Tuesday, October 13, 2015

වෙනසක ඇරඹුම


මේ නිවාඩු කාලයක් නිසා දෝ අලුත් සිදුවීම් කිසිවක් සිදු වන්නේ නැත.. සරණයට එන කෙනෙකු ද නැත..
ආච්චී ද මේ ගොසින් ය..!
අපට මහා පාලුවක් ද නැත්තේ එය සාමාන්‍ය සිදුවීමක් වන නිසා ම නොව, අපට ‍නියැලෙන්නට බොහෝ දේ තිබෙන නිසා ය..

එක්කෝ තාත්තා දවල් වරුව තිස්සේ කුඹුර කොටයි. කුඹුර කියන්නේ සරණ මාළිගාව වටා ඇති පොඩි බිම් කඩ ය..! අපි දු අපට හැකි පමණින් ඊට දායක වෙන්නෙමු. ඊටත් අමතර ව අපි තුන්දෙනා එකිනෙකාට වෙන් කර ගත් පොඩි බිම්තීරුවල වෙන වෙන ම වර්ග වගා කරන්නෙමු. මගේ පාත්තියේ තිබෙන්නේ බණ්ඩක්කා ය..

අඩි දෙකක් පමණ පළල අඩ් 5ක් 6ක් පමණදිග බිම් තීරුවක, වටේට කානු කපා, එම කැපෙන පස ගෙන අර තීරුව බිම් මට්ටමට වඩා උස් කොට තනන්නමි. වියළි, දුඹුරු අළු පැහැ පස සුළඟට ගසාගෙන යන සුලු ය. බුරුල් ය. තෙමුණු විට සහමුලින් ම එය අඳුරු පැහැ මැටි ගොඩක් බවට පත් වෙයි. මේ කණ්ඩි පාත්තියේ සම දුරින් අඟල් 3-4ක ගැඹුරට, අල්ලක් තරම් රවුමට පොඩි වළවල් සාදන්නෙමි. ඉන්පසු වියළි බණ්ඩක්කා කරල් පලා එහි ඇට ගෙන එක වළකට තුන බැගින් හැම වළකට ම ඇට දමන්නෙමි. ඊට උඩින් වියළි ගොම කැටි තට්ටුවක් අතුරා, වතුර දමන්නේ ඊට උඩිනි.

වියළි පස මතට වතුර වැටුනු විගස, පස මහා සන්තෙ‍‍ා්සයකින් යුක්ත ව හීන් කෙඳිරියක් නඟනු මට ඇසෙයි. එ සමග ම වතුර වැටුණු තැනින් සියුම් දූවිලි දුමාර කඳුලක් ඉහළට එසැවෙයි. වතුර වැටුනු තැන වහා කළු දුඹුරු පැහැයට හැරෙයි. වියළි ගොම පතුරු මතට වතුර වැටුණු පසු එය ද තද ‍කළු කොළ පාටකට හැරෙයි..

දවස් දෙක තැනකට පසු අර ගොම තට්ටුව පලාගෙන බණ්ඩක්කා ඇටය ද උස්සාගෙන ළා කොළ පාට නැට්ටක් පොළොවෙන් ඉහළට එසැවී ඇති අයුරු දකින්නට හැකි වෙයි.. ඊටත් දවස් දෙක තුනකට පසු, බණ්ඩක්කා ඇටය හැලී, ඒ වෙනුවට සියුම් ළදලු දෙකක් දෙපසට විහිදී තිබෙයි. එයින් පසු ඊට කොළ එක දෙක එකතු වෙමින් බණ්ඩක්කා පැළය සීඝ්‍රයෙන් ඉහළට වැඩෙයි. අඩියක උස තරමකට පැළ වැඩුණු පසු කේඩෑරි වී ගිය සහ වඩා සශ්‍රීක නොවන පැළ උගුල්ලා දමන්නේ හැදෙන ගහට වඩා ඉඩ හසර දිය යුතු නිසා ය.

