Saturday, May 30, 2015

රැවුල් ඇඳපු හැටි...


කොළඹ ගිය තාත්තාත්, අයියාත් දැන් ම එන පාටක් නැත. දවස් 3ක් පමණ යසවතී නැන්දලාගේ ගෙදර සිට අනවරත සන්තෝසයක් ලද අපි, පාලිත සහ මම දිනක් යළි සරණ බලා ආවේ නැන්දාගේ ම කීමට ය...
"පොඩ්ඩක් ගේ පැත්තෙ ගිහිං වරෙං පුතාල...සත්තු ගෙයි ජරා කරලවත් ද දන්නෑනෙ..!"
පාලිතත් මාත් යසවතී නැන්දලාගේ ගෙදර සිට මාර්කැට්ටුව පසු කරමින් මඳ දුරක් පැමිණ, වමට හැරී පාර දිගේ හොල්මන් ගල දක්වා ම පැමිණියෙමු. වේලාව උදේ 10ට පමණ වන නිසාත්, පාරේ කෙනෙක් දෙන්නෙක් එහේ මෙහේ යන නිසාත් අපට දැන් හොල්මන් ගල ප්‍රශ්නයක් වන්නේ නැත. එනිසා ම අපි හොල්මන් ගලට නැග මඳ වේලාවක් එහි වාඩි වී සිටියෙමු.
ඊට පසු යළි එයින් බැස හන්දියේ කඩේ ළඟින් පහළ පාර දිගේ සරණ වෙත පැමිණියෙමු. අප එහි එද්දී ද සරණට ඇතුල්වන කෙටි දොර හරස් කොට දමා තිබූ ලොකු බංකුව පෙරළාගෙන හරකෙක් ගේ ඇතුලේ ම විටක් හපමින් සිටියේ ය. අප ගිය ද ඌට වගේ වගක් නැත. ගල් ගෙඩි දෙක තුනක් අතට ගත් අපි දෙන්නා ම මහ හඬින් කෑ ගසමින් ඌට තර්ජනය කළෙමු. මහා අකමැත්තෙන් ලැග සිටි තැනින් නැගිට ගත් දඬු හරකා කට ඉදිරියට දිගු කොට "බ්රෝඕඕඕග්ග්.." ගා හඬක් නගා ඔලුවෙන් "සටාස්" ගා පාරක් බඩට ගසා ගත්තේ ය. ඉන් පසු වල්ගය මඳක් ඔසවා "තහ් දහ් තහ්" හඬින් අලි ගොම්බෙට්ටක් සාලය මැද්දේ ම දැම්මේ ය....!
ඉන් පසු හරියට උගේ ගෙදරින් පිටත් ව රස්සාවට යන්නාක් මෙන් පෙරැලුනු බංකුව උඩින් සීරුවට පැන මිදුලට අවතීර්ණ ව, ළඟ ම තිබූ කැනාස් පඳුර ම ගලවාගෙන කටේ ඔබා ගත්තේ ය. එය කටේ තබාගෙන ම යලි “භෲහ්..“ගාමින් යන්ට ගියේ අපව තඹ දොයිතුවකට මායිම් නොකරමිනි.
අපේ ඇඳ උඩ නාටු බල්ලෙක් ලැග සිටියේ ද උගේ ඇඳ සේ සිතාගෙන ය. "දුහ්..!!" කියූ සැණින් ඌ ද දනි පනියේ ඇ‍ෙඳෙන් බැස මිදුලට දුවගොස් අප දෙස හැරී බැලුවේ මේ බල්ලො දෙන්නා මොකුන්දැයි අසන්නා සේ ය..!
දවල් කෑම වේලාව ළං වන තෙක් අපට කරන්නට මහ දෙයක් තිබුනේ නැත. ශාලාව පුරා ම සුළඟට ගසා ගෙන විත් අතරමං වුණු වියළි කොළ සී සී කඩ ය...එ නිසා ම ඉදල ගෙන මම ශාලාව අතු ගෑවෙමි. ඒ ගොම්බෙට්ට ඉතිරි වන සේ ය.
ඊට ද මහ වේලාවක් ගත වූයේ නැත.
