Tuesday, October 6, 2015

රස කැවිලි.


එකල අපේ හොඳ ම රසකැවිල්ල වූයේ හොරෙන් සීනි කෑම ය... අද මෙන් නොව එකල සීනි කැට තරමක් ලොකු ය..චර චර ගා හැපෙයි. රස ද වැඩි ය. ඉඳහිට අපට සූකිරි ලැබෙයි. සූකිරි තිබෙන්නේ ලොකු තිරිවාණා කුට්ටි වගේ ය. එය කුඩා කැබැලිවලට කඩා බෝතලයකට දමන්නේ තාත්තා ය. අපේ කාරිය වන්නේ එය අහවර වනතෙක් හොරෙන් රස බැලීම ය..! සූකිරි සීනිවලට වඩා රසින් වැඩි යැයි මට සිතේ. නමුත් සූකිරි කමින් තේ බොන්නට බැරි ය..මන්ද සූකිරි ඊට වඩා රස නිසා ය.

අප සූකිරිවලට කොතරම්පෙරේතදැයි කියනවානම් දවසක් තාත්තා රැවුල කැපුවාට පසු මුහුණේ උලන සීනක්කාරං කුට්ටියේ ද අග්ගිස්ස හපා රස බැලුවෙමු. ඊඊඊඊයා ය.. එය කට කාරං යන අමිහිරි රසයකින් යුක්ත ය. මට මතක හැටියට සහිඳ ලුණු කියන්නේ එහි කුඩා කැබලිවලට ය.. ටිකක් වැඩිපුර කෑවානම් බඩ එළිය යන්නේ ටැප් එක ඇරියා වගේ ය..!!

කඩෙන් සල්ලි දී රස කැවිලි කෑමක් එකල අප අතර තිබුණේ නැත. ඒ අප අත සල්ලි තිබුණේ නැති නිසා ය.. ඉඳහිට තාත්තා ගෙන එන යම් රසකැවිල්ලක් වෙද, අපට එය දිව්‍යලෝක රසයක් ගෙන දුන්නේ ය..

මේ රස කැවිලි අතර අග රජු වූයේ ගුණසිරි බුල්ටෝ ය. තඹ සතේ කාසියකට එකල ගුණසිරි බුල්ටෝ 5ක් ලබා ගත හැකි ය. සුදු පැහැ තෙල් කොළයක, දෙපැත්ත අඹරා ඔතා ඇති බුල්ටෝව අපේ මහපටැඟිල්ලක් තරම් මහත ය.එහි පුරුක් දෙකක් පමණ දිග ය.. කරවුණු අධික පැණි රසයකින් ද, ඒ හා සමාන ම කිරි රසයකින් ද යුක්ත ය... වැඩියෙන් ම අපට බුල්ටෝ ගෙනැවිත් දුන්නේ ආච්චි ය. බුල්ටෝව කටේ දමා ගත් විට වරුවක් හපන්නට පුලුවන. එය දත්වල ද, තල්ලේ ද ඇලෙයි. ඇඟිල්ල ඔබ එබා ඒවා සූරමින් යළි සූප්පු කිරීම ද,  රසවත් කාරියක් ම ය.

තඹ සල්ලියක් ලැබුණු විට අප වැඩියෙන් ම කරන්නේ එය උඩ දමමින් නෝනද පොල්ලද කිරීම ය..නෝනා යනු එහි එක පැත්තක සිටින වික්ටෝරියා මහ රැජණගේ හිසෙහි රූපය ය..පොල්ල යනු අනෙක් පැත්තේ උලැඟි කොට ඇති පොල් ගස ය...



බුල්ටෝවලට වඩා අපට වැඩිපුර ම හමු වූයේ හූණු බිත්තර ය...හෙවත් හූණු බිජු ය... බාර්ලි ඇටයක් තරම් ව, විවිධ පාටින් ඇති මේ පුංචි රස කැවිල්ල මාර රස ය. එය සූප්පු කළ විට පළමුවෙන් ම අමි තිත්ත රසැති වර්ණකය කටේ දියවෙයි. ඊට පසු එය සුදු පාට ය.. එහි පිටි රසක් ද, සීනි රසක් ද ඇති අතර, මැද මාදුරු ඇටයකින් ද සමන්විත ය.