උදේ වරුව වෙන් වන්නේ මේ වගා වැඩට ය.. දවල් වරුව උයන පිහන වැඩට වෙන් වෙයි. කා බී අවසන් වූ පසු උදා වන්නේ චිත්‍ර අඳින කාලයයි. අපි නිදහසේ දිග ඇදෙමින් චිත්‍ර අඳින්නෙමු. මිනිස් රූප අඳින්නට වැඩියෙන් ම දස්ස අයියා ය.. මගේ වැඩි කැමැත්ත සත්ත්ව රූපවලට ය.. එයිනුත් වඩා කැමති අස්පයාට ය.. ඊ ළඟට බකමූණාට ය.. ඊටත් පසු අලියාට ය...!!

රන්වන් හිරු එළිය අවට පරිසරය පුරා පැතිරී හවස් බාගය උදා වන එක් සොඳුරු අවස්ථාවක තාත්තා ලියන මේසයේ පුටුවේ හිඳිමින් අප සැමගෙන් මෙසේ ඇසුවේ ය..

"ඈ බං.. අපි කුඩම්මෙක් එක්කං එමු ද..?"

අයියා ද, පාලිත ද කිසිවක් කී වගක් මට මතක නැත.. 
නමුත් කට කැඩිච්ච කතා කියන්නේ මං ය..

"කුඩම්ම ඩම්ම වෙලා,
ඩම්ම අම්ම වෙලා,
අම්ම මා වෙලා මුකුත් නැතිවෙයිද දන්නෑ නේ..."

තාත්තා පළමු ව මේසයට බර වී කම්මුලට අත තබාගෙන ටික වේලාවක් සිටියේ ය..
ඊට පසු අත පැත්තකට ගෙන ලොකු හුස්මක් මුදා හැරියේ ය..
ඊටත් පසු නළල අත ගාමින් මඳ වේලාවක් ගත කළේ ය..

"ඇත්තටම එහෙම වෙයි ද දන්නෙ නෑ නේද බං..."

ඊට පසු අර රත්තරං පාට අකුළාගෙන හිරු බැස ගියේ ය..
වෙනදාටත් අප දකින අඳුර හාත් පස ම වසා පැතිරුණේ ය..
කුප්පි ලාම්පු එලියෙන් රොටි හදන තාත්තා අපට පෙනුනේ ය..

ඉනික්බිති සියල්ල කළුවර වූ පසු අප අපට පුරුදු ලෙස හිල් වූ මදුරු දැළ යට, චූ ගඳ පිරි කබල් මෙට්ට මත ගුලි උනෙමු..!!

Share/Bookmark

11 comments:

  1. අද කතාව කෙටි වැඩියි වගේ.... එත් රසයෙන් අඩුවක් නැත.

    ReplyDelete
  2. යසයි..රසයි...ටිකයි....

    ReplyDelete
  3. ඉනික්බිති සියල්ල කළුවර වූ පසු අප අපට පුරුදු ලෙස හිල් වූ මදුරු දැළ යට, චූ ගඳ පිරි කබල් මෙට්ට මත ගුලි උනෙමු..!! පැමිණි දුක්පැනි රසය

    ReplyDelete
  4. //ඊට පසු අර රත්තරං පාට අකුළාගෙන හිරු බැස ගියේ ය..
    වෙනදාටත් අප දකින අඳුර හාත් පස ම වසා පැතිරුණේ ය..
    කුප්පි ලාම්පු එලියෙන් රොටි හදන තාත්තා අපට පෙනුනේ ය..

    ඉනික්බිති සියල්ල කළුවර වූ පසු අප අපට පුරුදු ලෙස හිල් වූ මදුරු දැළ යට, චූ ගඳ පිරි කබල් මෙට්ට මත ගුලි උනෙමු..!! ///
    හිත කඩන් වැටුනේ මේ ටිකට.....

