Tuesday, October 13, 2015

වෙනසක ඇරඹුම


මේ නිවාඩු කාලයක් නිසා දෝ අලුත් සිදුවීම් කිසිවක් සිදු වන්නේ නැත.. සරණයට එන කෙනෙකු ද නැත..
ආච්චී ද මේ ගොසින් ය..!
අපට මහා පාලුවක් ද නැත්තේ එය සාමාන්‍ය සිදුවීමක් වන නිසා ම නොව, අපට ‍නියැලෙන්නට බොහෝ දේ තිබෙන නිසා ය..

එක්කෝ තාත්තා දවල් වරුව තිස්සේ කුඹුර කොටයි. කුඹුර කියන්නේ සරණ මාළිගාව වටා ඇති පොඩි බිම් කඩ ය..! අපි දු අපට හැකි පමණින් ඊට දායක වෙන්නෙමු. ඊටත් අමතර ව අපි තුන්දෙනා එකිනෙකාට වෙන් කර ගත් පොඩි බිම්තීරුවල වෙන වෙන ම වර්ග වගා කරන්නෙමු. මගේ පාත්තියේ තිබෙන්නේ බණ්ඩක්කා ය..

අඩි දෙකක් පමණ පළල අඩ් 5ක් 6ක් පමණදිග බිම් තීරුවක, වටේට කානු කපා, එම කැපෙන පස ගෙන අර තීරුව බිම් මට්ටමට වඩා උස් කොට තනන්නමි. වියළි, දුඹුරු අළු පැහැ පස සුළඟට ගසාගෙන යන සුලු ය. බුරුල් ය. තෙමුණු විට සහමුලින් ම එය අඳුරු පැහැ මැටි ගොඩක් බවට පත් වෙයි. මේ කණ්ඩි පාත්තියේ සම දුරින් අඟල් 3-4ක ගැඹුරට, අල්ලක් තරම් රවුමට පොඩි වළවල් සාදන්නෙමි. ඉන්පසු වියළි බණ්ඩක්කා කරල් පලා එහි ඇට ගෙන එක වළකට තුන බැගින් හැම වළකට ම ඇට දමන්නෙමි. ඊට උඩින් වියළි ගොම කැටි තට්ටුවක් අතුරා, වතුර දමන්නේ ඊට උඩිනි.

වියළි පස මතට වතුර වැටුනු විගස, පස මහා සන්තෙ‍‍ා්සයකින් යුක්ත ව හීන් කෙඳිරියක් නඟනු මට ඇසෙයි. එ සමග ම වතුර වැටුණු තැනින් සියුම් දූවිලි දුමාර කඳුලක් ඉහළට එසැවෙයි. වතුර වැටුනු තැන වහා කළු දුඹුරු පැහැයට හැරෙයි. වියළි ගොම පතුරු මතට වතුර වැටුණු පසු එය ද තද ‍කළු කොළ පාටකට හැරෙයි..

දවස් දෙක තැනකට පසු අර ගොම තට්ටුව පලාගෙන බණ්ඩක්කා ඇටය ද උස්සාගෙන ළා කොළ පාට නැට්ටක් පොළොවෙන් ඉහළට එසැවී ඇති අයුරු දකින්නට හැකි වෙයි.. ඊටත් දවස් දෙක තුනකට පසු, බණ්ඩක්කා ඇටය හැලී, ඒ වෙනුවට සියුම් ළදලු දෙකක් දෙපසට විහිදී තිබෙයි. එයින් පසු ඊට කොළ එක දෙක එකතු වෙමින් බණ්ඩක්කා පැළය සීඝ්‍රයෙන් ඉහළට වැඩෙයි. අඩියක උස තරමකට පැළ වැඩුණු පසු කේඩෑරි වී ගිය සහ වඩා සශ්‍රීක නොවන පැළ උගුල්ලා දමන්නේ හැදෙන ගහට වඩා ඉඩ හසර දිය යුතු නිසා ය.

උදේ වරුව වෙන් වන්නේ මේ වගා වැඩට ය.. දවල් වරුව උයන පිහන වැඩට වෙන් වෙයි. කා බී අවසන් වූ පසු උදා වන්නේ චිත්‍ර අඳින කාලයයි. අපි නිදහසේ දිග ඇදෙමින් චිත්‍ර අඳින්නෙමු. මිනිස් රූප අඳින්නට වැඩියෙන් ම දස්ස අයියා ය.. මගේ වැඩි කැමැත්ත සත්ත්ව රූපවලට ය.. එයිනුත් වඩා කැමති අස්පයාට ය.. ඊ ළඟට බකමූණාට ය.. ඊටත් පසු අලියාට ය...!!

