Tuesday, March 31, 2015

හිඟුරාණේ සීනි.

යසවතී නැන්දාගේ ලොකු පුතා එවකට සේවය කළේ හිඟුරාණ සීනි කම්හලේ ය. අම්පාර සිට ඉඟිණියාගල පාර දිගේ ගොස් හැරී හිඟුරාණට අප ගියේ පාන් බාගෙ බසයකිනි. ඒ බසය නගර සීමාව පසු කළ විට ගමන් කරන්නේ සහමුලින් ම උක් වගාවෙන් වැසුණු අනන්ත යායක් මැදින් වැටී ඇති ගල් තාර දැමූ මාවතක් දිගේ ය. විසල් වැට ඇතුළෙන් පාර අද්දරට ම පාහේ උක් වැවී තිබුණි. රතු දම් පැහැති උක්ගස් මුදුනත ‍ඉලුක් කොළවටල වඩා ලොකු උක් කොළ තිබුණු අතර, බොහොමයක් උක් කොළ පාරට එබී නැමී සිටියේ යන එන්නන් බලන්නට නොව සහෝදර උක් ගහකට වඩා එක් හෝ වැඩි අව් රැල්ලක් විඳ ගන්නට ය.

සුළං රළත් සමග මේ උක් කොළ ළෙල දෙන්නේ අපූරු තාලයකට ය. එක් තැනෙකින් පටන් ගන්නා රළක්, රැළි නගමින් රිද්මයානුකූල ව ඈතින් ඈතට ගමන් කරයි. එක පොදියක් උස් වන තාලයට ම තවත් පොදියක් පහළට එබෙයි. ඒ එබෙන කොළවල කොළ පැහැය ළා පාට වී පුදුමාකාර වර්ණ අන්තරයක් සාදයි. අක්කර දහස් ගණනක් පුරා වැවුණු මේ උක්ගස් යාය නිසාවෙන් සිය ජීවන ගමන සරි කර ගත් ජන සමූහයා අති විශාල ය.
හිඟුරාණ උක් කම්හල අයිති ව තිබුණේ ශ්‍රී ලංකා සීනි සංයුක්ත මණ්ඩලයට ය. හැමෝ ම ඊට කීවේ ෂුගර් කොපරේෂන් කියා ය. ගැමියෝ කීවේ සුගර් පැට්ටේරිය කියා ය... ග.නි.ස.ම (ගංගා නිම්නභූමි සංවර්ධන මණ්ඩලය)ට වඩා ඊ ළඟට වැඩි ම වාහන සංඛ්‍යාවක් අප දැක ඇත්තේ ශ්‍රීලං.සී.සං.මට ය..! එයිනුත් වැඩි හරියක් ට්‍රේලරය සහිත ට්‍රැක්ටර් ය. ඊ ළඟට ඇත්තේ යකඩ රාමුවක් ගැසූ ලොරි ය.

මේ උක් යාය අතරින් පතර පැළ උක් ද, සමහර තැන්වල දුඹුරු පාට මුඩු බිම් කලාප ද පෙනෙයි. ඒ උක් කපා මුල් උගුල්ලා දැමූ බිම්කඩවල් ය. සීනි මණ්ඩලේ සේවය කළ මිනිස්සු දහස් ගණනකි. ඉන් වැඩි පිරිසක් කළේ උක් වගාව ය. බිම් සකස් කර, පැළ ඉන්දවා, වතුර පෝර දමා ගස් උස්මහත් කොට කපා දෙන්නේ ද මේ මිනිස්සු ය. සිය මිනිස් ශ්‍රමයෙනි. බිම් සකස් කරන විට ලොකු ට්‍රැක්ටර් පැමිණ එක විඩේට බිම් යායක් පෙරළ දමයි. දුම් දමාගෙන ගොර බිරම් හඬක් නගාගෙන ට්‍රැක්ටරය ඉදිරියට යන්නේ පිටුපසින් ඈඳා ඇති නගුල බිමට තද කරගෙන ය. ඒ නගුලේ දත් කෙළවර ලොකු රෝද තිබෙයි. එවිට ඒවාට අසුවන පස් කැරකි කැරකී යළි බිම පතිත වෙයි. සිය ගණනක් නිල් පාට පිළිහුඩුවෝ ද, සිය ගණනක් සුදු පාට කොක්කු ද එක සීරුවට මේ ට්‍රැක්ටරය පිටුපසින් ඇදී යන්නේ උඩ පැන පැන ය. ඒ පෙරැලෙන පසින් මතුවන දහස් ගණනක් බිං කුණ්ඩන්, කම්බිලි පණුවන්, ගැඩවිල්ලන්, බිං ඌරන්, වේයන් ආදී මෙකී නොකී සිය දහසක් කෘමී පනුවන් ගිල දමන්නට ය.

