Monday, November 9, 2015

තුවාලයේ වේදනාව


බේත් දැමුවාට පසු, ඊට පසු නැවත බේත් දමන්නට තාත්තාට මතක තිබුනේ ද, මා මතක් කළේ ද නැත. ඒ තාත්තා උදේ වරුවේ සරණේ උගන්නවන අතර, අපි සවස් වරුවේ ඉස්කෝලෙ යන නිසා ය. බේත් දැමූ තැනට උඩින් බැඳ තිබූ රෙදි කඩ ද පසා කරගෙන තද පැහැ සැරව පැල්ලමක් මතු වන්නට පටන් ගත්තේ ඊටත් පසු දා ය...

මැස්සන්ගෙන් තුවාලයට වන කරදරය අති මහත් ය. උන් එළවා අවසන් කරන්නට ද බැරි එන්නේ මැසි හමුදා බැවිනි. ගෙමැස්සන්ට වඩා ටිකක් ලොකු, තද නිල් පැහැ මැස්සා නිල මැස්සා ය. උගේ හඬ  කන පාරවාගෙන යන තරම් තද ය. උච්ඡ ය.. පියාඹා යන විට සුළං පහර ද අපට දැනෙන තරම් ය. එමෙන් ම ඌ සුළඟටත් වඩා වේගවත් ය. වේගයෙන් පැමිණෙන නිල මැස්සා කකුළ මත වසා ඔලුව ගස්සමින් තුවාළය මත සක්මන් කරයි. එය ද හරි කඩිසරව ය. සියුම් සෙලැවීමක දී පවා ඌ වහා පිටතට ඉගිල ගොස් යළි පැමිණෙයි. හිස පහළින් හොටක් වැනි දෙයක් දිගු කරමින්, ඉන් පොඩි කෙළ බෝලයක් ද මතු කරමින් උන් කරන රාජකාරිය කුමක්දැයි අප දන්නේ නැත. මඳ වේලාවක් මෙසේ මැස්සා හක්කළං කරනා විට දැනෙන සියුම් කිචිය විඳින්නට ද ආසාවක් ඇති වෙයි. එවිට තුවාලයේ වේදනාව ද මඳ මොහොතකට අමතක වන නිසා ය... මැස්සන් ඉගිල ගිය පසු තුවාලයේ සැරව මත ඉතා සියුම් සුදු පාට කුඩු වැනි තිත් ගොඩක් දකින්නට තිබේ. ඒ මොනවාදැයි ගනිච්චියක් මට නැත.

දෙවෙනි දවස පසු වන විට සැරව ගලන ප්‍රමාණය ද වැඩි ව තිබුණේ ය. එය රෙදි කඩ පසා කරගෙන පිටතට පැමිණ කකුල දිගේ අඟලක් පමණ පහලට ගලා විත් වියළී කර කුට්ටං වී තිබුනේ දූවිලි ද සමග ය. ඒ අතින් කඩා පිස දමන්නට ද නොපෙළැඹුනේ කකුල අල්ලන්ටවත් බැරි තරමට වේදනා දෙන නිසා ය. බැරි මරගාතේ හෝ මා පාසැල් ගියෙමි. කොහොමත් වැඩි සෙල්ලමක් නැති අප විවේකයට කරන්නේ අනෙක් අය දූවිලි අවුස්සාගෙන කරන දිවිලි පැනිලි බලාගෙන සිටීම ය. එදා මා පන්තියේ බිත්ති කණ්ඩිය මත වාඩි වී සිටි අතර, මට අඩි දෙක තුනක් ඈතින් ශිරෝමි අක්කා (ලොකු තාත්තාගේ ලොකු දූ වූ ඈ මට වඩා වැඩිමල් වූයේ මාස දෙක තුනකිනි. ඈ සිටියේ ද මගේ පන්තියේම ය.) අත් දෙක දෙපසට විහිදා වැළමිටෙන් නවාගෙන, කණ්ඩියට තබාගෙන සිටියා ය.. ටික වේලාවක් මගේ තුවාළ කකුළ දෙස බලා සිටි ඇගේ ඇස් ක්‍රමයෙන් විසල් වෙනු මට පෙණුනේ ය..

ඉනික්බිති ඈ වඩා නැවී ළං ව තුවාල කකුල දෙස බැලුවා ය. එසේ බැලූ ඇය මහ හඬින් කෑ ගසමින් පස්සට පැන්නේ අත් දෙක පාත්තයකු මෙන් ගසමින්, උරිස්ස ද නටවමිනි....