රන්වන් හිරු එළිය අවට පරිසරය පුරා පැතිරී හවස් බාගය උදා වන එක් සොඳුරු අවස්ථාවක තාත්තා ලියන මේසයේ පුටුවේ හිඳිමින් අප සැමගෙන් මෙසේ ඇසුවේ ය..

"ඈ බං.. අපි කුඩම්මෙක් එක්කං එමු ද..?"

අයියා ද, පාලිත ද කිසිවක් කී වගක් මට මතක නැත.. 
නමුත් කට කැඩිච්ච කතා කියන්නේ මං ය..

"කුඩම්ම ඩම්ම වෙලා,
ඩම්ම අම්ම වෙලා,
අම්ම මා වෙලා මුකුත් නැතිවෙයිද දන්නෑ නේ..."

තාත්තා පළමු ව මේසයට බර වී කම්මුලට අත තබාගෙන ටික වේලාවක් සිටියේ ය..
ඊට පසු අත පැත්තකට ගෙන ලොකු හුස්මක් මුදා හැරියේ ය..
ඊටත් පසු නළල අත ගාමින් මඳ වේලාවක් ගත කළේ ය..

"ඇත්තටම එහෙම වෙයි ද දන්නෙ නෑ නේද බං..."

ඊට පසු අර රත්තරං පාට අකුළාගෙන හිරු බැස ගියේ ය..
වෙනදාටත් අප දකින අඳුර හාත් පස ම වසා පැතිරුණේ ය..
කුප්පි ලාම්පු එලියෙන් රොටි හදන තාත්තා අපට පෙනුනේ ය..

ඉනික්බිති සියල්ල කළුවර වූ පසු අප අපට පුරුදු ලෙස හිල් වූ මදුරු දැළ යට, චූ ගඳ පිරි කබල් මෙට්ට මත ගුලි උනෙමු..!!

Share/Bookmark

Tuesday, October 6, 2015

රස කැවිලි.


එකල අපේ හොඳ ම රසකැවිල්ල වූයේ හොරෙන් සීනි කෑම ය... අද මෙන් නොව එකල සීනි කැට තරමක් ලොකු ය..චර චර ගා හැපෙයි. රස ද වැඩි ය. ඉඳහිට අපට සූකිරි ලැබෙයි. සූකිරි තිබෙන්නේ ලොකු තිරිවාණා කුට්ටි වගේ ය. එය කුඩා කැබැලිවලට කඩා බෝතලයකට දමන්නේ තාත්තා ය. අපේ කාරිය වන්නේ එය අහවර වනතෙක් හොරෙන් රස බැලීම ය..! සූකිරි සීනිවලට වඩා රසින් වැඩි යැයි මට සිතේ. නමුත් සූකිරි කමින් තේ බොන්නට බැරි ය..මන්ද සූකිරි ඊට වඩා රස නිසා ය.

අප සූකිරිවලට කොතරම්පෙරේතදැයි කියනවානම් දවසක් තාත්තා රැවුල කැපුවාට පසු මුහුණේ උලන සීනක්කාරං කුට්ටියේ ද අග්ගිස්ස හපා රස බැලුවෙමු. ඊඊඊඊයා ය.. එය කට කාරං යන අමිහිරි රසයකින් යුක්ත ය. මට මතක හැටියට සහිඳ ලුණු කියන්නේ එහි කුඩා කැබලිවලට ය.. ටිකක් වැඩිපුර කෑවානම් බඩ එළිය යන්නේ ටැප් එක ඇරියා වගේ ය..!!

කඩෙන් සල්ලි දී රස කැවිලි කෑමක් එකල අප අතර තිබුණේ නැත. ඒ අප අත සල්ලි තිබුණේ නැති නිසා ය.. ඉඳහිට තාත්තා ගෙන එන යම් රසකැවිල්ලක් වෙද, අපට එය දිව්‍යලෝක රසයක් ගෙන දුන්නේ ය..

මේ රස කැවිලි අතර අග රජු වූයේ ගුණසිරි බුල්ටෝ ය. තඹ සතේ කාසියකට එකල ගුණසිරි බුල්ටෝ 5ක් ලබා ගත හැකි ය. සුදු පැහැ තෙල් කොළයක, දෙපැත්ත අඹරා ඔතා ඇති බුල්ටෝව අපේ මහපටැඟිල්ලක් තරම් මහත ය.එහි පුරුක් දෙකක් පමණ දිග ය.. කරවුණු අධික පැණි රසයකින් ද, ඒ හා සමාන ම කිරි රසයකින් ද යුක්ත ය... වැඩියෙන් ම අපට බුල්ටෝ ගෙනැවිත් දුන්නේ ආච්චි ය. බුල්ටෝව කටේ දමා ගත් විට වරුවක් හපන්නට පුලුවන. එය දත්වල ද, තල්ලේ ද ඇලෙයි. ඇඟිල්ල ඔබ එබා ඒවා සූරමින් යළි සූප්පු කිරීම ද,  රසවත් කාරියක් ම ය.