මේ මහා උක් යායේ අතරින් පතර අළුපාට දුම් රොටු අහසට නගිනු පෙනෙයි. ඒ කපන්නට ආසන්න උක් කොටස් ය. උක් ගස් කපන්නට කළියෙන් ඊට ගිනි තබනු ලබන්නේ ගස් අස්සේ සිටින සතුන් එළවා දමන්නට විය යුතු ය. නමුත් හමන වියළි සුළඟත් සමග එක බුරුත්තට නගින ගිනි දැල්ලට හසු ව, කරකුට්ටන් වූ පිඹුරන්, නයි පොළොංගුන් මෙන් ම වල් ඌරන් ද මම පසු කාලීන ව දැක ඇත්තෙමි.

උක්ගස් නියම ගණනට මෝරා පැසුණු විට කපන්නට සූදානම් වෙයි. මුලින් ම කරන්නේ අදාල උක් යායට ගිනි තැබීම ය. හේන් කොටන්නට කළියෙන් ගිනි තබනවිට, ගැමියෝ ලොකු ලීයක් බිමට ගසමින්, තාලයට හඬ නගමින් යන්නේ ගස් කොළන් අතර සිටින සතා සර්පයා එළවා දමන්නට ය.
"ගස් උඩ ඉන්නා වඳුරන්නේ, බිම පිට ඉන්නා වල් උෟරන්නේ පළයල්ලා..පළයල්ලා...
බිං දිගේ යන නයින්නේ මුගටින්නේ පළයල්ලා පළයල්ලා...
මගේ පුංචි එව්වන්ට කන්න යමක් තනාගන්ට හේන ගිනි තියන්නේ පළයල්ලා පළයල්ලා...""
ආදී වශයෙන් යාදිනි කියමින් වරුවක් පමණ ගැමියා ගස් අතර හක්කලං කරයි. එහෙත් උක්ගස් අතර එසේ ඇවිදින්නට බැරි ය. උක් කාටුව අතිශයින් කසන සුලු ය. උක්කොළ දාර පිහිතලයක් මෙන් මුවහත් ය. වියැලුණු උල කිණිස්සක් මෙන් රුදුරු ය. එනිසා උක්ගස් අතරින් කිසිවෙකුට ඇවිද යන්නට බැරි ය. කොළ අත්තක් ගිනි තබා උක්කොළ ගොන්නට ඇල්ලූ විට ඒවා බුර බුරා ඇවිලෙන්නේ සුදු පාට දුම් කඳක් නගමිනි. මේ දුම සුදු පැහැ වන්නේ උක්කොළ අමු නිසා ය. උක් කොළ ඇඹරෙමින් ගිනිගන්නා විට ඒවා "ක්ංංංංංංංංංං" ගාමින් හීන් කෙඳිරියක් නගමින් ඇඹරෙන්නට පටන් ගන්නේ වේදනාව දැනිලා වෙන්නට ද පුලුවන. ඒ අතරින් සියුම් "සට පට" ගා පිපිරිලි හඬවල් ද, සියල්ල කලවම් වූ ගිනිගන්නා හඬද එක සීරුවට ඇසෙන්නට පටන් ගනියි.

මෙසේ ගිණි තැබූ උක්යාය එක පෙළට කපා බිම දමන්නේ මිනිස් ශ්‍රමයෙනි. ඒවා ගොයං ගොඩවල් සේ ම එක තැනෙකට අඩුක් කරනු ලැබෙයි.  ඒවා යායේ සිට ගෙන එන්නේ කෙසේදැයි මට මතක නැත. නමුත් අත් දෙකක් වැනි ලොකු දත් දෙකක් සහිත ට්‍රැක්ටරයකින් ඒවා බුරුතු පිට්න් ගෙන ට්‍රේලර්වලට පටවනවා මම දැක ඇත්තෙමි.
අප සීනි පැක්ටරිය ළඟින් බසිනවිට මෙසේ උක් කඳන් පටවාගත් ට්‍රේලර් සහිත ට්‍රැක්ටර් ගණනාවක් ම එක පෙළට නවතා තිබුණේ ය. තරමක් ලොකු චප්ප මුහුණක් සහිත ලොරියක පිටුපසින්, කෝච්චියක් මෙන් එක දිගට ඈඳූ ට්‍රේලර් ද සහිත වාහන ද දෙක තුනක් එහි තිබුණේ ය. මේවායින් ගෙනෙන උක් දඬු සියල්ල ම අර දත් දෙක ට්‍රැක්ටරයෙන් ම ලොකු වළකට අත හරිනු ලැබෙයි. ඒ වළ තුලට වේගයෙන් විදෙන වතුර පහර කීපයකි. ඒවා හරි සද්ද ය. වතුඅර සැරට දුමාරයක් ද ඉහළට නැගෙයි. ඒ වතුර පහර ද සමග අර උක් දඬුද පෙරළි පෙරලී උඩට යන්නේ ලොකු පටියක් දිගේ ය.. අපි ඒ වළ දෙස එබීගෙන ම බලා සිටියෙමු.