“ඊඊඊඊඊඊයාාාාාා පණුවෝඕඕ....“

වැඩේ ඇත්ත ය. තුවාලය මත සුදු පාට, ඉතා කුඩා පණුවන් තිස් හතළිස් දෙනෙක් පමණ සෙමින් සෙමින ගමන් කරමින් සිටියේ ය... මම මහත්සේ අසරණ වීමි. කියන්නට ද කෙනෙක් නැත..කරන්නට ද කිසිවක් නැත..අතින් පිස දමන්නට ද බැරි ය...  වටපිට බැලූ විට ඒ ඇසෙන මානයේ කවුරුවත් සිටියේ නැත්තේ මගේ වාසනාවට ය... එනිසා ම ඉස්කෝලේ ඇරෙන තෙක් ම ශිරෝමි අක්කාගේ ඇස් මාණයට අසු නොවන සේ හිමිජ්ජා මෙන් සිටියෙමි. ඒ ඈ යළි කෑ ගැසුවොත් වස ලැජ්ජා නිසා ය..

ඉස්කෝල ඇරෙන්නේ පසුවරු 4 හමාරට ය... අප ඉස්කෝලේ ඇරී ගෙදර එන විට උදේ වරුවේ මහ විද්‍යාලයට ගිය වසන්ත අයියා සහ තව දෙතුන් දෙනෙක් කණිෂ්ටේ පසු කරමින් වැව දෙසට යන්නේ උදේ ලිහා ඇරි හරක් පට්ටිය දක්කාගෙන එන්නට ය.  ඔහු අප පසු කරමින් යන ගමන් “ආාා උපුල් කුකුල්..“ කියමින් දිව ද ඇද කරයි. වෙනදා එසේ කළ විට ඔහු පසු පස අඩි දෙක තුනක් පන්නාගෙන යනමුත් අද මට එසේ කරන්නට බැරි ය.. කකුල ඒතරමට වේදනා දෙන නිසා ය.

කට්ටිය සමගින් ගෙදර ආ සැණින් මම කකුල රිදෙන බව තාත්තාට කීවෙමි. “ඉක්මණට කරුවල වැටෙන්නට කලීයෙං ඇඟ හොදං වරෙල්ල..“ තාත්තා කී පසු අපි ඩෝමැට්‍රියට ගොස් ඇඟ පත සෝදා ගත්තෙමු. නැවත ආ පසු තාත්තා මා අල්ලාගෙන තුවාළය සුද්ද කරන මෙහෙයුම පටන් ගත්තේ ය. ඇඟ සෝදන වතුර පහර නිසා අර සිටි සියුම් පනු පැටවුන් සේදී ගොස් ඇති නිසා තාත්තා උන් දැක්කේ නැත. මහ යම යුද්දයක් වූයේ රෙදි කඩමාල්ල ගැලවීමට  වඩා තුවාලය මත තිබූ පැලැස්තරය ගැලවීම ය... තාත්තා කොතරම් හෙමින් ඇද්ද ද මම මහ හඬින් මොර ගෑවෙමි. පසුව අයියා පැමිණ මා අල්ලා ගත්තේ ය. තාත්තා පැලැස්තරයේ කොනක් අල්ලා “සරස්“ ගා ඇද්දේ ය. එසැණින් මට තරු හාර පන්දහක් එක විට පෙනෙන්නට පටන් ගත්තේ ය. ඉන් පසු ඒ තරු ද බොඳ වූයේ එතරම් ම ලොකු කඳුලු කුට්ටියක් ද පොලා පැන්න නිසා ය.. වේදනාව කොතරම් ද යත් මා තරහ පිරිමැස්සේ අයියාගෙනි.. “තෝ පලයං අහකට..“මා මහ හඬින් මුර ගෑවෙමි... අයියා මඳක් එහාට ගිය නමුත් මට ඒ මදි ය.. “ඉහ් හ් හ්හ් ඉහ්..“ ගාමින් ඉකි ගැසෙමින් සිටි මම යළිත් “හ්හ්හ් පලයංංංංං..“ කිවෙමි. තාත්තා මඳක් ඔලුව සෙලවූයේ අයියාට එහාට යන්නට කියන්නට ය..

