන ලා වම්බටු ව්‍යංජනය මතක් උනා.. දිවය භෝජන පරාදයි..

    ReplyDelete
  20. කාලය වෙනස් උනත් තාක්ෂණය දියුණු උනත් තවමත් අපි කන්නෙ හීල් බත් තමයි. වෙනසට තියෙන්නෙ රයිස් කුකර් එකෙන් බෙදාගෙන උදේට මයික්‍රොවේව් දාන එක විතරයි. තව තියෙනවා නේද දියබත් කියලා ජාතියක්...ඒක හදන හැටි ඔබතුමා දන්නවද...

    ReplyDelete
    Replies
    1. // උදේ කෑමට අපට වැඩියෙන් ම ලැබෙන්නේ හීල් බත් ය. ඒ කියන්නේ රෑ උයා ඉතිරි වුනු බත් ය. නැවත වතාවක් ලිප තබා ගත් විට එය ඊයේට වඩා බෙරි වෙයි. නමුත් එහි රස අපූරු ය.. රෑ ඉතිරිවන බතට වතුර කෝප්පයක් ද, ලොකු කැබලි වන්නට කැපූ අමු මිරිස් කරල් දෙක තුනක් ද, දෙකට තුනට පැලූ රතු ලූණු ගෙඩි හතර පහක් ද දමා වසා තැබූ විට උදේට ලැබෙන්නේ දියබත් ය....!! උදේට ඒ මුට්ටියට ම පොල් රලක් ද ගා එකතු කළ විට අර සේරටම වඩා දිව්‍යෙලා්ක රහ ය...!! //

      Delete
    2. දෙවන වර කියවීමෙදි මම ඒ කොටස දැක්කෙ.

      Delete
  21. හුනුසාල් බත් කන්න ලැබී ඇත්තේ ජීවිත ගමනේ බොහොම කෙටි දින ගණනක් විතරය. හීල් බත් නම් වේලක් පිරිමහ ගන්න කාලාම නැත. දැනුත් මම හීල් බත් කන්නේ උදේට උයනකල් ඉවසන් ඉන්න බැරි උන විටයි. නමුත් ඒවයේ එන්නේ නියම හීල් බත් වල සුවඳ හරි රස හරි නෙමෙයි. ශීතකරණයේ රැයක් පහන් කර විකෘති වූ බත් ඇට වල ඇති මෙලෝ රසකි. මේ කතා දිව්‍යලෝක රස වන්නේ ඒ නිසා ය.

    ReplyDelete
  22. හුනුසාල් බත් කන්න ලැබී ඇත්තේ ජීවිත ගමනේ බොහොම කෙටි දින ගණනක් විතරය. හීල් බත් නම් වේලක් පිරිමහ ගන්න කාලාම නැත. දැනුත් මම හීල් බත් කන්නේ උදේට උයනකල් ඉවසන් ඉන්න බැරි උන විටයි. නමුත් ඒවයේ එන්නේ නියම හීල් බත් වල සුවඳ හරි රස හරි නෙමෙයි. ශීතකරණයේ රැයක් පහන් කර විකෘති වූ බත් ඇට වල ඇති මෙලෝ රසකි. මේ කතා දිව්‍යලෝක රස වන්නේ ඒ නිසා ය.

    ReplyDelete