මොහොතකින් මා දුටුවේ උක් කඳන් ද සමග වළ තුළින් පටිය දිගේ ඉහළට ඇදෙන පන සහිත තඩි සර්පයෙකි....!!
මේ සර්පයා ගැන මොහොතක් සිතන විට පවා ඌ උක් දඬු ද සමග ම වෙනත් කුටියක් තුළට ඇදී ගොස් හමාර ය...ඒ කුටියේ දී මේ උක් දඬු කැබලිවලට කැපෙයි. ඊ ළඟ කුටියේදී ඒවා ඇඹරෙන්නට පටන් ගනියි. දැන් පෙනෙන්නේ  ඇත් දළ පැහැති රොඩු ගොඩක් පමණ ය. ඒවා ඊ ළඟ යන්තරයෙන් තලන අතර, එවිට එහි ඇති පැණි පහළට වැක්කෙරෙයි.  එතැනින් පසු අර සුදු පාට උක් රොඩු වෙනත් පටියක් දිගේ පිටතට යයි. ගල්ඔය අරක්කු සාදන්නේ එසේ පිටතට යන උක්රොඩුවලිනි.
එයිනුත් ඉතිරිවන රොඩ්ඩ බොයිලේරු සහ පෝරණු ගිනි ගැන්වීම සඳහා භාවිතයට ගැනෙයි.

ඊ ළඟ කුටිය අධික උණුසුම් ය. වතුර වැනි දියර පැණිය දැන් තද දුඹුරු පාට ලාටුවක් මෙනි. ඒ ලාටුව ද ලොකු අත් වැනි දඬු මුගුරුවලින් නිරන්තරයෙන් කාල් ගෑවෙයි. එසේ කැරකෙන පැණිය තුලින් අර සර්පයා හිස ඔසවනු ඇතැයි මට සිතෙයි....නමුත් එසේ වන්නේ නැත. මන්ද ඌ ද මේ පැණියේ ම කොටසක් වී ඇති නිසා ය.
බැරි වෙලාවත් අර වළට මිනිහෙක් වැටුනේනම් සිද්ද වන්නේ ද අර සර්පයාට අත් වූ දේ ම ය...

ඊ ළඟ කොටසේදී අපට පෙනෙන්නේ සුදෝ සුදු සීනි කැට දිග පීල්ලක් දිගේ විත් ගෝණිවලට පිරෙන ආකාරයයි. එම යන්තරය ලඟ වැඩ කරන මාමා කෙනෙක් එම පීල්ලෙන් සීනි අහුරක් ගෙන අප හැමගේ ම අත්වලට ටික ටික දැම්මේ ය. සර්පයා ඇඹරුණු රතු පාටක් හෝ කුණු කෑල්ලක් හෝ එහි නැත....එහි ඇත්තේ සුදු ම සුදු සීනි කැට පමණි...! මේ තරම් රස මේ සුදු පාට සීනි කැට තුළ මොන තරම් සංවේදනාවන්, ජීවිත ගීතයන්, දුක්ඛ දෝමනස්සයන් සැඟවී ඇතිදැයි අද මට සිතෙයි. උක් ගස් අතර සිට සර්ප ප්‍රහාරයන්ට ලක් ව මිය ගිය මිනිසුන් වෙනුවෙන් සදා දුක් ගින්නේ දැවෙන ඔහුගේ කලත්‍රයන්, අව් කූටකේ පිළිස්සෙමින් උක් වවන, කපන, පටවන මිනිසුන්ගේ දාහයන්...සොච්චම් පඩියකට දිය ව යන ඒ මිනිසුන්ගේ ආත්මයන් සුදෝ සුදු සීනි කැටයෙන් අපට පෙනෙන්නේ ද, ඇසෙන්නේ ද, දැනෙන්නේ ද නැත..!

අදත් සීනි අල්ලක් ලෙව කන්නට අතට ගත් විට මට ඒ සරුපයා උක් දඬු ද සමග ඇඹරෙමින් පටිය දිගේ ඉහළට ගිය ආකාරය මැවී පෙනෙයි.

Share/Bookmark