බංකුවක් ඇද මා වාඩි කරවූ තාත්තා එදාටත් වඩා ඇස් ලොකු කර ගත්තේ තුවාලයේ ප්‍රමාණය දැක්කේ දැන් නිසා ය.. එය තඹ සල්ලියකටත් වඩා ලොකු රවුමක් ව තිබුනේ ය. තුවාලය වටේ උස් ගැටිත්තක් රවුමට සෑදි තිබුණු අතර, තුවාලයේ මස රෝස පැහැ කුට්ටි වශයෙන් පෙනුනේ ය... ඒ අවට කකුලේ තුනී මස් තට්ටුව ඉදිමී තද රෝස පැහැ වී තිබුණේ ය. “හප්පා.. ඇටේ මතුවෙනකං තුවාලෙ පෑරිලානෙ..“ තාත්තා විස්සෝප වූයේ ය... “උඹල මහ සත්තු ජාතියක් බං.. නිකංවත් කියන්න එපාද බොල තුවාලෙ ගැන..“ තාත්තා එසේ කියන්නේ තමාට ම දොස් පවරා ගන්නා විලාසයෙනි. එදා ද තුවාලය දෙතුන් වරක් පිස දැමුනේ මහා වේදනා දෙමිනි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සාත්තුවෙන් පසු යළි සෙමින් තෙත මාත්තු කර, ඒ මත පල්ලමාණික්කම් කැටය ඇතිල්ලුවේ ඉතා පර්ස්සමිනි. පළමු ව සියුම් දැවිල්ලක් සේ දැනුන දච පසුව තුවාළය පුරා සියුම් සිසිලසක් පැතිර ගියේ වේදනාව ද මඳ වේලාවකට අමතක කරවමිනි. ඒ මත යලි වේට්ටි පැලැස්තරය දමා, වේට්ටි බැන්ඩේජ් එකෙන් ඔතනු ලැබීමෙන් පසු මහා වේදනාව මඳකට සමනය විය.

එදා මම වේලාසණින් නින්දට ගියෙමි. අයියා ද පාලිත ද ඇඳේ වැඩි පංගුවක් මට වෙන් කර දුන්නේ මට සහනය සලසනු සඳහා ය. එදා සුපුරුදු පරිදි මට චූ සිහින පෙනුනේ ද නැත.. දිගු නින්දට පසු පසු දා උදේ අවදි ව, ඇඳෙන් නැගිටින්නට උත්සාහ කරන විට මට මහා අමුත්තක් දැනෙන්නට විය. පළමුව මට සිතුනේ මගේ කකුල නැති බවකි. දෙවනු ව මට නැගිටින්නට බැරි බවක් ද මහා දරදඬු බවක් ද දැනෙන්නට පටන් ගත්තේ ය. අවද් වන්නට වීරිය ගත් විට කකුලේ මහපටැඟිල්ලෙන් නැගි තියුණු , දරුණු වේදනාවක් කකුල දිගේ ම විත් උකුල් ඇටය ද පසාරු කරගෙන යන්නට පටන් ගත්තේ ය... මම වහා යළි ඇඳ මත වැතිර කෙඳිරි ගාන්නට පටන් ගතිමි. මීට පෙර ද නැගිටින්නට කම්මැලි විට ද අප කවුරුන් හෝ කෙඳිරි ගාන නිසා එය කවුරුවත් ගනං ගන්නේ නැත.. කෙඳිරිය කවුරුවත් ගනනං නොගන්නා නිසා ම මට ඉකි බිඳ හැඬුනේ ය. සීරුවට එක දිගට ඇඬෙන ඒ ඇඬිල්ල අනුව තාත්තා ද අයියා ද මට අමාරු බව පසක් කොට ගත්තෝ ය. 

