Monday, November 2, 2015

තුවාලය


වම් කකුළේ දණහිසට අඟල් දෙක තුනක් පහළින්, අස්ථියේ මස අඩු ම තැන කුඩා තුවාලයක් ඇති වී තිබෙණු මා දුටුවේ ද අහම්බෙනි. ඇඟ පුරා කැසීම්, ඇඳ මකුණු, මදුරු දෂටයන් නිසා වන කැසීම්, අතු ඉපල් අස්සේ රිංගද්දී ඇතිවන සීරීම් ආදි දහසක් තුවාල ඇඟ පුරා තිබුණ ද, මේ කකුළේ තුවාලය වේදනාව දැනෙන තරම් එකක් විය. තුවාලය ඉතා කුඩා වුව ද, එය සෑදී තිබුණේ කකුලේ පහළ අස්ථියේ නරක ම තැනෙක වීම තවත් වේදනාවට කාරණාවක් විය. 

(මේ තුවාලය කොතරම් දරුණු වීද යත් අදත් මගේ වම් කකුළේ විසල් ව එහි පැල්ලම සටහන් ව තිබේ. පින්තූරයෙන් දැක්වෙන්නේ ඒ තුවාල පැල්ලමයි. )


සාමාන්‍යයෙන් අප තුවාලයක් දුටු විට කරන්නේ ඒ මත කෙළ පොඩ්ඩක් ගෑම ය..තුවාලය ටිකක් පරණනම් එහි කබොල්ල කඩා යලි කෙළ තලියක් ගැම ද කළෙමු. කබොල්ල කැඩූ විට ලේ යාම තව දුරටත් පවතින්නේනම් අප කළේ අතට අසුවන ‍අමු කොළයක් කටින් හපා, හපය ඒ තුවාලය මත තැබීම ය. එය තුවාලයකට කළ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාරයක් වූයේ, ඒවාට ඊට වඩා වෙනස් බේතක් හේතක් නොකළ බැවිනි. ඇලේ නාන්නට ගිය විට මාළු දෂ්ටයෙන් ලැබෙන සාත්තුව ද ඉහටත් උඩිනි. 

දවස් දෙක තුන ගත වන විට තත්ත්වය වඩ වඩා උග්‍ර විය..තුවාලයේ රවුම ද දවසින් දවස වැඩි විය. එමෙන් ම එය පැසවා සැරව ගලන තත්වයට ම පත් ව තිබිණි. බිම පය තබා හරියට ඇවිදින්නට ම බැරි වූ විට නොණ්ඩි ගසමින් යන නිසා, තාත්තාගේ අවධානය මවෙත හැරිණි.

"මොකද උඹ නොණ්ඩි ගහන්නෙ..?"
මම උත්තර දුන්නේ උරිස් දෙක උස්සා යටි තොල පෙරලීමෙනි.. තාත්තා එය "මං දන්නෙ නෑ"යි කියා වටහා ගන්නට ඇති... උරිස්සෙන් අල්ලා මා ළඟට ඇද ගත් තාත්තා සරමේ බොක්ක මත මා වාඩි කරවා ගත්තේ ය. ඊට පසු කකුළ ඔසවා ගෙන එය පිරික්සී ය.. තුවාළය අසළින් අල්ලද්දී මම "ඌහ් ඌහ්" ගෑවේ ඇත්තට ම රිදෙන නිසා ය.. නැවත මගේ කිහිළි දෙකින් ඔසවා ඉස්සූ තාත්තා මා බිම සිටුවා, කුස්සියට ගොස් ප්‍රථමාධාර පෙට්ටිය රැගෙන ආවේ ය. ඒ පෙට්ටියේ තුඩා කතුරක්, වතුර වැනි අවර්ණ දියරයක් පිරවූ පොඩි කුප්පියක්, දම් පාට බේත් සහිත තවත් කුප්පියක්, කඩදාසි බෑගයක දැමූ කපු පුලුන් ගුලියක්, පරණ වේට්ටියක් කපා නවා තැබූ රෙදි ගුලියක් සහ තෙල් කඩදාසියක ඔතා, තවත් පොලිතීන් බෑගයක දැමූ කහ පාට ඔයින්මන්ට් එකක් ද විය. ඊට අමතර ව එහි තවත් ‍තරමක් ලොකු භාණ්ඩ දෙකක් ද විය. 

එකක් තාත්තා රැවුල කැපූ පසු මූණේ උලන සීනක්කාරං කුට්ටියයි. එකළ අපේ මිට මෙලවූ අත් ගුලියක් තරම් වූ, වීදුරු ගලක් මෙන් වූ එහි එක් පැත්තක් අතිශයින් සුමට ව තිබුණේ මුහුණේ ම උලා ගෙවී ගොස් තිබූ නිසා ය. අපි දු හොරෙන් මේ වීදුරු කුට්ටිය මූණේ උලා ගන්නෙමු. දිය සීරාව මුහුණේ ඇති විට එයින් දැනෙන්නේ අමුතු ම සිසිලකි. දිව ගා බැලූ විට දැනෙන්නේ කට කාරගෙන යන අම්මය රසයකි.