ඊ ළඟට අපේ රස ලොව කිරුළු පැළැන්දුවේ නාරං බික් ය...නාරං බිකක හැඩයට තනා ඇති එය ද විනිවිද පෙණෙන නමුත් විවිධ වර්ණවලින් විය. ඒ එක් එක් වර්ණයක බික් වෙන් වෙන් රසයකින් යුක්ත ය. කහපාට ඒවා දොඩම් රස ය..තැඹිලි පාට ඒවා දොඩම් වැනි ම වූ තව රසයකින් යුක්ත ය. කොළපාට ඒවා දෙහි රස ය.. ඇඹුල ය.. මේ නාරං බික් තිබෙන්නේ සුදු පාට කුඩකින් තවරලා ය. ඒ තැවරුම ද අපූරු ය. කටේ ගෑවුණු සැණින් දිව සීතල කරමින් වහා දියවෙයි. ඒ ග්ලූකෝස් බව දන්නේ බොහෝ කල් ගියාට පසුව ය. නාරං බික් ලැබුණු වට ද අප කරන්නේ එය කටේ දමාගෙන වරුවක් සූප්පු කිරීම ය. ඒ සූප්පු කරන අතර තුර එළියට ගෙන බැලීම ද තවත් රසවත් කාරියකි. එය ඇසට තබා ඉදිරියෙන් සිටින කෙනා දෙස බැලීම ඊටත් වඩා රස කාරියකි...අවසන හීන් වීදුරු පෙත්තක් වැනි තුනී තීරුව සරස් ගා හැපුණු පසු රසවත් දුකකින් හිත පිරී යන්නේ ය..

අනෙක් සීනි මුරුක්කු ය...සීනි මුරුක්කු ජාති දෙකකි. එකක් අඟල් දෙකක් පමණ දිග ය. අනෙක බෙට්ටක් වගේ කොට ය..දෙකේ ම වර්ණ රටාව එක වගේ ය. සුදු පාට මුරුක්කුවේ උඩ සිට පහළට හීන් වර්ණ තීරු සටහන් ව තිබේ. දීප්තිමත් කොළ පාට, රතු පාට, තැඹිලි පාට මෙන් ම කළු පාට ද ඒ අතර ඇත. මේවා අධික පැණි රස ය..මේවා නිෂ්පාදනය කරන්නේ මුසල්මාණුවන් ය. ආච්චී කියන්නේ මේවාට සැකරින් දානවා ය කියලා ය..ඒ තරහා දෙකක් නිසා වන්නට පුලුවන්. එකක් ඒවා හදන්නේ මුසල්මාණුවන් ය.. දෙක එහි ඇති අධික පැණි රස නිසා දත් නරක්වන කතාව ය..

බුද්ධංගලට යන හන්දියේ පල්ලිය ළඟ කඩේ ද, හොල්මන් ගල ළඟ කඩේ ද ලොකු බෝතල්වල මේවා දමා ඇත්තේ අපට පෙනෙන්නට ය...!! 

මේ කඩවල නැත ද, නිතර හමු නොවුන ද, බොම්බයි මොටයි සහ නයිස් යනු තවත් රස කැවිලි දෙජාතියක් වෙයි. මේවා ගෙනෙන්නේ ද මුසල්මාණුවන් ය. අත් දිග කමීසයද, සරම කෙටියට ද ඇඳ, එන මේ මරක්කල මිනිස්සු හම්බ තොප්පියක් ද පැළැඳ සිටියි. බොම්බයි මොටයි සහ නයිස් ගෙන එන්නේ වටේට වීදුරු දැමූ පෙට්ටියක ය.. ගෙන එන මරක්කල මිනිසා අත පොඩි සීණුවක් ද ඇත. ඔහු එය සොලවයි... ඒ ටලිං ට්ලිං හඬ ඇසෙන තෙක් මානයේ සිටින අපේ රස නහර පිනා යයි...!!