“වරෙං පුතේ..“ තාත්තා අපට පුතේ කියන්නේ කලාතුරකින් ය. එසේ අමතන්නේ තත්ත්වය බොහෝ වෙනස් බව නිසා වෙන්නට පුලුවන.තාත්තා මා ඔසවා ගත් විට දකුනු කකුල නැවුන ද වම් කකුල දර ඉපලක් මෙන් නොනැවී තිබුණේ ය. එය පහළට බර වන විට දරුනු වේදනාවක් යළි ඇඟ පුරා දිව්වේ ය... තාත්තා එක සීරුවට ඉකි බිඳිමින් සිටි මා ඔසවාගෙන ගොස් බිත්ති කණ්ඩිය අසළින් සිටුවා තැබුව ද මා සිට ගත්තේ තනි කකුලෙනි. ඉන් පසු තාත්තා මගේ කළිසම බුරිය ළඟින් පාත් කර, චූ කුරුල්ලා අතින් අල්ලාගෙන මට චූ කෙරෙව්වේ ය. ඉන් පසු මා එසේ ම සිටියදී වතුර කෝප්පයක් ගෙනැවිත් කඳුලු සහ හොටු සේදුවේ ය. “දත් මැද ගන්න පුලුවන් ද..?“ එසේ අසූව ද තාත්තා ම අඟුරු කැබැල්ලක් ගෙනැවිත් මගේ කටේ එබුවේ ය. මම එය බරස් ගා හැපුවෙමි. ඉන්පසු මගේ පිටුපසින් සිටගෙන මා ඇඟට තද කරගෙන මගේ දත් මැද්දේ ය. මා කලේ තූ ගාමින් කෙළ ගැසීම ද, අතරින් පතර ඇඬීම ද පමණි. නැවත වතුර කලතක් ගෙන තාත්තා මගේ කටට ලං කරන්නේ ය. මා එයින් ලොකු ගුලියක් ගෙන කට පුරවාගෙන, කට ඇතුලේ එය “බුකු බුකු“ ගා කලතා එළියට විදින්නේ කට උල් කරගෙන ය. තවත් වතුර තලියක් අතට ගෙන තාත්තා මගේ මුහුණ ‍ෙස්දුවේ ය. අතේ ඉතිරි වතුර ටික බෙල්ල යට ඇතිල්ලුවේ ය.

යළි මා ඔසවාගෙන ගෙට ගොස් කළිසම ගැලෙව්වේ ය. වෙනදාට ඔහේ හිටගත් තැන සිට ම කලිසං ගලවන අපි, කාගේ ජුන්ඩා දැක්ක ද “හූඌ හූඌ..“ ගෑවෙමු. එහෙත් අද තනි කකුලෙන්, හෙලුකොට්ට‍ෙං සිටින මට කවුරුවත් හූ කීවේ නැත. තාත්තා මේ සැරසෙන්නේ මා රැගෙන බේත් ගෙනෙන්නට යාමට ය. උදේ වරුවේ බේත් ගන්නටනම් ඉස්පිරිතාලයට යා යුතු ය. හැන්දෑවකනම් සෝමිල් එක පාරේ කන්ද පල්ලමේ තිබෙන ඩීඇම්මෝ මහත්තයා ගාවට යා යුතු ය. මිනිස්සු ඩීඇම්මෝ කීවේ ඉස්පිරිතාලේ ලොකු දොස්සතර මහත්තයාට ය. ඔහු හවස් වරුවේ තමන්ගේ ම ඩිස්පැන්සරියක් දමාගෙන සිටියේ ය. එසේ නැතිනම් ටවුන් එකේ දක්ෂිණ ලංකා එකට මෙහා පැත්තේ සිටින දෙමළ දොස්තර මහත්තයා වෙත යා යුතු ය. 