අනෙක අත් ගුලියක් තරම් ම වූ නිල් පාට මැණික් ගලක් වන් තවත් ගල් කුට්ටියකි. එය ද ත්‍රිකෝණාකාර ය. අතිශයින් තද නිල් පැහැති ය. පැරණි සුව නොවන තුවාලයක රෝස පාට මස මත මේ නිල් පාට පල්ලමාණික්කම් කුට්ටිය ඇතිල්ලීම අවසන් ප්‍රතිකාරය වෙයි. 

(සීනක්කාරං යනු කුඩාවට කැඩූ පසු සහිඳ ලුණු වශයෙන් හැඳින්වෙන සින්ක් හයිඩ්‍රොක්සයිඩ් බව ද, පල්ලමාණික්කම් යනු කොපර් සල්ෆේට් ස්ඵටික බවද මා උගත්තේ ඊට බොහෝ කළෙකට පසු කොළඹටත් පැමිණ, අපොස සාපෙළ පන්තියේ රසායන විද්‍යාව ඉගෙන ගන්නා විට ය..)

පළමු ව තාත්තා මගේ කකුළ කාබොලික් සබන් දමා හොඳින් සේදුවේ ය. (එකළ තිබුණේ ඇඟේ ගාන්නට කාබොලික් සබන් සහ රෙදි හෝදන්නට සන්ලයිට් සබන් විතර ය. මීට අමතර ව දිග පොල්ලක් මෙන් වූ සවරින් බාර් නම් සබන් ජාතියක් ද විය. රෙදි හෝදන්නට සැරසී අතේ ගෑවුනු විට අත බොහෝ වේලාවක් සෙවළ ගතියකින් දැනෙන්නේ ඒ සබන්වල සැර වැඩිකම නිසා ය...) ඉන් පසු පරණ රෙදි කඩකින් තෙත මාත්තු කලේ රෙදි කඩ තුනට හතරට නවා දිග පටියක් මෙන් සාදා, කකුලේ ඉහළ සිට පහළට තදින් ඇදගෙන ඒමෙනි. මේ පාරේ සැරට තුවාලය මත අරක් ගෙන සිටි කබොල්ල ගැලවුණේ ය. එසැණින් කහ පාට සැරව තළියක් ම එයින් එළියට ආවේ ය. දැණුනු වේදනාව කියාගන්නට හඬක් නගන්නටත් කළියෙන් ඇස් දෙකෙන් ම තඩි කඳුලු බිඳු දෙකක් එලියට රූරා ආවේ නාසය ද හොටු බර කරමිනි.

ඊ ළඟට තාත්තා පුළුන් ගුලියක් ගෙන සීරුවෙන් සැරව ටික පිස දැම්මේ ය. බංකුවක් ඇද මා වාඩි කරවූ තාත්තා ඉනපසු මගේ කකුළ දිග හැර, අර කුඩා කුප්පියේ තිබූ දියර ටිකක් (ඒව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ලු නෙ..!) තුවාළය මතට දැම්මේ ය. එසැණින් එය මහා පෙණ ගොඩක් බවට පත් විය. එ් පෙණ නගින ආකාරය දැකීම නිසා ඇතිවුණු කුතුහලය වඩා දැඩි වූයෙන් තුවාළය මත දැනෙන ළා දැවිල්ල යටපත් විය. ඉන්පසු යළිත් රෙදි කඩමාලු කැබැල්ලකින් තුවාලය තෙත මාත්තු කෙරිණි. සැරව ටික පහව ගිය විට මට මාර සුව පහසුවක් දැණුනේ ය. ඉනුත් පසු තාත්තා අර ඉටි බෑගයේ තිබූ මාගරින් පාට ඔයින්මන්ට් එකෙන් ස්වල්පයක් ඇඟිල්ලට ගෙන, පරිස්සමෙන් එය තුවාළය මත තැවරුවේ ය. ඊට පසු අර වේට්ටි කැබැල්ලෙන් කුඩා කොටසක් ඉරා, එය දෙකට තුනට නවා, කතුරෙන් වටේ කපා හරි හතරැස් රෙදි කඩක් සෑදුවේ ය. ඇඟිල්ලේ තිබූ ඔයින්මන්ට් ස්වලුපය ද එහි උලා, ඒ රෙදි කඩ පරිස්සමින් තුවාලය මත තබා සෙමින් තද කලේ ය. ඊටත් පසු වේට්ටි කෑල්ලෙන් දිග පටියක් ඉරා ගෙන එයින් තුවාලය වෙලුවේ ය.