බොම්බයි මොටයි සියුම් කෙඳි ලෙසින් සාදා ඇත්තේ ය. එක එක දවසක මේවා එක එක පාට ය.. දවසක රතු ය.. තව දවසක කහ ය.. තව දවසක තැඹිලි පාට ය.. ඉඳ හිට කොළ පාට ඒවා ද එයි. මොන පාට වුව ද, කටට  දා ගත් විගස ම එය දිය වී යයි. අල්ලක් තරම් කඩදාසි කැබැල්ලකට දමා දෙන, සතයකට ලැබෙන බොම්බයි මොටයි ගුලිය අප හතර පස් දෙනෙකුට ම සෑහෙයි. 

නයිස් යනු අඟල් පහ හයක වට ප්‍රමාණය ඇති, තුනී රවුම් රස කැවිල්ලකි. ඒවා පත්තර කොළයක් තරම් තුනී ය.. අමුතු සකරමොටයි රසයකින් යුක්ත ය..ඒවා ද විවිධ වරනයෙන් යුක්ත ය..අපට ඒවා ලැබෙන්නේ පෙට්ටියේ අඩුක් කර ඇති ආකාරයට ය.. වැඩියෙන් ම තිබෙන නයිස් රෝස පාට ය..කහ, කොළ, තැඹිලි අනෙක් පාට ඒවා ය.

මේ අතරේ ඇඟිලි ඉස්කෝතු ගැන නොකිය ම බැරි ය.. විස්කිරිඤ්ඤං කියන්නේ ද, ඉඟුරු විස්කෝතු කියන්නේ ද මේකට ම විය යුතු ය.. අඟල් 5ක් පමණ දිග, අඟලක් පමණ මහත ඇඟිලි විස්කෝතු ව හරි වියළි ය. කර කර ගා හැපිය හැකි ය. යාන්තං පැනි රසක් සහිත එහි සැඟවුනු ඉඟුරු රසක් ද, ගම්මිරිස් දැවිල්ක් ද සහිත ය. දෙකක් කෑ විට බඩ පිරෙයි.. වේලක් පිරිමසා ගන්නට අපූරු ය..

අනෙක හුළං විස්කෝතු ය... එය හරියට වේලපු පාං වගේ ය..මොලෝ රසයක් නැත.. අඟල් තුනක පමණ වට ප්‍රමාණයක් සහිත මෙය ද තද ය, වියළි ය. පැණි රසක් නැතත් එහි යට සැඟවුණු යාන්තං දැනෙන කිරි රසයක් වෙයි. කටේ දමා ටික වේලාවක් හපන විට පමණක් යාන්තං පැණි රසක් කටට දැනෙයි. බොහෝ වේලාවට අපට හුළං විස්කෝතු ලැබෙන්නේ උණක් සෑදී සිට යළි ඔලුව උස්සන්න පටන් ගත් දා ය...! දවස් ගණනක් බඩ ගින්නේ සිට ලැබෙන හුළං විස්කෝතුව මහ මෙරක් තරම් ය.. දිව්‍ය අවුසදයක් ය..!!

අදටත් බොම්බයි මොටයි, සීනි මුරුක්කු ආදිය සුපිරි වෙළෙඳ සැලකින් හෝ අපට ලබා ගත හැකි ය..ඒවායේ රස ද වෙනස් වී නැති තරම් ය.. ප්‍රමාණය ද ඒ තරම් ය.. නමුත් මිල එදාට වඩා අද බොහෝ වැඩි ය.. ඒවා එසේ වුව ද සිංහල ව්‍යාපාරිකයකු තැනූ බුල්ටෝ ව අද අපට අහිමි ය.. බුල්ටෝ ව පමණක් නොව, එහි රස ද, ප්‍රමාණය ද, වරුවක් හැපිය හැකි තද බව ද, ආදී සියලු ම දේ අද අපට අහිමි ය... නමුත් බුල්ටෝ නමින් එන වෙන මලජරාවල්නම් ඕනෑ තරම් ඇත..ඒවා එකක්වත් අතීත මිහිරියාව තරම් සුන්දර නැත...!

Share/Bookmark

18 comments:

  1. බොහොමත්ම පින් මොහොතක් අතීතයේ අතරමන් කලාට. ඔබ තරම්ම අතීත මිහිරියාව විඳ නැතත් මඳක් හෝ එය ලැබුවෙකු ලෙස හිතින් සතුටුවෙමි....!