වෙනදා ට බයිසිකළේ පොල්ල මත ඇත් කොට්ටය උඩ වාඩි වී කකුල් දෙපැත්තට දමා වාඩි විය හැකි වුව ද අද තත්ත්වය අතිශය බරපතල ය.. මට කෙසේවත් කකුල නවන්නට බැරි ය. එනිසා තාත්තා මා වත්තං කරගෙන දකුනු තට්ටමෙන් පමණක් බර දීගෙන සිටින සේ පොල්ල මත කොට්ටයේ වාඩි කෙරෙව්වේ ය. ඉන්පසු වෙනදාට වඩා සීරුවෙන් හැතැප්ම දෙකක් පමණ දුර වූ ඉස්පිරිතාලයට ම පැදගෙන ගියේ ය. ඒ යන අතරේ කාගේ දෝ අත ආච්චීට පනිවිඩයක් ද යැව්වේ ය. ඉස්පිරිතාලයේ මහ සෙනගකි. බේත් සුවඳ සමග නහය කාරගෙන යන කාබොලික් සුවඳක් ද වහනය වෙයි. තාත්තා සීරුවෙන් මා ඔසවා ගත්තේ හරහට ය. දකුණු කකුල නැමී ඇතත්, වම් කකුල ඉද්ද ගැසුවාක් මෙන් කෙලින් ය. එය නවන්නට බැරිය.. තාත්තා මා ලොකු බංකුවක් මත හාන්සි කොට මඳක් ඈතට ගියේ ඉස්පිරිතාලයේ විය යුතු රාජකාරි සපුරා ගන්නට ය. තාත්තා එහාට ගිය පසු මම කකුල නවා බැලුවෙමි. රිදුන ද උදේට වඩා පහසුවෙන් නමන්නට හැකි ය. එහෙත් මම අර අමාරුව ම පෙන්වාගෙන සිටියෙමි. නියමිත වාරය ආ පසු තාත්තා යළි මා හරහට ඔසවාගෙන දොස්තර මහත්තයාගේ කාමරය ඇතුළට ගියේ ය. එහි ඇඳ මත යළි සීරුවෙන් මා තැබුවේ ය. කාමරයේ සිටි නර්ස් නෝනා කෙනෙක් මගේ කකුල අල්ලා සීරුවෙන් ඇඳ මත එහා මෙහා කළා ය. දොස්තර මහත්තයා දෙමළ ය. පුටුවෙන් නැගිට ඇඳ ළඟට පැමැණි එතුමා කැඩුණු සිංහලෙන් තාත්තා සමග කතා කළේ ය. බොහෝ විස්තර ඇසුවේ ය. එසේ කතා කරන ගමන් මගේ බඩ, පපුව, ඉකිළි ඇඟිලිවලින් තද කෙරුවේ ය. එසේ කරන ගමන් ම හෙමි හෙමින් මගේ කකුල දණිස්සෙන් නැමුවේ ය. කට ඇරගෙන කතාව දිහා බලා සිටි මට කකුල අමතක විය...!!! “හා සින්න පුලලේ.. දැන් ෂරි ආාා...“ දොස්තර මහතා කීවේ සිනාසෙමිනි. ඉන්පසු ඔහු මා මුණින් අතට පෙරලා තට්ටමට ඉන්ජෙක්ෂන් එකක් ගැසුවේ ය. තරමක් රිදුන මුත් එය කකුලේ අැම්ම තරම් දරුණු නොවී ය. කාමරයෙන් මා පිටතට ආව් තාත්ාගේ අත අල්ලාගෙන කුන්දු ගසමිනි. එළියට ආ පසු තාත්තා මා වඩාගෙන වෙනත් කාමරයකට එක්කං ගියේ ය. ඒ තුවාලවලට බේත් දමනකාමරයයි. කාමරය පුරා ම ඩෙටෝල් සුවඳ ද, තවත් සැර සුවඳ කිහිපයක් ද කවලමේ දැනුනේ ය. එතැන දී මෙතෙක් ඔතා තිබුණු වේට්ටි බැන්ඩේජ් එක ගලවා නැවත බේත් දැමුවේ මහත නර්ස් නෝනා කෙනෙකි. 

ඊයේ තුවාලය සෝදා තිබුණු නිසා අද එය එතරම් වේදනා ගෙන දුන්නේ නැත. නමුත් නර්ස් නෝානා තුවාලය යළි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්වලින් සෝදා, පුළුන්වලින් තෙත මාත්තු කොට,  ඒ මත සුදු පාට කුඩක් ඉස්සේ ද සුදු පාට බෝතලයකිනි. ඉන්පසු ඒ මත යළි කහපාට දියර බින්දු දෙක තුනක් දැම්මේ ය. ඊටත් පසු තවත් ඔයින්මන්ට් එකක් ගෑ ගෝස් තට්ටුවක් තැබුවේ ය. ඊට පසු නියම බැන්ඩේජ් රෝලක් ගෙන, එයින් කකුල වටේ ම වෙලුවේ ය. පිටිපස්සෙන් ගැට ගසා, ගැටය මත ප්ලාස්ටර් කෑල්ලක් ද ඇලෙව්වේ ය.. ප්ලාස්ටර් රෝලෙන් කෑල්ලක් අදින විට ඉන් ඇසුණු ශබ්දය ද, කතුරෙන් එය කැපූ ශබ්දය ද මට අදත් එදා මෙන් ම ශ්‍රවණය කළ හැකි ය..

සියලු කාරණා කටයුතු අවසන් ව. තාත්තා මා අතින් අලාගෙන එළියට එක්කන් ආව් ය. මම දකුණු කකුලට පමණක් බර එන සේ පැන පැන ආවෙමි. එළියට ආ පසු තාත්ා මා වඩාගෙන පාර පැන ඉස්පිරිතාලය ඉදිරිපිට කඩයෙන් බණිසක් අරං දුන්නේ ය. බනිස උඩ තිබූ රතුපාට ජෑම් ගුලිය හරි ම රහ ය..! එක සීරුවට ඇඬූ නිසාවෙන් තවමත් මට ඉක්කා ගැසෙන ආකාරයට ගැස්සිල්ලක් තිබුණ ද බනිස කෑ පසු එය ද අමතක ව ගියේ ය..!