තඹ සල්ලියක් ලැබුණු විට අප වැඩියෙන් ම කරන්නේ එය උඩ දමමින් නෝනද පොල්ලද කිරීම ය..නෝනා යනු එහි එක පැත්තක සිටින වික්ටෝරියා මහ රැජණගේ හිසෙහි රූපය ය..පොල්ල යනු අනෙක් පැත්තේ උලැඟි කොට ඇති පොල් ගස ය...



බුල්ටෝවලට වඩා අපට වැඩිපුර ම හමු වූයේ හූණු බිත්තර ය...හෙවත් හූණු බිජු ය... බාර්ලි ඇටයක් තරම් ව, විවිධ පාටින් ඇති මේ පුංචි රස කැවිල්ල මාර රස ය. එය සූප්පු කළ විට පළමුවෙන් ම අමි තිත්ත රසැති වර්ණකය කටේ දියවෙයි. ඊට පසු එය සුදු පාට ය.. එහි පිටි රසක් ද, සීනි රසක් ද ඇති අතර, මැද මාදුරු ඇටයකින් ද සමන්විත ය.

ඊ ළඟට අපේ රස ලොව කිරුළු පැළැන්දුවේ නාරං බික් ය...නාරං බිකක හැඩයට තනා ඇති එය ද විනිවිද පෙණෙන නමුත් විවිධ වර්ණවලින් විය. ඒ එක් එක් වර්ණයක බික් වෙන් වෙන් රසයකින් යුක්ත ය. කහපාට ඒවා දොඩම් රස ය..තැඹිලි පාට ඒවා දොඩම් වැනි ම වූ තව රසයකින් යුක්ත ය. කොළපාට ඒවා දෙහි රස ය.. ඇඹුල ය.. මේ නාරං බික් තිබෙන්නේ සුදු පාට කුඩකින් තවරලා ය. ඒ තැවරුම ද අපූරු ය. කටේ ගෑවුණු සැණින් දිව සීතල කරමින් වහා දියවෙයි. ඒ ග්ලූකෝස් බව දන්නේ බොහෝ කල් ගියාට පසුව ය. නාරං බික් ලැබුණු වට ද අප කරන්නේ එය කටේ දමාගෙන වරුවක් සූප්පු කිරීම ය. ඒ සූප්පු කරන අතර තුර එළියට ගෙන බැලීම ද තවත් රසවත් කාරියකි. එය ඇසට තබා ඉදිරියෙන් සිටින කෙනා දෙස බැලීම ඊටත් වඩා රස කාරියකි...අවසන හීන් වීදුරු පෙත්තක් වැනි තුනී තීරුව සරස් ගා හැපුණු පසු රසවත් දුකකින් හිත පිරී යන්නේ ය..

අනෙක් සීනි මුරුක්කු ය...සීනි මුරුක්කු ජාති දෙකකි. එකක් අඟල් දෙකක් පමණ දිග ය. අනෙක බෙට්ටක් වගේ කොට ය..දෙකේ ම වර්ණ රටාව එක වගේ ය. සුදු පාට මුරුක්කුවේ උඩ සිට පහළට හීන් වර්ණ තීරු සටහන් ව තිබේ. දීප්තිමත් කොළ පාට, රතු පාට, තැඹිලි පාට මෙන් ම කළු පාට ද ඒ අතර ඇත. මේවා අධික පැණි රස ය..මේවා නිෂ්පාදනය කරන්නේ මුසල්මාණුවන් ය. ආච්චී කියන්නේ මේවාට සැකරින් දානවා ය කියලා ය..ඒ තරහා දෙකක් නිසා වන්නට පුලුවන්. එකක් ඒවා හදන්නේ මුසල්මාණුවන් ය.. දෙක එහි ඇති අධික පැණි රස නිසා දත් නරක්වන කතාව ය..

බුද්ධංගලට යන හන්දියේ පල්ලිය ළඟ කඩේ ද, හොල්මන් ගල ළඟ කඩේ ද ලොකු බෝතල්වල මේවා දමා ඇත්තේ අපට පෙනෙන්නට ය...!! 