    ReplyDelete
  2. සුපිරි අතීත ආවර්ජනාවක්... 100%ක්ම නැතත්, 70% වගේ මමත් අත්විඳලා තියෙනවා..

    ReplyDelete
  3. ගුණසිරි බුල්ටෝ ම ද දන්නේ නැතත්.. බුල්ටෝ තවමත් ඇත.. අපේ ළමයින්ට එය අපට වගේ රහ නැත.. අනෙක ඉස්සරට වඩා තරමින් කුඩා ය.. අප කුඩා සන්දියේ බුල්ටෝවක් සත විසිපහක් පමණ වූ බව මතකය.. නාරං බික සත පහක් වූ අතර.. සත පනහක බොම්බයි මොටයි.. එක් අයෙකුට හොඳටෝම ප්‍රමාණවත් විය.. විස්කිරිඤ්ඤා ඉස්සරට වඩා දැන් පැණිරහ ය.. අපේ කාලේ.. සීනි බට්ටා හෙවත් ඥානකතාවට ද හොඳ තැනක් තිබුණි..මං කාලා සහ අහලා නැති මෙහි කියැවෙන ජාතිය... නයිස් ය.. මං දන්නේ.. මන්චි හෝ මැලිබන් නයිස් ගැන පමණි.. කොහොම උනත් අපූරු රසවත් ලියවිල්ල අතීත මතක ඇවිස්සු අයුරු අගනේ ය.. කවදත් ඔබ ගේ ලියුම් රසවත් ය..

    ReplyDelete
  4. නියමයි...... මට විදින්න ලැබිලා නැතත් ඔබේ ලියවිල්ල හරහා මං ඒ හැමදේම වින්දා කියලා මට දැනුණා...........

    ReplyDelete
  5. හම්මෝ ඔය කියන කෑම ජාති ඔක්කොම කාගෙන, කාගෙන යන්ට හිතුණා. ඒවා කනකොට දැනෙන රස අපිටත් දැනෙනවා වගේ.:)

    ReplyDelete
  6. ඔය කියන ජාති වලින් වැඩි හරියක් මාත් කාල තියෙනව. ඔය නාරං බික කනගමං එලියට අරං බලන වැඩේ තමයි නියම සීන් එක.
    ඉඟුරු විස්කෝතු සහ විස්කිරිඤ්ඤ කියන්නෙ ජාති දෙකක්. ඉඟුරු විස්කෝත්ත (අපි කිවුවෙ ඉඟුරු ඇඟිලි කියල) ඇඟිල්ලක් විතර මහත ටිකක් දිග දුඹුරු පාට එකක්. විස්කිරිඤ්ඤ කියන්නෙ ඔය හුලං විස්කෝතු මැටීරියල් එකෙන්ම හදල සීනී ආලේප කරල තියෙන මාපටඇඟිල්ලට වඩා ටිකක් මහත හතරැස් ෂේප් එකක්.

    ReplyDelete
  7. ඩෙල්ටා ටොෆී?

    ReplyDelete
  8. //සීනි මුරුක්කු ජාති දෙකකි. එකක් අඟල් දෙකක් පමණ දිග ය. අනෙක බෙට්ටක් වගේ කොට ය.// උඹ ලියලා තියෙන විදිහයි අගේ..................

    ReplyDelete
  9. ඔය කෑම සේරම ජාති කාලා තියෙනවා. අපේ කාලේ නම් ශත ගණන් වලට තිබුනේ සීනීබෝල විතරයි. මේ කියන්නෙ යොගට් එකක් රු. 4.50/- කාලේ.

    හූණු බිත්තර සහ ඉගුරු ඇගිලි වලට එතරම් මනාප නෑ එවයේ රස නිසා. හුලං විස්කෝතු හෙවත් බටර් විස්කෝතු නිකං මෙලෝ රහක් නැති උනත් ප්ලේන්ටී එක්ක කෑවැකී බඩ කකුල් දෙකට බර වෙනකල්. විස්කිරිඥ්ඥා කියන්නේ හිඟුරි ඇඟිලිවලට නෙමෙයි. අර ප්‍රසන්න කියලා තියෙන ඒවට....