අපි යළි ගෙදර එන විට ආච්චී පැමිණ සිටියා ය. එදා දවල් වේල තරමක් සරු එකක් වූයේ ආච්චී ලොකු තාත්තලාගේ දිහායින් මොනවා හෝ ගෙන ආ නිසා ය. හැන්දෑවේ ලොකු අම්මා ද, ලොකු තාත්තා ද මා බලන්නට ආවේ ය. සිරිත් පරිදි ලොකු තාත්තා දත් අතරින් සද්දයක් දමමින් ද, හුහ් හුහ් ගාමින් ද තාත්තා ට බැණ බැණ සිටියේ මේ අප ජීවත්වන අපාය ගැන කියමිනි.

තාත්තා සමග අප ජීවත් වූ දිව්‍ය ලෝකය කවදාකවත් දැක නැති ලොකු තාත්තා, කිසි දා ක ඒ දිව්‍ය ලෝකයේ ඇති සැප සම්පත් ගැන හාංකවිසියක් දන්නේ ද, අත්විඳින්නේ ද නැති බව මට විස්වාස ය... මන්ද අප ඒ දුක් කන්දරාවන් ඒ තරමට ම සැප සේ වින්ද නිසා ය...!!


Share/Bookmark

Monday, November 2, 2015

තුවාලය


වම් කකුළේ දණහිසට අඟල් දෙක තුනක් පහළින්, අස්ථියේ මස අඩු ම තැන කුඩා තුවාලයක් ඇති වී තිබෙණු මා දුටුවේ ද අහම්බෙනි. ඇඟ පුරා කැසීම්, ඇඳ මකුණු, මදුරු දෂටයන් නිසා වන කැසීම්, අතු ඉපල් අස්සේ රිංගද්දී ඇතිවන සීරීම් ආදි දහසක් තුවාල ඇඟ පුරා තිබුණ ද, මේ කකුළේ තුවාලය වේදනාව දැනෙන තරම් එකක් විය. තුවාලය ඉතා කුඩා වුව ද, එය සෑදී තිබුණේ කකුලේ පහළ අස්ථියේ නරක ම තැනෙක වීම තවත් වේදනාවට කාරණාවක් විය. 

(මේ තුවාලය කොතරම් දරුණු වීද යත් අදත් මගේ වම් කකුළේ විසල් ව එහි පැල්ලම සටහන් ව තිබේ. පින්තූරයෙන් දැක්වෙන්නේ ඒ තුවාල පැල්ලමයි. )


සාමාන්‍යයෙන් අප තුවාලයක් දුටු විට කරන්නේ ඒ මත කෙළ පොඩ්ඩක් ගෑම ය..තුවාලය ටිකක් පරණනම් එහි කබොල්ල කඩා යලි කෙළ තලියක් ගැම ද කළෙමු. කබොල්ල කැඩූ විට ලේ යාම තව දුරටත් පවතින්නේනම් අප කළේ අතට අසුවන ‍අමු කොළයක් කටින් හපා, හපය ඒ තුවාලය මත තැබීම ය. එය තුවාලයකට කළ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාරයක් වූයේ, ඒවාට ඊට වඩා වෙනස් බේතක් හේතක් නොකළ බැවිනි. ඇලේ නාන්නට ගිය විට මාළු දෂ්ටයෙන් ලැබෙන සාත්තුව ද ඉහටත් උඩිනි. 

දවස් දෙක තුන ගත වන විට තත්ත්වය වඩ වඩා උග්‍ර විය..තුවාලයේ රවුම ද දවසින් දවස වැඩි විය. එමෙන් ම එය පැසවා සැරව ගලන තත්වයට ම පත් ව තිබිණි. බිම පය තබා හරියට ඇවිදින්නට ම බැරි වූ විට නොණ්ඩි ගසමින් යන නිසා, තාත්තාගේ අවධානය මවෙත හැරිණි.