මේ කඩවල නැත ද, නිතර හමු නොවුන ද, බොම්බයි මොටයි සහ නයිස් යනු තවත් රස කැවිලි දෙජාතියක් වෙයි. මේවා ගෙනෙන්නේ ද මුසල්මාණුවන් ය. අත් දිග කමීසයද, සරම කෙටියට ද ඇඳ, එන මේ මරක්කල මිනිස්සු හම්බ තොප්පියක් ද පැළැඳ සිටියි. බොම්බයි මොටයි සහ නයිස් ගෙන එන්නේ වටේට වීදුරු දැමූ පෙට්ටියක ය.. ගෙන එන මරක්කල මිනිසා අත පොඩි සීණුවක් ද ඇත. ඔහු එය සොලවයි... ඒ ටලිං ට්ලිං හඬ ඇසෙන තෙක් මානයේ සිටින අපේ රස නහර පිනා යයි...!!

බොම්බයි මොටයි සියුම් කෙඳි ලෙසින් සාදා ඇත්තේ ය. එක එක දවසක මේවා එක එක පාට ය.. දවසක රතු ය.. තව දවසක කහ ය.. තව දවසක තැඹිලි පාට ය.. ඉඳ හිට කොළ පාට ඒවා ද එයි. මොන පාට වුව ද, කටට  දා ගත් විගස ම එය දිය වී යයි. අල්ලක් තරම් කඩදාසි කැබැල්ලකට දමා දෙන, සතයකට ලැබෙන බොම්බයි මොටයි ගුලිය අප හතර පස් දෙනෙකුට ම සෑහෙයි. 

නයිස් යනු අඟල් පහ හයක වට ප්‍රමාණය ඇති, තුනී රවුම් රස කැවිල්ලකි. ඒවා පත්තර කොළයක් තරම් තුනී ය.. අමුතු සකරමොටයි රසයකින් යුක්ත ය..ඒවා ද විවිධ වරනයෙන් යුක්ත ය..අපට ඒවා ලැබෙන්නේ පෙට්ටියේ අඩුක් කර ඇති ආකාරයට ය.. වැඩියෙන් ම තිබෙන නයිස් රෝස පාට ය..කහ, කොළ, තැඹිලි අනෙක් පාට ඒවා ය.

මේ අතරේ ඇඟිලි ඉස්කෝතු ගැන නොකිය ම බැරි ය.. විස්කිරිඤ්ඤං කියන්නේ ද, ඉඟුරු විස්කෝතු කියන්නේ ද මේකට ම විය යුතු ය.. අඟල් 5ක් පමණ දිග, අඟලක් පමණ මහත ඇඟිලි විස්කෝතු ව හරි වියළි ය. කර කර ගා හැපිය හැකි ය. යාන්තං පැනි රසක් සහිත එහි සැඟවුනු ඉඟුරු රසක් ද, ගම්මිරිස් දැවිල්ක් ද සහිත ය. දෙකක් කෑ විට බඩ පිරෙයි.. වේලක් පිරිමසා ගන්නට අපූරු ය..

අනෙක හුළං විස්කෝතු ය... එය හරියට වේලපු පාං වගේ ය..මොලෝ රසයක් නැත.. අඟල් තුනක පමණ වට ප්‍රමාණයක් සහිත මෙය ද තද ය, වියළි ය. පැණි රසක් නැතත් එහි යට සැඟවුණු යාන්තං දැනෙන කිරි රසයක් වෙයි. කටේ දමා ටික වේලාවක් හපන විට පමණක් යාන්තං පැණි රසක් කටට දැනෙයි. බොහෝ වේලාවට අපට හුළං විස්කෝතු ලැබෙන්නේ උණක් සෑදී සිට යළි ඔලුව උස්සන්න පටන් ගත් දා ය...! දවස් ගණනක් බඩ ගින්නේ සිට ලැබෙන හුළං විස්කෝතුව මහ මෙරක් තරම් ය.. දිව්‍ය අවුසදයක් ය..!!

අදටත් බොම්බයි මොටයි, සීනි මුරුක්කු ආදිය සුපිරි වෙළෙඳ සැලකින් හෝ අපට ලබා ගත හැකි ය..ඒවායේ රස ද වෙනස් වී නැති තරම් ය.. ප්‍රමාණය ද ඒ තරම් ය.. නමුත් මිල එදාට වඩා අද බොහෝ වැඩි ය.. ඒවා එසේ වුව ද සිංහල ව්‍යාපාරිකයකු තැනූ බුල්ටෝ ව අද අපට අහිමි ය.. බුල්ටෝ ව පමණක් නොව, එහි රස ද, ප්‍රමාණය ද, වරුවක් හැපිය හැකි තද බව ද, ආදී සියලු ම දේ අද අපට අහිමි ය... නමුත් බුල්ටෝ නමින් එන වෙන මලජරාවල්නම් ඕනෑ තරම් ඇත..ඒවා එකක්වත් අතීත මිහිරියාව තරම් සුන්දර නැත...!

Share/Bookmark