කොරන්නට ම දෙයක් නැති තැන මම තාත්තාගේ පුටුව ඇදගෙන විත් මේසේ ලඟින් වාඩි වී ප්‍රින්සිපල් වූයෙමි. මේසය අයිති ප්‍රින්සිපල් ට ය. මම එහි ලාච්චු අරින්නට උත්සාහ කළෙමි. නමුත් ලාච්චු සියල්ල ම අසු වන සේ උඩ සිට පහළට ඇති පොල්ල යතුරු දමා ඇති නිසා ලාච්චු අරින්නට බැරි ය. දවසක් මොකක්දෝ හේතුවකින් යතුර අස්ථාන ගත ව ඇති විටෙක, තාත්තා පිහි තලයක් දමා මේ පොල්ල ඈත් කර ලාච්චු ඇරි වග මට සිහිපත් විය. වහා පුටුවෙන් බැස කුස්සියට ගොස් මම පිහිය රැගෙන ආවෙමි. යතුරු තහඩුවත් හරස් ලීයත් අතරින් පිහි තලය බස්සවා පිටතට තල්ලු කළ විට ඉතා පහසුවෙන් පොල්ල මෑත් විය....!! (අද ඒ මේසය තිබෙන්නේ මා සතුව අපේ ගෙදර උඩ තට්ටුවේ ය...අදටත් එය අගුලු දමන්නට බැරි ය..!!)
පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය මම යළි පුටුව අරා හිඳගෙන ලාච්චු ඇර බැලුවෙමි. උඩ ම ලාච්චුවේ පල්ලෙහි තඹ සතේ කාසි දෙකක් තිබුනේ ය. ඒ දෙක ම ගෙන මගේ කලිසං සාක්කුවට දා ගත්තෙමි. පොත් පත් ද, ලියුම් මිටි ද ඇර එහි වෙන යමක් තිබෙනු මට පෙනුනේ නැත. ලාච්චුවේ කෙළවරට වෙන්නට තද දුඹුරු පැහැ ඝණ කඩදාසියකින් එතූ මොනවාදෝ මිටියත් තිබෙනු මා දැක්කේ ද අහම්බෙනි. මම එය එලියට ඇද ගත්තෙමි. අලවා නොබූ ඝන කවරය දිග හළ විට එහි තිබුණේ තැපැල් හැඳුනුම්පත් ප්‍රමාණයේ ඡායාරූප විශාල ප්‍රමාණයකි.
එහි සෑම ඡායාරූපයක ම පිටු පස නමක් ද, ලිපිනයක් ද ලියා තිබුනේ ය. ටයි ඇඳ ගත් අය ද, කෝට් ඇඳි අය ද, සාරි ඇඳි අය ද, ඔසරි ඇඳි අයද ආදී වශයෙන් එහි ඡායාරූප 60  - 70ක්වත් තිබෙන්නට ඇත. මම ඒවා එකින් එක ඇද බැලුවෙමි. ඉන් ගත යුත්තක් නැති සේ ය. ඒවා මේසය මත තිබිය දී ම යළි ලාච්චුවට අත පෙව්වෙමි. රිදී පැහැති කොපුවේ උඩ කෙළවරේ රන්වන් පැහැ විල්ලක් සහිත සහ රිදී පාට රළු කඳකින් යුක්ත තාත්තාගේ පාකර් ෆවුන්ටන් තීන්ත පෑන මගේ අතට අසු විය. කොපුව ගලවා පළමුව මම ඉන් කඩදාසි කවරයේ ඉරක් ඇඳ බැලුවෙමි... යස අපූරුවට තීන්තෙන් එහි ඉරක් ඇඳිණි. රවුමක් ඇන්දෙමි. යස අපූරුවට රවුම ඇඳුනේ ය. පෑන මඳක් ඔසවා අත ගසා බැලුවෙමි. ඒ තාත්තා සමහර විට එසේ කරනු දැක ඇති නිසා ය.. කරුමෙක මහත...!! මේසය මත ඇති කඩදාසි බෑගය ද, ලෑලි තට්ටුව ද හරහා තිත් පෙලක් ම සටහන් විය. මම වහා එය අතින් පිස දැමුවෙමි. දැන් එය හරස් අතට ඇඳි ඉරි පේලියක් බවට පත් විය...