"මොකද උඹ නොණ්ඩි ගහන්නෙ..?"
මම උත්තර දුන්නේ උරිස් දෙක උස්සා යටි තොල පෙරලීමෙනි.. තාත්තා එය "මං දන්නෙ නෑ"යි කියා වටහා ගන්නට ඇති... උරිස්සෙන් අල්ලා මා ළඟට ඇද ගත් තාත්තා සරමේ බොක්ක මත මා වාඩි කරවා ගත්තේ ය. ඊට පසු කකුළ ඔසවා ගෙන එය පිරික්සී ය.. තුවාළය අසළින් අල්ලද්දී මම "ඌහ් ඌහ්" ගෑවේ ඇත්තට ම රිදෙන නිසා ය.. නැවත මගේ කිහිළි දෙකින් ඔසවා ඉස්සූ තාත්තා මා බිම සිටුවා, කුස්සියට ගොස් ප්‍රථමාධාර පෙට්ටිය රැගෙන ආවේ ය. ඒ පෙට්ටියේ තුඩා කතුරක්, වතුර වැනි අවර්ණ දියරයක් පිරවූ පොඩි කුප්පියක්, දම් පාට බේත් සහිත තවත් කුප්පියක්, කඩදාසි බෑගයක දැමූ කපු පුලුන් ගුලියක්, පරණ වේට්ටියක් කපා නවා තැබූ රෙදි ගුලියක් සහ තෙල් කඩදාසියක ඔතා, තවත් පොලිතීන් බෑගයක දැමූ කහ පාට ඔයින්මන්ට් එකක් ද විය. ඊට අමතර ව එහි තවත් ‍තරමක් ලොකු භාණ්ඩ දෙකක් ද විය. 

එකක් තාත්තා රැවුල කැපූ පසු මූණේ උලන සීනක්කාරං කුට්ටියයි. එකළ අපේ මිට මෙලවූ අත් ගුලියක් තරම් වූ, වීදුරු ගලක් මෙන් වූ එහි එක් පැත්තක් අතිශයින් සුමට ව තිබුණේ මුහුණේ ම උලා ගෙවී ගොස් තිබූ නිසා ය. අපි දු හොරෙන් මේ වීදුරු කුට්ටිය මූණේ උලා ගන්නෙමු. දිය සීරාව මුහුණේ ඇති විට එයින් දැනෙන්නේ අමුතු ම සිසිලකි. දිව ගා බැලූ විට දැනෙන්නේ කට කාරගෙන යන අම්මය රසයකි.

අනෙක අත් ගුලියක් තරම් ම වූ නිල් පාට මැණික් ගලක් වන් තවත් ගල් කුට්ටියකි. එය ද ත්‍රිකෝණාකාර ය. අතිශයින් තද නිල් පැහැති ය. පැරණි සුව නොවන තුවාලයක රෝස පාට මස මත මේ නිල් පාට පල්ලමාණික්කම් කුට්ටිය ඇතිල්ලීම අවසන් ප්‍රතිකාරය වෙයි. 

(සීනක්කාරං යනු කුඩාවට කැඩූ පසු සහිඳ ලුණු වශයෙන් හැඳින්වෙන සින්ක් හයිඩ්‍රොක්සයිඩ් බව ද, පල්ලමාණික්කම් යනු කොපර් සල්ෆේට් ස්ඵටික බවද මා උගත්තේ ඊට බොහෝ කළෙකට පසු කොළඹටත් පැමිණ, අපොස සාපෙළ පන්තියේ රසායන විද්‍යාව ඉගෙන ගන්නා විට ය..)

පළමු ව තාත්තා මගේ කකුළ කාබොලික් සබන් දමා හොඳින් සේදුවේ ය. (එකළ තිබුණේ ඇඟේ ගාන්නට කාබොලික් සබන් සහ රෙදි හෝදන්නට සන්ලයිට් සබන් විතර ය. මීට අමතර ව දිග පොල්ලක් මෙන් වූ සවරින් බාර් නම් සබන් ජාතියක් ද විය. රෙදි හෝදන්නට සැරසී අතේ ගෑවුනු විට අත බොහෝ වේලාවක් සෙවළ ගතියකින් දැනෙන්නේ ඒ සබන්වල සැර වැඩිකම නිසා ය...) ඉන් පසු පරණ රෙදි කඩකින් තෙත මාත්තු කලේ රෙදි කඩ තුනට හතරට නවා දිග පටියක් මෙන් සාදා, කකුලේ ඉහළ සිට පහළට තදින් ඇදගෙන ඒමෙනි. මේ පාරේ සැරට තුවාලය මත අරක් ගෙන සිටි කබොල්ල ගැලවුණේ ය. එසැණින් කහ පාට සැරව තළියක් ම එයින් එළියට ආවේ ය. දැණුනු වේදනාව කියාගන්නට හඬක් නගන්නටත් කළියෙන් ඇස් දෙකෙන් ම තඩි කඳුලු බිඳු දෙකක් එලියට රූරා ආවේ නාසය ද හොටු බර කරමිනි.