    ReplyDelete
  5. දිගු කතාවක කෙටි කතාවක්. ඉතිරි කොටස් නොකියවා මොකුත් ලියන්නත් බෑ. ඒත්.....
    //// රන්වන් හිරු එළිය අවට පරිසරය පුරා පැතිරී හවස් බාගය උදා වන එක් සොඳුරු අවස්ථාවක තාත්තා ලියන මේසයේ පුටුවේ හිඳිමින් අප සැමගෙන් මෙසේ ඇසුවේ ය..

    "ඈ බං.. අපි කුඩම්මෙක් එක්කං එමු ද..?"

    අයියා ද, පාලිත ද කිසිවක් කී වගක් මට මතක නැත..
    නමුත් කට කැඩිච්ච කතා කියන්නේ මං ය..

    "කුඩම්ම ඩම්ම වෙලා,
    ඩම්ම අම්ම වෙලා,
    අම්ම මා වෙලා මුකුත් නැතිවෙයිද දන්නෑ නේ..."

    තාත්තා පළමු ව මේසයට බර වී කම්මුලට අත තබාගෙන ටික වේලාවක් සිටියේ ය..
    ඊට පසු අත පැත්තකට ගෙන ලොකු හුස්මක් මුදා හැරියේ ය..
    ඊටත් පසු නළල අත ගාමින් මඳ වේලාවක් ගත කළේ ය..

    "ඇත්තටම එහෙම වෙයි ද දන්නෙ නෑ නේද බං..."

    ඊට පසු අර රත්තරං පාට අකුළාගෙන හිරු බැස ගියේ ය..
    වෙනදාටත් අප දකින අඳුර හාත් පස ම වසා පැතිරුණේ ය..
    කුප්පි ලාම්පු එලියෙන් රොටි හදන තාත්තා අපට පෙනුනේ ය..////
    මෙන්න මේ කොටසෙන් තවත් පුංචිම පුංචි කොටසක් කඩා ගත්තොත් ඒකෙත් ලොකුම ලොකු කතාවක් කියවෙනවා.
    //// ඊට පසු අර රත්තරං පාට අකුළාගෙන හිරු බැස ගියේ ය..
    වෙනදාටත් අප දකින අඳුර හාත් පස ම වසා පැතිරුණේ ය..
    කුප්පි ලාම්පු එලියෙන් රොටි හදන තාත්තා අපට පෙනුනේ ය..////
    මට නම් එක වරම හිතුනේ,
    //// "කුඩම්ම ඩම්ම වෙලා,
    ඩම්ම අම්ම වෙලා,
    අම්ම මා වෙලා මුකුත් නැතිවෙයිද දන්නෑ නේ..."////
    යනුවෙන් නොකියා..... අපි එක්කරගෙන ඇවිත් බලමු නේද තාත්තේ කීවා නම් හොඳයි කියායි. ඒත් ඒ වෙලාවේ ඔබේ හැඟීම අසාධාරණයි කියා කියන්නත් මගේ දිව නැමෙන්නේ නෑ.....

    ReplyDelete
  6. මදුරු දැල යට ගුලි වෙන එක මොන තරම් සැනසිලිදායකද. හා ගුලකත් එහෙම ඇති කියලා මට හිතෙතනවා.....

    ReplyDelete
  7. හ්ම්ම්ම්.... ඇත්තටම එහෙම වෙයිද?

    ReplyDelete
  8. අලුත් අම්මා කෙනෙක් එයි කියලා දුක හිතුනා. දැන් කට්ටිය එයාගේ ඉඳගන්න පුටුවේ හරි, කොට්ටේ යට හරි ගෙම්බෝ තියයිවත්ද? :P

    ReplyDelete
  9. අන්තිමට වැදිච්ච පාර සැර වැඩියි...

    ReplyDelete
  10. කතාව කෙටි උනාට වෙනද වගේම රසවත්...

    ReplyDelete