බේත් කර අවසන මම කකුලට බර ගෙන නැගිට්ටෙමි. කකුළේ ඉහළ කොටසේ ඇඟට සවි වන තැනින් වූ නැමිල්ල හෙවත් ඉකිළියෙන් වේදනාවක් දැණුනේ දැන් ය. මම අතින් ඉකිලිය තද කරගෙන, කඳ පොඩ්ඩක් ඉදිරියට නමාගෙන ම අඩි දෙක තුනක් ඇවිද්දේ ඒ වේදනාව දැන් වැඩිපුර දැනෙන නිසා ය. වහා ම මා අල්ලා නවතාගත් තාත්තා කළිසම උස්සා ඉකිළිය දෙස බැලුවේ නළල ද රැලි නංවාගෙන ය..

"ඇයි බාල්ල යමක් උනාම කියන්නෙ නැත්තෙ...? බලපං කුද්දැට්ටකුත් ඇවිල්ලනෙ.. දැං දඟලන්න යන්නෙ නැතිව හිටපං මං ඒක තවනකං..!" තාත්තා කුස්සියට ගියේ බෙත් පෙට්ටිය ද රැගෙන ය. ඉන් පසු කුස්සියේ ලිපෙන් දුම් කඳක් නැගුනේ වතුර රත් කරන්නට ලිප පත්තු කළ නිසා ය. මඳ වේලාවකින් තාත්තා උනු වතුර මුට්ටියක් රැගෙන ආවේ ලොකු රෙදි කඩමාල්ලකින් අල්ලාගෙන ය. මා තල්ලු කොට බිත්තියට හේත්තු කර කළිසම පාත් කළේ ය. ඉන් පසු රෙදි කඩමාල්ල මුට්ටියට ඔබා දුම් දමන රෙදි කඩ මාල්ල අතින් මිරිකුවේ ඊට කටින් පිඹිමිනි. වරක් දෙවරක් ඊට පිම්බ තාත්තා මගේ වම් කකුල ඔසවා අර රෙදි කඩෙන් කුද්දැට්ට තැව්වේ ය. 

දුම් දමන රෙදි කඩ මතින් ඉකිළිය පුරා යන ගිණි උණුසුමට වඩා මහා සුවපහසු උණුසුමක්, මට තාත්තාගේ සත්කාරය නිසා දැනෙන්නට පටන් ගත්තේ ය.

Share/Bookmark

14 comments:

  1. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අපේ ගෙදරත් තිබුණා.
    ඒ අපේ තාත්තා කෝණඩය කළු කරන්නට ගෑ ද්‍රව්‍යය දිය කරන්න ගන්නටයි.

    ReplyDelete
  2. Seroma lipi tika eka husmata ada kiyawala damma.......

    ReplyDelete
  3. මේ තුවාලය තව ඔඩු දිව්වා නම් කකුලේ අස්ථියද ආසාදනය වන Osteomyelitis තත්වය හට ගන්න​ට ඉඩ තිබ්බා

    ReplyDelete
  4. වේදනාවක් ගෙනදුන් තුවාලයක තතු අපි රසකර කියෙව්වෙමු....
    සර්ගේ කතා කියවද්දි මොකක්දෝ හුරැ පුරැදු ශෛලියක් දැනේ.... ඒත් ඒ කාගෙද කියා නිච්චියක් නැහැ....
    හැමදාමත් වගේ එක හුස්මට කියවා තවත් තියේ දැයි බැලුවා.........

    ReplyDelete
  5. ලස්සනයි.......... ඒ තමයි තාත්තා.......

    ReplyDelete
  6. Palmanikkam kellak gahala kehel kan idawanawa.
    'Ape athithaya'... :)

    ReplyDelete
  7. තුවාලයක් ගැන ලියවෙච්ච පොස්ට් එකෙනුත් රසයක් බලාපොරොත්තු වෙන්නේ මගේ තියන බලුකමද.. පොස්ට් එක තව දිග උනානම් කියල හිතෙන්නෙත් මගේ තියෙන බලු කමටද? අනේ මන්දා...

    ReplyDelete
  8. අපි ඉස්සර තුවාල වලට වැඩියම තියන්නේ වතුපාළු කොළ තලලා, කුරුම්බැට්ටි ගලක උරච්චි කරලා ඒ හැදෙන ක්‍රීම් එක වගේ එක, තව මොනවද මන්ද පැලෑටි වර්ගයක් තිබුනා ලා දම් පාට මලක් පිපෙන පොඩි කලාම සෙවල ගතියක් තියෙන කොළ වර්ගයක්. අන්න ඒවත් හොඳයි...
    ලොකු තුවාල වලටනම් අපේ හිටපු වෙද මාම කෙනෙක් හිඳින බෙහෙත් තෙලක් තිබුනා. අපි පොඩි කාලේ ඇති වෙච්ච ලොකු ලොකු තුවාල ඔක්කොම වගේ හොඳ උනේ ඒ බෙහෙත් තෙලෙන්. ගොඩක් ඒවට පුළුන් කෑල්ලක ගාපු බෙහෙත් තෙල එක වතාවක් තිබ්බමත් ඇති...
    ඒ තරම් හොඳ බෙහෙතක්, නමුත් වෙද මාම නැති උනාට පස්සේ ඒ වෙද කමත් නැතිවෙලා ගියා...