ඊ ළඟට තාත්තා පුළුන් ගුලියක් ගෙන සීරුවෙන් සැරව ටික පිස දැම්මේ ය. බංකුවක් ඇද මා වාඩි කරවූ තාත්තා ඉනපසු මගේ කකුළ දිග හැර, අර කුඩා කුප්පියේ තිබූ දියර ටිකක් (ඒව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ලු නෙ..!) තුවාළය මතට දැම්මේ ය. එසැණින් එය මහා පෙණ ගොඩක් බවට පත් විය. එ් පෙණ නගින ආකාරය දැකීම නිසා ඇතිවුණු කුතුහලය වඩා දැඩි වූයෙන් තුවාළය මත දැනෙන ළා දැවිල්ල යටපත් විය. ඉන්පසු යළිත් රෙදි කඩමාලු කැබැල්ලකින් තුවාලය තෙත මාත්තු කෙරිණි. සැරව ටික පහව ගිය විට මට මාර සුව පහසුවක් දැණුනේ ය. ඉනුත් පසු තාත්තා අර ඉටි බෑගයේ තිබූ මාගරින් පාට ඔයින්මන්ට් එකෙන් ස්වල්පයක් ඇඟිල්ලට ගෙන, පරිස්සමෙන් එය තුවාළය මත තැවරුවේ ය. ඊට පසු අර වේට්ටි කැබැල්ලෙන් කුඩා කොටසක් ඉරා, එය දෙකට තුනට නවා, කතුරෙන් වටේ කපා හරි හතරැස් රෙදි කඩක් සෑදුවේ ය. ඇඟිල්ලේ තිබූ ඔයින්මන්ට් ස්වලුපය ද එහි උලා, ඒ රෙදි කඩ පරිස්සමින් තුවාලය මත තබා සෙමින් තද කලේ ය. ඊටත් පසු වේට්ටි කෑල්ලෙන් දිග පටියක් ඉරා ගෙන එයින් තුවාලය වෙලුවේ ය.

බේත් කර අවසන මම කකුලට බර ගෙන නැගිට්ටෙමි. කකුළේ ඉහළ කොටසේ ඇඟට සවි වන තැනින් වූ නැමිල්ල හෙවත් ඉකිළියෙන් වේදනාවක් දැණුනේ දැන් ය. මම අතින් ඉකිලිය තද කරගෙන, කඳ පොඩ්ඩක් ඉදිරියට නමාගෙන ම අඩි දෙක තුනක් ඇවිද්දේ ඒ වේදනාව දැන් වැඩිපුර දැනෙන නිසා ය. වහා ම මා අල්ලා නවතාගත් තාත්තා කළිසම උස්සා ඉකිළිය දෙස බැලුවේ නළල ද රැලි නංවාගෙන ය..

"ඇයි බාල්ල යමක් උනාම කියන්නෙ නැත්තෙ...? බලපං කුද්දැට්ටකුත් ඇවිල්ලනෙ.. දැං දඟලන්න යන්නෙ නැතිව හිටපං මං ඒක තවනකං..!" තාත්තා කුස්සියට ගියේ බෙත් පෙට්ටිය ද රැගෙන ය. ඉන් පසු කුස්සියේ ලිපෙන් දුම් කඳක් නැගුනේ වතුර රත් කරන්නට ලිප පත්තු කළ නිසා ය. මඳ වේලාවකින් තාත්තා උනු වතුර මුට්ටියක් රැගෙන ආවේ ලොකු රෙදි කඩමාල්ලකින් අල්ලාගෙන ය. මා තල්ලු කොට බිත්තියට හේත්තු කර කළිසම පාත් කළේ ය. ඉන් පසු රෙදි කඩමාල්ල මුට්ටියට ඔබා දුම් දමන රෙදි කඩ මාල්ල අතින් මිරිකුවේ ඊට කටින් පිඹිමිනි. වරක් දෙවරක් ඊට පිම්බ තාත්තා මගේ වම් කකුල ඔසවා අර රෙදි කඩෙන් කුද්දැට්ට තැව්වේ ය. 

දුම් දමන රෙදි කඩ මතින් ඉකිළිය පුරා යන ගිණි උණුසුමට වඩා මහා සුවපහසු උණුසුමක්, මට තාත්තාගේ සත්කාරය නිසා දැනෙන්නට පටන් ගත්තේ ය.

Share/Bookmark