ඊ ලඟට මා දුටුවේ අර පින්තූර ගොන්නේ උඩින් ම තිබූ පින්තූරයේ සිටි කෙනාගේ නාසය මත ද තීන්ත බිඳුවක් තිබෙන ආකාරය ය...

මම වහා ම එය ගෙන එය ද අතින් පිස දැමුවෙමි. අරුමයකි. දැන් ඔහුට රැවුලක් ඇත....!!!!
""ඒයි මේ.."" මම පාලිතට එය පෙන්වූයෙමි.

දැන් අප දෙනොට ම මහා රාජකාරියකි. අපි දෙන්නා මාරුවෙන් මාරුවට අර සියලු ඡායාරූප මත එක එක ජාතියේ රැවුල් ඇන්දෙමු. ගැහැණු මුහුණු මත රැවුල් ඇඳීම වඩා ආහ්ලාදජනක විය. එකිනෙක ගෙන රස විඳිමින් මේ මහා බාරධූර කටයුත්ත සිදු කැරෙන නිසා කාලය ගෙවී යනු අපට දැණුනේ ද නැත. බඩ ගින්න උත්සන්න වන නිසා ම මහ දවල් වී ඇති වග අපට දැනෙන්නට පටන් ගත්තේ ය.

මෙතෙක් කරමින් සිටි මේ මහා රාජකාරිය නිමා කොට, සියලු ඡායාරූප නැවත එකතු කොට අර කඩදාසියේ එතුවේ කළින් තිබූ සකසුරුවමටනම් නොවේ. ඒ යන්නට හදිසි නිසා ය.. එසේ දඩිබිඩියේ එතූ පාර්සලය යළි ලාච්චුවේ කෙළවරට ඔබා, ලාච්චුව වසා, යලි හරස් පොල්ලෙන් අගුලු ලන්නට තැත් කළ ද එය කරන තාක්ෂණය කුඩා මොළයට වැටහුනේ නැත. එනිසා ම එය එසේ ම තිබියදී පාලිතත් මමත් යලි යසවතී නැන්දලාගේ ගෙවල් දෙසට පියවර මැන්නෙමු...

පසුවදා තාත්තාත් අයියාත් ආවේ ය...මඳ වේලාවක් යසවතී නැන්දලාගේ ගෙදර ගත කළ තාත්තා අප තිදෙනා ම සමග සරණ වෙත ගමන් ආරම්භ කළේ ය... අපට අයියාගෙන් අසා ගන්නට බොහෝ දේ තිබුණේ ය. අයියා කෝච්චියි ගමන් කරන හැටි ද, කොළඹ නගරයේ තිබූ තට්ටු දෙකේ බස් ගැන ද, තට්ටු දෙක තුන උස ගොඩනැගිලි ද, හෝ ගාන පොකුණ ද ගැන කියන කතා මට ඇසුනේ සිහිනයෙන් මෙනි.

අතුගා තිබූ ශාලාව දැක තාත්තා බෙහෙවින් සතුටු විය. "කවුද බං මේක අතුගෑවෙ..?" මම කිසිවක් නොකියා සිනා සුනෙමි. "උඹ හොඳ එකා.." තාත්තා කීවේ මහා ආදරයකිනි. ගෙනා බඩු මලු නිදන කෑල්ලෙන් තැබූ තාත්තා නැෂනල් කමීසය ගලවා සිරිත් පරිදි බිත්තියේ එල්ලුවේ ය. ඊට පසු ඉණ බැඳි පටිය ගලවා, වේට්ටියද ගලවා කුස්සිය හරහා ඇති ලනුවේ මඳ වශයෙන් දිග හරිමින් ඇතිරුවේ ය. ඊට පසු අත් කොට බැණියමද ගලවා වැලේ වැනුවේ ය. ඉන් පසු යළි නැෂනල් බැණියමෙහි සාක්කුවට අත දමා යතුරු කැරැල්ල ගෙන අනික් අතෙහි දබරැඟිල්ල කනට ඔබා කරකවමින් නාසය  අැද කර, "ම්ර්හ් ක්‍රාාහ්හ්.." හඬින් දෙතුන් විඩක් හඬ නංවා, කාරා කෙළ තලියක් මිදුලට ගැසුවේ ය.

ඊට පසු පුටුව ඇද මේසය ඉදිරිපිට වාඩි වුණේ ය.....

එසේ වාඩි වූ තාත්තා මඳ වේලාවක් ලාච්චු දෙස බලා සිටියේ නලල රැළි නංවාගෙන ය...
ඊයේ අප කළ මහා වික්‍රමය මට යළි සිහි වූයේ ද නැත....

"ඒ අතුල.. මොකෙක්හරි ලාච්චුව කඩලනෙ බං..." තාත්තා කීවේ අයියාට ය.

දෙතුන් විටක් හරස් පොල්ල එහෙට මෙහෙට කරකවා බලා තාත්තා යට ම සිට ලාච්චු එකින් එක අැර බැලුවේ ය. උඩ ම ලාච්චුව දෙස මඳ වේලාවක් ඔරවාගෙන සිටියේ ය. ඊට පසු හෙමින් අත දමා ඒවා එහා මෙහා කරමින් බැලුවේ ද ව්මසුම් ඇසකිනි. මඳ වේලාවකින් තාත්තා අර දුඹුරු පාට කඩදාසි බෑගය අතට ගත්තේ ය. එය ඔතා තිබූ අයුරු දෙස පුදුමයෙන් බලමින් එය හෙමින් දිග ඇරියේ ය.....