    ReplyDelete
    Replies
    1. ඇයි කෝපි කොළ, දලු...

      Delete
    2. නිදිකුම්බා කොළ. වන් ශොට්.නොකවුට්.

      Delete
  9. තුවාලෙත් හරි බෙහෙත් දැමිල්ලත් හරි කියමු!

    //වස් දෙක තුන ගත වන විට තත්ත්වය වඩ වඩා උග්‍ර විය..තුවාලයේ රවුම ද දවසින් දවස වැඩි විය. එමෙන් ම එය පැසවා සැරව ගලන තත්වයට ම පත් ව තිබිණි. බිම පය තබා හරියට ඇවිදින්නට ම බැරි වූ විට නොණ්ඩි ගසමින් යන නිසා, තාත්තාගේ අවධානය මවෙත හැරිණි.

    "මොකද උඹ නොණ්ඩි ගහන්නෙ..?"
    මම උත්තර දුන්නේ උරිස් දෙක උස්සා යටි තොල පෙරලීමෙනි.. තාත්තා එය "මං දන්නෙ නෑ"යි කියා වටහා ගන්නට ඇති... උරිස්සෙන් අල්ලා මා ළඟට ඇද ගත් තාත්තා සරමේ බොක්ක මත මා වාඩි කරවා ගත්තේ ය. //

    මේක කියවද්දි මතක් උනේ අපි ඉස්සර තුවාල හංගගෙන ඉන්න හැටි. විශේෂයෙන් තාත්තට. ඉන්නම බැරි වෙලා කොරගහමින් ඇවිදිනව මිසක් ප්‍රතිකාර ගැනිල්ලක් නෑ. මට ඒ වගේ සිද්ධි දෙකක් මතකයි. එකක්, බෝතල කටුවකට කකුල කැපිල, අගල් දෙකක් විතර දිග තුවාලයක් ‍තියාගෙන කොර ගසමින් යද්දි තාත්තට නෝට්වුනා. මොකද කියල ඇහුවම මේක තාත්තට කියනවට වැඩිය හොඳයි වෙනසක් නොපෙන්වා යන එක කියල අඩිය බිම තියල ඇවිදගෙන ගියා. ඒකෙන් වුනේ තුවාලය තවත් දරුණු වීම. අන්තිමට වැඩේ මාට්ටු වුනා.
    දෙවනි එක දකුණු අතේ මහපටැඟිල්ල තැලිල නියපොත්තට යටින් සැරව පිරිල තිබුන අවස්ථාවක්. අන්තිමට නියපොත්ත ගලවලයි නතරවුනේ.

    ReplyDelete
  10. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අලුත් පිට තුවාලයට දාද්දි රිදෙනව වැඩි. පරණ උන බෝතල් වලහයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දැම්මට තුවාලය රිදෙන්නේ නැහැ.තුවාලයට තාත්ත බෙහෙත් දාන හැටි මතක් උනා.කොච්චර සීරුවට බෙහෙත් දැම්මත් රිදෙනවනේ.අපේ නම් තුවාලවලට දැම්මේ බෙතඩින් එහෙම නැත්නම් දම්පාට අයඩින් මෙහෙම තමා මතක.සෙල්ලම් කරද්දී තුවාල උනොත් නම් මදු වැල් කොටලා ගන්නව. මම නම් ආස ලොකු පැලැස්තර බැඳගෙන ඉන්න එතකොට ගෙදර හැමෝගෙන අවධානය අනුකම්පාව ලැබෙනවනෙ :D

    ReplyDelete
  11. මගෙත් දකුණු කකුලේ ඔය තැනම තියෙනවා පරණ තුවාල කැළලක්.. ඒක උනේ අයියා කෙනෙක් එක්ක බයිසිකලේක ගිහින් ඒක පෙරලිලා වෙච්ච සංගදියක් හින්දා... කටුව උඩම හින්දා හොද වෙන්නත් කාලයක් ගියා.. පුදුම දුකක් වින්දේ...

    ReplyDelete
  12. මේ ලියලා තියෙන්නෙ තුවාලෙ ගැනද? තාත්ත ගැනද?
    ජයවේවා..!!

    ReplyDelete