    ReplyDelete
  10. ඔය කෑම සේරම ජාති කාලා තියෙනවා. අපේ කාලේ නම් ශත ගණන් වලට තිබුනේ සීනීබෝල විතරයි. මේ කියන්නෙ යොගට් එකක් රු. 4.50/- කාලේ.

    හූණු බිත්තර සහ ඉගුරු ඇගිලි වලට එතරම් මනාප නෑ එවයේ රස නිසා. හුලං විස්කෝතු හෙවත් බටර් විස්කෝතු නිකං මෙලෝ රහක් නැති උනත් ප්ලේන්ටී එක්ක කෑවැකී බඩ කකුල් දෙකට බර වෙනකල්. විස්කිරිඥ්ඥා කියන්නේ හිඟුරි ඇඟිලිවලට නෙමෙයි. අර ප්‍රසන්න කියලා තියෙන ඒවට....

    ReplyDelete
  11. මට මතක හැටියට හුලං විස්කෝතු ජාති දෙකය, උඩ පියන්, සහ යට කෑල්ල. හැඩයන් දෙකක්.

    තව සීනි බෝල ජාතියක් තිබුණා කළු සුදු වයිරං තියෙන පෙපර්මින්ට් රසැති.

    ජුජුප්ස් සහ පෙපර්මින්ට් පෙති නම් ටවුමේ කෑම.

    ReplyDelete
    Replies
    1. ඔය හුලං විස්කෝතුවෙ උඩ පියං එක යට කෑල්ලට වැඩිය තද බවින් අඩුයි. ඒ වගේම බොහෝ වෙලාවට පියනෙ උඩිංම තියෙන කට්ටට වහාම යටින් තියෙන්නෙ හිස් අවකාශයක්.

      Delete
    2. අපි පොර කන්නේ ඔය පියන කොටස අනිකාට දීලා අනිත් කොටසට. ඒකතමා ප්ලේන්ටී එකක් රහා

      Delete
  12. මේ රස කෑම ඔක්කොම කාල තියෙන නිසාද මන්ද පුදුම රහක් දැනෙනවා පෝස්ට් එකෙන්...

    ReplyDelete
  13. හරිම රස පොස්ට් එකක්.. බුල්ටෝ මතක් උනාම හරිම විනෝදයි ඉතින්.. බුල්ටෝ එක තල්ලේ අලුනාම ඉතින් ගලවන්න කටට ඇඟිල්ල දාන්න වෙනවමනේ..

    ReplyDelete
  14. නයිස් කනකොට උඩ තල්ලේ ඇලෙන එකත් ලියන්න තිබ්බ.. :) බුල්ටෝ හිරවෙන්නේ දත් වලටත් එක්ක.. එකනම් දබර ඇඟිල්ල දාල ඇද්ද ගමන් ක්ලියර් වෙනවා.. ඔය දත් ටිකේ හැඩේට හැපිච්ච පැණි කෙල බේරෙන බුල්ටෝ එකක් අතට අරන් ඒකෙ හැඩේ බලල ආපහු කටේ දාල හපන්න ආයිත් ආසයි.. :)

    ReplyDelete
  15. අපි කාපු තව ජාතියක් තිබුනා තල් බොර කියලා...පොඩි තිත්ත රසයක් එක්ක එන තලපයක් වගේ එකක්... තල් වලින් හදන්නේ මගෙ හිතේ...

    අපි හකුරුත් හොරෙන් කෑවා ඒ දවස්වල.

    තව තිබුනා ඤාන කතා, රොක් කේක්......කියලා ජාතිත්.. ඒවා දැන් තියනවද මංදා....

    ReplyDelete
  16. මේ ඔක්කොම ජාති කා තිබෙමි. තව ජාතියක් තිබ්බ සීබ්‍රා ඉරි තියෙන ටිකක් බෝල හැඩැති දෙයක්.මෙතන නැති දෙයකට මට පෙරේත කම තිබුණේ එලඟිතෙල් සහ සීනි සමඟ බත් කෑමයි

    ReplyDelete