එහි උඩින් ම තිබූ ඡායාරූපය දුටු සැණින් තාත්තාගේ නළල රැළි වැටෙනු මට පෙණුනේ ය. තාත්තා වහ වහා සියලු ඡායාරූප පෙරලමින් බැලුවේ ය. ඒ මුහුණ හරහා මහා භ්‍රාන්තියක් ද මුසු තද කෝපයක් ආරූඪ වනු මම ජීවිතේ ප්‍රථම වතාවට අත් විඳිමින් සිටියෙමි.

"කවුද බල්ලො මේ ජඩ වැඩේ කෙරුවෙ..." තාත්තා කෑ ගැසුවා ද, හීන් කෙඳිරියක් නැගුවා දැයි මට සිතා ගත නොහැකි වූයේ ඒ හඬ ඒ දෙක ම අතර වූ නිසා ය.
මම බිම බලාගෙන සිටියෙමි. ඒ අතර ම හොරෙන් පාලිත දෙස ද බැලුවෙමි. හිච්චි එකා වූ උෟට එහි බරපතලක් දැනෙන්නෙ නැති සේ ය. වහා පුටුව පස්සට ඇදි තාත්තා එක පිම්මෙන් මවෙත පැන, මගේ අත් බාහුවෙන් ඔසවා "චටාස්..!" ගා පාරක් මගේ පුක හරහා දුන්නේ ය....!!

ගෙඹි පැටියකු මෙන් උඩ එල්ලීගෙන ම මම වේදනාවෙන් ඇඹරුනෙමි.

හෙමින් මා බිම තැබූ තාත්තා වේගයෙන් සිය නලල් තළයට පහරක් ගසා ගත්තේ ය.

"ට්‍රේනිං කොලේජ් එකේ මාත් එක්ක හිටපු යාලුවො...මූ ඒව සේරම විනාස කරල..." තාත්තා එතරම් වේදනාවකින්, පශ්චාත්තාපයකින් පෙළි සිටිනු කිසි දා ක මා දැක තිබුනේ නැත...
කොළඹ ගමන් අසිරි සියල්ල සුටුස් ගා අවසන් වූයේ ඒ අයුරිනි.

හැන්දෑ වන තෙක් ම අප කිසිවෙක් කිසිවක් ම කතා කලේ නැත...

ඒ මුලු වරුව ම මහා වේදනාකාරී අයුරින් ගෙවී ගියේ ය....

තාත්තා උදැල්ලක් ගෙන ගොම් බෙට්ට එලියට දැම්මේ ය.

සිරිත් පරිදි හාල් ගරා ලිප තබා උයන්නට පටන් ගත්තේ හොඳටම ඇඳිරි වැටුනාටත් පසුව ය.
එදා රෑ අප ආහාර ගත්තේ ආගන්තුකයන් ලෙසිනි. කිසිවෙක් කිසිවකු ම අඳුනන්නේ නැති ගානට නිහඬව ම ගෙවී ගියේ ය..

ඊට අවුරුදු බර ගණනාවකට පසු අප කොළඹ මෝදර ආනන්ද විද්‍යාලයේ ගුරු නිවාසයෙන් වෙන් ව, මෝදර ශාන්ත ජෝන් කණිටු විදුහලට මාරු වී එන තෙක් ම අර පින්තූර ගොන්න ඒ ආකාරයෙන් ම සුරැකි ව තාත්තා ළඟ තිබුණේ ය. එදායින් පසු යලි කිසි දා ක තාත්තා අප පින්තූරවලට කළ අපරාධය ගැන වචනයක්වත් කීවේ නැත.

නමුත් අදත් කෙනෙකුගේ හතරැස් හැඩැති ඡායාරූපයක් දුටු සැණින් මම හිතෙන් ඊට රැවුලක් ඇඳ බලන්නෙමි. එසැණින් තාත්තාගේ අතිශය වේදනාබර මුහුණු ඉරියව්ව ද, පුක හරහා වැදුණු අතුල් පහර ද සැණෙන් විදුලිය සැරයක් වැදුනාක් මෙන් ඇට මිදුලු හරහා ම යනු දැනෙන්නේ ය....!!

Share/Bookmark